About Boondi | Fan Page | FaceBook | Boondi Lexicon | Boondi Blog | Kids' Boondi | Sinhala Fonts
What's New | අලූතෙන්
Site for Sri Lankan Literature, Arts and Politics
BLOGS
Last update on 02nd February.
රන්සුණු
මානව විමුක්තිය පිළිගන්නා ඕනෑම ආගමක් මම ද පිළිගන්නෙමි. කිසියම් ආගමක් මා මගේ මිනිසුන් වෙනුවෙන් කරන අරගලය වළකාලන්නේ ද ඒ ආගමට මා කියන්නේ මෙපමණකි. ''මකබෑවියං!''
-Malcolm X
බූන්දියට එන පාර-
jh¾ Èf.aa-
boondionline@gmail.com
කැමතියි ද යන වග
අලූත් ප්‍රතිචාර
[Best viewed in 1152 X 864 Screen Resolution]
w w w . b o o n d i . l k
Advance Search|වැඩිදුර සෙවිල්ල
කළු ජනේරුව
එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය. මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට හිස් වීදුරුව හිස් අසුනක රඳවා වලාකුළු දෙස නො බලා බිම බලා ගතිමි. තණ පත‍්‍ර අග්ගිසි මත නිදි කිරා වැටෙමින් සිටියේ අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින් වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ දම් පාට තරුවක ඇඟිලි අතරින් ගිළිහුණ කදෝපැණි නටඹුන් ය. හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ ධාරාණිපාත හිම වැස්සෙහි උදෑසන ශේෂය අරලිය මුදුන් මත්තෙහි දිදුළ සුදු පාට පමණෙකි. උදෑසන පැමිණෙන බව හිරුට දන්වා නො තිබුණු බව ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල ලියා අවසන් වන විට හවස් වන ලකුණු පළවිණි. එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය. සන්ධ්‍යාවටත් කළියෙනි. ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද සිරුරට ගිනි තබා ගත්තෙන් උසාවිය පාළු විය. "ජනවාරි මාසෙත් ඉවරයි" ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය. මගේ සිතුවිලි බිම වැටිණ. සමස්ථ අවුරුද්ද යනු ජනේරුවට පර්යාය පදයක් බව මම සෙමින් කී විට ඇය සිනහසුනා ය. වලාකුළු ගලන්නට ඉඩ දී මම ඇයට මෙසේ කීවෙමි. "ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි." 2012 ජනේරු 25
රෙගේ
කොඩියක් නො වෙයි ඒ සළුව යි ජැමෙයිකා පොළොවේ ලෙළෙනවා නො වෙයි උඩු ගුවනේ වැනෙනවා හුළඟේ රඟනවා නිදැල්ලේ රෙගෙ රෙගේ රෙගෙ රෙගේ... ගැහෙන්නේ බෙර හඬින් උපන් පොළොවේ හදවත නළාවෙන් ගලන්නේ උණුසුම දර අහුරු රෑ පුරා දැවෙද්දී ගිනිමැලය අසල හිඳ වේදනා තවද්දී ගයන්නේ නිදි වරන කටහඬ: -නංගියේ, නාඬන්... No women, no cry! පලාවන් සුහුඹුල් පත් පිළිස්සී පෙරී එන සාර දුම පපු කුහර පාරමින් පාදමින් සොයන්නේ ප්‍රේමයේ ශේෂය ද ලෝලයේ රස පොද ද... -කලපුවට හඳ එළිය වැටුණු දා අමතක ද උඹට අපි හමු වුණා සිඳී ගිය පැතුමේ පතුලේ රෝස කුසුමක් නො වෙද පිපුණේ වයන්නම් ගිටාරේ මිය ඇදෙන ඇඟිලි තුඩු පණ ගසා Stir it up, little darling! පා වහන් ගලවා මහ පොළොව පාගා වීදියේ යායේ අවුවේ කළු ගැසෙන සිනා රැළි සෙවණේ දාඩියෙන් පෙඟුණු අත්වැල සදා වට කළේ පවුරු නැති සම බිම ද අරාජක සිහිනය ද -නො දෙසනු ස්වර්ගය අහසේ යැයි තිබෙන්නේ එය මේ පොළොවේ අනුන්ගේ යුද්ධයට කුලී මිනිසුන් සැදූ පොළොවේ වහසි බස් අසාලා බිය නො වවු සගයිනි... අවදි වවු! Get up! stand up! සිංදුවක් නො වෙයි ඒ ඇහෙනවා පෙර අසා නැති යමක් හැඳිනගත හැකි වේ ද... නිර්භය ව කෑ ගසා ප්‍රශ්න කළ ගවේසී යෞවනේ ගීතය ද බිය වැදී ජීවිතෙන් පලා යන උන්මාද උච්ඡේද රිද්මය ද...
වෙඩ්ඩාට වෙඩි තබමි
මේ සීත දුරුත්තට ගිනි තියන සීතල ම තව තවත් අවුලුවන පොල් මටුල්ලෙන් පෙරෙන තෙළි දියට බිඟුන් අවතාර වී නිති පෙරෙන එතොත් ඔබ අවුළුපත් බුදින්නට නෙරළු ගස් මණ්ඩියක වාඩිගෙන පුරන්නට අවසරද මෙ'තෙළි දිය දසුන් නැති නමුත් නෙතු තුළ රැඳුනු කසුන් සිහිනයක ඔබ සිටිනවලු මසුන් වුව ගැහෙන සීතල හිමක දුරුතු තනිකමක් දැනුනද යාළු අඳුරු වන ගැබකි සිත ගුළු ගැණුනු අඳුරු වැහි කෝඩයට මුළු ගැණුනු මොණර කුකුළෙකුගෙ මතකය ඇවිලු සොඳුරු මතකය පමණි මට යාළු සඳුන් හර ලෙස දවන ජීවිතය අළුත් සුළගේ ගියා නොකියාම සුදුම සිගරට්ටුවකි ජීවිතය ෆිල්ටරය මතක මරණෙකි තාම ගම්මිරිස් ඇටයකින් බැදි මිරිස් කරලකින් මම නුඹට වෙඩි තබමි හදවතම හිල් වෙන්න කවි ගලා ගියාවේ රතු රුහිරු විලාසෙන් ඒත්........................ පෙණහළුව........ අක්මාව නුඹ ම එය රැකිය යුතු
සොහෝවුරෙකි උඹත් කදිම
සරසවියේ අවන්හලක මුළුතැන්ගෙහි කොනක නිසල දල්වන නිති දුම්වැටියක හිමිකරුවෙකි ඔබද එකල බරසාරෙට පද අමුණන මාක්ස් ලෙනින් ගැන දොඩවන ගත රුහිරු'ව ගෙනැත් පුදන සොහෝවුරෙකි උඹත් කදිම රැඩිකල් සංගම් නායක පෙළපාලිය මුල හොබවන උපකුලපති වුවද සැළෙන වදනනින් පිලිමල් පරදන වුවන වැසුණ චේ රැවුලට ගන දෙබැමකි කැපෙන යසට නැතිබැරි උන් හට අතදෙන තේ කහටින් කුස පුරවන සිසු මහ ජන ගඟ හසුරන රතු තොල් හඬගා ඉල්ලන ලේ දහදිය කඳුළු හළන අපේ ගමන නො නවත්වන කිසිවිට කිසි තැන නො නමන නුඹේ හිසද සිඳි බව දැන සරසවියේ මල් සුපිපුණ අකලට පරවිය උරණව නුඹ මින් පිටවී යන විට ගැලවූ රතු කමිස පොඩිය ගලහ හන්දියේ කණුවක ඊයෙත් තෙමුණා වැස්සට ආයෙත් ඒ කමිස පොඩිය ඇඟ ලා ගන්නට සුරතින නිස්සෙකු ඒ දැයි බලමින සරසවියේ කහමල් පෙති පාර බලන්නා.....
මරණයේ නිවහන
වෙඩි බෙහෙත්වලින් සැදූ බදාමයකින් පාදම සාදා ගොඩ නගනු ඔබගේ නිවහන ගින්දරෙන්, එය වඩාත් සවිමත් වනු පිණිස මිනිස් ලෙය ඒ මත වගුරවා. එය මුර කරනු වස් අවතාර පමණක් කැඳවනු. ඊයේ වළලා දැමුණවුන් හාරා ගොඩදමනු! ඔවුන්ගේ පා සහ බාහු ඇට ගෙන නුඹගේ මන්දිරයේ කවුළු ගරාදි තනා ගනුව! අන්ධකාරයේදීත් රාත්‍රියේදීත් දොර විවරව තබා, ගිනියම් සුළං සමග බාගෙට පිළිස්සුණු මිනී ගඳ පමණක් ඇතුළට ගලා එනුවස් එම කවුළු විවරව තබනු! රක්ත තප්ත යකඩින් ද්වාරයක් තනනු! ගිනියම්ව දැවෙන යතුරෙන් එය විවර කර සාතන්ට බාර දී ඉවත් වෙනු! මළවුන්ගේ ඇටකටුවලින් සිංහාසනයක් නිමවා, පොලු මුගුරු පහර දී හිස සුන් කර මරා දැමූ ගැහැණියකගේ දත් ඔබ්බවා එය විසිතුරු කරව, නුඹගේ යුක්තියේ තුලා දණ්ඩ විසිතුරු කරනු වස් ළදරු හිස් කබල් යොදාගනුව. තරුණියකගේ විලාපයේ දෝංකාරය දරුවන්ගේ කෙඳිරිය සහ ප්‍රජාවගේ වැළපුම යොදා නුඹගේ නිවස ගීතවත් කරව! එහි සපැමිණන ආගන්තුකයන් හට හළාහල විෂමුසු උණුසුම් පානයකින් සත්කාර කරව! එයින් ඔවුන්ගේ උගුර බොටු දියවනවිට නුඹගේ වික්‍රමාන්විත අසිපතෙන් ඔවුන් කැබැලිවලට ඉරා දමනු. ව්‍යංජනයන් පිසිය හැකි වන ලෙස.... ඔවුන්ගේ ඇස් උගුලා එයින් බොජුන් මේසය සරසව! ඉරා දැමුණු දිවවල් කටගැස්මට යොදාගනුව, නුඹගේ ක්ෂුධාග්නිය ඉදින් සංසිඳුණේද? දැන් මට පිළිතුරු දෙව, කිසිදු වෙනසක් අද දැකිය හැකි වෙද? නුඹ මා උදෙසා ගොඩ නැගූ මේ නිවහන සහ මාගේ මාතෘභූමිය අතර? [A House Of Quicksand]
නූතන නෙළුම් කවි
කෙනකුට කියන්නත් බැරි මාසේ පඩිය නෙළුම් පොකුණෙ පීනන්නට දිග මදිය ගන්නත් බැරි කලට මාසෙක අඩු වැඩිය පන්දහෙ දාහේ අවසර පත බර වැඩිය කලාවට කොරන මහතුනි උඩ පැනලා හිනැහෙමු අපිත් යට ඉඳගෙන උඩ බලලා නැති මුත් දකින්නට බක්කක් කට ඇරලා අත්වැල් ගයන උන්ටම කරලත් පැහිලා මොට ද තවත් දෙරණට කුමරස්වාමි නෙළුම් පොකුණෙ වැඩකරු ජැස්සන් සාමි පුස්සන් රැස්ව නිස්සන් වළලනු දුටිමි සරස්වතිය නිහඬව වැලපෙනු අසමි කොම්පැනිකාර මහතුනි මෙහෙ වරෙල්ලා පොකුණෙ මලට ස්පොන්සර් කරල්ලා ආදරණීය මිනිසුනි වැඩ දමල්ලා හුදී ජනට පස්ස ම පෙන්නපල්ලා
නියඟලා කවි
උවන පුස්තකේ සයිබර ගුවන පිට සරන විහඟුනේ දෙනයන කෙවෙන විට කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ ගමන පමයි අකුරට වැඩ කලාවේ වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද මලට පැහැය ලැබ දුන් මව් බිම නැමද උවන පොතට එක්කෙරුවා මල් සුවඳ විඩාබර නොවුණ දෑසක් ලද හින්දා කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා ‘අඩා වර ළඟට වර’ ළඟට ම කැන්දා කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ වැලිකඳුත් ගිළින නැඩ ගිනි මකරුන්ට ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට මව්බිමත් සමඟ රමණය කළවුන්ට මව් වුණත් කයක් පමණෙකි හැමනෙන්ට පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ බිම හෙළා පයිනි පෑගුව නමුදු මල ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස? සටහන- වෘත්තීමය වශයෙන් යාපනය වඩමාරච්චි තැපැල් හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා, තමා උපන් පරිසරයට බෙහෙවින් ආදරය කළ පරිසරවේදියකු විය. දේශපාලන අනුග‍්‍රහය මත, කුඩාතනෙන වෙරළේ, මූදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව පෙරමුණේ සටන් කළ ඔහු ඒ පිළිබඳව ප‍්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීමෙන් නො නැවතී, "ෆේස්බුක්" අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය හරහා නො බිය ව, ඊට එරෙහි මතයක් සමාජගත කිරීමෙහි ලා උත්සුක විය. තර්ජන හා බිය වැද්දවීම් හමුවේ, උකටලී නො වූ තේවා, කුඩාතනෛ වෙරළ තීරය ඡායාරූපයට නගා, එය අන්තර්ජාල මිත‍්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ 'කුඩා තනෛ වෙරළේ සම්පත් සංහාරය' මැයෙනි. ඒ 2010 වසරේ අවසාන දිනයයි. එදින ම රාති‍්‍රයේ ඔහුගේ නිවසට කඩා වැදුණු ‘වැලි හොරු’ පරිගණකය පිරික්සා, අනතුරුව ඔහු කුඩාතනෛ වැල්ලට රැගෙන ගිය හ. ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.
දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.
උදේ A -4 සවස F- 4 රෑට පැනඩෝල්- 24
අරගල කැල කැඳවමු අපි
ඔද තෙජ බල නැණ ජන කැල එක් රැස් කර ගෙන සවි බල සැක බිය හිත් මුවහත් කර හමුවෙමු සැම රැය දහවල මුග්ධ අවිදු හීන මාන නිති පුද දෙන වන්ද මාන බිඳ සිඳ විෂ ඇති රුපු දළ ජන බල ගොස නද අවැසිය අල දෙල් කොස් ඇති වී පොල් ජනයා නොසිතති නිවහල් ජාතිය ආගම හැමකල් අබිං කවති රෑ දහවල් දියත පුරා ගරා වැටෙන අධිපතියට අඳුර රැගෙන සදිසාවෙන් හමාන එන අරගල කැල කැඳවනු මැන ජනයාගේ කර මත යන සීනිබෝලයෙන් රවටන හාල්පාරු ජන නායක අම්බරුවෝ බිම හෙල මැන වෙඬරු වගේ දිය නොවෙනා පාලන ක්‍රම දැන හැඳිනා නිසිකල තැන දුර බලනා ජන බල මුලු ගොඩ නගනා නපුරු සිහිනයක් නොවෙනා පීඩිත ජන සිත් තලනා උතුර දකුණ හද හඳුනා අත්වල් බැඳ පා තබනා මමත්වයට ගිණි බිඳ හැර මනුස්සයට හද ඉඩ හැර විවාදයට නිසි දොර හැර සමූහයම එක් වනු මැන