Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
බූන්දි, 18:16:42
ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්...

ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන ප්‍රතිශත ගැන සංඛ්‍යා ලේඛන ගණනාවක් ඉදිරිපත් කරයි.

".....2015 වසර උදාහරණයට ගතහොත්, අපොස සමත් සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇත්තේ සියයට 18 ක් පමණි. එනම්, උසස් පෙළ සමත් සිසුන්ගෙන් සියයට 82කට ඔවුන්ගේ විශ්ව විද්‍යාල වරම් අහිමි කරනු ලැබ ඇති බවයි. තවත් විදිහකින් කිවහොත්, සියයට 18ක් වන ශිෂ්‍ය ප්‍රජාවකගේ 'නිදහස් අධ්‍යාපනය' සහතික කරන අතරේ තවත් සියයට 82 ක ශිෂ්‍ය ප්‍රජාවකගේ 'අධ්‍යාපනයේ නිදහස' අප උදුරාගෙන ඇති බවයි. ඊට අවුරුදු 10 කට කලින්, එනම් 2006 දී විශ්ව විද්‍යාල වරම් අහිමි කරනු ලැබූ උසස් පෙළ සමත් ශිෂ්‍ය ප්‍රතිශතය සියයට 86 ක් විය. අවුරුදු 10 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පවා ප්‍රමාණවත් මට්ටමකින් ප්‍රශ්නයට පිළියම් සෙවීමට අපට හැකි වී නැත.
වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ගත් විට, 2011 දී අපොස සමත් සිසුන්ගෙන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගෙන ඇත්තේ සියයට 34.68 ක් පමණි. එනම් එම ධාරාවෙන් සමත් සිසුන්ගෙන් සියයට 65.32 කගේ වෛද්‍ය විද්‍යා උසස් අධ්‍යාපනය උදුරා ගනු ලැබ ඇති බවයි. හෙවත්, වෛද්‍ය අධ්‍යාපනය ලබන සියයට 34.68 ක ශිෂ්‍ය ප්‍රජාවකගේ 'නිදහස් අධ්‍යාපනය' සුරක්ෂිත කරන අතරේ, සියයට 65.32 කගේ 'අධ්‍යාපනයේ නිදහස' උදුරාගනු ලැබ ඇති බවයි. ඉහත ඡේදයේ විස්තර කළ පරිදි, සමස්තයක් වශයෙන් විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැර කරනු ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය අවම කර ගැනීමේ ඉතා සුළු ප්‍රගතියක් පෙන්නුම් කොට තිබුණද, වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් අපට දැක ගත හැකි වන්නේ එහි අනෙක් පැත්තයි. 2014 වන විට උසස් පෙළ සමත් සිසුන්ගෙන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගෙන ඇත්තේ සියයට 26.97 ක් පමණි. එනම්, එම ධාරාවෙන් සමත් සිසුන්ගෙන් සියයට 73.03 කගේ වෛද්‍ය විද්‍යා උසස් අධ්‍යාපනය අප උදුරාගෙන ඇති බව හෙවත් 2011 වසරට සාපේක්ෂව සළකන කල අප තවත් පල්ලම් බැස ඇති බවයි."
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-7)


ඔහු මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ මෙලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමිවන සමස්ත සිසුන් සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කිසියම් වැඩ පිළිවෙළක් යෝජනා කිරීමට නොවන බව පසුව ඔහු ලියා ඇති දේවලින් පැහැදිලිය. ඔහු ඊළඟට ලංකාවේ වෛද්‍ය හිඟය කෙරෙහි අවධානය යොමු කරයි. ඔහු ලංකාවේ වෛද්‍ය-ජන අනුපාතය දකුණු ආසියාවේ සෙසු රටවල වෛද්‍ය රෝගී අනුපාතය සමග සන්සන්දනය කරයි. පැවතිය යුතු අවම වෛද්‍ය-ජන අනුපාතයට ළඟාවීම සඳහා අපට කොතරම් වෛද්‍ය හිඟයක් ඇත්දැයි ගණනය කරයි.

වෛද්‍ය හිඟය පිළිබඳව වියන්ගොඩ මෙහි දී අවධාරණය කරනුයේ සයිටම් වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල එයට විසඳුමක් ලෙස හුවා දක්වා එය සමාජය හමුවේ සාධාරණීකරණයටය.

ලංකාවේ ජනඅනුපාතයට අනුව සිටිය යුතු වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ ගැටළුව දශක ගණනාවක් පුරා වර්ධනය වූවක් මිසෙක ඊයේ රාත්‍රියේ හදිසියේ කඩා වැදුනු සුනාමියක් විසින් වෛද්‍යවරුන් රොත්තක් ඈත දියඹට ඩැහැගෙන ගිය නිසා මතු වූ ප්‍රශ්නයක් නොවේ. අඩු තරමින් දශක තුනක් ඈතට සළකා බැලූවද මෙම වෛද්‍ය හිඟයට පිළියම් යෙදීමට කිසිදු උත්සාහයක් නොදැරූ එජාප සහ ශ්‍රිලනිප ආණ්ඩුවල ඇමැතිකම් දැරූවන් විශාල සංඛ්‍යාවක් වත්මන් එජාප ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවේ ඇමැතිකම්, අගමැතිකම්, ජනාධිපතිකම් දරන බව පෙනී යනු ඇත. වෛද්‍ය හිඟය නැති කිරීමට "ක්ෂණික සයිටම්" විසඳුම් ගැන කථා කිරීමට මේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටින කොළ, නිල්, රතු, දම් කිසිවෙකුට අයිතියක් නැත්තේ කාලයක් තිස්සේ මෙම ප්‍රශ්නය මුහුකුරා යෑම පිළිබඳ කාරණයට ඔවුන් වගකිව යුතු බැවිනි. තිත්ත ඇත්ත නම් අද වුව ද මේ වෛද්‍ය හිඟය ගැන ඔවුන් එකෙකුටවත් කිසිදු රුදාවක් නැති වීමය. අඩුතරමින් තවත් පස් වසරකින් පසු ව හෝ වෛද්‍ය හිඟය පියවීමට කිසිදු පියවරක් සැලසුම් කර තිබේ ද? ඔවුන්ට ඒ සඳහා ඇති එකම සැලසුම සයිටම් සහ තවත් එවැනි ආයතන බිහිකිරීම ද? මෙම වෛද්‍ය හිඟය මෙන් ම රජයේ වෛද්‍ය විද්‍යාලවල සීමා සහිත බව ද ඔවුන් විසින් ඉදිරියට ද දැනුවත්ව පවත්වාගෙනු යනු ඇත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම සඳහා එමගින් හේතුවක් සැපයෙන බැවින් සහ එමගින් හොඳ වෙළෙඳපොළක් ද නිර්මාණය වන බැවිනි. ලක්ෂ්මන් කිරිඇල්ලලා දැනටමත් මේ වෙළඳපොළ ඉන්දියානු සහ වෙනත් සමාගම්වලට විකුණා කොමිස් මුදලද සාක්කුවේ දමාගෙන අවසන්ය. කෙක්කෙන් හෝ කොක්කෙන් සයිටම් ඇති කිරීමට මේ මහත්වරුන් වලිකනුයේ එබැවිනි.

තමන් ඊළඟට කීමට යන දෙය තුළ සරසවි ප්‍රවේශය සමත් වන මුත් විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා වක් නොලැබෙන ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියනට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ඉදිරිපත් නොවන බව ඔහු දනියි. එනම් ඔහු එමගින් විසඳුම් යෝජනා කරන්නේ වරප්‍රසාදලාභී සියයට එකකටත් අඩු ප්‍රමාණයක් වෙනුවෙනි. එනම් තම සරසවි අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 12ක් වියදම් කිරීමේ හැකියාව ඇති පිරිසට පමණකි. මෙහි දී එවැනි ආර්ථික හැකියාවක් නොමැති දුප්පත් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අයිතිය ගැන සැළකිළිමත් වන ඕනෑම අයෙකු තුළ මතුවන ප්‍රශ්නය වනුයේ සයිටම් වැනි ආයතනවලට මුදල් ගෙවා ඇතුළත් විය නොහැකි සිසු සිසුවියන් ගේ සරසවි ප්‍රවේශ අයිතිය පිළිබඳ ගැටළුවට සයිටම් වැනි ආයතන වලින් විසඳුමක් ලැබේද යන්නයි. මේ ප්‍රශ්නය මතු කිරීම අතාර්කික නොවනවා මෙන් ම අසාධාරණ ද නොවන බව ගාමිණි වියන්ගොඩ දනියි.

එහෙත් ඒ ප්‍රශ්නය මතු වීම වැළැක්වීමට වියන්ගොඩලාට අවශ්‍යය. ඒ එමගින් සයිටම් ආයතනය සාධාරණීකරණයෙහිලා ඔවුන් ගොඩනගන මතවාදය එහි පදනමින් ම බිඳ දමන බැවිනි. එහෙයින් එම ප්‍රශ්නය අසනු වැළැක්වීමට ඔහු පූර්ව නිෂේධක ප්‍රහාරයක් වරහන් තුළ දියත් කරයි. එමගින් එවැනි ප්‍රශ්නයක් මතු කිරීම සදාචාරාත්මක නොවන බවටත් දේශපාලනික වශයෙන් නිවැරදි නොවන බවටත් අඟවමින් ඒ වළකාලීම එහි අරමුණයි.

....("සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?" යනුවෙන් මෝඩ ප්‍රශ්නයක් මොන්ටිසෝරි සමාජවාදියෝ තලුමරති. සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ යනුවෙන් අපට ප්‍රශ්න කළ හැකිය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතු බවට සැකයක් නැත. එහෙත් ඊට පිළිතුරු සොයා ගන්නා තෙක් සල්ලි තියෙන එකා නොකා නොබී සිටිය යුතු යැයි කියන කිසි සමාජවාදියෙක් සිටිත්ද?)....
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-7)


මේ ප්‍රශ්නය අන් සැමටම පෙර මතුවන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සහිතව විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වූ නමුත් රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවාගැනීම් සීමාසහිත බව නිසාත් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වූ අපේක්ෂාභංගත්වයට පත් වූ දහස ගණන් සිසු සිසුවියන්ටත් ඔවුන්ගේ සල්ලි නැති දෙමව්පියන්ටත්ය. උසස් පෙළ සමත්වන්නන් සියල්ල සැළකිල්ලට ගත් කළ එය ලක්ෂ සංඛ්‍යාත යෞවන යෞවනියන් පිරිසක් හමුවේ මතුවන ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ කේන්ද්‍රීය ප්‍රශ්නයයි. යා යුතු මගක් පිළිබඳ කිසිදු නිනව්වක් නැතිව පාසල් ගේට්ටුවෙන් එළියට විසි වුන පසුව ඔවුන් තමන්ගෙන්ම සිය දහස්වර අසාගනු ලබන ප්‍රශ්නය "අපි දැන් මොකද කරන්නේ" යන්නයි. මේ ප්‍රශ්නයට සංවේදී කොටස් මෙම ප්‍රශ්නය ඔවුන් වෙනුවෙන් මතු කරන නමුත් ගාමිණි වියන්ගොඩ විශ්වාස කරන පරිදි ඔවුන් කිසිවෙකු එය තළුරමින් රසවිඳින ලොලිපොප් එකක් නොවේ. උගත් බුද්ධිමත් අප පඬිවර වියන්ගොඩයෝ එය මෝඩ මොන්ටිසෝරි ප්‍රශ්නයක් ලෙස හුවා දක්වමින් එම ප්‍රශ්නයේ ගොදුර බවට පත්වූවන්ට සරදම් කරති. එම ප්‍රශ්නය ඇසීමටවත් ඉඩ නොදී ස්වකීය ඊනියා පාණ්ඩිත්‍යයේ මඩුවලිගය හිසවටා ළෙලවමින් ඔවුන්ව බියගැන්වීමට වෙර දරති.

ඔහු මෙසේද ලියයි.

"සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ යනුවෙන් අපට ප්‍රශ්න කළ හැකිය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතු බවට සැකයක් නැත."

වියන්ගොඩ මෙම ප්‍රශ්නය නැගීමේ දී "අප" යනුවෙන් ලියන්නේ තමන් ප්‍රශ්නය දකින්නේ සල්ලි නැති එවුන්ගේ පැත්තේ සිට බව පෙන්වීමටයි. නැතහොත් මධ්‍යස්ථ ස්ථාවරයක සිට බව පෙන්වීමටයි. නමුත් ඔහුගේ සැබෑ "අප" කුලකයට අයත්වන්නේ "සල්ලි ඇති" සහ දේශපාලන බලය ඇති සයිටම් මාෆියාව බව ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු මුල සිටම ලියා කියා ඇති දේවල් අනුව අපි දනිමු. තමන් කීමට යන දෙයෙහි යටි අරමුණු තේරුම් ගැනීමට ඇති ඉඩ කඩ ව්‍යාකූලත්වයකින් වසා දැමීම සඳහා ඔහුට මොහොතකට අනෙක් පැත්තට පැනීමට අවශ්‍යය. මේ භාෂා ප්‍රයෝග එබැවිනි.

සයිටම් යෑමට සල්ලි නැති දසදහසකට අධික අති බහුතරයේ සරසවි ප්‍රවේශ ප්‍රශ්නය පිළිබඳව ඔහුට කීමට ඇත්තේ "ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයාගත යුතු බවට සැකයක් නැත"යි යනුවෙනි. ඔහුට අනුව ක්ෂණිකව විසඳුම් සොයාගත යුත්තේ දැනට සයිටම් ආයතනයට ඇතුළත්ව සිටින වරප්‍රසාදලාභී කීපදෙනා වෙනුවෙනි. ඒ වෙනුවෙන් කඩිනම් විසඳුම් අවශ්‍යයය. වෙලාව ඇතොත් සෙසු ලක්ෂ ගණනක් වන "හිඟන්නන්ගේ" ප්‍රශ්නයට විසඳුමක් පසුව සොයාගත හැකිය.

වියන්ගොඩ ඊළඟට මෙසේ අසයි.

"එහෙත් ඊට පිළිතුරු සොයා ගන්නා තෙක් සල්ලි තියෙන එකා නොකා නොබී සිටිය යුතු යැයි කියන කිසි සමාජවාදියෙක් සිටිත්ද?"

සමාජවාදීන්ට මේ ගැන කීමට ඇත්තේ කුමක් දැයි විමසීම මේ ලිපියේ අවසානයට කල් තබමු. එයට පෙර වියන්ගොඩගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුව තිබේ.

සැබැවින්ම ඔබගේ ඉහත ප්‍රශ්නයට සමාජවාදීන් ගාවා ගන්නේ නැතිව ඔබ මේ ප්‍රශ්නය ඔබ සහ ඔබගේ සයිටම් වාදීන්ට හැ‍‍‍ඟෙන ආකාරයට මෙලෙස කෙලින්ම නොඅසන්නේ මන්ද?

"කාලකණ්නි හිඟන හැත්ත! තොපිට කන්න නැහැ කියලා අපිත් බඩගින්නේ ඉන්න ඕනේද?"

එවිට ඔබලා කවුරුන්ද යන්න ගැනත් ඔබලාගේ සැබෑ අරමුණු කුමක් ද යන්න ගැනත් සියල්ලටන්ට පහසුවෙන් වටහා ගැනීමට හැකිවනු ඇත.
මේ ආහාර ප්‍රශ්නය විමර්ශනය මෙතැනින් නතර කිරීමට කැමැති මුත් ඔබ සමාජවාදීන් මේ ප්‍රශ්නයට දැනටමත් පටලා ඇති බැවින් සමාජවාදීහූ "මෙවැනි ආහාර ප්‍රශ්නයකදී" කුමක් කරනු ඇත්දැයි කුහුල් සිත් ඇත්තන්ගේ පහන් සංවේගය පිණිස තව මඳක් ඔබ්බට මෙම විමර්ශනය ගෙන යාමට කැමැත්තෙමි.

සමාජවාදීන් නම් පළමුව කරනු ඇත්තේ ඉතා අතළොස්සක් වන පිරිසකට පමණක් ආහාර ගැනීම සඳහා සල්ලි හිමි වූයේත් බහුතරයකට ආහාර සඳහා සල්ලි නොමැති වූයේත් කෙසේද යන්න විභාග කර බැලීමයි. අපගේ මාතෘකාවට බඳුන් වී ඇති සයිටම් ප්‍රශ්නයම සළකන්නේ නම් එහි ලා ආහාර ගැනීමට මුදල් ඇතියවුන් ලෙස සැළකෙන්නේ සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමව්පිය භාරකරුවන්ය. මොවුන් අතර සිටින දැනට ප්‍රසිද්ධ "සල්ලි තියෙන එවුන්" කීපදෙනෙකු ගැන මඳක් විමසා බලමු.

1. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ ලේලිය (චතුර සේනාරත්නගේ බිරිඳ) සයිටම් හි අධ්‍යාපනය ලබයි.
2. විජිත් විජිතමුණි සොයිසාගේ පුත්‍රයා සයිටම් හි අධ්‍යාපනය ලබයි.
3. රෝහිත අබේගුණවර්ධනගේ දියණිවරුන් දෙදෙනෙක් සයිටම් හි අධ්‍යාපනය ලබති.

පළමුව රාජිත සේනාරත්න තමා, සිය පවුල සහ ලේලිය වෙනුවෙන් "කෑම වියදම්" සෙයාගෙන ඇති ආකාරය විමසමු.

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ ඖෂධ මගෝඩිය

පසුගිය මාර්තු මාසයේදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගෙන්වන ලද අගෝචර ඖෂධ තොගයක් හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව බිලියන 1.5 කි. එනම් මිලියන 1500කි. ටෙන්ඩර් නොකැඳවා මේ තරම් විශාල ගණුදෙනුවක් සිදු වන විට අතිවිශාල ධනස්කන්ධයක් කොමිස් ලෙස අදාළ බලධාරියා වෙත ලැබෙන බව රහසක් නොවේ. බැසිල් රාජපක්ෂ"මිස්ටර් ටෙන් පසන්ට්" යනුවෙන් ගරු නාමයක් හිමිව තිබුණේ ඔහුගේ අයකිරීමේ ප්‍රතිශතය 10%ක් වූ නිසා බව පැවසෙයි. බැසිල්ගේ මේ ප්‍රතිශත අගය පසුව ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවට ද වාර්තා පළව තිබිණි. රාජිත සේනාරත්න ද මෙම අනිසි ඖෂධ ගනුදෙනුව හරහා අවම වශයෙන් 10%ක් කොමිස් ගසාගන්නට ඇතැයි උපකල්පනය කළහොත් එම කොමිස් මුදලේ වටිනාකම රු. මිලියන 150කි. මෙය මීට වැඩි වීමට මිසෙක අඩු වීමට ඉඩක් නැත. කෙසේ වුවද එයින් පමණක් රජයේ වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍යවරුන් 60 දෙනෙකු බිහිකිරීමට යන වියදමට සමානය. මෙවැනි කොමිස් මුදලක් මගින් රාජිතට ලේලිලා සහ බෑනලා 12කට සයිටම් ආයතනය තුළ අධ්‍යාපනය ලබාදීමට හැකිය. මෙම කොමිස් මුදල එකතුවන්නේ ද භාණ්ඩයේ හෝ සේවාවේ මිලටම බැවින් එය ගෙවන්නේ ද රජයේ අරමුදල් වලිනි. ඒ අනිසි ඖෂධ තොගයක් මිලදී ගැනීමෙන් ඔහු විසින් සිදු කර ඇති පාඩුවට අමතරවය. ඔහු මෙම ඖෂධ තොගය ආනයනය කර ඇත්තේ අදාළ වෛද්‍ය විශේඥයන් ද විසින් මෙම ඖෂධය පිළිකා රෝගීන් සඳහා නුසුදුසු බව දිගින් දිගටම නිර්දේශ කර තිබියදීය.

ධීවර අමාත්‍යාංශයේ දූෂණ සහ හොරකම්

ඔහු ධීවර ඇමැතිවරයාව සිටියදී ශ්‍රි ලංකාවේ මුහුදු සීමාව තුළ විශාල පරිමාණයෙන් මාළු ඇල්ලීමට විදේශීය සමාගම්වලට ඉඩ දී විශාල වශයෙන් කොමිස් සහ අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. එමගින් ඔහු ජාතික ආදායම බිලියන ගණනින් අහිමි කර ඇතිවා පමණක් නොව දසදහස් සංඛ්‍යාත ධීවර පවුල්වල ජීවනෝපාය ද විනාශකිරීමේ අපරාධයේ ප්‍රධාන වග උත්තරකරුවා වේ. රාජපක්ෂගේ ආණ්ඩුවේ ධීවර ඇමැති ලෙස සිටියදී රාජපක්ෂලා සමග එක්වී ශ්‍රි ලංකාවේ ධීවර සම්පත් විදේශ සමාගම්වලට රිසිසේ කොල්ල කන්නට ඉඩ දෙමින් ද, සිය පවුලේ ඥාතීන්ගේ නම් වලින් විවිධ ධීවර සමාගම් ලියාපදිංචි කරමින් ඔවුන්ට රිසි සේ මුහුදු සම්පත් කොල්ලකෑමට සිය ඇමැති බලතල යොදමින් කටයුතු කර ඇති ඔහු එක් චීන ධීවර සමාගමකින් එම සමාගමේ කොටස්වලින් රුපියල් මිලියන 600ක් වටිනා කොටස් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.

රාජිතගේ මේ මහා පරිමාණ වංචාව ගැන සන්ඩේ ලීඩර් පුවත්පතේ Rajitha Off The Hook In Fishy Deals යනුවෙන් සවිස්තරාත්මක වාර්තාවක් 2016 මැයි මස 05 දින පළවිය.

එහි දළ පරිවර්තනය මෙසේය.

"ඔහු ධීවර ඇමැතිවරයාව සිටි සමයේ එක්තරා චීන සමාගමක් විසින් ලංකාවේ සිය සමාගම වූ Arugambay Fishery (Pvt) Ltd හරහා ලංකාවේ මුහුදු සීමාවේ මසුන් මැරීමට ධීවර අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලදි. වැඩි දුර සාකච්ඡා කිරීමට යැයි කියමින් රාජිත සේනාරත්න මෙම චීන සමාගමේ වියදමින් චීනයේ දෙවරක් (2013 ජූනි) සංචාරය කළේය.

මෙම සංචාරයෙන් පසුව රාජිත සේනාරත්න චීන සමාගම වෙත කොන්දේසි පනවමින් ගණුදෙනුව සිදුවීමට නම් Arugambay Fishery (Pvt) Ltd නැවත වෙනත් නමකින් ලියාපදිංචි කළ යුතු බවත් රාජිතගේ ලේකම් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු ලෙස පත් කළ යුතු බවටත් පවසා ඇත. පසුව Blue Ocean Fishery (Pvt) Ltd -සීමා සහිත බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම- නමින් නව සමාගමක් N/A 176433 යටතේ ලියාපදිංචි කරන ලද අතර රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නට එහි 60%ක කොටස් අයිතිය හිමිවිය. මෙය නීති විරෝධී ක්‍රියාවක් බව හොඳාකාරව දැන දැනම සිය ඇමැති බලතල අයථා ලෙස යෙද වූ රාජිත සෙනෙවිරත්න මිනිසුන් රැවටීම සඳහා සිය ලේකම්වරයා ප්‍රධාන කොටස් හිමිකරු ලෙස පත් කළේය. සීමා සහිත බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම සහ ධීවර අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමට අනුව මෙම යාත්‍රා 08 මගින් අල්වන ලද මසුන්ගෙන් 10%ක් කිලෝ එක ඩොලරය බැගින් ධීවර අමාත්‍යාංශය වෙත ලබා දිය යුතු අතර ඉතිරිය අපනයනය කළ හැකිය. ශ්‍රි ලංකා ධජය යටතේ, විශේෂ ආර්ථික කලාපයෙන් එපිටද මසුන් මැරීමට චීන සමාගමට පෙර දී අවසරය ලබා දී තිබිණි. මෙම සමාගම ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹ තිබිණි. මෙයට අමතරව සීමා සහිත බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම විසින් රු මිලියන 400ක් වටිනා ධීවර යාත්‍රා 08ක් ආනයනය කළ අතර එම යාත්‍රාවන් සඳහා රේගු බදු ගෙවා ඇති බවට වාර්තා නැත. මෙම සමාගමේ සමස්ත ආයෝජනය රු මිලියන 1000ක් වන අතර අනුරාධ සෙනෙවිරත්නගේ කොටස්වල වටිනාකම රු. මිලියන 600ක් වෙයි. සිය නිල වැටුපෙන් ඇමැති ලේකම්වරයෙකුට මෙතරම් දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට කිසිසේත්ම නොහැකිය. මෙම මිලියන 600 රාජිත සේනාරත්න අදාළ චීන සමාගම වෙතින් අල්ලසක් ලෙස ලබා ගෙන ඇති බවටත් ඒ වෙනුවට ගිවිසුමට අනුව ධීවර අමාත්‍යාංශයට ලබා දිය යුතු වූ 10%ක මාළු ප්‍රමාණය නොගෙවා සිටීමට ඉඩ හැරිය බවටත් චෝදනා එල්ල වී තිබේ. තම මත්ස්‍ය අස්වැන්නෙන් 10%ක් ධීවර අමාත්‍යාංශයට ගෙවන බවට වූ වගන්තිය ගිවිසුමට ඇතුළත් කර ඇත්තේ බදු සහන ලබාගැනීමටත්, කොළඹ සහ දික්ඕවිට වරායන් භාවිතා කිරීම වෙනුවෙන් සිදු කළ යුතු අති විශාල මුදලක් ගෙවීම මගහැරීමටත්ය.

ආයෝජක ප්‍රවර්ධක අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අනුව දික් ඕවිට වරාය ආසියාවේ විශාලතම වරාය ලෙස ඉදිකිරීමිට නියමිතව තිබුන නමුත් ඇමැතිවරයාගේ පුතා චතුර සේනාරත්න යටතේ මෙහි සිදු වූ ඉදිකිරීමේදී ඉතා විශාල වශයෙන් දූෂණ සිදුව තිබේ. පසුගිය ආණ්ඩුව සහ රාජිත සේනාරත්න මෙය ආසියාවේ විශාලම වරාය ලෙස ප්‍රකාශ කර තිබුන ද එහි ගැඹුර මීටර් 5ක් පමණි. විශාල වාණිජ නෞකාවන්ට පහසුකම් සැලසීම පසෙක තිබිය දී චීන ට්‍රෝලර් යාත්‍රවන්ට පවා ගැඹුර මදිකම නිසා වරායට පැමිණීමට නොහැකි වී ඇත. මෙම සමාගම පළමු වසර තුළ අපේක්ෂිත ලාභය බිලියන 1.3 ක් වන අතර යාත්‍රා 04කින් ආරම්භකළ මෙම සමාගම අඩි 150ක් දිග යාත්‍රා 16 ක් මසුන් මැරීම සඳහා යොදවා ඇත.

බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම අතිවිශාල ලාභ උපයා ඇති නමුත් සිය ඇමැති බලතල යොදමින් වසර 09ක් වෙනුවෙන් බදු සහන ලබාගෙන තිබේ. මෙම බදු සහන සිය ලේකම්වරයාගේ නමින් රාජිත විසින් වක්‍රව හිමිකරගෙන ඇති 60%ක කොටස් හරහා තම සාක්කුවට දමාගෙන ඇත. ඔහු ධීවර ඇමැතිව සිටි සමයේ ඔහුගේ බාල සොහොයුරු මහිල් සේනාරත්න ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කොට තිබේ. පිටරටින් මත්ස්‍ය ආනයනයේදීත් ධීවර සංස්ථාවේ සියළු මිලදී ගැනීම් වලදීත් ඔහු රු. මිලියන සිය ගණන් කොමිස් ගසා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙයට අමතරව ධීවර සංස්ථාවේ සේවකයන් විසින් රාජිතගේ නිවෙසේ සිටි සුනඛයන්ට සහ බළලුන් ට ආහාර පිණිස දෛනිකව මාළු කිලෝ 20ක් යැවිය යුතු විය. මෙයට අමතරව ධීවර අමාත්‍යාංශයේ යටතේ වන සියළු ආයතනවල සියළු මිලදී ගැනීම් ටෙන්ඩර් පටිපාටියකින් තොරව රාජිත සේනාරත්නගෙ හිතවතුන්ට ලබා දී තිබේ. පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පිරිසිදු කිරීම් කටයුතු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිනුවන්ගොඩ කබීර් නැමැත්තෙකුට ලබා දී තිබූ අතර ඒ කොන්ත්‍රාත්තුවේ මාසික වටිනාකම ලක්ෂ 15ක් වන අතර ඉන් ලක්ෂ 5ක් ඇමැතිවරයා සිය කොමිස් මුදල ලෙස මාසිකව ලබාගෙන ඇත."


මේ ඇති හැකි සයිටම් වීරයෙකු වන රාජිත සේනාරත්න, ඔහුගේ පුත්‍රයා, නෑදෑ හිතවතුන් බුරුත්ත පමණක් නොව ගෙදර සිටින බල්ලන් සහ පූසන් ද සමග එක්වී මාළු පමණක් නොව ධීවර කර්මාන්තය ද අනුභව කර ඇති ආකාරයයි!

රෝහිත අබේගුණවර්ධන

රු. මිලියන 41.1ක නීති විරෝධී ලෙස දේපොළ නීතිවිරෝධීව ඉපැයීම සහ ළඟ තබා ගැනීම පිළිබඳ නඩුවක් මොහුට එරෙහිව පැමිණිල්ලක් කොළඹ මහාධිකරණයේ විභාගවේ. වත්කම් ප්‍රකාශයෙන් හෙළි නොකළ දේපල සන්තකයේ තබාගැනීම ගැන මෙම චෝදනා නගා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් විසිනි. නීතිවිරෝධී මුල්‍ය ගණුදෙණු 66ක් සිදු කිරීම, ජීප් රියක් සහ නිවාසයක් අල්ලස් ලෙස ලබාගැනීමෙන් අල්ලස් පනතේ 23(a) වගන්තිය යටතේ වරද සිදු කිරීම ආදි ලෙස ඔහුට එරෙහිව පැමිණිලි ගොනු කොට ඇත. [බලන්න.]

2008 සැප්තැම්බර් 12 වැනිදා රුපියල් මිලියන 450ක දේපොළ නීතිවිරෝධීව ඉපැයීම සම්බන්ධව එවකට ජාතිය ගොඩනැංවීමේ ඇමැති ලෙස මහින්ද රාජපක්ෂගේ කැබිනට් සාමාජිකයෙකු වූ මොහුව අල්ලස් සහ දූෂණ කොමිසම විසින් ප්‍රශ්න කර තිබේ. මෙම පරීක්ෂණ පළමුවරට අරඹා ඇත්තේ 2004 නමුත් විවිධ බලපෑම් යොදා එය දිගින් දිගටම යටපත් කරන්නට ඔහු උත්සාහ දරා ඇත. මෙම පරීක්ෂණ භාරව සිටි එක් පොලිස් නිලධාරියෙකු වූ නිහාල් අමරසිරිව එවකට යුද්ධය තදින් පැවැති මන්නාරමේ බංකරයකට මාරු කර යවා ඇති අතර පොලිස් නිලධාරිනියක වූ සුජාතා කුමාරි පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ. ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. [බලන්න.]

විජිත් විජිතමුණි සොයිසා

මොහු වාරිමාර්ග ජලසම්පත් කළමණාකරණ ඇමතිවරයා ලෙස තමන්ගේ බලතල අයුතු ලෙස භාවිතා කරමින් යාන්ඔය හැරවුම් ව්‍යාපෘතියේ කැණීම් කටයුතුවල දී මතු වූ කිලෝමීටර් ගණනාවක් ගැඹුරට සහ වර්ග කිලෝමීටර් ගණනාවක් පැතිරුණු දැවැන්ත වැලි නිධියේ වැලි කැණීමට බලපත් නිකුත් කිරීම තමන් වෙත පවරා ගනිමින් රු. බිලියන ගණනාවක් අයථා ලෙස ඉපයීම සම්බන්ධව චෝදනා ලබා ඇත. මෙහි දී මෙම වැලි නිධිය කැණීම් කටයුතු පිළිබඳ තීරණය කිරීමේ බලතල ඇති භූ විද්‍යා පර්යේෂණ සහ පතල් කාර්යාංශය, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තුමේන්තුව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් විසින් වෙන්දේසියක් සුදානම් කර තිබුණද වාරිමාර්ග සහ ජලසම්පත් කළමණාකරණ ඇමැති විජිතමුණි සොයිසා මැදිහත්ව බලපත් නිකුත් කිරීම තම අමාත්‍යාංශය යටතට පවරාගෙන ඔහු විසින් නිර්දේශිත පුද්ගලයන්ට වැලි කැණීමට බලපත් නිකුත් කරන ලෙස භූ විද්‍යා පර්යේෂණ සහ පතල් කාර්යාංශය වෙත නියෝග කරමින් රුපියල් බිලියන ගණනාවක් උපයා තිබේ. විජිතමුණි සොයිසාගේ හිතවතුන් ආධාරකරුවන් සහ විවිධ පාර්මේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන් මෙලෙස බලපත් ලබාගත් අය අතර අතරවෙයි. විජිතමුණි සොයිසාගේ මෙම ජාවාරම හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට බිලියන ගණන් අහිමි වී ඇතිවා පමණක් නොව දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කර ගනිමින් වැලි කැණීමේ බලපත් ලබාගත් පුද්ගලයන් සහ සමාගම් කිසිදු පාරිසරික රෙගුලාසියක් පිළි නොපැදීම හේතුවෙන් බරපතල පාරිසරික විනාශයක් ද සිදු කර ඇත. [බලන්න.]

මේ ගාමිණි වියන්ගොඩ පවසන සයිටම් හි "ඇති හැකි එවුන්" හෙවත් "සල්ලි ඇති එවුන්" කීපදෙනෙකු තම සල්ලි උපයාගෙන ඇති ආකාරයයි. සයිටම් ආයතනයට සිය දරුවන් හෝ ඥාතීන් ඇතුළත් කර ඇති ඉහත චෞරයන් තිදෙනා පමණක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සොරකම් කොට ඇති මුදල රුපියල් මිලියන දහස් ගණනකි. රජයේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍යවරයෙකු පුහුණු කිරීමට යන වියදම ලක්ෂ 25ක් හෙවත් මිලියන 2.5 වන අතර මේ චෞරයන් සොරකම් කරන ලද මේ මුදල්වලින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කී දෙනෙකුට ඒ අවස්ථාව ලබා දිය හැකි පරිදි අදාළ පහසුකම් වැඩ දියුණු කළ හැකිව තිබිණිද? මොවුහු සමස්තයක් ලෙස මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කළහැකිව තිබූ ධනය භාණ්ඩාගාරයෙන් කොල්ල කා තමන්ගේ දරුවන්ට පමණක් අධ්‍යාපනය දීමට පුද්ගලික ආයතන පිහිටුවති. රජයේ උසස් අධ්‍යාපන පහසුකම් වැඩි කිරීමට භාණ්ඩාගාරයේ මුදල් නැති බව කියති.

මේ සරල උදාහරණයක් පමණි. මෑත දශක කීපය තුළ පැවැති සියළු ආණ්ඩු වල දේශපාලන බලවතුන් සහ නිලධාරීන් විසින් සොරකම් කරන ලද මුදල් ප්‍රමාණය සළකා බැලුව හොත් සරසවි ප්‍රවේශය අහිමිවී ඇති ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට වැදි බණ දෙසීමට මේ දේශපාලකයන් එකෙකුට හෝ අයිතියක් ඇතැයි සිතිය හැකිද?

දැන් නැවතත් ගාමිණි වියන්ගොඩ ඉහත මතු කර ඇති ප්‍රශ්නය වෙත අවධානය යොමු කරමු.

"එහෙත් ඊට පිළිතුරු සොයා ගන්නා තෙක් සල්ලි තියෙන එකා නොකා නොබී සිටිය යුතු යැයි කියන කිසි සමාජවාදියෙක් සිටිත්ද?"

දැන් අපට මේ සයිටම් හි සල්ලි ඇති එවුන් ගැන ද ඔවුන්ට එම සල්ලි ලැබී ඇත්තේ කෙලෙසකද යන්න ගැන දන්නා බැවින්ද පිළිතුරක් දීම පහසු යැයි සිතමි.

ඔව් සමාජවාදීන් එලෙස පවසනු ඇතිවා පමණක් නොව මේ "ඇති හැකි එවුන්ගේ" රසමසවුළු සැරසිලි වලින් යුතු භෝජන මේසය පයින් ගසා පෙරළා දැමීමට "සල්ලි නැති එවුන්ට හෙවත් නැති බැරි එවුන්ට" සෑම අයිතියක්ම ඇති බව ද නිසැකවම පවසනු ඇත. ඒ මේ ඇති හැකි එවුන් සිය භෝජන සංග්‍රහ පවත්වන්නේ දශක ගණනාවක් තිස්සේ මේ රටේ දුප්පත් පරම්පරාවන් සූරා කමින් ඔවුන් හප බවට පත් කරමින් ඔවුන්ගෙන් කොල්ල කන ලද ධනයෙන් වීම හේතුවෙනි. දුප්පතුන් ගේ අයිතීන් කොල්ලකා ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් වෙනුවෙන් ණය සහ පොලී වාරික ගෙවීමට මේ රටේ දුප්පත් ජනයාගේ අධ්‍යාපන, සෞඛ්‍ය ආදි සමාජ සුබසාධන අයිතීන් කෲර ලෙස කප්පාදු කරමින් පවතින බැවිනි. "මේ සල්ලි ඇති එවුන්ගේ" නිවෙස්වල සුරතලට ඇති කරන බල්ලන්ට බළලුන්ට දෙන මාළු කෑල්ල පවා මන්ද පෝෂණයෙන් පීඩා විඳින දරුවන්ගේ බත් පතින් උදුරාගත් ඒවා බැවිනි.

එසේ පැවසීමට මැළිවන යමෙකු සිටී නම් ඒ සමාජවාදී වෙස්මුහුණු පැළැඳගත් අවස්ථාවාදියෙකු මිස සමාජවාදියෙකු නොවේ.

[ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- South Asian Institute of Technology and Medicine(SAITM), Gamini Viyangoda, Sunday Leader, Government Medical Officers Association (GMOA), Inter-University Students Federation, Rajitha Senarathna, Wijith Wijayamuni Soyza, Rohitha Abeygunawardena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
පරිවර්තන
Torture Camp
කරන්ට්ස්
අතුරුදන් පන්හිඳ
තවත් අදහස් බූන්දි
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සොෆී ෂෝල් කියයි.
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු... [More]
What's New | අලුතෙන්ම
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කතන්දර| දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

5-Mins

(විසල් සේනාතිලක) පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

8-Mins

(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.

20-Secs

(වජිර සුමේධ යසරත්න) ලේ ගලන
හදවත
තදින් මිරිකාගෙන
හෙතෙම රෝහල් ගතවිය
මොකද මේ?
කැපුණා වචනෙකට..... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
කවි| උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)

39-Secs

(ජනිත් විතාරණගේ) නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා... [More]
ඔත්තු| 'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2

1-Mins

'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook