Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
ඒක වැදගත් ද?
බූන්දි, 21:43:15
ඇනෙක්සිය අඳුරුයි. පුංචි හතරැස් කවුලුවෙන් පේන්නෙ වැහිබර අහස. යාන්තමට නැහැතුඩ අග දැවටෙන පුස් ගඳ හිතට ගෙනාවෙ අපුලක්.

මං වෙලාව බැලුවා.
හයයි හතළිස් පහයි.

කන් පෙති මත තැවරෙන වැහි පොද වල සිරිසිරියත්, වැස්සත් එක්ක තුරුල් වෙච්ච හීතලත් හොඳහැටි ගුලි ගැහිලා නිදාගන්න කියාපු උත්තේජක. ඒත් කෝ තුරුල් වෙන්න උණුහුමක්. පොරෝණය ඇතුළට කාන්දු වෙන හීතල මාව අවදි කෙරෙවුවා.

උදෑසන දේශන නැතත් මම ලහිලහියේ සූදානම් උනේ විශ්ව විද්‍යාලයට යන්න.

සීතල වතුර දෝතක් මූණට වදින කොට ඇස් පියන් පවා වෙවුලනවා. හුස්මත් එක්ක තුනී සුදු පාට දුමාරයක් පිට වෙලා ඉහල ඇදෙනව.

පරණ ඩෙනිම, ලා දම් පාට බැගී ටී ෂර්ට් එක, කැරලි කොණ්ඩය එක්කහු කරන රෝස පාට බෑන්ඩ් එක.......

මස්කාරා.....?
එපා.

එයා බලනව ඇස් දිහා.

එහෙනම් චුට්ටක් ගාමු.

අයි ලයිනර්?
යාන්තමට.

දුඹුරු හම් බෑගයට ඔබාගත්ත සටහන්, නිල් සපත්තු ලේස්. අළු පාට ජර්සිය, හිස්වැසුම......

කලු ගල් ඇතිරූ මාවත වැස්සෙන් හේදිලා. පාර දෙපැත්තේ මාර ගස් වල කහපාට මල් වැස්සෙන් හේදුන පාර තැන තැන එක්කාසු වෙලා.

මගෙ ඇස් කලබලයි.

බෝඩිමෙන් පිට වෙද්දි ඇද හැලුන කරදරකාර වැස්ස සිහින් හිරිපොදයකට හැරවිලා. කුඩේ අකුලාපු මම වැහි පිණිති වලින් හිතත් හිසත් ඔහේ තෙමෙන්න ඉඩ දුන්නා.

පුස් ගඳ පහ වෙලා ගිහින්, තෙමුන තණ බිස්සෙන් හමන්නෙ නැවුම් පුසුඹක්.

යකෙක් කන්න බඩගිනියි.

අකීකරු ඇස් දෙකට තරවටුවක් කරලා මම ආපන ශාලාවට රිංගුවා. දුම් දාන බිත්තර රොටී දෙකයි, කෝපි කෝප්පයයි අරගෙන වාඩි උනේ පිට්ටනියට මුහුණලා තියෙන විශාල කවුලුව පාමුලින්.

කෝපි සූවඳින් පෙණහලු උණුසුම් වෙලා ප්‍රබෝධමත් වේගෙන එන කොට මගේ ඇස් දෙක නිරායාසයෙන්ම අකීකරු කම් නවත්තලා පිට්ටනියේ ඈත කෙලවරකට කේන්ද්‍රගත උනා.

තනියෙන්ම අහස අල්ලන්න ගිය උස විලෝ ගහ යට උද්‍යාන බංකුවේ ඔහු වාඩි වෙලා උන්නා.

අර බොකුටු කොණ්ඩය. මුහුණ පුරා අපිළිවෙලට වැවුනු රැවුල.

උරහිස් දෙකෙන් ලිහිල්ව එල්ලා වැටෙන අලු පාට ජර්සිය. දණහිස උඩ රඳවා ගත් හිස්වැසුම. පොත් පත් කිසිවක් නැතත් පිටේ එල්ලෙන ගිටාරය.

මගේ උගුරු ඇටය තුළින් ඉපැදුණු නුහුරු විදුලි ඉරි දෙකක් දෙකොපුල් හරහා ඇදී ගිහින් කන්පෙති මතදී අතුරුදහන් උනා.

වෙනදා වගේම මලානික එළියක් විහිදුවන දුම්වැටිය අදත් ඔහුගෙ අතේ තිවුණා.

ඉක්මන් කෝපි උගුරු දෙක තුන උගුරෙන් පහලට ඇදෙන කොට දුම් දන අන්නසෝත්‍රය ඇස් අග්ගිස්සෙන් කඳුලු බිංදුවක් වෙලා එළියට කාන්දු වෙනවා.

සටහන් පිරුණු බෑගය ඇදගෙන මම ලහි ලහියේ ආපන ශාලාවෙන් පිට උනා.

හිත හදිස්සියි. ඕනෑවට එපාවට යන ගමන් තාලයට දෙපා සංවර කරගත්තෙ බොහොම අමාරුවෙන්.

පිට්ටනිය කෙළවරේ චලනාභ්‍යාස වල යෙදෙන ක්‍රීඩිකාවන් පිරිසක්.

ලස්සන කෙල්ලො.

හීනි, සුදු, උස, හැඩ කෙල්ලො.

මගෙ හිතට කාන්දු වෙන්නෙ ඉරිසියාවක්.

නෑ. එයා බලන්නෙවත් නෑ…..

ඉරිසියාව දිය කරගෙන සතුටු උණුහුමක් හදවතේ පිරෙන්නට වුණා.

එයා උන්නෙ ඈත බලාගෙන. අරමුණක් නැති හිස් බැල්මෙන්.

"මම මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද?"

"ම්හ් හුම්"
ඔහු ගිටාරයේ තත් අරමුණක් නැතිව පෙලන්නට වුණා.

බංකුවේ එහා කෙළවරෙන් ඉඳගත්තු මම කකුල් දෙක පටලවා ගත්ත. විලෝ කඳට පිට දීලා ඇස් පියා ගත්ත.

ඔව්, මං භාවනාවක. ඒ පිළිවෙලක් නැති නාද රටා සමඟ ඒකාත්මික වෙන්න උත්සාහයක.

"ලෙක්චර්ස් නැද්ද?"

"ම්හ් හුම්"

"කැම්පස් ආවෙ?"

"පාළුයි….. ඔයාට ලෙක්චර්ස් නැද්ද?"

"තියෙනව."

"එහෙනම් මෙතන?"


මට උත්තර දෙනවා වෙනුවට ඔහු වැරෙන් ගිටාරයේ තත් හඬවන්නට වුණා.

Welcome to the Hotel California
Such a lovely place
Such a lovely face
Plenty of room at the Hotel California
Any time of year
You can find it here…..

"පට්ටයි!" මට කියැවුණා.

"මොකද්ද?"

"හැමදේම."


ඔහු වාදනය නවත්වලා මා දිහා හොඳට බැලුවා. ඔහ්! ඒ ඇස් ගුප්තයි. ඒ ඇස් ඇතුළට වැටුණොත් මං අතරමං වේවි. සදහටම.

"අමුතු කෙල්ලෙක්." ඔහු දුම් වළලු කිහිපයක් ඉහළට පා කලා.

මං හිස පැත්තකට ඇල කරලා හිනා උනා.

"ඕනෙද?" ඔහු අඩක් දැල් වී හමාර වුණ සිගරැට්ටුව මා වෙත පෑවේ පෙර නොවූ සුහද බවකින්.

දෙවරක් නොසිතාම මම දුම්වැටිය අතට ගත්තා.

පුංචි කාලෙ කඩදාසි රෝල් කරලා සෙල්ලමට දුම් ඉරුවා වගේ මම එක්වරම උණුහුම් දුමාරය ඉහලට ඇද්දා.

ඇස් දෙක නිලංකාර උනා. ඔලුවට දැනුන ලොකුම ලොකු බරකුත් එක්ක පෙණහලු දෙක පුපුරන්න යනවා වගේ දැණුනා. පෙණහලු වලින් ඒ කටුක දුමාරය ඉවත් කරගන්න මම කැස්සා. නොනවත්වාම කැස්සා බංකුව උඩ දෙකට නැමීගෙන.

ඔහු හිනා උනා. මහ හඬින් හිනා උනා.

තණ බිස්සට නැමීගෙන ඉන්න මට පෙණුනේ ඔහුගේ සපත්තුවට පෑගෙන සිගරැට්ටුව.

ඊට තත්පර කාලකට පස්සෙ මට දැණුනේ මගේ පිට දිගේ එහා මෙහා යන ඔහුගෙ අත්ලෙ රළු ස්පර්ශය.

ඒ තත්පර කිහිපය බදලා අල්ලගෙන, පුංචි කාලෙ මල් පෙති, බෝ කොල ප්‍රෙස් කරනවා වගේ මතක පොත ඇතුළට දාලා තද කරලා සදාකාලයටම ළඟ තියා ගන්න ඇත්නම්.

"පිස්සි" එයා කිවුව.

මං ඇහැරුණා.
මගෙ දවල් හීනෙන් ඇහැරුණා.

ඔව්. එයා බලනව ඇස් දිහා.

"ඇයි තනියම ඉන්නෙ?" මං ඇහුව එයාගෙන්.

"කවුද?"

"ඔයා."

"මම?"

"හුම්.."


එයා ආයෙත් හිනා වුණා. බොකුටු කොණ්ඩය අතරින් දිගු ඇඟිළි තුඩු එහා මෙහා දිවෙවුවා. ආයෙමත් හිනා වුණා.

"ඔයා නම් ඉන්නෙ තනියෙන්." ඔහු එක්වරම කිවුව.

"තනියෙන් විතරක් නෙමෙයි මළපාලුවෙන්."

"මට නම් ඉන්නව හවුල්කාරියක්."


පතුලක් නොපෙනෙන අඳුරු අගාධයකට මගේ හදවත කඩාගෙන වැටෙනව මට දැණුන. ඇස් බොඳ වුණා. මම ඈත අහසෙ ගොඩගැහිච්ච අඳුරු වළාකුලු දිහා බලන් උන්න.

"එයා ඇලෙක්සැන්ඩ්‍රියා. ආදරේට මම කියන්නෙ ඇලෙක්සි"

ඔහු යළිත් වරක් ගීයක් වාදනය කරන්න වුණා. හදවත ස්පර්ශ කරන සියුම් රිද්මයක්. මම මූණ බිමට බර කරගෙන අහන් උන්නා.

මා අසළ ලැගුම් ගනු පෙරාතුව
මා තුළට
මොහොතකට
එබුණා නම්
පැහැදිලිව දකින්නට තිබුණා

මා තුළම
මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග

ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද


තත් හැඬවෙන වාරයක් වාරයක් පාසා, ඔහුගේ රළු පිරිමි හඬින් ගැයෙන වචනයක් වචනයක් පාසා මගේ හිත යලිත් අර නුහුරු උණුහුමෙන් පිරෙන්නට වුණා. ඇඟිළිතුඩු වලට දැනෙන නුපුරුදු සීතලෙන් ගැලවෙන්න මම අත්දෙක ජර්සියේ සාක්කු අතරට රිංගෙවුව.

ඔහු මා වෙනුවෙන් ගැයුවා. බොහෝ වෙලාවක්.

මට හාංකවිසියක් මතක නැති එක් නිමේෂයක මම අර අහස අල්ලන්න උස ගිය විලෝ ගහ අතෑරල ඔහුගේ පිටට හේත්තු වෙලා උන්නා.

"එයා වාසනාවන්තයි."

"කවුද?"

"ඇලෙක්සි"

"හා හා හාහ්….. වෝව්!"


එයාගෙ හිනාවෙන් තිගැස්සුන මම වහ වහා මදක් ඈතට උනා.

"එයාට පුලුවනි හැමදාම ඔයාගෙ සින්දු අහන් ඉන්න. තරු පිරුනු රෑ අහස දිහා බලාගෙන. අතරින් පතර ඇහෙන රැහැයි නාදයත් එක්කම."

"එයා ආස නෑ සින්දු අහන්න."

"ම්හ්?"

"එයා ආස මගෙ දණහිසට ඔලුව තියාන ළඟින් ඉඳන් ඉන්න."

"හ්ම්ම්ම්….."

"එයා සුදුයි. හිම කැටියක් වගේ සැහැල්ලුයි. මූණ පිරිල. ආදරේ හිතෙනව."


මට ඕන උනේ එතනින් පලා යන්න. එයාගෙ කටහඬ නෑහෙන ඈතකට.

ඒත්…… මම බංකුවට ඇලවිලා වාගේ උන්නා.

ඔහු එකපාරම මගෙ දිහාට හැරුණා. මගේ වම් කම්මුල දිගේ ඉහලට දබරැගිල්ලෙන් ඉරක් අඳිමින්. ඒ ස්පර්ශය රළුයි.

ඔහු තමන්ගේ ඇඟිළි තුඩු දිහාත්, මගේ ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බලන්නට වුණා.

"කඳුළු?”

“වෙන්නැති."

"හවස ලෙක්චර්ස් තියෙනව කිවුව.v

"හ්ම්ම්ම්… දැන් පරක්කු වැඩියි." මම ඔහුට පෙන්නුව දුරකතන තිරය.

"මං යනව."


ඔහු එක්වරම කිවුව.

මං බලන් උන්නා.

හීන් වැහි පොදක් වැටෙන්න අරන් ආයෙමත්. පිට්ටනිය වටා තියෙන උද්‍යාන බංකු එකක් නෑර පිරිල තියෙන්නෙ හවස දේශණ අහවර වෙලා එලියට බහින පෙම්වතුන්ගෙන්. ඔවුන්ටත් මේ හිරිපොදය ගානක් නැහැ වගෙයි.

"යමු."

ඔහු මගේ උරහිසට අතක් තබමින් කිවුව.

කලු ගල් ඇතිරූ මාවත දිගේ හෙමින් හෙමින් ඉදිරියට ඇදුනෙ මේ මොහොත ගැන හිතේ හටගත්තු අසීමාන්තික ලෝබකම නිසාමයි. මගේ ගමන් වේගය ගැන මැසිවිලි නොකිවුවත් ඔහු ඉඳ හිට පාර දෙපස කළු ගල් කැබලිති වලට පහර ගසමින් නොයිවසිලිමත් බැල්මක් හෙලුවා.

අතුපතර විහිදුන විසාල මාර ගහක් හෙවනෙ අපි නතර උනා. එයා කිවුවෙත් නෑ ඉන්න ඕනෙ බව. මම කිවුවෙත් නෑ යන්න ඕනෙ බව.

ගහට පිට දුන් ඔහු තවත් සිගරැට්ටුවක් දල්වා ගත්තා. මා දිහා බලලා හිනා උනා.

"එනවා, කියල දෙන්න."

"මොනාද?"

"ම්ම්...."
ඔහු සිගරැට්ටුව මා වෙත පෑවා.

"එයත් සිගරැට් බොනවද?"

"කවුද?"

"ඇලෙක්සි?"

"එයා බොනව කිරි."


ඔහු මගේ කෙහෙරැල්ලක් ඇඟිලි තුඩු අතර පටලවා ගනිමින් කිවුවා.

"එයා කැම්පස් ද?"

"කවුද?"

"ඇලෙක්සි?"

"ම්හ් හුම්."


මුහුන වටා කැරකෙන දුම් වළලු මම ආඝ්‍රාණය කලේ ආසාවෙන්. එතුළින් මට දැණුනෙ ඔහුගේම සුවඳ.

ඒත්…..
ඔහුට ඉන්නව හවුල්කාරියක්.
මට ඔහුව හිමි නැහැ.

පුළුන් කැටියක් වගේ….. සැහැල්ලුයි….
ඔහ්! ඒ වාසනාවන්ත හැතිරිය.

මගෙ සිතුවිලි ගිනියම් වෙලා දුම් රොටු ඉහල නැගෙන්න අරන්.
හදවත පිච්චෙන සැරට කම්මුල් රතු වුණා.

ඒත්….
මේ මොහොත මගෙයි.

කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන මේ විදුලි රේඛා මට පුරුදු නෑ.
පොත් මල්ල අතෙන් ගිලිහුණේ නොදැනුවත්වම.

ජීවිත කාලයකට වඩා දිග මිනිත්තු දොළහක්.

මම ඇස් ඇරියා.

ඔහු බිම වැටිල තිවුණ හිස්වැසුම ගසා දමා මගේ හිසට දැම්මෙ ඕනෑවට එපාවට වගේ.

"ඔයා එන්න."

"කොහේද?"

"අපේ ඇනෙක්සියට."


"ඔයාගෙ හවුල්කාරි මාව මරයි."

"ඔව්. සමහර විට."


ඔහු අහස දිහා බලාගෙන කියන්නට උනා.

"ඒකි කෑ ගහයි. සූරයි. හපයි. මහ දරුණු කේන්තිකාරියක්!"

මගෙ මුහුණේ ඇඳුනු විස්මය දුටු ඔහු යටිතොල විකාගෙන දඟකාර හිනාවක් නැගුවා.

"බයවෙන්න එපා. එයා හොඳයි. ලෙන්ගතුයි." ඔහු ආයෙම කිවුවා.

"අපි යමු."

එහෙම කරන්නට හිතිවිල්ලක් නැතිවම මං ඔහුගේ අතින් අල්ලා ගත්තා.

"සිනිඳුයි." ඔහු මගේ අත්ල පරෙස්සමින් පිරිමැද්දා.
ඒ අත් රළුයි. රේඛා බහුලයි.

ඔහුගේ හුස්ම වැදිලා මගෙ නළලෙ කෙස් රොදවල් සෙමෙන් ඈත් මෑත් උනා. නළල් තලයෙන් ඇරඹිලා ඇස් පියන් තෙමාගෙන දෙකොපුල් කරා ඇදෙන ඔහුගෙ දඟකාර දෙතොලේ ස්පර්ශය මම ආසාවෙන් විඳගත්තා.

එතැන ඒ ඇසිල්ලේ හදගැස්ම දෙතොල් වල රිද්මයත් සමඟ අනුනාද වුණා.

ක්‍රමික, රිද්මයානුකූල හදගැස්ම.
හිටි ගමන් රිද්මය අඩු වැඩි වෙන දඟකාර හදගැස්ම.
ඉන්පස්සෙ දෙසවන් පුපුරා යන තරමේ ජවයකින්, වේගවත් වුණ හදගැස්ම......

පොත්මල්ල උඩට වැටුණ ජර්සියත්, හිස්වැසුමත් දුන්නු උණුහුම හොයාගෙන මම තව තවත් ඔහුගේ පපුවට තුරුලු උනා.

තත්පර කටුව නැවතුණා. පෘතුවිය ආපස්සට කැරකෙන්න ගත්තෙ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන්.......

දීර්ඝ කාලතරණයකින් පස්සෙ මං හීන්සීරුවේ ඇස් ඇරලා වට පිට බැලුවා.

හාත්පස අඳුරුයි.
මම කළුවරට වෛර කලා…. පැය ගානකට කලින්.

ඒත් මේ මොහොතේ ඒ කළුවර ගැන හිතේ හටගත්තෙ අමුතුම බැඳීමක්. හීගඩු නංවන සීතල, පොඩිවුන තණබිස්සෙන් නැගෙන නැවුම් සුවඳ, සිහින් මදනළක ගමන් තාලයට නැළැවෙන තුරුපත්….

ජර්සියේ බොත්තම් පියවන ඔහුගේ ඇඟිළි තුඩු කලබලයි.

මම හොරෙන්ම ඔහුගේ පුළුල් හිස්වැසුම දාගෙන බැලුවෙ ආසාවට. මගෙ නහය වෙනකම් ඒ ඇතුළෙ. මොහොතකට කලින් විඳපු ඔහුගෙ හිසකේ වල සුවඳ මට දැනෙනව.

"හෙර! මගෙ හැට් එක උස්සලා"

ආයෙමත් කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන කෙටි විදුලි රේඛාවක්.

ඔහුගේ රළු අත්ලෙන් වටවුණු ඇඟිලි තුඩු වලට වෙනදා වගේ හීතල කාන්දු වෙන්න ඉඩක් තිවුනෙ නෑ.

අඳුරත්, නිහඬතාවයත් එක්ක තනියෙන් සංවාදයක නියැලෙමින් උන්නු මම අවදි වුනේ ඔහුගේ ඇනෙක්සියේ ගේට්ටුව ඇරෙන හඬින්.

"මට බයයි! මාව ආපහු ඇරලවන්න."

"ඇයි?"

"ඇලෙක්සැන්ඩ්‍රියා ඉන්නෙ මෙහෙ නෙමෙයිද?"


ඔහු මගේ කරවටේ අතක් දමා ගත්තා. හෙමෙන් උරහිසට තට්ටුවක් දැම්මේ හැමදෙයක්ම හරියාවි කියන්නා වාගේ…

"ඇලෙක්සී…." ඔහු හඬනඟා කතාකලා.
කවුරුත් ආවේ නැහැ.

"කොහෙහරි රස්තියාදුවක ගිහින් ඇති.."

"ම්හ්…"

"සාදරයෙන් පිළිගන්නවා මගෙ දුප්පත් රජදහනට"


පටු පියගැටපෙළ නැගලා නවාතැනේ දොර විවර කල ඔහු විසුලු ලීලාවක් පාමින් කියද්දි මට තවදුරටත් බයේ ගැහෙන්න අමතක වුණා.

"උයන්න වෙනව."

"කඩෙන් කමු"

"කමක් නැද්ද?"


මං හිනා උනා. "මං උයන්න දන්නෑ…"

"මං දන්නවනෙ."

"කොත්තුමී අරන් එන්නා……ම්"


ඔහු එහෙමම දොර වහගෙන පියගැට පෙළ දිගේ පහළට දුවන ගමන් කෑ ගැහුව. ඉදිරිපස දොර වැහෙන හඬට මගෙ හිත ගැස්සුණා.

ආයෙමත් අඳුර. මම අඳුරට ඇස් හුරුවෙනකම් බලා උන්නා.

ජනේලයක් විවර වෙන සිහින් කිරිකිරි හඬක් එක්ක මගේ දෙපතුල් සීතල වෙලා ගියා. මම ළඟම තිවුනු සෝෆාවේ වාඩි වුණේ නොදැනුවත්වම. එක්වරම කුස්සියෙන් ඇහුණෙ ඇලුමිනියම් භාජන කිහිපයක් පෙරැලෙන හඬ. තිගැස්සුන හිතත් එක්ක හුස්ම වැටෙන වේගය ඉහල යද්දි වේගයෙන් ගැහෙන හදවතේ ලබ්ඩබ් ලබ්ඩබ් හඬ දෙසවන් තුල නින්නාද වුණා.

මට බයයි.
ඉක්මනට එන්න.
අනේ ඉක්මනට එන්න.

මං ඇස් වහගෙන මිමිණුවා.

හදවත ගැහෙන වේගය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු උනා. මම හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.

කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.
මං බය නෑ. සෝෆාවෙන් නැගිටින්න වාරු ගත්තේ හිතේ දෙගිඩියාවෙන්.

පුළුන් කැටියක් මගේ ඇඟට පැන්නා.
මං යටිගිරියෙන් කෑ ගැහුවා.
කිරි සුදු ලොම් බෝලයක්.

හිම කැටයක් වගේ
සුදු පූසියෙක්.

මං වගේම එයත් බයවෙලා.
ඔහ්!
එයා මටත් වඩා බයවෙලා.

පවු අහිංසකයා. එයා මගෙ උකුළට ඇදුනෙ මා දිහා සැකමුසු බැල්මක් හෙලමින්. මොහොතකට කලින් හමු වූ මගේ ආගන්තුක පහසේ තැවරෙන්නෙ පුරුදු කාරියක් වගෙයි.

"උඹත් මං වගේමයි."

මං ඒ ලොම් පිරුණු ගෙල ඉහළ-පහළ පිරිමදිමින් පැවසුවා. සිහින් පුරුපුරු හඬින් උගේ පෙණහළු කම්පනය වන අයුරු මගේ අත්ලට දැනෙනවා.

ගමන් මල්ල පසෙකින් තියලා මම සුදු පූසිව උකුළට ගත්තා. ඌ හරිබරි ගැහිලා මගේ උකුළ උඩ වකුටු වෙලා උන්නා. සීතලට උගේ මවිල් පිම්බිලා. සුදු වලාකුළකින් වැටුණ පුළුන් කැටියක් වගෙයි.

මං අහස දිහා බැලුවා. අහස පුරා විසිරුනු අලු පාට වළාකුළු. හීන් හිරිපොදයක් වැටෙනවා ආයෙමත්.

"ඔයාටත් පාළුද?"

සුදු පූසි කන් දෙක ගස්සා මා දිහා බැලුවා. අඳුර නිසා විශාල වෙච්ච උගේ කළු ඉංගිරියාව මූණට ගෙනාවෙ පුදුම හිතෙන තරමේ අහිංසකකමක්. ඒ මැද කහපාටින් දිලිසෙන හීන් එළිය ඉරි දෙකක්.

"මං අද සතුටෙන්. ඒ වුණාට ටිකක් බයයි හිතට."

"නෑ නෑ ඒ නිසා නෙමෙයි. මේ වැස්සයි, කළුවරයි හින්දයි බය දැනෙන්නෙ. දැන් හිතට හොඳයි. උඹ ඉන්නවනේ….."


ඌ වරින් වර මගේ කලවා මත හිස අතුල්ලනවා.

"දන්නවද? ඒ ඇස් තද දුඹුරු පාටයි, උණුහුම්. උඹේ වගේ ගුප්ත බළල් ඇස් නෙමෙයි. මගේ වගේ බොළඳ නිල්පාට ඇසුත් නෙමෙයි."

"ඔව් ඉතින් නපුරුයි නේන්නම්. මේ බලපන් මෙතන. ඇයි තව මෙතන."


මම සීරුවට ගෙල වටා අතැඟිලි දිවෙවුවා.

"ඒ වෙලාවෙ මට දැණුනෙ මං වීදුරු බෝනික්කෙක් කියලයි. හොඳයි. කාටද කියන්න පුලුවන් ඒක වැරදියි කියල. වීදුරු බෝනික්කෙක් නිතරම බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ කැඩිල බිඳිල යාවිද කියල. මටත් හිතුන එහෙම. අකුණක් වැදුන වගේ හදවත නතර වේවි කියල."

"ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න බැරිනම් අපි හුස්ම ගන්න එකේ ප්‍රයෝජනේ මොකක්ද? අපේක්ෂාවන් මගින් ඇති වෙන උත්තේජනය තමයි මගෙ පෙණහළු විස්තාරණය කරන්නෙ."

"ඔව් ඉතින් හදවත ගැහෙන්නෙත් ඒ හින්දම තමයි."

"එතකොට ඇයි ඇඟිලි තුඩු හීතල වෙන්නෙ? එක් පරම අපේක්ෂාවක් මුදුන්පත් වෙන කොට අනිත් දාහක් අපේක්ශාවන්ගෙන් ඇති වෙන උත්තේජන නොදැනී යනවා. අන්න ඒ වෙලාවට රුධිර ගලනය නවතිනව. ඇඟිලි තුඩු හීතල වෙලා හදගැස්ම නතර වෙනව. ඔහ්! ඒක උනේ එහෙමයි!"


ඌ පුරු පුරු හඬින් දිගටම මට හූමිටි තිවුවා.

"ඇයි? ඇයි අහන්නෙ? හේතුවක් ඕනෙමද උඹට?"

"මං එයාට ආදරෙයි. ඔව්. මං දන්නෙ එච්චරයි."

ඉදිරිපස දොර දඩස් ගා ඇරුණා.

"ඇලෙක්සී! උඹ රස්තියාදුකාර චපල කෙල්ල."

ඔහු මගේ උකුළෙ උන් පූසිගේ කර මුලින් අල්ලා සෝෆාව මතට අතහැරියා.

"මියෑවෝහ්"

ඌ නොරිස්සුම් බැල්මක් හෙලමින් නෝක්කාඩු කියන්නට වුණා.

"මේ ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියා. මගේ සුන්දර හවුල්කාරිය. මම හිතන්නෙ ඔයාල දෙන්න මට කලින් එකිනෙකා හඳුනා ගන්න ඇති. මං කිවුවනෙ ඔයාට. ඈ හොඳයි. සාමකාමියි. ලෙන්ගතුයි."

ඔහු ගමන් මල්ලේ වූ දෑ එකිනෙක මේසය මත තබන්නට වුණා.

"ඉඳා…."

ඔහු චොකලට්ටුවක දවටනය ගලවා පෙති කිහිපයක් ඈ ඉදිරියට දැම්මා.

"උඹ මගේ ආගන්තුකයව හැපුවෙ, සීරුවෙ නැහැනෙ.?"

"අපොයි නෑ. එයා හොඳයි. ලෙන්ගතුයි. ඒත්......"

“ඒත්......?"

“මං හිතුවෙ."
මම වචන ඇහිඳින්න අසාර්ථක උත්සාහයක.

ඔහු ටී ෂර්ටය ගලවා සෝෆාව මතට විසිකර දැමුවා. මගේ උකුළ මත හිස තියාගත්තා. මං ඒ බොකුටු කෙහෙරැලි අතරේ ඇඟිලි තුඩු දිවෙවුවේ ආදරෙන්.

"තෙමිල."

"වැස්සට අහුවුණා."

"අපරාදෙ"

"ඇයි?"


"මටත් එන්නයි තිවුණෙ."

"කුඩේ අල්ලන්නද?"

"නැහැ, මං ආසයි වැස්සට."

"තෙමෙන්න?"

"හ්ම්ම්ම්…."

"බයක් නෑ?"

"ම්හ් හුම්"

"ඇත්තමද?"

"හ්ම්ම්ම්…."


කොපුල් තල මත ලා රත් පැහැයෙන් මතු වෙලා තිවුණු සිහින් සීරුම් පාරවල් අලුතෙන් පෑරෙන සියුම් වේදනාව මම ඇස් පියා ගෙන විඳගත්තා.

ලද අවසරයෙන් කාටත් හොරා මුදු අඩි තබමින් සෝෆාවෙන් බහින්න තැත් කරන ඇලෙක්සි ඔහුගේ රළු ග්‍රහණයට හසු වුණා. ඇය ගැලවෙන්නට තැත් නොකරම වේදනාත්මක බැල්මෙන් මා දිහා බලනව.

"මේ අපේ අලුත් හවුල්කාරිය. උඹට තේරුනාද? කතාබහ කරලා අඳුනගනින්."

ඔහු නොදන්නවා වුණාට අපි කොයිතරම් දේවල් කතා කලාද… මටත් හොරෙන් හිනාවක් දෙතොලින් පිටට පැන්න.

"වොෂ් දාගෙන එන්න."

ඔහු හිස කෙලින් කලා.

දහදියෙන් පෙඟුණු සිරුරට වැටෙන දිය බිඳුවල සිහිල සිරුර විනිවිදිමින් ඇටමිදුළු දක්වාම කාවදිනවා. හිතට දැනෙන සැහැල්ලුවත් එක්ක මම වතුරමල යට මෘදු වෝල්ට්ස් නැටුමක.

කණ්නාඩිය ඇතුළෙ ඉඳන් මා දිහා බලන් ඉන්නෙ සුදුමැලි පාට කෙල්ලෙක්. ඒත් ඇගේ දෑස් බබලනවා.

මම ඈට විරිත්තනවා.
ඇයත් මට විරිත්තනවා.

මම ඇයත් එක්ක හිනාවෙනවා.
ඈ මා එක්ක හිනාවෙද්දි ඇස් දෙක පුංචි වෙනවා.

මම කණ්නාඩිය ඇතුළෙන් පෙනෙන ඇගේ පිරුණු දෙතොල් සිප ගන්නවා.

හුස්මත් එක්ක පිට වුණ මීදුම් පටලයකින් ඇගේ රුව බොඳ වෙලා අපැහැදිලි වෙනව.

ඔහුගෙ ලොකු ටී ෂර්ටය ඇඟ ලා ගෙන මම කණ්නාඩිය පිසදමලා හැඩ බලනවා. බාච්චු ගවුමක් ඇන්දා වාගෙයි. එයින් හමන සුවඳ මගේ නැහැ තුඩ කිතිකවනවා.

ඔහු බැල්කනියට වෙලා තනිවම ගිටාරය වාදනය කරනවා. ඒ ගීතයේ තාලයට දෙපා තබමින් මම ක්ෂණික නූඩ්ල්ස් කෝප්පයට උණුවතුර වත්කරනව.

දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්

සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා

"කෑම ලෑස්තියි.!"

"ඕ… අපූරුයි!"


ඔහුගෙ දෑත මගේ බඳ වටා එතෙනවා.

"ඔයාගෙ නම මොකද්ද?"

"ඒක වැදගත් ද?"

"නැහැ නේන්නම්."


දුම් දාන ක්ෂණික නූඩ්ල්ස් කෝප්ප දෙක ටීපෝව උඩින් තියලා මං ඔහුට තුරුළු වෙනව.

Image- From the movie, 'A Bohemian Love Story'
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
විරාම ලකුණු
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
නොපිරවෙන හිස්තැන්
කතන්දර
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook