Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
රම්‍ය, සුරම්‍ය, සුබ සහ ජයම්පති
බූන්දි, 21:53:55
ලිච්ඡවී හිතං ඉන්නෙ එයා රාජ කුමාරිකාවක් කියල. ඇත්තටම නම් රැජිණකට කිට්ටුවෙන් හිටියෙ. දශක දෙක හමාරක් පිරුණු තරුණකම එයාව පිළිගත්තෙ සාදරයෙන්. ඉතිං මේ වයසෙ ඉන්න අනෙක් බොහෝ තරුණ තරුණියන්ට වද දෙන ප්‍රේමය, ප්‍රේමණීය පුරුෂයන් අහිමි වීමේ ගැටලු සහ ප්‍රේමය මඳකමේ ගැටලු වලින් ඇය විනිර්මුක්තයි. ඇයට ප්‍රේමයෙන් කිසිම අඩුවක් තිබුණෙ නෑ. ප්‍රේමයෙන් ඉතා පොහොසත් ඇය ඉතා සුවසේ කල් ගෙව්වා කියල අපි හිතමු.

සුරම්‍ය තමයි ඇගේ ප්‍රියතම මිත්‍රයා. ඔහු හයවන දශකයේ හිටියෙ. ඔහු විසින් ඈව විනිවිද දැක තිබූ නිසා ලිච්ඡවී කියන නම යස අගේට ඇයට ගැලපුණා. තව්තිසා වැසි දෙවිවරුන් දැක නොමැති හිමිවරුන්ට බුදුරඳුන් ලිච්ඡවී රජදරුවන් පෙන්වා කීවා මිහිපිට දෙවිවරුන් දැකබලා ගන්න කියල. ඔවුන්ගේ විනිවිද පෙනෙන සියුම් ශරීර පැළඳ සිටින වස්ත්‍රාභාරණ වර්ණයෙන් එළිය වනවා. ඉතිං ඔවුන්ට තියෙන්නෙ විනිවිද පේන තුනි සමැති ශරීර. සුරම්‍යත් සැම විටම ඈව විනිවිද දුටුවා. සත්‍ය නම් ඇය ඉතා නිර්භීත ලෙසත්, අව්‍යාජ ලෙසත් ඔහුට දොර කවුළු හැර දුන්නා විනිවිද දකින්නට. ඉතිං සුරම්‍ය විවිධාකර පරිකල්පන වස්ත්‍රයන් ඇයට පොරවා හැඩනිල බැලීමේ රමණීය අත්දැකීමේ මහෝඝයට ගසා යමින් තිබුණේ මරණයේ ආශාව පවා අත්හරිමින්. කවදාවත් මුණගැසුණේ නැති වුවත් ඔවුන් කතා නොකළ දෙයක් නැති තරම්. තරුණකමේ සියලුම තාක්ෂණික ක්‍රමවේදයන් ඇය මේ පුරාණ පුරුෂයාට හඳුන්වා දුන් නිසා කතා නොකර සිටි වේලාවක් නැති තරං.

ඊ ළඟට රම්‍ය. රම්‍ය පස්වන දශකයේ කෙනෙක්. ඔහු දිනපතාම ඇය දකින, ඇය හා සේවය කරන භාග්‍ය හිමි කරගෙන සිටිනවා. ඔහු ඉතා රහසිගතව හදවතේ ගැඹුරුම තැනක ඇය වෙනුවෙන් ඉඳිකරමින් සිටියේ සාජහන්ට නොදෙවෙනි මන්දිරයක්. ඇයට එය නොදැනුණාම නෙවේ. එහෙත් ඇය දැන සිටියා සම්පූර්ණ සත්‍ය හෙළි කිරීමට තරං ඔහු කිසිදින නිර්භීත නොවන බව. ඒ නිසා රම්‍යගේ ඇසුර ආරක්ෂිතයි. ඔහු නැවත නැවතත් කියා හිටියා ඇය නැඟණියක් පමණක්ම බව. ඔහු වෙහෙසුණා ඇගේ ආරක්ෂාව ගැන. දූෂිත පිරිමින්ගෙන් මෙන්ම ගැහැණුන්ගෙන් පවා ඈ ආරක්ෂා කරන්නට ඔහු පෙළඹුණා. ඇතැම් විට හිරිහැරයක් වන තරමටම ඔහු ඇයව ආරක්ෂා කළා. ඈ ප්‍රිය කරන යම් දෙයක් වේද ඒදේ එසැණින් ලැබුණා. නොඇසූ ගීත, නොබැලූ චිත්‍රපට, නොකියවූ පොත් සහ ආසම කෑම... සැලකිය යුතුයි, කිසිවක් නොඉල්ලද්දීමයි ඇයට මෙසේ බොහෝ දේ ලැබුණා. ඔහු ඇගේ රැකවලාගේ ස්වභාවය ගත්තා ස්වේච්ඡාවෙන්ම. සහෝදර සෙනෙහසට වැඩි දෙයක් නැති බවට ඔහු සඵත වුණා ඇය නොඅසා සිටිද්දීම. එනිසාම ඔහු ඇසුරු කිරීම ඇයට පහසු වුණා.

ඊ ළඟට සුබ. හතර වෙනි දශකය ලැබුවා විතරයි. උතුරන සිනාවන් ඇද හැලෙන ඇස් තිබූ ඔහු හා ඇය දොඩා තිබුණේම නැති තරම්. ඒත් ඉඳහිට මුණගැහෙන හැම වාරයකදීම ඔහු ඇයව වැළඳගත්තේ ඉතා තදින්. ඇස් වලට එබුණේ වචන දුසිම් ගණන් හලමින්. එහෙත් ඇය ඔහුගේ හෝඩිය නොදැන සිටි තරම්. හොඳින්ම දන්නා යෙහෙළියගේ ස්වාමිපුරුෂා ගැන ඇය වෙහෙසෙමින් මොනවා හිතන්නද! ඇය හිතුවෙම ඉතා සාමන්‍ය වැළඳ ගැනීමක්, ඉතා සාමාන්‍ය බැල්මක්, ඉතා සාමාන්‍ය හිතවත්කමක් පමණක් ඔවුන් අතර ඇති බව. නමුත් ඉල්ලා ගත් පොතක් නැවත දෙන විට පොතට අදාළ නැති වචන ඛණ්ඩයක් සහිත තුණ්ඩුවකින් ඇය සලිත වී ගියා. "පුංචි මැණිකෙ, මට උඹව උස්සගෙන යන්නමයි හිතෙන්නේ - බැද්දට. බබුන්"

ලිච්ඡවී කොච්චර කළබල වුණාද කිව්වොත් මේ ගැන සුරම්‍යට නොකියා බැරි වුණා.

"මං හිතුවෙ ඔයාට මං විතරයි යාළුවෙක්ට ඉන්නෙ කියල. බලද්දි සිද්ධාර්ථ කුමාරයට වගේ මෙයාටත් පහළ වෙලානේ සෘතු තුනටම ගැලපෙන කට්ටිය."

"ඒ වුණාට හැම සෘතුවෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා සුරම්‍ය. දැං හිතල බලන්න සුබ ගැන. මට නිකමටවත් සැක හිතිලා තිබුණෙ නෑ. එයා බැද්දෙගම දෙබසක්නෙ දාලා තිබ්බෙ. එයා බැද්දෙගම කියවල ඇති. වෙන වැඩකට ඔෆිස් එකට ආපු වෙලේ මට කිව්වා පොත් කියවන්න පටන් ගත්තා, ඊළඟ පාර ආවම අරං යන්න පොත් ටිකක් ගෙනත් ළඟ තියාගන්න කියල. මම ඉතිං තියෙන සරලම පොතක් දුන්නා. ඒ පොත අස්සෙ ඔහොම තුණ්ඩුවක් තිබුණෙ වැරදිලා වෙන්න බැරිද ?"

"වැරදෙන්නෙ කොහොමද ලිච්ඡවී. ඔයා තමයි අපට ජීවිතේ පටලවන්න ඉපදිලා තියෙන්නෙ. අර අයියයි කියාගෙන ඉන්න රම්‍යයත් හිතේ තියං ඉන්නෙ ඕකම තමයි. නමුත් සුබ ඒක කෙළින්ම කියල. අනික ඉතිං මගෙනුත් ඔයාට ඒක ඔයිට වැඩිය අතිනිර්මල, විදියට අතිසියුම් විදියට ඇඟවිලා ඇති. ඒක හරිම සාමාන්‍ය දෙයක්. දැං ඔයා මොකටද කලබල වෙන්නෙ?"

"සුරම්‍ය ඔයා ගැන මං දන්නවෙන. ඔයා මගේ යාළුවා. ඔයාගෙ පිස්සු කතා මට ඉවසුවෑකි. ළඟට ඇවිත් මොකුත් කරන්න තරං හයියක් ඔයාට නෑ. ඔයා එහෙම කරන්නෙත් නෑ. අනික ඉතිං රම්‍යත් ඉතිං කවදාවත් ඒ වගේ දෙයක් කියන්න එඩිතර වෙන්නෙ නෑ. එයා ලැජ්ජයි. මාන්නාධිකයි. ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ. මට හිතාගන්න බැරි සුබගෙ නෝනා මගේ යාළුවා. ඒකි කොමඩු ගෙඩියක් වගේ ලස්සනයි. අපි යාළුවො බව දැනගෙනත් එයා මට මෙහෙම කියන්නෙ කොහොමද ? අනික අපි දෙන්න එච්චර කතා කරලත් නෑ. මහ අමුතුයිනෙ."

"කතා කරන්නම ඕන නෑ. සමහර මිනිස්සුන්ට සමහර ගෑනුන්ට ආස හිතෙනවා. ඔයා ගැන හිතල බලන්න. ඔයාගෙත් ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම ඔයා ගැන නැහෙන්නෙ, එකක් ඔයා එක්ක කතා කරද්දි ආස හිතෙනවා. එහෙම නැත්තං ඔයා දිහා බලං ඉද්දි ආදරේ හිතෙනවා. අනික ඔයාට අයිතිකාරයෙක් නෑ කියල හිතෙද්දි ආස කෙනෙක්ට කොහොමහරි අයිති කරගන්න හිතෙනවා. ඒකයි."

"ඒ වුණාට ඉතිං මාව අයිතිකරගන්න දඟලන හැමෝටම වෙන අයිතිකාරියො ඉන්නවනෙ. මමත් මීට වැඩිය උත්සහ කරන්නං අයිතිකාරියෙක් නැති කෙනෙක් හොයාගන්න."

"හිටියත් මම නං උත්සහ අතඅරින්නෙ නෑ. තාම ඉතිං හොයගත්තෙ නෑනෙ."

"ඒ කියන්නෙ සුරම්‍ය ඔයා ආස නැද්ද මං කෙනෙක් හොයා ගන්නවට ? ඇයි සුරම්‍ය මට මෙහෙම වෙලා තියෙන්නෙ? මාව ඔයාලගෙ ප්‍රේමයෙන්, ආශාවෙන්, කාමයෙන්, රාගයෙන් වහගෙන ඉන්නෙ. ඒත් මට කිසි ලැබීමක් නෑ කියල ඇයි මට හිතෙන්නෙ ?"

"මම මේක කියන්න ආස නෑ ලිච්ඡවී. ඒත් මම ඔයාට ආදරෙයි. එක්කො ඔයාට මේ මාළිගා තුනෙන් ම නික්මිලා පාළු පැලකට හරි යන්න වෙනවා. නැත්තං ඔය හැම එකකම මාරුවෙන් මාරුවට ඉන්න වෙනවා. ඔයාට ගැලවීමක් නෑ. එක්කෙනක්ට අයිති වෙන්න බැරි තරං ලස්සන අම්බපාලිට රාජ්‍ය මැදිහත් වෙලා ලබල දුන්නු උසස්වීම තමයි සියල්ලන්ටම අයිතියි කියන තීන්දුව. එහෙම දේවල් අතීතයෙත් සිදු වුණා. දැනුත් වෙන්න පුළුවන්. අනික ඉතිං ඇටෙන් පොත්තෙන් බේරිච්ච කොල්ලන්ට ඔයාගෙ ගැඹුරෙ තියෙන තද නිල් පාට එළියයි, සීතල, උණුසුම් දිය උල්පතුයි පෙන්නෙ නෑ. ජීවිතේ වැඩිපුර ඇවිදලා, රස්තියාදු වෙලා වෙලා හතිදාන එවුන්ටයි ඒක පේන්නෙ... ඔයාව දැනෙන්නෙ"

"හ්ම්ම්... අනේ මන්දා ඕවා. මං ඔයාලා තුන් දෙනාටම කැමතියි. විවිධාකාරයෙන් කැමතියි. මං ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. ඒත් මට එකපාර ඔය තුන් දෙනාගෙම වෙන්න බෑ. අනික තුන් දෙනාගෙම හිතේ තිබුණට සුබ විතරයි කෙළින්ම කිව්වෙ එයාගෙ අවශ්‍යතාවය. මං එයාට කැමති වෙන්නං. මාව එපා වෙච්චි කාලෙකත්, දැං ඔයාව ඇති, වෙන රහක් ඕනෙ කියලත් එයා කෙළිංම කියයිනෙ. අනික තුන් දෙනොගෙන් තරුණම කෙනාත් එයානෙ. ඉක්මනට මැරෙයි කියල හිතන්නත් බෑ."

"ලිච්ඡවී ! ! !"

"ඇයි බය වුණේ ?"

"ඔයා ඔය ඇත්තම ද කියන්නෙ! දැං ටිකකට කළිං බය වෙල අඬ අඬ හිටපු කෙල්ලද මේ දැං අරූ එක්ක බැද්දට රිංගන්න හදන්නෙ ? පිස්සු හැදිලද ? අනික තමන්ගෙ යාළුවට ද්‍රෝහි වෙන්න? ? හිතක් පපුවක් නැද්ද ? අනික ඔය හැම එකාටම කළිං මමයි ඔයාට ආදරේ කළේ. මමයි ඒක කළිංම කිව්වෙ."


සුරම්‍යගේ නොයිවසිලිමත් උච්ඡ ස්වරයෙන් ආවේශ වුණු ලිච්ඡවී හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. කොච්චර හිණා වුණාද කියනව නං ඇස් වලින් කඳුළු පනිනකං හිනා වුණා. සුරම්‍යට නොපමාව වැටහුණා ලිච්ඡවී තමුන්ව පරීක්ෂාවට ලක් කරපු බව. නමුත් සිය පිට කළ වදන් නැවත ලබා ගැනීම ඔහුට කළ නොහැකි වුණා. ඒවගේම ලිච්ඡවීටම පෙරළා වැටහුණා සුරම්‍යව සමච්චලයට ලක් කළ ඒ දෙබස තුළ තමා විසින් තමාවම පරීක්ෂාවට බඳුන් වූ වග. අතින්වත් අල්ලන්නෙ නැතුවම වචනවලින් මොනතරං කර්ම කළ හැකිද ඒ කර්ම වලින් ශරීරයක් පවා බැඳිය හැකියි යන්න පිළිබඳ දැන් ඇය දැනුවත් වී හමාරයි. ඒ සියලුම වචී කර්ම, කාය කර්ම වලටත් වඩා බලවත්.

කරුණු එසේ තිබියදී ඇයට ඉතා වේගයෙන් වැඩෙන්නට සිදු වුණා. ඒ නිසා ලිච්ඡවීගේ වාසනාවන්ත කාලයට විශාලාවේ තුන් බිය දැනුණා. එහෙයින්ම ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කළ කාලය ක්ෂය වී ගියේ ඇසුරු ගසනවාට වඩා සැණෙන්. හදවත් මාළිගා තුනම ඇයව පීඩාවට පත් කළා. ඒ පීඩාකාරී කාලය නම් ගලා ගියේ ඉතා සෙමෙන්. සීත කාලයටත්, උණුසුම් කාලයටත්, වැසි කාලයටත් ඇයට ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් වචන වලින් පමණක් රම්‍ය, සුරම්‍ය සහ සුබට සංග්‍රහ කළේ නොකරම බැරි කමට. යක්කු බැඳ ගත්තා වගේ ජරමරයක් ලිච්ඡවීට වුණේ.

සහෝදරකමින් සිටි රම්‍ය පොත්පත්, පැණි රස කෑම වෙනුවට පේ‍්‍රම ගීත, ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වැනි අලුත් තෑගි ක්‍රමයකට මරු වෙමින් හිටියා. ඇය නොනවත්වා සිදු කළ ප්‍රතික්ෂේප කිරීම් පවා ගණන් නොගන්නා සුළු එඩිතර බවක් ඔහු වෙතින් පළ වෙමින් තිබුණා. සුබ අමුතු කරදරයක් නොකළත් සුපුරුදු සෘජු කතාවට ශෘංගාරාත්මක ව්‍යංග මුසු කරමින් ඇයව වැළඳගත්, වැළඳ සිරකරගත් වේගය වැඩි කළා. ඔහු මේ වැළඳ ගැනීම් ප්‍රසිද්ධියේ කළ නිසා අන්‍යන්ට පෙනෙන්නෙ කළකට පසු මිතුරු සිත් මුණ ගැසුණු උණුසුම් ප්‍රීතියක් පළ වන සාමාන්‍ය වැළඳ ගැනීමක් ලෙස වුවත් පපුවට පපුව සිර කරගන්නා ඒ දැඩි බව අමුතුවෙන් දැනෙන්නෙ ලිච්ඡවීටම පමණයි. ඒ පිළිබඳ ඇයට කිසිත් කළ නොහැකියි. ඒ මදිවාට දෙන දෙන පොත තුළ ඇති තුණ්ඩු කෑලිද ක්‍රමිකව වැඩි වූවා. ඒ අතර සුරම්‍ය සැමවිටම රම්‍ය සහ සුබ ගැන ඕපාදූප සොයමින් සිය ලිංගික ඊර්ෂ්‍යාව ලඳු කැළයේ සිට නිවර්තන වනාන්තරයක් දක්වා වවා ගනිමින් ලිච්ඡවීට වැදි බණ දෙසමින් පසු වුණා.

කාලය විසින් හදවත් තුනකට ආලය විගසින් පුරවමින් සිටියා. හදවත් ත්‍රිත්වයම එක්වර වාං දමමින් තිබුණා. එහෙත් ඇය මුනින් නවපු කළයක් වී හිස් බවින් පරිපීඩිත වූවා. දැං ඉතිං මේ මාළිග තුනෙන් නිකම යාමට කාලය හරි. ඒත් කා එක්කද ? කොතෙන්ටද !

නිතර වද දෙන හිසරදයත්, පපුවෙන් මතු වන හීන් රිදුමත් ඇය පීඩාවට පත් කළ නිසා ඇයට වෛද්‍ය විද්‍යාවේ උපකාරි අවැසි වුණා. නගර මධ්‍යයේ අභිනවයෙන් ඉදි කළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇය ගියේ පරඬැලක් වගේ ඔහේ පාවෙමින්. වෙනත් වෛද්‍ය මධ්‍යස්ථාන වල ඇති ජනකාය එතැන නොමැති නිසාම ඇයට පෝළිමේ ඉන්න වුණෙත් නෑ. තරුණ වෛද්‍යවරයා ඇයව පරීක්ෂා කළත් ඔහුට රෝග නිධානයක් සොයා ගත නොහැකි වුණා. නමුත් මුහුණට මුහුණ බලා සිටිද්දී දෙදෙනාම වෙනත් දෙයක් සොය ගත්තා. ඒ ඇඳුණුම් කමක්. ඇය පොඩි කාලේ විද්‍යාව සහ ගණිතය ඉගෙන ගන්නට ගෙදරටම ගිය ජයම්පතී අයියාගේ සන්සුන්කම ඒ දවස් වලත් ඇයව නොසන්සුන් කළ වග ඇයට හොඳහැටිම මතක් වුණා. මේ දෛවෝපගත අහඹු හමුවීම සැලසුම් සහගත හමුවීම් දක්වාම දුර ගියා. නැවතත් කාලය ඉක්මනින්ම ගලා ගියා. රම්‍ය, සුරම්‍ය සහ සුබ තුන් දෙනාටම ඇරයුම් පත් තුනක් ලැබුණා. නමුත් කිසිම කෙනෙක් සිය ප්‍රියම්භිකාවගෙ විවාහයට සහභාගි වුණේ නම් නෑ.

ජීවිතේ නැවත වෙනස් වුණා. අලුත්ම අලුත් සෘතුවක්. රම්‍ය තෑගි දෙන එක නැවතුණා. සුරම්‍ය කතා කරන එක අඩු කළා. සුබගේ කතා කරන ඇස්වල දිස්නයවත් වැළඳගැනීමවත් අඩු වුණේ නෑ. ඒත් පොත් අතර තුණ්ඩු නොලැබීම ගියා. පොත් ඉල්ලීමත් අඩු වුණා. ජයම්පතී ඉතිං කොහොමත් වැඩිය කතා කරන කෙනෙක් නෙවේ. කතා කරේ බෙහෙතට වගේ කියන යෙදුම ජයම්පතීටම ගැලපුණා. හැබැයි වෛද්‍යවරුන්ට අඩුවෙන්ම පිහිටන කරුණාවන්තකම නම් වැඩියෙන්ම පිහිටලා තිබුණා. පෞද්ගලික බෙහෙත් ශාලාවට වැඩිපුරම ආව ගැහැනු ඊට සාක්ෂි. ලිච්ඡවී ආයෙමත් තනි වුණා. ලිඡ්චවීට මහ පුදුම පාළුවක් දැනුණා. නිදිමතක් නැතිවත් ඇඳටම වෙලා පණ නැති වෙලා සුසුම්ලමින් හිටියා.

"සුදු නංගි ඔයාට ලෙඩක් නෑ. ඔයා හිතනවා වැඩියි. ඔයාට කොච්චර වුණත් අර අතඇරල ආපු මාළිගා තුන මතක් වෙනවා නේද ? ආපහු එයාලා එක්ක කතා කරන්න. දැන් ඔයා බැඳලා නිසා එයාල ඉස්සර හිතුවා වගේ ඔයා ගැන හිතන එකක් නෑ. එහෙම නැත්තං අලුත් යාළුවො හොයා ගන්න. පොඞ්ඩක් එළියට යන්න. හිනා වෙන්න. තමන්ගෙ හිත සතුටින් තියා ගත්තම ප්‍රතිශක්තිය වැඩි වෙනවා ලෙඩ රෝග වලට එරෙහිව"

"ජයම්පති නෙවේ බුදු වෙන්න හිටියෙ කුස. ඒත් කුසටත් ඉරිසියා හිතුණා පබාවතී ජයම්පතී දිහා බලාගෙන ඉන්නවා දැකල. ඔයා මොනවගේ එක්කෙනක්ද?"

"මං ඔයාගෙ ඔය කතන්දර දන්නෙ නෑ. ඒත් මෙඩිකල් සෙන්ටර් එකට එන ගෑනු එක්ක කතා කරනවටත් වඩා අඩු වෙන්නෙ මං ඔයා එක්ක කතා කරන්නෙ. මං දන්නවා ඔයාට පාළුයි කියල. ඔයාට ජීවත් වෙන්න කෑම නැතත් වචන ඕන කියලත් මං දැන් දන්නවා. ඔයාගෙ සතුට ගැන හිතන එක මගේ වගකීම. මම ගොඩක් බිසී කියන එක ඔයා තේරුං අරන් ඉන්නෙ. ඔයාගෙ මිතුරු ඇසුරට මං මොකටද විරුද්ධ වෙන්නෙ."

"මොකද්ද ඒකේ තේරුම?? ඔයා මාව දන් දෙනවද?"

"අපෝ නෑ. ඒකෙ තේරුම ඔයා මාව විශ්වාස කරනවා වගේම මං ඔයාව විශ්වාස කරනවා කියන එක. ඔයා වෙනස් කියල ඔයා හිතනවා නං, මං වෙනස් කියල ඔයාටත් හිතන්න වෙනවා කියන එක"


ලිච්ඡවී ජයම්පතීගෙ අත තද කරලා අල්ල ගත්තා. සාහිත්‍ය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති, දිගට කතා කරන්නෙ නැති, කිසි දෙයක් තදින් අල්ලගන්නෙ නැති ජයම්පතී ජීවිතේ විද්‍යාව ගැන කියල දෙන්නෙ මොන තරං සරල විදියටද කියල හිතාගෙන හිතාගෙන ගියාම තමන් මෙච්චර කල් ජයම්පතී ගැන දැනගෙන හිටියෙ මොනවද කියල ලිච්ඡවීටම හිතුණා. නැවත ඒ ඔළුවෙ කැක්කුම ආවෙ නෑ.
සිතුවම- Roman Frances
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මනූෂා ප‍්‍රභානි දිසානායකගෙන් තවත් වියමන්
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කතන්දර
මාස තුනක් සහ එක දවසක්
කතන්දර
පාට වලාකුළු අතර හිඳ....
කතන්දර
පස්සෙන් යෑම
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook