Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
විපරීත යුගයක තරුණ සිනමාව
බූන්දි, 18:53:42
මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය' යනුවෙන් සිංහල කියමනක් තිබේ. සමස්තයම පරිහාණියෙන් පිරිහාණියට ගිය රටක සිනමාව පමණක් ඉතිරි වී තිබීම විය නොහැක්කකිය යන්න සම්බන්ධයෙන් ඒ කියමන අදාළ වෙයි. දේශපාලනය බඩ රස්සාවක් බවට පත්ව ඇති, දේශපාලකයන් කියමින් අමු තක්කඩියන් තෝරා පත්කර ගැනීම සිය කාර්යය බවට පත්ව ඇති, රටකට අවශ්‍ය චින්තනමය වෙනසක් සඳහා මුලපිරුමට හැකි බුද්ධිමතුන් බිහිකිරීම වෙනුවට එහෙම පිටින්ම දැක්මකින් තොර, ආත්මාර්ථකාමී ජීවීන් තනනා අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ඇති, දේශප්‍රේමය වැසිකිළියේ තැටමීමේ සිට කෑම මේසයේ කට ගැස්ම දක්වා නොඅඩුව භාවිතා කරන, තමන්ගේ සියළුම ප්‍රශ්නවලට මුල අනෙකා බව සිතන සමාජයක, වෙනස් ආකාරයකට සිතන මිනිසුන් බිහි කිරීම යනුම අභියෝගයකි.

හැට හැත්තෑව සහ අසූව දශකයන්හී වාණිජ අතින් මෙන්ම කලාත්මක පාර්ශවයෙන් ද වැදගත් කෘතීන් ගණනාවක් බිහි කිරීමට සමත් වූ එහෙත් ඒ සිනමා කෘතීන් ගෙන් බොහොමයක් ඊලඟ පරම්පරාව වෙනුවෙන් රැක ගැනීමට අසමත්වූ රටක් ලෙස විපරිණාමයට පත් ලංකාවේ අනූවේ සිට අපට දවස් ගෙවුනේ සිනමාව යනු ඉඳහිට හතු පිපෙන්නාක් මෙන් සිනමා පටයක් නිපදවෙන වටපිටාවකය. ලෙස්ටර්, පතිරාජ, ධර්මසිරි, වසන්ත, නිහාල්සිංහ වැනි කලාත්මක සිනමාව පෝෂණය කල දැවැන්තයන් මෙන්ම දීර්ඝ නම් ලැයිස්තුවක් සහිත වාණිජ සිනමාකරුවන් ද සිටි රටක සිනමාවේ පරිහාණිය රූපවාහිනියේ ආගමනයට පමණක් ලඝු කිරීම අද බොහෝ විට දක්නට ලැබෙතත් මේ ඊට වඩා පුළුල් විග්‍රහයක් අවශ්‍ය ක්ෂේත්‍රයකි.

රට තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද ඇතිවන ආර්ථීක සාධක මෙහිලා සැලකිය යුතු බලපෑමක් කර ඇති අතරම රටෙහි මැතිවරණයෙන් මැතිවරණයට දැක්මක් නැති දේශපාලකයන්ට දියවන්නාවේ අධිපත්‍යය හිමිවීම අර්බුදය ඛේදවාචකයක් බවට පත්කිරීමට හේතුවී ඇති බව පැහැදිලිය. මෙහිදී එක් පසෙකින් පෙර පරපුරේ සිනමාකරුවන් ක්ෂේත්‍රයෙන් පිටමං වීමත් සිනමාකරුවන්ගේ දෙවන පරම්පරාවේ ප්‍රමුඛයන් වන ප්‍රසන්න, හඳගම, විමුක්ති වැන්නන් දේශපාලන අත්තනෝමතිකත්වය සහ ජාතිවාදය විසින් දඬුකඳට දැක්කීමත්, හරවත් සිනමා විචාරය සම්ප්‍රදාය අපට අහිමිවීමත්, මහින්ද චින්තනය අනුව සිනමාපට නිපදවිය යුතුය යනුවෙන් මෙනූ පත් රැගත් ඒජන්තයන් සිනමාවෙහි විවිධ මර්මස්ථාන අරක් ගැනීමත් සමග සිනමාවේ දෙවන පරපුරට සිදුවූයේ සිනමා නිර්මාණ බිහි කිරීම පසෙක ලා තම ආරක්ෂාව වෙනුවෙන් අරගල කරනා තැනකට පත්වීමටය. එසේම එවන් තත්වයක් යටතේ පවා තමන් විසින් නිර්මාණය කරනු ලබනා සිනමා පට වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වීමටය.



සිනමාවේ පරිහාණිගත ගමන වඩාත් අර්බුදයට යන්නේ අපරීක්ෂාකාරී ලෙස නගරාන්තර බසයක් ධාවනය කරන්නාක් වැනි චණ්ඩින් දේශපාලනයට මෙන්ම සිනමාවටද පිවිසීමත් සමගය. විශේෂයෙන් යුද්ධය සමග දේශපාලනයේ වන වෙනසත්, බුද්ධිමය සංවාද වෙනුවට ආගමික ඇදහිල්ල සහ මිථ්‍යාව සිය ජීවන පැවැත්ම කරගත් පූජක පැලැන්තියක සීඝ්‍ර නැගී ඒමත්, අන් කවරදාටත් වැඩියෙන් නග්න ලෙස සිංහල බුද්ධාගම යයි හඳුන්වාගත් ජාතිවාදය සහ පාලක පංතිය සහවාසය ඇරඹීමත්, ඒ සමග එතෙක් තමන් සිටි ආස්ථාන වහවහා මාරු කරමින් අන් බොහෝ අය පරිදිම සිනමා ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු පිරිසක් රාජපක්ෂාගම සහ ජාතිවාදයේ සරණයාමත් නැරඹීම පසුගිය කාලයෙහි ප්‍රේකෂකයාගේ සිනමා අත්දැකීම බවට පත්වීම මෙහි කූටප්‍රාප්තියයි. ආගම සහ පාලනය එකගෙයි කෑම ප්‍රසිද්ධියේ ඇරඹීමත් සමග සිනමාවේ ඇතිවූ අවසන් බිඳවැටීම සනිටුහන්වන්නේ කොලාජ් චිත්‍ර මෙන් එහෙන් මෙහෙන් කෑලි පූට්ටු කල වෙසක් නාට්‍ය වැනි විගඩම් තිරය අරක් ගැනීමත් සාදුකාර දෙමින් නිවන්සුව සොයා යන අසපුවාදී මධ්‍යම පංතික නඩයක් ප්‍රේක්ෂකයන් බවට පත්වීමත් මගිනි. ඊට ප්‍රතිපක්ෂ ලෙස වාණිජ සිනමා පට නිපදවීම සඳහා දරන ලද උත්සාහයන් ද අවසන්වූයේ රටෙහි මෙන්ම ගෝලීය වශයෙන් ද පවත්නා අර්බුද මෙන්ම එකී සිනමා නිර්මාපකයන්ගේ ද අසාර්ථකවීම් නිසා බවට මෑත ඉතිහාසය සාක්ෂි දරයි.

අප වර්තමාන සිනමා ක්ෂේත්‍රයෙහි තරුණ සිනමාකරුවන්ගේ ආගමනය සැලකිල්ලට ගැනීමේදී ඉහත පසුබිමද සිහිතබා ගැනීම වැදගත් වෙයි. පළමු පරපුරේ බොහෝ සිනමා දායාදයන් නැරඹීමට පවා පසුබිමක් නැති, එසේම දිගින් දිගටම සිය සිනමා භාවිතාව නිසා බැට කෑමේ ඉරණමට ලක් කරන ලද දෙවන පරපුරක අත්දැකීම ඇති වත්මන් පරපුරට පය තබන්නට සිදුවන්නේම බරපතල සෝදාපාළුවකට ලක් කරන ලද ක්ෂේත්‍රයකටය. ඔවුන්ගේ ආගමනය සිදුවන විට ඔවුනට පෙර පරම්පරාවේ දේශපාලනික සවිඥානකත්වයෙන් යුත් සිනමාකරුවන් අතළොස්ස සිටිනුයේ සිනමාපට නිර්මාණයේ සිට එය ප්‍රදර්ශණය දක්වාම සියළු කුරුසයන්ට තනිවම කර දිය යුතු පසුබිමක අසීරු අරගලයක යෙදෙමිනි. ඉදින් නොවැලැක්විය හැකි ලෙසම වත්මන් තරුණ පරපුරේ උරුමය වන්නේ ද එයමය. අදවන විට ඉතාම අසීරුවෙන් ඉතා විශාල දුෂ්කරතා සහ අභියෝග මැද එක සිනමා පටයක් නිර්මාණය කිරීමට විශාල කාලයක් වැය කිරීමට, එය නිමවා ප්‍රදර්ශණ මට්ටමට ගෙන ඒමට තවත් දැවැන්ත අරගලයක නිරත වීමට මෙන්ම විවිධ ක්‍රීඩාවන්ගෙන් ගහන ක්ෂේත්‍රය තුළ එය ප්‍රදර්ශණය කිරීමට අවස්ථාව ලබා ගැනීමට ඉතා දිගු කාලයක් අසාධාරණ ලෙස පෝලිමක රැඳී සිටීමට ඔවුන්ට සිදුව ඇත්තේ හඳගම වැනි පෙර පරපුරේ සිනමාකරුවන්ට ද අතරමැදි දර්ශණවාර සඳහා සිය සිනමාපට මුදා හැරීම වැනි අනතුරුදායක අත්හදාබැලීම් සිදුකිරීමට බල කෙරෙන වටපිටාවකය. මෙවන් තත්වයකදී එකම සිනමා පටයක් නිපදවීමට සිය තරුණ කාලය සහ ජවය වැය කිරීමෙන් ඔවුන්ට ක්ෂේත්‍රයෙන් බැහැරවීමට සිදු වුවහොත් එයද පුදුමයක් නොවනු ඇත.

මෙවන් තත්වයක් යටතේ වුව තරුණ පරපුර සිනමාව සිය ප්‍රකාශණ මාධ්‍යය කර ගැනීමට දරන තැත අපේ ඇගයුමට ලක්විය යුතුය. දිගු කාලීනව දරන ලද වෙහෙසින් අනතුරුව සිනමාපටයක් නිර්මාණය කරගැනීම සඳහා වන තම උත්සාහයේ පළමු අදියර ජයගෙන එය ප්‍රදර්ශණය කිරීමට අවස්ථාවක් නොමැතිව බලා ඉන්නා තරුණ සිනමාකරුවන්ගේ පෝලිම දිගුවීම රටක දක්නට ලැබෙන බරපතල ඛේදවාචකයකි. සිය කුළුඳුල් සිනමා නිර්මාණය උළෙලවල්හිදී ප්‍රදර්ශනය කිරීමෙන් සෑහිමට පත්වන්නට සිදුව ඇති උපාලි ගම්ලත්, මලිත් හෑගොඩ මෙන්ම වෙහෙසකර බලා සිටීමකිින් පසුව ඉතා කෙටි කාලයක් ප්‍රදර්ශණය කරමින් සිනමා ශාලාවලින් ගැලවී යාමේ ඉරණමට ගොදුරු වුන 'මෝටර් බයිසිකල්' සහ 'සයපෙති කුසුම' වැනි සිනමාපට අප ඉදිරියේ නගන නිහඬ ප්‍රශ්ණය ඉතාම බරපතලය.

නව පරපුරේ නිර්මාණකරුවකුවන මාලක දේවප්‍රියගේ 'බහුචිතවාදියා' සිනමා පටයේ මෙවන් සීමිත දර්ශණවාරයකට සහභාගි වන්නට අපට අවස්ථාව ලැබෙනුයේ මෙවන් වටපිටාවකය. මීට පෙර මෙලෙසම උළෙලක දර්ශණවාරයකදී 'දැකල පුරුදු කෙනෙක්' සිනමාපටය නරඹන්නට ලැබුණ අවස්ථාව ද මෙහිදී මතකයට නැගෙයි.

කෙසේ වෙතත් මේ තරුණ සිනමාකරුවන්ගේ දුෂ්කර ව්‍යාායමය නරඹනවිට පරිභෝජනවාදී සමාජය තුළ වාණිජ අතින් අසාර්ථකත්වය අත්විය හැකි වුවද නිර්මාණාත්මක අතින් ඔවුන් දක්වමින් ඉන්නා කුසලතාවන් පවත්නා සීමිත කතිකාව තුළ හෝ සැලකිල්ලට ලක්විය යුතුව තිබේ. මේ සිනමාකරුවන්ගේ ව්‍යායාමය තුළ දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණය වනුයේ ඔවුන්මත බලහත්කාරී ලෙස පටවන ලද අන්තවාදී මතවාදීමය මෙහෙයුම් පරයා ස්වාධීන ලෙස නැගෙන්නට ඔවුන් දක්වා ඇති සමත් කමයි. එහෙයින්ම ඔවුන්ගේ ව්‍යායාමය පවත්නා අධිපතිවාදී මතයනට එරෙහිව යාමකි. සයපෙති කුසුම සිනමාපටය ඊනියා සුචරිතවාදී සමාජය තිගැස්මකට ලක්කරන මාතෘකාවක් එනම් සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකත්වය පිලිබඳ තේමාවට අත තබද්දී (පූර්ව පරම්පරාවේ ෂෙල්ටන් පයාගල මෙන්) මෙතෙක් තිරගතව ඇති මෝටර් බයිසිකල් මෙන්ම දැකල පුරුදු කෙනෙක් සහ බහුචිතවාදියා ප්‍රවිශ්ට වන්නේ වත්මන් තරුණ පරම්පරාවේ ජීවිතය (පතිරාජ, ධර්මසිරි, හඳගම ආදී වශයෙන් පෙර පරම්පරාවේ සිනමාකරුවන් මෙන්) නැවත කියවීමකට ලක් කිරීම පිණිසය. ජාතිවාදය, දේශප්‍රේමය මෙන්ම ආගමික අන්තවාදය ද කොට කොටා පොවන ස්ථාපිත මෙන්ම ගරිල්ලා සංස්ථාවන් ද බහුල සමයක ඒ සියල්ල මැදින් අතිශය ආත්මාර්ථකාමී පැවැත්මක් සඳහා පැටි වියේ පටන් නිවසේ සිට පාසල හරහා සරසවිය දක්වාම හැඩගස්වනු ලබන විකෘති අධ්‍යාපන ක්‍රමයක ද ගොදුරු බවට පත් තරුණ පරපුරකින් තම ජීවිතය තමනට දෙන ලද කණ්නාඩිය ඉවත හලා සැබෑ ලෙස ඒ දෙස බලන්නට පෙළඹෙන කිර්මාණකරුවන් සීමිත පිරිසක් හෝ ඉදිරියට ඒම බලාපොරොත්තු දනවන සංසිද්ධියකි.



නිර්මාණාත්මක පාර්ශවයෙන් ඔවුන්ගේ ව්‍යායාමයෙහි ඇති ප්‍රබලතා මෙන්ම දුර්වලතා ද විචාරයට ලක්කල යුතුය යන්න අවිවාදිත වන අතරම කිසිදු පහසුකමක් නොමැති පරිසරයක සිනමා නිර්මාණයකට අතගැසීම දිවිනසා ගැනීමක් වන් සමයක ඒ අභියෝගය භාර ගැනීම ගැන අප මේ තරුණ සිනමාකරුවන් ඇගයුමට ලක් කල යුතුය. විශේෂයෙන්ම පසුගිය වකවානුවේ චින්තන අච්චුවේ සිනමාපට නිර්මාණය කරමින් ගලා යන කාසි නදියෙන් දෝතක් නොව මලු පුරවා ගැනීමට පවා අවස්ථාව තිබියදී, ඇතැම් විදග්ධ යයි කියනා කලාකරුවන් අමු නිරුවතින් එහි බැස පිහිනද්දී මේ සීමිත තරුණ සිනමාකරුවන් ඒ අභියෝගයට මුහුණ දුන් ආකාරය ප්‍රශස්තය. මෝටර් බයිසිිකල්, දැකල පුරුදු කෙනෙක් මෙන්ම බහුචිතවාදියා යන සිනමාපට ත්‍රිත්වයෙහිම තේමාව පොදුය. සමකාලීන තරුණ පරපුරේ ජීවිතයේ කැඩි කැඩී ගලා යන රිද්මය මේ සිනමාකරුවෝ තිදෙනාම ග්‍රහණය කරගනිති. දැකල පුරුදු කෙනෙක් සිනමා පටය මධ්‍යම පංතික යුවලක ගේ ජීවිතය හරහා මේ තේමාව අල්ලා ගනිද්දී මෝටර් බයිසිකල් මෙන්ම බහුචිතවාදියා ස්පර්ශ කරනුයේ ඒ පංතියට නැගීමට අසාර්ථක උත්සාහයක යෙදෙන, පා ඇඟිලි තුඩින් ඉස්සී ඉහලට එසවෙන මොහොතේම ලිස්සා යළි පතුලට වැටෙන පීඩිත තරුණ පරපුරේ ජීවිතයයි.

මෙහිදී මාලක දේවප්‍රිය, මෝටර් බයිසිකල් සිනමා පටයට වඩා දේශපාලනික ලෙස වත්මන් තරුණ පරපුරේ අර්බුදය ග්‍රහණය කරගනියි. දේශපාලන වේදිකා තුළ පින්කෙතක් ලෙස දැක්වෙන කොදෙව්වක කවර උපක්‍රමයක් හෝ භාවිතා කර මුහුදින් එතෙරට නොව කෙසේ හෝ යුරෝපීය රටකට පැන ගැනීමට සිහින මවනා තාරුණ්‍යය මාලක සිනමාවට නගන්නේ දැකල පුරුදු කෙනෙක් හි මලිත් දක්වන පරිණතබවම විදහමිනි. කෙතරම් පින්කෙතක් වුවද තවමත් මෙහි සිට දියුණුයයි සම්මමත රටවලට මිස ඒ කිසිම රටක සිට මේ කරා සරණාගතයන් රැගත් වල්ලම් නොඑන වර්තමානයක මාලක බිඳ වැටුන ක්‍රමයක විවෘත ගොදුරක්ව උපතේ සිටම සිහින පසුපස ලුහුබඳින ඉරණම කර පටවා ගත් තරුණ ජීවිත කිහිපයක් හරහා සමාජය කියවීමට රූපරාමු අමුණයි. ආගම, නක්ෂත්‍රය, ඇතුළු සියළු අගතීන්හී ගිලුණ ජීවිත, මිත්‍රත්වය පවා නොතකන ස්වාර්ථකාමී තාරුණ්‍යයක චලිතය, හුදු ගණුදෙනුවක් බවට පත් ආදරය යයි කියනා විකාර සහගත සබඳතාවන්, වාමාංශික කඳවුරෙහි වත්මන් රූපාන්තරණය, නූතන තාක්ෂණ මෙවලම් තුළ හරසුන්ව යන මානව බැඳීම් මේ විවිධ තේමාවන් මාලක ඉතා කෙටි දෙබස් ඛණ්ඩයන් හා රූප රාමු මගින් දක්ෂ ලෙස සිනමා පටයකට සංස්කරණය කරයි.

තමන්ගේ අර්බුදය හමුවෙහි තම සමීපතම මිත්‍රයාගේ බිරිඳ වෙත පවා යොමුවන්නට තැත් දරන තරුණයා මෙන්ම අකාලයේ වියපත්වන ඔහුගේ අවිවාහක සොහොයුරිය සමග සඳතාවක් අරඹන අනෙකාද, තරුණයාගේ ප්‍රේමයෙහි වංක බවට එරෙහිව ඉතා දැඩි ලෙස ප්‍රතිචාර දන්වන ඔහුගේ පෙම්වතිය තරුණයාගේම පෙර ස්වාමියා සමග වහා අරඹන අනුරාගී සබඳතාව යන මේ සියල්ලම තුළ ඇත්තේ ෆේස් බුක් පිටු හරහා සරමින් විදෙස්ගත තරුණියකගේ ගැලවුම්කරුවා වී කරදිය වලල්ලෙන් පිට පැනීමට සිහින මවනා තරුණයාගේම කාබන් කොපි මිස අන් කවරක්ද?

මාලක තම සිනමා පටය තුළින් පරිභෝජනවාදී සමාජයක විකාරයක් බවට පත්වන මිනිස් සබඳතා එකිනෙක මුණගස්වන්නේ වැරදිකරුවන් නිවැරදිකරුවන් සෙවීමට ඉතා උනන්දුසහගත සමාජයක් අන්දමන්ද කරවන අයුරිනි. ඔහුගේ සිනමාපටය තුළ චූදිතයන් සහ අහිංසකයන් වෙනුවට අපට හමුවන්නේ අපේම සමකාලීන ජීවිතයෙහි දෝංකාරයන්ය. වත්මන් තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ නරඹන විට පතිරාජගේ අහස් ගව්ව, ධර්මසිරිගේ හංසවිලක්හි සිට හඳගම, ප්‍රසන්න හරහා කාලය බොහෝ ගෙවී ඇත ද ප්‍රකාශමාන වන ස්වරූපය වෙනස් වුව ද ජීවිතය යන්න පවත්නා දේශපාලන කොන්දේසි තුළ තවමත් නොවෙනස් ඛේදයක්මය යන්න අපට යළි සිහිපත් කෙරෙයි.

බහුචිතවාදියා නැරඹූ පසුව මගේ සිතට තවත් සිනමා පටයක් පිවිසුණි. එය ඇල්බේනියානු සිනමා පටයකි. එය නම් කර ඇත්තේ ඇල්බේනියානුවා නමිනි. ඉතා දැඩි ලෙස පාරම්පරික සම්ප්‍රදායන් ගරු කරන (මේ සම්ප්‍රදායන්හී පවත්නා අනම්‍ය ස්වරූපය ගැන මවිසින් පරිවර්තිත 'බිඳවැටුන වසන්තය' නම් කෘතියෙහි අපූර්ව ආකාරයෙන් නිරූපිතය.) ඇල්බේනියාවේ කඳුකර කලාපයෙහි තරුණ යුවලක් ඇසුරින් නිර්මාණය කරන ලද එම සිනමා පටය සහ මාලක ගේ සිනමා පටයෙහි තේමාව සමාන වන තැනක් තිබේ. ඇල්බේනියානුවා සිනමා පටයෙහි ද කතානායකයා සියළුම ආකාරයෙන් යත්න දරනුයේ ජර්මනියට පැන ගැනීමටය. ඔහු ද අප රටේ පරිදිම විවිධ තැරුව්කරුවන් හරහා සිය ප්‍රයත්නය සාර්ථක කර ගැනීම තැත් දරා ජර්මනියට පැන ගැනීමට සමත් වෙයි. අවසන ඔහු මුදල් ද සමගින් ආපසු සිය රටට එන්නේ මිනීමැරුමක් ද සිදු කරමිනි. එහෙත් මාලක ගේ සිනමා පටයෙහි එන තරුණයාට මුළුමනින්ම වෙනස්ව ඇල්බේනියානු තරුණයා ජර්මනියට යන්නේ සම්ප්‍රදාය අනුව තමා ගේ පෙම්වතිය විවාහ කර ගැනීමට ඇගේ පියා විසින් ඉල්ලන අධික මුදල සපයා ගැනීමටය. ඔහුගේ මුළු ව්‍යායාමයම සිය ප්‍රේමවන්තිය දිනා ගැනීම උදෙසාවන අදිටන් සහගත ප්‍රයාණයකි. නමුදු ඒ ඇල්බේනියානුවාට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ලෙස ඉතා ප්‍රබල ඉතිහාසයක් මෙන්ම සම්ප්‍රදායන්ද ඇතැයි උදම් අනන අප රටෙහි 'නූතන' සමාජයෙහි අපට හමුවන්නේ ඇල්බේනියානුවා බඳු අය නොව මාලකගේ සිනමා පටයෙහි එන චරිතය. එය සියළු වටිනාකම් සිඳගත් සමාජයකට එළඹිය හැකි තාර්කික ගොහොරුවයි.

ඉදින් සිනමා පටයක් නිර්මාණයේ සිට එය ප්‍රදර්ශණය දක්වා කරන්නට සිදුවන අරගලය ද තවත් තිරකතාවන් සිය ගණනකට පදනම සපයන රටක මේ සිනමාකරුවන්ගේ නිර්මාණ අවධානයකින් තොරවම වැලලී යතොත් එය ඔවුන්ගේ මෙන්ම අපේද ඛේදවාචකය නොවන්නේද?

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bahuchithavadiya (The Undecided) (2017) by Malaka Dewapriya, Sinhala Cinema, Sri Lankan Films, Motor Bicycle by Shameera Rangana Naotunna, Dekala Purudu Kenek by Malith Hegoda, Asoka Handagama, Dharmasena Pathiraja, Dharmasiri Bandaranayake, Prasanna Vithanage
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චූලානන්ද සමරනායකගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සන්ධ්‍යාට...
කරන්ට්ස්
සිංහ - ලේ
කරන්ට්ස්
නැළවිලි ගී
කරන්ට්ස්
නූතන පට්ට ගාමිණී වස්තුව
කරන්ට්ස්
නීතිය භාවිතාව සහ අපි
තවත් Cine බූන්දි
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook