දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්! | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
බූන්දි, 18:16:29
කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි වෙළුම, ජයතිලක ද සිල්වා විසින් සිංහලට පෙරළා ජනගත කිරීමට සමගාමීවය. මෙහි පළවෙනුයේ එහිදී මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි විසින් කරනු ලැබූ දේශනයේ සංශෝධිත පිටපතයි.

200 වෙනි උපන්දිනය ලෝකය සැමරූ අයුරු- කෙටි චාරිකාවක්

මාක්ස් ඉපදුනේ 1818 මැයි 5වෙනි දිනය. මියගියේ 1883 මාර්තු 18 දිනය. කාල් මාක්ස් නැමැති ඒ ශ්‍රේෂ්ඨ භෞතිකවාදී චින්තකයාගේ ජන්මයෙන් වසර 200 ක් පිරුණු පසුගිය මැයි 5 වෙනිදින ලෝපුරා විවිධ මාදිලියේ උපහාර උත්සවයන් පවත්වනු ලැබූහ. (අවාසනාවට අපේ රටේ කැපී පෙනෙන උපහාරයක් නොදුටුව ද මැයි දිනය කල් දැමීම බඳු කැපී පෙනෙන පරිහාසයක් නම් අප දුටුවෙමු. එනම්, එහෙත් වාමාංශික අරමුණක් ඇති පක්ෂ අතළොස්සක් කල්දැමීම ගණන් නොගෙන මැයි දිනය සැමරීම සතුටට කරුණකි.)

කෙසේ වෙතත් මැයි දිනයෙන් දින හතරකට පසු ලෝකයේ පහළවූ ශ්‍රේෂ්ඨතම භෞතිකවාදී දාර්ශනිකයාගේ 200 වෙනි උපන්දිනය මැයි 5 දිනට යෙදී තිබිණ. දහස් ගණනින් නොව ලක්ෂ කෝටි ගණනින් ලෝකවාසී ජනතාව මාක්ස්ගේ උපන්දින ප්‍රණාම උත්සවයන්ට සහභාගී වූහ. එම උපහාරයන් විශාල ජනරැළි, පා ගමන්, පෙළපාලි, 21වෙනි සියවසට මාක්ස්ගේ අදාළත්වය පිළිබඳ වැඩමුළු, සාකච්ජා, සම්මන්ත්‍රණ, මාක්ස්ගේ ජීවන චරිතය පිිළිබඳ වාර්තා චිත්‍රපටි සෑදීම සහ පෙන්වීම, ලෝකයේ විවිධ රටවල විප්ලවීය ගී සජ්ජායනයන්ට ජනතාව හුරුකිරීම, මාක්ස්ගේ කෘතීන්ගේ නැවත පරිවර්තන ව්‍යාපාතීන් දියත් කිරීම, මාක්ස්වාදී චිත්‍රපටි ප්‍රදර්ශන, ධනවාදය අඩපණ කිරීමේ විධික්‍රම සාකච්ඡාවන් සහ විශේෂයෙන් මාක්ස්ගේ ප්‍රාග්ධනය නැවත හැදෑරීමේ කවයන් ආදි විශේෂාංග රැසකින් සමන්විත වූහ.

මෙවර මාක්ස් සැමරීමේ කළගුණ ප්‍රණාමයේදී සංසිද්ධින් 4ක් විශේෂයෙන් කැපීපෙනුනි. මෙය ශතවර්ෂානුපූර්ණ සැමරීමේ නොතිබිණි.

1. මාක්ස්ගේ අඩි 30 ක් උස ප්‍රතිමාවක් ඔහුගේ උපන් ගම වන ට්‍රයර්හී මාක්ස් කෞතුකාගාරයචීන ජනාධිපති ෂිං ෂින්පින් විසින් තෑගි කිරීම.
2. ලන්ඩන් නගරයේ මාක්ස් අනුස්මරණ පුස්තකාලයේ මාක්ස්ට පුනර්ජීවයක් දීම පිළිබඳව ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීම.
3. ඉන්දිියාවේ කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රසය විසින් මැයි 5 පමණක් නොව වසර පුරාම, මාක්ස්ගේ ද්වීශතවර්ෂ අනුස්මරණය සැමරීමට සැලසුම් කිරීම.
4. පින්ලන්තයේ වෙළඳ චතුරස්‍ර අවකාශයන්හි මාක්ස්ගේ ප්‍රාග්ධනයෙන් උපුටාගත් කොටස් හඬනඟා කියවීම.

මේ සියල්ලම මාක්ස්ටය. සියල්ලම මාක්ස් වෙනුවෙනි. සියල්ලම මාක්ස්ට ප්‍රණාමයන්ය. ශතසංවත්සරයට වඩා අති උත්කර්ෂවත් ලෙස මාක්ස්ගේ ද්විශතසංවත්සරය කෙරිණ. මෙය මෙසේ කෙරුනේ පසුගිය වසර 50 තුළ ධනවාදය විශාල වශයෙන් පල්ලම්බැසීම නිසාය. ධනවාදය අද පණ අදින තත්ත්වයට පත්ව ඇති නිසාය. මාක්ස්ගේ දෙසිය වෙනිි උපන්දිනය මේ සා වීශාල වශයෙන් සැමරීමෙන් සංකේතවත් වෙනුයේ ධනවාදය ප්‍රතික්ෂේප කිරීමේ තීරණාත්මක කඩඉමකට මුළු ලෝකයම පැමිණ සිටින බවය. මේ සියලු ප්‍රණාමයන් මාක්ස්ට ලැබීමට හේතුව මාක්ස්ගේ නොකිළිටි විනයගරුක චරිතය, ශත්තිමත් දෙශපාලනික අස්ථීපංජරය, අපරිමිත ධෛර්යය, තියුණු තාර්කික විග්‍රහය සහ ධනවාදය පිළිබඳ පුරෝකතන දශමයට නිවැරදිවීම ආදී ගුණාංගයන් ඔහු තුළ අධිගෘහිතව පැවතීමය. මාක්ස්ගේ වසර 200 යේ උපන් දිනය ලෝ පුරා සමරනුයේ ඔහු විසින් කරන ලද කාර්යයේ උත්කෘෂ්ඨභාවය, ප්‍රතිභාපුර්ණ ගැඔුර සමඟ මුසුව තිබු ශාස්ත්‍රීය තේජවන්තභාවය හේතුකොටගෙනය.

අපි-අපි මාක්ස්ගේ සේවය සැමරුවද කව්රුන් හෝ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ඔහුට ම ලියා දැනගන්නට සලස්වන්නේ නම් මැනැවැයි මට සිතුනි. මා ඔහුට වරක් පෞද්ගලිකවම ලීවේ ඒ නිසාය. මාක්ස්ගේ ද්විශතසංවත්සරය අද සැමරීමට මම එදා ඔහුට ලියා යැවු ලිියුම හොඳටම ප්‍රමාණවත්ය. එය මා මාක්ස්ට පිරිනමන උපන්දින තෑග්ගයි. මාක්ස් පොත් පමණක් නොව තමන්ට එංගල්ස්ගෙන් හෝ පියාගෙන් හෝ ආදරවන්තියවූ ජෙනීගෙන් හෝ කුගල්මාන්ගෙන් හෝ ලැබෙන ලිපි පවා කිහිපවාරයක් කියවන කෙනෙකු බව මා දන්නා නිසා මෙම ලිපිය ද මාක්ස් නැවත කියවන බව මම ඉඳුරා දනිමි.

මාක්ස්ගේ අග්‍ර කෘතියවන ප්‍රාග්ධනයේ වෙළුම් තුනම සිංහල භාෂාවට පරිවර්තනය කළේ ජයතිලක ද සිල්වාය. ඔහුට මගේ (සහ අපේ) සහෝදරත්ව ප්‍රණාමය. එසේම වෙළුම් තුනේම මූඛ්‍ය දේශන තුනම ඔහුගේ ආරාධනයෙන් කළේ මා විසිනි. ඒ සඳහා ද ඔහුට මගේ නිරවශේෂ ප්‍රණාමය. එසේම ඔහුගේම තුන් ඈතුදු ප්‍රාග්ධනය කෘතියේ තුන්වෙනි වෙළුම සිංහලට පරිවර්තනයව දොරට වැඩි දිනයේම 200 වෙනි උපන් දිනයට මෙම ලිපිය මාක්ස්ට ප්‍රදානය කිරීමට ලැබීම මට ලැබුණු අහඔු වාසනාවකි. උත්කෘෂ්ට භාග්‍යයකි. එසේම නිහතමානීව පිළිගන්නා වරප්‍රසාදයකි.

ආදරණිය කාල්,

ඔබ උපන්දින උත්ත්සව කිසිදා නොපැවැත්වූ අතර එවැනි මධ්‍යම පංතික විලම්බීත ඔබ අනුමත නොකරන බව මම නොදන්නවා නොවේ. ඔබගේ උපන්දිනය ඔබ සමරන්නේ ධනවාදය මේ මිහිපිටින් තුරන් වූ දාට බවත් මම දන්නවා. එහෙත් කාල් මනුස්සකමට, අප හදවත් තුළ ඔබට තියෙන ආදරයට, අප වෙනුවෙන් ඔබ කළ කැපකිරීමට, නව ලෝකයක් බිහිකරගැනීම සඳහා අපව බුද්ධියෙන් සන්නද්ධ කිරීමට ඔබ කළ කොන්දේසි විරහිත වෑයමට ගරු කිරීමක් ලෙස මම මෙහෙම පැතුවට අමනාප වෙන්න එපා. අපටත් සමස්ත ලෝකයටත් තවමත් අශුභ වුවද 'ඔබට ශුභ උපන් දිනයක් කාල්..!' Alles Gute Zum Geburtstag Karl! 'Happy Birth Day' Karl!

කාල්,

ඔබගේ භෙෘතිකවාදී දර්ශනය පිළිගන්නා අය පමණක් නොව නොපිළිගන්නා ලක්ෂසංඛ්‍යාත ජනතාවක් ඔබේ දෙසිය වෙනි උපන් දිනය සැමරීම සඳහා ඔබ සාමදානයේ සැතපී සිටින ලන්ඩනයේ හයිගේට්හී සුසාන භූමියට පැමිණ ඔබේ ප්‍රඥාවට, ඔබේ අවංකකමට, ඔබේ අප්‍රතිහත ධෛර්යයට, ඔබේ ඉවසීමට, ඔබේ කරුණාභරිත පීතෘත්වයට, ජෙනීට දැක්වූ අකලංක ආදරයට, එංගල්ස්ගේ උපකාර මධ්‍යයේ වුවද දරිද්‍රතා මාපකයේ ශුන්‍යයට දශමයකට ඉහළින් සිටිමින් අඟහිඟකම් නිසා දරුවන් එකා දෙන්නා මැරි වැටෙද්දී ධනවාදයට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සහ කම්කරුවන් ප්‍රමුඛ ධනවාදයෙන් බැටකන සමස්ථ පීඩිත ජනතාවගේ ජීවිතයේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද අනලස් සහ කොන්දේසි විරහිත සේවයට ප්‍රණාමය පුදති. ඔබ වෙත එවන මෙම ප්‍රශස්ති සටහන ද ඔබේ උපන් දිනය වෙනුවෙනි.

කාල්,

එහෙත් මෙය ලියනුයේ සමස්ත පීඩිත ජනතාවම කබලෙන් ලිපට වැටෙමින් යන තත්ත්වය තුළය. උදාවී ඇති මෙම තත්ත්වය පිළිබඳ ඔබ අතිශයෙන්ම කණගාටුවෙන බව මම ඉඳුරා දනිමි. එහෙත් ඔබේ කණගාටුව තුළ නිහතමානී ආඩම්බරයක් ද මට දැකිය හැක්කේ මෙම අගාධයෙන් මිනිසාට ගොඩයා හැක්කේ ඔබගේ චින්තනය සහ වැඩපිළිවෙල පමණක් මත බව ඔබ එදත් දැන සිටි දන්නා හෙයින් සහ සිදුවන දෑ බලන කල එදා ඔබ කියූ දෑ අදත් සනාථවන හෙයිනි.

කාල්, ඔබේ දැක්ම නිවැරදියි. සමාජය සහ ආර්ථීකය පිළිබඳ විග්‍රහ වලදි මිනිස් වැරදි සිදුවිය හැකිවුවත් පොදුවේ සමාජය පිළිබඳව ඔබේ කියවීමේ හෝ ධනවාදය පිළිබඳ ඔබගේ නිගමනයේ නොසලකා හැරිය හැකි මිස මුලික දෝෂයක් මට නොපෙනේ. ඔබ නිවැරදි යැයි කියන්නේ ඔබ ගේ චින්තනය පසු පස පැමිණි ඔබගේ මධ්‍යම පංතික බුද්ධිමත් අනුගාමිකයින් සහ කම්කරුවන් පමණක් නොවේ. ඔබ ජීවතුන් අතර සිටි කාලයේ පවා ඔබ සමඟ වාද කළ සමහරුන් යටිහිතින් ඔබ නිවැරදි බව තේරුම්ගෙන සිටියෝය. සමහරු ඔබව නොසලකා හැර පසුව ඔබ වෙත ආවෝය. (උදා- ජෝන් පෝල් සාත්, ෂාක් ඩෙරීඩා) අද නම් එම සංඛ්‍යාව එදාට වඩා වැඩි බව ඔබ දන්නවාද?

කාල්,

දේශපාලන න්‍යායවාදියෙක්, ආර්ථීක විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක් ආදී වශයෙන් කේෂ්ත්‍රවලට කඩා ලේබල් අලවා ඔබව වෙන වෙනම සමහරු හඳුන්වා දෙති. එහෙත් මම ඔබව එසේ නොදකිමි. මේ පටබැඳිළි ඔබට ගැලපෙනමුත් ඔබ එකවරම මේ සියල්ලෙහිම අභිභවනයයි. ඉක්මවීමයි. ඇරිස්ටෝටල්, හොබ්ස්, ලොක්, මකියාවෙල්ලි දේශපාලන න්‍යායවේදීන්. ඔබ ඒ ගණයේ නොවේ. ඔබ දේශපාලන විප්ලවකාරයෙක්. ඇඩම් ස්මිිත්, කේන්ස්, ලිප්සේ, ෆ්‍රීඩ්මාන් ආර්ථීක විද්‍යාඥයින්. ඔබ ඔවුන්ගේ පරපුරේ නොවේ. ඔබ ඔවුන්ගේ නිෂේධනයයි. කොම්ට්, ඩුර්කයීම්, වෙබර්, පාසන්ස්, ගිඩන්ස් සමාජ විද්‍යාඥයින් තමයි. නමුත් ඔබ ඒ එකෙකුවත් නොවේ. හෙරඩෝටස්, බකල්, රැට්සල්, හේගල්, බරුවා සහ ටොයින්බි එක්තරා අර්ථයකින් ඉතිහාඥයින් වුවද ඉතිහාසය ගැන ඔබගේ කියැවීම බැලුවිට ඔබව කෙසේවත් ඒ කඳවුරට දැමිය නො හැකිය. ඔවුන් ඉතිහාසය යනු පංති ගැටුම්වල ඉතිහාසයකි යන්න දුටු අය නොවේ.

ඇරත් ඔබ අවධාරණය කළේ මානව ඉතිහාසය තවම ලියැවී නොමැති බවත් ලියැවී ඇත්තේ බලවතාගේ ඉතිහාසය බවත් සැබෑ මානව ඉතිහාසය ලිවීම ආරම්භවෙනුයේම ලෝකය ධනවාදී ග්‍රහණයෙන් මුදවාගත් දාටය යන්නය. ඉතිහාසඥයාගේ පණිවිඩයට අවශ්‍ය පරිදි සිද්ධීන් අභිමත පරිදි රේඛීයව පෙළගැස්වීමකට වඩා (ලංකා ඉතිහාසය කෙටුම්පත් කළ මහානාම හිමියන් සහ පිරිස මෙන්) ඉතිහාසය යනු දහඩියේ, ගැටුමේ සහ අසාධාරණයේ ඉතිහාසය ලෙස පෙන්වීමට ඔබ කළ වෑයමේ තේරුමින් ගත්කළ ඔබ සාම්ප්‍රදායික ඉතිහාඥයෙක් නොවේ. බුදුන්වහන්සේ, මහාවීර, කොන්පියුසියස්, ඇක්වයිනාස්, කාන්ට්, විට්ගන්සටයීන්, රසල්, ඩෙරීඩා ආදීන් එක්තරා අර්ථයකින් දාර්ශනිකයෝ වූ මුත් ඔබ ඒ කිසිවෙකුත් නොදුටූ දෑ දුටූ ඒ කිසිවෙකුත් නොකී දෑ කියූ සුවිශේෂී දාර්ශනිකයෙකු විය. ඔබ ඒ කව්රුන්වත් නොවන බව සංයුක්ත ලෙස ප්‍රකාශ කොට තිබුනේ ෆියුබෑ පිළිබුදව ඔබ ලියූ 11 වෙනි ප්‍රවාදයේය. 'දාර්ශනිකයින් මේ දක්වා කර ඇත්තේ ලෝකය විස්තර කිරීමයි. කළයුත්තේ ලෝකය වෙනස් කිරීමයි'. (ඔබගේ ඉහත අනුස්මරණ ඵලකයේ ද මෙම ප්‍රවාදය කොටා ඇත). ඔබ ලියූ දෑ මුල සිට අග දක්වා ගැඔුරින් කියවා මෙම ප්‍රවාදය ද තීක්ෂණව කියවන්නෙකුට ඔබ අනෙක් දාර්ශනිකයින්ගෙන් සාකල්‍යයෙන්ම වෙනස් බව තේරුම් යනු ඇත.

දර්ශනය යනු හුදු චින්තනාභ්‍යාසයක්ම නොව සමස්ත මානවයාගේ යහපත සඳහා මානවයා විසින්ම කරන ලබන 'සදාචාර දේශපාලන සුභාවිතයක්' (moral political praxis) බව පෙන්වා දුන්නේ ඔබ පමණි. දර්ශනය යනු ඓතිහාසික, ආර්ථීිීක, දේශපාලනික සහ සමාජයීය යන විෂයයන් හතරේ ප්‍රබුද්ධ සංකලනයයි. කාල්, මගේ පුදුමය නම් මේ කේෂ්ත්‍ර හතර එක පුද්ගලයෙකු තුළ නොසෙල්වන ලෙසත් සංස්ථීතික ලෙසත් සංශ්ලේෂණය කර ගත්තේ කෙසේද යන්නයි. ප්ලේටෝ චින්තකයෙකු වුවද ඔහු ප්‍රභූ පංති සංරක්ෂකයෙකු විය. ඇඩම් ස්මිත් ආර්ථීක විද්‍යාඥයෙකු වුවද මානවවාදියෙකු නොවීය. ලියනාඩෝ ඩවින්චි කුසලතා පූර්ණ මිනිසෙකු වුවද ඔහු විප්ලවවාදියෙකු නොවීය. එහෙත් ඔබ ඒ සියල්ලමය. මට පුදුමය එයය.

කාල්,

ඇත්තෙන්ම 20වෙනි ශතවර්ෂයේ 6 සහ 7 දශකවල ලෝකයෙන් 1/2 ක පමණ දේශපාලනය ඔබේ චින්තනය පිළිගෙන තිබුනා. එහෙත් ස්ටැලින්වාදය, ජර්මන් ෆැසිස්ට්වාදය, ධනවාදී ආර්ථීක යාන්ත්‍රණයේ ෆැන්ටසි උත්තේජනයන්ගෙන් බිහිවූ නව පාරිභෝජන සංස්කෘතිය නිසාවෙන් ධනවාදය ස්ථම්භනයවීමෙන් ඔබගේ දර්ශනය තාවකාලික පසුබැස්මක් ලැබුවේයැයි පෙනුනද සැබෑ ලෙස නම් සිදුවූයේ සහ වෙනුයේ ධනවාදයේ දෛනික කඩාවැටීමයි. එසේ කඩාවැටෙන වාරයක් වාරයක් පාසා අභීත ලෙස නැඟීසිටිනුයේ ඔබයි. ඔබගේ කියවිමේ සහ අනාවැකීන්වල නිරවද්‍යතාවයයි. 2008-2010 ධනවාදී ලෝක අර්බුද-සුනාමිය නිසා කිසිවක් කරකියාගත නොහැකිවූ ඇන්ජිලා මර්කල්, සාකෝසී, ඩේවිඩ් කැමරන්, ඔබාමා ඇතුළු ධනවාදී බලවතුන් උන්මාදයෙන් මෙන් ගැලවීම සඳහා ඔබගේ ප්‍රාග්ධනයට ද එබී බැලීය. බල්ලාගේ තුවාලය ඌ විසින්ම ලෙව කා සනීප කරගන්නවා මෙන් ධනවාදය විසින් බංකොලොත්වු බැංකු සහ කොම්පැණි සියල්ල ඇප දී (bailing out) බේරා ගනු ලැබීය. නමුත් මට මතකයි මම කොහේ හෝ කියෙව්වා ඔබ 1862 තරම් ඈතකදී ධනවාදය නිසා කඩාවැටෙන බැංකු ඒ ඒ රටවල රජයන් විසින් ඇපදී නිදහස් කරගැනීම කිසිසේත් අනුමත නෙකළ බව. මට නම් මේ පුරෝකථන හිතාගන්නවත් බැහැ.

කාල්,

අද තත්වය 2008 ට වඩා සෑම අතින්ම බරපතළයි කාල්. ඔබ පුරෝකථනය කළ ආකාරයටම අද ධනවාදය ගොඩ ඒමට බැරි ලෙස ආගාධයටම වැටිල. ගින්දර අඩුවී වතුර රත්වීම ප්‍රමාද වනවිට කකුළුවො බාල් නැටුවට, ධනවාදයේ අවසානය වැඩි ඈතක නොවන බවට සොහොන් ලකුණු සෑම තැනින්ම මතුවෙනවා. හිට්ලර්, මුසෝලීනී සහ ෆ්‍රැන්කෝ වගේ ජනතාවගේ දුකින් පරපීඩන සතුටක් ඔබ නොලබන බව මම දන්නා මුත් ධනවාදයේ අර්බුදය තීව්‍රවීම ගැන සහ ඔබේ කියවීමේ නිගමන සනාථවීම පිළිබඳ ඔබට අහිංසක සතුටක් ඇතැයි මට සිතෙනුයේ ධනවාදයේ අවසානය ඔබේ අනාවැකියකට වඩා ඔබේ පැතුමව තිබූ බව ඔබේ ලිපි ලේඛනවලින් මට අනන්තව පැහැදිලිවී ඇති නිසාය. 'ධනවාදය ලෝකයට මුදාහැරඇත්තේ අරාජකත්වය පමණයි' කියමින් Why Socialism නැමැති පොත් පිංචෙන් අයින්ස්ටයින් මීට වසර 70 කට පෙර ඔබගේ දැක්ම සනාථ කිරීමෙන් ඔබ සතුටු වන්නට ඇතැයි සිතමි.

අයින්ස්ටයින්, 1949 දුටු ධනවාදයේ අරාජකත්වයට වඩා අද අරාජකත්වයත් අවුලෙන් අවුලට ගිහිං කාල්. නවසිය තිස් ගණන්වල මහා ආර්ථීක අවපාතයේ සිට අද වෙන විට කී වතාවක් නම් ධනවාදය කඩාවැටුනද? ඒත් මොකක් හෝ කරල නැවත නැගිිටිනවා. ආයිත් කඩාවැටෙනවා. වෙනත් තැනකින් පුපුරනවා. ඒක පාස්සා ගන්නවා. ඔහොම තමයි පසුගිය වසර 133 ම ගෙවුනෙ. ඔබ එදා කීවානෙ 'කොම්පැණිකාරයෝ නිපදවනවා, නිපදවනවා, නිපදවනවා. අන්තිමේදී නිපදවන බඩුගන්න කෙනෙක් නැහැ' කියල. අද ඇතිවෙලා තියෙන්නෙ ඒ තත්වය තමය කාල්. වෙළඳපොළවල් නැහැ. නව බැඳුම් නැහැ. තණ්හාව මිස නිෂ්පාදනයන්ට සදාචාරයක් නැහැ. 2008 නිවාස වෙළඳපොළ වැටුනෙ මේ නිසා. අසමානතාවය ආදායම හීන කළා. එය ණය ගැනිමට පෙළෙඔව්වා. මේ නිසා සියල්ල කඩාවැටුනා. දැනුත් එහෙමයි කාල්. හැබැයි උත්ප්‍රාසය නම් ධනවාදීන්ම ධනවාදයේ ගෙළ සිඳීමයි. පැනමා පත්‍රිකා කාන්දුව පෙන්නුම් කරන්නේ ධනවාදයේ දිවි නසා ගැනීමනේ. ඔබ එයත් එදා කීවනේ. ධනවාදයේ මූලික කොන්දේසිය මුදල් ආයෝජනයට යෙදීමයි. මුදල් ප්‍රාග්ධනයට හැරවීමයිි. ඔබ ප්‍රාග්ධනයෙහි වෙළුම 1. 11 කොටසෙහි පරි. 4න් පැහැදිලි කළ පරිදි මෙම ක්‍රියාවලිය එනම්, 'භාණ්ඩ-මුදල්-භාණ්ඩ (C-M-C)' සහ 'මුදල්-භාණ්ඩ-මුදල් (M-C-M)' ප්‍රාග්ධන සංසරණයේ සාමාන්‍ය සුත්‍රයයි. අද වෙන්නෙ කපටිකමින් සහ හොරකමින් හොයලා ආයා්ජනයට නොදා බදු කෙම්බිම් වල (tax heavens) හැංඟීමයි. මෙය ධනවාදයේ මුලික ගතික නියාමයට පවා පිටුපෑමක්. උල්ලංඝණය කිරීමක්. මං නම් දන්නෙ නැහැ කාල් ඔබ මේවා කොහොම කිව්ව්ද කියල.


Desmon Mallikarachchi speaks at Das Kapital (Sinhala) Book Launch 11.05.2018

අනික් අතට කාල් ධනවාදයේ පිපිරීම පෙන්වූ තවත් සිද්ධියක් වුනා. වසර 43 කට පසු යුරෝපා සංගමයෙන්, බ්‍රිතාන්‍යය ඉවත්විය යුතුය යන්න ජනතාව තීරණය කළා. එදා යුරෝපා සංගමය අටවා ගත්තේත් ආර්ථීක අර්බුදයෙන් නිදහස්වීමට. අද අයින් වෙන්නෙත් ආර්ථීක කරුණු යහපත් කරගැනීමට සහ සූරාකෑම පිළිවෙලක් ඇතිව කිරීමට. බ්‍රිතාන්‍යය යුරෝපා සංඟමයේ සිටියත් එකයි ඉවත් වුනත් එකයි. ධනවාදයේ කඩාවැටීම නවත්වන්න බැහැ.

කාල්,

ඔබ සිතූ සහ පැතූ පරිදිම ධනවාදයට උරුම කඩාවැටීම දැන් ශීඝ්‍රගාමී වෙලා. ධනවාදයේ යාන්ත්‍රණයන් වන සිල්ලර වෙළඳපොළ, තොග වෙළඳපොළ, ණය වෙළඳපොළ, බැංකු ක්‍රමය, මුල්‍ය පද්ධති ආදී සියල්ල කඩාවැටෙමින් යනවා. 1930 ස් ගණන්වල මහා ආර්ථීක අවපාතයෙන් පසු ධනවාදයේ නරකම කාලය අද ගෙවෙන බවට ධනවාදයෙන්ම හැදුණු ධනකුවෙරයින් වන ජෝර්ජ් සොරොස් වැන්නන්, 'ලෝක බැංකුව' (WB) සහ ධනවාදයේ භාරකරුවන 'ජාත්‍යන්තර මුල්‍ය අරමුදල' (IMF) පවා පාපොච්චාරණය කරනවා.

කාල්,

ධනවාදයේ ආරක්ෂක පුවත්පතක් වන The Financial Times ධනවාදයේ ඉරණම වචන තුනකින් මෑතදී ලීවා. 'ධනවාදය පටලවගෙන ඉවරයි' (Capitalism is in convolution). කේන්ද්‍රය දුර්වලයි. සියල්ල කඩා වැටෙනවා. සියල්ල දියවෙනවා. මට මතකයි ඔබත් 'කොමියුනිස්ට් ප්‍රකාශනයේ' තැනක අවධාරණය කළා. 'සියළුම ඝණීකාත දේ දියවී වාතයට මුසුවන බව'. ඒ කියන්නෙ ඔබ එදා කියු දෑ බොහොමයක් නිවැරදියි කාල්. ඔබ හැරුණුකොට අනෙක් කිසිදු සමාජ විිශ්ලේෂකයෙකුට බැරිවුනා සිදුවන්නේ කුමක්ද සහ කළයුත්තේ කුමක්ද යන්න කියා දෙන්න. ඔබ ඒක කළා. අකුරටම කළා. නිවැරදිවම කළා. එහෙත් ජනතාව ධනවාදී මිරිඟුව පස්සෙ දුවනවා කාල්. නමුත් මේ දිවිල්ලට අවසානයකුත් දිවීමට හතියකුත් කියෙන්න එපායැ කාල්. පද්ධතිය කඩාවැටෙන බව හදපු අයම කියනවා නම් කාල් ඒ පසුපස දුවන්නන් ඒකට යටවෙන එත අහන්න ඔනෑ නැහැ නෙ. අපේ භාෂාවෙන් කියනවා නම් කාල් අද සියල්ල 'කොට උඩ'. ඒ කියන්නෙ ධනවාදය මැරි මැරී ජීවත්වෙනවා නැත්නම් මැරෙනකම් ජීවත්වෙනවා. ඔබගේ අනුගාමිිකයින් හැටිියට අප අති ප්‍රමෝදයකින් යුතුව බලාසිටිනුයේ එහි සිදුවීමට යන අනාගත මරණය නොව ක්ෂණික මරණයයි.

හයිගේට් සුසානභූමියේ ඔබේ අනුස්මරණ ථලකයේ උඩ වැකිය 'ලෝකයේ කම්කරුවනි එක්වව්' යන්නයි. කම්කරුවන් ධනවාදයේ මිනීවල හාරන්නන් ලෙස ඔබ හඳුනා ගත්තා. එමනිසා කම්කරු අරගල ගැනත් ඔබට කියන්න ඕනෑ. ඔබ සිටි කාලයේ වගේම තමයි කාල් කම්කරු අරගල වලින් නම් අදත් අඩුවක් නැහැ. හැමතැනම අරගල. හැමතැනම අර්බුද. පංචමහාද්වීපයේ කොහේ හෝ රටක දහස්ගණනින් රැකියාවලින් එළියට විසි නොවී රැයක් පහන් වෙන්නෙ නැහැ. 2008 සිට මේ වනවිට මිලියන ගණනකට රැකියා නැත්තටම නැතිවෙලා. ඔබත් සක්‍රීයව මැදිහත්වූ පැය 8 වැඩමුරය 6ට සහ 4ට බලේන්ම සංකා්චනය කරලා. සමහරු වෙඩිතියාගත්තා. සමහරු වස පානය කළා. සේවක ප්‍රජාව රැකියාවලින් නො පන්නා ධනවාදය ගෙනයන්න බැරි බව ඔබ එදා කීවෙ කෑදර ධනවාදීන් ශ්‍රම සුරාකෑමෙන් පමණක් නොසෑහෙන නිසා සහ ඔවුන්ගේ තණ්හාවට සීමා මායිම් නැතිනිසා. ඒවා කිරිගහට ඇන්න වගේ හරි කාල්. අද අර්බුදය ඉහ වහා ගිහිං. මේවාට එරෙහිව උද්ඝෝෂණ, සටන්, වැඩ වර්ජන සහ පිකටිං තිබ්බට ඒවා බෙහොමයක් කෙළවර වෙන්නෙ අයිතිවාසිකම් දිනාගෙන නොවෙයි. පාලකයින් ඉදිරියේ දණින් වැටිල. පාවාදීලා. අවබෝධතා ගිවිසුම් අත්සන් කරල. විශේෂයෙන් ශ්‍රී ලංකාවේත් ආසියාවේත් වැඩ වර්ජන බොහෝවිට අවසාන වෙන්නෙ ඉල්ලීම් දිනාගන්නේ නැතුව. වර්ජන කරන්න ඕනෑ කම්කරුවො මැද තියාගෙන ඔවුන්ගේ ශක්තියෙන් මිස ඔවුන් පරිපථයට සේන්දු කරල නොවෙයි කියල ඔබ කියන බව මම දන්නවා. නමුත්, වෙන්නෙ නම් ඉතිං ඒක තමයි.

අවාසනාවකට මෙහෙම වුනත් කාල් ලෝකය පුරාම කම්කරුවෝ නොනවතින අරගලයකත් ඉන්නවා. පක්ෂ පදනම් නැති සැබෑ කම්කරු සමිති ලෝ පුරා ශක්තිමත්. ඒක ඔබට ශුභ ආරංචියක්. එහෙම නේද කාල්? සටන් කරල මිසක් හාම්පුතුන් සහ පාලක පංතිය රිදී බන්දේසියක තියල අයිතිවාසිකම් සහ වරප්‍රසාද ප්‍රදනය නොකරන බව ඔබ කී වාරයක් නම් කම්කරු පංතියට කිව්වද? කොමියුස්ට් ප්‍රකාශනයේ ලිව්වද? ඔබේ මරණයෙන් හරියටම වසරකට පසු 1884 පැය අටේ දෛනික වැඩමුරය දිනාගැනීමේ සිට අද වනවිට ධනපති පංතියෙන් උදුරාගත් අයිතිවාසිකම් රාශියක් තියෙනවා කාල්. ඔබේ අමන්දානන්දනයට කීපයක් කියන්නද? ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට සමාන වැටුප්, අතිකාල දීමනා, වේතන සහිත වාර්ෂික නිවාඩු, ගර්භණී නිවාඩු, සෞඛ්‍ය පහසුකම් සහ දීමනා, වැඩබිමේ ආරක්ෂණය, සමාජ සේවා කප්පාදු නවතා ගැනීම්, අවම මුලික පඩියක් ස්ථීර කරගැනීම, වෘත්තීය සමිති අයිතිවාසිකම් රැකගැනීම් ආදිය. අපේ ලංකාවේත් පසුගිය දශක කිහිපයේ දී දිනාගත් අයිතීන් පමණක් නොව කම්කරුවන්ගේ ගෙල සිඳින 'ඩ්‍රැකෝනියානු' පණත් පවා ආපහු හැරවු අවස්ථා තියෙනවා. එවන් ඓතිහාසික ජයග්‍රහණයක් තමයි කාල් අපේ ලංකාවේ කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනත හකුලා ගැනීමට සැලැස්වීම. අපේ වෘත්තීය සමිති ඒකෙන් නම් එදා තිබූ රජය දණගැස්සුවා.

ධනවාදය නිසා ලෝකයට සිදුව ඇති වින්නැහිය ගැන ඔබ හිටියනම් වෙළුම් දහයක් විතර ලියයි. රට රටවල ප්‍රතිශත දක්වලා ඔබව වෙහෙස කරන්න මම කැමති නැහැ. එහෙත් දත්ත යථාර්ථයට දොරටුව බව ප්‍රාග්ධනය කෘතියෙන් පෙන්වා දුන්නේ ද ඔබමයි. ලෝක වැඩකරන ජනතාවගෙන් මිලියන 375 ක් දිනකට ඩොලර් 1.25ක වැටුපක ඉන්නෙ. මිලියන 839 ක් තම ශ්‍රමය ලබාදෙන්නෙ ඩොලර් 2ක වැටුපට. පුරසාරම් දොඩන ධනවාදය එදාට වඩා අද අති අමානුෂිකයි. Habitat [2015] දත්ත වලට අනුව පවුල් මිලියන සියයකට ඉන්න තැනක් නැහැ. බිලියන දෙකකට පමණ ඇත්තේ නිවාස නොව කූඩාරම්. ආහාර හිඟකම සහ සෞඛ්‍ය ප්‍රශ්න මිනිසුනට ඔරොත්තු නොදෙන තත්වයකට ඇවිත්. එක පැත්තකින් රැකියා වලින් ලක්ෂ ගණන් දොට්ට විසිවෙනවා. අනික් පැත්තෙන් විරැකියාව ප්‍රසාරණය වෙනවා. 2008-9 මුල්‍ය කඩාවැටීමෙන් පසු තරුණ විරැකියාව 14% කින් ඉහළ ගියා. මැදපෙරදිග තරුණ විරැකියාව 27%. මැදපෙරදිග කලබල මේ නිසා ඇති වුවද මතුවෙන්නේ ෂියා-සුන්නි ආගමික-නිකායන්ගේ සටන් ලෙස: ශ්‍රී ලංකාවේ ඇති-නැති පරතරය ලෙස: සිංහල-දෙමළ ජනවාර්ගික කෝලහාල ලෙස: මියන්මාරේ බෞද්ධ-මුස්ළිම් රොහින්ගියා ගැටුම් ලෙස.

කාල්,

එදා ධනවාදය දිහා බලා ඔබ වරක් නොවෙය් කිහිපවාරයක් ම කළ අනාවැකියක් තමයි තරඟකාරීබව නිසා කුඩා සමාගම් සහ මධ්‍යම ප්‍රාග්ධනධාරීන් අනාගතයේදී බහු ජාතික, බහු ආගමික, බහු ව්‍යාපාරීක ආදී වශයෙන් එකතුවි මෙගා සමාගම් සාදන බව. ඔබේ ඒ පුරෝකථනය නිවැරදියි. අද එය හඳුන්වන්නෙ 'ගෝලීය ඒකාබද්ධ ධනවාදය' [global cooperate capitalism] ලෙස. ධනවාදය කිහිපදෙනෙකු අත රැඳී වර්ධනය වෙලා අද වඩාත් සීමිත අතළොස්සකට සාන්ද්‍රණය වෙලා. මෙම ක්‍රියාවලියේ නියාමය ඔබ හැඳින්වූයේ The Law of Concentration & Centralization එනම් 'ප්‍රාග්ධනය මධ්‍යගත සහ රාශීභූතවිමේ න්‍යාය' ලෙසය. නමුත් ඔබ ඒ සමඟම කීවා මේ හේතුව නිසා ධනවාදයට බේරෙන්න පුළුවන්කමක් නම් නොලැබෙන බව. නිෂ්පාදන බලවේග සහ සම්බන්ධතාවල හැප්පීම, ගැටීම, පරස්පරය තවත් පුළුල් වීම මෙයට හේතුව බව ඔබ පෙන්වා දුන්නා. 'ගෝලීය ඒකාබද්ධ ධනවාදය' දිනෙන් දින පුපුරා යාමෙන් පේන්නෙ ඔබ එතනත් හරි කියලයි. එදා ධනවාදයට රුකුලක් ලැබුනෙ තාක්ෂණයෙන්. අද ධනවාදයේ භාරකරුවො වෙලා තියෙන්නෙ සාම්ප්‍රදායික ධනපතීන් නොවෙයි. නවීන තාක්ෂණික ධනකුවෙරයින්. බිල් ගේට්ස් [Microsoft], ස්ටීව් ජොබ්ස් [Apple], ලැරී පේජ් [Google] මාර්ක් සකබර්ග් [Facebook]. මොවුන් තමයි ධනවාදයෙන් උපන් ප්‍ර-ප්‍රකෝටිපති දැවැන්තයො. අද පරම්පරාවේ 'රෝල් මොඩල්' මේ අයයි. Plutocrats: The rise of the new global super-rich and the fall of everyone else යන ශීර්ෂයෙන් මොවුන් ගැන පොතක් Chrytia Freeland විස්න් 2012දී ලියලා තියෙනවා. මෙම කෘතිය ඔබ කියු නියාමයේ අභ්‍යන්තර ක්‍රියාවලිය කරුණු සහිතව පෙන්වාදෙනවා. මේ නිසයි කාල් ඔබ නිවැරදි බව මමත් මම වැනි තවත් බොහෝ අයත් පුන පුනා කියන්නෙ සහ හිතන්නෙ.

කාල්,

ධනවාදය අභාවයට යන ගමන් තම පැවැත්ම සහතික කරගැනීමට ඔබ කියු දේවල් බොහොමයක් අද එය පාව්ච්චි කරනවා. ධනවාදයේ අර්බුදය පමණක් නොව ධනවාදීන් විසින් අර්බුදයෙන් ගොඩයාමට ගන්නා විකල්ප පියවරයන් ගැන ද ඔබ කියා තිබීම ඇත්තමට පුදුමයි කාල්.

1. සම්භාව්‍ය ආර්ථීක න්‍යාය විසින් තරඟකාරීත්වය සාමාන්‍ය දෙයක් ලෙසත් ස්වයංපෝෂි ලෙසත් තේරුම් කර දී තිබූ වෙලාවක 1860 ගණන්වල ඔබ තර්ක කළේ විශාල ඒකාධිකාරී සමාගම් හරහා වෙළඳපොළ- බලය මධ්‍යගත වන බවය. ඔබ මෙය අවධාරණය කරනවිට එදා සිටි ආර්ථීක 'ඔස්තාද්ලා'මේ මොන පිස්සෙක්දැයි අහන්නට ඇත. නමුත් අද ඔබේ කියැවීම සත්‍යය වී ඇත. කුඩා ව්‍යාපාර වැසි ගොස් ඒ වෙළඳාම Nike, Coca-Cola, Walmart ආදී බහු ජාතික සමාගම් සහ ව්‍යාපාර-ජාලයන් විසින් ඩැහැගෙන අහවරය. කුඩා බැංකු පමණක් නොව Morgan Chase වැනි මහා බැකු ද, ලෝපුරා කුඩා ගොවිපලවල් Archer Daniels, Midland සහ Nestle වැනි බහු-ජාතික සමාගම් විසින් විසුරුවා හැර අවසානය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගැනත් ඔබ ලියා ඇති නිසා අප ද මේ ව්‍යසනයට ලක්වී අවසාන බව දැනුම්දෙමි. ලංකාවේත් Food City සුපිරි වෙළඳ සැල් ජාලය දිවයිනේ සතර දිග් භාගයේම කුඩා කඩ බිල්ලට ගනිමින් සමස්ත දිවයිනම තම වෙළඳ දඬුඅඬුවට හසුකරගෙන ඇත. අනෙක් රටවල් මෙන් ශ්‍රී ලංකාවද ධනවාදී මහාවිශ්වයේ (macrocosm) අණුකවිශ්වය (microcosm) වී අවසානය.

2. ඔබ එදා අධිනිෂ්පාදනය (over-production) ගැන මොනතරම් කතාකළාද? අධි-නිෂ්පාදනය නිසා සමස්ථ පෘථීවි ග්‍රහවස්තුවම පීරා වෙළඳපොළවල් සෙවීමට ධනවාදයට සිදුවෙන බව ඔබ කී තැනක ලීවාද? සමස්ත ගෝලයේ මතුපිට පීරමින් භාණ්ඩ සඳහා වෙළඳපොලක් (සහ ලාභ ශ්‍රම හමුදාවක්) නිරන්තරයෙන් සොයායාමේ ධනපතියාගේ අවශ්‍යතාවය -'සෑමතැනකම ස්ථාපිතවීමටත් මුල්බැස ගැනීමටත් ඔවුන්ගේ තණ්හාව ඔවුන්ට බළකරති'- ආදී වශයෙන් ඔබ එදා ප්‍රාග්ධනයෙන් පෙන්වාදුන්නෙ මේකනෙ? අද සිදුවන ගෝලීයකරණයනෙ මේ. ඔබ ඒ ගැන ලීවේ 1848 දී නෙ. ඔබ ගැන මා ආඩම්බරවනුයේ 2016 දී ධනවාදී ලෝකය යන දිශාව ඔබ එදා දැකීම ගැන නොවේ. එසේ සිදුවන්නේ කෙසේද යන්න ඔබ විග්‍රහ කිරීම ගැනත් නොවේ. මම පුදුම වනුයේ ඔබ එය නිවැරදිව කිරීම නිසාය. ධනවාදයේ දෛලෙක්තිය ඔබ තීක්ෂණව දුටු නිසාය. ඔබ නිවැරදි බව මහාචාර්ය ටෙරී ඊගල්ටන් විසින් 'Why Marx was Right?' පොතින් පෙන්වාදුන්නේ මේ මෑතදීය.

3. ඔබේ යුගයේ කම්කරුවන් මුදාහැරියෙ ශාරිීරික ශ්‍රමයයි. අද ශ්‍රමයත් පරිණාමය වෙලා. යාන්ත්‍රික වෙලා. ශ්‍රමය ඩිජිටල් වෙලා. ඇත්තටම ඩිජිටල් කරල. ඩිජිටල් නිසාම එම ශ්‍රමය ආකර්ෂණීීය වෙලා. ශාරීිරික ශ්‍රමයෙන් වෙනස් ලෙස එය අර්ථකථනය වෙලා. උත්තරාරෝපිතවෙලා (superimposed). එදා ශරීරය හරහා ශ්‍රමය සුරාකෑවා. අද ඩිජිටල් බුද්ධිය හරහා සුරාකනවා. ඇ.එ.ජනපදයේ සිලිකන් වැලි තමයි ඩිජිටල් තාක්ෂණය හරහා ශ්‍රම සුරාකන අඩවි තලාව. එවන් අඩවි දැන් සෑම තැනකම ඉදිවෙලා. ඒ නිසා ඔබ හරි. ධනපතීන් මොන උප්පරවැට්ටි හෝ යොදා මින්ස් ශ්‍රමය සූරාකන බව එදා කීවා. එදා වගේම තමයි කාල් අදත්. ඩිජිටල් වුවත් 'මරා වැඩගැනීම අඩුකරල නැහැ. (උදා- Amazon, Apple) එහෙත් ඩිජිටල් ශ්‍රමධාරීන් හිතන්නෙ ඔවුන් දහඩිය හෙලන ශ්‍රමධාරිතයින්ගෙන් වෙනස් කියල. ඔවුන් කම්කරුවො නොවෙයි කියල. ඔබ පැහැදිලිව කම්කරුවාව නිර්වචනය කරමින් ලීවා 'වේතනධාරීයෙක් නම් ඔහු හෝ ඇය කම්කරුවෙක්' බව. ඩිජිටල් කම්කරු 'මහත්වරු' එහෙම හිතන්න කැමති නැහැ. ධනවාදීන්ගේ සිලිකන් තලාව වැනි 'ඩිජිටල්' වැඩබිම් 'ඩොට්, බබල්' ආයොජනයන් දක්වා අද වර්ධනය වෙලා. මෙය ඔබ හඳුන්වා දුන් 'මිථ්‍යා ප්‍රාග්ධනය' (fictitious capita) නොවේනම් වෙන කුමක්ද?

4. භාණ්ඩ නිෂ්පාදනය සමඟ භාණ්ඩ අර්චන කාමයකුත් (Commodity Fetishism) පාරිභෝජකයා තුළ ධනවාදය ඇතිකරන බව ඔබ එදා දුටුවා. එහි උච්ච රූපය අද ධනවාදය තුළ පේනවා. එයටම කියා මනුස්සකමක් නැති, භාවිත නොව ශෝභන නිමාවෙන් යුතුව නිපැදවී වාර්ෂිකව වෙළඳ පොළට එන සියුම් විචිත්‍ර භාණ්ඩවලට පාරිභෝජකයින් යට වන හැටි සහ ඒ පසුපස දුවන උන්මාදය අර්චන කාමය හැර වෙන කුමක්ද? iPhone s5 වැඩිමිළකට, හැකිනම් පළමු ගැනුම්කරුවන් 100 ට ඇතුළ් වෙමින්, තමන් සතුකර ගැනීමට දහදුක් විඳිනුයේiPhone s5ට හෝ iPhone s4ට වඩා iPhone s5 හොඳ නිසා නොව භාණ්ඩ අර්චන කාමය නිසායි. පරිභෝජන චර්යාව තුළ භාණ්ඩ හඔායාම් මීට පෙරත් තිබූමුත් ධනවාදය මෙන් පාරිභෝගිකයා තුළ ආශාව පැළකොට ඔහුට හෝ ඇයට හතිවැටෙනකම් භාණ්ඩය පසුපස දිවීම පුරුදුකළේ ධනවාදයයි.

කාල්,

ඔබගේ චින්තනය අද්වීතීයවනුයේ ධනවාදයේ වැටීම පුරෝකථනය කිරීම නිසාම නොවේ. පහත ප්‍රතිභාවන් ද නිසාය.

1. 'යථාර්ථමය වශයෙන් ගත්කල ලෝකය භෞතික මිස අධ්‍යාත්මික නොවේ'.
2. 'සමාජ ඉතිහාසය යනු පංති අරගලයින්ගේ ඉතිහාසයයි.'
3. 'ජනතාව සමාජ තීරණයන්ට එළෙඔනුයේ ඔවුන්ගේ ආර්ථීක වුවමනා එපාකම්වලට අනුවය. ඒ ඒ සමාජවල ලක්ෂණ එපරිදි හැඩගස්වනුයේ ඒ ඒ සමාජයන්හි ආර්ථීක ව්‍යුහයන්ය.'
4. 'දාර්ශනිකයින් මේ දක්වා කර ඇත්තේ ලෝකය ව්ස්තර කිරීමකි. කළයුත්තේ වෙනස් කිරීමයි.'
5. 'ආගම යනු ජනතාවගේ මත්ද්‍රව්‍යයයි. ජනතාව රැවටිල්ලයි.'


ඔබ ඉහත ලියූ සෑම වාක්‍යයන්ම වැදගත්. ඒවා කීවේ සහ ලීවේ මිනිසා වෙනුවෙන්. අප වෙනුවෙන්. කෙසේ වෙතත් ඔබ ලියු වාක්‍යයන් සියල්ලම වැදගත් මුත් මා සිත්ගත් අතිශය දාර්ශනික හරයකින් යුත් වාක්‍යයක් උද්ධෘත කිරීමෙන් ඔබට කරනු ලබන මෙම ප්‍රණාමය අවසන් කරන්න හිතෙනවා. ඔබ මෙය ලීවේ 17 දී. නාඔර වයසේදී. මට පුදුමය ඒකයි. ඒත් එක අතකින් ඒක මට පුදුමයක් නොවෙයි. ඔබ පියාට ලියූ ඔය වයසේදීම ලියූ ලියුම බැලුවම. ඇරත් ඔබ ආචාර්ය උපාධිය දිනාගත්තේ වයස 23දී. ඉතින් මොන කතාද? මේ තුනම (හැබැයි ආචාර්ය උපාධියේ නම් සාරාංශය) මම සිංහල භාෂාවට පරිවර්තනය කළ බව කාල් දන්නෙ නැතුව ඇති.

'මිනිසාගේ ස්වභාවය සකස් වී ඇති ආකාරය සලකන කල ඔහුගේ පරිපූර්ණත්වය කරා ඔහුට යා හැක්කේ ඒ සඳහා ඔහු කටයුතු කරන්නේ නම් පමණි. තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමියෙකුට සමහරවිට හොඳ උගතෙකු හෝ සිල්වත් තාපසයෙකු හෝ හොඳ කවියෙකු විය හැකි මුත් ඔහුට කිසිදිනක ශ්‍රේෂ්ඨ මිනිසෙකු නම් විය නොහැකිය.'
(-Reflections of a Youth on the Choice of a Vocation)

ඔබ ශ්‍රේෂ්ඨයෙකුව මෙවන් ප්‍රණාමවලින් පුද ලබන්නේම වයස 17 දී ලියු මෙම වාක්‍යය තුළ ඔබ මිය යන තෙක්ම ජීවත්වූ හෙයිනි. කෝටි ප්‍රකෝටි ජනතා හදවත් තුළ ඔබ අදත් ජීවත්වෙනුයේ එහෙයිනි. ඔබ කියන මේ ශ්‍රේෂ්ඨ මිනිසා වනාහී ධනවාදය පෙරළා දැමීමට වෙහෙසෙන සහ ඒ අරමුණෙහි සාක්ෂාත්කරණය වෙනුවෙන් තම ජිවිතය කැපකරන මිනිසාය. ඒ ශ්‍රේෂ්ඨ මිනිසා සඳහා උදාරතම සහ විශිෂ්ටතම උදාහරණය ඔබම මිස අන් කවරෙකුවත් නොවේ. කාල්, ඔබ එම විප්ලවකාරී පෞරුෂයේ ප්‍රතිමුර්තියයි. ප්‍රාණේන්ද්‍රියයි.

දැනට ආයුබෝවන්! (Auf Wiedersehen!)

මෙයට,
හිතවත්,
ඩෙස්මන්ඩ්

ප.ලි.

ඔබගේ දර්ශනය මත පිහිටා කරන ලද සටන් වලින් කම්කරුවන් දිවිපුදා දිනාගත් පැය අටේ වැඩ මුරයේ වටිනාකමට කෙළෙහි ගුණය පුද කරන්නන් සහ ඔබගේ විකල්පයට බුද්ධිමය සහ භාවමය වශයෙන් ආදරය කරන්නන් ලක්ෂ ගණනින් ඔබගේ 200 වෙනි උපන්දිනය මුළුලෝකය පුරා ගජරාමෙට සැමරුවා. මම දන්නවා ඔබ ඒ ගැන සතුටු නොවන බව. ඒ කියන්නෙ සැමරුම් සහ සංදර්ශන ඔබට වහ කදුරු බව. ඔබව සතුටු කරන්න පූථවන් ඔබ පැතූ විදියටම 'ධනවාදය ඉවරයි' යන පණිවිඩය ඔබ කණ වැකුණු විට විතරයි. ඒකත් මම දන්නවා. තව පොඩ්ඩ්ක් ඉවසමු කාල්. මම දන්නවා මම මෙහෙම කිව්වම ඔබේ හිත ඇතුලේ මගෙන් අහන්න බැරුව නළියන ප්‍රශ්නය. තව කොච්චර කල් ඉවසන්නද ඩෙස්මන්ඩ්?

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගෙන් තවත් වියමන්
වෙසෙස්
දේශපාලන ඥාති සංග්‍රහය හෝ අනුග්‍රහය සදාචාරාත්මකද?
වෙසෙස්
ඩී.එච්.ලෝරන්ස් ගේ "චැටර්ලි (අනියම්) භාර්යාව"
වෙසෙස්
Young Marx as a Lyrical Poet
වෙසෙස්
ගඩාෆි ඉවතට, අධිරාජ්‍යවාදීන් ද ලිබියාවෙන් ඉවතට| Gaddafi Out, Imperialists too Out from Libya
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook