Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
පාට වලාකුළු අතර හිඳ....
බූන්දි, 11:54:08
මගේ තෙත කොණ්ඩෙ වේලගන්න මං නිතරම එන්නෙ මෙතෙන්ට. තෙත කොණ්ඩෙ වේලන්න විතරක්ම නෙවේ කොණ්ඩෙට සම්බන්ධ හිසේ ප්‍රශ්න අමතක කරන්නත් මං හුඟක් වෙලාවට මෙතෙන්ට එනවා. එනවාම නෙවේ නඟිනවා කිව්වොත් හරි. නැඟල ඉඳගන්නවා. ඇත්තටම මේක හරිම උස තාප්පයක්. ලේසිපාසු කෙනෙක්ට මේකට නඟින්න බෑ. විශේෂයෙන්ම පොඩි ගෑනු ළමයෙක්ට බෑ. ඒත් මං දැන් පොඩි නෑ. හැබැයි පොඩි කාලෙ ඉඳන් තමයි මම මේකට නඟින්නෙ. ඒ නිසා දැන් ලොකු මහන්සියක් නෑ. ගාණක්ම නෑ.

මේ උස තාප්පෙ ගැන අහලවත් නැති කාලෙකදි තමයි මට මේක හම්බු වුණේ. ඒ අහම්බයකින්. එතකොට මට වයස දාසයයි. කාගෙන්වත් අහන්නෙ නැතුව මගේ හිතින්ම හිතිලා මගේ අතින්ම හැදුණු පුංචි පාට පාට සරුංගලයක් වගේ දෙයක් දවසක් මම අතේ තියං ඉද්දි ඒක ලොකූ හුළඟකට ගහං ගියා. එතකොටයි මම දන්නේ කාටවත් නොපෙනී අතේ තියං උන්නු දේකට පවා බාහිර බලවේගයක පීඩනය යෙදුණොත් පාවෙලා යන්න පුළුවන් කියල. මම හුළඟ පස්සෙ දිව්වා. අම්මා කොණ්ඩෙට ගැටගහපු රෝස පාට රිබන් පටියත් මම දන්නෙම නැතුව ගැලවුණා. හුළඟ එච්චරටම සැරයි. ඒත් මම හිනා වෙවී දිව්වෙ ස්කූල් වෑන් එක කවදාවත් ගහින් නැති ගුරු පාරක. පුංචි ලස්සන කැළයක් මැද්දෙන්. රිදී පාට දියකඩිති උඩින් පනින්න ඕනෙ කියලවත් හිතුණෙ නෑ. මං ඒව උඩ චොස් ගාලා උඩ පැන්නා. අඩිය තියදදි දැනුණු සීතලට මගේ හිතත් හිරි වැටුණා. දෙයියනේ ජීවිතේ මෙච්චර ලස්සනද ? ඇයි මට කවදාවත් හිතුණෙ නැත්තෙ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා මගේ කාමරෙන් එළියට යන්න. මං හිතුවෙ ලෝකෙ තියෙන්නෙ ගේ ඇතුළෙ කියල. ඒත් ලෝකෙ තියෙන්නෙ ගේ ඇතුළෙන් එළියෙ.

දැන් මම හුළඟක් පස්සෙ දුවනකොටනෙ මේ හැමදේම දැක්කෙ. පුංචි සරුංගලේ තමයි මට එළියට යන්න පාර හදල දුන්නෙ. මගේ අතේ ගුලිවෙලා ඉඳලා සරුංගලේටත් එපා වෙන්න ඇති. එතකොට සරුංගලේ මායා බන්ධනයක්ද ? ඉතිං ඒක හැදුවෙ මමනෙ. මම මන්තරකාරියෙක්ගෙ දුවක්වත් ද ? පිස්සු. අපේ අම්මා දේවතාවියක්. තාත්තා බෝධිසත්වයෙක්. මට මන්තර ලේ කැවෙන්න බෑ. එතකොට සරුංගලේට මායවක් ආවෙ කොයින්ද ?

රිදී පාට දිය කඩිති පහු කරලා කිරි පාට දිය ඇල්ලක් දැක්කම මගේ සිතුවිලි හිම පාට වුණා. හිම පාට වෙලා හිරි වැටුණා. සිතුවිලිවලට හිම පාට වෙන්න පුළුවන් නං ඇඟිලිවලට මායාව එන්න පුළුවන්. දිය ඇල්ලෙන් නාන ගමන් මම එහෙම කල්පනා කළා. එතකොටම මගේ හිම පාට සිතුවිලි දියවෙලා සුදු පාටට වැක්කෙරෙන්න ගත්තා. තෙත ගවුම ඇඟට ඇලුනෙ පිච්ච මල් පොඩි වෙච්චි සුවඳකින්. මගේ සිතුවිලි මෙච්චර සුවඳයි ද ? මම මාවම උරාගනිමි මගේ දිහාම බැලූවාම මම දැක්කා මගේ ඇඟේ හැඩ. පිරුණු; වක් වුණු; දික් වුණු තැන්... මං තවත් පොඩි නෑ. මං වැඩෙනවා. මං ඉරිසියා කරපු අනික් හැම ගෑනු ළමයෙක් වගේම මාත් ලස්සනයි. මගේ පපුව එකපාරටම මෙච්චර පිරුණෙ කොහොමද ? ? මට මං ගැනම ප්‍රේමය ඇති වෙන්න කළින් මට මතක් වුණා මං දුවගෙන ආවේ මගේ ප්‍රථම ප්‍රේමය පස්සෙ නේද කියල. මගේ ඇඟිලිවලට මායාව කැවුණෙ මගේම උමතුවකින් නේද කියල. කවරෙකුගේ හෝ මැදිහත් වීමකින් තොරව හදපු ඒ සරුංගල් පොඞ්ඩ මං අතේ ගුලි කරං, යන යන තැන අරං ගියෙ පියඹවන්න දන්නෙවත් නැතුව. හුළඟ ඇවිත් සරුංගලෙත් එක්කම මාවත් දියත් කළා පුංචි කැළේ මැද්දෙන්. ඒ චාරිකාව දෛවෝපගතයි.

දැන් ඉතිං ඉන්න තැන හොයාගන්නෙ කොහොමද ? හිනාව තවදුරටත් වලංගු නෑ. කළුවරත් වැටීගෙන ජාමේ මම අඬ අඬා ආයෙ දුවන්න ගත්තා. එතකොටම මං දැක්කා මේ උස තාප්පෙ. පාට පාට කණාමැදිරියො රංචු ඇලවිලා හිටිය නිසා එකපාරට තාප්පයක් කියල පෙනුනෙත් නෑ. මට ක්ෂණික ප්‍රීතියක් දැනුණා. සරුංගලේ තාප්පෙ උඩ. මගේ මූණ එළිය වුණේ තත්පරෙන් දාහෙන් පංගුවකින්. දැන් හුළඟ නෑ. සීතල විතරයි. රෑ වීගෙන එන්නෙ. ගෙදරින් මාව හොයනව ඇත්ද ! තාප්පෙ උඩට නැග්ගොත් මිසක් මේ ? මට පියවි සිහියෙන් ගත කරන්න වෙන්නේ නෑ කියල මටම තේරුණා. ඒත් ගෑනු ළමයෙක් කොහොමද මේකට නගින්නෙ. කොල්ලෙක්ට වුණත් ලේසි නැති වෙයි. මොකක්ම හරි ක්‍රමයක් තියෙන්න ඕන. සරුංගලේ මට පේන්න තාප්පෙ උඩ තියෙන්නෙ මගේම මායවකින්. මගේ මායාව, මගේ අතින්ම ස්පර්ෂ කරන්න නම් මම කොහොමහරි මේ තාප්පෙට නඟින්න ඕන. සමහර විට එහෙම වුණොත් මේ සියලු දේ අතුරුදහන් වෙලා මම නැවත මගේ කාමරේට වැටෙන්නත් පුළුවන්.

පස්ස පැත්තෙන් මට හිනාවෙන මේ කණාමැදිරියන්ට කතා කරන්න පුළුවන්ද දන්නෙ නෑ කියල මට එකපාරටම නුවණ පහළ වුණා. මගේ කට සද්ද නිසා ඒගොල්ලො බයවෙන්න පුළුවන්. ඒනිසා මම තාප්පෙට උපරිමේටම ළං වුණා රහසක් කියන්න වගේ. මං කතා කරන්න කළින්ම මගේ තොල්වල රස්නෙටයි, හුස්මවල සද්දෙටයි පිළිතුරු විදියට කණාමැදිරියො පෙළක් පඩි පෙළක් වගේ පහළ ඉඳන් උඩට පිළිවෙළකට ඉවතට පියාඹලා ගියෙ උඩට යන්න මග පෙන්නලා. ඒත් ඒ මග තියෙන්නෙ උල් කටු දිගේ. කටු ඇනගෙන හරි යන්න වෙනවා. කොහොමද සත්තු සරුපයො ආවොත් බිම ඉන්නෙ. ජීවිතාශාව හදිස්සියෙම උල් කටු උඩින් මගේ කකුල් තිබ්බෙව්වා. සෑහෙන්න දුර නගින කොට මට බිම බලන්න ඕන වුණා. නමුත් මම බිම බලන්න කළින් පස්ස පැත්තෙන් හිනා වුණූ චූටි යාළුවො ඒක දැනගෙන උන්නා වගේ මට පොළෝ මට්ටම ගැන අදහසක් නොදෙන්න කතා වෙලා, වියනක් බැන්දා වගේ එක යායකට පැතිරුණා. ඒ නිසා මට පොළව පෙනුණෙ නෑ. මට හිතුණෙ මම වැඩිය දුර ඇවිත් නෑ කියල. මොකක් ? මෙච්චර මහන්සි වෙලත් ? ? ඒත් උඩ බලද්දි සරුංගල් පොඩිය ළඟ ළඟින් පේනවා. ඒත් තව දුර නං නගින්න මට බෑ. ශක්තිය අන්තිමටම හිඳිලා. ජීවිතාශාව මම අතඇරියා. මගේ ඇස් පියවුණා.

මම ආයෙ ඇස් අරින කොට ජීවිතය මාව අල්ලගෙන තාප්පෙ උඩින් තියල. මේ වගක් දන්නව නං අඩි දෙක තුනක් නැගලම බිම වැටෙනවනෙ. පොඩි කෙල්ලෙක් මෙච්චර රස්තියාදු කරවලත් ජීවිතේට වගක් නැති හැටි. මට තරහයි. ඒත් මම තාප්පෙ උඩ කියල මට අමතක වුණු නිසා සමබරතාවය අහිමි වෙලා මම නැවත වැටෙන්න ගියා. ඒ තාප්පෙන් එහා පැත්තට. කොහොමහරි මම කකුල් දෙක දෙපැත්තට දාගෙන තාප්පෙ බදල අල්ල ගත්තා. සරුංගල් පොඩිය තවමත් මට ටිකක් ඈතින්. විශ්වාස කරන්න බෑ. මොකද්ද මේ චීන මහා ප්‍රාකාරෙ දහයෙන් වැඩි කරා වගේ තියෙන මහ ලොකු තාප්පෙ. ඒ මදිවට මං දුවගෙන ආපු පැත්ත වගේ නෙවේ අනික් පැත්ත. අනේකයි. වෛර්ණයි. අමුතුයි. ලොකු මල්, ලොකු ගස්, පුංචි කුරුල්ලො, ලොකු සමනල්ලු. මම නම් දන්නෙ නැති ජීවියො ඈත පියාඹනවා. ඒ විතරයෑ, පියාඹන මල් පෙති. කැරකෙන දේදුණු. පාට පාට වලාකුළු . විටෙක සුගන්ධයකුත් විටෙක දුගන්ධයකුත් දැනෙනවා. නමුත් ඒ ගඳට අප්පිරියාවක් ඇති වෙන්නෙත් නෑ. ඇයි මෙච්චර ලොකු තාප්පෙකින් අපේ සැබෑ ලෝකෙ වෙන් කරලා තියෙන්නෙ. තාප්පයක් නොතිබුණා නං සියල්ලොම මේ පරිසර පද්ධතිය එකට රසවිඳිනවනෙ. එතකොටම රෝස පාට කුරුල්ලෙක් ඇවිල්ලා මගේ නළලට කොටල ගියා. මගේම සිතුවිල්ලක් ඇවිත් මටම උත්තර දුන්නා.

හත්දෙයියනේ... මම මේ ඉන්නෙ සම්මතෙයි, අසම්මතෙයි වෙන් කරන තාප්පෙ උඩ. තාප්පය උඩ නැගීම තහනං. විශේෂයෙන්ම දාහතෙන් පහළ අයට. ඒ තියා කිසිම කෙනෙකුට තාප්පය උඩ රැඳීමත් තහනං. එක්කො සම්මතයට වැටෙන්න ඕන. නැත්තං අසම්මතයට වැටෙන්න ඕන. දෙලොවක් අතර වැඩිවෙලා ඉන්න බෑ. සිතුවිල්ල මං වෙනුවෙන් පෙනී හිටල, එක පාරට මට විරුද්ධව කතා කළා.

"වැටියං, අසම්මතේට වැටියං. පොඩි කමට මෙච්චර උඩ නගින්න හිත හදාගත්තේ සම්මතයේ ඉන්න නෙවේනෙ."

එතකොටම සරුංගලේ හුළඟක් නැතිවම පාවෙන්න ගත්තා අසම්මතේට.. මම පැනල ඒක අල්ලගන්න හදද්දිම, ඔව්, මං වැටුණා. මං වැටුණෙ කලු පාට බිම්මල් ගොඩක් උඩට වුණාට මට රිදුණා. ඒ පැත්තෙ කණාමැදිරි වියන් තිබුණෙ නෑ. වැටුණම මුලින්ම කැක්කුම් දෙන තාලෙ තැනක් ඒක. හිතටවත්, ගතටවත් කිසිම සනීපයක් දැනුනෙ නෑ. මම කෑ ගැහුවා. මාව බේරගන්න කවුරුත් නැද්දෝ කියල. මම උත්සහයෙන් උඩට නැග්ගෙ ජීවිතේ බේර ගන්න. මට තේරුමක් තිබ්බෙ නෑ මං කොහෙද යන්නේ කියල. මම දිව්වෙ හිතේ වේගෙට. සරුංගලේට තියෙන ආදරේටයි උඩට උඩට නැග්ගෙ. මං මේ සම්මත අසම්මතයක් ගැන එච්චර දන්නෙ නෑ දෙයියනේ. ඒ මදිවට සරුංගලෙත් නෑ. මට මාවත් නෑ කියල මං කෑ ගහ ගහ ඇඬුවා. එතකොට කවුද මන්දා, කොහෙන්ද මන්දා අවා. මං දිහා බැලුවෙ ගොඩක් දයාවෙන්. එයාගෙ මනුස්ස පාටක් නෑ. අමනුස්ස පාටකුත් නෑ. හරිම ශාන්ත පාටයි. ඇත්තටම එයා දිව්‍යමය පාටයි. ඇත්තම දෙවියෙක් කියන්නෙ එයාටද ? එයා උතුරු සළුව අතින් සකස් කළා විතරයි අපි දෙන්නම නැවත තාප්පෙ උඩ. මගේ කට ඉස්සර වුණා සුපුරුදු පරිදි.

"ඔයා කවුද" ?

"ඔයාව දන්න කෙනෙක්"

"මං මේ කොහෙද ඉන්නෙ ?"

"ඉන්නෙ ඔයා හිතන තැන"

"ඔයා කොහෙද ඉන්නෙ ?"

"ඔයා කෑගැහුවම ඇහෙන තැනක"


මම එයාගෙ ප්‍රශ්නාර්ථ තේරුං ගන්න බැරුව එයාගෙ ඇස් දෙක දිහා බලං හිටියා. මට පේන්නෙ එයාගෙ ඇස් දෙකයි, උතුරු සළුවයි විතරමයි. ගැඹුරු ඇස්වල පිටාර යන්නෙ දයාව. බලාගෙනම ඉන්න පුළුවන්. එයා මගේ දීර්ඝ බලාසිටීම වළක්මිවන් කිව්වා, මං කෑ ගහනවා තව්තිසාවටම ඇහුණා කියල. එයා හිටියෙ භාවනා කර කරලු. තව එයා කිව්වා අසම්මතයට එක දිගට තුන් පාරක් ගියොත් ආයෙම එයාට මාව සම්මතයට ගේන්න බැරි බව. කැමති පැත්ත තාම තෝරගන්න තරං වයස නැති නිසා තාප්පෙ උඩට ඇවිල්ලා ඉන්න පුරුදු වෙන එක තමයි හොඳම කිව්වා. නමුත් එක පැත්තට වෙලා ඉන්නවට වඩා අමාරු, මැද ඉන්න එක කියලත් කිව්වා. මොකද සම්මතයට පමණක් පුරුදු වුණු අයටවත්, අසම්මතයට පමණක් පුරුදු වුණ අයටවත් තාප්පය උඩ සමබරව ඉන්න බැහැලු. සම්මතය සහ අසම්මතය පාලනය වෙන්නෙ බාහිර බලවේගෙකින් නෙවේලු. ඒ නිසා දුෂ්කර අවස්ථා පාලනය කර ගැනීමේ වගකීම වෙන කාටවත් ගන්න බෑ කියද්දි, මං ප්‍රශ්න ගොඩක් අහන්න කට ඇරිය විතරයි, එයා නොපෙනී ගියා. ඊළඟ මොහොතෙ මම හිටියෙ කාමරේ ඇඳ උඩ. සරුංගල් පොඞ්ඩ කොහේ ගියාද මන්දා ....

ඒ සරුංගලය ගැන මතකය මම අමතක කළත්, මම තාප්පයයි, උතුරු සළුවයි, සිල් ගත්ත ඇස් දෙකයි අමතක නොකර හිටියා. මම සැරින් සැරේ එතෙන්ට ගියා. එක හේතුවකට නෙවේ, නොයෙකුත් හේතුවලට. පළමු හේතුව මගේ දිග රැළි රැළි කොණ්ඩෙ. මගේ කොණ්ඩෙ වේලගන්නා තරං යස හුළඟක් එක පාරටම මට හිමි වෙන්නෙ මෙතනම විතරයි. වයසින් වැඩෙන කොට මම දැන ගත්තා එක සිතුවිල්ලෙන් තාප්පෙ හොයාගන්න. කණාමැදිරියො මං එනකොටම වියන හදන්න තරං යාළු වුණා. කම්මැලි හිතුණු හැමවෙලේම මම කළේ තාප්පෙ මෙනෙහි කරන එක විතරයි. තාප්පය උඩදී උස කෝණයකින් දකින පරිසර පද්ධති දෙකක වෙනස මම නොවෙනස්ව විඳගත්තා. සම්මතයේ හුළඟට ගවුම් පොඞ්ඩක්වත් ඉස්සෙන්නෙ නැති වුණාට, අසම්මතයට කකුල් දාමු ගමන් හමේ හිරිගඬු පිපෙන සීතල ගතියක් එක්ක ඇඳුම ඉරිලා යනවා වගේ දැනෙන්න ගත්තා. මේ දෙකම මට හරි විනෝදයි. ඒ මදිවට මගේ කොණ්ඩෙ අසම්මතේ පැත්තට වැටුණාම දිගට දිගේ හැඩපළු ගෙතිලා අමුතුම මායවක් මවනවා. සිත වසඟ කරවනසුළුයි. එවිට මට මා ගැනම ප්‍රේමයෙන් මත් වෙන්න පුළුවන්. හැබෑමයි.

මම ව්‍යායාම කරන්නෙත් මේ තාප්පෙ උඩමයි. මං ගොඩක් වෙලාවට අසම්මතේ පැත්තට කකුල් දාගෙන සම්මතේට ඔළුව දාගෙන කණාමැදිරි වියන එක්ක කතා කරනවා. ඒ ඉරියව්ව හරිම අමාරුයි. මනසින් සහ හදවතින් අසම්මතයට පූර්ණ දායකත්වය නොදී කකුල් දෙක විතරක් දාගෙන ඉන්න එකත් ලේසි නෑ. කර්කෂ පුහුණුවකට පස්සෙයි මට ඒ ශක්‍යතාවය ලැබුුණෙ. නමුත් මට දැන් ඒ ගැන ආඩම්බරයි. ඒ තාප්පෙ උඩ මගේ ප්‍රියතම ඉරියව්ව.

මේ ඉරියව්ව ගෑනියෙක් දැක්කොත් හිනා වෙලා පණ යයි. පිරිමියෙක් දැක්කොත් ආසාවෙ නළියයි. මොකද අසම්මතේ පැත්තෙදි ඇඳුම්වලින් වැඩක් නෑනෙ. මොහොතකින් රෙදි තුනී වෙලා දියවෙනසුළු ලෙස විනිවිද පේනවා. දෙයියො දැක්කොත් නං කෝප වෙයි. එ්ත් මට ලැජ්ජා නැහැ. කවුරු දකින්න ද! තාප්පෙ කියන්නෙ සීමා මායිමක්. සීමා මායිම් අසල ජනාවාස නෑ. දෙපැත්තෙන්ම ටිකක් ඇතුළට ගියාම තමයි ජනාවාස ඇත්තෙ. ඈත පියාඹන හඳුනා නොගත් වස්තූන්ට මං ගැන හැඟීමක් ඇති කියල මට හිතෙන්නෙ නෑ. ඒත් සමහරු මං දිහා බලන වගත් මට තේරෙනවා. ඉතිං මට මොකෝ?

අසම්මතයේ ගඳ සුවඳ හැරුණු කොට මට තව්තිසාවේ සිල් සුවඳත් විටින් විට දැනුණා. මට හිතෙන්න දිව්‍ය ලෝක ටික ඇත්තෙ මේ තාප්පෙට කෙළින් උඩම වෙන්න ඇති. සිල් සුවඳ එන්නෙ හරියටම කෙළින්ම උඩ බලලා ආශ්වාස ප්‍රශ්වාස කරද්දි. නමුත් ඔළුව ටිකක් ඇල කරලා ආශ්වාස කරද්දි නං එන්නේ මත් වෙන මල් පළතුරු සුවඳක් වගේ එකක්. පැහැදිලිවම එ් පරිනිම්මිත වසවර්තියෙන් එන අසමබර කාම සුවඳක්. මාර සුවඳක් කියන්නත් පුළුවන්. ඒ සුවඳට මත් වෙන නිසා වෙලාවකට මම වැටෙන්න යනවා. ඒත් වැඩ දන්න නිසා බේරෙනවා. තව්තිසාවෙන් විටින් විට හීනියට ඇහෙන පිරිත් මට නොසෑහෙන හයියක් !

උතුරු සළුව භාවනා කර කර තව්තිසාවෙ ඇති කියල හිත හිත මම අහසට හිස යොමා ගෙන මම සීරුවෙන් තාප්පෙ දිගේ වැතිරුණා. ඒ මගේ පහසුම ඉරියව්ව. ශරීරය සමමිතිකව දෙපසට වැටෙන වෙලාව. හදවතින් සහ මනසිනුත් මම අර්ධාකාරව අසම්මතයට සම්බන්ධ වෙන වෙලාව. අනික හදවත තෙරපෙන්නෙ නැතුව මැදම තියාගන්න පුළුවන් එක හොඳ වුණත් හරිම අසංවරයි මේ පහසු ඉරියව්ව. කුරුළු ඇස්වලට ඉතාම සරාගී ඉරියව්වක්. මං මෙහෙම ඉන්න හැමවෙලේම ලේ සුවඳට සත්තු ඇදෙනවා වගේ කොහේදෝ මන්දා කුරුළු සේනා මොහොතකින් එන්න පටන් ගන්නවා මගෙ ළඟටම. කුරුල්ලොම කියන්න බෑ. අමුතු පියාඹන සත්තු වගේ අය. තටු තියෙන කෘමීන් වගේ චූටි අමුතු සත්තු ඇවිත් මගේ ඇඟේ ඇඳුම් දියවෙලා විනිවිද පේන හැටි බලං ඉන්නවා. මං හිතන්නෙ යම් ආකාරයක පෙරේත කොට්ඨාසයක් වෙන්න ඇති. ඇඟේ වහන්න හදනකොට මම සම්මතයට වැටිලා තියෙන අත උස්සල එළවන නිසා එයාල දැන් කරන්නෙ මගේ අඩනිරුවත දිහා බලං වින්දනය කරන එක විතරයි. ඒකෙ මට ප්‍රශ්නයක් නෑ. මං දිහා බලං ඉඳල කවුරු ඇවිස්සුණත් මට කමක් නෑ. මට වැදගත් මම ඇවිස්සෙන්නෙ නැතිව ඉන්න එකනෙ.

මේ වගේ වෙලාවට යටිපතුල අයිතිකරන් ඉන්න දම් පාට පුළුන් ගෙඩියක් වගේ එක්කෙනෙක්. එයාගෙ කිති කැවීම සහ ස්පර්ෂය මට හරිම සුවදායකයි. එ් නිසා එයාට පයින් ගහන්න මගේ අදහසක් නෑ. ඒ අතර තව මං ආසම සුදු කපුටෙක් එනවා. ඇස් දෙක නිල් පාටයි. කපුටෙක් කියන්නත් බෑ. සම්මතයේ නම් එයාලට ගැලපෙන්නෙ නෑනෙ. නමුත් අමුතුම මනමාල කුරුල්ලෙක්. එයා මගේ බඩ උඩින් වහලා ඉස්සි ඉස්සි මගේ ඇස් දිහාත්, පපුව දිහාත් මරුවෙන් මරුවට බලනවා. එතකොට එයාගෙ නිල් ඇස් ආසාවෙන් රතු වෙනවා දකිනකොට මට හිනා යනවා. ඒත් මං එයාගෙ පිහාටු අතගානවා හරිම සිනිඳුයි. එයා පිහාටුවලින් මගේ ඇඟ පුරාම කවි ලියනවා. ඒ කවි මට දැනෙනවා. කවි කාක්කෙක්.

රමණාරාධනා ගුමුගුමු; කවි; ගීත; ප්‍රලාප මම මේ තාප්පෙ උඩ පහසු ඉරියව්වෙන් ඉදිද්දි ඕනතරං අහල තිබුණත් මගේ හිත කා සඳහාවත් සම්පූර්ණයෙන්ම නැවුණෙ නෑ. නමුත් මම ඒ සියලු දේ මම වින්දෙ නෑ කියන්නත් මට බෑ. ඒ මධ්‍යස්ථ විඳීමට මම කැමතියි. හුදෙක් එක් අයෙකුට පමණක් ආනත නොවී තව බොහෝ දෙනාව, නොයෙකුත් මානවලින් විඳිමේ විවිධත්වයක් තියෙනවා. ඒ වගේම එවැනි අවස්ථා සුලභව මට හිමිවෙලා තියෙනවානෙ. හැබැයි මගේ පීඩාකාරී ප්‍රතිපත්ති නිසා සමහරු ස්වල්ප වේලාවකින්ම, ස්වකැමැත්තෙන් නික්ම යනවා. මම පරපීඩිකාවක්, එත් ඒ වේදනාවේ රසය අතිඋත්කෘෂ්ටයි කියල ඒ ගැන පොත් ලියපු අමුතුම එක්කෙනෙක්ට මම ආදරණීය වෙච්ච ගමන් එයා පැනල ගියා. ඒත් ඒ පොත් නැවත කියවද්දි මට දැන් ඇඬෙනවා.

එක දවසකට, එක වරුවකට ආවොත් තව්තිසාවෙන් පරසතු මලක් ගෙනත් දෙන්නං කියල සුදු කපුටා අන්තිම කවිය ලිව්ව දවසෙත් මම "බෑ!" කිව්වෙ ඉතාම තදින්. රතු වෙච්ච ඇස්වලින් නිල් පාට කඳුළක් වැටුණා. ඒ අනුරාගී නිල් කැටේ මම සැමරුමක් විදියට තියාගත්තා. පහසු ඉරියව්වේ සිටිද්දි කිසිම පෙම්වතෙක් ගැන මගේ හිත සම්පූර්ණයෙන්ම උණු නොවෙන්න හේතු දෙකක් මට තිබුණා. එකක් උතුරුසළුව හිමිකාරයගෙ සිල්ගත්තු ඇස් දෙක මතක් වෙන එක. අනික එක කකුලක් සම්මතයේ තියෙන එක. ගැබ්බර වීම වැළැක්වීමට ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම පාපයක් නෙවේනෙ. මගේ මේ සුරූපී කාව්‍යමය දේහය ඔබින්නෙ මහා පුස්තකාලයකට තමයි. ඒත් නිතර පරිශීලනය වෙන පොතක් වෙන්න මට බෑ. මට විශේෂ තැනක් ඕන. විනිවිද පේන කුටියක් ඕනෙ. ඉර සම්මතයෙන් බැස යන ආලෝකයත්, සඳ අසම්මතයෙක් නැඟ එන ආලොකයත් මගේ සිරුරට වැටෙන ඒ සංක්‍රාන්තියෙදි දහස් ගණනක් වටවෙලා ප්‍රේමයෙන් ස්පර්ෂ කරන මොහොත තමයි මගේ පරමෝත්කර්ෂය වෙන්න ඕන.

එහෙම නැත්තං තව දෙයක් තියෙනවා. හැබැයි ඒක රහසක්. ඒ කණාමැදිරියෙක්වත් නැති පසළොස්වක පෝය හඳක් යට, 'සිල්ගත්තු ඇස්' සමග යුද වැදිල මට දිනන්න ඕන. මා ඔහු මත උදම්ව සිටියදී ඔහු ඒ මතින් සිල් බිඳගන්න ඕන. ඇත්තටම ඒ තරම් සර්ව සම්පූර්ණ අසම්මත සිතුවිල්ලක් නම් හද්ද අසම්මතචාරියෙක්ටවත් පහළ වෙනවද දන්නෙ නෑ. මේච්චර සත්තු සරුපයො, කුරුල්ලො, සමනල්ලු ඇත්තු, අස්වයො වගේ අමුතු අය ඉද්දි ඇයි මම පවිත්‍ර උතුරු සළුවක් කිළිටි කිරීමේ ප්‍රමෝදය ගැන සිහින දකින්නෙ! සැබෑවටම මම පරපීඩිකාවක්.

මොන පවක්ද මන්දා, සිල්ගත්තු ඇස් හැමවිටම මගේ සිල් බිඳිනවා. එයා ගැන හිතෙන කොටම මම පාවෙන්න ගත්තා. පාට පාට වලාකුළු මගේ මූණ ළඟින් ගෑවිලා ගියා. එතකොටම මගේ කොණ්ඩෙන් කවුරුහරි ඇද්දා. මං වැටුණා රතුපාට වලාකුළක් උඩට. රතු පාට! ඒ මං ආස පාටක් නෙවේ. රතු වලාකුළ, විල්ලුද සැප යහනාවක් වගේ මාව ඇතුළට ඔබා ගත්තා. මේක නම් මේ අවුරුදු ගාණකටම විඳපු නැති අත්දැකීමක්. භාවාතිෂයයි. කොණ්ඩෙන් ඇදපු අතකින් මගේ කොණ්ඩට යටින් මගේ ඔළුව පිරිමදින්න ගත්තා මෘදු සහ දැඩිව. කවුද ඒ ? කවුද හරියටම දන්නෙ මම ඔළුව මේ විදියට අල්ලනවට කැමතියි කියල? උතුරු සළුව, පාට සළු ඇදගෙන ඇවිදින් ද? එයාගෙ භාවනාව ඉවර වෙලාද? හැමදාම වගේ එදත් මං හිතින් උතුරු සළුව පොරෝගෙන ඒක කිළිටි කළා ක්ෂණයෙන්. ඒත් ඊළඟ ක්ෂණයේදී මේ නිර්දය ස්පර්ෂය එයාගෙ වෙන්න බෑ කියල මට තේරුණා. කවුරු වුණත් මොකද ඉතිං ඔළුවනෙ අතගාන්නෙ....

මෙන්න ඒ ඇඟිලි මගේ හිස් මුදුන් පරයා මගේ බෙල්ල දිගේ ඇවිත් මගේ ගවුම් කර ඇතුළින් ඇවිත් මගේ පපුව දෑතින්ම මිරික ගත්තා. මම විදුලි සැර වගේ වැදිලා වගෙ වලාකුළු ඇඳෙන් නැගිට්ටුණා. මගේ ගවුම දිය වෙලා ගිහින් ඉණ ළඟටම.. ළමැද තෙරපමින් විළි වහගෙන ඉන්නෙ නාඳුනන අත් දෙකක්. ඒ මා කෙරෙහි අනුකම්පාවෙන් හෝ දයාවෙන් නෙවේ, අශාවක් තුළ කිමිඳෙමින් සහ සාහසික ආනන්දයකින් මා පොළඹවමින් කියල මට දැනෙනවා. ඒත් කවුද මේ ? මට හිස හරවලා මුහුණු අඳුනගන්න ඉඩ නොදුන් අදිසි සත්වයා මගේ සිරුරට පසුපසින් තම දෑත්වල චැඩි චලනය මගෙන් අත් නොහැර මගේ මූණෙ පැත්තකට එයාගේ මූණෙ පැත්තක් තදකරගෙන රහස් කොඳුරන්න ගත්තා

"... ඔයාගෙ හිසකේ මැදින් බෙදලා දිය රැල් වගේ බිමට හැලෙන තැනින් තමයි මගේ කාමය පටන් ගත්තෙ. මොකද මං ඔයාව ඉස්සෙල්ලම දැක්කෙ ඒ කෝණයෙන්. ඉතිං ඔයාට කළින් මට පෙණුනෙ ඔයාගෙ රැළි රැළි හැඩපළු කොණ්ඩෙ.. මේ කොණ්ඩෙ මං කී දවසක් ඉඹල ඇත්ද! මේ කොණ්ඩට මං කොච්චර මල් ගහල තියෙනවද ! ඔයාට ඒ මොකුත් දැනුණෙ නෑ. එහෙම නැත්තං දැනුණෙ නෑ වගේ හිටියා. මං කී දවසක් බලං හිටියාද, තනියම සීමා රේඛාවෙ සෙල්ලං කරන මේ දඟ කෙල්ල කවුද කියල. මාව ඔච්චර ඉක්මනට අමතක කළාද ? මං කිව්වනෙ සීමාව පැනල මට අහුවෙන්න එපා කියල. එතකොට කට ඇද කරලා මට හිනා වුණා නේද සිරියාවී ? දැං නං ඔයාට මාව නවත්තන්න බෑ..."

අදිසි අත්වල පීඩනය වගේම ඒ ගායනාත්මක කටහඬේ අදිසි ශෘංගාරයෙනුත් මාව නොනවත්වා තෙරපුණා. නමුත් සංවේදනා මගේ ඉණෙන් පහළට යන්න කළින් එයාව නවත්ත ගන්න පුළුවන් වුණේ මං එයාට වඩා පරිණත හින්දා. ඔව් මං එයාව අඳුනගත්තා. ඒත් එයාට මෙච්චර හයියක් ඇති කියල මං හිතුවෙ නෑ. අඳුනාගැනීමේ තිගැස්මට මට ආපු වේගෙන් මං එයාගෙ සිපගැනීමෙන් මිදෙද්දිම රතු පාට වලාකුල ඉරිලා ගිහින් වෙන තද දම් පාට වලාකුලක් උඩට මාව වැටුණා. ඒ වලාකුළේ ඇතුළට මම එබුණෙ නෑ. එතනදි මට දැනුණෙ මල් පෙති උඩ පාවෙනව වගේ මෘදු හැඟීමක්. මම හති අරින්න පටන් ගත්තා සැනසීමකින්. ඇයි මේ කවදාවත් නැතුව මෙහෙම ක්ෂණික සහ බරපතල ප්‍රහාර එල්ල වෙන්නෙ. මගේ පුහුණුව මගෙන් ගිලිහිලා ද... තවදුරටත් මං මධ්‍යස්ථ නැති වෙලා ද?

ඔන්න එතකොටම ළා කහ පාට සමනළයො දෙන්නෙක් ඇවිත් මගේ ඇස් පිහාටු උඩින් වැහුවා. දෙන්නම එක පාරට මා සම්බන්ධව ඔවුන් දෙදෙනාට පැවති පූර්ව කොන්දේසියකට අනුකූලව වගේ සමමිතිකව මාව බෙදාගත්තා වගේ හැසිරුණේ. එක්කෙනක් ඇහි පිහාටුවලින් කම්මුල්වලට පියාඹද්දි , අනික් සමනළයත් ඒකම කළා. සමමිතිකව ප්‍රහර්ෂය බෙදී යාම මාව ව්‍යාකූල කරමින් ම උත්කර්ෂයට නැංවුවා. දෙකොපුලෙන්, දෙතොලටත්; දෙතොලින් කණ් දෙපෙති අවටත්, ගෙල දෙපසටත් යනකොටත් මේ කාම සූත්‍රයෙන් ගැලවෙන්න වෙන වලාකුළකට පනිනවද, නැත්තං කෙඳිරියක්වත් නැතුව ඉවසනවද කියල මං ඇස් තද කරගෙන හිතද්දිම, හීන් කෙඳිරියක් මගේ තොල් අතරින් පිටවුණා. ඊ ළඟ මොහොතේ සමනළුන් දෙන්නම මගේ පියවුරු තුඩුවල වහල මාව උරාබොමින්; වර්ණවත් වෙමින්; විසල් වෙමින්, තටු හතරකින් මාව වෙලාගෙන. ඔවුන් මගේ චිත්තක්ෂණ නැවත නැවත පරිභෝජනය කරමින් බැබළෙමින් උමතුවෙන් මෙන් නොනවත්වාම ඔවුන් තුළට මා ඇදගනිමින් ඉන්නවා. ආශ්වාස ප්‍රාශ්වාස වේගයේ තීව්රතාවයට සමගාමීව මගේ අතැඟිලි තුළින් සහ අත්ල මත්තේන් මල් වලාකුළේ මල් පෙති දියවෙමින් මිරිකුණා. ඉණෙන් පහළ තිබුණු ඉතුරු වස්ත්‍ර අතුරුදහන් වෙලා. සංවේදනා සියොළඟම පැතිරිලා. ඒ අතරෙ සුදු කපුටත් පියාඹගෙන ඇවිත් පරසතු මලත් හොටෙන් අරගෙන මගේ නැබ මතින් තියල. ඇයි මේ සියලු සිදුවීම් මෙච්චර අනපේක්ෂිත ? මං සමනළුන්ව විශ්වාස කරා. උන්ට කොහෙන්ද මෙච්චර කාම රාගයක්. උන් බඹරුත් නෙවේ, කපුටොත් නෙවේ... එහෙමයි මං හිතාගෙන හිටියෙ.

පරයෝ ! වන්දනාවෙ යන ගමන් පාර වැරදිච්චි අහිංසකයො දෙන්නෙක් හැටියට පෙනි හිටපු කාම අපරාධකාරයො ! දෙයියනේ මුං දෙන්නටම ඕනෙ වුණේ මාගේ හුස්ම හිරවෙන තරං සෞන්දර්ය තටාකයක මාව ගිල්ලලා මං කෑගහන හැටි අහං ඉඳල විඳින්න. එහෙනං අද ඒක සිද්ධ වුණා. සුදු කපුටත් හීන් සැරේ එයාගෙ අවස්ථාව ගත්තා. මේක හැමෝගෙම කුමන්ත්‍රණයක් ද! මෙතෙක් කල් මං පෙම් නොකළ සිටි හැම පෙම්වතෙකුටම අද මං පැරදිලා. දේශසීමාව අසල මුණගැහුණා හැම පුංචි ජීවියෙක්ම ඇවිත් මගේ ඇඟ පුරාම වහල. එයාල අනුභව කරන්නෙ මගේ ප්‍රහර්ෂය. මට තව දුරටත් ඒක හංගන්න බෑ. මං ඉන්නෙ පාට වලාකුළු මත. මට වෙන කිසිවෙක්ගේ හෝ මගේම කාමය ප්‍රතික්ෂේප කරන්න බැරි තත්වයක් උද්ගත වෙලා. මොහොතකින් මගේ තර්ක බුද්ධිය එහෙම් පිටින්ම නැති වෙලා මම අතාර්කික අවකාශකය පරිපූර්ණ නිදහසට දිය වෙලා ගියා. වලාකුළේ තද දම් පාට පරයා දේදුණු වර්ණ අවකාශයට ඉහෙන්නෙ මගේ චිත්ත තරංගවල උද්දීපනයෙන් බව ඇස් වසා සිටියදීම මං දැක්කා.

කාලය ගැන හැඟීමක් පවා නොපෙනී, නොදැනී ගිහින්. නමුත් යම්කිසි මොහොතක මේ නොනවතින ආස්වදය මැද ක්ෂණිව මට සිල් ගත්තු ඇස් දෙක මතක් වුණා. එයාට මොනව හිතෙයිද ? ! මං එයාගෙ කියල ස්වේඡාවෙන් පත්වීමක් බාර අරං හිටියෙ. එයා නිසා නේද සීමා මායිම් ඉක්මවා නොගියෙ. ඒත් එයා මට දුකේදී පිහිට වුණා විතරයි. මගේ හද ගැඹුරේ උමතු ප්‍රේමයට ඉඩ දුන්නෙ නෑ. ඒත් අද මොකද වුණෙ! මං එයාට ද්‍රෝහි වුණා නේද ? මම භාවනා කළේ නෑ. මම සමතුලිත වුණේ නෑ. මට මේ මොකද වුණේ ලැජ්ජ බය නැවත ඉපදෙමින් හිටියා. තර්ක බුද්ධිය අමාරුවෙන් හිස ඔසවන්නෙ මේ නොනවතින ආස්වාදයේත් සාංකාව ඔප්පු කරමින්. මගේ ඒ සාංකාව සහ ශෝකී තානම ආස්වාදිත ලෙයට මුහු වෙලා අමිහරහක් මවමින් රසෝඝය නවතින්න ඇති. පැණි උරමින් සිටි සමනළයෝ ඇතුළු සියලුම සත්ව ප්‍රජාව කළබල වෙලා මගෙන් ඉවතට ගියා.

මේ සා විසල් ප්‍රමෝදයකට පසුත් මගේ ඇස්වලට පුළුවන්ද ශෝකී කඳුළු උපද්දන්න. මාව බේරගන්න කියල මට කෑ ගහන්න ඕන වුණත් මගේ කටින් කිසිම සද්දයක් පිටවුණේ නෑ. බේරගන්න තරං තව ඉතුරු වෙලා නෑ. හෘද මාංසය හැර අනෙක් සියලුම දේ අසම්මතයෙන් උරා බිව්වා. ආයෙ කවදාවත් සිල්ගත්තු ඇස් මා කෙරෙහි යොමු වෙන එකක් නෑ.

"බේරගන්න දෙයක් තියෙනවා. හෘද මාංසය ඉතුරුයි. හෘද සාක්ෂියත් ඉතුරුයි. අවුරුදු ගාණක පුහුණුවත් ඉතුරුයි. ඇයි මේ පුංචි දේකට කළබල වෙලා..."

දම් පාට වලාකුළ උඩට සිල් ගත්තු ඇස් ඇවිදින් එයාගෙ උතුරු සළුවෙන් මාව වහළ එයාගෙ නිවී සැනසුණු කටහඬ අවදි කළා. දෙයියනේ මේ මුළු වෙලාවෙම එයා මව නරඹල ද ? මගේ දැනුණු පාපතර, නිර්ලජ්ජී ස්වභාවය එයාගෙ උතුරු සළුවෙනුත් විනිවිද පේනවා. මට කතා කරගන්න බැරිවුණා. එයාට මගේ හිත පේනවා. මං කතා කළත්, නොකළත් එයා මගේ හෘද සාක්ෂිය විනිවිදිනවා. කෙනෙක් සිරුර විනිවිදින එක ඇත්තටම ප්‍රශ්නයක් නෙවේ, කෙනෙක් මගේ හිත විනිවිදින එක? මට ඒක දරාගන්න බෑ. හිතේ තියෙන තුවාළ කැළැල් දකින එක තමයි ලෝකෙ තියෙන ලොකුම අපහසුව.

"චිත්තක්ෂණ ගණනාවක් ඔයා හිත තුළ කෝටි ප්‍රකෝටි තත්පර ගණනකට විස්ථාරණය කළා. ඔයා හිතපු මහා වෙලාවක් ඒකට ගියෙත් නෑ. ඒක හරිම පුංචි දෙයක්. වවාගෙන කන්න ඔයා හරි දක්ෂයි, ඇතම්විට පැළ නොවූ දේ පවා. ඒ වගේම මේ තාම දෙවන අවස්ථාව. ඔයාට තව අවස්ථා තියෙනවා. ඒත් තාමත් ඔයා තුළ ශුද්ධ වූ අංශුමාත්‍ර බැබළෙමින් තියෙන බව පැහැදිළියි. ඒ නිසයි උමතුවක කෙළවර හෝ සිහිය මතු කරගන්නෙ... ප්‍රමුදිතභාවය තුළත් අපේක්ෂා භංග වෙන්නෙ..."

මම නැවතත් තාප්පය උඩ ප්‍රියතම ඉරියව්වෙන්.

ඇත්තටම ඒක පුංචි දෙයක්ද ?

මම දන්නෙ නෑ. කණාමැදිරියො මල් වට්ටි කීපයක් පිරෙන්නම මගේ කඳුළු එකතු කළා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Sinhala Katha, Sri Lankan Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මනූෂා ප‍්‍රභානි දිසානායකගෙන් තවත් වියමන්
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කතන්දර
මාස තුනක් සහ එක දවසක්
කතන්දර
පස්සෙන් යෑම
කතන්දර
රම්‍ය, සුරම්‍ය, සුබ සහ ජයම්පති
කතන්දර
උස් මිටි
තවත් කතන්දර බූන්දි
සරසවි ශිෂ්‍යයාගේ මරණය
රා ත්‍රි ය
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
ඉරණවිල එළිය
දොළොස්දාහක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook