Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
බූන්දි, 05:33:10
(ඉරුදින පුවත්පත වෙනුවෙන් සංඛ රඹුක්වැල්ල, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් සමග කළ සාකච්ඡාවකි.) "මට සිංහල ඉගැන්වූ දමිළ ගුරුවරයා පන්තියේ හැමෝගෙන්ම ඇහුවා තමන් ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. ගොඩක් අය දොස්තරලා, ඉංජිනේරුවන් වෙනවා කියලා කීවා. කිවුවා වගේම ගොඩක් අය එහෙමවුණා. මගෙනුත් ඒ ප්‍රශ්නයම ගුරුතුමා ඇහුවා. ගොඩක් අය මගේ දිහා බලන් හිටියා. මොකද මම තමයි පංතියේ දක්ෂතම ශිෂ්‍යයා. මම ගුරුතුමාට කීවා මම මනුස්සයෙක් වෙනවා කියලා. මගේ දිහා ටිකක් වෙලා බලන් හිටිය ගුරුතුමා 'උඹ කවදාහරි හිතහොඳ අන්ත දිළින්දෙක් වෙනවා' කීවා." මේ කතාව එක්තරා පුවත්පතකට පුද්ගලයෙක් අකුරු කරනවා. ඔහුගේ අකුරු ඔහේ සුළඟේ පාවෙලා යනවා මිසක කවදාවත් ඔහු සමඟ ඔහුගේ රූපය සහෘදයා අතරට එන්නේ නෑ. අද වචන සහ රූපය සහිතව ඔහුගේ ආත්මය ඉරුදින පි‍ටු අතරින් එළියට පනිනවා. ඔහු කවි දහස් ගණනක් ලියූ එහෙත් එක් කවියක්වත් පළ නොකළ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ය. ධර්මසිරිගේ පළමු කාව්‍ය සංග්‍රහය වන "මයෙ අම්මෙ යමු යංඩ" 2016, සැප්තැම්බර් 15, කුලියාපිටියේදී නිකුත්වීමට නියමිතය.

එදා ගුරුතුමා කීව කතාව අද කොයිතරම් දුරට සත්‍යක් වෙලා තියෙනවද? අපි එතනින්ම කතාව පටන්ගමු.

එක්තරා දවසක මට අපේ ඉස්කෝලේ සිංහල උගන්වන දෙමළ සර් කීවා "උඹ කවදාහරි සංවේදී මනුස්සයෙක් වෙනවා" කියලා. ඒ වාගේම කියාපු අනාවැකිය තමයි "උඹ කවදාහරි උඹේ හිත හොඳකම නිසාම අන්ත දුප්පතෙක් වෙනවා කියන එක. අද ඒ අනාවැකියත් සත්‍යයක් වෙලා. ඔබ දන්නවා මා "මිනිසෙක්" හැබැයි. අන්ත දිළින්දෙක්.

ඔබ කම්කරුවෙක්, දුෂ්කර ක‍ටුක ජීවිතයක් ගතකරන්නෙක්. මේ ක‍ටුක ජීවිතය ඇතුළේ කොහොමද ඔබ අතින් සුමට කවියක් නිර්මාණය වෙන්නේ? ඔබ කවියට අත්පොත් තබන්නේ කොහොමද?

මට තියෙන්නේ විඳින ජීවිතයක් නෙවෙයි. බොහෝවිට විඳවන ජීවිතයක්. ඒ අතරින් තමයි මේ සුමට සංවේදී කවිය ලියවෙන්නේ. ඒ කවිය අනුවේදනීය ඇති. මට දැනෙන මාව රිදවන දේ මම ලියනවා. මිනිසුන්ගේ දුක වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ මම දුක් විඳින පීඩිත පංතියේ මිනිසෙක් නිසා. මගේ ජීවිතය මට බලකරන්නේ මිනිසුන්ගේ පීඩාව පිළිබඳව පද ගලපන ලෙසට. මගේ කාර්යභාරයත් ඒකයි. මම ඉපදිලා ඉන්නේ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් පෑන හසුරවන්න. ඒ නිසා මම දරිද්‍රතාවය, සමාජ අසාධාරණය, අවනීතිය, අයුක්තිය හා මර්දනය වෙනුවෙන් දැඩිව ඒ දේවල් වලට විරෝධය පාමින් පෑන හසුරුවනවා. මම එහිදී මගේ ජීවිතය දෙවෙනි කොට සලකන්නේ. මගේ පංතිය වෙනුවෙන් මට ඒ දේ කරන්න පුළුවන්. මගේ කවිය බොහෝදුරට ඔබට දැනෙන්නේ මේ සුපසන් කර්තව්‍ය නිසා වෙන්න පුළුවන්. ඇත්තටම මගේ කවිය පටන්ගන්නේ පීඩිතයාගේ දුක මට දැනෙන්න පටන්ගත්ත දවසේ ඉඳන් කීවෝත් මම නිවැරදී.

ඔබේ කවි වල තියෙන විශේෂත්වයක් තමයි ඔබ යොදාගන්න භාෂාව. වියත් බස් වහරකට නොගොස් එදිනෙදා ජීවිතයේ මුණගැහෙන වචන එක්ක ඔට්‍ටුවෙන්න ගන්නවා?

මම බොහෝවිට කාව්‍යකරණයේදී වියත් බස්වහරක් යොදාගන්නේ නෑ. මගේ කවිය ආචාර්ය මහාචාර්යවරුන්ට නෙවෙයි. ඒක සාමාන්‍ය පොදු ජනතාවට විතරයි. ජනතාවට ලියද්දි විශේෂයෙන්ම පීඩිත පංතියට ලියද්දි ඔවුනට දැනෙන හැ‍ඟෙන තේරෙන භාෂාවකින් ලියන්න ඕන. සාමාන්‍ය ජනතාව කවිය ගැන ආශක්ත නැත්තේ කවිය නොතේරෙන නිසයි. ඒක මම අත්දැකීමේන් දන්න දෙයක්. මොකද මම කවි දහස් ගණනක් ලියපු එකෙක්. මම ඒකෙන් කියන්නේ හෝ හඟවන්නේ නෑ සම්භාව්‍යය සාහිත්‍යය අපිට අවැසි නෑ කියලා. එතන අපේ අක්මුල් තියෙනවා. නමුත් සමාජය වෙනස් කිරීමට අපිට කාලීනව ගතයුතු පියවර හා ක්‍රමෝපායන් තියෙනවා. මම ඒක ග්‍රහණය කරගත්තු කෙනෙක්. මගේ කවිය මිනිස්සුන්ට හැ‍ඟෙන්නේ දැනෙන්නේ ඒකයි. මිනිහෙකුට සැබෑ කවි ලියවෙන්න "කෙළවෙන්නම" ඕන. ඒවාගෙම ඒ කවි කියවන කෙනාටත් "කෙළවෙලා" තියෙන්න ඕන. අපි දෙගොල්ලටම ඒ දේවල දේශපාලකයින්ට පිං සිද්දවෙන්න ලැබිලා තියෙනවා. ලංකා දේශපාලනය ජඩ හා අධම දේශපාලනයක්.‍ රැවටිලිකාර දේශපාලනයක්. එතනදි මේ මායාව විධාරණය කිරීම සඳහා උචිත බස් වහරක් හෝ උචිත භාෂාවක් යොදාගත යුතුයි. මම වගවෙන්නේ පීඩිතයාට අවශ්‍ය කාරණාව දැන්වීමට විනා ඊට අවශ්‍යය සබුද්ධික හෝ මටසිළු‍ටු භාෂාවක් නෙවෙයි. ඒ නිසා භාෂාව පිළිබඳව මට ප්‍රශ්නයක් නෑ. මට අවශ්‍ය කියවන කෙනාට මේක දැනුනද තේරුණාද කියනඑක විතරයි

ගොඩක් වෙලාවට ඔබේ කවිය ඇතුළේ දුක කැටි කරන්න ඔබ වැඩි ඉඩක් වෙන්කරනවා. මේකට හේතුව මොකක්ද?

මගේ කවි වල ගොඩක් වෙලාවට පවතින්නේ දුක. මේ රටේ සමස්තයක් ලෙස ගත්තොත් හතරෙන් තුනක් දුක් විඳින්නේ. ඒ අතර මමත් එක් අයෙක්. ඒ දුක විඳින අයගේ ශ්‍රමයෙන් තමයි සැප විඳින අතළොස්සක් බිහිවෙලා තියෙන්නේ. ඉතින් මා ලිවිය යුත්තේ මා සමඟ බහුතරයක් සිටින "දුක" පාර්ශවයේ හිටගෙන. ඒ නිසා බොහෝවිට මගේ කවියේ පවතින්නෙම මිනිස්සුන්ගේ දුක වේදනාව හෝ පීඩාව. සැපක් ගැන ලියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මම සැප විහරණය අත්හළ අයෙක්. දුක සමඟ ස්ථානගත වෙච්ච කවි කුරු‍ටුගාන්නෙක්.

එහෙම කුරු‍ටුගාලා නිර්මාණය කරගත්ත ඔබේ කවි ඔබ අතින් බිහිවුණාට පස්සේ ඒවා හිස් අවකාශයට මුදා හැරලා ඔබ පැත්තකට වෙනවා, ඔබ ඔබේ කවිය පි‍ටුපස ඉඳලා තල්ලුවක් දෙන්නේ නෑ ඔබේ කවියට. පෞද්ගලිකව ඔබට ප්‍රසිද්ධ වීමට හෝ කවිය මිනිසුන් අතරට ගෙනයාමට?

මගේ කවිය ප්‍රසිද්ධ වෙන්න හෝ වාර්තාගතවෙන්න ඕන කියන තැන මම නෑ. සම්මාන සම්මන්ත්‍රණ සඳහා මගේ කවිය ඉලක්කගත වියයුතුයි කියලා ස්ථාවරයක මම නෑ. ජනතාව අතරට පලයං කියලා මම කවිය පස්සේ ඉඳගෙන තල්ලු කරන්නේ නෑ. ඒත් මේ රටේ මිනිස්සු මගේ කවිය උදුරාගන්නවා. මම ලියනතුරු ඉන්නේ නෑ. ඔබට තේරෙනව ඇති මිනිසුන් මොනතරම් දුක්බරවද ඉන්නේ කියලා. මාව මඟතොටේදී බදාගෙන මිනිස්සුන් මට කියන්නේ ඒක. මම ඔවුන් සමඟ වැළපෙමින් මේ සමාජ ක්‍රමය වෙනස් කළයුතු සටන් ස්වරය සොයනවා. මම හිතන්නේ ඒක සද්කාර්යයක්. ඕනෑම කලාකරුවෙකුට තිබිය යුත්තේ මේ ස්ථාවරයයි. මට සල්ලි ඕන නෑ. අවුරුදු ගාණක් මට කන්න අදින්න දුන්නේ ඉන්න හිටින්න දුන්නේ මේ දුප්පත් පීඩිත මිනිසුන් තමයි. ඒ නිසා මම ඔවුන්ගේ ජීවිතවලට වගකිව යුතුයි. ඔවුන් මේ නරාවලෙන් ගොඩ ගතයුතුයි. ඒක මගේ වගකීම. ඒ නිසා මගේ කවිය ප්‍රසිද්ධ විය යුතුයි කියන ප‍ටු අදහසේ මම නෑ. මාව කියවනවා. ඒ ඇයි කියලා මම දන්නවා. ඔබ ඒ ඇයි කියලා හඳුනාගත යුතුයි.

ඔබ දුක් විඳින මිනිස්සුන්ගේ සංවේදීත්වයයි ස්පර්ශ කරන්නේ. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ආත්මයයි ඔබේ කවිය තුළ කැටයම් වෙන්නේ. ඔබ කියන ආකාරයට ඒක කඳුලෙන් උපන් කඳුළු කැටයමක්. පීඩිත සාමාන්‍යය ජනයා ඔබේ ලියවිලි වලින් තව තවත් මානසික පීඩනයට පත්වෙනවා කියලා මම කීවොත්?

මගේ කවිය ඇතුළත පීඩාවෙන් සිටින අයෙකුට පීඩනයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණය මම නිශේධනය කරන්නේ නෑ. මිනිස්සු ඝණීභවනය වෙලා ඉන්නේ. ඔවුන් හිරිවැටිලා. මේ ධනවාදය ඇතුළේ ඔවුන් ගල්වෙලා. මම පළමුව ඔවුන්ගේ ස්නායු පණගහන තත්ත්වයකට ගෙන ආ යුතුයි. ඔවුන් හිරි වැටිලා ඉන්නේ. ඔවුන් ඉන් මුදාගත යුතුයි. ඉන්ද්‍රීන්,ස්නායූන් හරියට වැඩ කළොත් මිනිස්සුන්ගේ මොළයත් වැඩ කරයි. මිනිස්සු ඔළුවෙන් වැඩ කරන අයුරු දැනට විහිළු සහගතයි. ඒව අපිට මැතිවරණවලින් මොනවට පැහැදිළි වෙනවා. බලන්න මිනිසුන් පාර්ලිමේන්තුවට පත්කරලා යවන මිනිස්සුන්ගේ පැටිකිරිය සහ ඔවුන් ක්‍රියා කරන ආකාරය. පුදුමයි නේද ? ජුගුප්සාජනකයි නේද? හරිම ග්‍රාම්‍යයි නේද? ඉතිං ජනතාව කරන කියන දේ ජනතාව දන්නේ නෑ. අප ඔවුන් සවිඥානික කළ යුතුයි. ඔවුන් සබුද්ධික කළ යුතුයි. ඉතින් මේ හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුට, සිමෙන්ති අදින එකෙකුට ඒක ටිකක් වෙහෙසකරයි. නමුත් මම ඒක කරනවා. මම ඒක හතරෙන් තුනක් කරලා ඉවරයි. ගල්වලවල් ගානේ, හාඩ්වෙයාර් ගානේ, වැඩපලවල් ගානේ මම රස්සාකරමින් මේ කරන්නේ ඒකයි. කවි ලියන එකෙකුට කරන්න පුළුවන් උපරිම මම කරනවා. ඒ නිසා මිනිස්සු කම්පනය කිරීම පිළිබඳ කිසිවෙකු කම්පිත විය යුතු නෑ.

කවියෙකුට ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය මෙන්ම පරිකල්පනයත් කොයිතරම් වැදගත් ද සහෘදයාට සාධාරණයක් ඉ‍ටු කිරීමට?

සහෘදයාට සාධාරණය ඉ‍ටු කිරීමට පරිකල්පනය ඉතාමත් වැදගත්. මම කවි ලියන්නේ එක පාරයි. කැපිලි කෙටිලි හැදිලි මොනවත් නෑ. මම බලනවා ඒ ලියන එකෙන් මාව කම්පනය වෙනවද කියලා. මම කවිය ලියද්දි එහි තේමාව ගැන පතුළෙන්ම හිතෙනවා. මගේ කවිය එන්නේ ඔළුවෙන්වත්, බොක්කෙන්වත් නෙවෙයි. කෙලින්ම පපුවෙන්. බරපතල විදිහට සිගරට් බිව්වට මගේ පපුව තවම හොඳයි. මට ඒකට සමාවෙන්න. පරිකල්පනය මට නිරායාසයෙන්ම එනවා. කවියක් ලියන්න ගත්තම මට ඊට අවශ්‍ය ආවේණික ආවේශයක් පපුවට කඩා වදිනවා. මම දන්නේ නෑ ඒකට හේතුව. ඔබ ඒකට ප්‍රතිභාව කියනවා ඇති. නමුත් මේ ප්‍රතිභාව නෙවෙයි. පැහැදිළිවම "කෙළවීම".

එහෙම ගොඩ නැගෙන හෝ ගොඩ නගන පරිකල්පනය මිනිස්සුන්ට තේරුම්ගන්න අපහසු නම්, සහෘදයාගේ අසාර්ථකත්වයේ වගකීමෙන් බාගයක් කවියටත් වැටෙනවා නේද? මොකද සාහිත්‍යයේ හෝ වේවා කවියේ හෝ වේවා ඔබලාට අයත් සමාජ වගකීම හරි හැටි ඔබලා විසින් සිදු නොකිරීම මත මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා මම කීවොත් ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

ඇත්තටම බොහෝ දේවල් ග්‍රහණය කර ගැනීමට මිනිස්සුන්ට හැකියාවක් නෑ තමයි. මොකද කවි ලියන පිළිවෙල, තේමාවන් එක එක කවියගෙන් කවියට වෙනස්. කවියන්ට සමහර ප්‍රාර්ථනාවනුන්ත් ඇති. සමහරු බැබලෙන්න කවි ලියනවා ඇති. සමහරු ඉදිමෙන්න ලියනවා ඇති. සමහරු කවියෙන් වන්දිභට්ටකම් කරනවා ඇති. රජුන් වර්ණනා කරනවා ඇති. දොර‍ටුපාලකයන් හෝ ඇමතියන්වත් වනනවා ඇති. අපි කවිය කුමක් සඳහා ද සහ කා සඳහාද යන්න වටහාගත යුතුයි. පහුගිය කාලයේ කවිය පණ ඇද්දා. කවියේ බෙල්ල මිරිකුවේ අපේ මිනිස්සුම තමයි. ඒත් ඇතුළාන්තයෙන් කවියට ඔක්සිජන් දුන්නා ඒ පිළිබඳව බොහෝ ආධුනික කවියන්ට ස්තූතියි. හැබැයි ඒ මිනිස්සුන්ට දැනෙන හැ‍ඟෙන දේ ලියපු අයට පමණයි. ජනතා අභිලාෂය තේරුම්ගන්න. ඔවුන් ගලවාගත හැකි නව මානයන් හෝ ඉසව් ඇතුළත් දේ නිර්මාණය කරගන්න. ඒක කවියන්ගේ වගකීමක්. වෙනදට වඩා අද දවසේ කවිය ප්‍රාණවත්ව නැගී සිටිනවා. අපේ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා කියනවා වගේ කවිය ප්‍රාණවත්ව සෘජුව නැගී සිටිනවා. මං හිතන්නේ ඔබට සතු‍ටු ඇති දැන්.

සංස්කෘතිය, ආගම, ජාතිය හා ලිංගිකත්වය යන කාරණා නිසා කවියන් අත දිගෑරලා ලියන්නේ නැති තත්ත්වයක් තියෙනවා නේද? කවියන් ස්වයං වාරණයක් තුළට කො‍ටුවෙලා තම නිර්මාණකරණයේ යෙදී සිටිනවා නේද වර්තමානයේ?

කවිය සංස්කෘතියට හෝ සදාචාරයට කො‍ටුවෙන්න අවශ්‍යය නෑ. මොන මඟුලක් ලියලා හරි මේ මිනිස්සුන්ව මේ මඩගොහොරුවෙන් එළියට ගතයුතුයි. පාර්ලිමේන්තුවේ කියනතරම් කුණුහරුප කවිවල කියවෙන්නේ නෑනේ. මගේ තියෙන්නේ අමුම අමු කවි. මට බරසාරව සාහිත්‍යයෙන් කවි ලියන්න බැරිකමක් නෑ. මං එහෙම ලියලා තියෙනවා. එහෙම කවියක් ලියවුණු දවස් වලට මා වටා හිඳින පීඩිත මිනිසුන් වෙනදා වගේ නැතුව අහක බලන් යනවා. හේතුව කවිය එයාලට තේරිලා නෑ. මට පුදුම විදිහට ඒ වගේ අත්දැකීම් තියෙනවා. මම තේරුම් අරන් තියෙනවා. මේ ක්‍රමය බිඳින්න හෝ මිනිසුන් ඥානනය කරන්න ලියන්න ඕන අමුවෙන්මයි කියලා. මේක ජනතාවාදී ක්‍රියාවක් මිස සාහිත්‍යප්‍රේමී ක්‍රියාවක් නෙවෙයි. මට ඕන කොහොම හරි මගේ දුක් විඳින මිනිස්සු ගොඩගන්නයි. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒ නිසා මට බණින්න, විවේචනය කරන්න, ගල් ගහන්න, මම ඒ ගල් ආපහු අරන් ඔබට ගහන්නේ නෑ. මොකද මට සමාජ කාර්යභාරයක් තියෙනවා. මොන අඩන්තේට්ටම් විඳගෙන හරි මම මගේ වගකීම කළ යුතුයි. ඒ වෙනුවෙන් මම බැඳී සිටිනවා. ඒ නිසා මට අහිමිවන දෙයක් වේද ජීවිතය පවා අහිමිවෙද්දෙන්. මම මගේ කොටස සම්පූර්ණ කරනවා.

කවියෙක් විදිහට ඔබට අනූව ආදරය විඥානවාදී ද යථාර්තවාදී ද?

මට ආදරය යථාර්තවාදීයි. මම ආදරය කරන්නේ මස් වලට නෙවෙයි. හදවත්වලට. මම ගවුම් ගලවන එකෙක් නම් මේ වන කොට මගේ කවියට ආශක්ත වුණ ගෑණු, කෙල්ලෝ කී දෙනෙක් මට හමුවෙලා තියෙනවද? ආදරය මම විග්‍රහ කරන්නේ පොදුවේ. ආදරය කළයුත්තේ පීඩිතයන්ටයි. මොකද ඔවුන්ට ආදරය සතුට සැනසුම හරි ඈතයි. ජනතාව ආදරය කළ යුතුයි. මිනිස්සු මිනිස්සුන්ට යථාර්තවාදීව ආදරය කළානම් මේ විදිහට සමාජය අපවිත්‍ර වෙන්නේ නෑ. මම දෙමළාට ආදරෙයි, මුසල්මානුවාටත් ආදරෙයි. සිංහලයාටත් ආදරෙයි. ආදරයේ බෙදුම් රේඛාවක් ඇත්තෙම නෑ මට. මට තියෙන්නේ එක පපුවයි. එක හෘදයවස්තුවයි. එයින් මම නොවෙනස්ව සදාතනිකව ලෝකයට ආදරෙයි. එයිනුත් වැඩියෙන්ම පීඩිත පන්තියට.

කවියෙකුට පුළුවන්ද විරහවත් ආදරය විදිහට විඳින්න?

මම හිතන්නේ සංවේදීම ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. කවියෙකුට බරපතලම ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. විශේෂයෙන්ම මාව කීරී ගස්සන ප්‍රශ්නයක් ඔබ වමනය කළේ. මාව උදාහරණයකට ගන්න. මම විරහව ආදරණීය විදිහට විඳින පුද්ගලයෙක්. මගේ ගෑණි මාව දාල ගිහිල්ලා ගොඩාක් කල්. එයා එයාගේ කූඩුව සවිමත්ව ශක්තිමත්ව හදාගෙන ඇති. ඉතින් මේ සිස්ටම් එක ඇතුළේ එයා උත්තරයක් හොයාගත්තා. මම ඒ උත්තරයට එරෙහිවෙන්න බෑ. මම ක්‍රම විරෝධියෙක්. මම මේ ක්‍රමය ඇතුළේ එයාට වෛර කරන්නේ නෑ. මොකද මම එයාට ආදරේ නිසා. එයා ළමයි හත් අටදෙනෙකුත් හදාගෙන බඩකුත් අරන් ආවොත් මම එයා අළුත් මනමාලියක් විදිහටමයි බාරගන්නේ. මම කවි ලියන එකෙක්. මම ලෝකයට ආදරය කරන කෙනෙක්. හරිම සංවේදී අයෙක්. මගේ කවිය තියෙන්නෙම එතන. ආදරය වෙන මොනයම් කාරණා සම්බන්ධයෙන් හෝ ලඝු කරන්න බෑ. ඒක හැඟීමක්. මට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරියක් වීසා පවා එව්වා එයත් එක්ක ජීවත්වෙන්න. පුංචි කෙල්ලෙක්. අවුරුදු 28 යි. මට දැන් අවුරුදු 48 යි. මම අන්ධ නෑ. මගෙන් මිනිස්සුන්ට ඉ‍ටුවිය යුතු මෙහෙවර සුවිශාලයි. සැබෑ ලෙසම මේ ලොකේ විරහව ආදරණීය විදිහට විඳින කවීන් ඉන්නවා. ඒ අතර ඩොමිනික් ගෙයි බෙනඩික් ගෙයි ලොකු වෙනසක් නෑ. බලන්න අපෙන් බිහිවන ඒ හා සබැඳි මාතෘකා. ඔබව රිදවනවා නේද? ඒ වුණාට අපි ඒවා ආදරණීයව විඳගන්නවා. අප සැලිය යුතු නෑ. මොකද අපි සටන් පෙරමුණට යන්න ඉන්න මිනිස්සු. පපුව වෙව්ලුවොත් කොඩිය බිම වැටෙයි.

අපි ආදරයෙන් දේශපාලනය දෙසට හැරෙමු. ඔබ වාමාංශික දේශපාලන මතවාදය සමඟ ඉතා සමීපව සිටි අයෙක්. වර්තමානය තුළ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය දරුණු බෙලහීනතාවයකට පත්වෙලා තියෙනවා. දැන් ඔබ ඉන්නේ කොතනද මේ තත්ත්වයන් එක්ක?

ඔබ කියන ආකාරයට වාමාංශික ව්‍යාපාරය යම් තරමක් දුරට යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ තරමටම මේ ධනවාදී ආර්ථික ක්‍රමය මිනිස්සු ගිලගෙන ඉවරයි. අපට නව මානයක් සොයාගන්නට වෙයි. ඒ තුවක්කුවෙන් නෙවෙයි. කලාවෙන්. කලාව හරි සුන්දර සංවේදී දෙයක්. අපිට අපේ රටේ ජනතාව බිම් මට්ටමේ ඉදන්ම ඥානනය කරන්න වෙයි. ඔවුන් හරියට මැෂින් වගේ වැඩ කරනවා. ගෙදර එනවා, නිදාගන්නවා. කියවන්න වත් වෙලාවක් නෑ. මානුෂීය සබඳතා ගිලිහී ගිහින්. ධනවාදය ඔවුන් මරා දමලා ඉවරයි. වාමාංශික ව්‍යාපාරයට තියෙන වගකීම බොහොමයි. මෙහෙම බල බලා ඉඳලා බෑ. සැබෑ කලාකරුවන්ට තමන්ට ආදරය කරන මිනිසුන් මැරිලා යනවා බලාගෙන ඉන්න පුළුවන් ද, මට ඒක බෑ. මිනිස්සුන්ට දේවල් වටහා දිය යුතුයි. වාමාංශික ව්‍යාපාරය තවදුරටත් සක්‍රීය වෙමින් බලවත් වෙමින් සංවිධානය වෙමින් ස්ථානගත විය යුතුයි. නැත්නම් කිසි දේක ඵලක් නැතිවෙයි. අඳ ගොළු බිහිරි ජනතාවක් දේශපාලනික පැත්තෙන් බිහිවෙයි. දැනටම මේ ඇති තත්ත්වයන්ට අපි වගකිව යුතුයි. වාමාංශික ව්‍යාපාරය පණ ගසා නැගිටිය යුතුයි යන ස්ථාවරයේ මම අදටත් ඉන්නේ.

ලංකාවේ මිනිස්සුන්ගේ බහුතරයක් තවමත් ඉල්ලන්නේ උඩු ‍රැවුලක් තියෙන දේහධාරී මනුස්සයෙක් රටේ නායකයා විදිහට. රාජ්‍ය පාලනයේ පවතින සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත් මිනිස්සුන්ට ඕන පෙනුමට ඉන්න පංචස්කන්ධයක්. ආඥාදායක පාලන ක්‍රමයක්.ඇයි මිනිස්සු වැඩවසම් මානසිකත්වයෙන් මිඳිලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය වැළඳගන්න අකමැති?

ලංකාවේ මිනිස්සු දේශපාලනික වශයෙන් සවිඥානික නෑ. ඒක මම අමුතුවෙන් පහදන්න දෙයක් නෑ. රියලිටි තරුත් ඡන්දය ඉල්ලපු රටක් මේක. මිනීමරුවොත් ඡන්දය ඉල්ලපු රටක් මේක. හරක් හොරුත් ඡන්දය ඉල්ලපු රටක් මේක. ඒ හැම කෙනාටම කිසිම වගවිභාගයකින් තොරව මනාප ගහන මිනිස්සු සිටින රටක් මේක. ඒකයි මම මුලින්ම කීවේ ජනතාව දැනුවත් කළ යුතුමයි කියලා. ඒක තමයි වාමාංශික ව්‍යාපාර වලට තිබෙන කාර්යභාරය. ඔවුන් ඒ වගකීම කරට ගත යුතුයි. අපේ ඡන්දදායකයා සාම්ප්‍රදායිකයි. අම්මා තාත්තා ශ්‍රී ලංකා නම් පුතයි දුවයි දෙන්නත් ශ්‍රී ලංකා. සීයයි ආච්චී යූඑම්පී නම් මුණුබුරාලත් යූඑම්පී. නිවැරදි වැඩ පිළිවෙලකට මානවාදී දේශපාලඥයන්ට මේ කොදෙව්වේ ඉඩ වෙන්වෙලා නෑ. ඒක අශෝභනයි, අනුවේදනීයයි. ජනතාව දැනුවත් කළ යුතුයි. කලාවෙන් එය කළ යුතුයි. කලාකරුවන් බුද්ධිමතුන් මේ කරුණ ග්‍රහණය කරගත යුතුයි. නැත්නම් අපිට අනාගතයක් නෑ.

දැනට ලංකාවේ පවතින තත්ත්වය අනූව පෙනීයන්නේ ජාතිවාදය කියන්නේ දේශපාලනයේ නැතිවම බැරි අංගයක් හැටියට. එක් පැත්තකින් ජාතිවාදී හැඟීම් එක්ක මිනිස්සු අත් ඔසවනවා. අනෙක් පසෙන් තවත් කොටසක් සහජීවනය වෙනුවෙන් අත් ඔසවනවා. මේ තත්ත්වයන් එක්ක සංහිඳියාව අපිට තව කොයිතරම් දුරයි ද?

"දෙමළා වුණත් විරුවෙකු නම් පු‍ටුව දෙනු" කියලා නන්දා අක්කා කියනව මට ඇහිලා තියෙනවා. මම ජනතාවගේ පැත්තේ හිටගෙන කවි ලියන එකෙක්. ඒ ජනතාව මම බෙදා වෙන්කරගන්නේ නෑ. දෙමළ සිංහල මුස්ලීම් බර්ගර් මේ හැමකෙනෙක්ගෙම එකම කැවුත්තක් තියෙන එකම සීරිගෙඩියක් තියෙන මිනිස්සු. මම මෙහෙම ලියන්නේ සුමටව මේක ලීවොත් මිනිස්සුන්ට දැන්නේ නෑ. අපේ ලේ එකම පාටක්. අපි ලාංකිකයෝ. අපි මරාගත යුතු නෑ. අපි මැරෙයි. පාලකයෝ වයින් බොයි. අපි එහෙම ‍රැවටෙන්න ඕන නෑ. සිංහල දෙමළ මුස්ලීම් අපි සේරම එකතුවෙලා අපේ ජීවිතය අද්දර තියෙන ගැටලු වලට පිළිතුරු හොයාගන්න ඕන. අපිට ඕන උත්තර දෙමළ මිනිස්සු ළඟ ඇති. මුස්ලීම් මිනිස්සුන්ට අවශ්‍යය සහනය උදෙසා අපිට එකමුතුවෙන්න පුළුවන් වේවි. දෙමළ මුස්ලීම් ජනතාව අපේ සහෝදර ජනතාව. එයාලගේ පපුවේ හඬත් අපේ හඬ වගේමයි. අපි හැමෝගෙම පපුවෙන් එන මළ බෙර හඬට අපි උත්තර සෙවිය යුතුයි. අපිට සංහිඳියාව අවශ්‍යයයි. අනෙක් ජාතීන්ට අපි වග විය යුතුයි. ඔවුන් නැතිව මටනම් ජීවත්වෙන්න බෑ. මොකද මම මේ හැමෝම වෙනුවෙන් කවි ලියන එකෙක්. තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් වදින මිනිහා මහා වීරයෙක්. ඒ අර්ථයෙන් මට විජේවීර සහෝදරයත් එකයි ප්‍රභාකරන් නම් සටන්කාමියත් එකයි. කවි ලියන එකෙකුට ජාතිවාදියෙක් වෙන්න බෑ. වර්ගවාදියෙක් වෙන්න බෑ. ඔහු පෙනී සිටිය යුත්තේ සමස්ත ජනතාව වෙනුවෙන්.

එහෙනම් අවසාන වශයෙන් "මයෙ අම්මෙ යමු යංඩ" ගැනත් වචනයක් කියලා මේ කතාව අදට අවසන් කරමු.

මම කවි පොතක් කළා. මං දන්නේ එපමණයි. අවුරුදු තිහක් තිස්සේ මම ලිව්වා. ලියනවට වඩා වැඩි දෙයක් මම මගේ ජනතාවට ඉ‍ටු කළා. මගේ කවියේ හැංගිලා ඉන්නේ පීඩිත මිනිස්සු. ඔබට වැටහේවි පොත දැක්කම. මේක මාර්කට් කිරීම කියලා වරදවා හිතන්න එපා. මොකද මම මුදල් මත යැපෙන මිනිහෙක් නෙවෙයි. ඔබ ඒක හොඳින්ම හොයලා බලන්න. එහෙම මුදල් හොයනවානම් මට කවි පොත් දහයක් විතර එළිදක්වන්න තිබුණා. ඒ තරමට මගේ ළඟ කවි ඇති. ඔබට පොත මතකනේ. "මයේ අම්මෙ යමු යංඩ". 2016 සැප්තැම්බර් 15 බ්‍රහස්පතින්දා, කුලියාපිටිය, මීගහකො‍ටුව ශිල්ප ශාලිකාවට පස්වරු දෙකට එන්න. මම ඉන්නවා ඔබේ දහඩිය සුවඳ ඇති දෑත සිපගන්න. බණින්න ඕනනම් 0771663752 අංකයට අංකනය කරලා මට බණින්න. මොකද ජනතාව වෙනුවෙන් ලිව්වානම් අම්මට බැණුම් අහන්න සැදී පැහැදී සිටිය යුතුයි.

(උපුටනය- 'ඉරුදින' පුවත්පතෙන්)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් සූකිරි කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
නාඳුනන ගැහැණියකගේ දේශපාලන අරගලය- තිලිනා වීරසිංහ සමග කතාබහක්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
"යන්නං චන්දරේ" සහ "ගාලු පාර දිග හැලුණු සිනා සළු"- ටිමා සහ ඩොමා සමග කතාබහක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook