Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑතිඳු, කන්ද උඩරට "ඡන්දදායක" මුස්ලිම්වරුන් හමුවේ "ආගමික අන්තවාදය අවුස්සන" කාටදෝ එරෙහිව දැඩි ලෙස චෝදනා කොට තමන් මුස්ලිම්වරුන් සුරකින බවට ලෙහි අත් ගස ගසා පොරොන්දු වන ජවනිකාව, සති අන්ත රූපවාහිනී පුවත් වේදිකාවල රංග ගත කෙරිණි. අහා මනරම් යැ! අපට නම් රජෙක් පහළ වී බොහෝ කල්ය. ඔන්න මුස්ලිම්වරුනි දැන් ඉතින් තොපිටත් රජෙක්...!

සැප්තැම්බර් තුන්වන දා ජනපති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මෑතිඳු, ආරක්ෂක සමුළුවක මුල් දෙසුම පවත්වමින් "මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවන් ලංකාව දැඩි අනතුරක හෙළන" බව කීවේය. බොදු බල නිල ලත් පොලිස් සේනාවෝ ඒ අසා තුටු පහටුව, හැරෙන තැපෑලෙන් ම ආරක්ෂක ලේ.වරයා පසසා බොක්කෙන්ම නැග එන ප්‍රීතිය පළ කළහ. ඇත්ත නේන්නම්....! උන්නාන්සේලා ගෙවුණු කාලය මුළුල්ලේම ස්වරාල කඩා ගෙන බණට කෑ ගැහුවේ (සොරි දේශනා කළේ) ඔය ටිකම නොවේද? මේ "දරුණු" අන්තවාදයන්ට එරෙහිව පඬු පැහැ බල සේනාව සහ අනෙකුත් පිරිවර සේනා ගම් නියම් ගම් පුරා හැසිරෙමින් සමුළු පවත්වමින් දෙස දෙසා යන්නේ කොයි අමා මෑණී බුදු පියාගේ වචන ද යන්න දැනුත් තේරෙන්නේ නැති එකෙක් ඉතිරිව ඉන්නවා නම් ඌ බූරුවෙකුත් නොවේ; කොටළුවෙකි!

ගුරු ගෝල වෙනස මැකි මැකී පින්තූර පැහැදිලි වෙමින් තිබේ. ප්‍රීති වෙනු රටවැසියනි ප්‍රීති වෙනු...! ප්‍රීති වීම දික් ගස්සා ගැනීම සඳහා ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක් සැප්තැම්බර් 8 වන දා රාවයෙන් උපුටා පළ කරමු. මෙවර ගොදුර ජිහාඩ් ත්‍රස්තවාදියෙක් නොවේ. බෞද්ධ භික්ෂුවකි. ඒ මදිවාට රට කරන පක්ෂයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.
බූන්දි, 17:55:47
"බොදුබල සේනාව නිසා භික්ෂුව ත‍්‍රස්තවාදියකුගේ මට්ටමට ඇදවැටිලා..."
-වටරැක විජිත හිමි කියයි.


(කසුන් පුස්සවෙල. රාවය. 2013-09-08) මම විහාරාධිපති ලෙස වැඩවාසය කළේ මහියංගණය රොටලගල මහවැලි මහා විහාරයේ. ඒ වගේම මහියංගණය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් ලෙසින් කටයුතු කරනවා. මම කාලයක් පුරාම ආගමික සහ ජාතික සමගිය පිළිබඳව අදහන හා කතා කරන කෙනෙක්. මම අන්තවාදය සහ ජාතිවාදය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන කෙනෙක්.

මහියංගණය ගොවි ජනතාව සමග මම වසර විස්සක පමණ ඉඳන් ලොකු සටනක් කළා, ඒ අහිංසක මිනිසුන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන්. 2006 අවුරුද්ද තුළ ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රදේශය තුළ වකුගඩු රෝගීන් හිටියේ 2900යි. ඒ ගණන 2012 දෙසැම්බර් මාසේ වෙනකොට 10800ක් දක්වා වැඩිවෙලා තියෙනවා. අද වෙද්දී ඒ ප‍්‍රදේශවල දිනකට අහිංසක මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මියයන තත්ත්වයට පත්වෙලා ඉවරයි. එතනින් එහාට වල් අලි තර්ජනය විශාල බලපෑමක් කරලා තිබෙනවා මහියංගණ ජනතාවට. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ රුපියල් තුන්කෝටි අනූපන් ලක්ෂයක මූල්‍යමය වටිනාකමක් දක්වා වූ ප‍්‍රමාණයක නිවාස කඩා බිඳලා තියෙනවා වල් අලි. ඒ ගෙවල් වායුසමනය කරපු, ටයිල් අල්ලපු ගෙවල් නෙවෙයි. ඉතා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ගෙවල්. ජීවිත ගණනාවක් අහිමිවෙලා තිබෙනවා. ඒ මිනිස්සුන්ගේ කුඹුරු කන්න තුනක්ම මේ වනවිට විනාශ වෙලා තියෙනවා. පසුගිය පෑවිල්ලටත්, ගංවතුරටත්. ජනාධිපතිතුමාට කෑ ගහලා එක කන්නෙක වී රජයෙන් කිරෙව්වා. ඉන් පස්සේ අද වෙනකම් ඒ අහිංසක මිනිස්සුන්ගේ වී ඇටයක්වත් රජයෙන් කිරුවේ නෑ. ඒ උදවිය කන්නේ තුන්වේලටම පරිප්පුයි, මඤ්ඤොක්කා කොළ මැල්ලූමයි පමණයි. දානය විදියට අපිට දිනපතා ලැබෙන්නෙත් ඒ මැල්ලූමයි බතුයි පමණයි.

කොයිතරම් දරිද්‍රතාවෙන් පෙළුණත් මහියංගණයේ හිටපු සිංහල, මුස්ලිම් ජනතාව ඉතා හොඳ සහයෝගයකින් හා සංහිඳියාවකින් ජීවත් වුණා. අවාසනාවකට බොදුබල සේනාව පසුගිය අගෝස්තු මාසේ අම්පාරට ආවා. ඒ ඇවිත් කරපු කතාවලින් එහේ ජනතාව අතර රජ කාලේ ඉඳන් තිබුණු සංහිඳියාව නැති වුණා.

භේද භින්න කළා...

බොදුබල සේනා මහ සමුළුවට කලින් මහියංගණයේ ජනතාව සිංහල මුස්ලිම් භේදයකින් තොරව එකට ව්‍යාපාර කටයුතු සිදුකළා. එකට ගොවිතැන් බත් කළා. සිංහල මුස්ලිම් අය එකට වැලි ගොඩ දැම්මා. හැම කටයුත්තක්ම සිංහල මුස්ලිම් භේදයකින් තොරව සිදු කළා. බොදුබල සේනාව මහියංගණයට කළ ආක‍්‍රමණයත් සමග සිංහල මුස්ලිම් මිනිස්සු සහමුලින්ම භේද භින්න වුණා. මේ අය රැස්වීමට ඇවිත් කිව්වේ "උන්ගේ කඩවලට යන්න එපා. උන්ගේ කඩෙන් තේ බොන්න එපා. උන්ගේ කඩේ විකුණන අටපිරිකර අරන් ආයිත් අපිට පූජා කරන්න එපා. එහෙම අහුවුණොත් පොළොවේ ගහනවා." ආදී වූ වෛරී හා කෝපගන්වනසුලූ කතා. මුස්ලිම් ජනතාව ගැන වෛරය, ක්‍රෝධය ඇති කරවලා මුස්ලිම්වරු සිංහල ජාතිය නැති කරන්න ආව පිරිසක් බවට ප‍්‍රකාශ කරලා වෛරයක් ඇති කරවලා ගියා එදා.

ඊට දින පහකට පස්සේ මුස්ලිම් ජනතාවගේ රාමසාන් සීලය හා සම්බන්ධ උත්සවයක් පැවැත්වුණා බදුල්ලේ මුස්ලිම් කාන්තා විද්‍යාලයේදී. ඒ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නට මට ආරාධනාවක් ලැබුණා. මම ඒ උත්සවයට බොහොම ආසාවෙන් ගියා. ඒ ගිහින් මම කතාවක් කළා. ඒ කතාවට මූලික වුණේ දින පහකට කලින් බොදුබල සේනාව මහියංගණයේදී ප‍්‍රකාශ කළ කරුණු කිහිපයක්. මොකද මම එදා බොදුබල සේනා කතාව මගේ කන් දෙකෙන්ම අහගෙන හිටියා. එදා ඒ කතා අහගෙන ඉද්දී මගේ හිතට ලොකු වේදනාවක් ඇතිවුණා. ඒ නිසාම ඊට දින 5කට පස්සේ පැවතුණු උත්සවයේදී මම ඒ වේදනාව පිට කළා.



මහියංගණයට බොදුබල සේනාව එද්දී පෝස්ටරයක් ගහලා තිබුණා. "මුස්ලිම් කාන්තාවන්ගේ ගෝනි බිල්ලා ඇඳුම වහා ගලවනු" කියලා. අපිට කිසිම අයිතියක් නැහැ තවත් ජාතියකගේ ඇඳුම් ගලවන්න. මම එතනදි කිව්වා ඒ ළමයින්ට ඥානසාර හාමුදුරුවන් ඔය ඇඳුම ගලවන්න කියන නිසා ගලවලා ඥානසාර හාමුදුරුවන්ගෙන්ම ඊළඟට අඳින්න ඕනෑ ඇඳුමේ මෝස්තරයක් ඉල්ලා ගන්න කියලා. ඒකට අමතරව අම්පාරේදී බොදුබල සේනාව තර්ජනය කළා සියලූ හරක් මස් කඩ වහපිය කියලා. මම ඒ ගැනත් මතක් කරලා මේ උත්සවයේදී කිව්වා අපේ මේ සිංහල බෞද්ධයා තරම් මේ ලෝකේ මස් වර්ග කන ජාතියක් නැතුව ඇති කියලා. මොකද සිංහල අපි හරකත් කනවා. ඔයගොල්ලන් නොකන ඌරත් කනවා, එළුවත් කනවා. ගෝනා, මුවා, ඉබ්බා විතරක් නෙවෙයි තලගොයත් කනවා. ඒ කාලා හේනට එන මොනරා, ගිරවා පවා කනවා කියලා එතැනදී මම කිව්වා. ඇත්තටම අපේ මිනිස්සු නොකන්නේ කබරගොයාව විතරයි. මොකද ඒ සතා විස නිසා. ඒතරම් මස් කන අපි මුස්ලිම්වරුන්ට බනිනවා. මුස්ලිම්වරු තෝරාගත්ත ක‍්‍රමයකට, අනුමත වුණු මස් පමණක් අනුභව කරනවා. එහෙම පිරිසකට අපි ඇඟිල්ල දිගු කිරීම ඉතාම වැරදියි.

අපේ වගකීම

එතැනදී මම කියන්නේ නැහැ මස් කන එක හොඳයි කියලා හෝ සතුන් මරන එක හොඳයි කියලා. බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ජේතවනාරාමයේ පිටුපස චුන්ද සූකර මැරෙනකම්ම ඌරො මරලා මස් විකුණුවා. බුදුහාමුදුරුවෝ ගිනි තියන්න කිව්වේ නෑ. ඒවා ගැන රජතුමාට කිව්වෙත් නැහැ. ඒ මිනිහා ඒ මස් වෙළෙඳාම කළා. බුදුහාමුදුරුවන් මෛත‍්‍රී ධර්මය දේශනා කළා. අපේ වගකීමත් ඒකයි. නැතුව අපිට බෑ ත‍්‍රස්තවාදීන් වගේ ගිහිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්න, ගහන්න, ගිනි තියන්න.

ඔන්න ඔය කියන කාරණා කිහිපය මම එදා බදුල්ලේදී මුස්ලිම් ජනතාවට දේශනා කළා. ඒ දේශනය අන්තර්ජාලයට කවුරුහරි එක්කරලා තිබුණා. ඒක දැකලා මහියංගණය බොදුබල සේනා පිරිස් හා කොළඹ බොදුබල සේනා පිරිස් අගෝස්තු 11 වැනිදා මට පහරදෙන්න මම ඉන්න පන්සලට ආවා. ඒ පැමිණෙන්න කලින් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය හවස 6.30ට පමණ ඇවිත් මට කිව්වා මෙහෙම පහරදීමකට මගේ පන්සලට එන බව. ඒ නිසා වහාම පන්සලෙන් පිටවෙන්න කියලා ඔවුන් මට කිව්වා. මගේ ජංගම දුරකතනයත් අරන් මම ඇඳන් හිටපු සිවුර පිටින්ම පන්සල පිටුපස්සේ කැලෑවට පැන්නා. එදා රෑ 12 වෙනකම්ම මම වල් අලි ඉන්න කැලේ ගහක් උඩ හිටියා. මට තවදුරටත් ජීවිතය බේරාගෙන එතැන ඉන්න බැරි නිසා එදා බදුල්ලේ උත්සවය සංවිධානය කළ මහත්වරුන්ට මම කතා කරලා මේ පිළිබඳව කිව්වා. ඒ අනුව පාන්දර 4ට විතර දෙපැත්ත රෙදිවලින් වහපු ත‍්‍රිරෝද රථයකින් මම බදුල්ලට එන්න ආවා.

එදා ඉඳන් අද වෙනකොට දවස් 23ක් වෙනවා. ඒ දවස් 23ම මම ගත කළේ බොදුබල සේනාවේ මරණ තර්ජනයට බයෙන් විවිධ තැන්වල හැංගිලා. මා පසුපස බොදුබල සේනාව තර්ජන ගර්ජන කරමින් එළවනවා මාව මරන්න. පසුගිය 17 වැනිදා වනවිට මම දැඩි මානසික පීඩාවකිනුයි හිටියේ. මම ගෝල හාමුදුරුවරු පහළොස් නමක් සාසනයට දායාද කරලා තියෙනවා. ඒ පිරිස ගැන මට කනගාටුවක් ඇතිවුණා. ඒ වගේම මම පන්සලෙන් පිට වුණාට මගේ උපාධි සහතිකයවත් මට අරගෙන එන්න බැරිවුණා. ඒ නිසා මට බියක් ඇතිවුණා මේ බොදුබල සේනා පිරිස පන්සලට ගිනි තියාවිදෝ කියලා. මම 17 වැනිදා මගේ ගෝල හිමිවරුන් බැහැ දැකලා ඔවුන්ට මම ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරන්න පන්සලට වැඩම කළා. ඒ සඳහා කොළඹ ඉන්න මගේ හිතවතෙක් වෑන් රථයක් මට සපයලා දුන්නා.

කුණුහරුපයෙන් බැන්නා

දායකයන් සමග මම 18 වැනිදා දවසම ගත කරලා 19 වැනිදා නැවත කොළඹ එන්න පිටත් වුණා. දහඅට වංගුව අසලදී වෑන් රථයේ රෝදයක හුළං ගියා. මම එවේලේ වාහනයෙන් බිමට බැස්සා. ඒ වෙලාවේ එතැනින් යමින් හිටපු දෙන්නෙක් මාත් සමග කතා කරලා යන්න ගියා. ඒ දෙන්නා නුවර ඉඳලා මහියංගණයට යන ගමන් තමයි මාත් එක්ක සුහදව කතා කරලා ගියේ. ඔවුන් මහියංගණය බොදුබල සේනාවේ සංවිධායකවරු දෙන්නෙක්. මම පේරාදෙණියත් පහුකරලා පොල්ගහමුල ප‍්‍රදේශයට එනවිටම මහනුවර බොදුබල සේනා සංවිධානයේ සංවිධායක හාමුදුරුවෝ පාර මැදට පැනලා කුණුහරුපයෙන් බැණගෙන වාහනේ දොරවල්වලට වීදුරුවලට අතින් පයින් ගහන්න ගත්තා. ඒ එක්කම තවත් 30ක් විතර මැරයන් ඇවිත් පොලූවලින් ගහන්න ගත්තා. වෑන් එක ඇතුළට ඇවිල්ලා මගේ බෙල්ලට වැරෙන් ගැහුවා. රියදුරාටත් ගහලා මුදල් පසුම්බි උදුරා ගත්තා. මොනවා වුණත් ඒ රියදුරා නිසා අද මම ජීවත් වෙනවා. ඔහු වාහන තදබද අස්සේ වාහනය ඉදිරියටම අරගෙන ගියා. ඊට පස්සේ පස්සෙන් ආව අය තැන් තුනකදී අපට පහර දුන්නා.



පොලිසිය ඇතුළෙත් බැන්නා

කෑගල්ල පොලිසිය ඇතුළට වාහනය ඇතුළු කරලායි එදා අපි ජීවිත බේරාගත්තේ. මහියංගණයේ ගුණවර්ධන කියලා කෙනෙක්ගේ කැබ් රථයකින් මැරයෝ අපේ පස්සෙන් ආවා. නුවර අයත් පස්සෙන් එලෙව්වා. කෑගල්ල පොලිසිය ඇතුළටත් ඇවිල්ලා මට කුණුහරුපෙන් බැන්නා පැය භාගයක් විතර. ඒ සියලූම දේ පොලිසියේ අයත් අහගෙන හිටියා. ඒ අය නිදහසේ මෙච්චර දෙයක් කරලා යන්න ගියා. ඊට පස්සේ පොලිස්පතිතුමාගේ නියෝගයක් අනුව පොලිස් රථයක ආරක්ෂාව ඇතිව මම පහරකෑමට ලක්වුණු වෑන් රියෙන්ම කොළඹ ඩර්ඩන්ස් රෝහල දක්වාම ආවා. රෝහලේ දින 3ක් හිටියා. දැන් බෙල්ලට සිංහල ප‍්‍රතිකාර කරමින් ඉන්නවා.

බොදුබල සේනාවේ අය මට පහරදුන්නේ "තෝව මරනවා" කියමින්. මගේ ජීවිතය ගැන මට බයක් තියෙනවා. මම මේ බොදුබල සේනාවේ වැඩපිළිවෙළ කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ගෙවුණ අවුරුද්ද තුළ බොදුබල සේනාව මේ රට තුළ ඇති කරලා තිබෙන භීෂණය සහ බුද්ධ ශාසනයට ඇති කරලා තිබෙන විනාශය වසර 30ක් යුද්ධ කළ කොටි සංවිධානය තුළින්වත් සිදුවුණේ නැහැ. වසර 30ක් කොටි ත‍්‍රස්තවාදය තිබෙද්දීවත් ස්වාමීන්වහන්සේලාට ත‍්‍රස්තවාදීන් කියන නම හංවඩු ගැහුණේ නැහැ. ඒ ගෙවුණ කාලේදී ස්වාමීන්වහන්සේලා බුදු දහමට අනුව කටයුතු කළා මිසක මේ අද වගේ ජඩ, මැර, වර්ගවාදී වැඩවලට සහභාගි වුණේ නැහැ. මේ ගෙවුණ වසර තුළදී බොදුබල සේනාව භික්ෂුව කියන කෙනාගේ ප‍්‍රතිරූපය විනාශ කළා. අද භික්ෂුව ත‍්‍රස්තවාදියකුගේ මට්ටමට ඇද වැටිලා තිබෙනවා බොදුබල සේනාව නිසා.

බුද්ධ ශාසනයට මෑත ඉතිහාසයේදී සිදුවුණු විශාලම ව්‍යසනය මේක. ඒ බව බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කටින්ම කියලා තියෙනවා.

සිවුරු ගලවලා

"අපි මේ වෙනකොට හතළිහකගේ සිවුරු ගලවලා තියෙනවා" කියලා ඥානසාර ගාල්ලේදී පසුගිය 25 වැනිදා කිව්වා. එහෙම ගලවන්න එයාට කවුද බලයක් දුන්නේ? මේ රටේ මහා නායක හිමිවරු ඉන්නවා. සංඝ සභාවක් තියෙනවා. සංඝ අධිකරණ තියෙනවා. වැරදි කරන භික්ෂූන්ට දඬුවම් දෙන ක‍්‍රමයක් තියෙනවා. එහෙම තියෙද්දී කවුද බොදුබල සේනාවට මේවාට අවසර දුන්නේ. එයා දැනට හතළිහකගේ සිවුරු ගලවලා නම් තව ඉදිරියට කී දෙනෙක්ගේ සිවුරු ගලවාවිද? මහා නායක හිමිවරු මේ සිවුරු ගලවපු 40 ගැන සොයා බලන්න ඕනෑ. බීලා හොරාට වාහන පැදලා ඒවා හප්පලා කරපු දේට ගලවනවා නම් පළමුවෙන්ම සිවුර ගලවන්න ඕනෑ ඥානසාර හාමුදුරුවන්ගේ. ඒක උසාවියෙන් ඔප්පු වෙච්ච චෝදනාවක්. ඥානසාර හාමුදුරුවෝ සමුළුවට ආවේ කැබිනට් ඇමතිවරයෙක් වගේ ඩිෆෙන්ඩර් රථ 2ක් එක්ක කෝටි 1 1/2ක් විතර වටිනා කාර් එකක. ඒ ආව කිරිපාට ඩිෆෙන්ඩර් රථවල ආවේ එයාගේ ආරක්ෂකයන්. ඒවා එක්ක හැමෝටම හිතුණේ මේක එක්ක රජයේ ආරක්ෂක අංශවල ලොකු සම්බන්ධතාවක් ඇති කියලා. ජනාධිපතිතුමාවයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයවයි මුස්ලිම් ජනතාව පිළිගත්තේ රන්සළු ඇඟට දාලා. එහෙම ආදරයක් ළෙන්ගතුකමින් සලකපු මුස්ලිම් ජනතාව අතරට බොදුබල සේනාව දැන් ගිහින් තියෙනවා මුස්ලිම් විරෝධී ගමනක. බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ හැමවිටම කිව්වා "උලමලා බකමූණෝ කරනවා" කියලා. ජමෙයිතුල් උලමාවරු කියන්නේ මුස්ලිම් මව්ලවිවරුන්ගේ බුද්ධිමතුන්ගේ සංවිධානයට. එවැනි පිරිසකටයි ඥානසාර හාමුදුරුවෝ බකමූණෝ කියලා කිව්වේ. වෙනත් ආගමිකයෙක් අපේ හාමුදුරු කෙනෙකුට ඔහොම කිව්වා නම් මේ වෙනකොට පෙළපාලි කීයක් යාවිද?

ගාල්ලේ වඳුරඹ සිරිවර්ධනගේ මතය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. එයා ඒක දේශනා කරගෙන යනවා. හැබැයි ගාල්ලේදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කිව්වේ. "අපි හෙට අනිද්දම වඳුරඹට එනවා සිරෝ, උඹ දැනගනින් සිරෝ." මේවා මේ චොප්පෙලාගේ වචනනේ. මෙහෙම කතා කළාම භික්ෂුවකගේ සිවුරට මොකක්ද වෙන්නේ? හලාල් ප‍්‍රශ්නයේදී මව්ලාවිවරු එකක් සාකච්ඡු කරපු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ට කොහොමද මේ අය කතා කළේ. කොයිතරම් අපහාසයක්ද එදා සිදු කළේ?

මගේ ඉදිරි ජීවිතයට යම්කිසි දෙයක් සිදුවුවහොත් ඒකට වගකියන්න ඕනෑ මේ සංවිධානය. මම ඒ බව පොලිස්පතිතුමාටත්, රජයේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු විවිධ සංවිධානවලටත් දන්වලා තියෙනවා මම මේ වනවිට. ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ සංවිධානවලින් මගේ ජීවිතය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා දෙන්න කියලා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ravaya, Rev. Watareka Wijitha Thero, President Mahinda RajapakSa, Gotabaya Rajapaksa, Bodu Bala Sena, Galagoda Aththe Gnanasara Thero
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් පුස්සවෙලගෙන් තවත් වියමන්
වෙසෙස්
වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?
තවත් කතා-බස් කරන්ට්ස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
BoondiLets
කාල් සගාන් අසයි.
මට, මේ ඉතිහාසගත මොහොතේ වඩාත්ම උත්ප්‍රාසාත්මක සංකේතය නම් ජනාධිපති රිචඩ් එම්. නික්සන් අත්සන තැබූ, ඇපලෝ 11 යානය, සඳ මතට රැගෙන ගිය සමරු ඵලකයයි. "අපි සියළු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook