Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
බුම්මන්නා පවුල සහ ලේලිය
බූන්දි, 11:46:13
අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ විවාහය මට ඕනවට කරගත්තා නෙවෙයි. ඒක නිකම්ම සිද්ධ වුණා කාලානුරූපව.

සමහර දේවල් එහෙම වැඩි බලපෑමක් නැතුවම සිද්ධ වෙනවා. පවුලේ එකම දියණිය වීමත්, මගේ දෙමාපියන්ට ඉතා වැඩි වයසෙන් මාව ලැබීමත් තමා යම්කිසි ආකාරයකින් වක්‍ර බලපෑමක් සෘජුවම එල්ල කළේ. නැත්නං ඔවුන් ඉතා බුද්ධිමත් දෙමාපියො. විවාහයකින් ජීවිතය සම්පූර්ණ නොවන බව ඔවුන් හොඳටම දැනසිටියා. ඒ වගේම දරුවෙක් ඉන්නා ජීවිතය නම් එහෙම් පිටින්ම හිස් වෙන්නේ නැති බවත් මම ඔවුන්ගේ අතීත අත්දැකීම් ශ්‍රවණයෙන් ම දැන සිටියා.

නමුත් ජීවිතය සැබැවින්ම එහෙම් පිටින්ම හිස්. මේ හිස් බව වසාගන්නට අපි නොයෙකත් දේ පුරවමින් ඉන්නවා. අනවරත ව්‍යායාමයක්. අවිනිශ්චිත, නිශ්ඵල ප්‍රයෝගයක් තුළ අප ගිලී, වෙළී ඇති බව දැනගන්නට කිසිවෙකුට උවමනාවක් නෑ. ඔවුන් ඒ උවමනාම හිතාමතාම අතහැරලා. මන්ද, ඒ උත්සහය අතැම්විට මේ නිශ්ඵල, ශෝකී රසයෙන් අපව ඈත් කර තබා, ශූන්‍යතාවය කරා යන වෙනම මානයකට පාර කපන නිසා. අපි එතරම් නිර්භීත නෑ. ඇතැම්විට එතරම් නිර්භීත අය පවා දුර්මුඛ කිරීමට සිත් දෙන සමාජයකයි අප දිවි ගෙවන්නේ. මම මේ තරං විචාරශීලී සහ අභ්‍යන්තරානත නොවී සිටිය යුතුයි. තිස් වසක් පවා නොපිරුණු ගැහැණියක් මේ තරං මහලුව සිතන්නේ කුමකටද ? නමුත් මට නොසිතා සිටිය නොහැකියි. මම එතරං කතා නොකරන තැනැත්තියක්. ඉතිං මට කාලය වැඩියි. මට බෝහෝ දේ, බොහෝ වර නැවත නැවත සිතීමේ රෝග ලක්ෂණ පහළ වුණේ ඉතා කුඩා අවදියේමයි. ඒ හේතුකොට ගෙන මගේ කතා අඩු වුණා. දැන් සම්පූර්ණ ව්‍යාධිය. මෙය සුව කළ නොහැකි ඇති, හෝ සුවකළ හැකි කිසිවෙක් මට මුණගැසී නෑ. යම්කිසි ජාන විකෘතියකින් පෙළෙනවාදැයි විටෙක මට මා ගැනම සැක සිතේ.

මගේ මව ඉතා ප්‍රීතිමත් කියවන්නියක් වූ අතර ඇය නිරන්තරයෙන් ඇගේ දැනුමෙන් සහ ආදරයෙන් මා පුරවන්නට තැත් කරන්නියක වූවාය. කුඩා දැරිවියන්, පිරිමි දරුවන්ට සාපේක්ෂව වැඩි කතා ඇත්තියන් ලෙස ප්‍රකට වුවත් මා ලවා වචන දෙක තුනක් පිට කරගැනීම එකල මගේ මවගේ හිස මතින් මල් පැසක් පිරවූ හැඟීමක් ඇති කළ බව ඇය නිතර පැවසූවාය. මගේ මව සිය දිවියේ හතර වන දශකයත් පසු කළ පසු මා පිළිසිඳගත් නිසා මා ගැන වැඩි අවධානයක් දෙන්න ඇති. සැබැවින්ම මා නිසා ඇය බොහෝ දුක් ගන්න ඇති. ඇය නොසිතූ පරිදි, නමුත් මා දන්නා පරිදි නං මට කුමක් හෝ අඩුවක් ඇති බව පැහැදිලියි. මට බොහො දේ සිතුණත් මම ඒ පිළිබඳ කතා නොකරන්නියක්මි. මට බොහෝ දේ නොදැනෙන අතර මම ඒ බව ද නොපෙන්වන්නියක්මි. දැනීම හා නොදැනීම අතර මට විසල් වෙනසක් නැත. නමුත් මගේ මවගේ දැනීමට අනුව නම් මා තරං සංවේදී දැරියක් නම් හත්මුතු පරපුරේවත් නැත. මට එය නොවැටහේ. කතාබස් අඩු වුවද මගේ මවට පින් සිද්ධ වෙන්නට මම සිනාසීමට පුරුද්දක් ඇති දැරිවියක් වී සිටියා. ඉතිං යමෙක් සිත් ගත් යමක් මා සතු වීද ඒ මගේ සිනාවම පමණයි. වැඩිවිය පැමිණීමෙන් පසු වුවත් මා වතළ යම් ආභරණයක් වීද ඒ මගේ සිනාවම පමණයි.

මගේ මවගේ හැත්තෑ වන උපන් දිනයට මා දුන් අමිල තෑග්ග නම් ඇය පියා සමගින් කතිකා කරගත් මනමාලයන් කිහිප දෙනෙක්ගෙන් එක් අයෙක්ට කැමැත්ත දීමයි. එවිට මට විසිපහක් වූ අතර මට වයස විස්ස ලැබූ තැන සිට ඇය මංගල යෝජනා ගෙනෙමින් තිබුණාය. ඇය කිසිදිනකම මට කිසිත් බල නොකළ අතර විවාහය යනු මංගල කරුණක් නොවන බවද දැන සිටියාය. එහෙත් ඇය ඔවුන්ගෙන් පසු මා තනිව සිටීම ද මංගල කරුණක් ලෙස නොදුටුවාය. ඒ බවද මට පැහැදිලි කළාය. කෙනෙක් සොයා ගොස් බැඳීමක් ඇති කරගැනීම ද, සොයා ළඟට එන කෙනෙක් සමග බැඳීම් ඇති කරගැනීම ද එකසේ මට බොහෝ වෙහෙස ගෙනදෙන්නෙක් විය. ලැජ්ජාශීලී; හුදෙකලා ප්‍රිය මම කිසිදිනෙක ප්‍රේමය නම් වු උත්කර්ෂවත් හෝ ප්‍රහර්ශවත් යැයි ලෝ සුපතළ හැඟීමේ ග්‍රහණයට නතු නොවුණියක වීමී.

මගේ හැඟීම් දැනීම් කෙසේ වෙතත් මගේ දෙමාපියන්ගේ සිත් තුළ මා පිළිබඳ ආරක්ෂිත හැඟීමක් ඇති කරදීම මගේ වගකීම යැයි මම සිතුවෙමි. ඊට අමතරව රිසි තරම් ඔවුනට කළගුණ සැලකීමට කාලයක් මට ඉතිරි වේදැයි සිතා ද මම බිය ගත්තෙමි. මම පහසුවෙන් බිය ගන්නියක නොවෙමි. කඳුළු හෙළන්නියක නොවෙමි. එහෙත් මගේ දෙමාපියන් සම්බන්ධව එසේ නොවුණි. ඔවුන්ගේ කරුණාව, ආදරය සිහිවන වාරයක් පාසා මගේ දෑසට කඳුළු උනයි. මෙලොවට යම් බන්ධනයක් ඇත් ද, දුකක් ඇත් ද, වගකීමක් ඇත්ද එසේ නම් ඒ දෙදෙනා පමණක්ම විය. එතරං මා සසල කළ වෙනත් සෙනෙහසක් මට නැවත හමුවිය නොහැකි යැයි මම අදහමි.

මගේ විවාහය, මගේ දෙමාපියන් සඳහා වූ කළගුණ පූජාවක් පමණක් වුවත් මම ඒ බව පැහැදිලිව ඔවුනට නොපෙන්වූයේ ඔවුන්ගේ සැනසුම් සුසුමට බාධාවක් වේයැයි බියෙනි. දෑස් බැඳගත් මම දෙවරක් නොසිතා ඒ අඳුරු ගුහාවට සන්සුන්ව ඇතුළු වූයෙමි. ඔහු මා ස්පර්ෂ කොට එක් කඩ තිරක් ඉවත් කළේමුත් මගේ දැහැන බිඳුනේ නැත.

විවාහයක ඇති අපූර්වත්වය පළමුව පසක් කරන්නෙ සැමියා නොව නැන්දම්මාය. මට නැන්දම්මාට අමතරව තවත් කෙනෙක් පහළ විණ. ඒ නෑනාය. මගේ ඉවසීම පර්යේෂණයට ලක් කරන ව්‍යාපෘති ගණනාවක් දියත් වී තිබිණ. මම මගේ සිනහව පරාජය කරන්නට ඉඩ නොදුන්නෙමි. කතා අඩු නිසා මගෙන් වචනයක් පවා පිට නොවුණු අතර කළ හැකි එකම දේ වූයේ සිනා නොවී සිටීම පමණි. එහෙත් මම එතරං ළද බොළඳ නොවීමී. මම මෘදු බවින්ම දැඩි වීමි.

නිතර සිනා සෙන, හානිකර වචනයක් පවා පිට නොකරන, නිරවද්‍ය ගැහැණියකට එදිරි වීමට එකම නිවසේම සිටින තවත් ගැහැනුන් දෙදෙනෙකුට හැකි නම් ඔවුන්ගේ කෲරත්වය ප්‍රශ්න කළ නොහැකිය. කළ හැකිව තිබුණේ මගේ කර්මය මගෙන්ම ප්‍රශ්න කිරීමය. ඒ හැර මගේ අනන්‍යතාවට ගැලපෙන සන්සුන් විකල්පයක් මට නොතිබිණි. මම මගේ කර්මය ප්‍රශ්න කරමින්, මෛත්රිය ප්‍රගුණ කරමින් සිටියෙමි. දස දිශාවන්ගේත්, සියලුම අනු දිශාවන්ගේත් පිහිටි සියලුම සත්වයන් අතර ඔවුන්ට මගේ මෛත්‍රිෙයන් සැඟවී සිටින්නට අන් දිශාවක් නැත. මාස කීපයක් ඇවෑමෙන් අවිවාහක නෑනන්ඩියට මංගල යෝජනාවක් ස්ථිර වූ අතර ඇය වෙනත් නිවසකට අමුත්තියක වී ගියාය. තනිවම මට පද බැඳීම හෝ මගේ ඇද වූ, වක් වූ තැන් සෙවීම නැන්දම්මාට වෙහෙසකර වන්නට ඇත. මම සැනසුම් සුසුම් හෙළුෑවෙමි. එළොව සිටින මගේ දෙමාපියෝද මා ගැන නිසැකවම බලනවා ඇතැයි විශ්වාසයක් ද මේ නිසා මා තුළ ඇති විය.

සැමියා මා දැඩිව පෙළන ගතියෙන් රහිත වූවත් කිසිවිටක ඔහුට මා අවශ්‍ය බව පෙන්වූයේ හෝ් මා අගය කළේ ද නැත. මා උදව් ඉල්ලූ විට දෙනවා හැරෙන්නට කිසිවිට මා ගැන සොයා බලා මගේ අවශ්‍යතාවන් පිරිමැසූවේ ද නැත. අනෙක් අතට මට එහෙමකට අවශ්‍යතා තිබුණේ ද නැත. ඔහු රැකියාවට යන විට සහ රැකියාවෙන් එන විට ඔහු සඳහා සියලූ දේ සූදානම්ව තිබීම, දුම් දමන අහාර මේසය මත තිබීම හෝ ඔහුගේ මුහුණට සිනාවක් නොගෙනාවේය. කෑමවල ඇති රස බව හෝ නීරස බව ගැන පවා පැමිණිල්ලක් නොවීය. ඔහුට නොදෙවෙනිව මා ද යන්ත්‍රානුසාරී නිසා ඒ ගැන කිසිත් මම නොවිමසුවෙමි.

දිනක් අනාරාධිතව සහ අනපේක්ෂිතව සැමියා සමග නිවසට පැමිණි මිතුරෙකුට සංග්‍රහ කිරීමට මට සිදුවිය. එවෙලේ ඇඹරැල්ලා ගසින් ගැසූ ගෙඩිවලින් සෑදු පානයෙන් ද, නිවසේ ඉතිරි වූ තිබූ බත් සහ ව්‍යංජනවලින් ද මා කළ සංග්‍රහ වර්ණනා කිරීමට ඔහුට වචන මදි වූ හැටි දැක මම ක්ෂණිකව විපිළසර වීමි. පසුව ප්‍රීති වීමි. ඇඹරැල්ලා පානයෙන් පළමු උගුරෙන් පසුවම ඔහු ඇස් උඩ ඉන්දුවා ඒ රස ගැන වර්ණනා කළේය. බත් දීමෙන් පසු බත් කටෙන් කට ඔහු ඒ ආහාරය සහ මගේ අත්ගුණය වර්ණනා කළේය. නිසැකවම අන් දිනයක ඔහුගේ බිරිඳ සමග නැවත කෑමකට එන බවත් මෙසේ රසවත්ව කෑම හදන අයුරු ඔහුගේ බිරිඳට කියාදිය යුතුම බවත් පවසා මුව නොසෑහෙන සේ ඔහු ස්තුති කරන විට මම ක්ෂණිකව තිගැස්මටත්, ප්‍රහර්ශයටත් පත් වුණෙමි. ඒ මොහොතේ මගේ මූණ රතු වන්නට ඇත්දැයි මම නොදනිමි. විටින් විට නින්නාද වී සිරුරේ ලේ ධාතුවට එක්වන චිත්ත ප්‍රීතිය මෙවන් කෙටි ක්‍රමවලින් මෙසේ ලැබිය හැකියැයි මම මෙතුවක් කාලයට නොදැන සිටියෙමි. අහෝ …සතුට මේ තරං ලාබව තිබියදීත්, නොමිලේම හිමි කරගත හැකිව තිබියදීත් මට එය අහිමි වී ඇත්තේ ඇයිදැයි මම සුපුරුදු පරිදි මගෙන්ම ප්‍රශ්න කළෙමි.

නැවත වතාවක් එකී මිතුරා සමගම තවත් මිතුරන් දෙදෙනකු අනාරාධිතව ආ මොහොතේදී පෙර සේම සැලකිල්ලෙන් පිළියෙළ කළ ආහාර ඔවුන් දෙදෙනා ගිල දැමූවේ දිව්‍ය භෝජන ලෙසින් බව මම දුටුවෙමි. කාර්යාලට එවන බත් මුලට තවත් වැඩි පුර බත් බෙදන ලෙසත් මගේ සැමියාගේ බත් මුල කාර්යාලයේ ජනප්‍රිය බවත් ඔවුහු නොවළහා පැවසූහ. පෙර පරිදිම මම ක්ෂණිකව තිගැස්මටත් ප්‍රහර්ශයටත් පත් වුණෙමි. එය අසන විටදී සැමියාගේ මුවට ද ආඩම්බර මඳ සිනාවක් මතු වී මැකී යනුද මම දුටුවෙමි. ඔහුට එ් ගැන සිනාවීමට හැකි වීම පවා මගේ පුදුමයට හේතුවිය.

විපිළිසරවීම නැවත ආරම්භ විය. පිට මිනිසුන් පැමිණ මෙසේ මගේ කෑම වේල වර්ණනා කළත් එය මගේ සැමියාගේ මුවින් නික්මෙන්නෙ නැත්තේ ඇයි දැයි මම නැවත නැවතත් කල්පනා කළෙමි. නොනැවතී මම මගේ මුග්ධ බවද, අසංවේදී බවද, අසාර්ථක බවද මෙනෙහි කළෙමි. ඉතා කුඩා වපසරියක සැමියා සහ පවුල පමණක් කේන්ද්‍ර කොට ශ්‍රමය කැපකරමින්, ප්‍රශ්න නොකරමින් පවත්වාගන්නා ජීවිතය මට කිසිවක් පෙරළා ලබාදෙන්නක් නොවන බව මම ප්‍රථම වරට වටහා ගත්තෙමි. එමෙන්ම ඒ ගැන ශෝක වීම ආරම්භ කළෙමි. ඉතා සියුම් වූ සතුටු අංශු මාත්‍ර අවකාශය පුරා පාවී ඇති නමුත් මට එහි ආකර්ශනයක් නැත්තේ ඇයි? ? ජීවිතය යනු මා මෙතෙක් ගත කළ පැතලි බිම් පෙදෙස පමණක් නොවන අතර එක තැන ගල් කණුවක් සේ රැඳෙමින් මා ගත කරන්නේ මගේම දෙපාවල විලංගු දමා සිටීමක් වග දැන් මට පැහැදිලිය.

ශෝකය අර්ථවිරහිත බව මා දැන සිටියත් මගේ උපේක්ෂාව දැදුරු කරමින්; මගේ කල්පනාවන් සිය මානය වෙනස් කරමින්; නීති විරෝධී ලෙස පීළි පැනීම අඬන්නට සිටි එකියකගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය. සැබැවින්ම මම හඬන්නට සිටියාදැයි කියාවත් මට පැහැදිලි නැත.

සති කීපයක් ගෙවුණු තැන මම මගේ පිළිවෙළ වෙනස් විය. මම කෑමවල ලුණු ඇඹුල් පදම නොබැලුවෙමි. ඔහු එනවිට කෑම සීතල වී තිබුණා මිස දුම් දැමුවේද නැත. වළල්ල පිටින් බිම දමා යන සරම, මම වළල්ල පිටින් බිමම තිබෙන්නට හැරියෙමි. ඔහුගේ නිරීක්ෂණයට එය පැහැදිලිව හසු වුණි.

"මොකද වෙලා තියෙන්නෙ ?"

ඔහුගේ හඬ තරමක් උස් වූ අයුරු මම අසා සිටියෙමි. පිළිවදන් නොදුන්නෙමි.

"කටේ තියන්න බෑ කෑම. ලුණු පොල් කට්ටම හලනවද ? දැන් කී දවසක්ද ?"

කෙමෙන් කෙමෙන් උස්වන ඔහුගේ හඬ අසා ඔහුගේ මවද කොණ්ඩය බඳිමින් කළබලයෙන් කෑම කාමරයට ආවේ විමතියෙනි. පැණි වරකා ගසට හෙණ ගසා ඇත. මම හඬ අවදි කළෙමි.

"කවදාවත් කෑම රහයි කියන්න බැරි මිනිහටද මේ කෑමවලට ලුණු දානව කියල මතක් වුණේ ? මම මොකෙක් වගේද පේන්නෙ ? මම සතෙක් නෙවේ. මම මනුස්ස දුවක්. මම හුස්ම ගන්නවා කියල පේනවද. මම මේ ගෙදර ඉන්නවා කියල පේනවද මේ අම්මටයි පුතාටයි? මගෙ අම්මයි තාත්තයි පරලොව ගියාට මම තාම ගියෙ නෑ. මම දැන් අවුරුදු දෙකක් රූකඩයක් වගේ හිටියා. මට තාම ළමයෙක් නෑ හොඳ වෙලාවට. මේ බුම්මන්නා පවුලට ආයෙ ළමයි මොකටද, ඌත් බුම්මගෙනම ඉපදිලා බුම්මගෙනම ඉඳී. මට වහපු මහගෙදර යතුර තියෙනවා. මාව එලෙව්වොත් මට ගිහෑකි. අම්මටයි පුතාටයි ඊට පස්සෙ ගෙදරට වැඩකාරියෙක් ගෙනාවහැකි."

එවන් ප්‍රතිචාරයක් ඔවුන් කිසිසේත්ම මගෙන් බලාපොරොත්තු නොවුණු අතර මගේ ස්වරයේ තිබූ දැඩි බවද ඔවුන්ට අදහාගත නොහැකි වූ බව මම දුටුවෙමි. ඒ දැක්මෙන් සිත වහා කුල්මත් වුවද ඒ නොපෙන්වා මම කාමරය ගියෙමි. තවදුරටත් ඔහු හා එක් ඇඳක් බෙදාගෙන කුමටද ? මම පැදුරක් එළා මගේ කොට්ටය බිමට දාගත්තෙමි.

පත්තිනිය කාලි යක්ෂණිය බවට රූපාන්තරණය වීම ආරම්භ විය. කාලිය නොඉවසයි. කාලිය සැමියාට පෙර අවදි වන්නේ ද නැත. කාලියගෙන් කිසිදු දයාවක් අපේකෂා කළ නොහැකිය. කාලිය පිරිමින් විඳවන්නට සලස්වයි. නැන්දම්මා පරළ වී කියවතැයි මම අපේක්ෂා කළත් එය එසේ සිදුවූයේ නැත. කාලියට ඇතැම් ගැහැණුන්ටද බිය විය හැකිය. මම පමා වී අවදී ඇඟ සෝදා ප්‍රීමා කොත්තු මී එකක් සාදා ගෙන කා කකුල් උඩ දමාගෙන පත්තර බලමින් සිටියෙමි. සිතේ යම්කිසි පෙර නොවූ විරූ ප්‍රීතියකි. ඉතා ධර්මිෂ්ඨ වූ මම අධර්මිෂ්ඨ ලෙස කුරිරු වූ ප්‍රීතියක් අනුභව කරමින් සිටීම මගේම සිනාවට බඳුන් විය. අසූවක් කෝටි සංවර ශීලය ගිහි ගෙදරකට අවශ්‍ය නැත. මගේ අත්දැකීම් විරහිතභාවය උකසට තබමින් මම සියල්ල වරද්දාගෙන ඇත. මා පෙළුෑ ණය දැන් මොවුන් ගෙවිය යුතුය.

උදෑසන සහ දිවා ආහාරය නැන්දම්මා විසින් බැරිමරගාතේ උදේම නැගිට කළ අතර මම ඊට කිසිදු සම්මාදමක් නොකළෙමි. ඉර අවරට ගිය පසු මම නොසැලකිලිමත් ලෙස කෑම පිළියෙල කරන අයුරු දැක නැන්දම්මා "ඒකත් මම ම කරගන්නං" කියා කොණ්ඩය බඳිමින්; රවමින්; ඔරවමින් කුස්සියට ආ පසු මම ක්ෂණිකව කරමින් සිටි සියල්ල නවතා ඒ මොහොතේම ඇයට භාරදී එතැනින් පිටවුණෙමි. ඇගේ එරවිල්ලට යටින් ඇය නැවත කම්පනය වනු මම ඇස් කොණින් දුටිමි. අහා... ඒ දුෂ්ට වූ අධර්මිෂ්ඨ ප්‍රීතිය ! ඔව් නැවතත්. මම හිත යටින් හඬ නඟා සිනාසුණෙමි. මගේ මුහුණට ද ඒ එළිය එන්නට ඇත.

තවත් දින කීපයක් කුණාටුවට පසු නිශ්ශබ්දතාවයෙන් ගෙවී ගියේය. සැමියා වැඩ ඇරී ඒමට ආසන්නය. ඒ මොහොත තෙක් මම පසුගිය දින සියල්ලෙහි කළ පරිදි කකුල් උඩ දමාගෙන උදේ කියවූ පත්තර නැවත කියවන්නට පටන් ගතිමි. ඒ අතර ඔහු දැන් කුමක් සිතනවාද යන්නත් මම සිතුවෙමි. අවශ්‍ය නම් ඔහුට මට බැණ අඬගසා ගුටිබැට දීමටද හැකිය. එවිට මා කුමක් කළ යුතුද ? යම් හෙයකින් එසේ කළහොත් අවට සිටින ගෙවල්වලට ඇසෙන සේ කෑගැසීමට මම සිතා ගත්තෙමි. නැන්දම්මා කිසිවිටක ඇගේ ගෞරවය පාවා දීමට කැමති වන්නියක නොවේ. ඇය නිවසෙන් පිට ගේට්ටුවෙන් යම් අඩියක් තියන්නේද බෝධිසත්වවරියක බවට පරිවර්තනය වන්නේ ඇසුරු ගසන වේගයෙනි. ගුටිබැට දුනහොත් එහිද වාසිය ගෙන වහාම ඒ මාන්නය පවා දී මහා ප්‍රීතියක් මිලක් නොගෙවාම ලබාගත හැකි වගක් මට දැනේ. මනුෂ්‍ය ප්‍රාණියෙකුට වඩා වටිනාකමක් දී ඇති වීදුරු පිඟන් බඩු මුට්ටු ද කේන්තියෙන් පොළවේ ගැසීමේ අනගි දුර්ලභ අවස්ථාවද මට උදා කර ගත හැකි නිසා ටිකක් ගුටි කෑව ද කම් නැත. ගෙදරින් යන්න කිව්වා වුණත් කමක් නැත. යන යකා කොරහත් බිඳගෙනම යෑමේ කිසිදු ගැටළුවක් නැත.

මට තවත් ගෙදරක් ඇත. බැංකු පොතේ ලොකු ගාණක් නැතත්. ඒ මුදලින් ස්වයං ව්‍යාපාරයක් ඇරඹිය හැකිය. බත් පාර්සල් බැඳ හෝ මට ජීවත් විය හැකිය. ගතින් අඩු වයස් වුවත් මම හිතින් වැඩි වයස් ඇත්තියකි. මුඩුම වූ මේ බුම්මන්නා මඩුවෙන් නොලද හැකි ප්‍රීතියක්, සල්ලි දී බත් මුල ගන්නා මිනිසුන් ඊළඟ දවසේ කෑම එක රසයි කියනු ඇසීමෙන් මට නොඅනුමානව ලැබෙනු ඇත. මට නැව් ගැනීමටවත්, මාළිගා ගැනීමටත් අවශ්‍ය නැත. එදිනෙදා ජීවිතය පහසුවෙන් සහ යම්කිසි විශ්වාසයකින් සංතෘප්තියකින් ගතකරගත හැකි නම් එපමණකි.

තරුණ ගැහැනියකට තනිව විසීම අන්තරාදායක බැව් සැබෑය. එවැනි තර්ජනයක් එළඹෙන බැව් දැනුණහොත් අනාථ නිවාසයකට ගොස් නොමිලේ සේවය කළ හැකිය. මහ ගෙදර අසල මම නිතර ආ ගිය මෙහෙණි ආරමයට ගියහොත් මෙහෙණින්නාන්සේලාට ද සේවය කළ හැකිය. ගැහැනියක් තනි වන්නේ ඇයට තනිව සිතීමට නොහැකි නම් පමණි. මට තනිව සිතා, තනිව හැසිරීමේ ධෛර්යය ඇති බව මම දන්නෙමි.

අනාගත සැලසුම්වලින් බැහැර වී පියවි ලොවට එන විය පැය ගණනක් ගත වී ඇති බව මට දැනිණි. සැමියා මා අසලින් නික්ම යන්නට ඇත. මට එය නොදැනිණ. මට ආහාර ගැනීමට කුසගින්නක් පවා ඇති නොවුණ නිසා මම කෑම කාමරය දෙස බලමින් නිදන කාමරයට පිවිසුණෙමි. සැමියා ආහාර ගන්නා අයුරු මට පෙනේ. දුකක් හෝ සතුටක් කිසි දිනක දැක නැති ඒ මුහුණේ ඇති හැඟීම් පිළිබඳව මම ද කිසිදින සැලකිලිමත් නොවුණෙමි. නමුත් දැන් දැන් මට අපහසුවක් දැනෙමින් පවතී. මෙසේ කෘතිමව ශ්වසනය කරමින් කී දවසක් මේ නිවසේ වසන්න ද ? ඔවුන් මට ගුටි බැට නොදුනහොත් මා කරන්නේ කුමක්ද ? වැරැද්ද කර ඇත්තේ ඔවුන් පමණක් ද ? මා සර්ව නිර්දෝශී යැයි කිව හැකි ද ? මම සජීවී බිරිඳක් ලෙස අඩුම තරමේ මගේ ස්වාමි පුරුෂයාට අවනත වී හෝ ඔහු අවනත කරගෙන ඇත් ද ? බත් උයනවා හැරුණු කොට ඔහුගේ හදවතෙහි ඉඩක් ලබාගැනීමට මා උත්සහයක්වත් දරා ඇත් ද ?

එල්ලවී ඇති පීඩාවලට අමතරව ස්වයං දෝෂය මා මත ගල් කුලක් සේ පතිත වීම මම කිසිසේත්ම අපේක්ෂා නොකළෙමි. ඒ බරත් සමගම මම පැදුර එළා බිම වැතිරුණෙමි. ගුරුත්ව නියමය උල්ලංගණය කරමින් මා පොළවට කිඳා ගිය සේය. අද පහසුවෙන් නින්ද එන පාටක් නැත. අධර්මිෂ්ඨ ප්‍රීතිය භක්ෂණය කළ ඉතා සුළු කාලයද වහා අවසන් විය. ඉනික්බිති සියළු පෘතුවිවාසීන් මා පමණක් හුදෙලාවේ විඳවීමට හැර වෙනත් ග්‍රහලොවකට ගොස් ඇති සෙයකි. මොහොතකින් සීතලට මගේ බඳ වටා වැටුණු යමකින් මම තිගැස්සුණෙමි. ඒ ඔහුගේ අතකි. සීතලට මගේ කණ් පෙත්තේ වැදුණේ ඒ ඔහුගේ දෙතොලය.

"යාළුවො ඇහුවා ඇයි දැන් කෑමවල කිසි රහක් නැත්තෙ කියල...."
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මනූෂා ප‍්‍රභානි දිසානායකගෙන් තවත් වියමන්
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
කතන්දර
මාස තුනක් සහ එක දවසක්
කතන්දර
පාට වලාකුළු අතර හිඳ....
කතන්දර
පස්සෙන් යෑම
කතන්දර
රම්‍ය, සුරම්‍ය, සුබ සහ ජයම්පති
තවත් කතන්දර බූන්දි
විරාම ලකුණු
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
ලියුම්
සරසවි ශිෂ්‍යයාගේ මරණය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook