Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
බූන්දි, 18:54:37
මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ හික්මවිය නොහැකි සියල්ලක් ම දෙවියන්ගේ අණ පරිදි සිදුවන අතර දෙවියන් කෙරෙහි අවනත ව දේව බැල්ම ලබාගැනීම සුඛිතමුදිත දිවි පෙවෙතකට අතවශ්‍යය යන අදහස ඉස්මතු කිරීම මේ පදනමෙහි සුලබ ව දක්නට ලැබේ. විවිධ ආගම් යටතේ ද නානාවිධ ආකාරයෙන් දේව සංකල්පය අර්ථ දක්වා තිබේ. ඔවුන් කෙරෙහි මිනිසා ඉක්මවා යන ආකාරයේ බල ප්‍රවාහයක් කේන්ද්‍රගත කොට පවතී. ඒ අනුව මිනිසාට උපකාර කිරීමේ හෝ විනාශ කිරීමේ සර්ව බලාධිපත්‍යය දෙවියන් සතුය. විශ්වීය වශයෙන් ගත්කල මෙසේ දෙවිදේවතාවුන් පිළිබඳ අදහස් ප්‍රබල ව පැන නැගෙන්නේ ග්‍රීක හා භාරතීය සංස්කෘතීන් කෙරෙන්ය. තත් ශිෂ්ටාචාරයන්හි ජනයා දේව අනුහස කෙරෙහි දැක්වූ සීමාන්තික නැඹුරුව උපරි ව්‍යුහාත්මක නිර්මිතයන්හි ප්‍රබල වශයෙන් ගැබ් ව පවතිනු හඳුනාගත හැකිය. විශේෂයෙන් මෙබඳු සංකල්ප ජනශ්‍රැතිමය වශයෙන් ක්‍රමයෙන් පැවත ආ බව පැහැදිලි ව පෙනේ.

ග්‍රීක නාට්‍යයන්හි වස්තු විෂයය ද මෙසේ ප්‍රබල ජනශ්‍රැතිමය පදනමකින් පෝෂණය වූ අතර ඒ පසුබිමෙහි දේවකතාවන් හා සබැඳි පුරාණෝක්තීන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවිය. දේව බලය, ඉරණම ආදිය මිනිස් ජීවිත මත එල්ල කරන බලපෑම කිසිසේත් ම වැළැක්විය නොහැකි බවත් ඒ හමුවේ පුද්ගල ශක්තිය ක්ෂුද්‍ර වන බවත් එමඟින් ගම්‍යමාන කෙරිණි. එසේ වුව ද ග්‍රීක නාට්‍යයන්හි හමුවන චරිත ඉරණමට හෝ දේවබලයට තැන දී නිෂ්ක්‍රීය ව බලාහිඳින්නෝ නොවෙති. ඔවුහු ඊට එදිරි ව සටන් කරති. ග්‍රීක ට්‍රැජඩි සඳහා මූලික වශයෙන් ද කොමඩිවලට යම් තරමක් දුරට ද බලපෑ ඉලියඩ් හා ඔඩිසි යන වීර කාව්‍යද්වය රචනා වූ අවධිය වන විට පවා ග්‍රීක දේව සභාව ස්ථාපනය ව පැවතිණි. හොමර් තත් වීර කාව්‍යයන්හිලා ග්‍රීක දෙවි දේවතාවුන් හා සබැඳි බොහෝ කාරණා හෙළිදරව් කරන අතර දැනට කෙරී ඇති පර්යේෂණයන්ට අනුව, එම කාල වකවානුව ක්‍රි.පූ. නව වන සියවස ලෙස පිළිගැනේ (ග්‍රීක පුරාණෝක්ති, 2014. 14).

ග්‍රීකයෝ බහු දේවවාදී වූහ. ජයගත නොහැකි සොබාදහම කෙරෙහි දේවත්වය ආරෝපණය කිරීම ක්‍රමයෙන් සෘජු ව ස්වභාව ධර්මය වන්දනා කිරීම් ප්‍රාථමික අවධිය අතික්‍රමණය කළ අතර විවිධ ස්වභාවික වස්තූන්ට හා සංසිද්ධීන්ට ද පසු ව විවිධ සමාජ කර්තව්‍යයන්ට ද අධිගෘහිත ව දෙවිදේවතාවුන් හඳුනා ගැනිණි. ඔලිම්පස් දෙවිවරුන් අතර ප්‍රධානියා වූ සියුස් සමස්ත ආකාශයේ දෙවියා ලෙස සැලකිණි. වායුගෝලීය ප්‍රපංච, සුළඟ, වර්ෂාව, සුළඟ, ගිගුරුම යන සියල්ල ඒ යටතට ගැනිණි. ඔලිම්පස් කඳු වළල්ල වාසස්ථාන කරගනිමින් ගොඩනැඟුණු සියුස්, හේරා, පෙසෙයාඩොන්, ඇපලෝ, ඇතීනා, හර්මිස්, ඇෆ්‍රොඩයට්, ඒරිස්, ආර්ටෙම්ස් යනාදින් ඇතුළත් දේව පර්ෂදය ඔලිම්පික් දේව මණ්ඩලය යනුවෙන් හැඳින්වුණු අතර ඔවුන්ගේ සර්වබලධාරී ආධිපත්‍යයට සියල්ලන් නතුවනසලු විය. ග්‍රීක දේව මණ්ඩලයේ මහ දෙවියන් වූ සියුස් නිරන්තරයෙන් තමනට එරෙහි ව සිටින කවරකුට වුව ද ස්වකීය ඥාතිත්වය හෝ ඇලුම්බැඳුම් නොතකා දඬුවම් කරන්නකු වූ බව පැහැදිලිය. ක්‍රෝනෝස්ගේ පුත්‍ර සියුස් යනුවෙන් ඔහු හඳුන්වාදෙන ලද නමුත් සියුස් බලයට පැමිණෙන්නේ ම ක්‍රෝනස් පරාජය කරමිනි. එය වනාහි සිය දරුවකු විසින් ම තම බලය මර්දනය කරන බවට ක්‍රෝනෝස් අසා තිබූ අනාවැකිය සාක්ෂාත් කරන්නක් ද වෙයි.


(ඊඩිපස් වේදිකා නිෂ්පාදනයකින්)

මේ අනුව සොෆොක්ලීස් විසින් නිර්මාණය කරන ලද ඊඩිපස් රජ (Oedipus Rex) නාට්‍යයේ පැනෙන ප්‍රධාන චරිතයේ ක්‍රියාකාරීත්වය පුනරාවර්ජනය කෙරෙන පරිද්දෙන් සුප්‍රකට මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය (Oedipus Complex) නම් වූ මනෝවිශ්ලේෂණාත්මක සිද්ධාන්තය හුදු භාවාත්මක ආලෝලනයකින් ඔබ්බට ගිය සමාජ දේශපාලන ගැඹුරක් විශද කරන බව ද මෙහිලා අවධානයට නිසි කරුණකි. ඊඩිපස් සංකීර්ණයෙන් හෙළිදරව් කෙරෙන්නේ පිරිමි දරුවකු ස්වභාවයෙන් ම සිය මව කෙරෙහි දක්වන ආශක්තතාව හා සිය ප්‍රතිවාදියාය යන හැඟීමෙන් පියා පිළිබඳ ඇතිකර ගන්නා ඊර්ෂ්‍යා සහගත ස්වභාවය හේතුවෙන් හටගන්නා අරගලයයි. මෙය චෛතසික හා මතවාදාත්මක අරගලයක් ලෙසින් නිරන්තරයෙන් හමුවන අතර එහි අන්තය පියා මැරීම හා මව තමා සන්තක කරගැනීම දක්වා අන්තගාමී ලෙස දුරදිග යා හැකිය. මවගේ ස්නේහයෙන් ජීවිතය ලබන සියුස් විසින් දැනුවත් හැඟීමෙන් ම බලය අත්පත් කරගැනීම පිණිස ක්‍රෝනස් මර්දනය කරනු ලැබීම, නොදැනුවත් ව ඊඩිපස් සිය පියා වූ ලායියුස් ඝාතන කොට මව හා විවාහ වීම මෙන් ම සිංහබාහු නාට්‍යයේ සිංහබාහු විසින් සිය පියා වූ සිංහයා නසනු ලැබීම හුදු භාවාත්මක ආවේගයක් ම නොව බල සටනක ආනුෂංගික ප්‍රතිඵලයක් බව පැහැදිලි ව පෙනේ. පියා මැඩපවත්වා බලාධිපත්‍යයට ප්‍රවේශ වීම හා එය ස්ථීර කරගනු පිණිස මවගේ ස්නේහයේ දායකත්වයේ රුකුල ද ලබා ගැනීම තත් භාවමය ගනුදෙනුවේ අදෘශ්‍යමාන යථාර්ථයයි. සියුස්ගේ පුතකු ද අනාගතයේ දී පියා බලයෙන් පහ කිරීමට නියමිත ව පවත්නා බවට අනාවැකියක් පළ ව තිබීම මෙකී ක්‍රියාදාමයේ අවිච්ඡින්න බව අඟවන්නකි.

පුතකු වශයෙන් පමණක් නොව සැමියකු වශයෙන් ද සියුස්ගේ ක්‍රියා පටිපාටීන් ආන්දෝලනාත්මක විය. හේරා සමඟ විවාහ වූ නමුත් ඔහු සෑම විටම ස්වකීය ශෘංගාරාත්මක ආරම්මණයන් හඹායාමට පෙළඹුණේය. 'විවාහය සියුස්ගේ ශෘංගාරප්‍රිය කටයුතුවලට අවසානයක් ගෙන ආවේ නැත. හේරාගේ ඊර්ෂ්‍යාව නොතකමින්, ඊට ගොදුරු වන අයට අත්විය හැකි විපත් ද නොතකමින් සියුස් දෙවඟනන් හා ගැහැනුන් පසුපස ලුහුබැඳ යාම උනන්දුවෙන් දිගටම කරගෙන ගියේය'(ග්‍රීක පුරාණෝක්ති,2014. 49). මෙහෙයින් සියුස්ගේ ආකර්ෂණයට හා අතවරයට ලක් වූ ස්ත්‍රීන් මෙන් ම ඔහුට දාව උපන් දරුවන් සංඛ්‍යාව ද ගිණිය නොහැකි තරම්ය. සියුස්ට දාව ම්නේමොසුනේ- මියුස් දෙවඟනන්, ඩෙමීටර්- කොරේ, සෙමේල්- ඩයොනීසස්, යූරිනොමේ- ප්‍රසාදිනියන්, ලීටෝ- ඇපලෝ හා ආර්ටෙම්ස්, මයියා- හර්මීස්, ඇට්ලස්- හාර්මෝනියා, ඊජිනා- එයාකස් යනාදි වශයෙන් දරුවන් බිහිකර ඇතැයි කියවේ. 'කාන්තාවට දැඩි නීත්‍යානුකූල හා සමාජමය දඬුවම් ලැබිය හැකි අපරාධයක් පුරුෂයකුට ගරුත්වයක් ලැබිය හැකි දෙයක් ලෙස ද, වැඩි ම වශයෙන් ඔහු ඉතා සතුටින් විඳ දරා ගන්නා අධ්‍යාත්මික කැළලක් වශයෙන් ද ගැනෙයි.'(පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි, 1979. 77) යන්න සනාථ කරන පරිද්දෙන් ග්‍රීක දේව මණ්ඩලයේ දෙවියන් නිරන්තරයෙන් සල්ලාල චාරිකාවන්හි යෙදෙන අතර දේවතාවියෝ බහුතරය බඹසර රැකීම හා පතිව්‍රතාව සම්බන්ධයෙන් පරමාදර්ශී පවිත්‍රතාවක් විශද කළහ.

සියුස්ගේ සල්ලාලකම් හමුවේ කිපුණු කල හේරා දුබල අරගල දියත් කළ අතර සැමවිටම ඇගේ මැදිහත්වීම පාලනය කිරීමට ඔහු සමත් විය. සියුස්ගෙන් පලිගත නොහැකි තැන හේරා ඔහුගේ අනුරාගික ආරම්මණයන්ට ඉලක්ක වූ කතුන්ට දැඩි හිංසා පැමිණ වීමට පෙළඹිණි. ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධනය (Prometheus Bound) නාට්‍යයේ හමුවන අයෝ එසේ හේරාගේ හිංසනයට ලක්වන කතකි. අයෝගේ මනස්කාන්ත රූපශ්‍රීය කෙරෙහි ආසක්ත වන සියුස් ඇය තමා අවනත නොවුණහොත් මුළු නුවර ම අසනිසරයෙන් විනාශ කරන බවට තර්ජනය කරන්නේය. එහෙයින් අයෝගේ පියා වන ඉනාකුස් ඈ මාලිගයෙන් පිටුවහල් කරයි. ඉන්පසු ඈ ගවදෙනක බවට පත්කරනු ලබන්නේ සියුස් විසිනි. සියුස්ගේ අභිනව ශෘංගාරාත්මක අභිලාෂය ගැන දැන ගන්නා හේරා ඇට මැස්සකු මවා ගවදෙනක බවට පත්ව සිටින අයෝට හිරිහැර පමුණුවයි. එයින් ද නොනැවතී ආගුස් නමැති යෝධ ගොපල්ලකු මවා ඈ පිටුපසින් මෙහෙයවයි.

සියුස්ගේ ඒකාධිපති බලය ප්‍රබල ව විවේචනයට ලක්කරන නාට්‍යයක් ලෙස මෙය වැදගත් වන අතර බලැත්තන්ගේ හිත්පිත් නැති ජුගුප්සාජනක ක්‍රියාටිපාටීන්හි ස්වභාවය මෙහිලා මනාව නිරූපිතය. ප්‍රබල නිර්මාණාත්මක පරිසමාප්තියකින් සමූපේත ව සියුස්ගේ බලයට අභියෝග කරන නාට්‍යකරුවා ඔහුගේ අතවැසියන් ලෙස දක්වන්නේ බලය හා භීෂණයයි. සියුස් මෙපමණ අගතිගාමී ක්‍රියාවන්හි නියැලෙන්නේ බලය හා භීෂණය ආධාරයෙනි. එහෙයින් ප්‍රොමිතියස් බන්ධනයෙහිලා අපගේ වීරයා වන ප්‍රොමිතියස් මර්දනය කරනු පිණිස මහදෙවියන්ගේ අණ පරිදි බලය හා භීෂණය සක්‍රීය අතවැසි පුද්ගල චරිතද්වයක ස්වරූපයෙන් වේදිකාවට පැමිණෙයි. සාමාන්‍යයෙන් ඒකාධිපති බලයක් විවේචනයේ දී සෘජු සටන් පාඨ ස්වරූපය ඉක්මවා යමින් වඩාත් නිර්මාණාත්මක වක්‍රොක්තීන් පරිභාවිත කළ හැකි බව මෙබඳු නාට්‍යමය ප්‍රයෝග මඟින් මනාව සනාථ වේ. මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රගමනය උදෙසා අතවශ්‍ය ම සාධකය වූ ගින්දර මනුෂ්‍ය ලෝකයට ප්‍රදානය කිරීමේ 'වරද' උදෙසා සියුස්, ප්‍රොමිතියස්ට ඉහිලුම් නොදෙන දඬුවම් ලබාදෙයි. විශ්වයේ කොනක වූ ගල්පරයක ඔහු බැඳ දැමෙයි. එබඳු තත්ත්වයක් යටතේ වුව ද අදීන ව නැෙඟන ප්‍රොමිතියස්ගේ පෞරුෂය කෙරෙහි උරණ වන සියුස් ලබාදිය හැකි අතිදරුණු සියලු පීඩන ඔහු මත පතිත කරයි. ප්‍රොමිතියස් විප්ලවීය වීරයකු ලෙස ඉස්මතු වීම හා සමගාමී ව සියුස්ගේ ඊනියා බලයේ හා භීෂණයේ යථාර්ථය සංස්පර්ශය කිරීමට නාට්‍යකරුවා සමත් වේ. මෙහි ගැබ් ව පවත්නා අතිශය වැදගත් සාධකය වන්නේ සියුස් වනාහි සර්වකාලීන ව, සර්වදේශීය ව විප්ලවීය මැදිහත්වීම් මැඩපවත්වන ඒකාධිපති බල ප්‍රවාහයක සංකේතාත්මක නියෝජනයක් බව ධ්වනිත කර තිබීමයි.

"දෙව්ලොව සිහසුනට පත්වුණු විගස
සියුස් තම සගයන්ට
දුන්නා විවිධ තනතුරු
පැහැදිලි කර දුන්නා උනට හිමිවන බලතල
පොළොව මත වෙසෙන මිනිසුන්
ඔහු පිළිකුල් කළා දැඩි සේ
උන් සැම විද්වංසනය කර
නව පරපුරක් මිහි මත මැවීමට
අවැසියයි කීවා ඔහු අප ඉදිරිපිට
එක ම එක දෙවියකු
ඊට විරුදුව කීවේ නෑ එක් වචනයකුදු...."

(-ප්‍රොමිතියස් බන්ධනය, 2002. 18-19)


(ප්‍රොමිතියස් බන්ධනය වේදිකා නිෂ්පාදනයකින්)

මේ අයුරින් බලකාමයෙන් මත් ව සියුස් ගෙනයන ප්‍රතිගාමී පාලනය දිනෙක පෙරළී යන බවට දැල්වෙන ප්‍රාර්ථනාව යථෝක්ත ඛේදනීය වාතාවරණය මධ්‍යයේ වුව වරින් වර ඉස්මතු කෙරේ. ඊස්කිලස් මෙසේ වික්‍රමාන්විත ස්වරූපයෙන් අභියෝග කරන්නේ සුළු පටු අයකුට නොවේ. හේරා පවා ඔහුගේ බලය වර්ණනා කරන්නේ මෙපරිද්දෙනි.

'සියුස් සමඟ අප කෝප වන එක මෝඩකමක්... ඔහු තනි ව හිඳ සිටිනවා. සිත කරදර කරගන්නේ නැහැ. කලබල කරගන්නෙත් නැහැ. මක් නිසාද යත් ශක්තියෙන් හා බලයෙන් අමරණීය දෙවිවරුනට වඩා තමා ශක්තියෙන් හා බලයෙන් වැඩි බවටත් තරඟ කළ නොහැකි ලෙස උත්කෘෂ්ට බවටත් ඔහු පුරසාරම් දොඩනවා. ඉතින් ඔබලා පරාජය පිළිගෙන නිහඬ වන්න.'(ග්‍රීක පුරාණෝක්ති, 2014. 41-42)

මෙහෙයින් තත්කාලීන ජන විඤ්ඤාණයෙහි අසීමිත බල ප්‍රවාහයක් විශද කළ මහදෙවියන් වන සියුස්ට රැහැණි ව විරෝධාකල්ප ප්‍රතිනිර්මාණය ග්‍රීක නාට්‍යකරුවන්ගේ අදීනත්වය ප්‍රතීයමාන කරන්නක් බව හඳුනාගත හැකිය. ග්‍රීක ජන සමාජයේ, ඉරණම කෙරෙහි සුවිශේෂ පිළිගැනීමක් පැවති අතර ඉන් පසු සර්වාධිපත්‍යය හිමිවූයේ සියුස් ප්‍රමුඛ දෙවිදේවතාවුන්ටය. එසේ තිබිය දී මෙපරිද්දෙන් දේව මණ්ඩලයේ ප්‍රමුඛයා විවේචනයට ලක්කිරීමට තරම් අභීතභාවයක් ග්‍රීක නාට්‍යකරුවන්ට හිමිවූයේ කෙසේද යන්න අවධානය යොමුකළ යුතු කරුණකි. ග්‍රීක නාට්‍යයේ ස්වර්ණමය අවධිය එළඹෙන්නේ ක්‍රි.පූ. පස්වන සියවසේ දී ඇතන්ස් නගරය කේන්ද්‍ර කොට ගනිමිනි. මෙකල ඇතන්ස්හි දේශපාලනය සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ උච්චතම තලයට සම්ප්‍රාප්ත ව පැවතිණි. (The Rise of the West, 1963. 256) මෙබඳු වාතාවරණයක් යටතේ චින්තන වීමංසන නිදහස උපරිම වශයෙන් ක්‍රියාත්මක වූ අතර පුද්ගල ස්වීයතාවට රැහැණි ව පැවති බාධක දුරු විය. ග්‍රීක ට්‍රැජඩි මෙන් ම කොමඩි නාට්‍යකරුවෝ මෙකී පසුතලය කෙරෙන් අභිප්‍රේරණය ලබමින් දෙවියන් හා රාජ්‍ය පාලකයන්ගේ බලාධිපත්‍යයට එරෙහි ප්‍රබල නිර්මාණාත්මක පහරදීම් දියත් කළහ. ග්‍රීක නාට්‍ය බොහොමයක වස්තු විෂය පුරාණෝක්තිමය පසුතලයක් පාදක කරගනිමින් නිර්මාණය වුව ද සමකාලීනත්වය අතික්‍රමණය ඇසුරින් වත්මනට පවා උචිත පරිද්දෙන් බල ප්‍රවාහයක ක්‍රියාකාරීත්වය විශද කිරීමට තත් නාට්‍යකරුවෝ සමත් වූහ.

සොෆෙක්ලීස්ගේ තීබ නාට්‍යත්‍රය (Three Theban Plays) අතුරෙහි ද සියුස් බල විරෝධය ධ්වනිත කෙරෙන අවස්ථා හඳුනාගත හැකිය. ඊස්කිලස් තරමට විශද ව හා තියුණු ව නොවූවත් සොෆොක්ලීස් ද පළින් පළ සියුස් කෙරෙහි දනවන අවිශ්වාසයත්, නුරුස්නාවත්, විරුද්ධවීමේ හැකියාවත් ඉස්මතු කරයි. ඒ අතර ම දෙවියන් අත්‍යන්තයෙන් මිනිස් දිවිපෙවෙත හා චින්තනමය නිර්මිිතය මත උරෙනුර ගැටී ජීවත් වූ වග ද මෙම නාට්‍යත්‍රයෙන් හෙළිදරව් කෙරෙන අතර විපතක් උදා වූ සැණින් සියුස් දෙවියන්ගේ පිහිට අයැදීමේ ස්වභාවය ද සුලබ ව හමු වේ. (තීබ නාට්‍ය ත්‍රිකය, 2004. 79) එහෙත් එසේ නිතියෙන් දේව බැල්ම යැදීම ද උත්ප්‍රාසාත්මක මුහුණුවරකට පෙරළෙන්නේ පාත්‍රයන් ආවේගාත්මක තත්ත්වයකට පත් වූ සැණින් දෙව්ලොවට අධිපති බලවත් සියුස්ට පවා චෝදනා කිරීමට පෙළඹීම හේතුවෙනි. ප්‍රොමිතියස් ඛේදයට මුහුණදෙන්නේ සෘජු ව ම සියුස්ගේ බලයට එරෙහි වීම හේතුවෙන් වුව ද ඊඩිපස් රජ නාට්‍යයේ ඊඩිපස්ගේ ශෝකාකූල ඛේදවාචකය ගොඩනැෙඟන්නේ ඉරණමේ ක්‍රියාකාරීත්වයෙනි. සියුස්ට ඉහළින් පැවති එකම බලය වන්නේ මෙකී ඉරණමයි. ඉරණම පුද්ගල හිස මත කඩාවැටෙමින් නොසිතූ විරූ ඛේදයන්ට පමුණුවන්නේය යන අදහස ග්‍රීක නාට්‍ය මඟින් සුලබ ව ධ්වනිත කෙරේ. 'කිසිවෙකුහට අභිමත දෑ ඉරණම‐ අනුව ම සිදුවෙයි කොද සැකයක් එහි' (රත්නාවලී, 2010. 12) යනුවෙන් සඳහන් වන පරිද්දෙන් ම ග්‍රීක නාට්‍යයන්ට සාපේක්ෂ ව සංස්කෘත නාට්‍යයන්හි ඉරණම නිරූපණය වූයේ පුද්ගලයා ඛේදය කරා මෙහෙයවන බලවේගයක් වශයෙන් නොව අභිමතය කරා කැඳවා යන උපකාරකයක් වශයෙනි. එහෙත් ග්‍රීක නාට්‍යයන්හි හමුවන ඉරණම සියුස් දෙවියන්ට පවා පාලනය කළ නොහැකි අන්තරායකර බලවේගයකි. ඊඩිපස් නොදැනුවත්වම තමා ම වන දූෂිතයා සොයා කරන විමසුමේ දී අත්වැල ගායනය මඟින් පැවසෙන අදහස්වලින් අනුහස නොමැත්තේ නම් සියුස් වුව ද විශ්වාස නොකළ යුතු බව යෝජනා කෙරෙන්නේ මෙපරිද්දෙනි.

'දෙවිදුනි සියුස්, රජුන්ගෙත් රජු
ඔබ දරා උසුලන පදවි පට්ටම්
නොනැසී සදා පවතින්නට නම්
විස්මයෙන් මුසපත් කළ මැන අප මනුසත
මියයමින් පවතී
ලායියුස් ගැන ඔබ කී අනාවැකි
පාලක පැලැන්තිය
සෝදාහරිති ඒවා තම මතකයෙන්
කොහෙද අර ඇපලෝගෙ රන්වන් කීර්තිය
කොහෙද අර මහ දෙවියන්
දෙවියෝ දැන් පෙරළෙති දෙවි අසුන්වලින් පහළට'

(-තීබ නාට්‍ය ත්‍රිකය, 2004. 81)

බොහෝ විට දේව විශ්වාස අන්ධ භක්තිය මතින් උත්පාදනය වන වග විශද කරුණකි. 'ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත‐ එක් දෙවියෙක් නොවේ දාහක් එතන ඇත' යනුවෙන් විමලරත්න කුමාරගම රචනා කළ අයියනායක කාව්‍ය නිර්මාණයෙහි ද ගැබ් වන්නේ එකී සත්‍යයයි. එහෙත් ඊඩිපස් රජ නාට්‍යයේ හමුවන යථෝක්ත උද්ධෘතයෙහි ගැබ් වන්නේ එබඳු අවිචාරාත්මක අන්ධ භක්තියක් ම නොව යම්බඳු විචාරාත්මක චින්තනයකින් ආඪ්‍ය ස්වරූපයකි. සියුස්ගේ අනාවැකි සත්‍ය නම් ඔහු පිළිගැනීමට ද අසත්‍ය නම් ප්‍රතික්ෂේප කිරීමට ද පරම ශක්‍යතාවක් පවත්නා බව එමඟින් ධ්වනිත කෙරේ. නිරන්තරයෙන් බුද්ධිමය සංකථනයන්හි කේන්ද්‍රස්ථානය බවට පත් ව තිබූ ඇතන්ස්හි ජනයා විඤ්ඤාණය අගතිගාමි ලෙස සියුස්ගේ අසීමිත බල ප්‍රවාහයට පවා නතු නොවූ බව මේ අනුව හඳුනාගත හැකිය. ඔවුන් ඒ දෙස පවා බැලුවේ යම්කිසි බුද්ධිමය කෝණයකිනි. ඇන්ටිගනී (Antigone) නාට්‍යයේ තෙරේසි නඟන ප්‍රශ්නය වන 'විචාර බුද්ධිය, ඥාන මාර්ගය උතුම්ම මිනිස් දායාදය බව පිළිගත් කෙනෙක් නැද්ද?' (තීබ නාට්‍ය ත්‍රිකය, 2004. 278) යන්නෙහි ගැබ්වන දැනුවත් භාවය විශද කෙරෙන පරිද්දෙනි.

ඇන්ටිගනී නාට්‍යයෙහි ද දේව නීතිය ප්‍රබල ව අවධාරණය කරන අතරතුර වුව ද සියුස්ගේ හිත්පිත් නැති ක්‍රියාපාටීන්හි ස්වරූපය නිරූපණය කර තිබෙනු දැකිය හැකිය. ඇතන්සය අවිච්ඡින්න ව යුද භීෂණයට නතු වූ රාජ්‍යයකි. ග්‍රීක නාට්‍යකරුවෝ සියලුදෙනා ම පාහේ අඩු වැඩි වශයෙන් යුද්ධයේ නිස්සාරත්වය විනිවිද දුටුවහ. ඇන්ටිගනීගේ දෙසොහොයුරන් ඇතුළු ව අපරිමිත ජනයා යුද්ධයෙන් මියැදී ඇති කල්හි නාට්‍යකරුවා දක්වන 'ජයග්‍රහණය අතිඋදාරය - මහත් වේ ඉන් ගෙනෙන ප්‍රීතිය'( තීබ නාට්‍ය ත්‍රිකය, 2004. 237) යන්න පවා ප්‍රබල උත්ප්‍රාසයක් ජනිත කරන්නකි. එබඳු පසුබිමක අත්‍යුදාර සියුස්ගේ ක්‍රියා පටිපාටිය කෙතරම් ජුගුප්සාජනක ද යන්න මනාව නිරූපිතය.

'දෙව්රජාණෝ දෙව්ලොවේ සිට
අසා උරණ ව සතුරු මිගබස්
රනින් කළ සන්නාහ ඇඟලා
අතින් ගත් අවි නටා හඬ පා
අපේ කොටු පවුරේ නැගීගෙන
නඟා ජයහඬ උදම් වීලා
බලා හිඳ උන් ගඟක් සේ එන
මහා පහරක් හෙළා සතුරා ඇදදැැමුවා මිහිමතේ'

(-තීබ නාට්‍ය ත්‍රිකයල 2004. 237)

මේ අනුව සියුස් වනාහි වන්දනාමාන කළ යුතු තරමේ උත්කෘෂ්ට චරිතයක් නොව නිරන්තරයෙන් අගතිගාමී හැසිරීම් රටා විශද කරන්නකු බව සනාථ වේ. නාට්‍යකරුවා තව දුරටත් පවසන්නේ සියුස්ට දෙන පඬුරු ලෙස සතුරු යෝධයන් සත් දෙන වැටී සිටි බවයි. මොහුගේ අතිඋත්කර්ෂවත් ජයග්‍රාහී රංගනයන් පසුපස කෙතරම් ජනකායකගේ ලේ, කඳුළු මුසු ව ඇත්ද යන පරිඥානය සම්පාදනය කිරීමට මෙහිලා නාට්‍යකරුවා සමත් වේ. අන්ධ බල ප්‍රතාපයක ඊනියා රංගනය මේ යැයි විශද කරන පරිද්දෙන් මෙහිලා මහදෙවියන්ගේ චරිත ස්වභාවය නිරූපිතය.

ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳ විමර්ශනයේ දී සියුස් පුත්‍ර ඩයොනීසස් ද වෙසෙසින් වැදගත් වේ. ඩයොනීසස්(Dionysus) දේව ඇදහිල්ල පාදක කර ගනිමින් ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භය සිදු වී ඇතැයි යන්න කෙරෙහි මෙහිලා අවධානය යොමු කළ හැකිය. ඩයොනීසස් සශ්‍රීකත්වයේ හා සුඛාස්වාදයේ දෙවියා විය. ග්‍රීක පුරාණෝක්තීන්හි සඳහන් පරිදි ඩයොනීසස් උපත ලබන්නේ සියුස් දෙවියන්ට දාව සෙමේල් නම්වූ ස්ත්‍රියකගේ කුසයෙනි. (බටහිර නාට්‍ය හා රංග කලාව, 1994.21 පිට) එසේ වුව ද සියුස් මෙන් ම මෙන් ම ඩයොනීසස් ද ග්‍රීක නාට්‍යකරුවන්ගේ ප්‍රබල විවේචනයට ලක් වේ. සුප්‍රකට ග්‍රීක කොමඩි නාට්‍යකරු ඇරිස්ටොෆනීස් මැඩියෝ (The Frogs) නාට්‍යයේ ආරම්භයේ සඳහන් පරිදි සියුස් පුත්‍ර ඩයොනීසස් පයින් ඇවිද දුක් විඳින අතර ඔහුගේ වහලා වන සැන්තියෑස් බූරුවකු පිටින් ගමන් කිරීම නිසා විඳින්නට සිදු ව ඇත්තේ මහා නින්දාවකි. (Five Comedies of Aristophanes, 1955. 84)



ට්‍රැජඩි නාට්‍යකරුවන් වඩාත් සංකීර්ණ මුහුණුවරකින් සියුස් චරිතයට අභියෝග කළ අතර ඇරිස්ටොෆනීස් සියුස් පිළිබඳ ආකල්පය කපා කොටා විශ්ලේෂණය කරමින් තියුණු විවේචනයකට භාජන කිරීමට උත්සුක වේ. ඒ පසුපස රඳා පවතින්නේ ගැඹුරු හාස්‍යයකි. වලාකුළු (The Clouds) නාට්‍යයෙහිලා තත්කාලීන සමාජයේ ප්‍රබල ලෙස ව්‍යාප්ත ව පැවති සොෆිස්ට්වාදී ගුරුකුලය විවේචනයට ලක්කරන ඇරිස්ටොෆනීස් ඒ අතර සියුස්ගේ බලය ද යල්පැන ගොස් ඇති බව හෙළිදරව් කරයි. සොෆිස්ට්වරු ද තර්කය මුල්තැන තැබූ අතර දෙවියන් පිළිබඳ මිනිස් චිත්තයෙහි නිදන්ගත ව පැවති සියලු විශ්වාසයන් තාර්කික පදනමක් යටතේ බැහැර කිරීමට පෙළඹුණහ. සාම්ප්‍රදායික මතවාද සියල්ල ම තාර්කේය ප්‍රත්‍යක්ෂවාදයේ මිනුම් දඬුවලින් කිරා මැන බැලිණි. සොක්‍රටීස් වැනි චින්තකයන්ගේ ආකල්ප මඟින් ද ඊට මනා පිටිවහලක් ලැබුණු අයුරු නිරීක්ෂණය කළ හැකිය. වලාකුළු නාට්‍යයෙහි සඳහන් පරිදි සොක්‍රටීස්ගේ ඥාන කම්හලට පිවිසෙන සාම්ප්‍රදායික මහලු ගැමියකු වූ ස්ටෙප්සියඩීස් සියුස් පිළිබඳ දරන සියලු භක්ති පූර්වක ආකල්ප විධ්වංසනය කෙරෙන්නේ මෙපරිද්දෙනි.

'ස්ටේ‍රප්සියඩීස්- එහෙත් මේ මිහිපිටේ නාමෙන් නුඹලාට ඔලිම්පස්හි සියුස් දෙවිකෙනෙක් නොවේද?

සොක්‍රටීස්- මොන සියුස්ද? විකාර දොඩවන්න එපා. සියුස් කියා කෙනෙක් නැහැ.

ස්ටේ‍රප්සියඩීස්- මොනවද මේ නුඹ දොඩවන්නේ? කවුද එහෙනම් වැස්ස වස්සන්නේ? සේරටම ඉස්සර වෙලා මට ඒකට උත්තර දෙන්න.

සොක්‍රටීස්- මේ අය තමයි. මෙය මා නුඹට බරපතළ සාක්ෂිවලින් ඔප්පු කරන්නම්. නුඹ දැක තියනවාද වහිනවා වලාකුළු නැතිව. එහෙනම් කෙනෙක්ට වැස්ස බලාපොරොත්තු වෙන්න තිබුණනෙ සියුස්ගෙන්. වලාකුළු නැති පිරිසිදු අහසකින්.

ස්ටේ‍රප්සියඩීස්- ඇපලෝ දෙවියනේ නුඹ එය හොඳට ගැළපෙන්න කිව්වා. මං කලින් හිතන් හිටියේ වැස්ස වහින්නේ සියුස් පෙනේරයකින් මුත්‍රා කිරීමෙන් කියලා. එහෙනම් මට කියන්න කවුද ගිගුරුම් ඇති කරන්නේ?'

(Five Comedies of Aristophanes, 1955. 167)

වැස්ස වැනි සංසිද්ධීන් අහස් දෙවියන් වූ සියුගේ බලයෙන් සිදුවන්නක් නොව අනවරත ස්වභාවික ක්‍රියාවලියක අනවරත ප්‍රතිඵලයක් බව මෙමඟින් විශද කෙරේ. සියුස්ගේ අපරිමිත බලයට මෙහිලා අභියෝග කෙරෙන්නේ වඩාත් තාර්කික විද්‍යාත්මක චින්තනයක රඳා සිටිමිනි. ආගමික භක්තියට රැහැණි ව තර්කය පෙරදැරි ව ලෝ තතු විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදය මේ වන විට විවිධ දාර්ශනික ආස්ථාන ඔස්සේ ව්‍යාප්ත ව පැවති බව පැහැදිලි කරුණකි. දෙවියන් කියා කවරකු හෝ නොමැති බවත් භක්තිය පෙරදැරි ව දේවත්වාරෝපණය කරන ලද සියලු තත්ත්වයන්හි යථාර්ථය සොබාදහමේ ක්‍රියාකාරීත්වය ම වන බවත් මේ අයුරින් අවධාරණය කර තිබෙනු දැකිය හැකිය.

සමස්තයක් වශයෙන් ගත්කල ග්‍රීක නාට්‍යකරුවන් මහ දෙවියන් වූ සියුස්ගේ බලය විවේචනය කිරීමට නොපැකිලුණු බව මේ අනුව හඳුනාගත හැකිය. විවිධ නාට්‍යකරුවන්ගේ ආස්ථානය වෙනස් වුව ද ඔවුහු ස්වකීය අනන්‍යතාව මත රඳා හිඳිමින් නානාවිධ ආකාරයෙන් මෙකී බල ප්‍රවාහයේ යථා ස්වරූපය නිරූපණය කළහ. මෙය වනාහෙි ප්‍රතිගාමී වූ ඒකාධිපති බලාධිපත්‍යයක් කෙරෙහි එල්ල කළ හැකි විරෝධයේ ස්වභාවය විශද කරන්නකි. කවර බලයක් හා භීෂණයක් හමුවේ වුව ද අදීන ව නැඟී සිටිය හැකි බව ප්‍රතීයමාන කරන්නකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Greek mythology, Ancient Greece, Zeus, Prometheus, Greek tragedy, Greek Comedy, Ancient Greek Drama, Aeschylus, Sophocles, Aristophanes
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චින්තා පවිත්‍රානිගෙන් තවත් වියමන්
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
තවත් රංග බූන්දි
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook