Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
නිල් මල් ගවුම
බූන්දි, 23:52:04
විදුර ගියා. මං දොර වහලා විනාඩි හතර පහකට පස්සෙ තමා එයාගෙ කාර් එක ස්ටාර්ට් කරනවා ඇහුනෙ. ස්ටාර්ට් කරලත් ඒක ගියෙ තවත් විනාඩියකින් විතර. මට ඇහිච්ච විදියට එයා ගේට්ටුව වැහුවෙ නෑ. මං කෝපි එකක් හදාගෙන බීලා වැරැන්ඩා එකේ ටිකක් ඇවිද්දා. කෑම මේසෙ අස් කරල පිඟන් හේදුවා. දැන් පාන්දර එකයි විස්සයි. මට නිදිමත නෑ. අලුතින් ගත්ත නිල් මල් ගවුම ඇඳ උඩ ගුලි වෙලා. ඔන්න මම ලියනවා. ගොඩ කාලෙකින් ලියන්නෙ. ලියන්න තරං මට ඕනෙකමක්, නිදහසක් දැනෙනවා.

ඒ ගවුම ගන්නම ඊයෙ මං හාෆ් ඩේ දැම්මා. බොරැල්ලෙ ඇඳුම් සාප්පු කීයකට ගියාද. පටන් ගත්තෙ ලේඩි ජේ එකෙන්. මං දැනං හිටියා ඒ ගවුමම හොයා ගන්න බැරිවග. ඒත් ඊට ටිකක් හරි සමාන ගවුමක් නොතිබෙන්න බැරි කමක් නැහැනෙ. අවුරුදු විස්සකට කලින් මාතර සිල්වා මුදලාලිගෙ කඩෙන් රෙදි අරන් කුමාරි අක්කට කියලා මහ ගත්ත ගවුම් හතරෙන් එකක් ඒක. සුදු ලේස් කොට්න් රෙද්දෙ චූටි නිල් මල් වැටිච්ච, දනිස්සෙන් පොඩ්ඩක් පල්ලෙහාට දිග, චීන කරක් තිබ්බ ගවුම. මං ආසම, විදුරත් ගොඩාක් ආස වෙච්ච , හොස්ටල් එකේ කෙල්ලො මගෙ යුනිෆෝම් එක කියපු ගවුම.

කුමාරි අක්කලගෙ ගෙදරින් ගෙනත් ගවුම් තුනම ඇඳලා බලද්දි මට වැඩියෙන්ම හිත ගියෙ නිල් මල් ගවුමට. සුදු පසුබිමේ තද නිල් චූටි මල් වැල් හරි එළියයි. ඇඟටම තියලමහලා වගේ ඒක මට හරි ගාණට ගැලපුනා. සුදු හින්ඳා චාම් ගතියකුයි නිල් මල් හින්ඳා අමුතු ලස්සනකුයි ඒ ගවුම ඇන්ඳම ආවා. ඉස් ඉස්සෙල්ලම කැම්පස් යන දවසෙ අඳින්න අම්මා කෙහෙල් දල්ලෙ පාට හෑන්ඩ් ලූම් සාරියක් ගෙනත් තිබ්බත් මං ඇන්ඳෙ නිල් මල් ගවුම. අම්මා බැන්නා නිකන් පොලේ යනවා වගේ කියලා. ඒත් මං දැනන් හිටියා ඒ ගවුමෙ එළිය. ගමේ ගතිය, නිදහස් ගතිය, ගෑනු ලස්සන ඒ ඔක්කොම නිල් මල් ගවුම ඇන්ඳම තිබුණා. වැඩිය දිග නැති කොණ්ඩෙ නිකම්ම කඩලා දාලා, පැතලි අඩි හම් සෙරෙප්පු දාලා, කලු හම් බෑග් එකක් උරිස්සෙ එල්ලං, නිල් මල් ගවුම ඇඳන් ඉස් ඉස්සෙල්ලම මං කැම්පස් ගියෙ. රැග් කාලෙ මට විදුරව මතක නෑ. ගෑනු ළමයි විතරක් හිටපු ඉස්කෝලෙකින් ආපු හින්දද මංදා පිරිමි ඉස්සරහදි මට නුහුරක් දැනුනා. නිලානිලා, කුමුදුලා වගේ හරි හරියට කොල්ලො එක්ක කතා කරන්න, විහිළු කරන්න මට තේරුනේ නෑ. කෙට්ටු, උස , ලස්සනට හිනාවෙන, ගොරෝසු රැවුල් කොට තියන කොල්ලො ගාවදි මාව හිරි වැටුනත් මට අඩියක් ඉස්සරහට තියන හැටි තේරුනේ නෑ. නැත්තං මං හිටියෙ බයෙන්.

තාත්තා අම්මව දාලා ගියෙ අම්ම එයා උගන්නනන ඉස්කෝලෙ සර් කෙනෙක් එක්ක යාළුයි කියලා. ඒත් එහෙම දෙයක් තිබ්බද නැද්ද කියලා අදටත් මම දන්නෙ නෑ. අම්මා ගලක් වගේ නිස්සද්දයි. එතකොට මට හතරයි, නංගිට දෙකයි. අම්මා ඇඬුවෙ නෑ. අපිව බලාගන්න ආච්චි ආවා. අපි ගෑනු පවුලක්. ඒක ලේසි නෑ තමා. ඒත් වෙන විදියක් තිබුණෙ නෑ. අම්මා වැඩිය කතා කලෙත් නෑ. පස්සෙ පස්සෙ තාත්තා වෙන ගෑනියෙක් එක්ක කොළඹ ඉන්නවා කියලා ආරංචි වුනා. ඒ පැත්තෙ ආච්චිලා නැන්දලා අපිව බලන්න ආවා ගියාට අම්මා එයාලට වැඩිය මූණ දුන්නෙ නෑ. ඉතිං ඉස් ඉස්සෙල්ලා කැම්පස් යද්දි අම්මයි ආච්චියි අවවාද වලින් මගෙ කන් පිරෙව්වා. "මට වෙච්චි දේ උඹට නොවෙන්න කල්පනාවෙන් වැඩ කරපං" කියලයි අම්මා කිව්වෙ. මගෙ හිත කැලැත්තිලා තිබුනෙ. ඒ ගෑනු කූඩුවෙන් ඉගිල්ලිලා මොන දීපංකරේක හරි මට හරියන ලෝකෙකට යන්නයි මට ඕනෙ වුනේ.

ලේඩි ජේ එකේ මං හොයපු විදියෙ ගවුමක් තිබුණෙ නෑ. ඒ වගේ තැනක තියන ඇඳුම් අතපත ගගා තමන්ට ගැලපෙන දෙයක් හොයනවා මිසක් තමන්ගෙ ඔලුවෙ තියන අවුරුදු විස්සක් පරණ ගවුමක් හොයන එක පිස්සුවක් කියලා හිතුනා. ෆැෂන් බග් එකෙත් ඒ ආනිසංසෙමයි. ඒත් ඒතනින් මං රෝස පාට ලේස් බ්‍රා එකක් ගත්තා. එතන තිබ්බ නයිට් ඩ්‍රස් වලටත් මට ආසා හිතුනා. නෝ ලිමිට් එකේ ගවුම් තිබුනෙම නැති තරන්. තිබ්බ ඒවත් විස්සට අඩු කෙල්ලන්ට මිසක් අවුරුදු හතලිහක් වයස තිහක් විතර පෙනුමක් තියන ගෑනියෙකුට ගැලපුනේ නෑ. රොමාෆෝ එකට යද්දි මට මහන්සියි. එතන පාරෙ බැල්ලියෙක් වාහනෙකට අහු වෙලා. ඒකි මැරිලා නෑ. පස්ස ගාත් දෙක චප්ප වෙලා ලේ ගලනවා. ඒකි කෙඳිරි ගගා ඔලුව දෙපැත්තට වනනවා. වටේ කපුටො තුන් හතර දෙනෙක් බලන් ඉන්නව. මං අහක බලා ගත්තා. රොමාෆෝ එකෙන් මං ගත්තෙ ඉරි ඉරි ටී ෂර්ට් එකක්. ඒක ජොගින් යද්දි අඳින්න හොඳයි කියලා මට හිතුනා. තව නම් මතක නැති පොඩි රෙදි කඩ දෙකකට ගියා. ඒවයෙ නිල් මල් ගවුම් තියා මට ආස හිතෙන මෙලෝ දෙයක් තිබ්බෙ නෑ. මට මහ අසරණ කමක් එක්ක තරහක් දැනුනා. ඒ එක කඩේක කෙල්ලෙක් හිතන්න ඇති මට පිස්සු කියලා." මිස් ඔය කියන මොස්තරේ චීත්ත රෙදි පමුණුවෙ තියනවා. අරන් කාට හරි දීලා ඔය වගේ ගවුමක් මහගන්න එක ලේසි නේද?"මට ඒකිගෙ බෙල්ල මිරිකන්න හිතුනා. මං නමලා තිබ්බ ටී ෂර්ට් තොගයක්ම එයා ඉස්සරහා දිග ඇර ඇර බලලා එකක්වත් ගන්නෙ නැතුව ආයි ආව. එක අතකට ඒ ළමයා මං තරං ගොං නෑ.

හවුස් ඔෆ් ෆැෂන් එකේ තමා ඒක තිබුනෙ. ඒ නිල් මල්ම නොවුනත් ඒ නිල් පාට. චූටියට කොළ පාටකුත් තිබුණා. මල් ටිකක් ලොකුයි. කර ලොකුවට කපලා. ලේස් කොට්න් නෙමේ ඇදෙන රෙද්දක්. අත් නෑ. දනිස්සෙන් උඩට කොටයි. ෆිටෝන් රූම් එකේදි මට පුදුම හිතුනා. අර ගවුමයි මේ ගවුමයි හාත්පසින් වෙනස්. ඒත් මොකද්දෝ සමාන කමක් තිබුණා. මේ ගවුම හිරයි. ඒත් කොට නිසා මගෙ පිරිච්ච කකුල් ලස්සනට පෙනුනා. ඇඟේ හැඩත් බේරිලා පෙනුනා. ඒක ඩිනර් අවුට් එකකට වගේ ගැලපෙන ටිකක් ගාන වැඩි ගවුමක්. ගමේ ගතිය, නිදහස් ගතිය, මේ ගවුමෙන් ආවෙ නැතත් හොඳ ගෑනු ගතියකුයි ක්ලාසි ගතියකුයි ගවුමෙන් විහිදුනා. මං ඒකට ආසවුනා. මං ඒක ගත්තා.

විදුරව ඒ කාලෙ මං දැක්කෙ නැති වුනත් විදුර මාව දැකලා තිබුණා. ගිටාර් ගහපු රුවින්ද ගැන මං ඒ කාලෙ හිතුවෙ. එයාගෙ අවුල් වෙච්චි කොණ්ඩෙ, කපපු නැති රැවුල එක්ක ගිටාර් එක මාව පිස්සු වැට්ටුවා. ඒත් එයා අනිත් හැම කෙල්ලටම දෙන බැල්ම විතරයි මටත් දුන්නෙ. ඒත් ඉස්සෙල්ලම යාළු වෙන්න මගෙන් ඇහුවෙ විදුර. එයාගෙ කිසි කැතක්වත්, ලස්සනක්වත් තිබුණෙ නෑ. කොටින්ම මෙච්චර කල් එහෙම කෙනෙක් හිටියද කියලා මට හරි නිච්චියක් තිබුණෙත් නෑ. එයාව මට පෙනිලා තියෙන්න ඇති ඒත් එයා දිහා මං බලලා තිබුණෙ නෑ.

ඒ දවස මට හොඳටම මතකයි. මොන හේතුවද කියලා හරියටම මතක නැතත් මං ආවෙ තනියම. ඇඳන් හිටියෙ නිල් මල් ගවුම කියන්න නං හොඳටම මතකයි. එයා මගෙ පිටිපස්සෙන් ඇවිත් මගෙත් එක්ක සමාන්තරව යන්න ගත්තා. එයා හිනා වුනා. මාත් හිනා වුනා. " කෝ අද යාළුවො... ?" වගේ මොකද්දෝ ඇහුවත් මතකයි. "නංගි.. මේක කියවලා උත්තරයක් දෙන්න... මං බලන් ඉන්නවා..." කවරෙක දාපු ලිවුමක් මගෙ අතේ තියලා, ආපහු හැරිලා එයා වේගෙන් යන්න ගියා. මං ඒ ලිවුම ගත්තද එයා මගෙ අතට බලෙන් දුන්නද කියලා තාමත් මට හිතා ගන්න බෑ. මං ලිවුමත් අතේ තියං ටිකක් වෙලා ඔහෙ හිටන් හිටියා. ඇත්තටම සෑහෙන වෙලාවක් යනකං මට ඒ සිද්දිය තේරුණේ නෑ. ඒ වෙද්දි මගෙ බැචීලා වැඩි හරියකට කොල්ලො හිටියා. ගොඩක් වෙලා යනකං මං කල්පනා කලේ ඒ ලිවුම දීපු කෙනා හරියටම කවුද කියලයි. එයා රුවින්දලා එක්ක ඉන්න කෙනෙක් බව පෙනිලා තිබ්බ නිසා සයන්ස් කරන අපිට සීනියර් කෙනෙක් බව මං හිතා ගත්තා. මට හිතුනෙ රුවින්ද මෙයා අතේ මට ලිවුමක් එවලා කියලා.

එතනම අයිනෙ කොට තාප්පෙට හේත්තු වෙලා මං ලිවුම කැඩුවා. ඒක ලව් ලෙටර් එකක් කියලවත් හිතා ගන්න බැරි තරම් සරල වාක්‍ය කීපෙක ලිවුමක්. මං දිහා කාලෙක ඉඳන් බලන් ඉන්න බවත් , මගෙ සරල ගතියට, තැන්පත් ගතියට, අහිංසක ගතියට කැමති බවත්, කතා බහ කරන්න අකමැත්තක් නැත්තං හෙට හරියටම මේ වෙලාවට ලිවුම දීපු තැනට එන්න කියලත් ඒකෙ තිබුණා. අස්සන තිබුණෙ රුවින්ද කියලා නෙමෙ විදුර කියලා. මට මහ දුකක් දැනුනා, ඒ එක්කම සතුටකුත් දැනුනා. ඒ මගෙ ජිවිතේ පළවෙනි ලව් ලෙටර් එක ඒක.

මනුස්සයෙක් මට කැමති වෙනවා කියන්නෙ මහ අපූරු දෙයක්. කාමරේට ගිය ගමන් මං කලේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් මාවම බලපු එක. මං කැත නෑ කියන්න දැනන් හිටියත් මං ලස්සනයි කියලා නම් කවදාවත් හිතිලා තිබුණෙ නැහැ. ඒත් විදුරට මාව ලස්සන ඇති. විදුර කැත නම් නැහැ. ඒත් එයාගෙ රුවින්දගෙ, නැත්තන් තුෂාරගෙන් ආපු මොකද්දෝ එළිය තිබුණෙ නැහැ. විදුරත් එක්ක තියලා බලද්දි ශිෂ්‍ය සංගමේ හිටපු තුෂාර ලස්සන නැහැ. ඒත් තුෂාර කාන්දමක් වගේ. ඒ කාන්දන් ගතිය පෙනුමෙන් එන එකක් නෙමේ. විදුරට අකමැති වෙන්න හේතුවක් මට තිබුණෙ නැහැ. ගෑනු කූඩුවෙන් පියාඹලා වෙන ලෝකෙකට යන්නයි මට ඕනෙ වුණේ. මං නිල්මල් ගවුම හෝදලා බැල්කනියෙ එල්ලුවා පහුවදාට අඳින්න.

විදුරට පොඩි ගොතයක් තිබුණා. එයා කුරුණෑගල පැත්තෙ පොල් වතු තියන පවුලකින් ආපු කෙනෙක්. කියන්න වැරැද්දක් තිබුණෙ නෑ ඇත්තටම. " ඔයාව මං මුලින්ම දැක්කෙ ඔය ගගගගවුම ඇඇඇඳන් ඉද්දි, ඔය ගගගගවුමට ඔයා පුපුපුදුම ලස්සනයි...." මුල්ම දවසෙ එයා කිව්වා. අනුකම්පාවක් ගෑවිච්චි ආදරයක් ඒ මනුස්සයා ගැන මට මුලින්ම දැනුනෙ ඒ වෙලාවෙ. ආදරේ කියන්නෙ මොකද්ද? ආදරේ කරන්නෙ කොහොමද? මං හරියට දැනගෙන හිටියෙ නැහැ. මට පාළුවක් තිබුණා. ගෙදරින් පියාඹලා යන්න දොරක්, අහසක් ඕනෙ වෙලා තිබුණා. එච්චරයි. මගෙ යාළුවො ආදරේ කරනවා මං දැක්කා. කුමුදු එයාගෙ ගමේ කොල්ලට ලියුං යවන ගමන් මෙහෙ කුමාර එක්ක ෆිල්ම් බලන්න ගියා. " මං බඳින්නෙ ගමේ කුමාරව, මෙහෙ කුමාර මට සංස්කෘතික ජීවිතයක් දෙනවා... ඒක මෙහෙ කුමාරත් දන්නවා...." එයා නළල රැළි කරලා කිව්වට කුමාරල දෙන්නගෙන් එක්කෙනෙක්වත් එයා බැන්ඳෙ නෑ. නිලානිත් අසංග එක්ක ලවර්ස් ලේන් ගියා, හන්තානෙ ගියා. මූණ රතු කරන් ඇවිත් අසංග එයාව ඉඹපු හැටි, හපපු හැටි කිව්වා.

විදුර මාව මුලින්ම ගෙනිච්චෙ දළදා මාළිගාවට. අපි වැඳලා ඇවිත් වලාකුළු බැම්ම ගාවින් මාළුන්ට පොරි දැම්මා. අපිට ලොකුවට කතා කරන්න දේවල් තිබ්බෙ නෑ. අපි එකිනෙකාගෙ පවුල් වල විස්තර අහගත්තා. යාළුවො ගැන කතා කළා. හවස එනකොට එයා මගෙ අත ඉම්බා. ටිකක් කතා කරද්දි කරද්දි මුලදි තරං එයා ගොත ගැහුවෙ නෑ. පාක් ගිය දවසක එයා මගෙ කර වටේ අත දාලා ගවුම අස්සෙන් අත දැම්මා. මට බයකට වඩා ආවෙ ආසාවක්. ඒත් මං හෙමින් එයාගෙ අත තල්ලු කළා. ඉස්සෙල්ලම අපි රූම් එකකට ගියෙ කුරුණෑගල. නුවර හෝටල් වලට යන්න මං බය වුනා. කුරුණෑගලදි මං ඇඬුවා. ඇඬුවා නෙමේ ඇඬුනා. මට අම්මව මතක් වුණා. වෙච්චි දේවල් පිලිවෙලකට මතක නැතත් මං අඬද්දි එයා සිගරට් බිව්වා මතකයි. එයා කිව්වෙමෙ අවුට් වෙච්චි ගමන් බඳිමු කියලා. මට අවිස්වාසයක් තිබ්බෙ නෑ. කොහොමටත් මං රස්සාවක් කරනවා කියන වුවමනාව මට තිබුණා. මං එක විභාගයක්වත් ඇනගත්තෙත් නෑ.

විදුර අවුට් වෙන්න කිට්ටුව වෙද්දි අපේ සම්බන්දෙ දිය වෙලයි තිබුණෙ. ඒකට ගොඩක් හේතු තිබුණා. අපේ සම්බන්දෙ තේරුම මොකද්ද කියන ප්‍රශ්නෙ මං මගෙන්ම අහගනිමින් හිටියා. චාරිත්‍රයක් වගේ මීට් වෙන එක? එදිනෙදා තොරතුරු දෙන්නට දෙන්න කියා ගන්න එක? මාස කීපෙකට සැරයක් රූම් යන එක? පොඩි පොඩි තෑගි මාරු කරගන්න එක? ඒවයෙ සතුටක් තුබුණෙ නෑමය කියලා මට කියන්න බෑ. එත් එයා නැතුවත් මට සතුටින් ඉන්න පුළුවන් කියලා මට හිතෙමින් තිබුණා. ඊටත් ඒ වෙද්දි විදුරටත් මාව එපා වෙලා තියෙන්නත් ඇති. ඇත්තටම මට ඕනෙ මොනවද කියලා මං හිතමින් හිටි කාලයක් ඒක. විදුර තමා මාව ගෑනියක් කලේ. ඒත් කැම්පස් එකෙන් අවුට් වෙන්න කිට්ටුව මං ඇත්තට නිල් මල් ගවුම්කාර කෙල්ලගෙන් ගෑනියක් වෙමින් හිටියා. නිල් මල් ගවුමට මොකද වුණේ කියලා ඇත්තටම මට මතක නැහැ. පරණ ඇඳුම් චූටි තීරු කපලා ඒවයෙන් පාපිසි මහන පුරුද්දක් අපේ ආච්චිට තිබුණා. ගොඩක්විට නිල් මල් ගවුමත් පාපිස්සකට එකතු වෙන්න ඇති. විදුර අවුට් වෙලා ගිහිනුත් අවුරුදු දෙකක් මං කැම්පස් හිටියත් ආයි කවුරුවත් මට ලව් ලෙටර් දෙන්න ආවෙ නැහැ. මගෙ හිතේ නම් සමහර පිරිමි කඳන් ගැන තෘෂ්ණාවල් තිබුණා. ඒත් එවා වැඩ කළේ නැහැ.

අවුරුදු පහළවකට විතර පස්සෙ ආයි විදුර ආවෙ ෆේස්බුක් රික්වෙස්ට් එකකින්. නම දැක්කට මේ ඒ විදුර කියලා මට හිතුනෙම නෑ. ටිකක් වැඩියෙන් නලළ පෑදිච්ච ටයි කෝට් කාරයෙක් ප්‍රොෆයිල් පිංතූරෙ හිටියෙ. ඇතුලෙ ෆෝල්ඩර්ස් ඇර ඇර බලද්දි තමා මේ ඒ විදුරමයි කියලා දැනගත්තෙ. එයා හිටියෙ සිඩ්නි වල. බැඳලා. පිංතූර වල හැටියට දරුවො දෙන්නෙක් උන්නා,. දෙන්නම කොල්ලො. මං විදුරව ඇඩ් කළා.

ඇයි එයාව ඇඩ් කලේ කියලා දැනුත් මං හිතනවා. මට ඒ මනුස්සයා ගැන තරහක් තුබුණෙ නැහැ. ඒත් කුතුහලයක් තිබුණා එයාට මොනවා මොනවා වෙලා ඇතිද කියලා දැනගන්න. අපි චැට් කළා. ඉස්සර එයාගෙ ඉංග්‍රීසි හොඳ නෑ කියන්න මට මතකයි. ඒත් දැන් එයා ලස්සන ඉංග්‍රීසියෙන් චැට් කලේ. එයා වැඩියක්ම පුදුම වුණේ මං තනියම හිටපු එකට. බැඳලා ඩිවෝස් වුනා කීවම එයා ඒක හෑරුවා. ප්‍රශ්න එක්ක ඉන්න අමාරු නිසා අපි වෙන් වුණා. එච්චරයි. ප්‍රශ්න මොනාද කියලා විදුරට දැනගන්න ඕනෙ වුණාම මං ඕෆ් ලයින් ගියා.

එයාගෙ නෝනා ලස්සනයි. මට වඩා කෙට්ටු ඇඟක් එයාට තිබුණෙ. එයා එහෙ සාත්තු නිවාසෙක වැඩ කරනවයි කියලයි විදුර කිව්වෙ. වැඩි විස්තර අහන්න හිතුනත් මං ඇහුවෙ නෑ. ඒ ගෑනිගෙ ප්‍රොෆයිල් එකට ගිහින් පිංතූර බලද්දි මට මං ගැන තරහක් ආවා. එයාල පාක් වලට ගිහින්, කැලවල් වලට ගිහින්, කැන්ගරුවො එක්ක, ගිරව් එක්ක පිංතූර දාලා තිබුණා.

ගෑනි කොළඹ කියලත් ගියෙ මියුසියස් කියලත් අපේ නංගි එයාගෙයි මගෙයි මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලත් වැඩිදුරටත් මං හොයා ගත්තා. පෙනුමෙ හැටියට ඒ ගෑනි මට වඩා බාල වෙන්න ඕනෙ කියලා මං උපකල්පනය කලේ එයාගෙ වයස දාල නොතිබුණු නිසා. ඒ ගෑනිගෙ ප්‍රොෆයිල් එකට යන්නෙ නෑ කියල හිතුවත් නිකන් ඉන්න වෙලාවට මට ඒකට යැවුනා. ඒ කාලෙම මං විදුරව බැන්දානං අපිට අවුරුදු දොළහෙ දහතුනේ ළමයි ඉන්න තිබ්බා. අපි සම්බන්දෙ නතර කලේ නිශ්චිත තදබල හේතුවකට නෙමේ. ඒක ඒ කාලෙ දැනිච්ච මහන්සියක්. දැන් මට දැනෙනෙනෙ පාළුව. මට වැඩ තියනවා. සල්ලි තියනවා. නිදහසත් තියනවා. ඒත් මොකද්දෝ අඩුයි.

ඒක හිඟන කමක් වගේ දෙයක්. යමක්. ප්‍රාතිහාර්‍යක් වගේ දෙයක් වෙලා මගෙ ජීවිතේ වෙනස් වෙයි කියලා මං බලාගෙන හිටියා ඒත් එහෙම වුනේ නෑ. සුදු අක්කි කියලා චැට් වලින් හුරතල් වෙන කොල්ලො සහ ඉඳහිට ඇවිත් යන පිරිමි කඳන් නොතිබුණාම නෙමේ. ඒත් එයාලා ටික වෙලාවයි. මාෂ්මෙලෝස් වගේ. මට තිබුණෙ කොච්චර වතුර බිව්වත් අඩු නොවෙන තිබහක් වගේ දෙයක්. ඇඟට විතරක් නෙමේ හිතටත් ලොකූ තිබහක් දැනුනා. ඩිවෝස් වුණේ අපරාදෙ තව චුට්ටක් ඉවසන්න තිබ්බා කියලා හිතුණා. චතුරයි මමයි ඩිවෝස් වුණෙ චතුරට නිම්මි එවපු එස් එම් එස් නිසා. ඒක නිකන් විනෝදෙට තිබ්බ පොඩි දෙයක් කියලා චතුර කොච්චර හිනා වෙවී කිව්වත් මට නිම්මි ගැන ආපු තරහයි ඉරිසියාවයි ගියෙ නෑ. අන්තිමට චතුර හිනා වෙන එක නැවැත්තුවා. බැරෑරුම් වුණා. ගෙදර එන්න රෑ වුණා. ෆෝන් එකේ , ලැප් එකේ ලොක් දා ගත්තා. අන්තිමට අපි ඩිවෝස් වුණා. මං නිම්මිගෙ ෆොටෝස් දිහා පැය ගණං බලන් හිටියා. හිතෙන් ඒකිව මරණ හැටි ප්ලෑන් කළා. අන්තිමට ඩිප්‍රෙෂන් වලට බේත් ගන්නත් වුණා.

මං කවි ලියන අයට, නාට්‍ය කරන අයට, චිත්‍ර අඳින අයට ෆේස්බුක් එකේ රික්වෙස්ට් දැම්මා. චැට් කළා, පොත් අවුට් කරන උත්සව, කවි ගැන කතා බහ වලට ගියා. කඳට අමතරව තව මොනාහරි එයාලා ගාව ඇති කියලයි මට හිතුනෙ. කවි ලියන කොල්ලෙක් අපේ ගෙදර ආවා ගියා. අපි බියර් බිව්වා. එයා මට ඇහෙන්න කවි කියෙව්වා. හැබෑවටම එවා දැනෙන කවි. එයා පෙළක් කවි කියවද්දි සතුටට මං ඇඬුවා. ඒ කොල්ලා මට වඩා අවුරුදු නමයක් බාලයි. අපි බඳිමු කියලත් මං උට කිව්වා. ඌ හිනා වුනා. මං උට කෑම ඉව්වා. ඒකා වැඩිය කෑවෙ නෑ. හරියට සිගරට් බිව්වා. ආයෙ දෙන්නං කියලා පොඩි ගණන් ණයට ගත්තට කවදාවත්ම දුන්නෙ නෑ. ඇත්තටම මං ඌට ආදරෙන් හිටියෙ. දවස් දෙක තුනක් ඌ රෑට නැවතුනත් එක්ක. පෙනුමට ගොරෝසු වුනාට එකා හරි ඉවසිලිවන්තයි. සිනිඳුයි. දවසක් හවසක හදිස්සියෙ එන්නද කියලා අහලා ඌ කෝල් කළා. මං හා කිව්වා. ඌ ආවෙ රෝස පාට පසුබිමේ නිල පාට ඉරි වැටිච්චි අත් දිග ටී ෂර්ට් එකකුයි, ඩෙනිම් පෑන්ට්සුයි ඇඳ ගත්තු කැහැටු කෙල්ලෙක් එක්ක. ඒ ගෑනු ළමයා මට මූණ දුන්නෙම නෑ. ඒ කෙල්ලට තිබුනෙ හවු ටු ට්‍රේන් අ ඩ්‍රැගන් එකේ කළු මකරගෙ වගේ මූණක්. මං එයාලට කාමරයක් ලෑස්ති කරලා දුන්නා. එදා රෑ මට නින්ද ගියෙ නෑ. උදේ මම ඔෆිස් යද්දිත් ඒ කාමරේ වහලා. සොරි අක්කෙ කියලා කොල්ලා දවල් එස් එම් එස් එකක් එවලා තිබ්බ. මම රිප්ලයි කීපයක් ටයිප් කලත් එකක්වත් යැව්වෙ නෑ. හවස යද්දි යතුර බෝගන් විලා පෝච්චිය යට තියලා තිබුණා. එයාලා මටත් එක්ක බත් උයලා, පරිප්පුයි, ෆ්‍රිජ් එකේ තිබ්බ චිකන් වගේකුයි හදලා තිබුණා. බාත් රූම් එකේ තිබ්බ මගෙ ඇඳුම් වගේකුත් හෝදලා දාල තිබුණා. මට ඒ මකරිව මරන්න හිතුනා. ආයෙ එන්න එපා කියලා මං නැගී එන තරුණ කවියට එස් එම් එස් එකක් යැව්වා.

විදුර සිය පවුලත් එක්කම නිවාඩුවකට ලංකාවට එනවා කියලා තිබුණා. අපේ ගෙදර එනවද කියලා මං අහන්න කලින් එයාම එන්නද ඇහුවා. මං හිතුවෙම සිය පවුලත් එක්ක එයා ඒවි කියලා. ඒත් එයා කිව්වෙ ඩිනර් එකකට එන්නං කියලා. "අපි එළියට යමු ?" මං යෝජනා කළා."නෑ ඔයා උයන්න. මට ඔයාගෙ ජිවිතේ මොන වගෙද බලන්න ඔයගෙ ගෙදර එන්න ඕනෙ." ඉස්සර විදුර එහෙම ලස්සනට කතා කළා කියලා මට මතක නෑ. ඒක කියවලා මට ඇඬුනා. මතක ගොඩක් ඔලුවට කඩන් වැටුනා. ඩික්ෂනරියක් අස්සෙන් හොයන් එයා දීපු මගෙ ජීවිතේ එකම ලව් ලෙටර් එක මං ආයෙ කියෙව්වා. මට ආයෙම නිල් මල් ගවුම අඳින්න ඕනෙ වුණා.

මං වයින් ගෙනාවා. වයිට් සෝස් එක්ක කෝල්ඩ් ස්පැගටි සැලඩ් හැදුවා. තායි ක්‍රමේට ඉස්සො තෙල් දැම්මා. කොයිකටත් බත් ටිකකුත් ඉව්වා. අමු එළවළු වලින් සලාදයක් හදලා ඒකට රතු දෙළුම් ගෙඩියක් කඩලා දැම්මා. ෆ්ලූට් මියුසික් ට්‍රැක් එකක් ප්ලේ වෙන්න දුන්නා. නාලා අළුත් නිල් මල් ගවුම ඇන්ඳා. කොණ්ඩෙට ලා සුවඳක් එන කොලෝන් එකක් දැම්මා. කරාබු දැම්මෙ නෑ. ලිප්ස්ටික් ටිකක් පේන නොපෙනෙන තරං ලාවට ගෑවා. කොෆි ටේබල් එකේ පැත්තක් ජෙෆ්‍රිරි බාවගෙ ගෘහ නිර්මාණ තිබ්බ පොත් කීපයක් තිබ්බා. උස වීදුරු වාස් එකකට තනි රෝස මලක් දාලා කෑම මේසෙන් තිබ්බා. ලයිට් ඕෆ් කරලා ඉටි පන්දම් පත්තු කරන්න හිතුවත් ඒක ඔනෙවට වඩා වැටි කෝලමක් වෙයි කියලා හිතිච්ච නිසා එහෙම කලේ නෑ. එයා එනවා කිව්වෙ අටට. හතහමාර වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරලා තිබ්බත් එයා එන වෙලාවෙත් මම බිසී බව පෙන්නන්න මට ඕනෙ වුනා. එළවළු සලාදෙට දානන්න ග්‍රීන් ඇපල් ගෙඩි දෙකක් කපන්නෙ නැතුව පිහියත් එක්ක පැන්ට්‍රියෙ තිබ්බා.

අටයි කාල වෙද්දි එයා ආවා. මං හිතුවෙ මාව හග් කරයි කියලා. ඒයා නිකම්ම ඇවිත් වාඩි වුණා. එෆ් බී පිංතූර වල දැක්කට වඩා එයා මහතයි. කලින් විදුරගෙ චායාවක් තුබුණත් මෙයා වෙන විදුර කෙනෙක්. එෆ් බී චැට් කරපු විදුරටත් වඩා වෙනස්. එයාගෙ ඇස් ගේ පුරා දිව්වා.

"ඉතිං.. ලස්සන තැනක්... තනියම ඉන්න බය නැද්ද ? "

එයා දැන් ගොත ගහන්නෙ නෑ. මං හිනා වුණා.

"කාට බය වෙන්නද?.."

"චමරිට බොරු තොගයක් කියලා බේරිලා ආවෙ.."

"ඇයි ඉතිං බොරු කිව්වෙ?"


එයා හයියෙන් හිනා වුණා.. ඒක සෙම හිනාවක්.

"ගෑනුත් එක්ක ලේසියෙන් බෑ.."

"මාත් ගෑනියෙක්නෙ.. ?."

" ඒකනෙ ආවෙ.."


මට අප්පිරියාවක් හිතුනා. කකා ඉද්දි එයාගෙ චමරි කෝල් කළා.

"අම්මි මං ඉන්නෙ චින්තකයලෑ ගෙදර, සෙතුකයි, සිසිලකයි දොයිද?... ඔව් අම්මි කන ගමන්... ආඅහ් උදේට එනකොට ගේන්නං.... නෑ.. නැ.. බොන්නෙ නෑ.... ප්‍රොමිස්... ගුඩ් නයිට් අම්මි....." කට් කරලා විදුර මට ඇහැක් ගැහුවා.

එයා ගොඩක් කෑවා. මං මහන්සි වෙලා හදපු කොල්ඩ් ස්පැගටි සැලඩ් එකට වඩා එයා ආස වුණෙ බත් එක්ක තායි ඉස්සො කන්න. කන ගමන් එයාගෙ ළමයි ගැන, ලංකාවෙ ඉන්න එයාගෙ අම්මව බලන්න කෙනෙක් නැති කම ගැන , ළමයින්ට හරියට සිංහල කතා කරන්න බැරි කම ගැන කතා කළා. මං අහන් ඉන්නවද නැද්ද කියන දේ එයාට අදාල වුණේ නෑ. " ඉස්සො රහයි, තව පොල් සම්බෝලයක්, කිරට උයපු අල හොද්දක් තිබ්බනං නියමෙට යනවා.... " එයා කිව්වා. එයා වයින් බිව්වත් මට බොන මුඩ් එකක් ආවෙ නෑ. මට නිකං අතරමං වෙච්චි ගතියක් දැනුනා. මට දැනුනෙ මං එයාගෙ ගෙදර ගිහින් ඉන්නවා වගේ.

මට ඕන වුනේ එයා චැට් කරන ලස්සන ඉංග්‍රීසියෙන් මගෙ එක්ක කතා කරනවා දකින්න. ඒත් එයා කතා කලේ සිංහලෙන්. මං කෑවෙ ටිකයි. ඩෙසර්ට් වලට කස්ටඩ් පුඩිමක් තිබ්බත් එයා එපා කිව්වා.

"මට සරමක් දා ගන්න අමතක වුණා..... මෙහෙ නැද්ද?"


මගෙ කම්මුල් රත් වුණා.

"මෙහෙ පිරිමි නැහැ.."

"ඔහ්.. මං හිතුවෙ සරමක් තියෙයි කියලා..."


එයා රෑ නවතින්න එන ගමනක් කියලා කලින් වටෙන් කියලා තිබුණත් මෙහෙම අහයි කියලා මට හිතුනෙ නෑ. මං එයාට ලොකු තුවායක් දුන්නා. නාලා ඇවිත් එයා මගෙ වටේ අත දාල බදා ගත්තා. මගෙ මූණට ඒ මූණ ළං වෙද්දියි දැක්කෙ එයාගෙ ඉස්සරහ දත් දෙක අතරෙ මිරිස් කෑල්ලක්. මට ඔක්කාරෙට ආවා. මං එයාව තල්ලු කල. එයා ටවල් එක කඩලා බිම දැම්ම. කොට මහත කැත සෙවල සතා. සෙවල ගලන කම්බිලි පණුවෙක් වගේ.

කුරුණෑගල වැවට මූණ දාල ජනෙල් තිබ්බ හෝටල් කාමරේ මට මතක් වුණා. ඒ කාමරේ බෙඩ් ශීට් පුස් ගඳයි. එදා මට මේ සතා ගැන තිබුණෙ කුතුහලයක්. බයක් . ඒකා මාව පරද්දනවා බලන්න ආසාවක්.

මේ හිටන් ඉන්න මිනිහාට තියන එකම දේත් ඒ කැත සතා විතරයි. මට ගොඩක් මිනිස්සුන්ව මතක් වුණා. විදුර මස් ගොඩක් විතරයි.

"විදුර ඔයා දැන් යන්න.."

"ඇයි?"

"කිව්වම අහලා යනවා.."

"මොන මඟුලටද එහෙනම් එන්න කිව්වෙ?........ තමුසෙ මහ වේසියක් .."

"කරුණාකරලා යන්න විදුර.."


ඇඳුම් ඇඳගත්ත එයා ගියා.

මං නිල් මල් ගවුම ගලෝලා ටී ෂර්ට් එකක් දා ගත්තා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉසුරු චාමර සෝමවීරගෙන් තවත් වියමන්
කවි
පිච්ච
කවි
නාහිමි ගිලානව
කවි
සිළකි අඳුරින් නැගි
කවි
හිතක්, සිරුරක්, රහසක්
කවි
පොඩි එකා
තවත් කතන්දර බූන්දි
බුම්මන්නා පවුල සහ ලේලිය
දොළොස්දාහක්
කල්ලඩි පාලම පාමුල
අලුත ගෙනා මනාලිය
මාස තුනක් සහ එක දවසක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook