Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
(මෙම විචාර ලිපිය මෙවර යෞවන සම්මාන උළෙලේ, හොඳම නාට්‍ය විචාරය සඳහා වූ සම්මානය හිමි කරගන්න ලදී.)
බූන්දි, 17:28:35
පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත් වූ නාට්‍යයක් ලෙස ‘ප‍්‍රපාතය ළඟ වනස්පතිය’ හඳුන්වා දීමට පුළුවන. මේ ලියවිල්ල ඒ ගැන වූ සහෘද සටහනක් වෙනුවෙනි.

ප‍්‍රපාතය ළඟ වනස්පතියේ කතා සාරය වචන පෙළකට ගොනු කොටගත හැකි කෙටිම ආකාරයකින් දක්වතොත් මෙසේය.

තරුණ තරුණියන් පිරිසක් පර්යේෂණයක් උදෙසා ඈත දුෂ්කර වන පෙදෙසකට පිවිසේ. වනය මැද පිහිටි මහා වනස්පතියත් ඒ අසළ ප‍්‍රපාතයත් අතර ඇති කිසියම් ගුප්ත සම්බන්ධයක් පිළිබඳ ඔවුන්ට ඉව වැටෙයි. අතුරුදහන් වූවන්ගේ බිරියන් සිය ගණනින් පැමිණ වනස්පතිය කිරියෙන් දෝවමින් බාර ගැට ගසන අයුරුත් ඉන් ඵල නොලැබෙන තැන ඔවුන් ප‍්‍රපාතයෙන් පැන දිවි තොර කර ගන්නා අයුරුත් ඔවුහු දකිති. මේ අතර පැමිණි පිරිසේ තරුණයන් එකා දෙන්නා අතුරුදහන් වීමට පටන් ගැනෙනුයේ ඔවුන්ගේ පෙම්වතියන් එදින රාත‍්‍රියේ දකින අසුබ සිහිනයන් වල ප‍්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ එක් පෙම් යුවළක් පමණක් ඉතිරි වන නමුත් ඔවුන් ද එම යථාර්ථයේ ගොදුරු බවට පත්වන බව ඉඟි කරමින් නාට්‍යය අවසන් වේ.

නාට්‍යයේ මතුපිටින් පෙනෙන දළ සිද්ධි අනුපිළිවෙළ ඔබ දැනටමත් දන්නා නිසා එහි ගැඹුරු දෘෂ්ටිවාදී ප‍්‍රපාතය වෙත අපි දැන් එබී බලමු.
විනාශයේ මිත්‍යාව හෙවත් ප‍්‍රපාතය ළඟ වනස්පතිය ගතානුගතික ආගමික විශ්වාස පද්ධතියක් තුළ ගිලී ගිය සමාජයක් දේශපාලනික වශයෙන් පත්වන ඛේදය විවරණ කර දැක්වීම ප‍්‍රපාතය ළඟ වනස්පතිය නාට්‍යයේ මුඛ්‍ය තේමාව ලෙස හඳුනාගත හැකිය.

මිත්‍යාව සහ විනාශය සංකේතවත් කරන වනස්පතියත්, ප‍්‍රපාතයත් ලාංකික සමාජය පිළිබඳවම වූ ගැඹුරු රූපකාර්ථවත් කියවීමකට අපට ආරාධනා කරන සංකේතයන් දෙකක් බඳුය. වන්දනය මිස වින්දනය හුරු නොකරන ආගමික මිත්‍යාව උත්කර්ෂයට නඟමින් විනාශයේ ප‍්‍රපාතයක් කරා ඇදී යන ලාංකික සමාජයේ ඛේදනීය යථාර්ථය නාට්‍ය විසින් අපට ඉඟි කර සිටින්නේ ඉතිහාසය පුරාවටද ලාංකික සමාජය දෝලනය වී ඇත්තේ ආගමික මිත්‍යාවත් විනාශයත් යන අන්ත දෙක අතර බව සිහිපත් කරමිනි.

නීතියේ ආධිපත්‍යයට වඩා පින් පවු මත යුක්තිය සාධාරණත්වය තීරණය වන බව කොන්දේසි විරහිතව අදහන සංස්කෘතියක් වූ ලාංකික පොදු ජනසමාජය, ම්ලේච්ඡත්වය හා හිංසනය බාරගනු ලබන්නේම එක්තරා උපේක්‍ෂා සහගත හැඟීමකිනි. එවැනි සමාජයක් දේශපාලනික අර්ථයෙන් බලන කළ පෙනී යා හැක්කේ ඇල්මැරුණු බෙලහීන ස්වභාවයකින් වන අතර නාට්‍ය තුළින් අපට පෙන්වනු ලබන්නේ මිත්‍යාව වැළඳගත් බෙලහීන වූ එකී ලාංකික සමාජයේම හරස්කඩකි. ලංකාව තුළ දේශපාලන විප්ලව අසාර්ථක වීමටත්, ඉතිහාසය පුරා පැවත එන ප‍්‍රතිසංස්කරණ භීතිකාවටත් මෙකී ඇල්මැරණු ස්වභාවය හේතු වූ බව සිතීමට තුඩු දෙන තාර්කික අදහසක් නාට්‍යය විසින් අපට සපයා දෙනු ලැබේ.

රට තුළ ක‍්‍රියාත්මක වූ වාමාංශික කැරලි සහ ඊට එරෙහි මර්දන වැඩපිළිවෙළත්, තිස් අවුරුදු යුද්ධයත් රට තුළ මුල් බැසගත් ඝාතන සංස්කෘතියක් නිර්මාණය කරන්නට වුවමනාවටත් වඩා හොඳින් ඉවහල් වූ බව නොරහසකි. පාට පක්‍ෂ භේදයකින් තොරව රටේ දේශපාලන සංස්කෘතිය විසින් ඇති කළ මේ ඝාතන රැල්ල මෙතරම් කෲර සහ ම්ලේච්ඡ එකක් වීම දක්වා ඔඩු දුවන්නට ආගමික සංස්ථාව විසින් පොදු ජනසමාජ චින්තනය තුළ ඇති කළ ඉහත කී ඇල්මැරුණු නිෂ්ක‍්‍රීය ස්වභාවය අවිවාදයෙන්ම හේතු වූ බව සිතිය හැකිය. තමාටම එරෙහි ම්ලේච්ඡත්වයට සහ භීෂණයට එරෙහි වීම වෙනුවට ඔවුන් කවදත් කළේ තමාව බෙලහීන කළ ඒ මිත්‍යාවම යැදීම සහ කන්නලව් කිරීමයි. එහෙත් අවසානයේ ඔවුන්ට ඉතිරි වූයේ ඒ මිත්‍යාව ළඟ ඇති විනාශයේ ප‍්‍රපාතයම පමණක් බව නාට්‍ය තුළින් අපට ඉඟි කරන යථාර්ථයයි.

හැත්තෑ වසකට නොඅඩු කාලයක් තිස්සේ ප‍්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ප‍්‍රායෝගිකව අත්විඳ ඇති ලාංකික සමාජය දෙස බාහිරින් බලන්නෙකුට එය පෙනෙන්නට හොඳටම ඉඩකඩ ඇත්තේ, ඛේදනීය බවේ සහ ව්‍යාකූලත්වයේ සම්මිශ‍්‍රණයක් වශයෙනි. මෙකී ඛේදනීය ව්‍යාකූලත්වය කලාත්මක වියමනක් තුළට ඇද ගැනීම සුළුපටු කාර්යයක් නොවනවා සේම එය සෞන්දර්යාත්මක ප‍්‍රකාශනයක් ලෙස පේ‍්‍රක්‍ෂකයාට සම්මුඛ කිරීම ද ඉන් එහා ගිය අසීරු කර්තව්‍යයකි. මේ අසීරු කාර්යයන් දෙකම මනාව හසුරුවා ගන්නට මෙම නාට්‍යයේ අධ්‍යක්‍ෂවරුන් දෙපළ සමත්ව ඇති බව පළමුකොට කිව යුතුය.



නාට්‍යමය යටිපෙළ සහ චරිත නිරූපණය

ලංකාව යනු තවදුරටත් යුක්තිය සාධාරණත්වය පිළිබඳ හැඟීමක් ඇති මිනිසුන් රෝපණය කළ හැකි පොළොවක් නොවන බව ප‍්‍රපාතයේ යටිපෙළ විසින් මතු කරන එක් ප‍්‍රබල අදහසකි. නාට්‍යයේ හමුවන බීමත් තරුණයා තමා තුළ සැඟවී සිටින ‘තමා වැනිම අනෙකා’ට බිය වන්නේ ඔහු යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමට දක්වන එඩිතර බව නිසාවෙනි. ඔහු නිතරම බීමතින් සිටින්නේ ද ඒ තමා වැනිම අනෙකා අවදි වෙතැයි යන බියෙනි. අයුක්තිය අසාධාරණයට එරෙහි තමා වැනිම අනෙකා අවදි වනවාට බියවන වත්මන් ලාංකික තරුණ පරපුරේ යථාර්ථය එම බීමත් තරුණයාගේ චරිතය තුළින් මැනවින් නිරූපණය වන බවක් දැකිය හැකිය.

තමාගේ උපත දෙමාපියන් වනස්පතියට කළ කන්නලව්වක ප‍්‍රතිඵලයක් ලෙස සිදු වූ බව තරයේ අදහන නෝංජල් තරුණයාගේ චරිතය ද තම වැඩිහිටි පරම්පරාවේ ගතානුගතික මිත්‍යා අදහස් එලෙසින්ම කරපින්නා ගත් අතාර්කික චින්තනයකින් හෙබි වත්මන් තරුණ පරපුරේම තවත් එක් පැතිකඩක් නිරූපණය කිරීමකි. කතාවේ මුලින්ම අතුරුදහන් වන විචක්‍ෂණශීලී තරුණයා සහ අවසානය දක්වාම ඉතිරි වන ආත්මාර්ථකාමී තරුණයා ද මෙකී අවාසනාවන්ත ලාංකික තාරුණ්‍යයේම නියෝජනයන් සේ සැලකිය හැකිය. සමස්තයක් ලෙස නාට්‍යයේ යටිපෙළ ඉස්මතු කිරීම සඳහා වත්මන් තරුණ පරපුරේ ඉතා හොඳ නියැදියක් නාට්‍යකරුවන් විසින් හඳුනාගෙන ඇති බව කිව හැකිය.

නාට්‍යය තුළ අපට හමුවන වැන්දඹු ගැහැනුන් වූකලී භීෂණය විසින් පරිපීඩනයට පත් කළ ලාංකික ස්ත‍්‍රීත්වයේම ඛේදජනක යථාර්ථය නිරූපණය කිරීමකි. උපේක්‍ෂාවේ දෙවඟනන් බඳු ඔවුන්ට කළ හැකි එකම දෙය අතුරුදහන් කළ තම සැමියා පතා යාතිකා කරමින් වනස්පතිය පැදකුණු කිරීම පමණකි. යුද්ධය පිරිමින් මරා දමන අතර ගැහැනුන් නොමරා මරති යන ඓතිහාසික යථාර්ථය පිළිබිඹු කළ ලයිසිස්ට‍්‍රාටා, ට්‍රෝජන් ගැහැනු හෝ වැන්දඹුවෝ වැනි සම්භාව්‍ය නාට්‍ය සිහිපත් කරවන අන්තර්පඨිතමය ගුණයක් ද ප‍්‍රපාතය ළග වනස්පතිය නාට්‍යයේ යටිපෙළ තුළින් ප‍්‍රතිනිර්මාණය කෙරෙන බවක් දැකිය හැකිය.

නාට්‍යයේ සෙසු චරිතයන් ද ඉතා පරෙස්සමින් කියවිය හැකි ගැඹුරු යටිපෙළකට ඉඟි දෙන රූපකාර්ථවත් චරිත ලෙස සැලකිය හැකිය. මායාවත් යථාර්ථයත් අතර දෝලනය වන චරිතයක් ලෙසින් නිරූපිත හිඟාකන ආබාධිත සොල්දාදුවා යුද්ධයේ ශේෂය හඟවන දැවැන්ත රූපකයක් වැන්න. ප‍්‍රපාතයේත් වනස්පතියේත් සියලූ රහස් දන්නා එකම තැනැත්තා ඔහු වන්නට ඇති බව වරෙක අපට සිතෙයි. එහෙත් ඔහු විශ්වාස කළ නොහැකි තරමේ අද්භූත චරිතයකි.



වෙඩි වැදුණු කපුටන් එකතු කරන ගොළු ගැහැනිය ද නාට්‍ය තුළ ප‍්‍රබල චරිතයක් ලෙස කැපී පෙනෙන්නේ ඇගේ අධ්‍යාශය අපට පැහැදිලිව හෙළි නොවන හෙයිනි. අඩු තරමින් ඇය හැසිරෙන්නේ වියරුවෙන්ද නැතහොත් උමතුවෙන්ද යන්න හෝ නිශ්චය කළ නොහැකිය. ඇතැම්විට තමාගේ ඉරණම වශයෙන් වනස්පතිය හෝ ප‍්‍රපාතය තෝරා නොගත් ගැහැනියකගේ ඛේදය ඈ වෙතින් පළවන්නේ යැයි ද සිතිය හැකිය.

ඕලාරික හැසිරීම් ඇති සරාගී කතුන් පිරිස නාට්‍යයේ ධාරණාවටත් වඩා ප‍්‍රාසාංගික බවට වැඩි සහයක් එක්කළ බව කීම නිවැරදිය. ඔවුන් පෙනී සිටින්නේ බෞද්ධ උපාසිකාවන්ගේ විසංයෝජනයක් නැතහොත් විකෘතියක් වශයෙනි. ‘උපාසිකාව’ යන වාග්මය සංඥාව තුළින් අපට මැවී පෙනෙන දෘෂ්‍ය රූපය වන විරාගී-මහලූ ගැහැනිය වෙනුවට සරාගී-තරුණ රූපයක් විසංයෝජනීයව ආදේශ කොටගෙන තිබීම ඉතා උත්ප‍්‍රාසවත් කියැවීමකි.

සමස්තයක් වශයෙන් නාට්‍යයේ රඟපෑ තිහකට අධික රංගන ශිල්පීන් සියලූ දෙනාගේම රංගනයන් ඉතා ප‍්‍රශස්ත මට්ටමක තිබූ බව පමණක් කෙටියෙන් ලිවීම මෙම ලියවිල්ල තවත් දීර්ඝ නොවනු පිණිස හේතුවනු ඇත.

අනුෂාංගික සංකලනය

ප‍්‍රාසාංගික මාධ්‍යයක් වූ නාට්‍ය කලාව තුළ රූපණය සහ පෙළ පමණක් නාට්‍යයක සාර්ථකත්වයට තුඩු දෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ආලෝකකරණය, සංගීතය, අංගරචනය, රංගවින්‍යාසය වැනි සකලවිධ අනුෂාංගියන්ගේ අඩුවැඩිය ද නාට්‍යයක සාර්ථකත්වය කෙරෙහි ඇති කරනුයේ නොමඳ බලපෑමකි. ඒ අර්ථයෙන් මෙම නාට්‍යයට අනුෂාංගිකයන් වෙතින් ලැබී තිබූ සහය අතිශය ප‍්‍රශස්ත වූ බව කිව හැකිය. විශේෂයෙන්ම සංගීතය නාට්‍යයේ ධාරණාවට උපරිම සාධාරණයක් ඉටු කළ බව කිව හැකිය. අතරින්පතර ගැයුණු කාන්තා විලාපයක දෝංකාරය අනුරාව නංවන ගායනය නාට්‍යයේ සංවේදී බව තීව‍්‍ර කිරීමට මෙන්ම තේමාත්මක ඒකාග‍්‍රතාව පවත්වා ගැනීමට ද මනා සේ ඉවහල් විය.

ආලෝකකරණය සහ අංගරචනය ද පැසසිය යුතු මට්ටමක පැවති අතර නාට්‍යයට ඉතා උචිත කලාත්මක පසුතලයක් ද එක් වී තිබීම නාට්‍යයේ නාටකීය බව ඉහළ නංවන්නට හේතු විය. චලනය වන උපවේදිකාවක් භාවිතා කර තිබීම රංග වින්‍යාසමය ප‍්‍රයෝග වඩාත් ආකර්ශනීය තැනකට කැඳවීමට සමත් වූවා සේම ආංගික අභින යොදාගනිමින් කළ රංගනයන් වැඩි කළඑළියක් හා ප‍්‍රාසාංගික බවක් එක් කරන්නට සමත්විය. එහෙත් ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් යොදාගනිමින් ඉදිරිපත් කළ රූපපෙළ, බලහත්කාරයෙන් එල්ලූ අනවශ්‍ය ප‍්‍රයෝගයක් සේ පෙනෙන්නට වූයේ නාට්‍යයේ රසවින්දනයට මෙන්ම ධාරණාවටද හානි පමුණුවමිනි. නාට්‍යයේ දැවැන්ත බව නිසාම අතිශය වෙහෙසකර අභ්‍යාසයක් වන්නට ඇතැයි නිසැකවම සිතිය හැකි වේදිකා පරිපාලනය අතින් ද උපරිම සහයක් නාට්‍යයට ලැබී තිබුණු බව දක්නට ලැබුණි.

කෙසේ වුවද, සමස්තයක් ලෙස සලකා බලන විට ‘ප‍්‍රපාතය ළඟ වනස්පතිය’ යනු ආධුනික නාට්‍යකරුවන්ගේ වෑයමකට වඩා ප‍්‍රවීණත්වයට කිට්ටුවන ලාංකික තරුණ නාට්‍යකරුවන් පිරිසකගේ සාර්ථක පියවරක් වශයෙන් සැලකීමට හැකි බව කීම අතිශයෝක්තියක් නොවේ.

වංකගිරි නාට්‍ය සහ ප‍්‍රපාතය

ලංකා නාට්‍ය ඉතිහාසයේ ආරම්භක පරිච්ජේදයේ සැලකිය යුතු කොටසක් වැසී යන්නේ විශ්වවිද්‍යාල නාට්‍යවලින් වුවත් කොළඹ-පේරාදෙණි ගුරුකුලවාදය පසුකාලීනව සාහිත්‍ය පෙරටුකොට ගත් සටනක් බවට පත් වීමත් සමඟ විශ්වවිද්‍යාල නාට්‍ය ක‍්‍රමිකව අභාවයට යන්නට පටන් ගැණුනු බව නාට්‍ය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. ලාංකේය නාට්‍ය ඉතිහාසය තුළ නැවතත් විශ්වවිද්‍යාල නාට්‍ය ප‍්‍රබෝධයක් ඇති වන්නේ ඉතා මෑත අවදියකදී වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ඇකඩමික් ප්ලේයර්ස් සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන් නාට්‍ය කණ්ඩායම් ඒ අතර ප‍්‍රමුඛපෙළේ මෙහෙවරක නියුතු වූ බව පෙන්වා දිය හැකිය. කැලණිය, නාට්‍ය පරිවර්තන වෙත වැඩි නැඹුරුවක් දැක්වූ බව පෙනෙන්නට තිබූ අතර, සෞන්දර්ය විද්‍යාර්ථීන්ගේ ස්වතන්ත‍්‍ර නාට්‍ය මෑත කාලීනව වේදිකා නාට්‍ය තුළ ප‍්‍රවණතාමය තත්ත්වයන් රැසක් නිර්මාණය කරන්නට සමත් වූ බව පෙන්වා දිය හැකිය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය නිර්මාණ තුළ මෑත කාලීනව දක්නට ලැබුණු එවැනි ප‍්‍රවණතා කිහිපයක් මෙලෙස සැකෙවින් දැක්විය හැකිය.

• තේමාවන්ගේ අතිදේශපාලනික බව සහ ඒකාකාරී බව
• විරල රංග වින්‍යාස ප‍්‍රයෝග භාවිත කිරීම
• විශාල නළුනිළි සමූහයන් යොදා ගැනීම
• ආනුෂංගිකයන් වෙතින් වැඩි දායකත්වයක් ලබාගැනීම
• සිද්ධිවල වියුක්තබව සහ දෙබස්වල සංකීර්ණ බව



ඉහත කී අංග ලක්‍ෂණ ප‍්‍රපාතය ළඟ වනස්පතිය නාට්‍ය තුළින් ද වැඩි වශයෙන් දක්නට ලැබුණු බව කිව හැකිය. මීට පෙර සෞන්දර්ය විද්‍යාර්ථීන් විසින් ඉදිරිපත් කළ ‘මිස්ටර් W හෙවත් අත්තනායකගේ අවසන් දවස්’, ‘සෙවන් සිමියොන්’, ‘චත‍්‍රපාණි’ වැනි දිගු නාට්‍ය සහ ගිය වසරේ ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙලේදී වේදිකාගත කළ කෙටි නාට්‍ය සමූහය ද ඉහත කී ප‍්‍රවණතාවන් තුළ ගිලී ගිය නිර්මාණ බව සිහිපත් කළ හැකිය.

සමස්තයක් වශයෙන් බලන කළ ඉහත ප‍්‍රවණතා මෙම නාට්‍ය තුළට අනවශ්‍ය තරමේ ගැඹුරක් සහ රළු බවක් එක් කිරීමට තුඩුදුන් බවක් දක්නට ලැබුණි. මේ නිසා පේ‍්‍රක්‍ෂක දෘෂ්ටිකෝණයට අනුව බලන කළ මෙම නාට්‍ය භාවිතය කලාත්මක ප‍්‍රකාශනයකට වඩා දුරවබෝධ වංකගිරියක් ලෙස පෙනී යාමේ වැඩි අවදානමක පැවතුණු බව කිව හැකිය.

‘ප‍්‍රපාතය ළඟ වනස්පතිය’ තුළද ඉහත කී පොදු දුර්වලකම් ඇතත්, නිරපේක්‍ෂව බලන කළ ඒ සියල්ල යටපත් කරගනිමින් ප‍්‍රශස්ත නිර්මාණයක් ලෙස ඇගයීමට තුඩු දෙන කරුණු ඕනෑ තරම් එයින් සපයා ගැනීමේ හැකියාව තිබුණි. ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ සත්වැනි දශකයට එළැඹෙමින් සිටින මොහොතක නාට්‍ය කලාවේ ප‍්‍රගමනය වෙනුවෙන් සෞන්දර්ය විද්‍යාර්ථීන්ගේ අප‍්‍රතිහත කැපවීම සහ උනන්දුව අතිශය අගය කළ යුතු සේම ලාංකේය නාට්‍ය කලාව ප‍්‍රපාතයට නොවැටෙන්නට නම් වංකගිරි වලින් මෙපිට මෙවන් ‘ප‍්‍රපාතයන්’ තව තවත් නිර්මාණය විය යුතු බවත් නොලියාම බැරිය.

සේයාරූ- Perabeats Life
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Drama Review, Prabathaya Langa Wanaspathiya, Sinhala Stage Drama, Sri Lankan Drama, Sri Lankan University Dramas
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දමිත් වැලිකලගෙන් තවත් වියමන්
කවි
ෂැන්ග්‍රිලා....
කතන්දර
අඟහරු තරණය
Cine
සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි"
Cine
අබවසක හුදෙකලාව නොහොත් ගුරුත්වයේ සිට 'ග්‍රැවිටි' කියැවීම
කවි
සිත සිත ලෝ දහම සිහි කරනුය නන්ද!
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook