Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ෆිදෙල් කස්ත්‍රෝ - පීඩිතයාට ජීවය ද ආදරය ද දුන් සදාකාලික සටන්කරුවා!
බූන්දි, 09:22:32
ඒ එක්දහස් නමසිය හැත්තෑ පහ වසරයි. අප්‍රිකානු මහද්වීපයේ, දකුණු දිග ඇංගෝලාවේ කසින්ගා නුවරට නුදුරින් මහා සටනකි. එය එහි සැබෑ අරුතින්ම සටනක්ම නොවී. අතිශය කුරිරු මහා සමූල ඝාතනයකි. ඉවක් බවක් නැති ජන සංහාරයක යෙදී සිටි වර්ණ භේදවාදී දකුණු අප්‍රිකානු රජයේ හමුදා භට කණ්ඩායම් ගුවනින්, ගොඩබිමින් හා මුහුදෙන් සිය ම්ලේච්ඡත්වය මුදා හරිමින් හුන්හ. අති නවීන ගුවන් යානා, පැරෂුට් හා බලසම්පන්න යුධ ටැංකි වලින් සන්නද්ධ වී සිටි ආක්‍රමණිකයා හමුවේ, කුඩා දරුවන්, කාන්තාවන් හා මහල්ලන් ද ඇතුළු සිය දහස් ගණනක නිරායුධ ජනයා සිටියේ මරු වැළඳ ගනිමිනි. එය ඒකාන්තයෙන්ම අධිරාජ්‍යවාදයේ තවත් එක් ලජ්ජා සහගත කඩා වැදීමක් වූයේය. මිනිස් සංහතියේ අති බිහිසුණු සතුරා විසින් ඉතිහාසයේ නොයෙක් වර, නොයෙක් අන්දමින් මුදා හල විසකුරු ශාපයේ තවත් අඳුරු පරිච්ඡේදයක් වූයේය.

පෘතුගාල යටත් විජිතයෙන් මිදී, ඉතා අසීරුවෙන් නිදහස් දේශයක් ගොඩ නගා ගැනීමේ ගමන් මග බිහි දොර මතදීම සිය හිස මත කඩා වැටුනු සාහසික ව්‍යසනයෙන් සන්ත්‍රාසයට පත් වූ ඇංගෝලානු ජනතාව දෙස විමසිලිමත්ව බලා හුන් දෑස් සිය දහසක් ඒ වනවිටත් අවදියෙන් උන්නේය. ඉන් වසර දහහතකට ප්‍රථමයෙන්, අපකීර්තිමත් ඒකාධිපතියෙකු සිහසුනෙන් පන්නා දැමූ වීරෝධාර විප්ලවීය ජනතාවක්, සිය නිජ භූමියෙන් සැතපුම් හය දහසකට ඔබ්බෙන් වූ දුගී දුප්පත් රාජ්‍යයක් වෙනුවෙන් සිය අසහාය මෙහෙවර ඉටු කළ යුතුය යන තීරණයට එළඹ තිබිණි.

කැරීබියානු මුහුදු වෙරළින් පෙර නොවූ විරූ මාදිලියේ වෙළඳ නෞකා දියඹට ඇදුණි. වෙනදාට ඒ තුල ඇහිරෙන කෙසෙල් හා සීනි වෙනුවට මිග් 17 සහ මිග් 22 ප්‍රහාරක යානා එහි සුරක්ෂිතව තැන්පත් කෙරී තිබිණි. ගුවන් යානා නාශක කාලතුවක්කු සහ, යුද්ධ ටැංකි පිරිවරාගත් තිස් හය දහසක අභීත විප්ලවීය සෙබළුන් පිරිසක් නාඳුනන වෙරළක හමුවන්නට නියමිත සතුරා සම්මුඛ වනු පිණිස ඒ නෞකා අරා උන්නෝය. මානව ඉතිහාසයේ වඩා අසිරිමත්ම ගරිල්ලා අරගලයට පණ පෙවූ ඔවුහු, මිනිස් වර්ගයා කෙරෙහි උපන් සදාතනික ආදරයත්, දැඩි මිත්‍රත්වයත් හැරෙන්නට අන් කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවෙමින් සිය ජාත්‍යන්තර විප්ලවීය මෙහෙවර එසේ අරඹා තිබිණි.

ප්‍රතිඵලය සැබැවින්ම විස්මයජනක වූයේය. මහද්වීපයේ මහත් බලසම්පන්නම සේනාංකය වූ දකුණු අප්‍රිකානු හමුදාවත්, ඉතා ධනවත් සයරේහි මෘග හමුදාවත් අන්ත පරාජයක් අත්කර ගත්තෝය. එය සැබැවින්ම නින්දා සහගත පරාජයක් වූයේය. ආක්‍රමණිකයා සැතපුම් 650 ක් දුරට පන්නා දැමිණි. එක් පසෙකින් වර්ණ භේදවාදී දකුණු අප්‍රිකානු රජයත්, තවත් පසෙකින් සයරේහි ඒකාධිපති මොබුටුත් එකවර පරාජයට ලක් කෙරිණි. එහෙත් ඒ සියල්ලට වඩා ඉන් පිටුපස කුමන්ත්‍රණකාරී බලපෑම සිදුකල ලොව නව අධිරාජ්‍යවාදයේ පීතෘවරයා වූයේය. එය සැමදාම මෙන්ම එදාද එසේම වූයේය. ෆැසිස්ට් අප්‍රිකානු හමුදාවන්ට මිලිටරි බලය සැපයීමෙන් නොනැවතුනු එක්සත් ජනපදය, ඉතා තිරශ්චීන බලපෑමක් සිදුකරමින් න්‍යෂ්ටික බලයෙන් පවා ඔවුන් සන්නද්ධ කිරීමට සූදානම්ව පැවති බව අසුව අනාවරණය විය. එය පසුකලෙක දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා විසින් අනාවරණය කොටගෙන තහවුරු කරගන්නා ලද බිහිසුණු සත්‍යයක් වූයේය. කියුබානු විප්ලවීය භටයෝ සටන් වැද පරාජයට පත් කර තිබුණේ එවැනි භයංකාර ලේ පිපාසිත හමුදාවකි.


කස්ත්‍රෝ ඇන්ගෝලාවේ දී

සංහාරයෙන් ඉක්බිතිව, කසින්ගා නුවර තත්වය අති බිහිසුණු වූයේය. දස දහස් ගණනක් මරා දමා හෝ තුවාල සිදු කොට තිබුණි. විපතට පත් වූ කාන්තාවන් සහ කුඩා දරුවන්ගේ භාරකාරීත්වය සිය පාලනයට ගැනීමට කියුබානු සමාජවාදී ජනරජය ඒ වනවිටත් තීරණය කර තිබිණි. ඔවුන් වහ වහා කියුබානු දේශයට කැන්දාගෙන යනු ලදුව, ප්‍රතිකාර කටයුතු ඇරඹිණි. දරුවෝ සියල්ලෝම පාසල් කරා යොමු කෙරිණි. ඒ දරුවන්ගේ ද්වියිතීක සහ බොහෝ විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා සිදු කෙරුනේ හවානාවේය. ඉන් වසර විසි පහකට පමණ පසුව කියුබාවේ නැමීබියානු තානාපතිනිය ලෙස පත්ව ආයේ කසින්ගා සරණාගත කඳවුරේ මහා සංහාරයෙන් දිවි ගලවාගෙන කියුබානු රැකවරණය යටතේ හවානාවේ අධ්‍යාපනය ලද දැරියකි. එය ජීවිත කෙරෙහි දයාව හා කරුණාව විසින් සිදු කළ හැකි මහා පරිවර්තනය පිළිබඳ සංවේදී හෙළිදරව්වකි.

මානව හිමිකම් පිළිබඳ තරු පහේ සුපිරිසිදු පැවතුම් අනෙකාගෙන් ඉල්ලා සිටින අධිරාජ්‍යවාදීන්, ලොව අසරණ ජාතීන් මත බෝම්බ වැසි වස්සවද්දී, සමාජවාදය විසින් පෝෂණය හා පන්නරය ලත් කුඩා දූපත් රාජ්‍යයක් මානව වර්ගයා කෙරෙහි සිය අසමසම වගකීම ඉටු කළේ එසේය. එය කිසිවෙකුට හෝ බැහැර කළ නොහැකි සත්‍යයකි. කිසිවෙකු විසින් හෝ අතික්‍රමණය නොකල මහා සමාජ වගකීමකි. සැබැවින්ම එය පිදෙල්ගේ දේශය විය. ලොව සමාජවාදී දේශපාලනයේ උත්තරීතර පරමාදර්ශය විය.

බිහිසුණු ඒකාධිපතියෙකු, සිත් පිත් නැති මිනීමරුවෙකු ලෙස අධිරාජ්‍යවාදයේ අගුපිල් වහලුන් විසින් නින්දාවට ලක් කෙරෙන ඒ මිනිසා බිහිකළ රාජ්‍යය එසේ වූවකි. එය කිසිදාක කිසිවෙකුට මතුපිට අර්ථයෙන් පමණක් ගෙන විග්‍රහ කල හැක්කක් නොවේ. එය ඒකාන්තයෙන්ම ලොව පුරා දැඩි සූරා කෑමටත්, මර්ධනයටත් ලක් කළ බිලියන ගණනක් වූ අසරණ ජනතාවක් වෙත සිය දයාබරත්වයේ දෑත් දිගු කල ශ්‍රේෂ්ඨ මානව පරපුරක නිජ භූමිය වූයේය.

අද ලොව පුරා සිය ස්වේච්ඡා සෞඛ්‍ය සේවය සපයනු ලබන කියුබානු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව තිස් දහසකි. ඒකාධිපති බැටිස්ටාගෙන් බලය ලබා ගන්නා කාලය වන විට කියුබානු සෞඛ්‍ය සේවයේ නියුතුව සිටි තුන්දහසක පමණ වෛද්‍යවරු සංඛ්‍යාව හා සංසන්දනය කිරීම පමණක්ම ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ඇදහිය නොහැකි සාර්ථකත්වයේ තරම තේරුම් ගත හැකිය. රට තුළ මේ වනවිට සේවය කරන වෛද්‍යවරුන්ගේ ගණන හැත්තෑ දහස ඉක්මවයි. වෛද්‍ය සිසුන් සංඛ්‍යාව විසි පන් දහසකි. ඒ රට තුළ පිහිටුවා ඇති වෛද්‍ය විද්‍යාල විසිපහක අති නවීන පහසුකම් මධ්‍යයේ ඉගෙනුම ලබමිනි. ඉන් එක විශ්ව විද්‍යාලයක් සහමුලින්ම විදේශ සිසුන් වෙනුවෙන් වෙන් කෙරී තිබේ. වසර හතළිහක් තුළ ඒ තුළින් උපාධිය සම්පූර්ණ කර ඇති විදෙස් සිසුන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

හෙන්රි රීච් බලකාය ලෙස නාම ගැන්වූ ඔවුන්ගේ ඉසිවර සේනාංකය අදටත් ලෝකයේ ඕනෑම ස්වභාවික විපතකදී ඉදිරිපත් වන ප්‍රථම වෛද්‍ය කණ්ඩායමයි. ඉතා දිළිඳු රටවල ඈත දුෂ්කර පළාත්බදව දැඩි අසීරුතා මැද සිය සහන සේවා පවත්වාගෙන යන මේ ජාත්‍යන්තර මිනිසුන් නින්දාවට පත් කරන්නට දශක පහක් තිස්සේ අධිරාජ්‍යවාදී වහලුන් ගෙන ගිය ප්‍රචාර සහමුලින්ම අසාර්ථක වී තිබේ.


කස්ත්‍රෝ චේ සමග

අද කියුබානු සමාජවාදී ජනරජය තුල සාක්ෂරතාවය සියයට සියයකි. වීදියේ සිඟා කන දරුවන් එහි දැක ගන්නට නැත. පාසල් නොයන, මන්ද පෝෂණයට ලක්වූ එකදු දරුවෙකු එහි නැත. චර්නොබිල් න්‍යෂ්ඨික අනතුර හේතුවෙන් රෝගී වූ දහස් ගණනක් දරුවන් වෙනත් රටවලින් භාර ගැනීම ප්‍රතික්ෂේප කරද්දී ඔවුන්ට රැකවරණය සපයන්නට නොපැකිල ඉදිරිපත් වූයේ කියුබානුවෝය. ජාත්‍යන්තර විප්ලවවාදය පිළිබඳ අබමල් රොනක හෝ හැඟීමක් නැති මිනිසුන් මේ තත්වයන් කිසිදාක වටහා නොගැනීම කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවේ.

ලතින් ඇමරිකානු කලාපය තුල එතෙක් මෙතෙක් දියත් කල අති දැවැන්තම සෞඛ්‍ය සේවා වැඩසටහන හඳුන්වනු ලැබූවේ ප්‍රාතිහාර්ය මෙහෙයුම ( Operation Miracle ) වශයෙනි. එය දස ලක්ෂ හයක කැරීබියානුවන්ට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමත්, සෞඛ්‍ය වෘත්තිකයන් ලක්ෂ දෙකක් පුහුණු කිරීමත් ඉලක්ක කර ගත් දස අවුරුදු වැඩසටහනකි. එය ආරම්භ කෙරුනේ වෙනිසුවෙලාවෙනි. ඉන් අනතුරුව ට්‍රිනිඩෑඩ්, ටුබැගෝ, ඩොමිනිකා, සෙන්ට් ලුසියා, ආදී රටවල් දහ අටක, ශල්‍යාගාර අනූ තුනක පවත්වාගෙන යන මේ ස්වේච්ඡා වැඩසටහන තුලින් මේ වනවිටත් ඇස් පෙනීම නැවත ලබා ගත් ලතින් ඇමරිකානු පුරවැසියන් සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවයි. එකල වසර දෙකක් පුරාවට සතිපතා ට්‍රිනිඩෑඩ් සිට හවානාව බලා සතියට ගුවන් වාර පහක් ක්‍රියාත්මක කෙරුනේ ශල්‍යකර්ම සිදු කල යුතු රෝගීන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් පවා සපයමිනි. මේ උන්මත්තකයෙක්, ජන ඝාතකයෙක් ලෙස ඉතිහාසය තුල අනේක වාරයක් වනසා දමන්නට උත්සහ කල, සැබෑ මිනිසෙකුගේ වික්‍රමාන්තික චින්තනයක ප්‍රතිඵලයන්ය.

කියුබානු සමාජවාදී ජන රජයේ නිර්මාතෘ, සදාදරණීය පිදෙල් කස්ත්‍රෝ රුස් සහෝදරයා සතු වූ අසමසම බුද්ධි ප්‍රභාවට සම කිරීමට තබා ආසන්න වීමටවත් සමත් කිසිවෙකුත්, ඔහු ජීවත් වූ සමයේ මේ මිහිමත වාසය කළේ නැත. ඉදිරියටද පහළ වනු නැත්තේය. මන්ද යත්, ඒ සා දුෂ්කර මර්ධනයන්, ඒ සා කටුක අත්දැකීම්, ලබා ගත් වීරෝධාර ජයග්‍රහණයන්, සිය ජනතාවට ඉටු කළ මහා මෙහෙයන්, සියලුම ක්ෂේත්‍ර පිළිබඳ තිබූ පරිපූර්ණ දැනුම් සම්භාරයත්, පරාජය කල නොහැකි අභීතභාවයත්, මේ මිහිතලය එකම යායක් ලෙස සැලකූ, එපරිද්දෙන්ම මුදා හල මානව දයාවත් එක් මිනිසෙකුට, එක් ජීවිත කාලයක් තුළ ලබා ගන්නට හැකියාවක් පවතින්නේ නම් එය ප්‍රාතිහාර්යයක් වන බැවිනි.


කියුබානුවන් කස්ත්‍රෝට සමුදෙමින්

පසුගිය විසි හය වෙනිදා රාත්‍රී යාමයේදී සදහටම නිමා කෙරුණේ මානව ඉතිහාසයේ අවසාන වීර කාව්‍යය බව කිසිදු සැකයක් නැතිව අපට පවසන්නට හැකිවන්නේ ඒ නිසාය. ලෝකය පුරා නින්දාවට, මර්ධනයට, වර්ගවාදයට, සාගින්නට හා නූගත්කමට බඳුන් වෙමින්, අධිරාජ්‍යවාදීන්ගේ පයට පෑගෙන දුහුවිලි බවට පත් වූ බිලියන ගණනක පීඩිත ජනතාවට ජීව ගුණය සපයමින්, අයුක්තියට, අසාධාරණයට එරෙහිව උන් සිත් තුළ බුර බුරා නැංවෙන සටන්කාමීත්වයට පහන් ආලෝකය සපයමින්, වසර හතළිස් හතක් තිස්සේ ඈත අහසේ පායා දිලෙන හුදෙකලා රතු තාරකාවට සිය අභීත සටන් සගයා යළිත් මුණ ගැසෙන්නට කාලය උදාවී ඇත්තේය.

ඉතින් මින් මතු මේ මිහිතලය පවතින පුරාවට, එකිනෙකා යළි ළංව හිඳිමින්, මානව වර්ගයා වෙනුවෙන් මග කියා දෙනු පිණිස, සෙන්පති ෆිදෙල් කස්ත්‍රෝ ඈත ගුවන් ගැබ නැගී සදාකාලික වූයේය.
වෙනත් සබැඳි |
කස්ත්‍රෝ - ඔහුගේ ගමන
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Fidel Castro Ruz, Cuba, Ernesto Che Guevara, Cuban Revolution, Cuban Freedom fight for Angola, Batista, USA, Ronald Reagan, Socialism, Communism, Kasanga, Latin America
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
හිරාන් ද සේරම්ගෙන් තවත් වියමන්
අදහස්
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
තවත් අදහස් බූන්දි
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
What's New | අලුතෙන්ම
ඔත්තු| 'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2

1-Mins

'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook