Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
බූන්දි, 17:29:42
මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා වියේදීම කලාවට යොමු වූ සේකර වෘත්තීය ජීවිතය ඇරඹුයේ ගුරුවරයෙකු වශයෙනි. ගුරු පුහුණුවෙන් පසු ගුරු විද්‍යාල කථීකචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහගම සේකර ඉක්බිති රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ සේවයට බැඳුණි. පසුව ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහුගේ ගීත ප්‍රබන්ධ අමරදේවයන්ගේ ගායනයෙන් රසිකයන් වෙත පැමිණියේය. ගීත රචක සේකරත් ගායක අමරදේවත් එකතු වී දේශීය සංගීත පෝෂණයට පෙරමුණ ගත්තේ 'මධුවන්ති' නම් ගුවන්විදුලි වැඩසටහන ඔස්සේය. රජයේ කලායතනයෙහි අධිපති ධුරයට පත් ඔහු ලියූ 'තුං මං හන්දිය' නව ආරේ නවකතාවකි. එය සිනමා සිත්තමකට ද නගිණි. සිංහල කවිය පිළිබඳ විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් කළ සේකර 'සක්වාලිහිණි' කාව්‍යයෙන් නව ගී මගක් හෙළි කිරීමට ගත් වෑයම විචාරක පැසසුමට භාජනය විණි. හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ යන කාව්‍ය සංග්‍රහ මගින් හෙළි කළ කාව්‍ය ප්‍රතිභාව බොහෝ තරුණ කවීන්ට ගුරුපදේශ බඳු විය. ලන්ඩන් බී.ඒ. ගෞරව උපාධිය දිනාගත් සේකර පසුව පී.එච්.ඩී. උපාධි නිබන්ධය ද සකස් කළේ සිංහල රිද්ම රටා පිළිබඳවය. ගීත ප්‍රබන්ධකයෙකු, කවියෙකු, නවකතාකරුවෙකු, සාහිත්‍ය විචාරකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, නාට්‍ය හා තිරනාටක රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ආදි වශයෙන් පෙර අපර දෙදිග කාව්‍ය සම්ප්‍රදායන්ගෙන් සහ චින්තනයන්ගෙන් පෝෂණය ලත් සේකරගේ කවිත්වය සම්භාව්‍ය සහ නව්‍ය උභය කාව්‍ය මාර්ගයන් ඔස්සේ පෝෂණය වූයේය. ඔහුගේ කලා කෞශල්‍යයේ අග්‍රඵලය නම් ප්‍රබුද්ධ කාව්‍යයයි.

විවිධ කලා කුසලතාවන්ගෙන් පිරිපුන් මහගම සේකර කවියා 1976 ජනවාරි 14 වන දා කලා ලොවින් සමුගත්තේය."

(-නිර්මාණ පසුබිම, (1987), සුරවීර, ඒ. වී., කොළඹ 10, සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, පි. 64)

ව්‍යාඛ්‍යායක-

ඉරු දෙවියෝ මට වරං ලැබෙන්ටයි
සඳ දෙවියෝ මට වරං ලැබෙන්ටයි
රඟ මඬලේ බිම පාද තබන්ටයි
මහ මිහිකත මට වරං ලැබෙන්ටයි

(-කුණ්ඩලකේශී නාට්‍යය)

සේකරගේ කවිය, ගීතය, නවකතාව, කෙටිකතාව සහ චිත්‍රපටය පිළිබඳ විචාර සැපයීමට බොහෝ දෙනා යොමු වී ඇතත්, ඔහුගේ නාට්‍ය පිළිබඳ ව බහුතරයකගේ අවධානය යොමු වී නොමැති බවක් පෙනෙයි. මක්නිසාද යත් ඔහුගේ නාට්‍ය රචනා පිළිබඳ සඳහන් වූ තොරතුරු, නාට්‍ය පිටපත්, විචාර හා පුවත්පත් ලිපි සොයා ගැනීම මෙන් ම ඔහුගේ නාට්‍ය නිර්මාණ ගැන දන්නා අය සොයා ගැනීම ද අතිශය දුෂ්කර ක්‍රියාවලියක් වීම නිසාය.

මගියා- මාත් එනවා දවස් ගණනක් තිස්සේ. තවම බැරි උනා ගමනේ කෙළවරක් දකින්න. මට හිතෙනවා සංසාරෙත් මේවගේ කියලා. අපි ඔක්කොම ඇවිදින්නේ නිකං හීන ලෝකෙක අගක් මුලක් නැති, කොච්චර ඇවිද්දත් තවම බැරි උනා බුදු හාමුදුරුවෝ දේශනා කරපු බණ පදයක් අහන්ඩ.
(-ත්‍රෛලෝකාධිපති නාට්‍යය)

සේකරගේ නාට්‍ය නිර්මාණ ස්වකීය සාහිත්‍ය ජීවිතයේ මුල් කාලයේ දී ම ආරම්භ කර ඇති බව පැහැදිලි ය. එක්දහස් නවසිය පනහ දශකයේ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරු සේවයේ යෙදෙන කාලයේ පාසලේ ශිෂ්‍යයන් සමඟ එක් වී නිර්මාණය කළ නාට්‍යයක් පිළිබඳ ආරංචි මාත්‍රයෙන් දැනගත හැකි විය. එය ස්වර්ණතිලකා නම් විය. එම නාට්‍යයේ මුද්‍රිත පිටපතක් හෝ වෙනත් සඳහනක් පිළිබඳ ව සොයාගත නොහැකි විය.

ගායක පිරිස-
යා දෙක නෑ රත නොරත බැඳෙන්නේ
ආදරයේ නැත මල් ඵල දෙන්නේ
ආදරයම වයිරයට හැරෙන්නේ
බේරු අත යළි මරු ගෙන එන්නේ

ජීවිත කතරේ මිරිඟුව අතරේ
ලුහුබඳිනා සැප නොමැත ලැබන්නේ
ලුහුබඳිනා සැප විපතට පෙරළී
සෝකයකින්මයි කෙළවර වන්නේ

(-කුණ්ඩලකේශී නාට්‍යය)

මහගම සේකර ගීත රචකයෙකු, කවියෙකු, නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, ළමා පද්‍ය රචකයෙකු, ළමා නාට්‍ය රචකයෙකු, චිත්‍රපට තිර රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, අනුවර්තකයෙකු බව දැන සිටියත් නාට්‍ය රචකයෙකු බව ලංකාවේ බොහෝ දෙනෙක් නොදනිති.

මහගම සේකර, ගුණසේන ගලප්පත්ති සමඟ රචනා කළ මූදු පුත්තු නාට්‍ය හැරුණු විට වෙනත් නාට්‍ය පිළිබඳ ව බොහෝ දේවල් නොදැන සිටි නිසා ම, හංස ගීතය හා වෙනත් නිර්මාණ නම් රත්නසිරි අරංගල විසින් සංග්‍රහ කරන ලද කෘතියෙහි නාට්‍ය පෙළ කියවා රසවිඳින්නට වීමි.

හංස ගීතය සහ තවත් නාටක කෘතියේ ගීත නාටක, ගීතාංග නාටක, ගද්‍යමය සංවාද දෙබස් සහිත මෙන් ම ශෛලිගත ස්වරූපයෙන් යුතු හංස ගීතය, කුණ්ඩලකේශී, ත්‍රෛලෝකාධිපති, සබ්බා නදී වංක ගතා, ගමන ආදී දිගු නාට්‍ය සහ කෙටි නාටක දැකගත හැකි විය.

සේකරගේ කවි, ගීත රචනා, තුංමංහංදිය නවකතාව වැනි නිර්මාණ අතිශය විශිෂ්ටත්වයට පත් වූ බව මුළු රටම දන්නා දෙයක් නිසා ම ඔහුගේ නාට්‍ය රචනා එම නිර්මාණවලට දෙවෙනි විය නොහැකි බව විශ්වාස කළ හැකි ය. එය සක්සුදක් සේ තහවුරු කර ගැනීමට නම් සේකරගේ නාට්‍ය සියල්ල කිහිප වතාවක්වත් කියවිය යුතු ය.

කුමරී-
දෙගුරු නොතකා අන් හැම නොතකා
පාවා ගත් හිමි කොයිබද ඉන්නේ
පෙම් කළ වරදට වන්දිය විලසට
ජීවිතයම කඳුලේ පා වෙන්නේ

මාළිගයට ආපසු යා නොහැකියි
මිරිඟුව ලුහු බැඳි කාලය ඉවරයි
ඔබ (ගේ) සරණයි සම්බුදු හිමියනි
ඔබ හැර මට අන් සරණක් නොමැතියි

(-කුණ්ඩලකේශී නාට්‍යය)

රත්නසිරි අරංගල සංග්‍රහ කරන ලද මහගම සේකරගේ හංස ගීතය සහ තවත් නිර්මාණ කෘතියේ දී එතුමා විසින් සඳහන් කරනු ලබනුයේ,

"සේකර අතින් ලියැවුණු නාට්‍ය, ගීත නාටක (ගද්‍යමය ස්වරූපයෙන් කෙරෙන සංවාද රහිත, හුදෙක් ගායනයෙන්ම භාව සූචනය කෙරෙන නාටක) හා ගීතාංග නාටක (ගීතයෙන්ම කතා විකාශනය සිදු නොවන, ගද්‍ය සංවාද ද ඇතුළත්, ගීතය භාව සූචනයෙහි අගංයක් පමණක් ලෙස භාවිත කරන නාටක) යන දෙකොටසට බෙදා දැක්විය හැකි ය."
(-ගීත නාටක සාහිත්‍යය, ආචාර්ය සුනිල් ආරියරත්න, විතර්ක: 1985 මාර්තු, කොළඹ, 37 පිට)

සද්දන්ත සහ තවත් නාටක කෘතියේ පළ වූ නාට්‍ය හැරුණු විට ඔහුගේ ඉතිරි නාට්‍ය සමහරක් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වී ඇති අතර තවත් සමහරක් විවිධ වාර සඟරාවල පළ වී ඇත. ඇතැම් නාට්‍යයක් වේදිකාගත වූ බව අපට ආරංචි මාත්‍ර වශයෙන් දැනගත හැකි විය.

එසේ ම ඔහුගේ නව සඳ, දිය උල්පත (වණ්ණුපථ ජාතකය ඇසුරෙනි) සහ නිදහස් ලංකා යන ගීත නාටක, මහගම සේකරගේ ගීත කෘතියෙහිත් (මහගම සේකරගේ ගීත, මහගම සේකර, 1972, කොළඹ, 85-103 පිටු) ථෙරි ගාථාවල එන සුභා තෙරණියගේ කතා පුවත ඇසුරෙන් රචිත සුබා ගීත නාටකය, "බෝඩිම" කෘතියෙහිත් පළ වී ඇත. (බෝඩිම, මහගම සේකර, 1970, දෙසැම්බර්, ගම්පහ, 55-58 පිටු)

"සමකාලීන ප්‍රවීණ නාට්‍යකරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණවලට ද සේකර ගී පදමාලා සැපයීමෙන් දායක වී ඇත. මේ ගී බොහොමයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කැරේ. හුදෙක් කේවල ගීත නිර්මාණ වශයෙන් ම වුවත් මේවා සාර්ථක හා ජනප්‍රිය ගීත බවට පත් වී තිබීම ද නාට්‍ය කලාව සම්බන්ධයෙන් සේකර සතුව පැවති කෞෂල්‍ය මෙන් ම පුළුල් දැනුම ද ප්‍රකට කරන සාධකයකි."

මගියා-
පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු
ඇතිවෙලා නැතිවෙලා යනවා
අහස පොළොව ඉරහඳ තාරකා
හැම එකක්ම එහෙමයි

(-ත්‍රෛලෝකාධිපති නාට්‍යය)

සද්දන්ත හා තවත් නාටක- 1961
මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ)- 1965
හංස ගීතය (1967) සහ වෙනත් නිර්මාණ- 1985
කොටි වළිගය (ළමා නාට්‍ය)- 1990


ඉහත සඳහන් කර ඇති වර්ෂය ඒ ඒ කෘතිය පළමුව මුද්‍රණය කළ වර්ෂයන් ය. හංස ගීතය හා තවත් නිර්මාණ කෘතියේ අන්තර්ගත නාටක සමහර ඒවා මුද්‍රණයට බොහෝ පෙර රචනා කළ ඒවාය. සේකරගේ නාට්‍ය රචනා ලෙස,

1. ස්වර්ණතිලකා
2. කුණ්ඩලකේශි
3. ත්‍රෛලෝකාධිපති
4. සබ්බ නදී වංක ගතා
5. ගමන
6. හංස ගීතය
7. කොටිවළිගය
8. සද්දන්ත
9. නව සඳ
10. දිය උල්පත
11. නිදහස් ලංකා
12. සුබා
13. මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ)
ආදී නාට්‍ය හඳුනාගත හැකි ය.

ඉහත සඳහන් කළ නාට්‍ය කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය වශයෙන් රචනා කළ ඒවා ය. සේකරගේ අග්‍රගණ්‍ය හැකියාව වන්නේ නිවැරදි රසයත්, අර්ථයත්, නිවීමත් සමඟ දේශපාලන සහ සමාජ යථාර්ථය වඩාත් පහසුවෙන් ඕනෑම පුද්ගලයකුට ග්‍රහණය කරගත හැකි පරිදි නිර්මාණය කර තිබීමයි.

ගායක පිරිස-
වසන්තයේ තුරු පිබි දී
කෙල සුවහස් මල් නැගුණා
සීතල හිම කැටි වැස්සේ
ඒ මල් දිය වී වැටුණා

(-ත්‍රෛලෝකාධිපති නාට්‍යය)

එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය සඳහා කතා වස්තූන් සොයාගනු ලැබුයේ පුරාණෝක්ති, ජන කතා, ජනශ්‍රැති, රජ කතා, ජාතක කතා, බෞද්ධ සාහිත්‍යය ඇසුරෙනි. එමගින් ගැමි ජනයාට එම නිර්මාණ තමන්ගේ යැයි සමීප වූවා සේ ම, රස විඳීම, අර්ථය හා ජීවිතාබෝධය ලබා ගැනීම පහසු විය.

ගැමි ජනයා නාට්‍යයේ කතාව, අවස්ථා, සිද්ධි, චරිත තම දැනුමේ අත්දැකීමේ පරාසයෙන් තේරුම් ගන්නට උත්සාහ ගත්හ. එකෙකු තව එකෙකුට වඩා බොහෝ පරතරයකින් අවබෝධය ලබන තරමේ නිර්මාණ ඔවුන්ට නොමැති විය. එය සේකරගේ නාට්‍ය නිර්මාණයන් තුළින් ද පැහැදිලිව දැකගත හැකි ය. එදා කෝලම, නාඩගම, නූර්තිය, සරච්චන්ද්‍ර නාට්‍යයෙහි තිබූ සමාජ උපහාසය, සමාජ යථාර්ථය, ශෛලිය, රස භාව, මනුෂ්‍යත්වය, ආගමික නැඹුරුව, අනිත්‍යය සේකරගේ නිර්මාණ තුළ ද අන්තර්ගත වී ඇත.

ගායක පිරිස-
මිනිස් ලොවේ ඇති සැපත මුලාවකි
බත පිසෙනා තුරු දුටු සිහිනය සේ
සියක් වසක් ඔබ ලැබු හැම සුව සැප
මරු ආ කෙණෙහිම මොහොතින් වැනසේ

(-ත්‍රෛලෝකාධිපති නාට්‍යය)

ගායක පිරිස-
සසර දුකට සත ඇඳ බැඳ තබනා
කෙලෙස පටල හැම සිඳ බිඳ ලමිනා
නිවන ලබන මඟ පෑ මුණි සරණා
පමණි සතට ඇති එක පිළි සරණා

(-ත්‍රෛලෝකාධිපති නාට්‍යය)

විශ්වීය නාට්‍යකරුවකු, නාට්‍ය රචකයකු ලෝකය දෙස තම දෘෂ්ටිය හෙලනුයේ දාර්ශනික පදනමක සිට ය. බොහෝ නාට්‍ය කරුවන් කතන්දර කීමට, දැනුම දීමට (වාර්තා රංග), දේශපාලනය හා සමාජය කියවීමට, දෛවය, කර්මය, ජීවිතය, ප්‍රේමය, විරහව සහ ශුන්‍යත්වය වැනි විෂය පිළිබඳව ස්වකීය දැක්ම අත්දැකීම් ප්‍රකට කරන්නක් ලෙසත් නාට්‍ය රචනා, අධ්‍යක්ෂණයන් සහ නිෂ්පාදනයන් ඉදිරිපත් කරනු ලබයි.

ලංකාවේ සහ ලෝකයේ විශිෂ්ට ගණයෙහිලා සැලකෙන විශ්වීය නාට්‍ය විමසා බලන විට මේ පිළිබඳ අවබෝධ කරගත හැකි ය. එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ, සිංහබාහු, ෆෙද්රිකෝ ගාර්ෂියා ලෝර්කාගේ Blood Wedding, එව්ගිනි ස්වාට්ස්ගේ The Dragon, ඇරිස්ටොෆනිස්ගේ Lysistrata, එඩ්වඩ් ඕල්බීගේ The Zoo story, සොෆොක්ලීස්ගේ Oedipus Rex, Antigone, විලියම් ශේක්ස්පියර්ගේ A Midsummer Night's Dream, Macbeth ඉන් කිහිපයකි.

රජ-
සියලු නදීහු ඇදව ඇදෙන්නෝ
සියලු කැලෑවෝ වේලී යන්නෝ
ඉඩකඩ නිසි අවකාස ලබන්නෝ
සියලුම අඟනෝ පවෙහි බැඳෙන්නෝ

බමුණා-
කොපමණ ගංඟා ඇද වී ගැලුවත්
ගඟක් තිබේ එක් ඇද වී නොගලන
අඟනන් අන් හැම පාපෙහි බැඳුනත්
මගේ බිරින්ඳට නොමැතිය ඒ ගුණ

(-සබ්බා නදී වංක ගතා නාට්‍යය)

ලෝකයේ විවිධ තේමා, විවිධ අරමුණු, විවිධ දෘෂ්ටි, දර්ශනයන් ඔස්සේ නාට්‍ය නිර්මාණ විය. සෑම ආගමක් මුල් කරගෙනම ඇති වූ කතා කලාව නාට්‍ය කලාව උපදේශනාත්මක හෙවත් සඳූපදේශාත්මක නිර්මාණ ලෙස ද බිහිවන්නට විය. ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලිය, එංගලන්තයේ බිහි වූ සඳුපදේශ නාට්‍ය කලාව (සකල ජන නාට්‍යය) නිදසුන් ලෙස ගත හැකි ය.

වඩාත් යහපත් මිනිසෙකු සමාජයෙහි බිහි කිරීම, පවට බිය පිනට ලැදි මිනිසකු බිහි කිරීම එවැනි නිර්මාණයන්හි අරමුණ වූවාට සැක නැත. සේකරගේ හංස ගීතය, ත්‍රෛලෝකාධිපති ආදි නාට්‍ය නිර්මාණවල ඉහත ගුණය දැකගත හැකි ය. හංස ගීතය නාට්‍ය අවසන් කරනුයේ තණ්හාය ජායතී සෝකෝ යනුවෙන් සේකර විසින් සඳහන් කරය.

මූදු පුත්තු නාට්‍යය, අනුවර්තනයක් ලෙස ගුණසේන ගලප්පත්ති සමගින් මහගම සේකර රචනා කළේ ස්පාඤ්ඤ ජාතික ෆෙද්රිකෝ ගාර්ෂියා ලෝර්කාගේ ග්‍රාමීය ශෝකාන්ත නාට්‍ය ත්‍රිත්වයෙන් එකක් වන යෙර්මා නාට්‍යය යි. සේකරගේ ජීවන දෘෂ්ටිය නාට්‍යයෙහි කෙතරම් දුරට ප්‍රකට කරන්නේ ද යන්න පිළිබඳව මූදු පුත්තු නාට්‍යය ගැනීම එතරම් ම උචිත නොවන්නේ ගුණසේන ගලප්පත්ති සමඟින් රචනා කිරීම නිසා සේකරගේ ස්වාධීන චින්තනය කෙතරම් දුරට මූදු පුත්තු නාට්‍යයේ මිශ්‍ර වී ඇද්දදැයි සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන නිසා ය.

"මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදා කරවා
පෙන කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා"

(-මූදු පුත්තු නාට්‍යය)

මූදු පුත්තු නාට්‍යයේ මෙම ගීතය පමණක් වුව සේකරගේ නාට්‍ය සාහිත්‍ය පිළිබඳ වූ දැනුම, අවබෝධය, වටහා ගැනීම ප්‍රමාණවත් ය. ගුණසේන ගලප්පත්ති විශිෂ්ට නාට්‍යකරුවකු බවත් තදියන්කාරයකු බවත් මහගම සේකර අඩුවෙන් කතා කළ විශිෂ්ට සාහිත්‍යකරුවකු බවත් මා අසා කියවා ඇත්තෙමි. සේකර ගලප්පත්ති සුසංයෝගය කෙතරම් සාර්ථක වූවා ද යන්න මූදු පුත්තු නාට්‍යයෙන් පැහැදිලි වේ. අමරදේව සේකර සුසංයෝගයට පමණක් දෙවෙනි වේ. එහෙත් මූදු පුත්තු නාට්‍යයෙහි මුල්ම දර්ශන වාරවල දී කුණුහරුප නාට්‍යයක් යැයි කියා පාසල් සිසුන්ට නොපෙන්විය යුතු නාට්‍යයක් ලෙස ගුරුවරුන් හා දෙමාපියන් විසින් නාට්‍ය දර්ශන වර්ජනය කර ඇති බව දැන සිටීම වැදගත් ය. කෙතරම් විශිෂ්ට, විශ්වීය, අග්‍රගණ්‍ය මිනිසෙකු වුවත් ප්‍රතිෙක්ෂ්ප කරන එකෙකු හෝ ඕනෑම සමාජයක දී සොයා ගත හැකි බව සේකර ප්‍රත්‍යක්ෂ කර සමාජ යථාර්ථය ජීවිතයෙන් මරණයෙන් පවා ඔප්පු කර ඇත.

1967 දී පමණ හංස ගීතය නම් වූ නාට්‍ය රචනා කිරීමට පෙර කුසුමලතා මහගම සේකර හෙවත් සේකරගේ බිරිඳට සේකර පවසා ඇත්තේ, පෙරදින රාත්‍රිය පුරාවට ම තමා නාට්‍යය දුටු බව යි. එය පසු කතාවක් ලෙස ඇයට කී බවත්, එහි පද්‍යමය ස්වරූපය, ගායනය, වාදනය හා නාට්‍යමය ගුණය සම්මිශ්‍රණයෙන් නිර්මාණය කිරීමේ අරමුණෙන් කටයුතු කළ බවත්, හංස ගීතය නාටකයේ එන හංස ධේනුව නම් චරිතය නර්තන විලාසයෙන් පෝෂණය කර නිර්මාණය කිරීම පිළිබඳවත්, ඒ සඳහා නිළියක තෝරා ගැනීමටත් දැඩි කල්පනාවක හා සාකච්ඡාවක සේකර විසින් යෙදුණු බවත් ගුවන්විදුලියේ වෙළඳ සේවයේ මහගම සේකර වාර්තා වැඩසටහනකට එක්වෙමින් ඇය කියා සිටියා ය.

හංස ගීතය දිගු නාට්‍යයකි. ළමයාගේ සිට වැඩිහිටියා දක්වා හොඳින් රස විඳීමටත් ප්‍රඥාව අවධි වන ලෙසත් ඉන්ද්‍රජාලික බවින් ද පොහොසත් පරිකල්පනයෙන් සරල බස් වහරින් රචනා කර ඇති අයුරු ප්‍රශංසනීය ය. එය උපදේශයකි. බණ පදයකි. නාට්‍යයකි. කතාන්දරයකි. සුරංගනා කතාවකි. මායාවකි.

නාට්‍යකරුවාගේ ප්‍රබලතම අරමුණ සමාජ යථාර්ථය සමාජයට ප්‍රකාශ කිරීමත්, යහපත් ජීවිත පාපකාරී සිතුවිලිවලින් මුදවා යහපත් සමජයක් බිහි කිරීමට අවශ්‍ය චින්තනය සකස් කිරීමත් බව සේකරගේ හංස ගීතය නම් විශිෂ්ට නාට්‍ය පෙළ සාක්ෂි දරයි.

ලෝකයේ 'නාට්‍ය සාහිත්‍ය' ඉතා ඉහළින් සලකණු ලැබුව ද ලංකාවේ දේශීය සිංහල ගැමි සාහිත්‍ය රසය නිවැරදිව වටහා ගත් නාට්‍යකරුවන් අතර එදිරිවීර සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම, දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්න ආදි විදග්ධ නාට්‍ය රචකයන් තරම් ම මහගම සේකර ද දේශීය සිංහල නාට්‍ය සාහිත්‍යයේ සැඟවුණු සලකුණක් බව ද සේකරගේ නාට්‍ය පෙළ අධ්‍යයනය හෝ පරික්ෂා කරන්නෙකුට හොඳින් වැටහෙනු ඇත.

මහල්ලා-
තුරුලිය ලියලා
නව මල් නැගුණේ
ඒ මල් සුවඳේ
සිතු මල් පිපුණේ

එනමුත් නැත ඉන්
ඵල හට ගැනුනේ
හටගත් බොල් මල්
පර වී වැටුණේ

සිතු දේ කිසිදා
නැත හමු වූයේ
නොසිතූ දේ හෝ
නැත සිදු වූයේ
එනමුත් කාලය
නැත මඟ රැඳුනේ
වසරින් වසරට
හෙමිහිට ගෙවුනේ

(-ගමන, 92 පිටුව)

ගද්‍යත් පද්‍යත් මිශ්‍ර වූ ඡම්පු කාව්‍ය නාට්‍ය සාහිත්‍යය, ගද්‍යයෙන් (දෙබස්, සංවාද) පමණක් නිර්මාණය වූ නාට්‍ය, ගීත හා පද්‍ය පමණක් සහිතව නිර්මාණය වූ නාට්‍ය ලෙස සේකරගේ නාට්‍ය රචනා වර්ග කළ හැකි ය. ශෛලිය අතින් අතිශය සමීප වන්නේ ශෛලීගත හෙවත් නාට්‍ය ධර්මී රංග ශෛලියට ය. මනරම් භාෂා ශෛලිය, කාව්‍යාත්මකවත්, හොඳම පද හොඳම පිළිවෙලටත් ගැළපී ඇති බව සේකරගේ නාට්‍යවලින් නිරවුල් ලෙස විිද්‍යමාන වෙයි.

ළමයි-
ඔන්න ඔන්න අවුරුදු එනවා
කැවුම් කොකිස් කද බැඳගෙන
අලුත් ඇඳුම් පොදි බැඳ ගෙන
ගමින් ගමට අවුරුදු එනවා

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
පුංචි සිනා රැළි දෙතොලේ
රංචු ගැසෙයි ගෙයි මිදුලේ

-ගමන, 93 පිටුව

තරුණයා-
දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්ඩ යන සැටි
බලන් කලූ
සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන්
කරයි කලූ
දහසක් දී ලා වළලු තනාලා වරලේ අත ලා
බලයි කලූ
දුනුකේ මල සේ උළුගෙයි ඇඳ පිට
ඔළිඳ කෙළින සැටි බලන් කලූ
මාලු හතක් රස කරලා උයලා ළිප මුල ඉඳ
මඟ බලයි කලූ
නාලා කොණ්ඩේ ළමැදට අරගෙන තෙත හින්දන
හැටි බලන් කලූ
මඟ යන අපටත් අඬ ගසනා මෙන් දෑස නටන
හැටි බලන් කලූ

-ගමන, 96 පිටුව

මහල්ලා-
එක් අවුරුද්දක උදාව
තව අවුරුද්දක නිමාව
ඒ බව නෙදැනෙන හේතුව
මේ සිංහල අවුරුද්ද ය.

-ගමන, 97 පිටුව

සිංහල ප්‍රේක්ෂක, පාඨක රසඥතාවය හා ඥානය පිළිබඳව පූර්ව අවබෝධයකින් පූර්ණ වූ නිර්මාණයක් බිහි කිරීමට වගකීම් සහගතව හෘදය සාක්ෂියට එකඟ ව සේකර කටයුතු කර ඇති බව පැහැදිලි ය. සේකරගේ නිර්මාණයන්හි ඇත්තේ නිර්මාණාත්මක යථාර්ථවාදී ප්‍රමුඛ ලක්ෂණය යි.

මහගම සේකර විශිෂ්ට අග්‍රගණ්‍ය සාහිත්‍යකරුවෙකි. දැවැන්ත ශරීරයක් මෙන්ම දැවැන්ත චින්තනයක්, දර්ශනයක්, පරිකල්පනයක් හිමි දැවැන්ත මනුෂ්‍යත්වයක් හිමි මිනිසෙක් බව සේකරගේ නිර්මාණ සාක්ෂි දරයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Mahagama Sekara, Sri Lankan Poet, Sinhala Dramatic Literature, Kundalakeshi, Mudu Puththu, Gunasena Galappaththi, Sinhalese poetry, Sinhala literature
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රංග බූන්දි
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook