Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
වනවාසි සහ ලෝකවාසී
බූන්දි, 08:40:30
මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා. කවුරුහරි කැළේට එයි කියල හිතල මම කැළේදිත් වෙස් මාරු කරගත්තා. ගහකට හේත්තු වුණොත් ගහේ පාට වෙනවා. ගඟකට බැස්සොත් වතුරෙ වගේ වෙනවා. මල් යායකට ගියොත් මලක් වෙනවා. කන්දකට නැග්ගොත් ගල් වෙනවා. දියඇල්ලකට ගියා ම පෙණ කැටි වෙනවා. ගල් ගුහාවකට ගියොත් අඳුර වෙනවා. දවසක් උඳුපියළිය මත දිගා වෙලා ඉඳලා හාවෝ රංචුවක් මගේ ඇඟපත ඔක්කොම උලාකෑවට පස්සෙ තමයි මට තේරුණේ කවදාවත් බිම නිදාගෙන නම් වෙස් මාරු කරන්න හොඳ නෑ කියල. මම ක‍්‍රමක‍්‍රමයෙන් ඉගෙන ගත්තා කැළේ ජිවත් වෙන හැටි.

මගේ කටුසු වේශය නිසා කැළේට එන මිනිස්සුන්ට විතරයි මාව අඳුනගන්න බැරි වුණේ. සත්තු හැමවිටම මගේ මිනිස් සුවඳ අනෙක් මිනිස් ගඳෙන් වෙන් වෙන්ව අඳුනගත්ත නිසා මා එක්ක යාළු වුණා. මං කාටවත් හිරිහැර කරන්නෙ නෑ කියල සත්තු දැනගත්තා. එයලා මට බය වුණෙත් නෑ. මං එයාලට බය වුණෙත් නෑ. ඉතිං මං කොහේ හිටියත් එයාල නම් මාව අඳුර ගන්නවා. කොහොමටත් දැන් මිනිස්සු එන්නෙ නෑ. මම ඉස්සර වගේ කැළේ ගැට්ටෙ නෙවේ ඉන්නෙ, කැළේ මැද්දෙ.

ඇවිදිද්දි උරහිසේ එල්ලෙන වඳුරු පැටව් හිටියා. කොණ්ඩෙ අවුස්සන කුරළු පැටව් හිටියා. කම්මුලේ වහන සමනල්ලු හිටියා. ඇහි බැමේ ඇළුණු දළඹුවො හිටියා. බෙල්ලෙ එල්ලෙන කුරුමිණියො හිටියා. පපුව අස්සට ගුලිවෙන ලේන් පැටව් හිටියා. උකුලෙ ලගින මුව පැටව් හිටියා. බාහුවල වෙළිලා සර්ප, නාග, පොළොං පැටව් හිටියා. මිනිස් ගඳ ඉව කරන රැකවල්ලු හැටියට වෘකයෝ පස්සෙන් ආවා. එකී මෙකී නොකී හැමෝම පොඩි පැටව් කාලේ මම බලාගත්තා. අම්මලා අත් ඇරෙන කිසිම පැටියෙක් කවදාවත් තනි වුණේ නෑ. අම්මල හිටියත් නැතත් ඒ හැම කැළෑ බබෙක්ටම බොන්න කිරි එරුණෙ ළපැත්තට විතරක් නෙවේ. දෑත්, දෙපාවල ඇඟිලි තුඩුවලට පවා කිරි එරුණා. මගේ ළඟදි කිසිම පැටියෙක්ට කුසගිනි දැනුනේ නෑ. හැම පැටියෙක්ම තමන්ගෙ වාරෙ එනකම් ඈනුම් ඇර ඇර බලං ඉන්න තරම් ශිෂ්ට වුණා. සංස්කෘතික වුණා. අදෘශ්‍යමාන වනවාසී මව් දෙවඟන තත්ත්වයටම වන ගෘහය මාව උසස් කළා. හැම ඉර බහින හැන්දෑවකම කවි කියල මම පැටව් නිදි කළා. ඒ කවි අහන්න අහසිනුත්, පොළවෙනුත්, ජලයෙනුත් නම නොදන්න ගොඩක් සත්තු එනවා. අස්සන් නොදාපු ගිවිසුමක් වගේ අපූරු ජීවිතයක් මට හිමි වුණා. ඒ හැමදේම කරේ ආදරෙන්; දයාවෙන්; කරුණාවෙන්. හැමදෙනාම නින්දට යන මැදියමේ තමයි මම ගං දියේ එබිලා පැන් පහසු වෙන්නෙ. පැන් පහසු වෙලා ගං ඉවුරෙ වැතිරිලා අහස දිහා බලං ඉද්දි, මම නිමක් නැති තරු බවට පත් වෙනවා. ආයෙ පාන්දර ඉර ඇවිත් ළා රෝස කෙඳිවලින් අනින කොටයි මම ඇහැරෙන්නෙ. දරු රොත්ත නොයිවසිල්ලෙන් ඒත් ඉවසිල්ලෙන් බලං ඉන්නවා අම්මා ලෑස්ති වෙලා එනකම් ඇඟේ නගින්න. ඊට පස්සෙ ඉතිං ඒගොල්ලන්ව ඇඟේ නග්ගගෙන ආයෙ ඉර බහිනකම් සංචාරේ තමයි. අතරමැද සෙල්ලම් කාල, විවේක කාල එහෙමත් තියෙනවා. එහෙමයි මගේ දවස ගත වෙන්නෙ.

දවසක් මැදියමේ ගං දියේ එබිලා ඇවිත් ඉවුරෙ වැතිරුණා විතරයි මතක. මට අහසෙ තරු වෙන්න වෙලාවක් වුණෙත් නෑ. බිමේ තණ නිල්ල වෙන්න වෙලාවක් වුණෙත් නෑ. මගේ පාටවත්, වේෂෙවත් මාරු වුණේ නැතිව මම මම ම වෙලා; පුදුම වෙලා බලාගෙන හිටියා. මගේ මූණට උඩින් අහස වැහිලා ඕෂදී තාරකා වගේ ඇස් දෙකක් කඩා පාත් වෙලා මගෙ ළඟටම. මට හරිම පුරුදුයි ඒ ඇස් දෙක. ඒත් මට මතක් කරගන්න බැරි වුණා. කවුද ඒ ? ඒ මනුස්ස ඇස් දෙකක්. ඒ ඇස්වල තිබ්බ හැඟීම මොකද්ද කියලවත් මම දන්නෙ නෑ. මට මිනිස් ආස්සරයක් තියා මනුස්සයෙක් දැක්ක කාලයක්වත් මතක නෑනෙ. මට මොකුත් මතක නැතිව මම මතක් කරන්න උත්සහ ගනිද්දි ඒ මනුස්සයා මගේ ඇඟටත් පාත් වෙලා ඉවරයි. පැටව් රොත්තක් ඇඟේ එල්ලගෙන දවසෙම ඇවිද්දත් මට එච්චර මහන්සියක් දැනිලා නෑ. මේ මනුස්සයා මොකද්ද මට මේ කරන්නෙ? පිස්සු හැදිල වගේ. මට මොකුත් තේරෙන්නෙ නෑ. එකම දේ නවත්තන්නෙ නැතිව එක දිගට නැවත නැවතත් කරනවා. මට රිද්දන එක තමයි කරන්නෙ. මට හුස්ම ගන්නත් පණ නෑ. නිදාගන්න විදියකුත් නෑ. කවුරු වුණත් ලොකු බඩගින්නකුත් තිබිල තියෙනවා. අන්තිමට ඒ මනුස්සයට මගේ පපුව උඩම නින්ද ගියා. නින්ද ගියා කියල හිතුවට ආයෙත් ටිකකින් ඇහැරුණා. ඇහැරිලා ආයෙමත් මගේ ඇස්වලට එබුණා. එතකොට තිබ්බෙ මං කළින් දැක්ක ඇස් දෙක නෙවේ. වෙන ඇස් දෙකක්. ඒ ඇස්වල තිබ්බෙ පොඩි සත්තු පැටව් කිරි බීලා; නිදාගෙන; ඇහැරිලා; සෙල්ලම් කරලා, ආපහු ආවම මට පේන පිරිච්ච පාටමයි. එතකොට මේ මනුස්සයෙක් නෙවේ ද? මම හීනයක් දැකල ද ? මුලින් ම හැසිරුණේ නම් කිසිම සතෙක්වත් මා අරභයා නොහැසිරුණු අන්ත නපුරු විදියකට. ඒත් නින්ද ගිහින් ඇහැරිලා මගෙ මූණට එබිල, ආපහු මගෙ කම්මුලට මූණ හේත්තු කරගෙන නිදාගත්තෙ නම් පොඩි වලස් පැටියෙක් වගේ ම යි. ඒත් වලස් පැටව් මට කවදාවත් මේ දසවදේ දීලා නෑනෙ. මේ වගේ දෙපිටකාට්ටු වෙන්න පුළුවන් නම් ඉතිං මිනිස්සුන්ට විතරමයි කියල හිතද්දි මට තේරුණා මේ ඉන්නෙ පිරිමියෙක් කියල. ඔන්න එතකොට ම මට මතක් වෙන්න පටන් ගත්තා මේ ඉන්නෙ මනුස්ස වාසෙදි මං ළඟින් ම දැනං හිටිය එක ම පිරිමියා නේද කියල. එයා කොහෙද මෙහෙ ? එතකොට මේ කී කාලෙකින් ද මම එයාව දැක්කෙ? මට ඒක මතකත් නෑ. අඩු ගාණෙ මූණවත් මතක නැති වෙලයි තිබුණෙ. තරු පාට ඇස්වල විතරයි හුරුවක් තිබ්බෙ. හීනයක් කියලනෙ හිතුවෙ. ඒත් ඒ ඇඟ උඩ නැගල මොකද්ද ඒ මට දුන්නු වදේ? ? වචනයක්වත් කතා කළෙත් නෑ. ගොළු බස්සෙක් වගේ. මං දන්න කෙනාට කතා කරන්න පුළුවන්නෙ. එයාගෙ විශේෂත්වය කතා කරන එක. මං ආස වුණෙත් එයාගෙ කතාවලටනෙ.

--------------------------------------------------

ඈ වන දෙව්ලියක්. මං දැනං හිටි එකම ප‍්‍රාණසම මනු දෙව්දූගෙ සිරියාවමයි ඈට තිබුණේ. ඒත් මං ඇයව දැනගත්ත කාලෙම ඈව අතඇරියා. ඇගේ ජීවිතේ මොනවා වුණාද කියලවත් මම දන්නෙ නෑ. ඒ වගෙ කෙනෙක් කැළයක් අස්සෙ දකින්න මං බලාපොරොත්තු වුණෙත් නෑ. මං කැළේට ආස නෑ. මං ලෝක වාසියෙක් වෙලා හිටියෙ. වනවාසි වෙන්න හීනයක්වත් තිබුණෙ නෑ. හීනෙ තිබ්බෙ, ගමෙන් නගරෙට එන්න; නගරෙන් ලෝකෙට යන්න. ඊට පස්සෙ අභ්‍යවකාශෙට යන්න වගේ පියවරෙන් පියවර ඉහළ යන දේවල් විතරයි මගේ ජීවිතේටම තිබ්බෙ. අභ්‍යවකාශෙට යන එක ඇරෙන්න අනෙක් හැමදේම මට ඕන විදියට වුණා. රොකට් එකකින් යන්න කළින් ගුවන් යානවල ගිහින් තියෙන්න ඕන නිසා මං නිතරම උඩු ගුවනේ සවාරි ගහ ගහ හිටියෙ. මට අතේ පිච්චිය නැති කාලෙ වගේම මගේ සල්ලිවලින් කරගන්න දෙයක් නැති කාලෙකුත් අන්තිමට ආවා. අන්න ඒ කාලෙදි තමයි මම ගුවන් ගමන්වලට වැඩි ඉඩක් දුන්නෙ. උණුසුම් වායු බැලුන්වල නැඟල සීතල සංචාර කරන්නත් මම ගොඩක් ආසයි. මේ අතරෙදි මම විතරක් තනියම නැඟල ගිය උණුසුම් වායු බැලුනයක් නොසිතූ විරූ විදියට වෙනස්ම තැනකට පා වුණා. ඒ සත් සමුදුරේ හරි මැද්දෙ තිබ්බ පුංචි දූපතක පුංචි කැළයක් මැද්දට.
ඇත්තටම මට පාපොච්චාරණය කරන්න තියෙනවා. මම ඒ වායු බැලුනයට නැග්ගෙම සියදිවි නසාගැනීමේ අරමුණෙන්. ඒ වෙනකොට මට ජීවත් වෙන එක වදයක් වෙලා තිබුණෙ. මිහිරි හැමදේම ටිකින් ටික අමිහිරි වුණා. රස හැමදේම තිත්ත වුණා. ආස හැමදේම එපා වුණා. සියලු භෞතික දෙයින් ආඪ්‍ය වෙලා හිටියත් මානසික හිස් බවක් දැනි දැනී තිබුණා. වෛද්‍ය විද්‍යාත්මක නිරීක්ෂණවලින් තොරව මම ම නිගමනයකට ආවා මට පිළිකාවක් තියෙනවා කියල. ඒ පිළිකාව මගෙ ඇඟට කළින් හිත දුර්වල කරලා කියලත් මට ම තේරුණා. සමහරවිට හිත දුර්වල නිසා පිළිකාවක් ආවා වෙන්නත් පුළුවන්. ජීවිතේ පුදුම මහන්සියක් දැනුණා. කිසිම කෙනෙක්ට නොදැනෙන්න මම ම අබලන් වෙච්චි වායු බැලුනයක් තමයි අහස මත සියදිවි නසාගැනීමට තෝරගත්තෙ. ඒත් මම හිතපු විදියට අබලන් වෙච්චි වායු බැලුනය ගිනි ගත්තෙවත්, කඩා වැටුණෙවත් නෑ.

එක්තරා දූපතක් මතින් යනකොට මට දැනුණා ඉතා විශාල බලවේගෙකින් නොහොත් ආකර්ෂණ ශක්තියකින් අපිව පහළට අදිනවා වගේ. බැලුනය ගිහින් වනස්පතියක රැඳුණා. ගමේදිවත් ගස්බඩ ගාලා නැති මම අතක් පයක් කඩා ගන්නෙ නැතිව කොහොම ඒ විසාල ගහෙන් බැස්ස ද කියල මම ම දන්නෙ නෑ. ඒ වනාන්තරේ තිබ්බ තෙත; ගුප්ත; මාදූර්ය්‍ය වූ සෞන්දර්යය මගේ සියදිවි නසාගැනීමේ ගිනි සිතිවිල්ල නිවලා දැම්මා. තව පොඞ්ඩක් ජීවත් වෙන්න මේ වනාන්තරෙන් හුස්ම ටිකක් ණයට ගන්න හිතුණා. ඒත් මං ඉල්ලන්නත් කළින් මට ඒක හම්බ වුණා. මල් සුවඳකුයි, කිරි සුවඳකුයි විහිදෙන ශ්වේත සළුවක් මගේ මූණෙ වැදීගෙන මගේ අසලින් ගියා. ඒ කිරිමුදු, සුදුමුදු සුවඳට මට මොකද්දෝ වෙලා ගියා. හද්ද කැළේ කොහෙද කිරි අම්මාවරු. ශ්වේත සළුවක් ළඟින් ගියා විතරයි. කිසි දෙයක් පෙනුනෙ නෑ. මම මේ මැරිල වෙන ජීවිතේක ඉපදිලාද කියලත් සැක හිතුණා. ඒත් මම පුනර්භවය විශ්වාස කරන්නෙ නෑනෙ. ඒත් ඉතිං මැරුණට පස්සෙ මොකද වෙන්නෙ බලන්න මැරිලම බලන්න වෙනවනෙ.

කොහොම වුණත් මට දැන් අරමුණක් ලැබුණා. මුළු දවසෙම මම ඒ සුවඳ පස්සෙ ඉව ඇල්ලුවෙ සතෙක් වගේ. එක මොහොතකින් වනන්තරේ වනචාරි ලක්ෂණ මට ආරූඪ වුණේ කොහොමද කියලත් මම දන්නෙ නෑ. මම කොටියෙක් වගේ කුරුමාණම් ඇල්ලුවා. වෙනදට අඩි දෙක තුනක් ඇවිද්දත් මහන්සියි. එදා දවසෙම ඇවිදලත් හති වැටුණෙ නෑ. මම මායවකට අහුවෙලා. මේ මම ජීවිතේ නොදන්නම පැත්තක්. කිසි කෙනෙක් මට කියල දීපු නැති පැත්තක්. මට හොයන්න ඕනෙ වුණේ නැති පැත්තක්. කිරි සුවඳ, මල් සුවඳ සළුවකින් විතරක් කියන කතාවක්. කවදාවත් කවුරුවත් පය නොතබපු නිකෙළෙස්; නිරුවත් කැළයක්. හවස් වේගෙන එද්දි ගඟක් අද්දරින් නැළවිලි කවි කියනවා ඇහුණා. ඒ මගේ ම භාෂාව. ඒ සමහර කවි පුංචි කාලෙ මටත් අම්ම කියල තියෙනවා. සමහර කවි නම් මම අහලවත් නෑ. මේ ගොම්මන් කැළේ ඒ වගේ මිහිරි; මව්වත්; මෘදු හඬක් ඇහෙන්නෙ කාගෙන් ද කියල මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා. එහෙනම් ඒ කිරි සුවඳ සළුව කිරි අම්ම කෙනෙක්ගෙ ම තමයි. ඒත් ඇයි මට මව්වරිය නොපෙනෙන්නෙ ?

කවි ගායනා ඇහිලා මට නින්ද යාගෙන ආවා. ඇස් දෙක බර වුණා. ඒත් මට නිදා ගන්න ඕනෙ නෑ. මට දැනගන්නෙ ඕනෙ ඊ ළඟට සිදුවීමට නියමිත ආශ්චර්යය මොකද්ද කියල. මම මාව ම කොනිත්තගනිමින් මාව ඇහරවගෙන තියාගත්තා. ගායනාව ඇහෙන්න පටන් ගනිද්දි ඉර බහින්න ගත්තා විතරයි. ඒත් ගායනාව ඉවර වෙද්දි සඳ මුදුනටම ඇවිත්. හාත්පස නිසංසල සමාධියකින් පිරිලා තිබුණා. ගඟ විතරක් අවදියෙන් ද! ගඟට කවුරුහරි බැස්සා වගේ. ගඟේ කවුරුහරි පීනනවා වගේ සද්දයක් ඇහිලා මගේ අඩ නින්ද කඩ වුණා. ඒත් කිසිම දෙයක් පේන්නෙ නෑ. ශ්වේත සළුවක් ගං ඉවුරෙ පඳුරක් මත වනලා. හොඳ වෙලාවට හඳ එළිය. මම කුරුමාණම් අල්ලමින් පඳුර අස්සට ගියා. හෝදල වනල තිබ්බත් ඒ සළුවෙ කිරි සුවඳ ගිහින් නෑ. ටික වෙලාවක් ගත වුණා. ගඟට පණ ඇවිත් වගේ; ගංගාවට අධිගෘහිත දේවතාවියක් වගෙ; පිළිමයක් වගේ කෙනෙක් ගඟෙන් එගොඩ වෙලා එනවා දැකල මාව ගැහෙන්න ගත්තා. තෙමිලා ඉන්නෙ එයා. සීතල වුණේ මම. කිරි මවක් නම් නෙවේ, කිරිගරුඬ කන්‍යාවක් වගේ බැලු බැල්මට. පිරුණු ළැම මට හිනා වුණා. උකුළු තලය මට කතා කළා. නිරන්තර සිනා පිරුණු ඇස් මගේ මතකය ආපස්සට අරන් ගියා.

දෙයියනේ... මං එයාව දන්නවා. එයා මගෙ. කිසිම කෙනෙක්ට තාම අයිති වෙලා නැති හින්දනෙ මේ කැළෑ හඳක් වගේ බැබළි බබැළි ඉන්නෙ. ඒ කාලෙ නම් එක හාද්දක් දුන්නොත් ජීවිත හතකම අයිතිය දෙනවා කියල කෙඳිරි ගෑවෙ, මල්වර වෙන්නත් කළිං. දැන් ඒවා මතක ද දන්නෙ නෑ. මං හිතුවෙ එයාට තිබ්බෙ පොඩි පිස්සුවක් කියල. ඒත් ඒ පිස්සුවෙ තිබ්බ ආලවන්තකමට හාදුවක් දෙන්නම හිතුණු වෙලාවල් තිබුණා. ඒත් එහෙම කරන්නවත් සුදුසු නැති ගතියකුත් මට දැනුණා. එයා මට කවුරුවත් ලියල නැති ජාතියෙ ලියුම් ලිව්වා. මම එයාගෙ අකුරුවලටත් ආස වෙලා, එයාගෙ නිදහස්, ආවෘත සිතුවිලිවලටත් ආස වෙලා, එයාටත් ආස වුණා. ඒත් ඒක කියන්න පුළුවන් තත්වයක් මට තිබුණෙ නෑ. එයාගෙ ආදරණීය බව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් එකපාරට ආවෙත් නෑ. මට පොඩි ලෝබ කමක් දැනුණු නිසා එයාට මං කිසිම දෙයක් කෙළින් කිව්වෙ නෑ. ඕන්නං මට එයාට බනින්න තිබ්බා. උපදෙස් දෙන්න තිබ්බා. මට ඒ ජාතියෙ ලියුම් ලියන්න එපා කියන්න තිබ්බා. ඒත් මම වැඩිහිටියෙක් නොවී එයා එක්කම පොඩි ළමයෙක් වුණා. අද මොනව ලියයි ද, හෙට මොනව ලියයි ද කියල හරිම කුතුහලයෙන් හැමදාම එයාගෙ පුංචි ලියුම් බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් අන්තිමට අන්තිමට මට මේ පුංචි ආදරේ දරාගන්නවත්, තවදුරටත් එයාව මනෝ ලෝකෙක අතරමං කරන්නත් බැරි අවස්ථාවක් ආවා. මම එයාගෙ හොඳම යාළුවා ප්‍රයෝජනයට අරන් එයාට හිතාගන්නවත් බැරි විදියට එයාව රිද්දුවා. ඒක එයාගෙ වයසට දරන්නවත් බැරි වේදනාවක්. ඒත් මගේ උන්මත්තක භාවය හෙළි වෙන අවස්ථා කීපයක්ම නිර්දය ලෙස එයාට විතරක්ම ලබාදෙන්න මගේ දෛවය විසින් නියම කරනු ලැබ තිබුණා. ඇත්තටම මම එක මතක් කරන්නවත් කැමති නෑ. එච්චර නරක දෙයක් මම කළාට පස්සෙත් පහුවදා එක කඳුළක් හෙලන්නෙ නැතුව මගේ ඉස්සරහට ඇවිත් මට හොඳටම කෑගහල, එයාගෙ ආදරේ පාච්චල් කරන්න එපා කිව්වම, ඒ එඩිතරකමටත් මම ඇවිස්සුණා. මූණ රතු කරගෙන නොනවත්වා මට කෑගහන කොට ම මං එයාව ඉම්බා. බිම පෙරළගෙනම ඉම්බා. ඉඹගෙන ඉඹගෙන යනකොට තව තව වැඩිවැඩියෙන් මට ඕන වුණා. ඒත් ඒ වැඩේ සම්පූර්ණ කරන්න කළින් එයා මගේ අතේදිම මල්වර වුණා. මට එතකොටයි මතක් වුණේ එයා පොඩි වැඩි යි කියල. හාදුවක් විතරයි එයා ඉල්ලලා තිබුණෙ. ඊට පස්සෙ වැඩිපුර දේවල් දෙන්න ගිහින්, අන්තිමේදි මුළු ජීවිතේම ඉල්ලගෙන පස්සෙන් එයි කියල ක්ෂණික බයකුත් දැනුණා. එතනින් පස්සෙ අපි හම්බ වුණේ නෑ. එයාට වුණ දේ මම දැනගත්තෙ නෑ. මට වෙච්චි දේ එයා දැනගත්තෙත් නෑ. ඒත් අතරින් පතර එක ම හීනෙ සිය දහස්වර පෙනී නොපෙනී ගියා. අත්ලට පොඩි වෙච්චි පුංචි පපුවකුයි, තොල්වලට හිරවුණු පුංචි දෙතොලකු යි කැක්කුම් දිදී දැනී නොදැනී ගියා. ඒත් හීනෙන් නැගිට්ට ගමන් ඒ හීන අමතක වුණා නේද කියල මතක් වෙන්න පටන් ගත්තෙත් මේ දැන්.

දෙවඟනක් වගේ බිම වැතිරිලා අහස දිහා බලාගෙන, තරුවක් වගේ එයා බිම නිදාගෙන ඉන්න දිහා බලාගෙන මම අතීත ආත්මවලට නොනවත්වා එබිකම් කරා. ඉර පායගෙන එනකොටත් මම තාම අවදියෙන්. එයා තාම නිදි. පුංචි පුංචි සත්තු පැටව් එයාව වටකරගෙන පල වැල ගෙනත් දීලා; පැන් ගොටු තියල; කැළෑ මල් වගුරලා, මාතෘ දෙවඟන උතුම් ආකාරයෙන් පිළිගන්න පේළි හැදිලා. එයා අවදි වෙලා අතපය හිරි ඇරල, හිනාවකින් මුව දෝවනය කරන කොටම පුංචි පුංචි සත්තු පැටව් එයාගෙ ඇඟ උඩට පැනගත්තා. එයා හැමෝවම එක රොත්තට මහා සෙනෙහසකින් වැළඳ ගනිද්දි ක්ෂීර උල්පත් පිරිලා ඉතිරිලා එයා මතින් ගලාගෙන ගිහින් එයා වටේට ක්ෂීර තටාකයක් හැදුණා. දෑත් දෙපා ඇඟිලි තුඩුවලින් පවා කිරි ගලාගෙන ඇවිත් උතුරන්න පටන් ගත්තා. පයෝධර තුඩුවලින් නැහැවෙන කිරිවලින් ලේන් පැටව්, මුව පැටව්, හා පැටව් පෙඟවුණා. ඇඟිලි තුඩුවල සර්ප පැටව් පවා එල්ලි එල්ලි කිරි බිවවා. එච්චර කිරි උතුරලත් කිරි බිංදුවක්වත් පොළවට උරාගත්තෙවත්; ගං දියට ගලා ගියෙවත්; අපතේ ගියේවත් නෑ. අන්තිම බිංදුව දක්වා කාගෙහරි කුසගිනි නිව්වා. මට මේ දකින අසිරිය අදහගන්න බැරි වුණා. මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. එයා අන්තිමට නැඟිට්ටා. නැඟිටලා සළුව පොරවගත්තට පස්සෙත් සත්තු පැටව් එයාගෙ ඇඟේ තැන් තැන්වලින් එල්ලුණා. දියසායම් චිත‍්‍රයකට පණ ඇවිත් මගේ ළඟින් ඇවිද ගෙන ගියා. එයා කිසිකෙනෙක්ට අයිතිවෙලා නෑ. ඒත් මුළු කැළයක්ම එයාව අයිතිකරගෙන පුදපූජා පවත්වනවා. ආදර ගෞරව කරනවා.

ගංගාවක් අත ළඟින් ගලාගෙන යද්දි මම වතුර පොදක් නැතිව කර්කෂ වෙලා. ගස්වැල්වල මල්, පලතුරු පිරිලා තියෙද්දිත් කිසිම ආහාරයක් නැතුව මම හාමත් වෙලා. මට තනිකරම දැනුණෙ ද්වේශයක්. මේ ඉන්න පඳුර අස්සටම ගුලි වෙලා ඉන්න මම තීරණය කළා. එයා ආපහු මෙතෙන්ට එනකම් ම මම කිසිම දෙයක් කන්නෙවත් බොන්නෙවත් නැතුව ඉන්නවා. හාමතේ පණ ගියාදෙන්. එයා මත වැතිරිලා මගේ පවස නිවාගන්නකම් මට වතුරවත් ඕනෙ නෑ. මුළු කැළයක්ම එයාගෙන් සාපිපාසා නිවාගන්නව නම් ඇයි මට බැරි! වෙන කාගෙවත් වෙන්න කලින් එයා මගේ වෙලා හිටියෙ. දැන් මේ කොහෙද යන සත්තු ටිකක් ඇඟේ එල්ලගෙන...

හාමතයි; පිපාසාවයි; අතීත කාමයයි මගේ ඔළුව විකාර කළා. සත්තු එයාගේ සිරුරෙ තැවරි තැවරි ආදරේ කරපු හැටි මතක් වෙද්දි පුදුම තෘෂ්ණාවකින් හිතයි කයයි ගිනි ගත්තා. ගිනි ගොඩක් උඩ, පඳුරක් යට පිච්චිලා අළු වෙලා යන්න මම හිත හදාගත්තා. කොහොමත් මැරෙන්නනෙ ඕන වුණේ. සිහිවිකල්ලෙන්, නින්දත්; නොනින්දත් අතර, ආසාවත්; නිරාසාවත් අතර, ජීවිතයත්; මරණයත් අතර කොයිතරම් වෙලා ගත වුණා ද කියල මම දන්නෙ නෑ. ඇස්වලට පිනි බිංදු වැටිලා මගේ ඇස් ඇරෙන කොට ගඟ කතා කරනවා වගේ ඇහුණා. හරිම වෙලාවට සොබාදහම මාව අවදි කරවලා. කන්‍යා ගංගාව දියෙන් ගොඩට ආවා පිළිමයක් වගේ. වට දෙකක් තුනක් කැරකිලා හිස එහෙටත් මෙහෙටත් ගස්සලා කෙස් වැටියෙ තෙත හින්දනවා. ඒ වතුර බිංදු මගෙ මූණටත් ඉහුණා. ඊ ළඟ මොහොතෙ එයා බිම වැතිරෙන ඇහිල්ලෙම මම ගිහින් එයාගෙ ඇස් ඉස්සරහින් මූණට පාත් වුණා. මූණට විතරක් නෙවේ ඇඟටම පාත් වුණා. මම සිහිවිකල්ලෙන්ම එයාව කෙළෙසුවා. කීපාරක්ද මන්දා. මම මැරෙන්න ගිය මිනිහෙක්. මට ශරීර ශක්තියක් තිබ්බෙත් නෑ. ඒත් කොහෙන් හරි මොකක් හරි ශක්තියක් ආවා. මම ඒ වැඬේ නොනවත්වාම කරද්දිත් එයා කෑගැහුවෙවත් නෑ. මම ඇස්පියාගෙන මගේ අයිතිකාරකම සාහසික විදියට ක‍්‍රියාත්මක කරා විතරයි. එයාගෙ මූණෙ මොනවගේ හැඟීමක් තිබුණ ද, මගේ හිතේ මොනව තිබ්බද කියලවත් මම දන්නෙ නෑ. මම අන්තිමට හති වැටිලා ඇස් අරින කොට දැක්ක එයාගෙ පුන් පියොවුරු මට හිනා වෙනවා. එතකොටයි මතක් වුණේ ඒ පුන් කළස්වලින් දිව තෙත් කරගන්න ඒක නේද මුලින්ම කරනවා කියල හිතහිතා හිටියෙ කියල. ඒත් වුණේ වෙන දෙයක්. මම නම් මහ ආත්මාර්ථකාමී; වනචර; ගහලයෙක්. ලෙඩෙක්. තනිකරම පිස්සෙක්. ඒ පුන්පියොවුරුවලට දෙතොල් තිබ්බා විතරයි ක්ෂීර උල්පත් දිය දැම්මා. ලෝකෙ හොඳම කෑමත් තිත්ත වෙලා තිබ්බ මගේ දිවේ රසාග‍්‍ර නැවත සක‍්‍රීය වෙලා මගේ රස නහර පිනාගියා. ඒ මොහොතේම එයාගෙ මෘදු ඇඟිලිතුඩු මගේ හිසකේ අතරින් ගිහින් මාව කිරිවලින් නෑවුණා. ක්ෂීර ගංගා මා මත නොනැවතී පිටාර ගැලුවා. ඉස්මුරුත්තාවට එනකම් කිරි බීපු පොඩි එකෙක් මත් වෙලා අම්මගෙ පපුව උඩම වැටිලා නිදාගන්නවා වගේ මම එයාව වැළඳගෙන නිදාගත්තා විතරයි මතක. ආයෙ ඇහැරෙන කොට ගිනි මද්දහනෙ. එයා නෑ. පලතුරුයි පැන් ගොටුයි ළඟට කරල ගිහින්. ඒ මොන ජාතියක ගෑනියෙක් ද ! මං මොනවද කළේ? ? ඒත් මට මොනවද කරන්නෙ ? ? එයා මොනව හිතනවා ඇත්ද ? ?

කිරි සයුරෙ එබිලා; ක්ෂීර උල්පත් හිස් වෙනකම්ම උරාබීලා; කිරිවලින් ස්නානය කරලා, මගේ ශරීරයයි මනසයි ප‍්‍රාණවත් වෙලා, ඇඟ වගේම හිතත් නිමිච්ච වෙලාවෙ මම පියවි සිහියට ඇවිත්. නමුත් පශ්චාත්තාප වීම ඇරඹුණා. සිහියක් පතක් තියෙන ගෑනියෙක්ට මම ඒ දේ කරලා මරන්නෙ නැතුව ඉතුරු කරා නම් ඒකි මගේ දත් වහල්ල කුඩු කරලා; ඇස් දෙක උගුල්ලලා; අංගජාතෙ කටින් හපලා වෙන් කරල තියයි. ඒත් එයා වෘක පැටියෙක්වත් උසිගන්නලා නෑ. සියලු වද දුන්නට පස්සෙත් ඔළුව අතගාලා. අනික් අතට එයා මව් දෙවඟන. එයාගෙ ආගම පරම මෛත‍්‍රිය. හැම සතෙක්ට සලකන විදියට මටත් සලකලා. එයා දන්නෙත් නැතුව ඇති මං කවුද කියල. එහෙම දන්නවා නම් මම රිදවපු හැටියට පපුව මැරිලා මැරෙයි. රිද්දන එක විතරයි ද කරන්න පුළුවන් කියලා අහලා අඬා වැටෙයි.. ඒත් එයාට අතීතය ගැන කිසිම දෙයක් මතක නැතුව ඇති. මනුස්ස වාසෙදි නම් ගෑනියෙක්ට කරන උපරිම කුරිරිකම ඒක කියල එයා දන්නෙවත් නැද්ද කොහෙද ? එයා තාමත් ඒ තරම් ම අහිංසකයි ද ? අන්තඃපුර ස්ත‍්‍රීන් දහස් ගණන් පිරුණු මගේ අතීත පේ‍්‍රම පුරාණවලදි මගේ සයනාගාරය ළඟට ඇවිදගෙන එයා ආවේ ආපහු පිටිපස්සවත් බලන්නෙ නැතුව. එහෙම මං ළඟට ඇවිල්ලත් ආපහු නිරුපද්‍රිතව එයාගෙ පුංචි රෝස පාට කාමරේටම නැවත ඇවිදගෙන ගිය එකම කෙල්ල. ඒ මගේ යහපත් බව නෙවේ. පුංචිකමටත් ඈ සතුව තිබූ දිව්‍යමය ස්වභාවය. ළඟට එන හැමොම ඇගේ ස්වභාවයටම හැරවෙන ගතියක් ඒ දවස්වලත් තිබුණා. මම කවදාවත් අනුන්ගෙ පදේට නටපු මිනිහෙක් නෙවේ. මම කළේ මට ඕන දේවල්. මම හිටියෙ මට ඕන විදියට. ඒත් එහෙම ඉඳලත් මේ පොඩි එකී හින්දා මොහොතකට හරි මගෙ ඔළුව විකාර වෙලා ගියා. හරියට එයාගෙ තිබ්බ අහිංසක කමට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනෙ වගේ දෙයක් දැනුණා. ඊයෙ රෑත් වුණේ මගෙ ඔළුව විකාර වුණු එක. ඒත් අන්තිමට හිතූ විදියට නෙවේ උන්මත්තකයෙක් විදියට හැසිරුණා. නොනවත්වා කන්‍යා මාතාව දූෂණය කළා. කවදාවත් එයාට කරගන්න බැරි වෙච්චි දේ, කාටවත්ම නොකරපු විදියට ඈට කළා. ඒ පුදුමාකාර තෘෂ්ණාවකින්; ආතතියකින්; අසහනයකින්; අපරිමිත වේදනාවකින්. කිසියම්ම තිරිසන් සතෙක්වත් ඈ අරභයා එතරම් නිර්දය හෝ සාහසික වී නැතුව ඇති. මම වහාම සමාව ගත යුතුයි. ඒත් සමාව ගන්නවත් සුදුසු ද මම? නැවතත් එයා එනකම් ම පඳුර අස්සට වෙලා ඉන්න මම තීරණය කළා.

------------------------------------------------

මම නිතර දකිනවා සත්තු ඒ දේ කරනවා. ඒකට කියන්නෙ ප‍්‍රජනනය. නමුත් අර මනුස්සා මොකද්ද ඒ කළේ? එකට කියන්නෙ අසීමිත පරිභෝජනය. නැත්තං වෙන මොනවා කියනවද කියල මට මතක් කරලම බලන්න වෙනවා. ගෑනු මිනිස්සු ඒක ඒ විදියටම කරනවද කියන්න මම දන්නෙත් නෑ. මොකද මම ඒක කවදාවත් කරලා නැති නිසා. එහෙම කරන්න මාත් ආස වෙච්චි කාලයක් තිබ්බා. ඒත් දැන් ඒ ආස වුණේ මොනවටද කියලත් හරියටම මතක නෑ. මම දැන් ඉන්නෙ ගමේවත් නගරෙවත් නෙවෙන නිසා මේ ලැබිලා තියෙන ජීවිතේට මම කැමතියි. කවුරුත් මගේ හිත රිද්දන්නෙ නෑ. මම දැන් දෙවඟනක්. මට හැමෝම වන්දනා කරනවා. වන්දනා කළත් නැතත් මම ඔවුන්ව පැටිවියේදි බලාගන්නවා. මට කිසිම අපහසුවක් නෑ. ආයාසයක් නෑ. මම මේ සොබාදහමේ කොටසක්. මට කැමති වෙලාවට, කැමති දෙයක් බවට පත් වෙන්නත් පුළුවන්නෙ. එතනනින් එහා මම කිසිම අමුතු දෙයක් මේ ජීවිතෙන් දැන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. උදේට නොවරදවා ඉර පෑයීම, නියමිත කාලයට වැස්ස ලැබීම, ගඟ නොනවත්වා ගලායාම හැරෙන්න මට වෙන බලාපොරොත්තු මොකටද !

ඒත් මට දැන් ප‍්‍රශ්නයක් තියෙනවා. අර අතීතයෙන් ආපු මනුස්සයා. කොහෙන් මේ කැළේ මැද්දටම වැටුණ ද මන්දා. මේ කැළේට මට එන්න සිද්ධ වුණෙත් එයා නිසා නේද කියල මට ක්ෂණිකව මගේ හිතේ විදුලි රේඛාවක් ඇදිලා ගියා. වේදනාව කියන්නෙ ඒ මනුස්සයා ක්ෂණිකව කොහෙන්දෝ මන්දා මතු වෙලා මගේ ඇඟට දීපු වේදනාවට නෙවේ නේද කියල හිත ආපස්සට ගියාමයි තේරුණේ. තාම තරාදිය පොළවට කිමි‍ඳෙන්න තරම් බර වැඩි හිතට දීපු වේදනාවට. ඒ වේදනාවත් එක්ක සසඳද්දි ඊයෙ රෑ දැනුණෙ දිමියෙක් කාපු තරම්වත් කොනිත්තිල්ලක් නෙවේනෙ.

ඉතිහාසයේ ඒ පැරණිතම සහ දරුණුතම දුක නැවතත් සිහිවෙලා මගේ හිත කකියවන්න ගත්තා. ඒ දුක මට කියන්න කෙනෙක්වත් හිටියෙ නෑ. දුක කියන්න හිටි කෙනෙයි, දුක ලියන්න හිටි කෙනෙයි දෙන්නම එක්වර ‍ද්‍රෝහි වුණාම කාටද කියන්නෙ ? කාටද ලියන්නෙ ? මම මොන වරදක් ද කළේ ? වරද මොකද්ද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. ඒ පිරිමියව දුටු සැනින් නෙවේ එයා කතා කරපු පළවෙනි වචනෙ අහපු ගමන් මම එයාට කැමති වුණා. මං ඔයාට කැමතියි කියල මං එයාට කිව්වෙ නෑ, ලිව්වා. නොනවත්වාම ලිව්වා. මොකද මං කතා කරන්න කළින් අකුරු ලියන්න පටන්ගත්ත කෙනෙක්. කතා කරනවාට වඩා ලේසි ලියන එක. මම කරපු වැරැද්ද එයාට කැමති වුණු එක. මං ඒක කාටවත් කිව්වෙ නෑ. හැමදාම මං මෙච්චර ලියන්නෙ මොනවද කියල අහපු මගේ ළඟම හිටපු මගේ යාළුවට විතරක් කිව්වා. ඒත් එයාට තේරුණේ නෑ. ඇයි මම ලියන්නෙ කියල. මට තේරුණෙත් නෑ. අපි දෙන්නම ඉතිං පොඩියිනෙ. පොඩියි කිව්වට ඉතිං ඒ මල්වර වයසනෙ. ඕනම වැරැද්දක් කරන්න පුළුවන් නොදැනුවත්ව. අවුරුදු ගාණක්ම ලිව්වා. මං ලොකු ළමයෙක් වුණෙත් නෑ. මම දන්න ගෑනු ළමයින්ට කොල්ලො දෙතුන් දෙනා මාරු වෙද්දිත් මම ඉතාම ළාමක විදියට ලියුම් විතරක් ලිය ලිය හිටියා. අඩු ගාණෙ මට එක උත්තරයක්වත් ආවෙ වත් නෑ. සමහර වෙලාවට එයා ළඟටම ගිහින් වාඩි වෙලත් ඉන්නවා මොනවම හරි කියයි කියල. ඒත් එයා මොකුත්ම කිව්වෙ නෑ. ඒත් මාව එළවගත්තෙත් නෑ. එළවගත්තෙ නැති එක ගැන විතරක් මං සතුටු වුණා. එයා විසි කරන හැමදේම මම අහුලගත්තා. ඇවිත් මගේ සමනළ පෙට්ටියට දාගත්තා. දිනපොතේ අලවාගත්තා.

ඒ අතරෙදි මං පොඩියි කියල හිතුවට මගේ යාළුවා මට නොකියම ඒ පොඩි වයසෙදි කරදරේක වැටිල තිබුණා. ඔක්කොම වුණාට පස්සෙ ඇවිත් දුක කිව්වම මට තේරුණෙ නෑ මං මොකද කරන්නෙ කියල. පිරිමිත් එක්ක සිද්ධ වෙන ශාරීරික දේවල් ගැන මම මොකුත් ම දන්නෙ නෑනෙ. මං දන්න ලොකුම කෙනා, උපදෙසක් ගන්න පුළුවන් මම ආදරේ ම කෙනොට මං ගිහින් කිව්වා, මගේ යාළුවට උදව් කරන්න. මට ඒ ගැන මොකුත් තේරෙන්නෙ නෑ කියල. ඒ දෙන්නව මුණගස්සල මම සතුටින් ගෙදර ගියා. ඒයා අනිවාර්යයෙන්ම හොඳ විසඳුමක් යාළුවට දෙන්න ඇති කියල මම හිතුවා. හැමදාම ලියපු ලියුම්වලට පහුවදා උත්තරත් ආවා. ඒ මගේ යාළුවගෙන්. එයාගෙ පෙම්වතා එයාට කරපු දේ එයා මගේ පෙම්වතා එක්කත් කරගෙන. දැන් අඞනවා. දෙන්නම එකතු වෙලා පිහි දෙකකින් මට ඇනල. එක්කෙනෙක් පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇන්න. අනික් එක්කෙනා මට ඉස්සරහින් පිහියෙන් ඇන්න. පිහි දෙකකින් කීතු කීතු වෙන්න කරම් මගේ පුංචි හදවත කරපු වැරැද්ද මොකද්ද? යාළුවෙක්ට පුළුවන් ද එච්චර ද්‍රෝහි වෙන්න? ? පෙම්වතෙක්ට පුළුවන් ද එච්චර නීච වෙන්න? ? මගේ ඇස්වලින් කඳුළු ආවේ නෑ.. එක ප්‍රශ්නයයි ඔළුවට ආවෙ ... සුදු පාට ලොකු කොලේක ඒ ප්‍රශ්නෙ ලියාගෙන එයාගෙ ගෙදරටම ගිහින් ඒ කොලේ පොඩි කරලා එයාගෙ මූණටම ගැහුවා. ඒ වගේ දෙයක් එයා කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නෑ. එයා බය වුණේ එක කඳුලක්වත් නැති මගේ ඇස්වලට. එයා හිටියෙ අඞ අඞා. අඬන්න ඕන මම. මේ බූරුවා මොකට අඬනවද කියල මම හිතුවා.

"රටේම ඉන්න බැල්ලියො එක්ක ලැගල, මං ගාවට ආවත්, මගේ ආදරේ මැක්කො කාල මැරිල යන්නෙ නෑ බූරුවො. මගෙ බෙල්ල මිරිකල මාව මෙතනම මරපන්. වෙන බූරු වැඩ නොකර. මේ දැන්ම..."


මළ යක්ෂණියක් වගේ කඩා පැන්නෙ වෙනදා දන්න පොඩි කෙල්ල නෙවේ කියල එයාට තේරුණා . තව වචනයක්වත් කතා කරන්න කළින් එයා ඇවිත් මාව බිම පෙරළගෙන ඉම්බා. ඉම්බා. ඉම්බා. ඉම්බා. එක පොඩි දෙයයි කරන්න ඉතිරි වෙලා තිබ්බෙ. ඒත් එයා එක පාරටම බය වෙලා වගේ පැත්තකට පැන්න. එයාගෙ දකුණු අතේ ලේ ගෑවිලා තිබුණා. මම වැඩිවියට පැමිණිලා. ගිරිය පුප්පගෙන කෑගහපු කෑගැහිල්ලටමයි ඒක එදා ම වෙන්න ඇත්තෙ. ලේ ගෑවිච්ච අතින් ම එයා මගෙ අත අල්ලගෙන දැන් ගෙදර යන්න කිව්වා. එතකොම මම දැක්කා කවදාවත් දාගෙන ඉන්නවා දැකල නැති රත්තරං මුද්දක් එදා වෙද ඇඟිල්ලට දාගෙන කියල.

එදා ඉඳන් මගේ ජීවිතේ තවත් එක් සාමාන්‍ය ජීවිතයක් වුණේ නෑ. මම සියලුම දුක් තද කරගත්තා. කඳුළු හිර කරගත්තා. මට මිනිස්සුන්ව එපා වුණා. පිරිමින්වයි, ගෑනුන්වයි දෙගොල්ල ම තිත්ත වුණා. මට ලියන්න කොළ නැති වුණා. හිතන්න හිතක් නැති වුණා. අන්තිමට ඇඟිලිත් හිරි වැටුණා. හැම හැන්දෑවකම ගම ළඟින් ගලා යන දොළ පාර එහා පැත්තෙ තියෙන කැළේ දිහා රෑ වෙනකම්ම බලාඉන්න පුරුදු වුණ. ඇස් අන්ධකාරෙට ම හුරු වුණා. දවසක් රෑ දොළ එහා පැත්තෙ ගල් තලාව මත දෙන්නෙක් දඟලනවා මට පෙනුණා. සියුම් කෙඳිරිලි ඇහුණා. මම දොළෙන් එගොඩ වෙලා කැලේ පැත්තට ගියා. අන්ධකාරෙට හුරුවෙච්චි ඇස්වලින් මට ඉතා පැහැදිලිව පෙනුණා. මම බලං හිටියා ඒ ප්‍රේම රංගනය ඉවර වෙනකම් ම. ඔව් මට දැන් ඉතාම පැහැදිලි ව ම මතකයි. එදා තමයි හිර වෙලා, තද වෙලා තිබ්බ මගේ කඳුළු පිටාර ගැලුවෙ. මගේ පෙම්වතා, මගේ හොඳම යාළුව එක්ක හැසිරෙන්න ඇත්තෙ ඒ විදියට වෙන්න ඇති කියල මං හිතෙන් මවාගත්තා. මං මොනවද ජීවිතේ ගැන දැනගෙන හිටියෙ? මම හරි මෝඩයි කියල මට ම තේරුණා. එයාට මට පෙන්න ගන්න බැරි වෙච්චි ආදරේ දඩාවතේ යන බැල්ලියෙක්ට පෙන්නන්න තරම් මගේ තිබ්බ අඩුව මොකද්ද හිතමින් මම නොනවත්වා ඒ ගල්තලාවෙ ඔළුව ගහ ගත්තා. ඊට පස්සෙ එතනම තිබ්බ ලොක ගස් බෙනේට මුළු මූණම ඔබාගෙන කෑගැහුවා. සාප කරා. ඒ රාත්‍රියෙ ගස් බෙනේ ගුලි වෙලා හිටපු සත්තු, සරපයි, දිමියො, ගෝනුස්සො ඔක්කොම මගේ මූණටයි, අත්වලටයි දෂ්ට කළා. උන් මගේ කෑගැහිල්ලට බය වෙන්න ඇති. ඒත් මට වේදනාවක් දැනුණෙ නෑ. විසෙන් විස නැසුණෙත් නෑ මම නැසුණෙත් නෑ. මං විසෙන් කැකෑරුණා. මම මට ම වෛර කරන්න පටන් ගත්තා.

එදා රෑ ජීවිතේ ආයෙමත් වෙනස් වුණා. දොළ පාර ගඟක් වෙලා, ගඟ ළඟ නාන තොටක් පේන තැනක් වෙනකම් මම කැළෑ පාරෙන් අසිහියෙන් වගේ ඇවිදගෙන ගිහින් පාන්දර වෙනකම් ම. උදේ මම දැක්කා මගේ ඇඟිලිවල විස පිරිලා, නියපොතු සහ ඇඟිලි පුරුක් නිල් පාට වෙන්න පටන් අරන්.. මගේ මූණටත් ඒ ටිකම වෙන්න ඇති. ඒත් මං මගේ මූණ ගැන වද වුණෙ නෑ. පිරිමින්ව නළවන්නනෙ ලස්සන මූණක් ඕන. ඒත් ඇඟිලි පුරුකක් ඇති මුන්ව නටවන්න. කොහොමටත් දැන් ඇඟිලිවල තියෙන්න විස. ඒක සාමාන්‍ය සත්ව විසක් නෙවේ.. මේ දැන් ඉන්නෙ ඉස්සර හිටපු සාමාන්‍ය පොඩි කෙල්ලත් නෙවේ. මම එදා හිතා ගත්තා, කවදහරි සියලුම වර්ගයේ පිරිමි වැඳගෙන; අඞාගෙන ඇවිත්, දෙපතුල් දෝවනය කරලා පැතුම් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියල ආයාචනා කරන පිළිමයක් වෙලා තමයි මම නවතින්නෙ කියල. එතකොට ගෑනු... ! ! ! හිතක්, පපුවක්, මොළේ කළඳක් නැති ගෑනූ බොහෝමයකට ඕන තව ගෑනියෙක්ට ඉරිසියා කරල පැළිලා මැරෙන්න... අන්න ඒ වගේ ගෑනු ඇවිත් තමුන්ගෙ මිනිස්සුයි, තාත්තලයි, පුත්තුයි, අයියලයි, මල්ලිලයි ඔක්කොම එකතු වෙලා වැඳ වැටෙන මේ පිළිමෙ දිහා බලාගෙන විස්සෝප වෙන තැනට පත් කරන්නත් මම හිතා ගත්තා. ඒ ගල් පිළිමෙ එක්ක බැලුවම අපිට මොනවද අඩු කියල හිතල ගෑනු තමන්ගෙ ගෑනුකම ගැන විපිළිසර වෙන තැනට ම පත් කරලා මුං දෙගොල්ලටම උඩින් මම දෙවඟනක් වෙලාමයි නවතින්නෙ කියල අධිෂ්ඨාන කරල, මම නාන තොට ළඟ තිබ්බ විසාල නාගහට අත තිබ්බා විතරයි නාගහේ එතිලා හිටපු නාගයා පෙණේ පිප්පුවා. මම ඌවත් අල්ලලා දෙකට නවල ගඟට විසික් කරා.

ඒ හිතපු විදියටම ඒ විස පිරුණු ඇඟිලිවලින් තට්ටු කරලා මම නාන තොට ට එන පිරිමින්ව මුලා කරා. මෝහනය කරලා කඳු මුදුන්වලට; ගල් ගුහාවලට; ගස් මුදුන්වලට; බෑවුම්වලට නොදන්න පාරවල් දිගේ ඇරියා. සමහර ගෑනු තොවිල්පවිල් කළා ගං ඉවුරෙ ඉන්න කන්‍යා මෝහිනීව එළවන්න. අන්තිමට යකැදුරන්වත් කඳු මුදුනට යවනවා වගේ පෙන්නල ඊට කළින් බිමට තල්ලු කළා. ගමට බැරි වුණා මාව මෙල්ල කරන්න. උන්ට සිද්ධ වුණා මට මෙල්ල වෙන්න. ටික දවසක් මෙහෙම යනකොට ගස් මුදුන්වලින්; කඳු මුදුන්වලින් වැටිලා අබ්බගාත වෙච්චි පිරිමි; අතරමං වෙච්චි පිරිමි; තුවාල වෙච්චි පිරිමි; සිහි නැති වෙච්චි පිරිමි නැවතත් ගමට අවා. ඇවිත් අඩාගෙන ආයෙ මං ළඟටම ආවා. ඒ අය මල් ගඳ විලවුන් පුදල සමාව ඉල්ලුවා මං වගේ පවිත්‍ර කාන්තාවකට අයුතු යෝජනා කළාට. නැවතත් කිසි වරදක් නොකරන බවට පොරෙන්දු වෙන බවට දිවුරුවා. මගේ ආශීර්වාදය දීලා නැවත ගමේ පදිංචියට යන්න දෙන්න කියල අවසර ඉල්ලුවා. ඉන් පස්සෙ පුර්ණ චන්ද්‍රයා පිරුණු හැම රැයකම ගමේ ගෑනු ටික එකතු වෙලා මට ශ්වේත සළු පිදුවා. ටික දවසක් මම මේ සිද්ධවෙන නාඩගම් ගැන බොහොම විනෝදෙන් හිටියා. පස්සෙ පස්සෙ ගෑනු ටික එකතු වෙලා ඕන එකටයි, එපා එකටයි, හැම එකකටම මට දුක කියාගෙන එන්න පුරුදු වුණා. කොච්චර වුණත් එතැන් පටන් මම ගෑනුන්ට අනුකම්පා කළා. ගෑනු හරි මෝඩයි. මම දන්නවනෙ මම කරපු මෝඩකම්. මෙහෙම කාලයක් යනකොට මට මගේ දුක අමතක වෙලා අනුන්ගෙ දුක් ගන්න ම විතරක් පුරුදු වුණා. එහෙම අනුන්ගෙ දුක් උරාගෙන; උරාගෙන මගේ විස සහිත බව දුරු වෙලා ගියා. නිල් පාට වෙලා තිබුණු ශරීරය පිරිපහදු වෙලා ටිකෙන් ටිකෙ රන්වන් පැහැයට හැරුණා. අන්න ඒ කාලෙදි දෙකට නවල ගඟට විසි කරපු නාගයා නැවත නාගරාජයෙක් වෙලා ඇවිත් මහ නුගේ ළඟ මගේ රැකවලා වගේ හැසිරෙන්න ගත්තා.

නුගේ ළඟ දෙවඟනගෙ සුන්දරත්වය ගම් දනව් සිසාර පැතිරිලා නගරෙ අයත් ආවා මාව බලන්න. සමහරු සාහිත්‍ය දන්න අය. සමහරු චිත්‍ර අඳින අය; සමහරු සංගීතය හදාරන අය. තරුණ අය; බාල අය; වැඩිමහලු අය. කතා කරන එක වදයක් වෙන තරමට එයාලා මගෙන් ප්‍රශ්න ඇහුවා. මම දීපු හැම උත්තරේකින්ම එයාලා කුල්මත් වුණා. අන්තිමට මේ කතා කිරිල්ලත් මට ටික දවසකින් එපා වුණා. කතා නොකර ඉඳිද්දිත් එයාල හැමොම වසඟ වෙලා වගේ හැසිරුණා. සමහරු ලියපු දේවල් කියවද්දි, සමහරු ඇඳපු දේවල් දකිද්දි, මමත් වසඟ වුණ වෙලාවල් තිබුණා. ඒත් මගේ දෙවඟන ධූරය පාවා දීලා මනුස්ස ගණයට වැටෙන්න තරම් මම මෝඩ වුණේ නෑ. ඒවත් මට මහ කරදරයක් වුණා. දැන් ඇඟිලිතුඩුවලවත්, ඇස් කොණකවත් විස බිංදුවක් බේතකටත් හොයාගන්න නැති නිසා දෂ්ට කරගන්නත් බැරිව මහ පුදුම අසරණ බවක් දැනුණා.

ජීවිතේ නැවත වෙනස් වුණා. පරලා වෙලා; අඩල දොඩල; හැවිල්ලලා ඔළුව ගසාගත් ගල්තලාව හොයාගෙන මම ආයෙ ගියා. ඒ විස බිංදුවක් හොයාගන්න. වැස්සටවත් හේදිලා ගිය නැති ලේ පැල්ලමක් තාම තියෙනවා. ගස් බෙනය දිරාපත් වෙලා තිබුණා. ඒත් කණ ළං කළාම මගේම වේදනාවේ දෝංකාරය තාම එතන තියෙන බව මට වැටහුණා. මම ක්ෂණිකව බිරාන්ත වුණා. ඒ ක්ෂණයෙම පපුව රිදෙන්න ගත්තා. දිරාගිය ගස් බෙනේක, නයි පෙනයක් වගේ මට පෙණේ පුප්පන්නෙ මගේම මතකයන්වල වේදනාව. ඒකට මම බය වුණේ ඇයි? කාටවත් ම බය නැති මම, මගේ ම වේදනාවට බය වුණා. හැමෝටම වගේ එයාටත් මං ගැන ආරංචි වෙයි ද? කොහේ හරි ඉඳල එයා ආවොත් ? ? මේ එන පිරිස අතර ඉඳල මම එයාව දැක්කොත් ? ? ? මගේ දිව්‍යමය ස්වභාවය ක්ෂණිකව අතුරුදහන් වෙලා මම සාමාන්‍ය ගෑනියෙක් වගේ එයාගෙ උරහිසේ එල්ලිලා ඇඞුවොත් ? ? ? එතකොට මට මොකද්ද වෙන්නෙ? ? මට එච්චර අවදානමක් ගන්න බෑ. ඒ වගේම අනුන්ගෙ චිත්‍රවලයි, කවිවලයි, කතාවලයි දිගා වෙලා ඉන්න එක නෙවේ මගෙ ජීවිතේ. මට දැන් පාවෙලා ඇති වෙලා. මට වෙන ජීවිතයක් ඕනෙ. වගකීමක් ඕනෙ.

මම තීරණය කළා මිනිස් වාසයෙන් ඈතට යන්න. සුදු පිරුවට ඔක්කොම අරන් මම කැළේ මැද්දට ආව. මිනිස්සු මාව සුපුරුදු ස්වරූපයෙන් බලාපොරොත්තු වෙන නිසා වෙස් මාරු කරන්න ඉගෙන ගත්තා. හිත දියුණු කරගත්තා. වනය මාව පිළිගත්තා. මට වගකීමක් දුන්නා. මම වන දෙවඟනක් වුණා. මවක් වුණා. ඒත් ඒ මිනිහා ආවා. මට කිසිසේත්ම එයාගෙ මුණ මතක් කරගන්න බැරිතරම් කාලයක් වනගත වුණාටත් පස්සෙ ආවා. ඇවිත් මාව දූෂණය කරා. ඒත් මට දැනුණෙ නෑ.. ශරීරයට රිදුණා විතරයි. ඒ ශාරීරික පීඩනය දරන්න බැරි තරම් මම දැන් සුමට වෙලා. ඒ වගේම එයාට පෙරළා රිදවන්න උවමනාවක් දැන් දැනෙන්නෙත් නෑ. එයාට තවත් එක් සතෙක් විදියට සලකන්න තරම් ම ශාන්තදාන්ත වෙලා. ඒත් දැන් මට මේ මිනිහගෙන් ගැලවීමක් නැති නිසා එයා දෙන ශාරිරික වේදනාවට පුරුදු වෙන්න වෙනවා.

අදත් ඊයෙ රෑ කරපු දේම කරයි ද දන්නෙ නෑ. ඕනෙ නම් වෘකයෙක් උසිගන්වන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් කරන්නෙ කොහොමද. මට මේ කැළේ ඇතුළෙ කාට වුණත් කිසිම හානියක් කරන්න අයිතියක් නෑ. කෙනෙක් ඇවිත් වද දීලා මාව මරල ගියත් මැරෙනවා මිසක්, ජීවිතය වෙනුවෙන් සටන් වදින්නවත් මට දැන් උවමනාවක් නෑ. හැමදේම කවදහරි කොහෙන් හරි කෙළවරක් වෙන්න එපායෑ.

මම දෙගිඩියාවෙන් දවස අවසන් කළා. කවි කිව්වා. නැළෙව්වා. නිදි කෙරෙව්වා. පැන් පහසු වුණා. මගේ සියලු වැඩ අවසන් කියල හිතනකොටම ගඟ ළඟ තිබ්බ ලොකු පඳුර හෙළවුණා. දවසෙම අතුරුදහන් වෙලා හිටිය මනුස්සයා එතනින් මතු වුණා. මම ලොකු හුස්මක් අරන් හිත හදාගත්තා දඬු අඩුවට අහුවෙන්න. ඒත් දැන් ඊයෙ හිටපු මිනිහා නෙවේද කොහෙද අද ඉන්නෙ. එයා ඇවිත් මා මත නෙවේ මා ළඟ වැතිරුණා. මගේ වම් අතින් අල්ලගත්තා. ඒ අල්ලපු විදියෙන් එයා පැත්තට හැරෙන්න වගේ දෙයක් ඇඟවුණේ. මං එයා දිහා බැලුවම ඇස්දෙක අඬන්න වගේ හදාගෙන හිටියා. මොනවහරි කියන්න හැදුවත් මොකුත්ම කියවුණේ නෑ. ඊට පස්සෙ මගේ මුණ අතගාන්න පටන් ගත්තා. එතකොට එයාගෙ ඇස්වලින් කඳුළු එළියට පැන්නා. එහෙනම් බොරුවට නෙවේ. ඇත්තටම කඳුළු තිබිලා තියෙනවා. සමාව ඉල්ලන්න වගේ හදන්නෙ. ඒත් කටින් වචන පිටවෙන්නෙත් නෑ. පසුතැවෙනවට වඩා වෙන දඬුවමක් මොකටද ? තනියම අඬ අඬා මගේ හිසේ සිට පාදාන්තය දක්වා ස්පර්ෂ කරමින් සිටියෙ අන්ධ කෙනෙක් යමක් අතගාලම හඳුනගන්න උත්සහ කරනවා වගේ. අන්තිමට මගේ වම් අතේ මහපට ඇඟිල්ල කටේ දාගෙනම වලස් පැටියට නින්ද ගියා. දැන් ඉතිං මේ අමුතු සතාටත් මට පුරුදු වෙන්න සිද්ධ වෙනවා. ඒත් ඉතිං වෙන සත්තු වගේ නෙවේ, ඊයේ එක විදියක්, අද එක විදියක්. හෙට එක විදියක්. අනිද්දට තව විදියක් වෙයි. ඒත් මට කරන්න දෙයක් නෑ. මම කවදාවත් එයා අඳුනගත්තෙ නෑ. එයා ඉඩ දුන්නෙ නෑ මට එයාව අඳුනගන්න. ඉතිං හෙට අඳුනගනීද කියලත් මම දන්නෙ නෑ. එය සතුටු දෙයක් කරපුවාවෙ. මම මීට වඩා කොයිතරම් දේවල් ඉවසල තියෙනවද!

------------------------------------------

සුපුරුදු පරිදි එයා ගංගා දියෙන් එගොඩ වෙන කොට මං එයා ළඟට ගියා. එයාට නොයෙකුත් වේශ ගන්න පුළුවන් කියල මට තේරුණා. ඒත් එයා මගෙන් හැංඟුණේ නෑ. එයා දෙවඟනක්. එයාට කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියල මට තව තේරුං ගන්න ඕනෙ. ලස්සන කවි ගයන්න පුළුවන් වුණාට එයාට මා එක්ක කතා කරන්න ඕන නෑ. මේ පාර නම් මට බණින්නවත් කට ඇරියෙ නෑ. මට රවන්නවත් මං දිහා බැලුවෙ නෑ. අඩුම ගාණේ "ඇයි මට එහෙම කළේ " කියලවත් ඇහුවෙ නෑ. සමහරවිට එයාට දිවැස් තියෙනවද දන්නෙ නෑ. ඒත් එයා මොනව කතා කරන්න ද මමයි එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. අවාසනාවට මට කට ඇරගන්න බැරි වුණා. හැමදාමත් වගේ මම එයාගෙ ස්වභාවිකත්වයට බයයි. මගේ මුඛරිකම ගැලපෙන්නෙ ගමටයි, නගරෙටයි, ලෝකෙටයි විතරයි. මේ කැළේදි මට ඕන වුණත් කට ඇරගන්න බෑ. විශේෂයෙන්ම එයා ඉස්සරහදි. ඒ නිසා මම අත ඇල්ලුවා. හිසේ සිට පාදාන්තය දක්වා ස්පර්ෂ කළේ එයාගෙ හැඟීම් තේරුං ගන්න. මට එයාව අහුවුණේ නෑ. ඒත් මාව අහුවුණා. හිතල බලද්දි මට ස්ත‍්‍රී ඇසුරෙ අරුමයක් තිබුණෙ නෑ. ගවේෂණය කරලා හොයගන්න දෙයක් තිබුණෙත් නෑ. ඒත් කටක් ඇරල කාටවත් කියාගන්න බැරි වුණාට අනන්තයටම විවර වුණා එයාගෙ හද දොරයි, නෙත් කවුළුයි වෙන කා ළඟවත් දැකල නෑ. ඒ වගේම එයාගෙ තිබ්බ දයාර්ද්‍ර මෘදු ගුණය ඒතරම් දැඩි සාන්ද්‍රණයකින් වෙන කිසිම තැනකින් හම්බ වෙලත් නෑ. එයාට පුළුවන් පිහාටුවක් තරම් සිනිඳුවට මගේ පපුවට හුස්ම පිඹින්න. ඒ සිනිඳු හුස්මෙන් මට නිවෙන්න වගේම ඇවිලෙන්නත් පුළුවන්කම තිබුණා.

මම මෝඩ වුණා. එයා කවදාවත් ලොකු දේවල් ඉල්ලුවෙ නෑ. එයා සතුටු වුණේම පුංචිම පුංචි දේවල්වලින්. මම තින්ත ඉවරවෙලා විසිකරන පෑන් එයා අහුලගත්තා. ටොපියක් කාලා විසිකරන කොළෙත් එයා එකතු කළා. පිච්ච මලක් ගෙනත් දීලා කිව්වොත් මේක ඔයාට ම යි කියල. වැඩිපුර දාපු 'ම' යන්නෙන් තමයි එයා කුල්මත් වුණේ. අතම අල්ලන්න ඕනෙත් නෑ වෙන වැඩක් කරන ගමන් පිටිඅත්ල ටිකක් වැඩිපුර එයාගෙ අතේ වද්ද වද්ද හිටියොත් ඇති ඇවිස්සෙන්න. එයා තේ බොන කොප්පෙන් එයා කට තියපු තැනින් තේ ටිකක් බීලා ඇස් කොණකින් බැලුවොත්, පුළුවන් තරම් කල් ඒක මතක තියාගෙන කවි ලියනවා. ඒ තරම් සියුම් ස්වර්ණමය තත් තියෙන වාද්‍ය භාණ්ඩයක් පංචශිඛගෙ වාද්‍ය වෘන්ද්‍යයේවත් නැතුව ඇති. හැබැයි මට තිබුණා. ඒත් මම පංචශිඛ නෙවේ. එච්චර සියුම් තත් බිඳල මම වීණාවෙ මකුළු දැල් බැඳෙන්න ඇරියා. ඒ ඔක්කොටමත් හරියන්න කල්පෙකට පස්සෙ එයාව දුටු තැනම යක්ෂාවේශයෙන් වගේ ඇයව කෙළෙසුවා නේද කියන සිතුවිල්ලෙ බර, හිස ඔසවගන්න බැරි තරම් අලුත් පීඩනයක් ගෙනාව. ඒ අසීරූ දුෂ්කර හැඟීම්වලින් පරිපීඩිතවව ඇයව ස්පර්ෂ කරමින් සිටිද්දි සොබාදහම මගේ පැත්ත ගත්තා. ඇවිත් මට නුවණ දුන්නා. නුවණ දීලා උත්තර දුන්නා. ඇය වනයට අධිපති මව් දෙවඟන. ඇගේ උත්තරීතරත්වය කෙළසන්න පිටින් එන කාටවත් බෑ. බල පරාක‍්‍රමය එයාගෙ.

එහෙනම් ඒ කාලෙත් මට ඕනම වෙලා තිබ්බත් මොකුත් කරගන්න බැරිව එයා මගේ අතේම මල්වර වුණේ සොබාදහම එයා ගැන බලං හිටපු හින්දා වෙන්න ඕන. සොබාදහම රැක බලාගන්න, සමබර කරන්න තෝරාපත් කරගත් අය දිහා සොබාදහම ඇහැ ගහගෙන ඉන්නෙ. එහෙනම් ඉතිං මං තවදුරටත් දුක් වෙන්න අවශ්‍ය නෑ. මං ඇයව අපවිත‍්‍ර කළේ නෑ. වුණේ මං පවිත‍්‍ර වෙන එක. එයාගේ ක්ෂීර උල්පත්වලින් මාව නාවල, නිවල, මගේ අභ්‍යන්තරයේ සියලු සන්තාප දියකර ඇරලා. අන්තිමට ඉතුරු වෙලා තිබ්බා අහුකොණ් ටික මගේම කඳුළුවලින් සෝදල ඇරලා එයා මාව පවිත‍්‍ර කරලා දැම්මා. මම මැරෙන්න හිටපු මිනිහෙක්. මම සිය දිවි හානි කරගන්න සැලසුම් කරපු මිනිහෙක්. ඒ සිතුවිල්ලෙන් උඩ පා වෙද්දි කරුණා, මෘදු, රන් කිරණක් එවලා මාව එයා පොළවට ඇදල දැම්මා. සියදිවි නසා ගැනීම පාප කර්මයක්. එයා ඒ පවෙන් මාව ගලව ගත්තා. වතාවක් හරි එයාව ඇසුරු කරපු කෙනෙක් පාරිශුද්ධත්වයට පාර කපා ගන්නවා කිසිම සැකයක් නෑ. මොකක් ! ! ! ! සියදිවි නසා ගැනීම පාප කර්මයක් ? ? ? ! ! ! ! කොහොමද මට එහෙම හිතුණෙ? ? ? මට ආගමක් නෑනෙ. මම නැවත ඉපදෙන්නෙත් නෑනෙ. මම හිටියෙ සියල්ල සම්පූර්ණ කරගෙන. ඔව් මම එහෙමයි හිතාගෙන හිටියෙ. ඒත් මට දැන් මොකද මේ වෙන්නෙ ? මම එයාට අහු වෙලා. මම එයාගෙ ආගමත් වැළඳගෙන. තමා කෙරහි ම සෙනෙහසක් නැති කෙනෙකට පරම මෛත‍්‍රිය වැළඳගන්න බෑ. වෙන කිසිවක්ට හෝ කිසිවෙක්ට සෙනෙහස දක්වන්නත් බෑ. ඔව් මම ඇය තුළින්ම නැවත ඉපදිලා. අභිරහස්, මායාකාරී මව්වත. ළඟට එන හැමෝම ඇගේ මෘදු සිරුරෙන් වෙළා ගෙන කරන මේ මායාව ඇයවත් දන්න ඇති ද? ? ? ? ? ? ඇය මොනවා නොදැන ගත්තත් මාව අඳුන ගන්නව නම් මම කැමතියි. මට ඒ බව එයාට මතක් කරන්න ඕනෙ. අතීතයේදී මම කා වෙනුවෙන්වත් අඬලා නැති වුණත් එයා වෙනුවෙන් කඳුළු පුරවගත්තා කියල එයා දැනගන්න ඕනෙ.

----------------------------------------

දැන් රෑට විතරක් නෙවේ, උදේ වරුවටත් මං පස්සෙන්ම එනවා. රෑ තිස්සෙ මං ළඟම තැවරි තැවරි ඉන්න නිසා මගේ සුවඳ එයාට ගෑවිලා තියෙන්නෙ. ඒ නිසා මං ඇරෙන්න වෙන කිසිම සතෙක් එයාව අමුතු සතෙක් ගාණටවවත්, මනුස්සයෙක් ගාණටවත් දාලා නෑ. දවසක් උදේ නැඟිටින කොට සේපාලිකා මල්වලින් මාලයක් අමුණලා තිබුණා. සත්තු පැටව් මල් ගෙනත් තියෙනවා විතරයි. මෙයා ඒවට වැඩි වැඩ කරනවා. කොහොමටත් ඇඟිලිවල කලාව තියෙනවනෙ. මා අරභයා ඒ කලාව පැහැදිලිව පෙන්නපු පළවෙනි පාර. ඒත් මම කතා කළේ නෑ. පුෂ්ප දාමය පැළඳගත්තා විතරයි. එයා කතා කරන්නෙත් නෑ. ඒත් ආදරෙයි කියල පෙන්නන්න උත්සහ කරනවා, සුපුරුදු පරිදි එයාගෙම ක‍්‍රමයට. එයා හිතාගෙන ඉන්නෙ මට එයාව මතක නෑ කියල. ඇත්තටම අමතක වෙලා තමයි තිබුණෙ. දැන් ටික ටික මතක් වෙනවා. නොනවතින දෙතොල් තෙරපීම්, නොයිවසිලි හුස්ම කැවීම්, සිනිඳු දිවගෑම්, මෘදු හැපුම් පාරවල් තියල එයා මගේ හදවත සක‍්‍රීය කරලා, එයා හිටපු තැන මතු කරගන්න හැම රෑකම උත්සහ කරනවා. අහසෙ තරු විතරයි දන්නෙ ඒ වෙලාවට මම හිනා වෙනවා කියල. ඒ වගේම එයා මා දිහා ඉස්සි ඉස්සි පණ ඇවිත් ද කියල බලන හැම මොහොකම එයාගෙ දිලිසෙන ඇස් දිහා බලලා මම ඒ ඇස්වල දීප්තිය බවට පත්වෙනවා කියල තාම එයා දන්නෙ නෑ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මනූෂා ප‍්‍රභානි දිසානායකගෙන් තවත් වියමන්
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කතන්දර
මාස තුනක් සහ එක දවසක්
කතන්දර
පාට වලාකුළු අතර හිඳ....
කතන්දර
පස්සෙන් යෑම
කතන්දර
රම්‍ය, සුරම්‍ය, සුබ සහ ජයම්පති
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook