BOONDI.LK| කතන්දර බූන්දි| වාසනාවේ රන් දොර‍ටුව
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න | සෝමසිරි ඒකනායක
ප්‍රතිචාර[2]
බොහොඬෙක් | ඇන්ටන් චෙකොව්
ප්‍රතිචාර[2]
අවන්හල | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
අදෘශ්‍යමාන හාදුව | තිළිණි ෂැල්වින්
ප්‍රතිචාර[21]
වෘකයා සහ බැටළු පැටවා
ප්‍රතිචාර[1]
අංශක 110 | දසුනි හෙට්ටිආරච්චි
ප්‍රතිචාර[1]
ගැබ්බර හිතට ගබ්සාවක් | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[4]
The Cobra Woman and Her Visitor | අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රතිචාර[0]
හොඳයි... මං අහන්නෙ ? | රුවනි සිසිජා ජයකොඩි
ප්‍රතිචාර[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක් | සමර විජේසිංහ
ප්‍රතිචාර[1]
BOONDI • Sookiri •
  කතන්දර බූන්දි  
වාසනාවේ රන් දොර‍ටුව
ප්‍රතිචාර[3]
බූන්දි| | 17:24:17
සැප් ආවේ මීගමුවේ සිට ය. ත්‍රීවීලරයක ය. මහා රාත්‍රියක ය. පොඩි අයියා සමග ය. බලාපොරොත්තුවෙන් පිරි නිල් ඇස් සමග පිරිසිදු විශාල කන් යුගලයක් ද ඔහු සතු විය. මුලු ගේ පුරා ම ගෙම්බෙකු මෙන් පනිමින් හේ පළමුව අපේ නිවස පරික්ෂා කළේ තමාට එය පදිංචියට සුදුසු දැයි කියා විය යුතු ය. පළමුව විසාල පු‍ටුවක් තම රාත්‍රී යහන ලෙස ‍තෝරා ගත් ඔහුව නිශේධ බලය යොදා අම්මා විසින් බිමට තල්ලු කළේ ය. ඊළඟට තරමක් උසට පෙනෙන ඇඳක් ‍තෝරා ගත්තත් එයින් ද ඔහුව බිමට තල්ලු කරන ලදී. අවසන ඇඳට ආසන්නයේ බිමක නිදන්නට හේ තීරණය කළේ ය.

ඔහු ගේ ශරීරය ම සුදු වූත්, කෙටි වූත් ලොමින් වැසී තිබුණු අතර තැනින් තැන කළු කුඩා රවුම් මතු වී තිබුණේ කදිම මෝස්තරයකට ය. කළු පැල්ලම් හැරුණු විට ඔහු මුලුමනින් ම සුදු පැහැති ය. එහෙයින් ම ආඩම්බරකාර වූත් ජේත්තුකාර වූත් පිළිවෙළක් ඔහු තුළින් කැපී පෙනුණි. තමා සමඟ තවත් සහෝදර, සහෝදරියන් දස දෙනෙක් සිටි බැවින් සැප් සිටියේ තරමක් හිත් කරදරයෙනි. වැඩිමහල් සහෝදරයන් වන බෙනී සහ බක්ලි සියලු දෙනා පෙරලා ගෙන කිරි බොන හෙයින් ඔහු සිටියේ අඩක් හාමතේ ය. සහෝදරියක මිල දී ගැනීමට කවුදෝ තරුණයෙකු හා තඩි මිනිසෙකු ආවේ මේ අතර ය.

'ගෑනු බල්ලෙක් ගන්න ආවෙ..
කෝ කොහේ ද එයාල ඉන්නෙ?'

තරුණයා කරුණාවන්ත පෙනුමැති ය. ඒත් තඩි මිනිහා ගැන නම් විස්වාසයක් තැබිය හැකි පාටක් නැත. ඔහු තුළ වූයේ දාමරික පෙනුමකි. ගොජ ගොජ ගාමින් කතා කරන විටත් බය හිතෙයි.

'ආ.. ඔය ගොල්ලො ම ගිහින් බලන්න.
කැමති කෙනෙක් ‍තෝර ගන්න..'

විසාල කාමරයේ දොර විවර විය. දැන් තමා ගේ වාරය බැව් ඔහු දැන උන්නේ ය. හෙතෙම තමා සතු උපරිම වේගයෙන් කාමරය පුරා දිව යන්නට විය. ගෙම්බෙකු මෙන් පැන පෙන්වී ය. ළාමක කටහඬින් බුරා පෙන්වී ය. අයියලා, අක්කලා පෙරලාගෙන අම්මා ළඟටත්, කරුණාවන්ත තරුණයා ළඟටත් දුව යන්නට විය.

බලු මායම හරි ගියාක් මෙනි. ඔහු තරුණයා ගේ ඔඩොක්කුවට පැන මුහුණ සිපගෙන තරමක් ඈතට ගොස් බෙල්ල ඇල කර නිරූපිකාවක මෙන් බලා සිටින්නට විය.

'මෙයාට මක් වෙලාද මන්දා..
කවදාවත් මෙහෙම හැසිරිලා නෑ..'

තරුණයා සාක්කුවට අත දමා රුපියලේ කාසියක් ගෙන බිම හෙළී ය. සැනින් බල්ලා ඒ දෙස බැලී ය.

'අපි මෙයාව ගන්නවා.'

'හැබැයි මහත්තයා ඔය බල්ලෙක්, බැල්ලියෙක් නෙවෙයි.'

'කමක් නෑ. මෙයාව තමයි මට ඕනෙ..'

ගෙදර ආ පසුව සැප් යන නමින් අපි ඔහුව බෞතීස්ම කළෙන් ස යන්නෙන් පටන් ගන්නා සියලු වචනවලට ඔහු සංවේදී විය.
පළමුව ඔහු මල් කෑවේ ය. කවුරුත් මුලින් සිතුවේ මල් ඉඹිනවා කියා ය. එහෙත් ඇත්තට ම ඔහු කවුරුත් අහළ- පහළ නැති සෑම විටක ම මල් කෑවේ ය.

බාබන්ඩේසියා, සේපාලිකා, ඉන්දියන් පිච්ච ආදිය කා බලා අවසන තම ප්‍රියත ම මල් වර්ගය ලෙස ඔහු ‍තෝරා ගනු ලැබුවේ බාබන්ඩේසියා ය. දිනපතා මල් හත අටක් කෑ ඔහු ඉන් පසුව වෙරළු කන්නට පුරුදු විය. වෙරළු ගෙඩියේ ඇටය හක්කේ තබා ගෙන චුයින්ගම් කන්නාක් මෙන් විකමින් සිටි ඔහු ගේ පුරා ඇවිදින එක් දිනෙක මේසය මත් සිටි මොණරෙකු දිටීය. වඩාත් කපටි ලෙස තම දිගු ගෙළ භාවිත කර මොණරාව එක කටට ඩැහැ ගත් සැප් ඒ දවස මුලුල්ලේ ම ගත කළේ මහත් භීතියකින් හා සැකයකිනි.

'කෝ මගේ රුපියල් දාහ?'

ලොකු අයියා ගෝරණාඩු කරන්නට විය. සැප් මහත් බයාදුව ගේ පුරා ඇවිදිමින් තමන් ගේ නිර්දෝෂීභාවය පෙන්වන්නට විය. මුලු ගෙය ම අනෙක් පැත්ත හැරෙව්වත් හමු වූ මොණරෙක් නම් නොවී ය. සැකයේ බීජය සැප් වෙත යොමු වූයේ ඉන් පසුව ය. ලොකු අයියා සැප් මහතා ගේ විශාල වූත්, කෙළ සපිරි වූත් මුඛය විවර කර බැලුවේ දත් දොස්තර කෙනෙකු නරක් වූ දතක් සොයන විලාසයෙනි. නමුත් එතරම් කරුණාවකින් නම් නොවේ. දාහේ නෝට්‍ටුවේ ශේෂ ඔහු ගේ හක්කේ තිබී සොයා ගනු ලැබූයෙන් ඔහු වැරදිකරු විය. බැණුම් වරුසාවක් කඩා හැළෙන්නට විය. බූරුවෙකු මෙන් හිස බිමට නමාගෙන බැණුම් ඇසූ සැප් මහතාට අවසානයේ කදිම පා පහරක් ද හිමි විය.
ඉන් පසුව සීයේ කොළ, දහයේ කොළ, පනහේ කොළ ආදිය සැප් ගේ හක්කේ නෑ ගමන් ගොස් තිබී ලොකු අයියාට හමු විය. බැණුම් සමඟ සුපුරුදු පා පහර සැප්ට හිමි වුවත් එහි අවසානයක් දක්නට නොලැබුණි.

සැප් යළිත් තම සුපුරුදු මල් කෑම පටන් ගත්තේ අවමානය ඉවසා සිටිය නොහැකි තත්ත්වයට ළඟා වූ විට ය.

*********

පොඩි අයියාටත්, අම්මටත් තිබුණේ පුදුමාකාර ස්වීප් ටිකට් පිස්සුවකි. තාත්තාට අනුව එය සුළු පිස්සුවකි. ලොකු අයියාට අනුව නොම්මර එකේ සූදුවකි. නංගීට අනුව 'මළ සමයමකි'. සැප් මහතාටත්, අම්මාටත්, පොඩි අයියාටත් අනුව නම් 'ෂෝක් වෑඩකි'.

පොඩි අයියාත්, අම්මාත් රූපවාහිනිය ඉදිරියේ පත බෑවී සිටින්නේ තරමක තල්මසුන් දෙදෙනෙකු මෙනි. ලොකු පෙට්ටියකින් බටයක් දිගේ නොම්මර ගැසූ කුඩා බෝල ගලා යන මොහොත උදා විය. මේ අරුම ක්‍රීඩාව සැප් දු‍ටුවේ ඉතාම අහඹු ලෙස ය. ඔහු හිස වනමින් පොඩි අයියා ළඟින් ම බිමින් අසුන් ගත්තේ ය. සුවිශාල පෙට්ටියක් ඇතුළත කදිමැති බෝල සමූහයක් පිස්සු හැදුණාක් මෙන් කරකැවෙනු පෙනෙයි. හදිසියේ නතර වෙයි. පසුව දිගු බටයක් මතින් තවත් තැනකට ඇදී යයි. සැප් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නේ මෙන්න මේ මොහොතේ ය.

'.. හා.. හා.. තාම නෑ. තාම නෑ..'

පොඩි අයියා සැර වෙයි. සැප් කුරු කුරු ගාමින් තම විසාල පස්ස බිම තියමින් ඉද ගනියි. මද වෙලාවකින් සියලු බෝලවල ඉලක්කම් තම මුහුණු පෙන්වමින් එක් තැනක ඉඳ ගනියි.

'ෂික්... එක ඉලක්කමක්වත් නෑනෙ... වැඩක් නෑ..'

එසේ කියමින් පොඩි අයියා සැප්ට ස්වීප් ටිකට් ලබා දෙයි. හෙතෙම තම සුවිශාල පශ්චාත්භාගය ඔසවමින් රන් පදක්කමක් ලබා ගන්නා ක්‍රීඩකයෙකු මෙන් මහත් වගකීමෙන් ටිකට්‍ටුව ලබා ගනී. එහා හක්කෙන් මෙහා හක්කට මාරු කරමින් ඔහු ටිකට්‍ටුව අනුභව කරයි. අම්මා සතු අනෙක් ස්වීප් ටිකට්‍ටු ද රස කරමින් කා දමන ඔහු දෙදෙනාට ම හිස නවා ආචාර කරමින් සාලයෙන් පිටව යයි.

අන් සියලු කෙටි කෑම අතහැර දැන් ඔහු ස්වීප් ටිකට් කයි. දිනපතා රාත්‍රී ආහාරයෙන් පසුව මේ ස්වීප් අනුභවය සාමාන්‍ය සිදුවීමක් තරමට ම ව්‍යාප්ත විය. පොඩි අයියා කියන ආකාරයට සැප් බල්ලාට දැන් ඉලක්කම් ගැන පවා ස්වල්ප අවබෝධයක් ඇත.

'... බුහ්.. බුහ්... බුහ්හ්හ්...'

සැප් එය අනුමත කරමින් බුරා පෙන්වයි.

සතියක් පමණ ගත වූ පසුව සැප් අලස ලෙස කල් ගත කරන්නට විය. මල් කෑමත්, ටිකට් කෑමත් අත්හැර දැමූ ඔහු බත් කෑම ද ප්‍රතික්ෂේප කරන්නට විය. පොඩි අයියා කීවේ සැප් බල්ලා පැස්බරෙකු බවට පරිවර්තනය වීමට යන බවයි.
නමුත් ඔහු මළල ක්‍රීඩකයෙකු මෙන් දිනපතා කෙටි දුර ධාවනයෙහි දිගට ම නිරත විය.

'.. පොඩි පුතේ ඔයාට පිස්සු විකාර
බල්ලෙක් කොහොමද පැස්බරෙක් වෙන්නෙ?'

තාත්තා පොඩි අයියාගේ වචන තඹේකට ගණන් නොගත් මුත් පොඩි අයියා කියන දේවල් ගැන අචල විස්වාසයකින් උන් අම්මාට එහි යම්කිසි සත්‍යයක් තිබිය හැකි බවට හැඟී ගියෙන් සැප් ට කරුණාවෙන් සලකන්නට විය. දැනට කිරි බීමෙන් පමණක් ජීවිතය ගැට ගසා ගන්නා සැප් මහතා අලියෙකු බවට වුව පරිවර්තනය විය හැකි බවට පොඩි අයියා ඊළඟ සතියේ ප්‍රකාශ කළෙන් අම්මා මහත් කැළඹිල්ලට පත් විය.

‘අනේ පොඩි පුතේ.. අලියෙකුට කොහේද අපේ ගෙදර ඉඩ?'

*********

එදින අහවර වීමට තිබුණේ පැය කීපයකි. අම්මාගේත්, අයියාගේත් මහා ස්වීප් සූදුව පටන් ගෙන තිබිණි. ලොකු පෙට්ටිය ඇතුළේ වර්ණවත් බෝල කරකැවෙමින්, නතර වෙමින් එහා මෙහා ගමන් කරයි. ඉන්පසුව දිගු බටය තුළට බසියි. තවත් තැනක තම මුහුණු පෙන්වමින් අසුන් ගනියි. ඉලක්කම් දෙකක් තම මුහුණු පෙන්වූවා පමණි.

'.. හා... ඉලක්කම් දෙකක් තියෙනවා..
මෙන්න ඊළඟ එකත් හරි..
හතරයි... හතරායි.. හරි... හරී.
ඔක්කෝම තියෙනවා... මම දිනුවෝ.. මම දිනුවෝ...'

පොඩි අයියා උගුර යටින් කෑ ගසමින් ගේ පුරාම දුවයි. සැප් පසුපසින් දිවත් එළියට දමාගෙන දුවයි. අම්මාත්, නංගීත් ඊට පි‍ටුපසින් පොඩි අයියා අල්ලා ගන්න දුවයි. පොඩි අයියා නටමින් දුවයි. මොන මොනවාදෝ කියමින් සිනාසෙයි.

මොහොතකට පසු පොඩි අයියා සන්සුන් විය. එහෙත් විසාල ඇස් උලුප්පාගත් ගමන් ය. තමා ස්වීප් ටිකට්‍ටුව ගත් තැන, එය ගන්නා යන විට තමාට අමුත්තක් දැනුණු බව ආදී බොරු රාශියක් අම්මාටත්, නංගීටත් කියන ඔහු විටින් විට කෑ ගසමින් උඩ පනියි.

සූදුව, සූදුව කිව්වාට දැන් තාත්තාටත් සතු‍ටු ය. ලොකු අයියා, පොඩි අයියා ගේ කර වටා අතක් දමා ගනිමින් ටිකට්‍ටුවේ අංක නරඹයි. අම්මා නො නවත්වා ම කියවයි. පොඩි අයියා දැන් ලිමොසිනයක් ද ගෙන අහවර ය. අම්මා තට්‍ටු දෙකේ ගෙයක් ගැනීමට සුදුසු තැනක් ගැන කියයි. නංගීට පියානෝවක් හිමි වී ඇති අතර එය තැබීමට සුදුසු තැනක් සොයමින් ඈ ඇවිදියි. ලොකු අයියාට ඇපල් අයි පෑඩයක් සහ තාත්තාට තණකොළ කපන යන්ත්‍රයක් අසුරු සැනින් හිමි වීය.

පොඩි අයියා අල්මාරිය අවුස්සන්නට වූයේ දිණුමට අයිති චෙක්පත ගැනීමට යන විට ඇගලිය යුතු ඇදුමක් ‍තෝරා ගැනීමට ය. අම්මා චාන්දනී නැන්දලා ගේ මඟුල් ගෙදරට ඇන්ද සාරිය ම ඇදගෙන පොඩි පුතා සමඟ යාමට එක පයින් කැමැත්තෙනි.

'.. හ්ම්.. නිදිමතයි දැන්නම්...'

කියමින් තාත්තා යන්න ගියෙන් නංගීද අකමැත්තෙන් නිදන්නට ගියා ය. පිළිවෙළින් ලොකු අයියාත්, අම්මාත් නිදන්නට ගිය අතර පොඩි අයියා ද තනිවම කියවමින් කාමරයට ගියේ ස්වල්ප නින්දක් ලබා ගැනීමට ය. එහෙත් පොඩි අයියා කරා නින්ද එන පෙනුමක් නම් නැත. ඔහු සිටියේ තනිව ම දොඩවමින් කාමරයෙන් සාලයටත්, සාලයෙන් කෑම කාමරයත්, එයින් නාන කාමරයත්, අවසන යළිත් තමන්ගේ කාමරයත් ගමන් කරමිනි. මඳ අඳුරේ නොයෙකුත් බඩු මුට්‍ටුවල හැපෙමින්, ඒවාට ශාප කරමින් ඔහු ගෑනු හඬකින් ගී ගයයි. පොඩි අයියාට කීයට නින්ද ගියා කවුරුත් නො දනී.

උදෑසන හිරු එබුණේ කෝටිපතියෙකු ජිවත් වන නිවසකට ය. පොඩි අයියා තවම නින්දේ ය. අම්මා උදෑසන ම අවදි වී පොඩි අයියා ලැබූ හදිසි වාසනාව ගැන නෑදෑ පරපුර දැනුවත් කරයි. නංගීත් තම යෙහෙළියන් දැනුවත් කළ අතර තාත්තාත්, ලොකු අයියාත් ඊට හැකි පමණ දායක විය.

අම්මා යුහුසුළුව උදෑසන ආහාරය ළඟපාත තරු හතරේ හෝටලයකින් ඇනවුම් කළේ කෝටිපතියෙකු සිටින පවුලක් පාන් සහ පරිප්පු කෑම නොහොඹිනා හෙයිනි. ලයිට් බිල ගෙවීමට තිබූ 2500 තාත්තා ඊට ලබා දුන්නේ නොමසුරුව ය.

දැන් පොඩි අයියා විලියම් කුමාරයා වැනි ය. කවුරු කවුරුත් ඔහුට ගෞරව සම්ප්‍රයුක්තව අමතති. නමුත් තවම විලියම් කුමාරයා සිරියහනේ ය.

'පොඩි පුතේ නැඟිටින්නකො..

තව ටිකකින් නුගේගොඩ මාමලත් එනවා කිව්වා.
සඳුනි නංගිත් එනවලු..'

සඳුනි ගේ නම ඇසුනෙන් විලියම් කුමාරයා සැනින් සිරියහනෙන් බිමට පැන්නේ ය. මුහුණ කට සෝදා ගත් ඔහු හනි හනික ඇඳුම් මදින්නට වූයේ ජාතික ලොත‍රැයි මණ්ඩලයට යාමටය. තාත්තා කීවේ මෙවැන්නකි.

'ඔය සල්ලි ආවට ගියාට දෙන එකක් නෑ පොඩි පුතේ'

අම්මා නම් කීවේ මෙවැන්නකි.

'අපි යමු පොඩි පුතේ..
අයිඩෙන්ටි කාඩ් එක තිබුණම ඇති..'

පොඩි අයියා මඟුල් ගෙවල්වලට පමණක් අදින නිල් කමිසයත්, ක්‍රීම් පැහැති කලිසමත් ඇඟලාගෙන මුදුන උල් සපත්තු යුගල පැළද ගති. ලොකු අයියාගේ ඔරලෝසුව ණයට ඉල්ලාගත් ඔහු තමා ගේ කබල් ජංගම දුරකතනය සාක්කුවේ ලාගති. ජෙල් ටිකක් ද හිසේ අතුල්ලාගෙන හිස් මුදුණේ කොතක් ආකාරයට කොණ්ඩය සකසා ගති.

'අම්මේ... හරිද?

හරි පුතේ.. මේ එනවා... මේ එනවා..'

පොඩි අයියා තමා ගේ මේසය අවුස්සන්නට වූයේ පිස්සෙකු මෙනි. පත්තර, පොත් ආදිය පියාඹා යන්නට විය.

'කෝ ටිකට් එක... කෝ මගේ ටිකට් එක.. ?'

'කෝ යකෝ මගේ ස්වීප් ටිකට් එක? ඊයෙ රෑ මං මේසෙ උඩ තියලා තිබ්බ ටිකට් එක.. ?'

සැප් මහතා මේසය යටින් හිස පෙන්වමින් මතු වී පොඩි අයියා දෙස බයාදු බැල්මක් හෙළාගෙන ම බලා සිටින්නට විය.

'දඩෝං... !'

පොඩි අයියා ක්ලාන්ත වී මේස, පු‍ටු පෙරලාගෙන ම බිම පතිත විය.


Kanchana Amilani | කාංචනා අමිලානි
[SEO Tags] Sri Lankan Short Stories, Sinhala Kathandara , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
3 Comment(s)| ප්‍රතිචාර
ස්ටීව් බිකෝ කියයි.| Personal Quotes
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.