Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
බූන්දි, 16:45:29
මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක් සොබාදහම සහ ස්වභාවික වරණය විසින් තහවුරු කොට තිබු නිරෝගීභාවය ඉදිරියට පවත්වාගෙන යාමය. වනාන්තරයේ බහුවිධ ශාක හා සත්ත්ව කොටස් අහරට ගනිමින් විසූ ප්‍රාථමික සාමූහික සමාජයේ මිනිසාට කුසගින්න පැවති නමුත්, අහාරවේලේ පැවති විවිධත්වය විසින් ඉහළ ප්‍රතිශක්තිකරණ හැකියාවක් උරුම කර දි තිබිණි.

එසේ නමුදු, නවශිලා යුගයේ සිදුවු මිනිස් ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයෙන් පසු නව ශිෂ්ටාචාරයක ඉතිහාසයට පා තබමින් බෝග ශාක වගාවට මෙන්ම සතුන් හීලෑ කරගනිමින් අහාර හා අනෙකුත් ජීවන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මිනිසා සමත්විය. එසේ ඇරඹි ගොවි එඬේර දිවිය තුළ සියල්ලන්ගේම කුසගින්න නිවීමට තරම් ආහාර පැවති නමුත්, ආහාර වේල ධාන්‍ය වර්ග කිහිපයකට හා සීමිත මාංශ කිහිපයකට සීමා විය. මෙමගින් මිනිස් සෞඛ්‍යයට ඇති කළ බලපැම සුළු පටු නොවේ. එය එක අතකින් මානව ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල කළ අතර අනෙක් පසින් බොහෝ ඌණතා රෝගයන්ට මග සැලසීය.

මෙවන් පසුබිමක ජන සමූහයක් එක් ස්ථානයක එක් රොක්ව වාසය කිරිමත්, ඔවුන් විසින් හීලෑ කොට ඇතිකරන ලද ගව බැටළු ආදි සත්වයින් එම වාසස්ථාන ආශ්‍රිතව රඳවා තබාගැනීමත් හේතුවෙන්, එම වාසස්ථාන ආශ්‍රිතව එක්රැස් වූ මානව හා සත්ත්ව මළපහ, බෝවන රෝග රාශියක ව්‍යාප්තියට මාවත සැලසීය. ඒ අතර ගව වසුරිය වැනි රෝග, හීලෑ කරන ලද සත්ත්වයින්ගෙන් මිනිසාට ව්‍යාප්ත වූ අතර මෙම සෞඛ්‍ය තර්ජනය විසින් මානව ශිෂ්ටාචාරයට සනීපාරක්ෂාව නමැති නව අවශ්‍යතාවයක් ගොඩ නැංවීය.

එතැන් සිට ශිෂ්ටාචාරගත මිනිසා ගොඩනැගිලි, ස්මාරක, ඇල වේලි ආදිය ඉදිකිරිමේ තාක්ෂණය දියුණු කළ අයුරින්ම තමන් හමුවේ පවතින නිරෝගීභාවය පිළිබඳ අභියෝගය ජයගනු වස් සනීපාරක්ෂාව වැඩි දියුණු කරගැනීමේ පිළිවෙත් වැඩි දියුණු කරගැනිමට යොමුවන්නට විය. සත්ත්ව ගාල් මිනිස් වාසයෙන් ඈත් කර තැනීම මෙන්ම, මානව වාසස්ථාන ආශ්‍රිතව තම ශරිර කෘත්‍යයන් අපවිත්‍ර නොවන අයුරින් සිදුකර ගැනීමේ නිශ්චිත ස්ථාන වෙන්කර ගැනීම ආදිය මෙහිලා ගනු ලැබූ මුලික උත්සාහයන් ලෙස හඳුනාගත හැක.

කෙසේ වෙතත් අදින් වසර හයදහසකට පමණ පෙර (ක්‍රි.පු 4000- 5000), ශිෂ්ටාචාරය ඉතිහාසය පුරාවට එකතු කළ දැනුම එක්තැන් කොට ගංගා අශ්‍රිත පුරාණ නගර ගොඩ නගන සමය වන විට, සනීපාරක්ෂාව පිළිබද දියුණු භාවිතයන් පැවත ඇත. එම පුරාණ නගරයන්හි ආරක්ෂිත සමූහ වාසස්ථාන පැවති අතර එම සෑම වාසස්ථානයකටම පුද්ගල සනීපාරක්ෂාව පවත්වා ගෙන යැම සදහා පානීය ජලය, ස්නානය සදහා තටාක මෙන්ම දියුණු වැසිකිළි පද්ධති පැවති බවට පුරා විද්‍යා සාක්ෂි තහවුරු කොට ඇත.


නිවසක නාන කාමරයක කාණු නගරයේ ප්‍රධාන කාණු පද්ධතිය සමග එක් වන අයුරු- මොහෙන්ජො දාරෝ


නගරයේ පල්දෝරු කාණු පද්ධති- මොහෙන්ජො දාරෝ

එපමණක් නොව නගරයේ එකතුවන අපජලය හා වැසිකිළිවලින් නිකුත්වන මල-මුත්‍රාදිය ඉතා කාර්යක්ෂම ලෙස බැහැර කිරිම සදහා සකස් කළ මල අපවහන පද්ධති මෙම නගරයන්හි පැවති බවට පැහැදිලි සාක්ෂි පවතී. උදාහරණ ලෙස ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් මොහෙන්ජදාරෝ සහ හරප්පා යන නගරයන්හි, මැටියෙන් තැනූ භු ගත නල පද්ධතියක් සහිත මළ අපවහන පද්ධති පැවත ඇති අතර ඒවායේ එකතුවන අපජලය නගරයෙන් දුර බැහැර පිහිටි මානව වාසයෙන් ඇත්වු භූමීන්හි තැනූ තටාක වෙත යොමුකර තිබිණි. වැසි සමයේ උස් ස්ථානවල සකස් කළ වැසි ජල පොකුණුවල ජලය එක්රැස් වූ අතර එම වැසිජල පොකුණුවල ජලයෙන් ඇතිකරනු ලබන ද්‍රවගතික පීඩනය යොදා ගෙන මල අපවහනය කාර්යක්ෂමව සිදුකළ බව පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

මේ අයුරින් මිනිස් මලපහ විධිමත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයන් භාවිතය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පමණක් නොව, චීනය ආශ්‍රිතව පැවති හොවැංහෝ නිම්න ශිෂ්ටාචාරයේ ද, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර තුළ ද මැනවින් වර්ධනය වූ බවට සාක්ෂි පවතී. එපමණක් නොව අප රටෙහි පවා අනුරාධපුර යුගයේ, විහාර හා රජ මැඳුරු ආශ්‍රිතව පැවති දියුණු වැසිකිළි පද්ධති නූතන සනීපාරක්ෂක වැසිකිළි බඳුන් වලට බොහෝ සෙයින් සමාන ලෙස සකස් කළ සෙල්මුවා වැසිකිළි බඳුන් වලින් සමන්විත විය. අභයගිරි ස්තුපය ආශ්‍රිතව හමු වූ වැසිකිළි වල එකතුවන අපජලය පෙරහන් බඳුන් ශ්‍රේණියක් ඔස්සේ පිරිපහදු කොට පොළවට මුදා හැරීමට තරම් දියුණු තාක්ෂණයක් වර්ධනය වී පැවතිණි. මෙමගින් පැහැදිලි වන්නේ සනීපාරක්ෂක ක්‍රමවේදයන්ගේ දියුණුව මානවයා අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයට පත්වීම පිළිබිඹු කරන එක් ප්‍රබලතම සාධකයක් වන බවයි.


අභයගිරිය ස්ථූප භුමියෙන් සොයාගත්, අනුරාධපුර යුගයේ භාවිත වු වැසිකිළියක පෙරහන් පද්ධතිය

එම ජයග්‍රහණයන් අත්කරගත් පසුව මානවයා ශිෂ්ටත්වයේ මාවතක වසර හය දහසක් පමණ ගෙවා ගිය තැන, රටක් ලෙස අප අනුරාධපුර යුගය පසුකර වසර දෙදහස් පන්සියක් ගතවන විට, බිහිකර ඇති 'සහස්‍රයේ අගනගරය' කෙතරම් නම් සුපිරිසිදු හා සනීපාරක්ෂක නගරයක් විය යුතුද?

එසේ නමුදු කොළඹ නගරයේ මේ මොහොත වන විටත් භාවිත වන යල් පැනගිය නොදියුණු අපජල හා මල අපවහන පද්ධතියේ සැබෑ ස්වරූපය වසර හයදහකට පෙර පැවති මල අපවහන පද්ධති වලට ද වඩා නොදියුණු තත්ත්වයක් නම් අප සිටින්නේ කොතැනකද?

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය මෙන්ම කොළොන්නාව සහ දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයන් එක්ව සැලකුවිට මල අපවහන නල පද්ධතිය කිලෝ මීටර 250 ඉක්මවන අතර, එම නල පද්ධතියෙන් 80%ක් පමණ කොටස මේ වන විට වසර සියයක් පමණ පැරණි නල වලින් සමන්විතය. වරින් වර මෙහි යම් කොටස් විවිධ ව්‍යාපෘති මගින් ප්‍රතිසංස්කරණය කළ නමුත් පුර්ණ ලෙස වැඩිදියුණු වීමක් සිදුවී නොමැත. මෙම ඉපැරණි නල මාර්ග දිරාපත්ව ඇති ස්ථාන වරින් වර පුපරා යෑම මගින් සහ අවිධිමත්ව සිදුකරන ලද සම්බන්ධ කිරීම් තුළින් සිදුවන අපජල කාන්දුවිම් කොළඹ නගරයේ සුලබ සිදුව්ම්ය. මල අපවහන පද්ධතිය තුළ අප ජලය ගලායාම බොහෝ දුරට සිදුවන්නේ භූමියේ ආනතිය ඔස්සේ සිදුවන ගුරුත්ව ගලනයක් ලෙසය. එසේ ගලා බැසීම සිදුවිය නොහැකි ස්ථාන වලදී කුඩා පොම්පාගාර මගින් යම් ඉහළකට පොම්ප කිරිම සිදුවේ.

මෙම ජරාජීර්ණ වු නල පද්ධතියේ රොන්මඩ හා අපද්‍රව්‍ය තැම්පත් වීම මෙන්ම නල තුළට භූගත ජලය කාන්දු වීම සිදුවන අතර එවැනි අවස්ථාවලදි මලජලය ගලායාම් අවහිර වේ. අවාසනාවට කරුණ නම් එවැනි අවහිර වීමකදි පිටාර ගලන මලජලය යොමුකර ඇත්තේ නගරයේ වැසිජලය බැස යන කාණු පද්ධතියට විමය. උදාහරණයක් ලෙස බොරැල්ල නගර මධ්‍යයේ සිට පැමිණෙන පල්දෝරු නල මාර්ගයේ ඇතැම් කොටස් වලින් පිටාර ගලන මල සෘජුවම ගලා බසිනුයේ කනත්ත හංදියේ සිට ඩී.එස්. සේනානායක විද්‍යාලය හරහා දිවෙන භුගත වැසිජල කාණු පද්ධතියටයි. එම කාණුව බෞද්ධාලෝක මාවත හරහා හීන් ඇළ දක්වා ගලාබසින අතර හීන් ඇළ යනු කොළඹ මධ්‍යයේ පිහිටි අගනා පාරිසරික කලාපයක් පෝෂණය කරනු ලබන ජලමාර්ගයයි.

හීන් ඇළ එක් පසකින් කොළොන්නාව ඇළට ද තවත් පසෙකින් දියවන්නාවට ද සම්බන්ධ වන අතර එහි දකුණු දෙසට දිවෙන තෙත්බිම් පද්ධතිය බොරලැස්ගමුව ඔස්සේ වේරැස් ගඟට සම්බන්ධ වේ. ඒ අනුව කොළඹ නගරයෙන් බැහැරවන අසුචි මෙම මුලුමහත් තෙත්බිම් හා පරිසර පද්ධතිය පුරාම විසිර යන්නේ ආශ්‍රිත ජල මුලාශ්‍රයන් ද අපවිත්‍ර කරමිනි.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින ශාන්ත බස්තියන් ඇළ, කොළොන්නාව ඇළ, වැල්ලවත්ත ඇළ, දෙමටගොඩ ඇළ මෙන්ම හීන් ඇළ ඇතුලු ඇළ මාර්ග පද්ධතිය තෙත්බිම් ජාලයකට පෝෂණය සපයන අතර මෙහි ප්‍රධාන ඇලමාර්ග යටත්විජිත සමයේ භාණ්ඩ ප්‍රවාහනයට හා නගරයේ ආරක්ෂාව සඳහා බොහෝ සෙයින් භාවිත වී ඇත. නමුත් නිදහසෙන් පසුව මෙම ඇළ මාර්ග ආශ්‍රිතව කිසිදු ප්‍රමිතියකින් තොරව ගොඩනැගූ ජනාවාස සහ ව්‍යාපාරික ස්ථාන වලින් මුදා හරින අපජලය හා වැසිකිළි නල බොහොමයක් මුදාහැර ඇත්තේ ද මෙම ඇළ මාර්ග වෙතටය. මෙම ගොඩනැගිලි බොහොමයකට නිසි ඉදිකිරීම් බලපත්‍ර නොමැති නමුත් ප්‍රාදේශිය දේශපාලඥයින්ගේ පිහිටෙන් ඒවා දෙමහල් තෙමහල් ගොඩනැගිලි ලෙස ඉදිවි ඇත. එමෙන්ම මෙම ඇළ රක්ෂිතයන්හි වෙසෙන පැල්පත් වාසීන් බොහොමයකට වැසිකිළි නොමැති අතර ඔවුන්ගේ ශරිර කෘත්‍යයන් සිදුවනුයේ මෙම ඇළ ඉවුරේ හෝ එහි අටවාගත් ඉටි රෙදි වැසිකිළි තුළය. එබැවින් එම අපද්‍රව්‍යයන් එක්වන්නේ කොතැනට දැයි අමුතුවෙන් කිවයුතු නැත.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි බේරේ වැව අගනගරයේ ස්වභාවික සුන්දරත්වය පවත්වා ගෙන යෑමට මෙන්ම ක්ෂුද්‍ර දේශගුණික තත්වය (micro climate) යාමනය සදහා ඉවහල් වන අගනා මිරිදිය ජලාශයයි. එය අතිශයින් දුෂිත තත්වයක පවතින පසුබිමක පවා බොහෝ පක්ෂින් හා සත්ව විශේෂ සදහා වාසස්ථාන සපයමින් පවතී. කෙසේ වෙතත් දශක කිහිපයක් පුරා වැව වෙත යොමුකර තිබු අනවසර පල්දෝරු නල සහ ඇතැම් පැල්පත් ජනාවාස හා වාණිජ ගොඩනැගිලි වලින් මුදාහල මල අපද්‍රව්‍ය වැව් ජලය අතිශයින් දුෂිත තත්ත්වයකට පත්කර හමාරය.

පසුගිය සමයේ බේරේ වැව ආශ්‍රිතව සිදු කළ නාගරික සංවර්ධන ව්‍යාපෘති මගින් වැව වෙත යොමුකර තිබූ බොහොමයක් අනවසර පල්දෝරු නල ඉවත් කර ඇතත්, වැසි ජල කාණු වලට සම්බන්ධ කර ඇති අනවසර වැසිකිළි වල අපද්‍රව්‍යයන් තවමත් ගලා බසින්නේ මෙම ජලාශයටය.

ගුණසිංහපුර, සෝන්ඩර්ස් පෙදෙස, කෙසෙල්වත්ත ආදි ජනාකිර්ණ පුදේශවල නිසිආකාර වැසිකිළි ටැංකි (septic tank) නොමැති ආපනශාලා සහ නිවාස, තද වැසි අවස්ථාවන්හිදි පුරුද්දක් ලෙස තම වැසිකිළි නල බේරේ වැව වෙත ගලායන වැසිජල කාණුවට යොමුකරයි. ඒවා බැස්ටියන් මාවත බස් නැවතුමට යටින් ගලා බසින නල මාර්ගය ඔස්සේ බේරෙ වැව වෙත ගලා බසිනු ලැබේ. මෙම කාණු පද්ධතිය මත ඇතැම් ස්ථානවල තෙමහල් ගොඩනැගිලි ඉදිකර ඇතත් කොළඹ මහ නගරසභාව ඒ පිළිබඳ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

එමෙන්ම මතුපිටින් බොහෝ සුන්දර ලෙස පෙනෙන ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගලධාරි හෝටලය ආදිය පිහිටි භුමි භාගය දෙසින් පැමිණෙන මුලාශ්‍රය හඳුනා නොගත් මහා පරිමාණ පල්දොරු නල පද්ධතියක්, කොළඹ වරායේ දකුණු දිග කොටසට අනවසරයෙන් මල අපජලය මුදාහරින බව වරාය බලධාරීන් බොහෝ අවස්ථාවල නිරීක්ෂණය කොට ඇත.


බේරෙ වැව, කොළඹ

අනවසර වැසිකිළි නල මගින් මුදාහරින මිනිස් මල හා ජාතික රෝහල් පරිශ්‍රයෙන් හා ඇතැම් පුද්ගලික වෛද්‍ය ආයතන මගින් මුදාහරින සායනික අපද්‍රව්‍ය රැගෙන බේරෙ වැව වෙත ගලාබසින නොරිස් ඇල, බේරෙ වැවට එක්කරන අන්තරායකර අපද්‍රව්‍ය ප්‍රමාණය සුළුපටු නොවේ. එම අපද්‍රව්‍ය අතර ඇති රෝගකාරක හා රසායනික බේරෙ වැව ආශ්‍රිතව වෙසෙන සත්ත්ව දේහයන්ට ඇතුළු වෙනවා පමණක් නොව, ඔවුන් ඔස්සේ ආශ්‍රිත පරිසර පද්ධතීන් වෙත ප්‍රචාරණය වීම ද සිදුවේ.

සාමාන්‍යයෙන් මිනිස් මල සහ මිශ්‍ර අපජලය ජලාශයකට හෝ සාගරයට මුදාහරින්නේ නම් එම මුදා හැරීම සිදු කළ යුතු සම්මත ක්‍රමවේදය වන්නේ පුර්ණ අපජල පිරිපහදුවකින් පසු ජාත්‍යන්තරව පිළිගත් අපජල පරාමිතීන්ට (treated waste water standards) අනුකුලවය. එවැනි අපජල පිරිපහදුවකදී අපජලයේ කාබනික අන්තර්ගතය අවම මට්ටමකට පැමිණෙන තෙක් බැක්ටීරියා මගින් සිදුවන ස්වභාවික ජීර්ණය සිදුවීමට වාතනය කරනු ලබන අතර, ඉතිරිවන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට පෙරහන් ක්‍රමවේදයන් කිහිපයක් භාවිත කරයි. ඉන් අනතුතුරුව පිරිපහදු ජලයේ රසායනික තත්ත්වයන් පරික්ෂා කොට මුදාහැරිම සිදුකරයි.

එසේ නමුදු කොළඹ නගරය සතුව කිසිදු නාගරික අපජල පිරිපහදුවක් නොමැති අතර, සිදුකරනු ලබන්නේ පිරිපහදු නොකළ මල හා අපජලය පොම්පාගාර දෙකක් මගින් මුහුදට පොම්ප කිරිමයි. මෙම ප්‍රධාන පල්දෝරු නල මුහුදට පොම්ප කරන ස්ථාන දෙකක් ඇත. එකක් වැල්ලවත්ත වෙරළේ සහ අනෙක මෝදර ප්‍රදේශයේය. මෙම නල වුවද මුදා හැර ඇත්තේ කිලෝ මීටර දෙකක් තරම් ඉතා සුළු දුරක් පමණි. ඉන්දියන් සාගරය දිර්ඝ සාගර කලාපයකින් යුතු බැවින් හා ඉහළ දියවැල් ක්‍රියාකාරීත්වයන් සහිත බැවින් මෙම අපජලය තනුක වීම සිදුවන නමුත් බොහෝවිට විට ඒවා ගොඩබිම දෙසට නැවත පැමිණීමට ඉඩකඩ පවතී.

නොගැඹුරු මුහුදු තිරයේ ගැඹුර මීටර හයක් දක්වා වු කලාපය ද සලකනු ලබන්නේ තෙත් බිමක් ලෙසය. එමෙන්ම අවසාදන හා කොරල් පර සහිත නොගැඹුරු මුහුදු තීරය මත්ස්‍ය හා අනෙකුත් ජලජ ජීවින් බහුල ලෙස වෙසෙන ජෛව විවිධත්වයෙන් ඉහළ කලාපයකි.

මෑත කාලීනව සිදුකළ ඇතැම් දේශීය පර්යේෂණ පවා පෙන්වා දී ඇත්තේ කොරල් ජීවින්ගේ විනාශයට මිනිස් මලපහ මිශ්‍ර ජලය වෙරළට මුදාහැරීම ප්‍රබල හේතුවක් වි ඇති බවයි. ඇතැම් පර්යේෂණ පත්‍රිකා පෙන්වාදෙන ආකාරයට මිනිස් මල තුල අන්තර්ගත ඇතැම් ඖෂධ හා ප්‍රතිජීවක කොරල් ජීවින්ගේ හායනට හේතුකාරක වි ඇති බවයි. එපමණක් නොව අධික නයිට්‍රජන් හා පොස්පරස් සාන්ද්‍රණය නොගැඹුරු වෙරළේ ජෛව පැවැත්මට ඇතිකරන බලපෑම සුළුපටු නොවේ.

මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස බටහිර මුහුදු තීරය දූෂිත හා බොරතාවයෙන් ඉහළ වෙරළක් බවට පත්ව ඇති අතර කොළඹ නගරය ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතිය ඉහළ කොලිපෝම් අගයකින් යුතු දුෂිත පරිසරයක් බවට පත්ව හමාරය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo City, Environmental Pollution, Water Pollution, Drainage Systems, Beira Lake, Heen Ela, Sanitation of Ancient Civilizations, Sanitation of Ancient Anuradhapura Kingdom, Colombo Municipal Council
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල මහේෂ් රාජපක්ෂගෙන් තවත් වියමන්
වෙසෙස්
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
වෙසෙස්
මුතුරාජවෙල වනසන්නට පෙර
කවි
ෆෙන්ෂුයි බුදුන් අනඳ හිමි හමුව..
කවි
තෙතක් නැති රෝහලේ බිල මත -වැතිර හිටියා සුභාෂිත පොත
කවි
ධීවරී ගීතය
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook