Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
බූන්දි, 17:41:46
මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී ප්‍රතිනිර්මාණ මූලධර්ම හරහා එල්ල කළ අතුල් පහරක්ද වෙයි.

මේ නවකතාවේ කතා නායකයෝ දෙදෙනෙක් සිටිති. එක් අයෙක් සිංහල හමුදාවේ සොල්දාදුවෙකි. අනෙකා දෙමළ ඊළාම් සිහිනය හඹන කැරැල්ලේ භටයෙකි. නැත. එසේ කීම නිවැරදි නැත. නාදන් නම් දෙමළ තරුණයා රෝහලක සිහිය ලබන විට සිටින්නේ සිංහල තරුණ සිරුරක් ඇතිවය. සිංහල හමුදා සොල්දාදුවා වන ප්‍රියන්ත මහ වනයක බෞද්ධ හිමි නමකගේ අසපුවකදී සිහි ලබන විට සිටින්නේ දෙමළ තරණ ශරීර හිමියෙකු ලෙසිනි. එක් ප්‍රහාරයකදී නාදන්ට වෙඩි වැදී සිරුර මිය යයි. ඔහු සිංහල ශරීරයකට ඇතුල් වෙයි. ප්‍රියන්ත එවැනිම ගැටුමකට මැදි වන අතර ඔහු එල්ටීටීඊ සිරුරකට ඇතුල් වෙයි. නවකතාවේ කේන්ද්‍රය මේ සිරුරු හුවමාරුවයි.

මේ ශරීර මාරුව නිසා තමාට 'තමා' පිළිබඳ ඇති අනන්‍යතාව විනාශ වී යයි. සිය අනන්‍යතා ලකුණු අහිමි වන මේ දෙදෙනා සිය අනාගතය පිළිබඳ මුහුණ දෙන ඉරණම නවකතාවේ ඉදිරියේදී විස්තර වෙයි. මෙය ඉතා අපූරු ගොඩනැංවීමකි. එතරම් කතාබහට ලක් නොවුණු මේ කෘතිය මගින් ජනවාර්ගික ප්‍රශ්නයේ ඇති නොයෙක් මාන ගැඹුරින් අල්ලන්නට තැත් කරයි. මාධ්‍යවේදීන්ට, එන්ජීඕ නියෝජිතයන්ට, මානව හිමිකම් ආයතනවලට, සමාජ ක්‍රියාකාරිකයන්ට හෝ දේශපාලකයන්ට පැහැදිලි කර නොහැකි සත්‍යයන් සාහිත්‍යකරුවෙකුට ගැඹුරින් ඉස්මතු කළ හැකි බවට කදිම සාක්ෂියකි මේ පොත. නවකතාවේ තේමාත්මක හඹායෑම පසුවට තියමු. යුද්ධයේ ව්‍යාජ බව පෙන්වමින් මනුෂ්‍යත්වයේ සුන්දර නිමේෂ පරිණත ශෛලියකින් විස්තර කරමින් පාඨක මනස තුළ භාවමය කම්පනයද - බුද්ධිමය ආලෝකයද දල්වන මේ කෘතිය ගැන දීර්ඝව කතා කළ යුතුය.

කෙසේවෙතත් නවකතාවේ මේ කේන්ද්‍රීය සිදුවීම කිසිසේත් විශ්වාස කළ නොහැකි අපබ්‍රංශයකැයි සම්භාව්‍ය විචාරකයෙකුට කියන්නට පුළුවන. බෞද්ධ යථාර්ථවාදයට අනුවත් මිය ගිය කෙනෙක් නැවත භවයක විනා එම භවයේදීම මිය ගිය සිරුරකට ඇතුල වීම කළ නොහැකි දෙයකි. නූතන වෛද්‍ය විද්‍යාවට අනුවත් මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරකට පණ ඇති මනසක් ඇතුල් කර ඒ පුද්ගලයා ජීවත් කතැන්නට තවම හැකි වී නැ. ඒ තියා මනස-ශරීරය සහ ජීවය වෙන් වෙන්ව තවම නිරීක්ෂණය කොට හෝ නැත ඒ නිසා මේ නවකතාවේ යථාර්ථ මානය මුළුමනින්ම මේ ලෝකේ සිදු නොවූ - නොවිය හැකි දෙයකි. පැරණි මිථ්‍යා කතාවල නම් මිය ගිය අය යළි නැගිටිති. නොයෙක් අත්භූත සෙල්ලම් පාති. ඒ අර්ථයෙන් මෙය මිථ්‍යා කථාවක්ද?

නැත. මිථ්‍යා කතා, උපමා කථා, ජන කතා, පැරණි ප්‍රේම කාව්‍ය ආදී පූර්ව-නූතන ප්‍රබන්ධ කතාවල ලක්ෂණ සමකාලීන ප්‍රබන්ධ කතාවලදී අපට යළි හමුවීම අමුත්තක් නොවේ. මෙම පූර්ව-නූතන ලක්ෂණ කතාවක එන්නේ කතන්දරයක් විශ්වාස කරන අයුරින් විශ්වාස කරනු පිණිස නොවේ. ඊට ඇත්තේ කතන්දරමය අපූර්වත්වය ඉක්මවන බුද්ධිමය කිතිකැවීමකි. ඒ අර්ථයෙන් ආරියවංශ අබේසේකරගේ නවකතාවේ එන අවිශ්වසනීයත්වය ආනන්දය ද ප්‍රඥාව ද එකවර ගෙනෙයි. සිංහල ඇඟක දෙමළෙකුත් දෙමළ ඇඟක සිංහලයෙකුත් ජීවත් කරවීම උක්ත වාර්ගික අරගලය ගැන බොහෝ දේ සිතන්නට අපව මෙහෙයවයි. සිංහලයාට දෙමළ ඇඟක වාසය කළ හැකි නම් දෙමළාට සිහල ඇඟක වාසය කළ හැකි නම් මේ කා-කොටාගැනීම මොන අමන වැඩක්ද? අපි අනෙක් කොයි දේටත් වඩා වද වෙන, ලෙඩවන විට බිය වී දහ අතේ ප්‍රතිකාර කරන, නොයෙක් රූපාලංකරණවලින් ලස්සන කරන, උදේ හවා කණ්ණාඩියෙන් බල බලා උජාරු වන සිරුර පවා 'තමාගේ' නොවේ නම් ජාතිය, ආගම, කුලය, පංතිය, අධ්‍යාපන මට්ටම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආදී නොයෙක් අනන්‍යතා සාධක මත කුලල් කා ගැනීම කුමන අමන වැඩක්ද? මේ මුල් කල්පනාව අවුළුවන්නට පිටු දහස් ගණනක පොතක් ලියනවාට වඩා මේ නවකතාවේ එන පරිකල්පනීය ගොඩනැංවීම යෝග්‍ය බව නවකතාව කියවන විට හැඟෙයි. ඒ කල්පනයේ සිටිමින් මේ චරිත දෙක මුහුණ දෙන ජීවිතය කියවීම නව-නවකතාමය අත්දැකීමකි. කතුවරයා නවකතාවට නමක් නොදමා මාතෘකාවක් සොයන වචන ටිකක් ලෙස කතාව නම් කිරීම තේමාත්මකව වාර්ගික අරගලය පිළිබඳ වියවුල් සහගත බව හඟවයි. අනික් අතට නවකතාවකට නමක් තිබිය යුතු බවට වන සම්මතය පවා මරා දමන ඊඩිපස්මය තෝරාගැනීමකි. කෙසේවෙතත් රාජකීය නවකතාවකට කළ නොහැකි වැඩ අරාජික නවකතාවකට කළ හැකි බවට ගතු කියන්නෙකි මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්.

හිතුවක්කාරී

පරිපූර්ණ කතා වින්‍යාසයක් සහිත සුසාධිත ආඛ්‍යානයක ඇඟ හිරිවට්ටන විසිරුණු රීතියකින් ලියැවුණු එච්.බී.ගුණරත්නගේ හිතුවක්කාරී නවකතාව පැරණි නවකතාවේ අකීකරු දරුවෙකි.

ඒ නවකතාව ආරම්භ වන්නේ සර්වඥ කථකයෙක් විසින් කියනු ලබන දුෂ්කර පළාතක සේවයට යන තරුණ සුන්දර ගුරුවරියකගේ කතාවකිනි. එය ඉතා සාම්ප්‍රදායික රීතියකින් ගලා යයි. ඒ ගුරුවරිය මොනවා හෝ ළමයින්ට උගන්වා පඩිය ගන්නා, තෝරා ගත් දක්ෂ දරුවන් කිහිපදෙනෙකුට පමණක් සෙනෙහෙවන්තකම් පානා, ඉක්මනින්ම මාරුවක් හදාගෙන නගරෙට පැන ගන්න මානන, කම්මැලිකමත් පොතක් නොකියවීමත් ගුරුකමේ සාඩම්බර උරුමයන් කොටගත් ගුරුවරියක නොවේ. සාමාන්‍යයෙන් අපේ පාසල්වල හොඳ ගුරුවරු යනු දිනසටහන් සහ වාර සටහන් ලියා, ජිල්මාට් ඇගයීම් ලකුණු දමා සිසුන් ද තමන් ද ගොඩ යන, පාඩුවේ වැඩක් කරගන්නා අයෙකි. එහෙත් ශාන්ති මිස් හෙවත් මෙහි කතා නායිකාව එවැනි හොඳ ගුරුවරියක් නොවේ. ඇය දුර්වල සිසුන් ද මැර සිසුන් ද කෙරෙහි තම ගුරුකම සමසිතින් පතුරවයි. ගමේ වේසියකගේ දරුවාත්, බේබද්දෙකුගේ හෝ චණ්ඩියාගේ දරුවාත් යන කවුරුත් ශාන්ති මිස්ට පෙනෙනේ සමාන වැදගත්කමකිනි.

සැමියා නැති, දුප්පත්කම නිසාම ඇඟ කුලියට දෙමින් දියණිය පාසල් යවන කුමාරි නම් තරුණියක් සිටියි. ඉගෙනීමට දුර්වල, ඇට්ටර දියණිය සමග මිත්‍ර වන ශාන්ති මිස් කුමාරිගේ නිවසට ගොස් ඈ හා මිත්‍ර වෙයි. කුමාරිගේ ප්‍රශ්නවලට මැදිහත් වෙයි. ගමේ අයත්, පාසලේ කටවාචාල ගුරුවරියන් සහ බඩුකාර පිරිමි ගුරුවරුත් ඇයට පද හදයි. සමච්චල් කරයි. ඒවා කිසිවක් ගණන් නොගන්නා ශාන්ති මිස්, කුමාරි සහ දිණිය වෙනුවෙන් තමාට හැකි දේ කරමින් පාසලේ වැඩ ද අතපසු නොකර අසම්ප්‍රදායික ගුරු භූමිකාවක නියැලෙයි. කුමාරි සමග නිදිවදින්නට එන ඇතැම් පිරිමින් අර ළදැරියට ද යම් යම් අතවර කරන බව ගුරුතුමිය දැන ගනියි. ඇය කුමාරි සමග මේ බව කියයි. මේ ප්‍රශ්නයට මැදි වන්නට ගොස් ශාන්ති මිස් තවත් ප්‍රශ්න ඇති කරගනියි.

මේ කතාවේ තවත් කුමාරි කෙනෙක් සිටියි. ඇයද පාසලේ පාඩම් වැඩට දුර්වල නිහඬ දරුවෙකුගේ මවකි. දරුවා පිළිබඳ උනන්දුවෙන් සොයා බලන ගුරුතුමිය මේ දරුවාගේ දෙමාපියන් සොයා යයි. දරුවාගේ පියා විල්සන් මුදලාලිය. ඔහු ගමේ අය වෙත මැරකම් ප්‍රදර්ශනය කරන හයිකාර පුද්ගලයෙකි. නිහඬ දරුවා වෙත අනුකම්පා කරන්නට ගොස් ගුරුතුමිය විල්සන්ගෙන් කුණු බැණුම් අසයි. එහෙත් විල්සන්ට මෙල්ල නොවන ශාන්ති මිස් ගුරුවරුන් ද, නේවාසිකාගාරයේ අය ද, ගමේ අය ද පුදුමයට පත් කරමින් හයිකාර විලසන්ගේ පවුලේ හිතවතියක බවට ඉක්මනින්ම පත් වේ. විල්සන් මැදිවියට එළඹුණු පුද්ගලයෙකු වන අතර කුමාරි තවම තරුණ වියේ පසුවන්නියකි. කුමාරිටද සැඟවුණු කඳුළු කතාවක් තිබේ. කුමාරි ඇගේ අතීත කතාව සේ සැක කළ හැකි දිනපොතක් ගුරුතුමියට ලබා දේ. එහෙත් ශාන්ති මිස් ඒ දිනපොත කියවන්නට කලින් කතාව අවසන් වේ. ගුරුතුමියගේ කල්ක්‍රියාවන් නිසා ඇයට ස්ථානමාරුවීමක් ලැබෙන අතර ශාන්ති මිස් බඩුමුට්ටු අසුරාගෙන පසුවදාම වෙනත් පාසැලකට යන තැනින් කතාව අවසන් වේ.

මෙතෙක් අප කියවූ කතාව කතන්දරාකෘතියේ, පුවත්පත් වාර්තාවලද දකින්නට ලැබෙන සිදුවීම් වර්ගයේ සරලාකෘතික කතාවකි. කතාව අවසානයේ "පසු සටහන" නමින් කොටසක් ඇත. එය ආරම්භ වන්නේ පහත පරිදිය,

"කතාව මෙසේ ලියා අහවර විය. මා ලියන්නට වූයේ මා හද සසල කළ කිසියම් පුවතකි. එහෙත් එය නිමා වන විට කෙටිකතාව ඉක්මවූ දිගු කෙටිකතාවක් ද, උප නවකතාවක් ද, කෙටිනවකතාවක් නොහොත් 'නොවෙලා'වක් දැයි හරියටම කිව නොහැකි ඉසව්වක නතර වී ඇතැයි සිතෙන්නට විය." (-59 පිට)

මෙසේ කතුවරයා තුළම තමා ලියූ කතාව පිළිබඳ සංදිග්ධතාව විස්තර කිරීමෙන් පසු මේ කතාවේ සංකීර්ණ කොටස අපට කියවන්නට ඉඩ ලැබෙයි. කතුවරයා රචනා කළ කෘතියෙහි පිටපත් කිහිපයක් ඔහු කියවා අදහස් විමසා බැලීම පිණිස කිහිපදෙනෙකුට ලබා දී තිබේ. ඒ කිහිපදෙනා නවකතාවේ චරිතම වේ.

"මේ සටහන් වෙමින් තිබෙනුයේ මා ඔවුන් වෙතින් නැවත දළ පිටපත ලබා ගත් අවස්ථාවේ ඔවුන්ගෙන් පැවසුණු අදහස් හා එහිදී අප’තර මතු වූ සංවාදයන්ය."(-68 පිට)

නවකතාවේ එන චරිතයක් වන ශර්මිලා නමින් හඳුන්වන තරුණියගේ (ඇය ශාන්ති මිස්ගේ බෝඩිං කාමරය බෙදාගන්නා අනෙක් ගුරුවරියයි.) සහ විදුහල්පතිගේ නවකතාව පිළිබඳ අදහස් ලිවීමෙන් පසු කතුවරයා "යළි ලියමි" නමින් ලියන පිටුවක එසේ සඳහන් වේ. ඉන් අනතුරුව විදුහල්පති බිරිය, සිංහල ගුරුවරයා (ඔහු මේ ගුරුතුමිය උපහාසයට ලක් කළ "කුපා" වර්ගයේ පිරිමියෙකි.), ක්‍රීඩා ගුරුවරයා (ගුරුතුමිය වෙනුවෙන් පෙනී සිටි සහ ඈ වෙනුවෙන් වධ වූ එකම පාසලේ එකම ගුරුවරයා), කුමාරිගේ මව, නිමල් යන අය නවකතාව ගැන සිය මත පළ කරති. සමහරු කතාව විවේචනය කරති. එහි එන සිදුවීම්වලට ප්‍රතිචාර දක්වති. අඩුලුහුඩුකම් පෙන්වා දෙති. කතාවේ එන සිදුවීම්වලට තරමක් හරස් කතා ද කියති. කතාවේ නොකියවුණු කොටස් අලුතින් කියති.

ඉන් අනතුරුව "ක්‍රීඩා ගුරුවරයාගේ හමාර කීම" නමින් පිටු කිහිපයකි. එය කතුවරයා ලියූ කතාව පිළිබඳ ක්‍රීඩා ගුරුවරයා තැබූ සටහනක ඉතිරි කොටසයි. කලින් එකතු කර තිබුණේ ඔහුගේ සටහනේ මුල් කොටසයි. මේ වන විට කතාව නොයෙක් දිසාවලට ගමන් කර ඇත. කුමාරිලාගේ කතාව ඔවුන්ගේ දෙමාපියන්ගේ අතීතය දක්වා ඈඳී ඇත. මේ අතර ක්‍රීඩා ගුරුවරයා ශාන්ති මිස් ගිය අලුත් පාසලට ඇය සොයා යයි. එහිදී, ඇය නිවාඩු දමා ඇති බව දැන ගන්නට ලැබේ. පාසලේ ගුරුවරයෙකු පවසන ඉඟි අනුව පසුදින කුමාරිගේ නිවෙස බලා යයි. එසේ යන විට කුමාරිගේ නිවෙස ගිනිබත් වී තිබේ. ඒ අසල නගින දුමාරය වදිමින් උමතු ලීලාවකින් පසුවෙන තරුණයෙකි. ඔහු නිමල්ය. දැන් මේ දෙදෙනා අතර සංවාදයකි. නිමල් තමා කුමාරිගේ ප්‍රේමවන්තයා බව හෙළි කරයි. එය සාම්ප්‍රදායික ප්‍රේමයක් නොවේ. ඔහු කුමාරියගේ සහ තමාගේ අතීතයෙන් බිඳක් හෙළි කරයි. දැන් කුමාරි, ශාන්ති මිස් සහ දියණිය ආගිය අතක් නැත. ක්‍රීඩා ගුරුවරයා මේ තිදෙනාම නැති නිසා ශාන්ති මිස් සමග මේ අය කොහේ හෝ ගොස් ඇතැයි සතයි. ඔවුන් සෙවීමේ මගක් නැතිව එකලමෙකල වෙමින් සිටින මේ දෙදෙනා වෙන්ව යයි. සවස ක්‍රීඩා ගුරුවරයාගේ නවාතැන සොයා එන නිමල් ලියුම් කවරයක් ගුරුවරයා අතට ලබා දී එය කියවා තේරුම් කර දෙන මෙන් ඉල්ලයි. ඔහුට අකුරු බැරි නිසාය. "නිමල්ට/නැත්තං ඕන කෙනෙකුට" නමින් ඒ ලියුම් කවරයේ ලියා ඇත. එය නිමල්ට කුමාරි තම ආදරය ප්‍රකාශ කරමින් ලියූවකි. ඇය මේ සියල්ල හැර දමා කොහේ හෝ යන බවට ලියූ සමුගැනීමේ ලිපියකි එය. ඒ සමගම තවත් ලිපියක් තිබී ඇති අතර ගුරුවරයාට එවෙලේ අමතක වන එය කියවන්නේ පසුව නිමල් ද නැති වෙලාවකය. එම ලිපිය දාතමක්, ආමන්ත්‍රණයක්, දිනයක්, අත්සනක් නැති ඉතා හදිසියෙන් ලියූ ලිපියකි. එය තමාට වින කළ අයට සාප කරමින් ලියූවකි.

මේ ලිපිය ක්‍රීඩා ගුරුවරයා ලවා කියැවෙන අතර ඊළගට "හමාර කීම" නමින් පිටු කිහිපයකි. එහි ඇත්තේ ක්‍රීඩා ගුරුවරයා සහ කතුවරයා අතර වන සංවාදයකි. ඉන් පසුව, "යළිත් ලියන්නට සිදු විය" නමින් කුඩා පරිච්ඡේදයකි. කතුවරයා ශර්මිලා හමුවීමට යයි. දැන් ඇගේ ජීවිතය වෙනස් වී ඇත. ඇය විවාපත්ව දරුවන් ද සිටියි. ඉන් පසු ඔහු යළි ක්‍රීඩා ගුරුවරයා හමුවන්නට යයි. ශාන්ති මිස් එවූ ලිපියක් ක්‍රීඩා ගුරුවරයා කතුවරයාට පෙන්වයි. නවකතාව අනවශ්‍ය තරම් දික්ගැස්සීමෙන් වළක්වනු පිණිස කතුවරයා ශාන්ති මිස් එවූ ලිපියෙන් අතශ්‍යවශ්‍ය කොටස් පමණක් කියවන්වා යැයි කියමින් ලිපියේ සමහර තැන් කියවයි.(ලියයි.) ඇගේ ලිපිය කුමාරිගේ නිවෙස ගිනිගත් කතාවත් තමාගේ අතුරුදහන් වීමේ කතාවත් හෙළිදරව් කරයි. කුමාරිගේ ගණුදෙණුකරුවන් දෙදෙනෙක් එකට පැමිණ කුමාරි සමග ලිංගික කාර්යට සූදානම් වන විට කුමාරි එය ප්‍රතික්ෂේප කරයි. මේ නිසා කුමාරි සහ ඒ අය අතර ගැටුමක් ඇති වෙයි. ඉන් එකෙක් කුමාරිටත් දියණියටත් අනතරු අඟවමින් යළි එන බව පවසා යන්නට යයි.

කුමාරි සහ දියණිය බේරා ගැනීම පිණිස ශාන්ති මිස් මැදිහත් වී පසුවදා පාන්දරම ඔවුන් දුර පළාතක ඇති තම නිවෙස වෙත කැඳවාගෙන යාමට සැලසුම් කරයි. එසේ තීරණය කොට යළි අලුත් නවාතැන වෙත යන ශාන්ති මිස් පසුවදා පාන්දරම කුමාරිගේ නිවෙස වෙත පැමිණෙන්නේ ඒ අය කැඳවාගෙන යාමේ අරමුණෙනි. ඇය එන විට කුමාරිගේ නිවෙස ගිනිබත් වී ඇත. අසරණභාවයටත් කලබලයටත් පත් වන ගුරුතුමිය මේ දෙදෙනා සොයා තමා ආ වාහනයෙන්ම කෝකටත් කියා නගරයේ බස් නැවතුම වෙත යයි. එහිදී අහම්බෙන් මෙන් ඇයට මේ දෙදෙනා මුණගැසෙයි. කුමාරි, ශාන්ති මිස්ට පාර්සලයක් දිගු කරයි. එම පාර්සලයේ දියණියගේ උප්පැන්න සහතිකය, තම හැඳුනුම්පත සහ ලිපියක් ද තිබේ. ඒ ලියුම පෙරදා රාත්‍රියේ තමා මුහුණ දුන් අත්දැකීම ඇය විස්තර කරයි. අර කුමාරිලාට තර්ජනය කර ගිය දෙදෙනා රෑ මැද යළි පැමිණෙයි. ඒ මැරයින් දෙදෙනා කුමාරි සහ දියණිය බැඳ දමා නොයෙක් පීඩා කරමින් දෙදෙනාම දූෂණය කරති. පසුවදා එළි වන විට නිවසින් පිට විය යුතු බව දන්වමින් ඔවුන් බැඳ දමා තිබියදීම දූෂකයෝ දෙදෙනා පිටත්ව යති. දූෂණයට ලක් වූ මව සහ දියණිය දිවි තොර කර ගන්නට සිතා තමාට වූ අනාවරණය පිණිස මේ ලිපිය ලියා ඇත. කුමාරිට තවදුරටත් ජීවත් වීමට කිසිදු ආසාවක් නැත. කුමාරිගේ මේ කතාව ලියා ඇති ලිපිය ශාන්ති මිස්ට ඇය දුන් එකකි. එම ලිපිය ඇතුළත් වන්නේ ශාන්ති මිස් ක්‍රීඩා ගුරුවරයාට ලියූ ලිපියකය. එම ලිපිය කතුවරයාට කියවීම පිණිස ක්‍රීඩා ගුරුවරයා ලබා දෙයි. කතුවරයා කියවන ලිපිය ඇත්තටම කියවන්නේ නම් අප විසිනි. නවකතාව අවසාන වන තුරුම ඇත්තේ මේ ශාන්ති මිස්ගේ ලිපියයි. එම ලිපිය මගින් අනාවරණය වන පරිදි කුමාරිත් දියණිත් ශාන්ති මිස් සමග ඇගේ නිවසට යති. තමාගේ රැකියාව බේරා ගැනීම සඳහා කුමාරිත්, ඇගේ දියණියත් කුමාරිගේ නිවසේ ඇගේ මෑණියන් සමග තනිකර දමා වැඩට යන්නට ගුරුතුමියට සිදු වෙයි. එසේ ගොස් දිනක් යන්නටත් මත්තෙන් යළි කුමාරි දියණිය ගුරුතුමියගේ නිවසේ දමා අතුරුදන් වෙයි. ශාන්ති ටීච, යන ආමන්ත්‍රණයෙන් "පව්කාර කුමාරි" නම් අත්සනින් යුතු ලිපියක් අපට යළිත් කියවන්නට ලැබෙයි. කුමාරි යළි නොඑන ගමන් යන බවට වන අන්තිම ප්‍රකාහයයි ඒ. මේ ලිපිය ගැනත් දියණිය ගැනත් නොයෙක් කල්පනා අවුළුවමින් නවකතාව අවසන් වෙයි.

අප මෙතෙක් නවකතාවේ, නවකතාමය ලස්සන නොසලකමින් දළ වශයෙන් සාරාංශ කරේ නවකතාවේ කතා සාරාංශය නොවේ. කතාව ගොඩ නැගී ඇති ව්‍යුහමය සැකැස්මයි. එහෙත් ඒ ව්‍යුහයෙන් පිට මෙහි නවකතාවක් තිබේද? නැත. මෙහි නවකතාව යනුම ඉහත විස්තර කළ කතාව, කතාව ගැන විවේචනාත්මක අදහස්, ලියුම්, ලියුම් ඇතුළත ලියුම්, සංවාද, ආත්ම භාෂණ යනාදිය නවකතාවේ "නවකතාමයත්වය" නිර්මාණය කරයි. නවකතාවේ හැම චරිතයකටම කටහඬක් ලබා දෙන නිසා මේ නවකතාවේ බහුශාබ්දිකත්වයක් උපදියි. කතුවරයා ද නවකතාවේම චරිතයක් වීමත් නවකතාව නොයෙක් සංස්කරණවලට ලක් කිරීමත් පාඨකයා ඉදිරියේදීම නවකතාව ලියැවෙන ආකාරයම නවකතාව ලෙස ඉදිරිපත් වීමත් නවකතාවක් ලෙස මෙහි අපූර්වත්වයක් ජනිත කරයි. එය අප මෙතෙක් සාකච්ඡා කළ පරිදි සාම්ප්‍රදායික නවකතා ශානරය වෙත දක්වන ඊඩිපස්මය විරෝධයකි. මේ බහුවිධ දෘෂ්ටිකෝණ භාවිතය නිසා උපදින බහුශාබ්දිකත්වය නිසා නවකතාවට සිදු වන්නේ මොනවාද? මේ රචනයේම වෙනත් තැනක කියූ ලෙසම ක්‍රීඩාශීලි නාභිගතකරණයක ඵල බලන්නට උද්යෝගීමත් සාහිත්‍ය ක්‍රීඩකයෙකු ද විය යුතුය.

බහුශාබ්දිකත්වය උපදින්නේ කතුවරයෙකු චරිත ගැන කතා කිරීමෙන් නොව චරිත සමග කතා කිරීමෙන් බව මිඛායෙල් බක්තීන් ප්‍රකාශ කොට ඇත. මේ නවකතාවේ එය සෘජුවම සිදු කරයි. (මෙසේ චරිත සමග කතුවරයා කතා නොකරන ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් පමණක් ලියැවෙන ප්‍රබන්ධ කතාවක වුව ඒ ඒ චරිත ලවාම කතා කරවීම මගින් බහුශාබ්දිකත්වය උපදින ආකාරය අජිත් තිලකසේනගේ ඇතැම් කෙටිකතා මගින් ඉගෙන ගන්නට පුළුවන.) කෙසේවෙතත් මේ නවකතාව ඉදිරියට විකාශනය වන්නේම නොයෙක් කටහඬවල් ලවා කතා කරවීම මගිනි. ඒ නිසා කතාවේ සුසාධිත බව, නිශ්චිත අවසානයක් ඇති බව නැතිව යයි. සිදුවීම්වල පවතින තථ්‍ය බවත් ප්‍රබන්ධබවත් අතර පාඨකයා දෝලනය වෙයි. ප්‍රබන්ධ කතාව තුළම පවා එක් යථාර්ථයකට වඩා වැඩි යථාර්ථයන් ප්‍රමාණයක් ඇති බව පෙන්වයි. පාඨකයාගේ එක් දෘෂ්ටිමය පර්යාලෝකයක අතකොලුවක් වීමෙන් වැළකෙයි. එක් සිද්ධියකට නොපෙනෙන මුහුණත් ගණනාවක් ඇති බව පෙන්වයි. ආඛ්‍යානය සරල රේඛීය බවින් මුදවා සංකීර්ණ පඨිතයක් ලෙස ගොඩනැගෙන්නේම මේ බහුශාබ්දිකත්වය නිසාය.

බැලූ බැල්මට මෙය විසිරුණු රීතියකින් යුතු, නවකතාමය චරිත නිදහසේ සැරිසරණ රස්තියාදුකාර නවකතාවක් ලෙස පෙනුණද මෙය ඉතා සැලකිල්ලෙන් කරන ලද ව්‍යුහමය ගොඩනැංවීමක් බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. මා ඉතා ප්‍රිය කරන නවකතාවක් ගැන අවසාන වැකි කිහිපය ලෙස මෙසේ ලියමි. හිතුවක්කාරී නවකතාව, සම්මත නවකතා රීති උල්ලංඝනය කරමින් අලුත්ම ප්‍රබන්ධයක් නිපදවීමට කළ ප්‍රශස්ථ ව්‍යායාමයකි. ඊඩිපස්මය වෛරයක් ද සමග කරළියට එන මෙවැනි නවකතා කාලයක් තිස්සේ පාඨක සිත්වල හොල්මං කරන්නට නම් නිර්මාණාත්මක තාක්ෂණික දියුණුව තරමටම ආනුභූතික නැවුම්බව රැකගැනීම ද, ඒ ඇසුරින් තමා කරන කතිකාමය මැදිහත්වීම ගැන ද වෙහෙසිය යුතුය. කොටින්ම නවකතාවක කතන්දරමය ආනන්දය තරමටම බුද්ධිමය ආලෝක ධාරා ද එල්ල විය යුතුය.

එසේ බුද්ධිමය ආලෝක ධාරා උපදින්නේ නවකාවක ව්‍යුහමය ගොඩනැංවීම තුළ තේමාත්මක ඇසුරුමක් තිබෙන විටය. නවකතාවක "තේමාව" යන්නට වඩා, තේමාත්මක මාන/තේමාත්මක ඉසව්, තේමාත්ක අඩවි යන නම් භාවිතා කරන්නට මම කැමැත්තෙමි. ඒ "තේමාව" යන්න පැරණි වචනයක් නිසා නොවේ. (වචන එසේ පරණ වන්නේ නැත.) "තේමාව" යැයි කියන විට ඉන් නිශ්චිත යමක් හැඟවෙයි. එහෙත් ඕනෑම නවකතාවක සෘජුව සහ නිශ්චිතව ප්‍රකාශ වන තේමාවක් නැත. ඇත්තේ එක් එක් ලේඛකයා විසින් නොයෙක් සමාජ-සංස්කෘතික-දේශපාලන යථාර්ථයන් වෙත කරන සංජානනමය, මනෝවිද්‍යාත්මක හෝ දෘෂ්ටිවාදිමය මැදිහත්වීමකි. එම මැදිහත්වීම කිසියම් තේමාවක් පිළිබඳ අතිවිශාල අවකාශයකි. තේමාත්මක මාන, ලේඛකයා විසින් නිශ්චිතව පාඨකයා වෙත පවරා දෙන යමක් හෝ අණ දෙන නිලධාරියෙකුගේ නියෝගයක් නොවේ. එය නවකතාවේ අර අතිවිසල් ඉඩ තුළ පාඨකයා විසින්ම මතු කරගත යුතු කතිකාය. හිතුවක්කාරී වැනි නවකතාවක හිතුවක්කාරී ලෙස පෙරබිමට පැමිණෙන "කතාලතා මායම්" නිසා අර තේමාත්මක ඉඩ ඇහිරී යාම දුකකි. තමාගේ නවකතාව පාඨකයා වෙත පිරිනැමීමේ අලුත්ම විධියක් ගැන මෙන්ම තමා ගොඩනගන ආඛ්‍යානයේ ආනුභූතික ලෝකය ගැනත් සෑහෙන තරම් කාලයක් දිවි ගෙවන ලද නවකතාවක් එච්.බී.ගුණරත්න අතින් මතුවට ලියැවුණොත් එය "හිතුවක්කාරී" දුන් නව-නවකතාමය අත්දැකීම පරයනු ඇත.

අප මේ රචනයෙහි පරිමාණයට අවශ්‍ය තරමින් කියවූ ඉහත නවකතා කිසිවක් එකක් පසුපස යන දුම්රිය පෙට්ටි මෙන් එකම ශානරීය අනන්‍යතා පළ කරන කෘති නොවේ. එනම්, ඒවා සියල්ල ව්‍යුහ සංරචනය සහ තේමාත්මක එළඹුම් අතින් සජාතිය කෘති නොවේ. නමුත් මේ සියලු නවකතාවල පොදුබවක් ඇත. එනම්, තම පූර්වජ නවකතා පිළිබඳ ඇති නිර්මාණාත්මක ප්‍රති-විරෝධයයි. කැරලිකාරීත්වයයි. ඒ නිසාම නවකතාවෙන් නවකතාවට "නවකතාව" යන නිර්මාණ විධිය ද අලුත් කරන ප්‍රයත්නයක් ඒ කෘතිවල ඇත. ඒ නිසා මේ රචනයේ සාරය එක වැකියක මෙසේ සමාලෝචනය කරන්නට අපට පුළුවන; සෑම විශිෂ්ට නවකතාවක්ම නවකතාව නමැති ශානරයේ නව උප ශානරයකි.

අවසන්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Novel, Literature Critique, Sri Lankan Fictions, Sinahala nawakatha, Mathrukawak Soyana Wachana Anu Thundahak by Ariyawansha Abeysekara, Hithuwakkari by H.B. Gunarathna
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
වෙසෙස්
ආදරය සහ ළමා අපයෝජනය
තවත් වෙසෙස් බූන්දි
තෝල්ස්තෝයි අදට වලංගු ද?
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
මල් පලස් මත කළ භූමිදානයේ අතීතය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook