Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
පශ්චාත් යටත් විජිත බූෂුවා පන්තිය පිළිබඳ සවාසනා නවකතාවේ එළඹුම
බූන්දි, 22:50:18
පශ්චාත් යටත් ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය පිළිබඳ ගුණදාස අමරසේකර මහා නවකතාවක් ලියමින් සිටියි. එහිදී අමරසේකර මෙම මධ්‍යම පාන්තිකයාගේ විඥානය සකස් කරන අඩවිය ලෙස හඳුනා ගන්නේ සමාජ සංවාදය නමින් ඔහු හඳුන්වන ක්ෂේත්‍රයයි. එනම් දෘෂ්ටිවාදී හා සංස්කෘතික තලයයි. සමාජ සංවාදය යන සංකල්පය ඔහු නිපදවා ගන්නේ ඔහු සහ ඔහුගේ ගෝලයන් විසින් තම මතවාදී සතුරා ලෙස සලකනු ලබන මාක්ස්ගේ උපරි ව්‍යුහය සංකල්පය ඇසුරිනි.

කොතරම් විකෘත කරනු ලැබුවද මතු මහල සංකල්පය මාක්ස්ට ඛෙහෙවින් ණය ගැති සංකල්පයකි. නවකතාව නම් ශානරය පිළිබඳ අනෙක් න්‍යායික අදහස්වලදී අමරසේකර ණය ගැති වන තවත් මාක්ස්වාදියෙක් වෙයි. ඒ ජෝර්ජ් ලුකාශ්ය. මේ අතින් අමරසේකරගේ ජාතිකත්වය නම් දෘෂ්ටිවාදය පිහිටුවා ඇත්තේ මාක්ස්වාදයෙන් ණයට ගෙන විකෘත කරන ලද අදහස් කීපයක් මතය. ඒ විකෘත කරන ලද අදහස්වලට අනගාරික ධර්මපාලගෙන් ජාතිවාදයද එක් කරන ලද පසු අමරසේකරගේ ජාතික චින්තනය පැන නගී. ඒ නිසා ඒ ජාතික චින්තනය බෞද්ධයන්ට බුදු දහමේ එන ප්‍රජාතන්ත්‍ර විභවයන් ගවේෂණයට ඉඩ නොසලසයි. ශ්‍රී ලාංකිකයන්ට අන්තර්-සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් ගොඩ නගා ගන්නට ඉඩ නොසලසයි. පෘතුවියටද එහි වසන මිනිසාටද අනෙක් සතා සිව්පාවන්ටද හිංසාකාරී නොවන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කරගන්නට ඉඩ නොසලසයි. අමරසේකරගේ ජාතික චින්තනයේ මේවා ගැන හාංකවිසියක්වවත් ඇත්තේද නැත. බෞද්ධ සංවර්ධන ආකෘතියක් තායිලන්තයේ සුලාක් සිවරක්ස වර්ධනය කරන කතිකාව වැනි බෞද්ධ වුවත් ජාතිවාදී නොවන කතිකාවලින් ආභාසය ලබන්නට අමරසේකරකටත් වුවමනාවක් නැත. සුලාක් සිවරක්ස ජාත්‍යන්තරවාදී බටහිර විරෝධියෙකි. පරිභෝජනවාදයේ විවේචකයෙකි. අපේ ජාතිකවාදය නිර්මාණය කර ඇත්තේ මාලිගා භික්ෂූන් පමණි.

මේ වියවුල තේරුම් ගැනීම සඳහා මාක්ස්ගෙන් අමරසේකර ණයට ගන්නා සංකල්පවලට වඩා වෙනස් සංකල්පයක් භාවිත කරමින් ලංකාව තේරුම් ගන්නට තැත් කරන ලේඛකයෙක් සිටී. ඔහු තිලක් ජයරත්නය. අමරසේකර මතු මහලේ එනම් උපරි ව්‍යුහයේ සොයන දෑ ජයරත්න පදනමේ හෙවත් අධෝ ව්‍යූහයේ සොයයි. සිය ටෙලිනාට්‍යවලින්ද මේ ප්‍රවේශය ගත් ජයරත්න සිය ප්‍රථම නවකතාව ලියා තිබේ. එහි නම සවාසනා වෙයි. මෙම නවකතාව අමරසේකරගේ මධ්‍යම පන්ති නවකතා මාලාව සමග සංවාදයකට යොමු කිරීම අපේ විශිෂ්ටතම ලේඛකයෙකු වන අමරසේකරට කරන ගෞරවයක්ද වෙයි.

අමරසේකරගේ නවකතා මාලාව පශ්චාත් යටත් විජිත ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය සංස්කෘතික හා මතවාදී තලයේ ස්ථානගත කරන අතර ඔහු අපේක්ෂා කරන පරමාදර්ශි මධ්‍යම පාන්තිකයා යනු අමරසේකරගේ ජාතික චින්තනය අදහන මිනිසෙකි; ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ රටක් යැයි අදහන මිනිසෙකි; ජාතිකත්වය යැයි කියන දේ ඉවෙන් මෙන් දන්නා මිනිසෙකි. ඔහුගේ කතා මාලාවෙන් ඇඟවෙන මේ මිනිසා අමරසේකරගේ හිතලූවක් හා යුතෝපියානු අදහසකි. ඒ බව හොඳින් පෙනෙන්නේ ඔහුගේ චින්තනයේ නියම දරුවන් වන හෙළ උරුම භික්ෂූන්ගේත්(හා එහි ගිහියන්ගේ) අමරසේකර විසින් ප්‍රාඥයන් යැයි හැඳින්වෙන රජවාසල කවටයන්ගේත් චර්යාවන් හා ජීවන විලාසිතාවන් දකින විටය. මේ දේශප්‍රේමීන්ට වඩා සරල අල්පේච්ඡ ජීවිත ගෙවන අය මා නම් දකින්නේ මාක්ස්වාදීන් අතරය. සරල හා පුංචි විකල්ප බෞද්ධ සංවර්ධනයක් ගැන කියමින් දේශපාලනය ඇරඹූ චම්පික රණවකලාට වඩා සරල ජීවිත ගෙවමින් මහජනයා අතර ගැවසෙන්නේ වික්‍රමබාහු කරුණාරත්නලාය.

මේ නිසා ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය පිළිබඳ කාරණය සංස්කෘතික තලයේ හෙවත් මතු මහලේ පමණක් හොයන අමරසේකරට අත්වන්නේ අපේක්ෂාභංගය පමණි. මතුමහලේ කවර මතවාද හා දරන බව පෙන්නුවද බිම්මහලේදී දේශප්‍රේමී ජාතික චින්තක සිංහල බෞද්ධයා යනු පරිභෝජන ධනවාදය ගැන කිසිම විචාරයක් නැති සීමාන්තික පරිභෝජකයෙකි. ඇතැම් බටහිර පරිසරවාදීන්ගේ අහලක වත් තැබිය නොහැකි කාමසුඛල්ලිකානුයෝගියෙකි. ජාතික චින්තකයන් අතර යටකී සරල අල්පේච්ඡතා මා නම් දැක ඇත්තේ මහාචාර්ය නලින්ද සිල්වා වෙත පමණි. (ඔහුගේ සිංහලත්වය සිංහලයන්ට ගෙනෙන සෙතක් නැත)

අමරසේකර පශ්චාත් යටත් විජිත ලංකාවේ බිහි විය යුතු නියම මධ්‍යම පන්තිය ජාතිකත්වය තුළ පරිකල්පනය කළද ඇතැම් නවකතාකරුවෝ එය වෙනස් ආකාරවලින් දකිති. ලාංකිකයෙකු විසින් ලියන ලද මා ප්‍රිය කරන නවකතාවක් වන ඒ. සිවානන්දන්ගේ වෙන් මෙමරි ඩයිස් නවකතාව පශ්චාත් යටත් විජිත ලංකාවට නිසි මධ්‍යම පන්තිය නිර්මාණය කිරීමේ විභවතාව ඇති අඩවිය ලෙස දකින්නේ වමේ ව්‍යාපාරයයි. ඒ තුළ වූ අන්තර්-සංස්කෘතිකවාදයයි. එහෙත් සිංහල හා දෙමළ ජනප්‍රජාවන් දෙකම ජාතිකවාදය වෙතටත් එහිම රෞද්‍ර දේශපාලන ප්‍රකාශනය වන ජාතිවාදය වෙතටත් ඇද වැටෙද්දී අර නිසි මධ්‍යම පාන්තිකයා හෝ පුරවැසියා නිර්මාණය කිරීමට වමේ ව්‍යාපාරයට තිබූ හැකියාව බිඳ වැටේ. එරික් ඉලයප්ආරච්චි විතණ්ඩ සමය වැනි නවකතාවලින් ඉඟි කළ ලෙස මේ ඛාදනයට වමේ ව්‍යාපාරයේම තීරණද බලපායි. සම්භාව්‍ය මාක්ස්වාදයේ වූ අධි-යුරෝකේන්ද්‍රියතාවද මීට එක් හේතුවකි.

සවාසනාවේ අලූත් එළඹුම

තිලක් ජයරත්නගේ සවාසනා නවකතාව අමරසේකර වැනි නවකතාකරුවන් මතු මහලේ සොයන දේ බිම්මහලේ සොයයි. පශ්චාත් යටත් ලංකාවේ ධනහිමි හා මධ්‍යම පන්තිය හෙවක් බූෂුවා පන්තියේ විකාශනය ජයරත්න විසින් දකින්නේ මතවාදී අවකාශයේ නොව ප්‍රාග්ධනයේ අවකාශයේය. මේ වූකලි ඔහු විසින් කඩුල්ල වැනි ටෙලි නාට්‍යවලදීද කළ ගවේෂණයකි. මෙම ගවේෂණය කළ හැකි එකම මාධ්‍ය නවකතාව නොවේ. කුමාරි ජයවර්ධනගේ සොක්කන් ලොක්කන් වූ හැටි නම් ඓතිහාසික අධ්‍යයනයද ජාතියේ පියවරුන්, ජාතියේ මහා දේශප්‍රේමීන් යනුවෙන් පසු කලෙක හැඳින්වෙන චරිතවල විකාශනය පෙන්වා දෙයි. මොවුන් බොහෝ දෙනෙකු ප්‍රාග්ධනයේ පදයට නැටූ ගතානුගතික චින්තනයෙන් යුතු පිරිසක් බව ආචාර්ය ජයවර්ධනගේ පොතෙන් පෙනෙයි. මෙවන් අධ්‍යයන අතර නවකතාව නම් මාධ්‍යය මේ තේමාවම හසු කර ගත යුත්තේ කෙසේද? මෙවන් තේමා ගවේෂණයේදී නවකතාවද ආවේණික සුවිශේෂතා මොනවාද? යනාදී ප්‍රශ්න සවාසනා නවකතාව ඇසුරින් සලකා බලන්නට පුලූවන.

ස්ත්‍රිය සහ ප්‍රාග්ධනය

සවාසනා නවකතාවේ කේන්ද්‍රීය චරිතය ලෙස හැඳින්විය හැකි සීට්ටු හාමිනේ ඇගේ නමින්ම හැඳින්වෙන පරිදි ප්‍රාග්ධනයේ නියෝජිතවරියකි. සීට්ටු එකතු කිරීමෙන් ප්‍රාග්ධන රාශිකරණය අරඹන ඇය පසු කලෙක එනම් විසි වැනි සියවසේ මැද භාගයේදී සීමා සහිත සමාගමක් අරඹයි. ප්‍රාග්ධනය එහි සංකේන්ද්‍රණයේදී හා චලනයේදී ජාති, ආගම් ආදී සංස්කෘතික අනන්‍යතා නොසලකයි. ප්‍රාග්ධනය ලෝකය පුරා ගමන් කරමින් තව තවත් ප්‍රාග්ධනය නිපදවන්නේ ඒ නිසාය. සීට්ටු හාමිනේද ප්‍රාග්ධනය සේම විවිධ ජාතික සංස්කෘතික අනන්‍යතා වෙත සුඛනම්‍ය ආකල්පයක් දරයි. ඒ නිසා දෙමළ මුස්ලිම් ප්‍රාග්ධන හිමියන් සමග ඇය සම්බන්ධතා පවත්වන්නේ ඉතා සුඛනම්‍ය ලෙසය. සීට්ටු නෝනා අරඹන සීමා සහිත සමාගම පශ්චාත් යටත් විජිත ලංකාවේ මුල් යුගයේ සිදු වන එක්තරා දේශජ ධනවාදී විකාශනයක් හෙවත් ප්‍රාග්ධන රාශි කරණයක් සංකේතවත් කරයි. මේ ප්‍රාග්ධනයේ අවකාශය තුළ ජාතික හෝ සංස්කෘතික අනන්‍යතා ද්වීතියික කාරණා වෙයි. ජයරත්න නිවැරිදිව නිරූපණය කරන පරිදිම ලංකාවේ වමේ ව්‍යාපාරය සේම ප්‍රාග්ධන හිමියන්ගේ ලෝකයද අන්තර්-සංස්කෘතික අවකාශයක් විය. මෙකල සිංහල ජාතිවාදීන් දෙසන ''කිරිබත්ගොඩ න්‍යාය'' හෙවත් දෙමළ-මුස්ලිම් ජාතිකයන් ප්‍රාග්ධනයේ අවකාශයෙන් පළවා හැරීම සීට්ටු නෝනලාගේ ලෝකයේදී සිදු නොවේ. මේ මතු වීගෙන එන සුළු ධනපති පන්තිය කලූ සුද්දන් යැයි හැඳින්විය හැකි බටහිර අනුකාරකයන් යැයි හදිසි නම් පට බැඳීමකට ලක් කළ හැකි පිරිසක් නොවෙති.

සීට්ටු නෝනා යනු සීතා විඡේරත්න නම් ගැමි සිංහල බෞද්ධ කාන්තාවකි. එහෙත් වර්තමන නාගරික සිංහල බෞද්ධයන් සේ භාවනා කරන සිල් ගන්න බෞද්ධකම අලංකාරෙට පළඳින හෝ තමන්ගේ බෞද්ධකම් අනුන්ගේ ඇස් බෝලවල අන්නන කාන්තාවක නොව අදත් ග්‍රාමීය ප්‍රදේශවල හමු වන අව්‍යාජ ගැමි බෞද්ධ කාන්තාවකි. තමන්ගේ බෞද්ධකම ඉතා තුනියට තමා වෙත තබා ගන්නා කාන්තාවකි. ඒ නිසා ඇය තම සැමියා හා යහලුවන් සතෙකු වෙඩි තබාගෙන එනතෙක් තුනපහ අඹරාගෙන අවදිව සිටීම, පිරිමින්ට දඩමස උයාදීම හා ඉන් කෑල්ලක් රස බැලීම අබෞද්ධකමක් සේ නොසලකයි. මේ නම් තාමත් මා අපේ ගමේ දකින බෞද්ධ කාන්තාවයි. ආගමික හෝ ජාතික අනන්‍යතාව තද පාටින් සිරුරේ නොපළඳින මෙවැන්නෝ ක්‍රමයෙන් ලංකාවෙන් අතුරුදහන් වෙමින් සිටිති.

සීට්ටු හාමිනේගේ අනන්‍යතාමය ගලනසුළුබව හා සුඛනම්‍යබව පෙනෙන තවත් තැනක් නම් ඇගේ ලිංගිකත්වයයි. විවාහ වී දරුවෙකුද සිටින මවක වන සීට්ටු හාමිනේ ඉව්ජින් නම් මෙහෙකාර තරුණිය වෙත සමලිංගික ආකර්ෂණයක් දක්වයි. එය මෙරට ජනප්‍රිය ජාතිකවාදීන් විසින් ''විජාතික'' ''බටහිර'' යනාදී විශේෂණවලින් හඳුන්වනු ලබන්නට ඉඩ නැති වර්ගයේ (දේශජ!) සමලිංගිකත්වයකි. මෙම සමලිංගික ආකර්ෂණය සීට්ටු හාමිනේගේ චරිතය සංකීර්ණ ලෙස නිරූපණය කිරීමට යොදා ගැනෙයි. ප්‍රාග්ධනය සේම මනුෂ්‍ය ලිංගිකත්වයද නොයෙක් ආකාරයේ අනන්‍යතා නොසලකයි. මනුෂ්‍ය ලිංගිකත්වයේ ගතිකවත් බව චලනය රිද්මය ප්‍රාග්ධනයේ ගතිකවත් බවට, චලනයට, රිද්මයට සමානය. මේ නිසා සීට්ටු නෝනාගේ ලිංගික සුඛනම්‍යතාවද ප්‍රාග්ධනයේ සුඛනම්‍යතාවම සංකේතවත් කරයි.

ජාතිකවාදයේ මතුවීම

පශ්චාත් යටත් විජිත ලංකාවේ මෙම දේශජ ප්‍රාග්ධන හිමියන්ගේ එකමුතුවට හා අන්තර්-සංස්කෘතිකවත් බවට වැඩි කල් අල්ලා සිටින්නට නොලැබේ. ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජනයෙන් මුලූමනින්ම පාහේ සිදුවන්නේ ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රයන්හි කෙරෙන නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය සැපයීමයි. එනම් තේ රබර් වැනි වතු වගා ආශ්‍රයෙන් ඇරඹෙන මේ සීමා සහිත සමාගම් සහල් නිෂ්පාදනය වැනි අතිරේක ශාඛාවක් කරා පැතිරුණද ඔවුන්ගේ ප්‍රාග්ධනයේ ශක්‍යතා ගෝලීය ප්‍රාග්ධනයේ චලිතයන් මත රඳා පවතී. මේ නිසා ගෝලීය වෙළඳ පොළේ සිදු වන යම් යම් දෑ නිසාද විසි වෙනි සියවසේ මැදදී ඇති වී විවිධාකාර ජාතිකවාදී ආර්ථීක ප්‍රතිපත්ති නිසාද සීට්ටු නෝනලාගේ සීමා සහිත සමාගම බිඳ වැටෙයි. ඒ සීමා සහිත සමාගම ළිහී යන්නේ විවිධකාර ජාතිවාදයන්ද මතු කරමිනි.

ප්‍රාග්ධනය ස්වයං-වර්ධනය සිදු කරන්නේ අතිරේක ප්‍රාග්ධනය නිර්මාණය කරමිනි. එනම් ලාභ උපයමිනි. එය ඉතා ආත්මාර්ථකාමී ක්‍රියාවලියකි. නමුත් සීට්ටු හාමිනේලාගේ සීමා සහිත සමාගම සේවක පඩිනඩි හා අයිතිවාසිකම් පිළිබඳ රාජ්‍ය මැදිහත්වීම්වලටද ගරු කරයි. වමේ ව්‍යාපාරය කෙරෙහිද නොසතුරු ආකල්පයක් දරන සීට්ටු හාමිනේ ස්වභාවයෙන්ම පරිත්‍යාගශීලී කාන්තාවකද වෙයි. තමන් යටතේ වැඩ කරන සේවකයන් හොඳින රැක බලා ගැනීමේ ගුණය අතින් ඇය විශිෂ්ට බෞද්ධකමක් ප්‍රදර්ශනය කරයි. ඇය බුදු දහම විසින් උගන්වන හොඳ නරක පිළිබඳ අදහස් අන්තර්ග්‍රහණය කර ගත් ප්‍රාග්ධන හිමිකාරියක බව පෙනෙයි. මෙයද වර්තමාන හෙළ උරුම බෞද්ධයන් තුළ නැති බෞද්ධකමකි. එහෙත් මෙම විනයවත් ප්‍රාග්ධන රාශිකරණය බිඳ වැටෙයි. කිසිම ප්‍රාග්ධන රාශිකරණයකට තනිව පැවතිය නොහැකිය; එය අවසාන වශයෙන් ගෝලීය ප්‍රාග්ධනය සමග අන්තර්-පැවැත්මක යෙදිය යුතුය. මෙම අන්තර්-පැවැත්ම කළමනාකරණය කරගන්නට නොහැකි වීම හෙවත් ගෝලීය ප්‍රාග්ධනයේ ගතිකයන්ට දේශීය ප්‍රාග්ධනය යට වී යාම නිසා සීට්ටු හාමිනේලාගේ සමාගමද ඒ වෙත වූ අන්තර්-සංස්කෘතික සහජීවනයද බිඳ වැටෙයි. නවකතාවෙන් ඇඟවෙන ලෙස අප වර්තමානයේ දකින සියලු ජාතිකවාදයන් උපදින්නේ මේ ප්‍රාග්ධනය පිළිබඳ ගැටලුව නිසයි. ගුණදාස අමරසේකරගේ චින්තනයත්, ඔහුගේ ගෝලබාලයන්ගේ චින්තනයත්, ඔහුගේ නවකතා මාලාවෙන් අපේක්ෂා කරන චින්තනයත් අර ප්‍රාග්ධනය පිළිබඳ ගැටලුවටම සම්බන්ධය. ඒ නිසා සවාසනා යනු මෙකල ලංකාවේ පවත්නා අධිපති කතිකාවක් වන ජාතිකත්වයේ කතිකාවට එරෙහිව කියවිය හැකි නවකතාවකි. නවකතාමය පරිසමාප්තිය අත්පත් කර ගත් නවකතාවකියි නොපැකිල කිව නොහැකි වුවත් අර්ථවත් නවකතාවකි. (පරිසමාප්ත නවකතා කීයක් නම් මෙලොව වේද)

නවකතාමය සුවිශේෂතා

සවාසනා නවකතාව මෙකී ඓතිහාසික සංසිද්ධිය හා ගනුදෙනු කරන්නේ ඉතිහාස රචකයෙකු ලෙස නොවේ. තිලක් ජයරත්න ඛෙහෙවින්ම ඓතිහාසික වස්තු විෂයක් සමග නූතන ප්‍රබන්ධ රචකයෙකු ලෙස ගනුදෙනු කරයි. ''නූතන ප්‍රබන්ධ රචකයෙකු ලෙස'' ඉතිහාසය සමග ගනුදෙනු කිරීම යනු විසි එක් වෙනි සියවස වන විට නවකතා අත්පත් කරගෙන ඇති ශානරීය සුවිශේෂතාද සමග ඉතිහාසය සමග ගනුදෙනු කිරීමයි. ඓතිහාසික සත්‍යයන් සමග ප්‍රබන්ධ කතාවේ සුවිශේෂතා පරිත්‍යාග නොකර ගනුදෙනු කරන සැටි ගැන නූතන නවකතාකරුවෝ බොහෝ අත්හදා බැලීම් කළහ. ඓතිහාසික කාරණා පිළිබඳ නවකතා ලිවීමේදී දැනුවත් හා බුද්ධිමත් නවකතාකරුවන් කළ ප්‍රධාන දෙයක් නම් ඓතිහාසිකවාදයෙන් ඈත්වීමට තැත් කිරීමයි. ඓතිහාසිකවාදය හෙවත් හිස්ටොරිසිස්ම්(historicism) යන්නෙහි එක් ලක්ෂණයක් නම් මිනිස් සමාජයේ ඓතිහාසික සංසිද්ධීන් පිළිබඳ තාර්කික හේතුපල සම්බන්ධයෙන් යුතු වාස්තවික වාර්තා ලිවිය හැකිය යන්නයි.

එසේම මිනිස් ඉතිහාසය එක් අවවර්ධිත තැනකින් ඇරඹී නිශ්චිත වර්ධිත තැනක් දක්වා ගමන් කරන්නේය යන්න ඓතිහාසිකවාදයේ විස්වාසයකි. නිදර්ශනයක් ලෙස සමාජය වහල් යුගයේ සිට ධනේශ්වර යුගය දක්වා ගමන් කරන්නේය යන ඉරණම්වාදී විස්වාසය නිසා ඉතිහාසය කලින්ම එක්තරා තාර්කික රාමුවකට දමනු ලැබේ. මේ නිසා පූර්ව නූතන හා නූතන වශයෙන් සමාජ ඓතිහාසික ඛණ්ඩකරණයන්ටද ලක් කෙරේ. පූර්ව නූතන යැයි සැලකෙන යුගය ''අතාර්කිකත්වයේ'', ''මිත්‍යාදෘෂ්ටියේ'', ''ආගමික විස්වාසයේ'' යුගය ලෙස සලකනු ලැබේ. මේ නිසා සිදු වන්නේ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු යුරෝපය ''වර්ධිත'' යැයිද එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි ආසියාව ''අවවර්ධිත'' යැයිද හඳුනා ගැනීමයි. මෙය යටත් විජිතවාදය සාධාරණීකරණය කිරීමට යුරෝපීන් විසින් යොදා ගැනුණු තර්කනයකි.

තිලක් ජයරත්න සවාසනා නවකතාවේදී ලංකාවේ සමාජ විකාශනය ප්‍රාග්ධන කේන්ද්‍රීය දෘෂ්ටියකින් විස්තර කළද ඔහු ඓතිහාසිකවාදයෙන් විචාරාත්මකව ඈත් වෙයි. ඒ නිසා ඔහුගේ නවකතාව තුළ ලංකාවේ ගැමියාගේ විඥාන විශ්වය නිරූපණය වන්නේ ''වාස්තවික විද්‍යාත්මක'' ඇසකින් නොවේ. සාමාන්‍ය ජනයාගේ අතාර්කික ඇදහිලි පවා නවකතාව තුළ නිරූපණය වන්නේ කතුවරයාගේ තාර්කික විවරණයෙන් යුතුව නොවේ. උදාහරණයක් ලෙස සීට්ටු හාමිනේ සමග අහසේ සිට කතා කරන තරු කුමරියන් නෝබට් නම් මන්ත්‍රී සමග සංවාදයේ යෙදෙන මහා පරාක්‍රමබාහු රජතුමා ආදී සිද්ධීන් නවකතාව තුළ භාවිත වන්නේ නවකතාවෙහි එන දේශජ ප්‍රාග්ධන හිමියාගේ විඥානයේ ස්වභාවය පෙනෙන පරිදිය. එහිදී නවකතාකරුවා යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිය ඉක්මවා පශ්චාත් යථාර්ථවාදී ලක්ෂණ කරා ගමන් කරයි.

තේමාත්මක මැදිහත්වීම

හොඳ නවකතාවක තේමාව මේ යැයි වැකියකට දෙකකට හැකිලීම නවකතාව නම් රචනා ක්‍රමයට කරන හිංසනයකි. හොඳ නවකතාව බොහෝ දේ බොහෝ ආකාරවලින් එකවර කියයි. නවකතාව විවිධ කතිකා වෙත ඇරයුම් කරන විවෘත පඨිත විධියක් නිසා කතුවරයා හෝ කතුවරිය සෘජුව අරමුණු නොකළ දේද නවකතා ඇසුරින් කියවන්නට පුලූවන. පශ්චාත්-ව්‍යුහවාදීන් කර්තෘ යන සංකල්පයට අභියෝග කළේ කර්තෘ මරා දැමීමට නොව පාඨකයන්ට පණදීමටය. විවිධ කියවීම් හෙවත් අර්ථ නිෂ්පාදනයන් වෙත පාඨකයා කිතිකැවීම උසිගැන්වීම විවෘත පඨිතයේ ලක්ෂණයයි. මේ ශක්‍යතාව වැඩියෙන්ම ඇත්තේ පශ්චාත් යථාර්ථවාදී සාහිත්‍යයේය. ගුණදාස අමරසේකර හා ඔහුගේ අදහස් පුනරුච්ඡාරණය කරන අනුකාරකයන්ගේ වාගාලාප කෙසේ වෙතත් පශ්චාත් යථාර්ථවාදී ප්‍රබන්ධ කතාව දෙසට සිංහල ලේඛකයන් ගමන් කරමින් සිටින බව අපේ දක්ෂතම සිංහල ලේඛකයන් වන අජිත් තිලකසේන, එරික් ඉලයප්ආරච්චි, සුනේත්‍රා රාජකරුණානායක, පියල් කාරියවසම්, නිශ්ශංක විඡේමාන්න වැනි අයගේ නිර්මාණවලින් පෙනේ.

දේශීය හා විදේශීය වෙළඳපොළ ගතිකයන් නිසා අසමත් වන දේශීය බූෂුවා පන්තියක කතාව සවාසනා නවකතාවේ කියවෙන්නේ විවිධ මානයන්ගෙන් එය කියවිය හැකි ආකාරයටය. ප්‍රාන්ස් ෆැනොන් 1963 දී සිය රෙචඩ් ඔෆ් ද අර්ත් කෘතියේදී ජාතික චින්තනයේ බොරුවලවල් නමින් සිංහලයට නැගිය හැකි පරිච්ඡේදයක් ලිව්වේය. ජාතිකවාදය විචාරාත්මකව ආරක්ෂා කරන එම කෘතියේදී පශ්චාත් යටත් ලෝකයට අනතුරු ඇඟවූයේ යටත් විජිතවාදය සේම සීමාන්තික ජාතිකවාදයද අලුත නිදහස් වූ රටවල අනාගතය විනාස කරන බවය. දේශීය ධනහිමි පන්තීන්ගේ ප්‍රාග්ධන ශක්තියේ සීමාද ඔවුන්ගේ ප්‍රාග්ධනය චලනය වන්නට සිදුවන්නේ යටත් විජිතවාදීන් එලා දුන් මාවතක පමණක් වීමත් නිසා දේශීය බූෂුවා පන්තිය ජාතිකවාදයට හා ජාතිවාදයට ඇද වැටීමට ඉඩ ඇති බව ෆැනොන් අනතුරු ඇඟවීය. මේ කතිකාව සිංහල නවකතා ක්ෂේත්‍රයේ මතු වූ අවස්ථා නැති තරම්ය. තරමක් හෝ එවැනි තේමා ගවේෂණය කළේ එරික් ඉලයප්ආරච්චි පමණි. තිලක් ජයරත්න සිය ප්‍රථම නවකතාව යටකී අන්දමේ තේමා ඔස්සේ අප ගැනම යළි සලකා බලන්නට ඉඩ සලසයි. මේ වූකලි තිලක් ජයරත්න සිය ටෙලි නාට්‍යවලින්ද එළඹුණු තේමාවකි. ව්‍යාකරණ වැරදි අල්ලා පඬියන් වන බුද්ධිමය වඳයන්ටද මේ නවකතා ගොදුරු බිමක් වන්නට පුලූවන!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sawasana, Thilak Jayarathna, Liyanage Amarakeerthi, Sinhala Novels, Sri Lankan Fictions
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Anonymous මෙහෙම කියනවා :
Excellent entry to reflect on the crisis facing Sinhala (Buddhist) society today.

We are rampant consumerists and capitalists who delude ourselves that we are ethical beings.

Jathika Chinthanaya will never be able to get us out of this hole because as Amrakeerthi argues convincingly it fails to critically look at the capitalist foundations of our society.

Middle class ethno-religious identity politics in Sri Lanka is a game (I call it a game because of its competitive nature)Christians/Tamils/Muslims have the best jobs, they control the economy, etc., so we have to drive them away and take control -- doesn't matter if its capitalist, exploitative, etc., as long as its Sinhala. I am simplifying here but this is the basic problem.

And it's this ethnocentricism that makes us think that our culture has the answer to everything and makes us resistant to anything perceived as western or alien.

[Posted by Anonymous to බූන්දි|BOONDI Blog at 11 April 2010 08:31]


කිවුව වෙලාව- 2010-04-19 21:31:20
Bandula J මෙහෙම කියනවා :
honda wicharayak.

කිවුව වෙලාව- 2010-04-15 21:31:12
Hashitha මෙහෙම කියනවා :
මම ඊයේ හවස 'සවාසනා' කියවීමට ගතිමි. තිලක් ඔහුගේ කඩුල්ල පිටපතට වඩා දුර්වල තැනකින් නවකතාව අරඹා ඇත. නමුත් රසිකයෙකු ලෙස සතුටු විය හැකි ලකුණු ගණනක් ඔහුගේ නවකතාවේ ඇත. එහි වස්තුව මම ආසා එකකි. ඔහු එම කතාව පල් නොකර විකාසනය කරයි. චරිත කැන්දයි, ඒවා වවයි. ඔහුට හසු වන ව්‍යාපාරික කතාව හා කුස්සියේ කත (සීට්ටු නෝනා)අතර මනා මානුෂික සම්බන්ධයක් ගොඩ නගයි. කුස්සියක් පැත්ත පලාතේ නොගිය නවකතාකරුවන් මෙන් නොව ඔහු සිය කතාවට පණ ගෙන එන්නේ එදිනෙදා ජීවිතයෙනි. මනුස්ස සම්ම්බන්ධතා චිත්‍රණය අපහසු වුවත් තිලක් එයට ප්‍රවිශ්ඨ වන අයුරු කියවා බැලීමට සුදුසුය.

ප්‍රාග්ධනය හා මධ්‍යම පංතිය අතර සහවාසය හා එයින් උපදින දරුවන් ගැන මීට වඩා 'අරමුණු' (objective) පෙරදැරිව කිසිවෙක් ලියා නැති නිසා තිලක් කරන්නේ පුරෝගාමී මෙහෙවරක් යැයි මට සිතේ. කියවා අවසන එරික් ගේ නවකතා අසලින් 'සවාසනා' තබමි. එරික් ගේ ව්‍යඤ්ජන ශක්තිය තිලක් ට හිමි වේවා යි පතමි.

@ අමරකීර්ති: ඔබට හමුවූ හය්ය ගඩොලෙහි දැන්වීමක් එල්ලා තැබීමට තරම් ශක්තිමත් ඇණයක් ගැසිය හැකිය. බොල් බිත්ති වල එබඳු තැන් ඇති බව මම අත්දැකීමෙන් දනිමි.


කිවුව වෙලාව- 2010-04-06 22:15:02
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
To Hashitha. You are right. If we want to support our literature we shouldn't wait until we come across the 'best books'. If we don't seriously engage with at least fairly good books like Sawasana, we will never have a critical discourse out of which good books can come.


කිවුව වෙලාව- 2010-04-06 15:33:32
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
To the anonymous reader and others.
Thank you all for keeping the dialogue going. I made that comment about "Buddhimaya Wandayan" exactly because there are some pundits who seem to think that the primary task of a novel is to get its language "grammatically correct." Moreover, they also think that there is one single language for every novel. The language of a novel changes according to its narrator, theme, subject matter, and the mode of realism. I am working a sinhala essay on this problem. Thanks people for reading the essay.


කිවුව වෙලාව- 2010-04-06 15:23:02
A. Amarasekara මෙහෙම කියනවා :
to the anno who said....:
"good analysis. But...last sentence.... kirikalayata goma binduwak demma wagei."

this comment is ridiculous. I suppose that dr amarakeerthi has a right to express his own views on language. a language is not a private property of anyone. as I could understand the writer has a debate with prof gamlath who tried to blame on atawaka puththu and writer can comment on gamlath in any of his texts. even gamlath does that. one shouldnt refrain from expressing his views or blame his ideological opponent. that s the force that drives the discourse forward.


කිවුව වෙලාව- 2010-04-05 22:01:13
Haris Wije මෙහෙම කියනවා :
where can we buy mr. jayaratna's book?

කිවුව වෙලාව- 2010-04-05 21:51:48
Anonymous මෙහෙම කියනවා :
good analysis.
But...last sentence.... kirikalayata goma binduwak demma wagei.

[@Boondi Blog]


කිවුව වෙලාව- 2010-04-04 22:02:49
Hashitha මෙහෙම කියනවා :
අමරකීර්ති ඇණයක් ගසයි. එය හරි තැනට වැදී ඇතැයි මට සිතේ. බිත්තිය බොල් වීම අමරකීර්තිගේ වරදක් නොවේ.

කිවුව වෙලාව- 2010-04-03 19:44:42
dennis මෙහෙම කියනවා :
amarakeerthi ayya liweema gana class karannadda? kawuru hari dannawanam kiyanna. denisism78@yahoo.com

කිවුව වෙලාව- 2010-04-02 07:59:56
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලියනගේ අමරකීර්තිගෙන් තවත් වියමන්
වෙසෙස්
ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ
වෙසෙස්
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
වෙසෙස්
විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
පොත්
රන්කරඬුවේ ලූ රන්පතේ කුමක් ලියවී තිබේද?
රංග
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබ‍ඳ නිර්දය පරීක්ෂාවක්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook