BOONDI.LK| කතන්දර බූන්දි| යකඩයා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න | සෝමසිරි ඒකනායක
ප්‍රතිචාර[2]
බොහොඬෙක් | ඇන්ටන් චෙකොව්
ප්‍රතිචාර[2]
අවන්හල | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[0]
අදෘශ්‍යමාන හාදුව | තිළිණි ෂැල්වින්
ප්‍රතිචාර[21]
වෘකයා සහ බැටළු පැටවා
ප්‍රතිචාර[0]
අංශක 110 | දසුනි හෙට්ටිආරච්චි
ප්‍රතිචාර[1]
ගැබ්බර හිතට ගබ්සාවක් | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[4]
The Cobra Woman and Her Visitor | අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රතිචාර[0]
හොඳයි... මං අහන්නෙ ? | රුවනි සිසිජා ජයකොඩි
ප්‍රතිචාර[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක් | සමර විජේසිංහ
ප්‍රතිචාර[1]
BOONDI • Sookiri •
  කතන්දර බූන්දි  
යකඩයා
ප්‍රතිචාර[0]
බූන්දි| | 22:14:31
නැන්දා දීග දී අවුරුදු දාසයක් වන නමුත් තවමත් තාත්තා මාමාගේ හීයට මැඩවුමට අවුරුදු පතාම වාගේ හරකා බාන යවයි. ගෑනියක දීග දුන් පසුවත් හරකාබාන යැවීමෙන් ඇගේ සැමියාගේ වැඩපලවලට උදවු දීම ගැමියන් අතරේ සිරිතක් වසයෙන් කෙරෙන්නකි. මෙවැනි බැඳීමක් ඔවුන් අතර නැති නමුත් බොහෝ දෙනා එය සලකනුයේ යුතුකමක් වශයෙනි.

එක් අවුරුද්දක මාමාගේ හීයට හරක් තුන් බානක්ම සපයන ලද්දේ තාත්තා විසිනි. හීයට පෙර දින හරකුන් දක්කා ගෙන ඔවුන් ගේ ගමට ගියේ මාමාගේ ලොකු පුතා වූ තිස්සත් මාත් ය. ඇඳිරි වැටෙන තුරුම තණ කවා රෑටත් හොඳට කෑම ඇති තැන්වල හරක් බැඳීමෙන් පසු, අපි කවුරුත් පසුදා උදය උවමනා වන අනෙක් උපකරණ සුදානම් කිරීමෙහි යෙදුණෙමු.

මාමා පළමුකොට ම වියගස්වල සිදුරුවලට ලණු දමා එවා එහි ම දවටා පැත්තකින් තැබීය. ඊට පසු පොල් පට්ටා ඉරා මදය හැර අඹරා නඟුල් වත අගට ගැට ගැසීය. මේ අතර තිස්සත් මමත් මල්කෑර හා පේර කෝටුවල ගැට සැස ඒවා හොල්ලු කෙළෙමු. පිටි කොටන හලන හඬ වරින් වර ගෙතුලින් ඇසුණ හෙයින් එහිත් වැඩ කටයුතු අධික බව අපට දැන ගත හැකි විය.

උපකරණ සියල්ල සුදානම් කිරීමෙන් පසු අපි හඳ එළිය වැටී තිබුණ මිදුලට වී සෙල්ලම් කිරීමට පටන් ගතිමු. මාමා ඉස්තෝප්පුවේ හාන්සිපුටුව මත දිගා වී කල්පනා කෙළේය. ඔහු එවිටත් කල්පනා කෙළේ පසුවදා හීය ගැනමය.

"කන්නිමහරින් තුන් බාණයි. අපේ බාණයි හතරයි. මෙතියෙස් ගෙ මීමයි. යකඩය ගෙ බාණයි. පීතර ගෙ මී දෙනයි"
ඔහු අපටත් ඇසෙන්නට ගණන් බැලීය.

"තිස්ස උදෙන්ම සේනත් එක්ක ගිහින යකඩය ගෙ හරක් බාණ අරන් එන්ඩ ඕනෑ."

"හා" කියමින් තිස්ස සෙල්ලම් කරමින්ම පිළිතුරු දුන්නේය. පසුවදා උදෙන්ම තිස්සත් මමත් යකඩයා ගේ ගෙදරට යෑමට පිටත් විණිමු. වත්ත දිගේ පහළට ගොස් වෙල මැදින් එගොඩ ගොඩට ගිය අපි කැලෑ පාරක් ඔස්සේ ටික දුරක් අවුත් යකඩයා ගේ ගෙදර අසළට පැමිණියෙමු.

යකඩයාගේ ගෙය තිබුණේ වැලි සහිත බිමක ය. ගෙයට මිදුලක් නැතැයි කිවයුතු තරමට ම ඒ වටා හැම තැනම ගස් කොළන් විය. පුවක් ගස් හා කෙසෙල් පඳුරු ද අත්ගොබ වලට වඩා මහත නැති කොස් හා අඹ ගස් ද එකිනෙකට ළං ළං ව වැඞී තිබිණ. පෙර දින රෑ තරමක් තදින් වැස තිබුණ හෙයින් උඩහින් වැලි ගලා ඒම නිසා මුළු පෙදෙසම තෙත වැලිවලින් වැසී තිබිණ. අපි ඇඟිලි සහිත පා සටහන් ඇතිවන පරිදි සෙල්ලක්කාර ලෙස පා තබ තබා ගෙ පිළ ළඟට ගියෙමු.

දෙගොඩ හරි වයසේ කැහැටු ස්ත‍්‍රියක් එහි මුල්ලක පැදුරක් වියමින් සිටියාය. නහරවැල් ඉල්පී ඇස්ගෙඩි ඉගිලී තිබුණ ඈ බැලූ බැල්මට පෙනුණේ ගැහැනියකට වැඩියෙන් යකින්නකට හුරුවය. ඈ පොරවා ගෙන සිටි දිග සාටකයක් වැනි ගොමස්කඩයේ ඉහළ කොටස පුරා අවුල් වී ගිය ඇගේ ඉදුණු හිසකේ විසිර තිබිණ.

"කෝ අබරන් අයියා?" යි තිස්ස ගෙපිළට අතක් තබමින් ඇසීය.

පිළිතුරක් දීමට පෙර ඈ පපුව කැඞීයන තරමට කැස්සාය. කැස්සෙන් පසු ගොරෝදේ ඇද "තුඃ" ගා ගෙයි මුල්ලට කැහි පිඩක් දමනවාත් එක්කම කළු තරබාරු පුරුෂයෙක් ගෙයි සිට ඉස්තෝප්පුවට ආවේය. ඔහුගේ අත පය යකඩෙන් වාත්තු කළාක් මෙන් ශක්තිමත්ව වැඞී තිබිණ. ඉතා සැලකිල්ලෙන් කරකනවන ලද උඩු රැවුල නිසා ස්වභාවයෙන්ම මුහුණේ පිහිටි රෞද්‍ර කම වඩාත් ඉස්මතුව පෙනිණ. ඔහුගේ දෑස් ද ඉදීගෙන එන ගොරක මද තරමට රත් පැහැ විය.

"ආ... අන්න තාත්තා කිව්වා හරක බාන ඉල්ලගෙන යන්න" ඔහු දුටු විගස තිස්ස කීවේය.

"අන්න පල්ලෙහා ළිඳ ළඟ බැඳල ඇති ලිහාගෙන පලයන්" යකඩයා කිසි ගරු සරුවක් නැතිව කීය.

"ඇයි බොල තොගෙ අත පය කැඩිලද? ගිහින් ලිහල දීපියකො, ඒ ළමයින්ට ලිහාගෙන යන්ඩ කියන්නෙ" යි ඒ සමඟ ම අර කැහැටු ගැහැනිය ඔහුට කඩා පැන්නාය. මා උඩගොස් බිම වැටෙන තරමට ගැස්සිණ. කිසිම ගැහැණියක කිසිම පිරිමියෙකුට ඒ අන්දමට කතා කරනු මා කිසි දිනක අසා නැත.

ඇගේ කඩා පැනීම සුවච කීකරු බල්ලෙකු මෙන් ඉවසූ යකඩයා අපත් සමඟ ම වත්ත පහළට අවුත් හරකා බාන ලිහා වත්තෙන් පිටවන තුරු දක්කාගෙන ගොස් අපට බාර දුන්නේය. මා එතෙක් ම සිතමින් සිටියේ හරකුන් ගැන නොව අර කොරකහ ඉපලක් වැනි ගැහැණියට මේ ශක්තිමත් පුරුෂයා මේ තරමි ආංඩු ඇයි ද යන්න ගැනයි.

යකඩයා පෙනුමෙන් කොයිතරම් නපුරු පුද්ගලයෙක් වී ද යත හොත්, ඔහු සවන් පථයෙන් නොව දර්ශන පථයෙන් ඉවත් වන තුරුත් මම මේ ගැන කතා කරන්නට බිය වීමි. ඔහු නොපෙනී ගිය වහා ම මම ඒ ගැන තිස්ස ගෙන් ඇසුවෙමි.

"අනේ මන් දන්නෑ. එහෙම තමයි ඒ මිනිහගෙ හැටි. ගෑනිට සලකන්නෙ හරියට රජ බිසොවකට වගෙ බයාදු කමෙන්. ඒ උණාට ගමේ සේරම යකඩයාට බය යි. ඌ ඒ තරමට රෞද්‍රයි." මෙසේ කියූ තිස්ස ඔවුන් පිළිබඳ අතීත කතාවක් ද මා සමඟ කීය.

ඔහු කියූ කතාවෙහි කෞතුක අගය හැරෙන්නට වෙන ගත යුත්තක් එදා මට නොවීය. එහෙත් ඔවුන් ගේ ජීවිතය හැඩ ගැසුණ අච්චුව එය යැයි දැන් මට සිතේ. තිස්ස කියූ සියල්ල, දැන් මට මතක නැත . එය කෙටි කතාවකට නැඟීමට මා දැරූ ප‍්‍රයන්නතය ද නිශ්ඵල වී ගියේය. මෙහි පහත දැක්වෙන්නේ ඔහු කියූ කතාවෙන් මට මතක ඇති කරුණුය.

යකඩයාත් ඔහුගේ පවුලත් හුඟ කලකට පෙර පිට ගමකින් එහි පදිංචියට පැමිණි අය ය.

යකඩයා ගේ නියම නම අබරන් ය. ඔහුගේ බිරිඳගේ නම පුංචිනෝනා ය. ඈ තරමක ඉඩම් හිමියකුව සිටි සුරබියෙල් මුදලාලිගේ එකම දුව ය. පුංචිනෝනා කුඩා කලම ඇගේ මව මිය ගියා ය. සුරබියෙල් මුදලාලි ගේ වත්ත මුරකරන ලද්දේ ඒ ගමටත් පිට ගම්කාරයකු වූ යකඩයා ගේ පියා විසිනි. ඔහු එහි පැමිණෙන විට යකඩයාත් පුංචිනෝනාත් දෙදෙනාම ළදරුවෝය. කුඩා කාලයේදී පුංචිනෝනාගේත් ඇගේ පියාගේත් වැඩපල කරන ලද්දේ යකඩයා විසිනි. ඔහු අතින් කිසියම් වැරැද්දක් වූ විට පුංචිනෝනා ද සුරබියෙල් මුදලාලි අනුව යමින් ඔහු අඩතේට්ටම් කරන්නට විය. මේ නිසා කුඩා කල සිට ම යකඩයා තුළ මුදලාලිත් ඔහුගේ දුවත් කෙරෙහි තිබුණේ තද භයක් හා කීකරු කමෙකි. ඇතැම් මෙහෙකරුවන් හිරිහැර කරදර විඳිමින් ම ස්වාමියා කෙරේ දනක්වන භක්තියද යකඩයා තුළ විද්‍යාමාන විය. ඇතැම් විට එය ඔහුට සිය පියාගෙන් ලැබුණක් විය යුතුය.

ගෙදර වැඩපල නැති වේලාවලට යකඩයා කෙළේ අහළ පහළ කොල්ලන් සමඟ ගුටි ඇණ ගැනීමය. ගුටි ඇණ ගැනීමෙන් කවදාවත් කිසිවකුට ඔහු පරාජය කළ නොහැකි විය. මුදලාලි ගේ කුස්සියෙන් හොඳට කෑම බීම ලැබුණ නිසා ඔහුගේ ශරීරයද හොඳට වැඞී තිබිණ. එහෙයින් ගැමි දරුවන් තුන් හතර දෙනකු සමඟ පොර බැඳීම ඔහුට ලෙහෙසියෙන් ම කළ හැකි විය. යකඩයාට කදුළු නැත යනුද එකල කොල්ලන් අතර පැතිර පැවති කතාවකි.

පුංචිනෝනා දීගයක දෙන්නට පෙරම සුරබියෙල් මුදලාලි මිය ගියේය. ඔහු සිටියදී ඈට මඟුල් දෙක තුනක්ම කතා කළ නමුත් තරමක විසයක් හා ආඩම්බරයක් ඇතිව සිටි පුංචිනෝනා ඒ එකකටවත් කැමති නොවූවාය. ඈට ඕනෑ කෙළේ තමාට ආන් බාන් කරගත හැකි පුරුෂයෙකි.

තාත්තා ගේ මරණයෙන් පසු ඉඩකඩම් හා ගෙදොර දොර පාලනය කිරීමේ තනි බලය පැවරුණේ පුංචිනෝනාටය. ආර්ථීක සංරක්ෂණය හෝ සංවර්ධනය පිළිබඳ ව කිසිම හැඟීමක් නැති ඈත් සමග වැඩ කළ නොහැකි තැන යකඩයාගේ පියාද අස් වී වෙන රක්ෂාවක් සොයා ගියේය. ඔහුට කිසිම කීකරු කමක් නැතිව සිටි යකඩයා පරණ පුරුදු ස්වාමි දුව වෙතම නතර විය.

මුදලාලිගේ මරණයෙන් පසු ආදායම අඩු වූ නමුත් පුංචිනෝනා ගේ වියදමත් විසේත් වැඩි විය. ඇයට සුදුසු ස්වාමි පුරුෂයකු නොලැබුණ නිසා හිතුවක්කාර කමට යකඩයා සමඟ හාදවුණු ඈ පසුව ඔහු සමඟ විවාහ වූවාය.

යකඩයා කිසිම වත්කමක් ඇත්තෙක් නොවීය. විවාහයෙන් පසුවත් ස්වකීය තනි අයිතිය වූ ඉඩ කඩම් පාලනය කෙළේ පුංචිනෝනාය. යකඩයා ඇගේ ස්වාමියා වූවත් පෙර මෙන් ඈ කිය කරන දේට එකඟ වන සුවච මෙහෙකරුවෙක් පමණක් විය. මේ නිසා නරක පාලනයත්, විනෝදකාමී ජීවිතයත්, පසු ඉඩම්වලට අයිතිවාසිකම් කියාගෙන ආ නෑදෑයින් සමඟ නඩුහබ වලට පැටලීමත් නිසා කල් යෑමේ දී ඇගේ ඉඩකඩම් සියල්ල විකිණී ගියේය.

ඉඩකඩම් සියල්ල විකිණී පාරට බසින්නට වූ පසු ඇයට ගිය නුවණ පහළ විය. මේ සියල්ලට හේතුව යකඩයා වැනි අනාථයකු සමඟ විවාහ වීම යැයි ඈ සිතුවාය.

"යකෝ උඹ එක්ක ආව මිසක මට රාජකුමාරේක් එක්ක යන්ඩ තිබුණෙ නැද්ද?" කියමින් ඈ නොයෙක් විට යකඩයාට බැණ වැදුණාය. යකඩයා ද ඈ කියන සියල්ල එසේම පිළිගත්තේය. ඈ ඔහු සමඟ ආවේ වී නමුත් හොඳ පොහොසතකු සමඟ සමඟ විවාහ වන්නට පුළුවන් කම තිබුණු තැනැත්තියක බව දැන් වුව ද ඈ ගුණ කියමින් ඔහු සඳහන් කරන්නේ තරමක ආඩම්බරයෙනි. කොයි තරම් බැන්නත් ඈ ඔහුට ආදරේ නැතැයි කිසිවකු කියනු ඇසීමටවත් යකඩයා කැමති නැත . ඇත්ත හෝ බොරුව වේවා! සමහරවිට ඈ ඔහුගේ කෙස්වැටියෙන් අල්ලාගෙන පහර දෙන බවද ඇතැම් ගැමියෝ පවසති.

[කටු සහ මල් - 1956]


K Jayathilaka | කේ. ජයතිලක
[SEO Tags] Katu saha Mal, K. Jayathilake , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ජුලියන් අසාංශේ කියයි.| Personal Quotes
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැ‍ඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....