Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
එස්තෙර් ලුසෙරෝ
බූන්දි, 23:38:48
ඔවුහු තාවකාලික දඬුමැස්සක් මත තබා ගෙන එස්තෙර් ලුසෙරෝ රැගෙන ආවෝය. ඇය තුවාල ලැබූ ඌරෙකු මෙන් රුධිරය වගුරුවමින් සිටි අතර ඇගේ අඳුරුවන් දෙනෙත භීතියෙන් විසල්ව තිබිණි. දොස්තර අන්හෙල් සන්චෙස් ඇය දුටු විට ඔහුගේ සුපුරුදු සුප්‍රකට සන්සුන් බව ඔහුට මතක ඇති කාලයේ සිට පළමුවැනි වතාවට අතුරුදන් විය. ඒ හේතුවක් නැතිව නොවේ. ඇය පළමුවරට දුටුදා පටන් ඔහු ඇය සමග පෙමින් වෙලී සිටි බැවිනි. එවක ඇය තවමත් බෝනික්කන් සමග සෙල්ලම් කරන කුඩා දැරියක වූවාය. ඔහු, අවසන් මහා සංග්‍රාමය නිමවී පෙරළා පැමිණෙමින් සිටි වැඩිහිටියෙක් විය. මාස ගණනාවකින් නොකැපූ රැවුලෙන්ද ඉකිළි පෙදෙසෙහි සදහටම සිරවූ මූණිස්සමකින් ද යුත් ඔහු සිය රයිෆලය දණහිස් මත හරහට තබාගෙන සිය භට කණ්ඩායමේ ඉදිරියෙන්ම ගමන් කළ ට්‍රක් රථයක වහළෙහි නැගී නගරයට ඇතුළු වූයේ සිය ජීවිතයේ ඊට පෙර හෝ ඊට පසු හෝ නුවූ විරූ තරම් ප්‍රීතියකිනි. විමුක්තිකාමීන් වෙත ජය ‍ඝෝෂා නගන මහා ජනකාය මැද රතු පැහැති කඩදාසි කොඩියක් වනන කුඩා දැරියක ඔහුගේ නෙත ගැටී තිබිණි. ඔහු තිස් හැවිරිදි වූ අතර ඇය තවමත් දොළොස්වැනි වියවත් නොඉක්මවා සිටියාය. එහෙත් කිරිගරුඬ බඳු ඇයගේ අත පයද ඇගේ බැල්මෙහි වූ ගැඹුරද දුටු අන්හෙල් සන්චෙස් දැරිය තුළ රහසේ පැලව වැඩෙන සුන්දරත්වය දිවැසින් මෙන් දුටුවේය. ට්‍රක්රථය මුදුනේ තම උස් ස්ථානයේ සිට දැරිය සිය දෘෂ්ටි පථයෙන් මැකී යන තුරුම ඔහු ඇය දෙස බලා සිටියේ ඈ වනාහී වගුරු උණ සහ ජයග්‍රහණයේ ප්‍රීතිය විසින් නිර්මාණය කළා වූ කිසියම් මායාවී දර්ශනයක්ය යන විශ්වාසයෙනි. එහෙත් එදා රාත්‍රියේ තාවකාලික පෙම්වතියකගේ තුරුලේ සැතපෙන්නට ඔහු‍ගේ වාරය පැමිණි විට ඔහු ඇගේ ආලිංගනයෙන් කිසිදු අස්වැසුමක් නොලැබුවේය. වෙන හේතුවක් නිසා නොවේ නම් ඇය මිරිඟුවක්ද යන්න නිශ්චය කර ගැනීමටවත් තමා අර දැරිය සොයා යායුතු බව ඔහුට වැටහිණි. පසුවදා, ජයග්‍රහණ සැමරුමේ කලබලය වීදි වලින් තුරන්ව ගොස් ඒකාධිපති පාලනයේ සුන්බුන් අතු ගා දමා යළිත් ලොවට නීතිය හා සාමය ගෙන ඒමේ කර්තව්‍යය ආරම්භ වූ විට සන්චෙස් නගරය පීරා ඇය සෙවීමට පිටත්ව ගියේය. ඔහුගේ පළමු සැලසුම වූයේ සෑම පාසලකටම ගොස් සොයා බැලීමයි. එහෙත් යුද්ධයේ අවසාන කාලයේ සිට පාසල් වසා දමා ඇති බව ඔහු දැන ගත්තේය. මේ නිසා නගරයේ සෑම නිවසකම දොරට තට්ටු කර බැලීමට ඔහුට සිදු විය.

බොහෝ දිනක් මේ ඉවසිලිමත් වන්දනා ගමනෙහි යෙදී, එම දැරිය යනු ඇත්ත වශයෙන්ම දුර්වල හදවතේ උපන් මායාවක් බව ඔහුට සිතෙන්නට පටන් ගත් විටම හෙතෙම නිල් පැහැයෙන් සායම් කළ කුඩා නිවෙසක් වෙත පැමිණියේය. නිවෙසෙහි ඉදිරිපස වෙඩි උණ්ඩ වලින් සෑදුණු හිල් වලින් පිරී තිබූ අතර වීදිය දෙසට ඇරුණු එකම ජනේලය ආවරණය ‍වී තිබුණේ මල් වැටුණු රෙද්දකින් මැසූ තිරයකින් පමණි. ගෙදර කවුරුන් හෝ වෙත්දැයි ඔහු කිහිප වතාවක්ම විමසූ නමුදු පිළිතුරක් නොලැබුණු බැවින් ඇතුළට යෑමට ඔහු තීරණය කළේය. ඇතුළු කාමරයේ වූයේ ලී බඩු කිහිපයක් පමණි. කාමරය සිසිල්ද සෙවණැලි වලින් ගහණද විය. මේ කුඩා කාමරය මැදින් ඇවිද ගෙන ගිය ඔහු තවත් දොරක් විවර කරගෙන නොයෙක් අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ විශාල මැද මිදුලකට පිවිසියේය. අඹ ගසක් යට සවි කළ එල්ලෙන ඇඳක් ද, රෙදි සෝදන ඔරුවක් හා පසුපසට වන්නට කුකුළු කූඩුවක් ද, බෙහෙත් පැළෑටි, එළවළු සහ මල් පැළ සිට වූ ටින් බෙලෙක්ක හා මැටි බඳුන් රාශියක් ද එහි තිබිණි. අවසානයේදී, තමා සිහිනෙන් දුටුවේ යැයි සිතූ දැරිය එහි වූවාය. "එස්තෙර් ලුසෙරෝ" සිය නමෙහි තේරුමට, එනම් 'උදෑසන තාරකාව' යන්නට ගැලපෙන ලෙස ප්‍ර‍භාවත්ව, පාවහන් නොපැළඳ, ලාබ කපු ඇඳුමකින් සැරසුණු ඕ සිය සුන්දර කේශ කලාපය සපත්තු නූලකින් ‍‍ගෙල හරියට වන්නට ගැට ගසා ගෙන සේදූ රෙදි එල්ලන්ට සිය මිත්තණියට උදව් කරමින් සිටියාය. ඔහු දුටු ඔවුහු දෙදෙන ඉවෙන් මෙන් අඩියක් පස්සට ගත්හ. බූට් සපත්තු පැළඳි ඕනෑම කෙනෙකු විශ්වාස නොකරන්නට ඔවුන් උගෙන සිටි බැවිනි ඒ.

"බය වෙන්න එපා." තෙල්, දහදිය වැකුණු සිය හිස්වැසුම ගලවා අතට ගත් ඔහු මඳක් ඉදිරියට නැවුණේය. "මම වැඩකරන පංතියේ කෙනෙක්."

එදා පටන් ඔහු එස්තෙර් ලුසෙරෝ කෙරෙහි නිහඬව ඇලුම් කිරීමට පමණක් සීමා වූයේ තවමත් ‍වැඩිවියටවත් නොපැමිණි දැරියක කෙරෙහි හටගත් මේ අසම්මත ආශක්තබව කෙරෙහි ලජ්ජාවට පත් වමිනි. ලබා ගත් බලයේ ලාභාංශ බෙදන විට, ඇය නිසා අගනුවරට යෑමේ අවස්ථාව ප්‍රතික්ෂේප කළ ඔහු දෙවියන් විසින් අමතක කරන ලද ඒ නගරයේ වූ එකම රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් රැඳී සිටීම තෝරා ගත්තේය. සිය පරිකල්පනයෙහි සීමාවෙහි විනා ඉන් පිටත මේ ප්‍රේමය පරිසමාප්තියට පත් කර ගැනීමේ කිසිදු අපේක්ෂාවක් ඔහු තුළ නොවීය. ඔහු ජීවත් වූයේ ඉතා කුඩා තෘප්තීන් වෙනුවෙනි: ඇය සිය පාසැලට ඇවිද යන සැටි බලා සිටීම; ඇයට සරම්ප වැළඳුණු විට සාත්තු සප්පායම් කිරීම; ඉතාම කුඩා දරුවන්ට පමණක් සෑහෙන පරිදි කිරි, බිත්තර සහ මස් තිබී සෙස්සන් කෙසෙල් සහ ඉරිඟු වලින් පමණක් සෑහීමට පත් වූ කාලයක ඇයට විටමින් වර්ග සපයා දීම; ඇයගේ නිවෙසෙහි මැද මිදුලෙහි පුටුවක වාඩි වී මිත්තණියගේ උකුසු ඇස් බැල්ම යට හිඳ ඇයට චක්කරය පාඩම් කරවීම ආදිය ඒවා විය. ඔහු අමතන්නට වඩාත් සුදුසු නමක් අවශ්‍ය වූ නිසාවෙන් එස්තෙර් ලුසෙරෝ ඔහුට "මාමා" යැයි අමතන්නට පටන් ගත් අතර ඔහුගේ පැමිණීම වනාහි විප්ලවය නිසා හටගත් විස්තර කිරීමට අසීරු තවත් එක් ගුප්ත සංසිද්ධියක් ලෙස මිත්තණිය පිළිගත්තාය.

"එයා වගේ උගත් මිනිහෙකුට, දොස්තර කෙනෙකුට, ඉස්පිරිතාලේ ලොක්කා වගේම ජාතියේ වීරයෙකුට නාකි ගෑනියෙකුගේ වල්පල් කතා වලිනුයි එයාගේ මිණිපිරීගේ නිශ්ශබ්ද කමෙනුයි ලැබෙන පලය මොකක්ද?" නගරයේ ඕපාදූපකරු‍වෝ එකිනෙකාගෙන් විමසා ගත්හ.

වසර ගණනක් ඉක්ම යත්ම, සෑම විටෙකම සිදුවන්නාක් මෙන්, දැරිය විකසිත වූවාය. එහෙත් අන්හෙල් සන්චෙස් විශ්වාස කළේ ඇය විෂයෙහි සිදුව ඇත්තේ අතිශය පුදුම සහගත දෙයක් බවත්, මිත්තණිය සිය මහන මැෂිමේ මැසූ පාසල් නිළ ඇඳුම් වලට යටින් විකසිත වූ සුන්දරත්වය පෙනුණේ තමාට පමණක් බවත්ය. ඒ අතරම, තමාගේ හැඟීම් අවදි කළාක් මෙන්ම, ඇය තමා දෙස බලන සියලු දෙනාගේම හැඟීම් අවුස්සන බව ඔහු තරයේ විශ්වාස කළේය. එස්තෙර් ලුසෙරෝ වටා බඹරුන් රොද නොබඳින්නේ මන්දැයි ඔහු විමතියට පත් විය. අති ප්‍රබල හැඟීම් සමුදායකින් නිර්මාණය කරනු ලැබූ මහත් වධයකින් හෙතෙම පීඩා වින්දේය: සියලු පිරිමින් කෙරෙහි වූ ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු රහිත බ‍වේ ඵලය වූ නිරන්තර ශෝකභරිත බව සහ නිරුවත්, කාමාශක්ත දැරිය කාමරයේ සෙවණැලි අතර හිඳ රාගී ඉඟි බිඟිවලින් තමාට අඬගසන්නේයැයි සිතෙහි මවා ගත් කල දිවා නිද්‍රා සමයෙහි ඔහු දවන නිරය බඳු ගින්න ඔහුට පීඩා කළේය. වධයට පත් ඔහුගේ අභ්‍යන්තරය ගැන කිසිදා කිසිවෙකු දැන සිටියේ නැත. කරුණාවන්ත, මෘදු මිනිසෙකු ලෙස ඔහු ප්‍රකට විය. අවසානයේදී ඔහුට මනාලියක සෙවීමේ කටයුත්තෙන් වෙහෙසට පත් නගරයේ කාන්තාවන්ට තම වෛද්‍යවරයා තරමක් අමුතු පුද්ගලයෙකුය යන්න පිළිගැනීමට සිදුවිය.

"එයා අර 'ජාතියෙ' එක්කෙනෙක් නම් වෙන්න බෑ." ඔවුහු මිමිණූහ. "ඒත් මැලේරියාවයි, ඉකිළියෙ හිර වෙච්ච මූණිස්සමයි නිසා ගෑනුන්ට තියෙන ආසාව එයාගෙන් සදහටම නැතිවෙලා ගිහිල්ලා."

තමා වසර විස්සක් ප්‍රමාද වී මෙලොවට බිහි නොකිරීම ගැන සිය මවටත්, තමාගේ සිරුර සහ ආත්මය යන දෙකම හානියට පත් කොට කැළැල් ඉතිරි කළා වූ සිය දෛවයටත් අන්හෙල් සන්චෙස් ශාප කළේය. මේ ලොව හෝ වෙනත් ලොවක හෝ සිටින සුන්දරතම කාන්තාව ඇය බව කිසිම පිරිමියෙකුට සොයාගත නොහැකි වන පරිදි, සොබා දහමෙහි යම් චලතාවක් කරණ කොට ගෙන එස්තර් ලුසෙරෝගේ ප්‍රභාව සැඟව යන ලෙසට ඔහු දෙවියන් යැද්දේය. ඒ දෛවෝපගත බෘහස්පතින්දා දවසේ මිත්තණිය පෙරටු කර ගත් කුතුහලයෙන් පිරි ජන පිරිවරක් විසින් දඬු මැස්සක තබා ඇය රෝහලට ගෙන එනු ලැබූ විට වෛද්‍යවරයා හද කීරිගස්වන හඬක් නැගුවේ එබැවිනි. ඇය වසා තිබූ ඇතිරිල්ල ඉවත් කළ ඔහුට ඇ‍යගේ සිරුර හිල් කොට ගෙන ගිය කට ඇරුණු තුවාලය පෙනිණි. තමන් ඉතා උග්‍ර ලෙස ප්‍රාර්ථනා කිරීමෙන් මේ ව්‍යසනය උදා කළ බවත් ඇය කිසි දිනෙක තවත් පිරිමියෙකුට අයත් නොවනු ඇති බවත් ඔහුට දැනිණි.

"එයා මැද මිදුලෙ තියෙන අඹ ගහට නගින කොට ලිස්සලා අපි පාත්තයා බඳින උල උඩට වැටුණා." මිත්තණිය විස්තර කළාය.

"අනේ අසරණ කෙල්ල. මේක හරියට කවුරුහරි ලේ උරාබොන වවුල් ආත්මයක් විනාශ කරන්න හැදුවා වගේ වැඩක්", දඬු මැස්ස ඔසවා ගෙන ඒමට සහය වූ අසල්වැසි මිනිසා කීවේය. "එයාව උලෙන් මුදවා ගන්න අපි හරියට මහන්සි වුණා."

එස්තෙර් ලුසෙරෝ සිය දෑස වසා ගෙන සෙමෙන් කෙඳිරි ගෑවාය.

එතැන් පටන් අන්හෙල් සන්චෙස් මරණය සමඟ පෞද්ගලික ද්වන්ද්ව සටනකට එළැඹුණේය. දැරිය බේරාගැනීම සඳහා ඔහු සිය සියලු හැකියාවන් යොදා ගත්තේය. ඇය ශල්‍ය කර්මයකට බඳුන් කළ ඔහු ඇයට එන්නත් දුන්නේය, තමාගේම රුධිරය පාරවිලයනය කළේය, ප්‍රතිජීවක ඖෂධ වලින් ඇය පුරවාලූයේය‍. එහෙත් පැය හතළිස් අටකට පසු, බැම්මක් බැඳ නවතාලිය නොහැකි මහා ජල ප්‍රවාහයක් මෙන් ඇගේ තුවාලයෙන් ජීවය පිටව යන බව පැහැදිලිව පෙනිණි. මිය යමින් සිටි දැරියගේ පසෙක වාඩිවී ආතතියෙන් සහ ශෝකයෙන් පීඩිතව ඇයගේ සයනය පාමුල හිස තබා ගත් ඔහුට අලුත උපන් ළදරුවෙකුට මෙන් මිනිත්තු කිහිපයකට තදින් නින්ද ගියේය. ඔහු සිහිනයෙන් දැවැන්ත මැස්සන් දුටු අතර ඇය සිය උග්‍ර වේදනාවේ නපුරු සිහින තුළ අතරමංව ඉබාගාතේ ඇවිදිමින් සිටියාය. ඉදින් ඔවුන් මේ කිසිවෙකුට අයත් නොවූ භූමි‍යෙහි එකිනෙකා හමු වූ අතර ඔවුන් දෙදෙනාටම පොදු සිහිනය තුළ ඇය ඔහුගේ අතෙහි එල්ලී මරණයට තමා ගෙන යෑමට ඉඩ නොදෙන ලෙසටත් තමා කිසි දිනෙක අතහැර නොදමන ලෙසටත් ඔහු වෙත ආයාචනා කළාය. නේග්රෝ රිවාස් නමැත්තෙකු ගැනත් ඔහුගේ ජීවිතය ඔහුට නැවත ලබා දුන් විකාරරූපී ප්‍රාතිහාර්යයක් ගැනත් ඉතා පැහැදිලිව සිහියට නැඟීමෙන් අන්හෙල් සන්චෙස් අවදි විය. වහ වහා කාමරයෙන් පිට වූ ඔහු කොරිඩෝරයේ රැඳී නොනැවතී යාඥාවන් මුමුණමින් සිටි මිත්තණිය පසු කොට ගියේය.

"දිගටම යාඥා කරන්න. මම විනාඩි පහළොවකින් ආපහු එනවා." දිව යන අතර ඔහු කෑ ගෑවේය.

දස වසරකට පෙර, ඒකාධිපති ආණ්ඩුවේ සෙබළුන්ට වටලා පහර දීම පිණිස රටේ ඔබ මොබ ගමන් කරමින් දැඩි උණුසුමෙහි සහ මදුරුවන්ගේ ගැලවිය නොහැකි වධයෙන් පීඩිතව අන්හෙල් සන්චෙස් සහ ඔහුගේ සගයන් ඝන වනාන්තරයේ දණක් උසැති අකුල් මැදින් පිය නගන විට, ඔවුන් පරමාදර්ශයන්ගෙන් පිරුණු හිස්වලිනුත් කවි පිරුණු ගමන් මලුවලිනුත් උණ්ඩ රැඳවූ බඳපටිවලිනුත් සමන්විත‍, වට කරනු ලැබූ, උමතු සිහින දකින්නන් අතළොස්සක් මිස වෙන කිසිවෙකුත් නොවූ විට, ගැහැනියකගේ හෝ සබන් වල හෝ සුවඳක් ඔවුන‍්ගේ සිරුරු වල මාස ගණනාවක් තිස්සේ ‍‍නොතැවරී තිබූ විට, කුසගින්න සහ බිය තවත් සමක් මෙන් සිරුරේ දැවටුණු විට, ඔවුන් නොනැවතී ඉදිරියට ගමන් කරවූ එකම සාධකය අපේක්ෂා භංගත්වයම වූ විට, ඔවුන් සෑම තැනකම සතුරන් දැක තමන්ගේ සෙවණැලි පවා විශ්වාස නොකළ විට, නේග්රෝ රිවාස් පටු ගිරිකඳුරකට ඇද වැටී අඩි විස්සක් පමණ පහළට රූටා වුත් වැරහැලි දැමූ මල්ලක් පරිද්දෙන් ශබ්ද විරහිතව ආගාධයේ පතුළට වැටී තිබිණි. තියුණු දාර සහිත ගල් සහ ඇඹරුණු රුක් කඳන් මගහැර ලණු මගින් ඔහු සිටි තැනට බසින්නට ඔහුගේ සගයන්ට විනාඩි විස්සක් පමණ ගත විය. රුධිරයෙන් පෙඟී ගිය රිවාස් උඩට ගෙන ඒමට තවත් පැය දෙකක් පමණ ගත වූයේය.

මේ නේග්රෝ රිවාස් දැවැන්ත මිනිසෙක් විය. විනෝදකාමී, නිර්භීත පුද්ගලයෙකු වූ හෙතෙම ඕනෑම මොහොතක ගී ගැයීමට සූදානමෙන් සිටි අතර දුර්වල සගයෙකු කර පිට තබා ගෙන යෑමට ඕනෑම ‍වේලාවක ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූයේය. ‍එහෙත් දැන් ඔහු ඉදුණු දෙළුම් ගෙඩියක් මෙන් කැපී විවර වී සිටි අතර ඔහුගේ පිටේ මැද හරියෙන් පටන් ගත් ගැඹුරු කැපුම පපුවේ මැද හරිය වන තෙක් පැතිරී තිබිණි. එයින් ඔහුගේ ඉළ ඇට පවා පෙනිණි. සන්චෙස් හදිසි ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන ගිය නමුදු මේ තුවාලයට එය යන්තමින් වත් සෑහුණේ නැත. මායාවෙන් මිදුණු ඔහු තුවාලය මසා දමා රෙදි පටි වලින් එය වෙලුවේය. තම අතෙහි තිබූ ඖෂධ ද ඔහු රෝගියාට ලබා දුන්නේය. පොලු දෙකකට තබා බඳින ලද කැන්වසයක් මත රිවාස් තැබූ ඔවුහු මාරුවෙන් මාරුවට එය ඔසවා ගෙන ගියහ. මැස්සේ සෑම චලනයක් පාසාම රිවාස්ගේ ජීවිතයෙන් මිනිත්තුවක් අඩුවන බව පැහැදිලිව පෙනෙන තුරු ඔවුහු එසේ කළහ. නේග්රෝ රිවාස්ගේ සිරුරෙන් උල්පතකින් මෙන් රුධිරය බුබුලු දමමින් පිටවූ අතර ඔහු කාන්තා පියයුරු සහිත තලගොයින් ගැනත් ලවණමය චණ්ඩ මාරුත ගැනත් කියමින් නන් දොඩවන්නට වූයේය.

ඔහුට නිදහසේ මැරෙන්නට ඉඩ හැරීම පිණිස කඳවුරු බඳින්නට ඔවුන් සැලසුම් කරමින් සිටින විට, කලු පැහැති දිය වළක් අසල බොහෝ මිතුරුකමකින් එකිනෙකාගේ උකුණන් බලමින් උක්කුටියෙන් වාඩිවී සිටි ඉන්දියානුවන් දෙදෙනෙකු ඔවුන්ගෙන් එකෙකුගේ නෙත ගැටිණි. ඉන්දියානුවන් දෙදෙනාට පිටුපසින් ඝනැති වන මීදුමෙන් වැසී තිබුණේ ඔවුන්ගේ ගම්මානයයි. ඔවුන් බොහෝ ඈත කාලයක සිට හුදෙකලාව විසූ ගෝත්‍රයක් වූ අතර මේ ශතවර්ෂය සමඟ ඔවුන්ගේ තිබූ එකම සම්බන්ධය වූයේ දෙවියන්ගේ නීති පිළිබඳ දේශනා කරන්නට එහි පැමිණෙන්ට තරම් නිර්භය වූ මිෂනාරිවරයෙකු පමණි. එහෙත් ඔහුගේ ව්‍යායාමය සාර්ථක වී තිබුණේ නැත. ඊටත් වඩා බරපතළ කාරණය වූයේ මේ ඉන්දියානුවන් කිසි දිනෙක විප්ලවය ගැන හෝ 'නිදහස නැත්නම් මරණය!' යන සටන් පාඨය ගැන හෝ අසා නොතිබීමයි. මෙවැනි විශාල අඩුපාඩු සහ භාෂා බාධකය තිබියදීත්, මේ වෙහෙසට පත්වූ මිනිසුන්ගෙන් තමාට බරපතළ අනතුරක් නැතැයි ඉන්දියානුවන්ට වැටහිණි. ඉදින් ඔවුහු ඉතා බියගුළු ලෙස කැරලිකරුවන් පිළිගත්හ. කැරලිකරුවෝ මියයමින් සිටි මිනිසා පෙන්වූහ. ඉන්දියානුවන්ගේ නායකයා යැයි ඔවුන් සිතූ තැනැත්තා සදාකාලික අන්ධකාරයෙන් ද මඩ සහ මූත්‍ර ගඳින් ද පිරී තිබූ මඩුවකට ඔවුන් කැඳවා ගෙන ගියේය. එහිදී ඔවුහු නේග්රෝ රිවාස් පන් පැදුරක් මත දිගා කරවූහ. ඔහුගේ සගයෝද ගෝත්‍රයේ සාමාජිකයෝ ද ඔහු වටකර ගෙන සිටියෝය. ඊට මඳ වේලාවකට පසු සිය පූර්ණ චාරිත්‍රානුකූල ඇඳුමෙන් සැරසුණු යකැදුරා එතැනට සම්ප්‍රාප්ත විය. ඔහු පැළඳ සිටි මල් මාලාද යකැදුරාගේ උමතු දෑස ද ඔහුගේ ගතෙහි මිදී තිබූ තට්ටු ගණනක් වූ කැත කුණු ජරාව ද දැකීමෙන් අණදෙන නිලධාරියා බියට පත් විය. එහෙත් තුවාල ලැබූ මිනිසා වෙනුවෙන් කරන්නට තවත් කිසිවක් ඉතිරි වී නැති බව ද යකැදුරා යමක් කරන්නට සමත් වුවහොත්- අඩුම ගණනේ ඔහුට මැරෙන්න‍ට සහය වීම හෝ කරන්නට සමත් වුවහොත්- එය කිසිම දෙයක් නැතිවාට වඩා හොඳ බව ද අන්හෙල් සන්චෙස් පෙන්වා දුන්නේය. මේ අමුතු, අර්ධ නග්න සුව කරන්නාට සිය කටයුත්ත අවධානයෙන් යුතුව කරනු හැකි වනු පිණිස ඔවුන්ගේ ආයුධ බිම තබන ලෙසටත් කිසිදු බාධාවක් නොකරන ලෙසටත් අණ දෙන නිලධාරියා සිය සගයන්ට අණ කළේය.

පැය දෙකකට පමණ පසු ‍නේග්රෝ රිවාස්ගේ උණ බැස ගිය අතර ඔහුට ජලය ගිලින්නට හැකියාව ලැබිණි. අඳුර වැටෙන වේලාව එන විට ඔහු සයනයෙහි හිඳගෙන ඉරිඟු කැඳ ආහාරයට ගත් අතර දින දෙකකට පසු මඩුවෙන් පිටතට පය ගසන්නට ඔහුට හැකි විය. ඔහුගේ තුවාලය සම්පූර්ණයෙන්ම සුව වීමට පටන් ගෙන තිබිණි. අනෙක් ගරිල්ලන් රෝගියාගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින අතරතුර අන්හෙල් සන්චෙස් කළේ යකැදුරා පිටුපසින් වනාන්තරයේ කරක් ගසමින් බෑගයකට ඖෂධීය පැලෑටි එකතු කිරීමයි. වසර ගණනාවකට පසු අගනුවරදී, නේග්රෝ රිවාස් පොලිස්පති ධුරයට පත් කරන ලදී. තමා මරණයේ මුවවිටට ළංවූ ඒ සිද්ධිය ඔහුට මතක් වන එකම අවස්ථාව වූයේ නාඳුනන ගැහැනියක සමග රමණයේ යෙදීමට සිය කමිසය ගලවද්දී ඔහුගේ සිරුර දෙකඩ කරමින් පැතිරුණු ඒ කැළල කුමක්දැයි ඇය නොවරදවාම කරන ප්‍රශ්න කිරීම පමණි.

"නේග්රෝ රිවාස් බේරා ගන්න නිරුවත් ඉන්දියානුවෙකුට පුළුවන් වුණා නම්, යක්ෂයත් එක්ක ගිවිසුමක් ගහලා හරි මම එස්තෙර් ලුසෙරෝව බේරා ගන්නවාමයි." ඒ අවස්ථාව වන තුරුම අමතකව ගොස් තිබූ එහෙත් පසුගිය වසර ගණනාව පුරාම තමා සන්තකයේ තබා ගෙන හුන් ඒ ඖෂධීය පැලෑටි සොයමින් ගෙය අනෙක් පැත්ත හරවන අතර ඔහු ශපථ කළේය. පැරණි ට්‍රන්ක පෙට්ටියක පතුළේ පත්තර කඩදාසි වලින් ඔතා තිබූ ඒ පැළෑටි, ඔහුගේ කවි ලියූ සටහන් පොත, යුද හිස්වැසුම සහ යුද්ධයේ සෙසු සමරු සටහන් අතර තිබී ඔහුට හමු විය.

පාරේ වූ තාර උණුකරවා දැමූ සැඩ හිරු යටින්, කිසිවෙකු තමා පසුපසින් හඹා එන්නාක් මෙන් ඔහු රෝහල වෙත පෙරළා දිව ගි‍යේය. පඩි දෙක බැගින් නගිමින් ඉහළ මහලට දිව ගිය හෙතෙම දහදිය වගුරුවමින් එස්තෙර් ලුසෙරෝගේ කාමරයට කඩා වැදුණේය. මිත්තණිය ද රාජකාරියේ නිරත හෙදිය ද ඔහු දිව යනු දුටුවෝ ඔහු පසුපසින් කාමරයේ දොර තෙක් ගොස් ඇතුළට එබී බැලූහ. ඔහු සිය සුදු කබාය, කපු කමිසය, තද පැහැති කලිසම, කලු ක‍ඩයෙන් ගත් මේස් කූට්ටම සහ ඔහු සැමවිටම පැළඳි රබර් අඩි සහිත සපත්තු ගලවා දමනු ඔවුහු බලා සිටි‍‍යෝය. ඔහු සිය යට ඇඳුම ද උනා දමා ආධුනික සෙබළෙකු මෙන් සම්පූර්ණයෙන්ම නග්නව සිටිනු භීතියෙන් ගල් ගැසුණු ඔවුන්ට ඊළඟට පෙනිණි.

"සුද්ද වූ මරියාවෙනි, දේව මාතාවනි," මිත්තණිය කොඳුළාය.

වෛද්‍යවරයා රෝගියා වැතිර හුන් ඇඳ කාමරයේ මැදට තල්ලු කරනුද, සිය දෑත එස්තෙර් ලුසෙරෝගේ හිස මත තත්ත්පර කිහිපයක් තබා ගෙන සිටිනුද, ඉන් අනතුරුව රෝගී දැරිය වටා උමතු නර්තනයක යෙදීම ආරම්භ කරනු ද, දොරෙහි වූ කුඩා කවුළුවෙන් ඔවුන්ට යන්තමින් පෙනිණි. ඔහු සිය දණහිස් කෙතරම් උසකට එසවූයේ ද යත් ඒවා ඔහුගේ පපුවෙහි ස්පර්ශ විණි. ඔහු එක්වරම බිමට පහත් වූ අතර සිය අත් වනමින් මුහුණෙන් විකාරරූපී මුහුණු සාදන්නට වූයේ සිය දෙපා වලට පණ දුන් ඒ අභ්‍යන්තර රිද්මය එක මොහොතකටවත් නැති නොකර ගනිමිනි. පැය බාගයක් පමණ තිස්සේ ඔහු උමතු වූවෙකු මෙන් නර්තනයේ යෙදුණේය. ඔක්සිජන් ටැංකි ද සේලයින් බෝතල් රඳවන ද මග හරිමින් නොනැවතීම ඔහු නැටුවේය. අනතුරුව සිය සුදු කබායේ සාක්කුවෙන් වියළි කොළ කිහිපයක් ගත් හෙතෙම ඒවා ටින් බේසමක දමා අතින් කුඩු කරන්නට කරන්නට වූයේ ඒ මතට යළි යළිත් කෙළ ගසමිනි. ඒ මිශ්‍රණය තලපයක් ආකාරයට සාදා ගත් හෙතෙම එය රැගෙන මිය යමින් සිටින දැරිය වෙත පිය නැගුවේය. ඔහු තුවාලයේ වෙලුම් පටි ඉවත් කරනු ද, රාජකාරියෙන් බැඳී සිටි හෙදිය සිය වාර්තාවේ දැක්වූ පරිදි, ජීවාණුහරණයේ මූලිකම සිද්ධාන්ත වලට පවා ‍නොසලකමින් ඒ පිළිකුල් සහගත ආලේපය තුවාලයෙහි තවරනු ද, ඔහුගේ රහස් පෙදෙස ලජ්ජා සහගත ලෙස දැරිය වෙත නිරාවරණය වී තිබූ සැටිද ගැහැණු දෙදෙනා බලා සිටියෝය. ප්‍රතිකර්මය සම්පූර්ණ වූ විට, අධික වෙහෙසෙන් යුක්තව එහෙත් පරම සුඛදායී සිනහවකින් ප්‍රභාවත්ව වෛද්‍යවරයා බිම ඇද වැටිණි.

වෛද්‍ය අන්හෙල් සන්චෙස් රෝහලේ අධ්‍යක්ෂවරයා සහ විප්ලවයේ අසහාය වීරයා නොවුණේ නම් ඔවුන් ඔහු කුදලා කෙලින්ම පිස්සන් කොටුවට යැවීමට ඉඩ තිබිණි. ‍එහෙත් ඔහු අගුලු දැමූ දොර කඩා විවෘත කරන්නට නිර්භය වූ කිසිවෙකු නොසිටි අතර අවසානයේදී නගරාධිපතිවරයා ගිනිනිවන හමුදාවේ ද සහය ඇතිව ඒ වගකීම භාරගන්නා විට පැය දහහතරක් ඉක්ම ගොස් තිබිණි. ඒ වන විට වෛද්‍යවරයා සිය ඇඳුම් උනා දමා යළිත් චාරිත්‍රානුකූල නැටුමක යෙදෙමින් ප්‍රතිකර්මයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් සිටි අතර එස්තෙර් ලුසෙරෝ සයනයෙහි ඇන්දට හේත්තු වී දීප්තිමත් දෑසින් යුතුව සිය අන්හෙල් මාමා නටන සැටි විනෝදයට පත්වමින් බලා සිටියාය. දින දෙකකට පසුව, අගනුවර සිට විශේෂයෙන් එවන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොමිසම පැමිණෙන විට රෝගී දැරිය සිය මිත්තණියගේ අතෙහි එල්ලී රෝහල් කොරිඩෝරයේ ඇවිදිමින් සිටියාය. යළි ජීවනය ලැබූ දැරියගේ සහ සිය වෘත්තීය සගයන් පිළිගැනීම සඳහා මනා ලෙස හැඳ පැළඳ තම මේසය අසල සිටි රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඡායා මාත්‍රයක් දැකීමේ අපේක්ෂාවෙන් මුළු නග‍රයේම මිනිස්සු රෝහලේ තුන්වැනි මහල දිගේ ඇවිද ගියහ. කොමිසම වෛද්‍යවරයාගේ අසාමාන්‍ය නර්තනය ගැන විස්තර ඇසීමෙන් වැළකුණු අතර ඒ වෙනුවට සිය අවධානය යොමු කළේ යකැදුරාගේ අරුම පුදුම ඖෂධ පැළෑටි පිළිබඳවය.

එස්තෙර් ලුසේරෝ අඹ ගහෙන් වැටී වසර බොහෝ ගණනක් ඉකුත්ව ගොස් ඇත. වායු ගෝල පරීක්ෂකවරයෙකු සමඟ විවාහ වූ ඇය අගනුවර පදිංචියට ගිය අතර එහිදී කිරිගරුඬ බඳු අතපය වලින් සහ අඳුන්වන් ‍දෑසකින් යුත් බිළිඳියක ප්‍රසූත කළාය. ඇය ඉඳහිට සිය අන්හෙල් මාමා වෙත දැඩි ලෙස අක්ෂර වින්‍යාස වැරදි සහිත කාන්සාව පිරුණු තැපැල්පත් එවන්නීය. අරුම පුදුම ඖෂධ පැළෑටි සොයා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගවේෂණ සංචාර හතරක් දියත් කළ මුත් එයින් කිසිදු පලක් නොවිණි. ඉන්දියානු ගම ද ඒ සමඟම මරණීය තුවාල සඳහා විද්‍යාත්මක ප්‍රතිකාරයක් සොයා ගැනීමේ බලාපොරොත්තු ද වනාන්තරය විසින් ගිල ගනු ලැබ ඇත.

දොස්තර අන්හෙල් සන්චෙස් තවමත් හුදෙකලාව සිටියි. ඔහුගේ එකම සමාගමය වන්නේ ඔහුගේ ආත්මය කිසිදා අවසන් නොවෙන මධුපානෝත්සවයක දවමින් දිවා නිද්‍රා පැයේ ඔහු සොයා කාමරයට පැමිණෙන එස්තෙර් ලුසෙරෝගේ රුව පමණි. ඔහු ආදිවාසී භාෂා වලින් නිරතුරුවම තාරකා සමග කතා කරනු ඇසෙන බැවින් වෛද්‍යවරයෙකු ලෙස ඔහුගේ කීර්තිය ප්‍රදේශය පුරා දිගින් දිගටම පැති‍රී වැඩෙන්නට පටන් ගෙන තිබේ.
සිතුවම- William-Adolphe Bouguereau (1898)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook