Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
පුද්ගල පෞරුෂයන් වෙනුවට ප්‍රතිපත්ති මූලික දේශපාලනයක් - ජෙරමි කෝබීන්
බූන්දි, 03:07:56
වසර පහක කාලයක් පුරා බලාපොරොත්තු සහගතව සිටි 2015 මැයි මස 07 වැනි දිනය මහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයට බලාපොරොත්තු සඵල වන දිනයක් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ එදින පැවති මහමැතිවරණයේ දී සියළු පුරෝකථනයන් බොරු කරමින් සිය ප්‍රතිවාදී කොන්සවේටිව් පක්ෂයට අනපේක්ෂිත දැවැන්ත ජයග්‍රහණයක් අත්පත්කර දීමයි. පරාජයේ සියළුම වගකීම බාරගනිමින් ලේබර් පක්ෂ නායකත්වයෙන් සමුගැනීමට නායක එඩ් මිලීබැන්ඩ් පියවර ගත්තේය. කොන්සවේටිව් පක්ෂය සිය ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳිද්දී ලේබර් පක්ෂය තාවකාලික නායකයෙකු යටතේ වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට පත් විය.

එඩ් මිලීබෑන්ඩ් ලේබර් පක්ෂයේ වාමාංශික ප්‍රවණතාවය නියෝජනය කළ නායකයෙකු විය. පක්ෂ නායකත්වය සදහා වන ඡන්ද විමසීමේදී ඔහු විසින් සිය වැඩිමල් සොයුරු ඩේවිඩ් මිලිබෑන්ඩ් ඉතා තියුණු තරගයකින් පසු පරාජයට පත්කළේය. ඩේවිඩ් මිලිබෑන්ඩ් ලේබර් පක්ෂයේ නව ලේබර් ප්‍රවණතාවය හෙවත් ටෝනි බ්ලේයාර්ගේ මතවාදය නියෝජනය කළ අයෙකු විය. එය නව ලිබරල් ප්‍රතිසංස්කරණ පිළිගත් දේශපාලන මතවාදයකි.

කෙසේ නමුත් 2015 මැතිවරණයේ ලේබර් පක්ෂ පරාජයට හේතුව ලෙස ප්‍රධාන වශයෙන්ම කියැවුණේ එඩ් මිලීබෑන්ඩ්ගේ නායකත්වය දුර්වලතාවය සහ ඔහු විසින් ඉදිරිපත් කළ වාමාංශික ප්‍රතිපත්තීන්ය. 2008 වසරේ දී මහා බ්‍රිතාන්‍ය මුහුණ දුන් දැඩි ආර්ථික අවපාත තත්ත්වයත්, ඉන්පසු ආර්ථිකය ගොඩනැගීම සදහා ඩේවිඩ් කැමරන් ප්‍රමුඛ කොන්සර්වේටිව් රජය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගවලට ශක්තිමත් විකල්පයක් එඩ් මිලිබෑන්ඩ් ප්‍රමුඛ ලේබර් පක්ෂයෙන් ඉදිරිපත් නොවූ බවට ද විවේචනයක් එල්ලවී තිබිණි.

මෙවැනි තත්ත්වයක් මත පක්ෂයට නව නායකත්වයක් තෝරාගැනීම සදහා වන අයැදුම්පත්‍ර කැඳවිණි. නායකත්වය සදහා වන ඡන්ද විමසීම සැප්තැම්බර් මස 12 වැනි දින පැවැත්වීමට නියමිත අතර, තරගයට ඉදිරිපත්වීම සඳහා අවම වශයෙන් ලේබර් පක්ෂ මන්ත්‍රීවරු 36 දෙනෙකු විසින් නිර්දේශ කළ යුතුව තිබුණි. ගියවරද තරගය සදහා ඉදිරිපත් වූ ඇන්ඩ් බර්න්හැම් විසින් මන්ත්‍රීවරු 68 දෙනෙකුගේ නිර්දේශ හරහා ඉතා පහසුවෙන් තරගය සදහා තේරී පත්විය. කාන්තාවන් වූ වෙට් කූපර් සහ ලිස් කෙන්ඩල් පිළිවෙළින් මන්ත්‍රී නිර්දේශ 56ක් සහ 41ක් ලබාගනිමින් තරගය සදහා තෝරා ගැණිනි. මේ අය අතරින් ලිස් කෙන්ඩල් යනු ටෝනි බ්ලෙයාර් නියෝජනය කළ නව ලේබර් පාර්ශවයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටි අතර අනෙක් දෙදෙනා මධ්‍යස්ත මතදාරී ලේබර් මන්ත්‍රීවරු වූහ. ලේබර් පක්ෂ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත්වීමට උත්සාහ කළ අනෙක් පුද්ගලයා වූයේ ජෙරමි කෝබින්ය. සහනාධාර කප්පාදුව එරෙහි (Anti Austerity ) සහ දැඩි යුධ විරෝධියෙකු වූ ඔහු නාමයෝජනා බාරගන්නා අවසාන දිනයේ උදෑසන 11 වන විටත් තවත් මන්ත්‍රී නිර්දේශ 5ක් අඩුව තිබිණි. මධ්‍යහන 12 වන විට එය අවසන් වීමට නියමිතව තිබුණි.

කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂය ලෙස වැඩකරන පන්තියේ ජනතාව වෙනුවෙන් හඬනැගීම, එම පක්ෂය ආණ්ඩු කළ පසුගිය සමය තුළ අමතකව ගොස් තිබුණි. ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් හා එක්ව ඇෆ්ගනිස්ථානයට හා ඉරාක ආක්‍රමණයට බ්‍රිතාන්‍ය එකතු වන්නේ කම්කරු පක්ෂ ආණ්ඩු පැවති ටෝනි බ්ලෙයාර් පාලන සමයේදී ය. තියුණු ලෙස ගොඩනැගී තිබූ ආදායම් බෙදී යාමේ විෂමතාවයට එරෙහි වීමත්, කොන්සවේටිව් ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින සහනාධාර කප්පාදුවටත් එරෙහි සංවාදය ලේබර් පක්ෂය තුළ සක්‍රීය කිරීම ජෙරමි කෝබින් ගේ අරමුණ විය. නායකත්වය වෙනුවෙන් තරග කිරීම මගින් එකී කතිකාවට ඉඩකඩ ලැබෙන බවත්, එසේ කිරීමට අවශ්‍ය නිර්දේශයන් ලබාගත නොහැකි වුවහොත් නායකත්ව තරගයෙන් පිටතදී වුවද ඒ වෙනුවෙන් හඬක් නැගීම තම අරමුණ බව අවිනිශ්චිත අවසාන මොහොතේ දී ඔහු විසින් මාධ්‍යට පවසා තිබුණි. කෙසේ නමුත් ජෙරමි කෝබින් විසින් නියෝජනය කළ වාමාංශික අදහස් වලට එකඟ නොවූවත්, නායකත්ව තරගයට අවශ්‍ය දේශපාලන සංවාදයේ පරාසය පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාකළ මන්ත්‍රීන් කිහිපදෙනෙක් කෝබීන්ව නිර්දේශ කිරීමට එකඟ වූයෙන්, නාමයෝජනා බාරගැනීම අවසන් කිරීමට හරියටම මිනිත්තු 3කට පෙර තමන්ට අවශ්‍ය මන්ත්‍රී නිර්දේශ 36 ලබාගැනීමට කෝබින් සමත්විය.

සිද්ධි දාමය ආරම්භ වන්නේ එලෙසිනි. නායකත්වය වෙනුවෙන් වන තරගය ආරම්භයේදීම ඔහු සිටියේ එය ලබාගැනීමට හැකි අඩුම සම්භාවිතාවක් ඇති පුද්ගලයෙකු ලෙසයි. දේශපාලන සංසිද්ධි වෙනුවෙන් ඔට්ටු ලබාගන්නා එක්තරා සමාගමක් කොබීන් ලේබර් පක්ෂ නායකත්වයට පත්වුවහොත් වියදම් කරන සෑම පවුමකටම දෙසීය ගුණයක් ගෙවීමට සූදානම්ව සිටියේය.

නිශ්චිත තරගකරුවන් සිව්දෙනෙකුගෙන් සමන්විතව ලේබර් පක්ෂ නායකත්ව තරගය ඇරඹිණි. ඒ වෙනුවෙන් වන රූපවාහිනී විවාද, සම්මුඛ සාකච්ඡා ගණනාවක් පැවැත්විණි. 2020 වසරේ පැවැත්වීමට නියමිත මීළගට නියමිත මහමැතිරවරණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂයට නායකත්වය දෙනුයේ කවුරුන්ද යන්න තීරණය කරන ඡන්ද විමසීමට තවත් සති කිහිපයක් ඇත. එහෙත් නායකත්වය වෙනුවෙන් වන සටනේ හැඩය අනපේක්ෂිත ලෙස වෙනස්ව ඇත. අසීරු ලෙස සටහනට පිවිසි ජෙරමි කෝබීන් ආන්දෝලනාත්මක පුද්ගලයා බවට පත්ව ඇත. පූර්ව සමීක්ෂ වාර්තාවලට අනුව ඔහු මෙවර ලේබර් පක්ෂ නායකත්වයට පත්වීමේ වැඩිම සම්භාවිතාවක් ඇති පුද්ගලා බවට පත්ව ඇත. ඔබ කෝබීන් වෙනුවෙන් දැන් ඔට්ටුවක් දමන්නේ නම් ලැබෙනුයේ වියදම් කරන පවුමකට උපරිම පවුම් 1.5ක් පමණි.

ජෙරමි කෝබීන් යනු කවුද?

දශක තුනකට වඩා බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව නියෝජනය කරන කෝබින් තමන්ගේ නෝර්ත් ඉස්ලිංටන් ආසනය ඒ කාලය පුරාවට අපරාජිතව පත්වාගෙන ඇත. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වුවත්, ඔහු තවමත් පසු පෙළ මන්ත්‍රීවරයෙකි. කම්කරු පක්ෂය ආණ්ඩුකළ බ්ලෙයාර් සහ ගෝඩ්න් බ්‍රවුන්ගේ කාලයේදී ආණ්ඩු පක්ෂයේ යෝජනාවන් සදහා වැඩිම වාරයක් විරෝධය පළකළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා ඔහුය. යුධ විරෝධය සහ සහනාධාර කප්පාදුවට අදාළ කාරණා මේවායෙන් බහුතරයකටම හේතු වේ. තමන්ගේ පක්ෂය තුළම කැරළි ගසන 66 හැවිරිදි මේ මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍යයේ තාරුණ්‍ය අතර, වැඩකරන පන්තිය අතර, ලේබර් පක්ෂයේ වටිනාකම් ගැන උනන්දු පුද්ගලයින් අතර, සියළුම වාමවාදීන් අතර දේශපාලන බලාපොරොත්තුව දල්වා ඇත. දිනයේ වැඩිම කාලයක් අන්තර්ජාලය ඇසුරුකරන, නූතන තාක්ෂණයට වඩාත් විවෘත ලන්ඩනයේ වයස 18-25 අතර තරුණ පිරිස් වෙතින් සහයෝගය ලැබීමට සාම්ප්‍රදායික යැයි කියන වාමංශික දේශපාලන අදහසක් මෙකී පුද්ගලයාට හැකිවූයේ කෙසේද?

කෝබීන් අලුත් දෙයක් කියන්නේ නැත. ඔහු බ්‍රිතාන්‍යයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකි. සමාජ දේශපාලනික ක්‍රියාධරයෙකි. වෘත්තීය සමිති නායකයෙකි, සමාජවාදය විශ්වාස කරන්නෙකි.

වත්මන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉදිරිපෙළ ක්‍රියාකළ සමයේ කොන්සවේටිව් පක්ෂ තරුණ සම්මේලනය දියත් කළ නෙල්සන් මැන්ඩෙලා එල්ලා මරනු! යන වර්ණභේදවාදයට සහයෝගය දෙන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය තුළ ප්‍රචාරණය කරන විට කෝබීන් ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්විය. දෙදාහ දශකයේ බ්‍රිතාන්‍ය විසින් ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට එරෙහි යුධ ආක්‍රමණය කරන විට ඊට එරෙහිව පාර්ලිමෙන්තුව තුළ පමණක් නොව ඉන් පිටතද පැවැත්වූ දැවැන්ත රැළි සංවිධාන කළ, හඬ අවදි කළ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු විය. වඩාත් අත්දැකීම් සහිත පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිගින් දිගටම පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන්ගැනීමට සිදුවන්නේ ඉදිරිපෙළ පිරිස් විසින් සිදු කරන ජන හිතවාදී නොවන ක්‍රියාවන්ට පක්ෂපාතී වීමට ඔහුට නොහැකි හෙයිනි.


කෝබීන්(දකුණු පස) බ්‍රිතාන්‍යයේ සහනාධාර කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණය කරමින්

බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව තුළ අඩුම වියදම් සහිත මෙකී වාමාංශිකයාගේ පුද්ගල ඉතිහාසය පිළිබද අවිනිශ්චිතතාවයක් නොමැත. සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් තමන්ගේ පුද්ගලික ජීවිතය පවා කැපකිරීමට ඔහු පසුබටවී නැති හෙයිනි. තමන්ගේ පුත්‍රයා ප්‍රාදේශීය පාසැලකට නොයවා සිය මන්ත්‍රී වරප්‍රසාද වලින් වඩා ඉහළ පෙළේ පුද්ගලික් පාසැලක් වෙත ඇතුලත් කිරීමට ඔහු එකඟ නොවූ නිසා සිය බිරිඳගෙන් දික්කසාද වීමට සිදු වූ බව බ්‍රිතාන්‍යයේ පුවත්පත් වාර්තා කර තිබිණි.

ඔහු කියන්නේ මොනවාද?

තමන් සමාජවාදියෙකු බව සෘජුව ප්‍රකාශ කරන ජෙරමි කෝබීන් නිශ්චිතව ලේබර් පක්ෂය වෙනුවෙන් තමන්ගේ සැලැස්ම ඉදිරිපත් කොට ඇත.

දියුණු ධනේෂ්වර රාජ්‍යයක් ලෙස මහා බ්‍රිතාන්‍යය මේ වන විට දැවැන්ත නව ලිබරල් ප්‍රතිසංස්කරණ දියත් කරමින් සිටියි. ලේබර් පක්ෂය විසින් ආණ්ඩු කළ 1997-2010 කාලපරිච්ඡේදය පුරා වුවද ක්‍රියාත්මක වුයේ මෙකී ආර්ථික උපාය මාර්ගයි. මේ නිසා ආර්ථිකයේ ගමන්මාර්ගය වෙනස්කරලීම සදහා වන යෝජනා රැසක් සැකවින් කෝබින් විසින් සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත.

1. නව පන්නයේ දේශපාලනයක් - නව සොයාගැනීම්, සතුටුදායක රැකියා සහ වඩාත් දියුණු රාජ්‍ය සේවයක් තුළින් සාධාරණ සහ මානව හිතකාමී බ්‍රිතාන්‍යයක්.
2. සහනාධාර කප්පාදුවෙන් තොර ආර්ථික දියුණුවක් - (ආර්ථිකයේ සංඛ්‍යාත්මක දියුණුව සහ අයවැය පරතරය අඩු කරලීම සදහා නව ලිබරල් ආර්ථික උපාය මාර්ගය නම් පොදුජන සුබසාධන වියදම් කප්පාදු කිරීමයි)
3. දුම්රිය ප්‍රවාහන සේවය සහ බලශක්ති ක්ෂේත්‍රය යේ අයිතිය රජය යටතට ගැනීම.
4. කෙටිකාලීන සමාගම් ලාභය ගැන නොව දීර්ඝකාලීන ලෙස ලෝකයේ දේශගුණයට හිතකාමී ආකාරයෙන් වන දේශපාලන තීරණ ගැනීම
5. 2025 වසර වන විට පුද්ගලික සහ රාජ්‍ය අංශවල සියළුම දෙනාට නිවාස පහසුකම් සැපයීම. ගෙවල් කුළිය පාලනය කිරීම.
6. නීතී විරෝධී ජාත්‍යන්තර යුද්ධ අවසන් කිරීම. සාධාරණත්වය සහ සහයෝගීතාව ප්‍රමුඛ කොටගත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කිරීම. අනාගතය නවීන න්‍යෂ්ඨික ආයුධ වලින් නොව සමාජයීය කුසලතාවයන්ගෙන් පෝෂණය කිරීම.
7. රාජ්‍ය සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සහ පුද්ගලීකරණය කිරීම් නවතා දැමීම.
8. සැමට සාධාරණ සමාජයක් ඇති කිරීම. සියළුම දෙනාගේ දක්ෂතාවන් සහ දායකත්වයන් ඉදිරිපත්කළ හැකි සමාජයක් ගොඩනැගීම. සංක්‍රමණිකයින් වෙත ඇති සමාජයීය වෛරය තුරන් කිරීම
9. ජීවිතය පුරාවට පවතින ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම. විශ්වීය ළමා සංරක්ෂණය, අධ්‍යාපනය වෙනුවෙන් වන අයකිරීම් අහවර කිරීම
10. රැකියා ආරක්ෂණය - රැකියා අවස්ථාවක් පොරොන්දු නොවන ගිවිසුම් (සීරෝ යදමර) අහවර කිරීම. රැකියාව කරන ස්ථානවල සිද්ධවන අසාධාරණකම් වෙනුවෙන් සාමූහික කේවල් කිරීමේ ශක්තිය වැඩි කරලීම.

පුද්ගල පෞරුෂයන් නොව ප්‍රතිපත්ති මූලික දේශපාලනයක්

බ්‍රිතාන්‍යය තුළ මෙන්ම ජාත්‍යන්තරවද සමාජ ජාල වෙබ් අඩවි පුරා "කෝබීන්මේනියා" නමින් ප්‍රචාරණය වන්නේ පාර්ලිමෙන්තුවේ පසුපෙළ සිට කොන්දේසි විරහිත අරගල කළ මේ මිනිසාගේ ප්‍රතිපත්තිවලට ඇති ජන කැමැත්තයි, තරුණ ආකර්ෂණයයි. මහමැතිවරණ වෙනුවෙන් පැවති රැළි වලදී පවා එතරම් ජන සහභාගීත්වයක් නොමැති බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබීන්ගේ රැළි වෙනුවෙන් සිය ගණනක් පෝලිමේ ඇදී එති. මේ ජන ආකාර්ෂණය පිළිබදව කෝබින් සවිඥානිකය. වැඩකරන ජනතාව පත්ව සිටින අසාධාරණය, දිගින් දිගටම ධනපතින්ගේ ආදායම් තර කරන නව ලිබරල් ප්‍රතිපත්ති වලට එරෙහි වේගවත් කතාවලින් පසු ජනතාව උද්දාමයට පත්ව අත්පොලසන් නගන විට, ඔවුන් සමග එක්ව කෝබීන් අත්පොලසන් දෙයි. ජනතාව උද්දාමයට පත්ව සිටින්නේ හුදු කතාවට නොව තමන් විසින් ඉදිරිපත් කරන මතයට බවත් එම නිසා තමන්ද ඇතුලත් එකී ජනරැල්ලේ උද්දාමය සාමූහිකව බෙදා ගත යුතු බවත් ඔහු පවසයි.

සිය ප්‍රචාරක ව්‍යාපාරය තුළ කෝබීන් විසින් දිගින් දිගටම පවසන්නේ පුද්ගල පෞරුෂයන් මත දේශපාලන තීරණ නොගත යුතු බවත් ඒ වෙනුවට අදහස් සහ ප්‍රතිපත්ති මූලික දේශපාලන සම්ප්‍රදායක් ඇරඹිය යුතු බවත්ය. ආරම්භයේදී මන්දගාමීව ඉදිරියට පැමිණි කෝබීන්ගේ ජනප්‍රියතාවය තහවුරු වීමට ඉවහල් වූ ප්‍රධානතම කාරණය නම් ඔහු විසින් පුද්ගල පෞරුෂයන් විවේචනය සම්පූර්ණයෙන්ම අතහැර ප්‍රතිපත්ති සහ අදහස් සමග ගැටීමයි. තමන්ගේ ප්‍රතිපත්ති කිසිම ඉල්ලීමක් වෙනුවෙන් කේවල් නොකළ ඔහු සිය ප්‍රතිපත්ති, දර්ශනය වඩා සෘජුව ප්‍රකාශ කිරීමේ ලක්ෂණය, ඉල්ලුම සැපයුම න්‍යායට අනුව නම්‍යශීලි හුදු දේශපාලකයින්ට වෙනස් අනන්‍යතාවයක්, ආකාර්ෂණයක් අත්පත් කරගැනීමට සමත්විය.

ප්‍රතිවිරෝධය

බ්‍රිතාන්‍යය දියුණු ධනේෂ්වර රටකි. ප්‍රාග්ධනය වඩාත්ම තියුණුව සංසරණය වන සහ එය විසින් හැසිරවෙන ස්ථානයකි. ප්‍රාග්ධන සංසරණයේ අනුපිළිවෙළට සමාජය හැසිරිය යුතුයි යන තේමාවට විරෝධය දක්වන වාමාංශික නායකයෙකුගේ නැගීමට එරෙහිව ප්‍රාග්ධනයෙන් හැසිරවෙන පිරිස්වල ප්‍රතිරෝධය අපේක්ෂා කළ යුක්තකි. මහා බ්‍රිතාන්‍යයේ නායක්තවයට නොව ලේබර් පක්ෂ නායකත්වයට පත්වීමටත් පෙර එකී ප්‍රතිවිරෝධතා එළි බැස ඇත. කෝබීන් නායකයා වුවහොත්, ඔහුගේ ෂැඩෝ කැබිනට්ටුවේ සාමාජිකත්වය ලබා නොගන්නා බව දැනට තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෝ දෙදෙනෙකුම ප්‍රකාශයට පත්කර ඇත. හිටපු ලේබර් පක්ෂ නායක සහ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට අනුව ජෙරමි කෝබීන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ හදවතේ ඇති යමක් යැයි කිසිවෙකුට හෝ සිතේ නම් ඔහු හෝ ඇය විසින් සිය හදවත ඉවත් කර වෙනත් හදවතක් බද්ධ කරගත යුතුය. තවත් හිටපු ඇමතිවරු සහ ජ්‍යෙෂ්ඨ ලේබර් පාක්ෂිකයින් ගණනාවක් සෘජුව කෝබීන්ට එරෙහිව සිය මතය ප්‍රකාශ කර ඇත.

මාධ්‍ය හැසිරීම

කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ජෙරමි කෝබීන්ව හුවා දක්වනුයේ ලේබර් පක්ෂය වෙත අර්බුදයක් කැඳවූ අයෙකු ලෙසය. ඔහුට ප්‍රාදේශීයව ලැබෙන දැවැන්ත සහයෝගය නිසා පක්ෂය දෙකඩ වීමේ අවදානමක් පිළිබදව මෙම ධනපති ගැති ඊනියා නිදහස් මාධ්‍ය නිරන්තරයෙන්ම දේශනා කරනු ලබයි. කෝබීන්ගේ ප්‍රධානතම ප්‍රචාරණ මාධ්‍යය සමාජ මාධ්‍යයි. ෆේස්බුක්, ට්වීටර් සහ යූ ටියුබ් ඔස්සේ දස දහස් ගණනින් පිරිස් දිනපතා ඔහු හා එක්වෙමින් සිටිති.

කෝබීන් විසින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනුයේ සහනාධාර කප්පාදුවට එරෙහිව පෙළගැසුණු සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය බවයි. එය හුදු ලේබර් පක්ෂ නායකත්වය තමන්ට හිමිකරගැනීමට පටු නොවිය යුතුය. අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව පෙළගැසුණු සමාජ ව්‍යාපාරය, වඩාත් සාධාරණ, නිවහල් සමාජ ක්‍රමයක් වෙනුවෙන් සිය සටන මෙහෙයවිය යුතුය. ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය, අයර්ලන්තය වැනි රටවල තනි තනිව නැගී සිටින බවට සංඥාකොට ඇති මෙම සමාජ ව්‍යාපාරය සාමූහිකව එක්ව දැවැන්ත වෙනසක් ඇතිකළ යුතුය. එය ඇති වනතෙක් බෑගයක් කරේ දමාගෙන බස්වලින්, දුම්රියෙන් ගමන් ගොස් ජනතාව හමුවන මේ මිනිසා තෘප්තිමත් නොවනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Jeremy Corbyn, Labour Party of Great Britain, Tony Blare, Conservative party-UK, Edward Miliband, David Cameron, Labour Party (UK) leadership election, 2015
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
ලෝකයේ අති මහත් ම ගැටළුව වූකලී, මෝඩයන් සහ භක්ති උන්මන්තකයින් තමන් පිළිබඳ අතිශයින් ම විශ්වාසයෙන් පසු වීමත්, ප්‍රඥාවන්තයින් තමන් පිළිබඳ අවිශ්වාසයෙන් පිරී සිටීමත් ය.
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook