BOONDI.LK| පොත් බූන්දි| සංසාර මාවතින් එහා ට, අටුවබැන්දෑල
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
  තවත් පොත්
ඌව වෙල්ලස්සේ ජන කෝෂ්ඨාගාරයෙන් බිහිවූ 'මාගම් සෝලිය' | රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රතිචාර[2]
ඉතිහාසය වෙනස් කළ හැකි බවට කදිම සාක්‍ෂියක් සපයන "සෙංකොට්ටං" | ජයසිරි අලවත්ත
ප්‍රතිචාර[5]
නවකතාව අතික්‍රමණය කළ සමාජ කියවීමක් වූ "පිරිමි ගොඩයි මං විතරයි" | ජයසිරි අලවත්ත
ප්‍රතිචාර[3]
සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක් | කේ.කේ. සමන් කුමාර [සර්පයා]
ප්‍රතිචාර[2]
'සමාජයක්' නොනිදන අවදියක තබන්නට හැඬවෙන ''අර මිහිරි සීනු නාදය'' | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[1]
ශ‍්‍රැතියෙන් පිට පැන්න ඇම්ඩා සමඟ සිනාසීම හෙවත් ඇස් පොඩි කර කර ඉකි බිඳීම නම් වන නූතන ජනශ‍්‍රැතිය | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[0]
අමර කවි | සමන් පෙරමුණ
ප්‍රතිචාර[2]
දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" | රසික සූරියආරච්චි
ප්‍රතිචාර[0]
දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත | පියන්කාරගේ බන්දුල ජයවීර
ප්‍රතිචාර[1]
"මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතිය පිළිබඳව හැඳින්වීමක් | ඒ. එස්. වික්‍රමසිංහ
ප්‍රතිචාර[2]
BOONDI • Sookiri •
  පොත් බූන්දි  
සංසාර මාවතින් එහා ට, අටුවබැන්දෑල
ප්‍රතිචාර[0]
බූන්දි| | 16:53:40
සමාජයේ වෙසෙන සාමාන්‍ය මිනිසා ට වඩා, කවියකු යනු, වඩා සංවේදී පුද්ගලයෙකි. ඔහු, සියළු සංවේදනා අනෙකාට වඩා විඳින්නෙකි. කවිය පිළිබඳව වෙනදාට වැඩියෙන් කතා කරන යුගයක වුව ද, කවියට නිසි තැන ලැබෙන්නේ ද යන්න සංවාදාත්මක ය. කෙසේ වුව ද, කිසිවකු කවියක් ලියන්නට දරන තැත පමණක් ම, එක්තරා අන්දමක ඇගයීමකට හෝ පැසසීමට ලක් කළ යුතු බව මගේ පෞද්ගලික පිළිගැනීම වන්නේ, කවිය ට ළං වීමට දරන උත්සාහය ම, අවියෙන් ඈත් වීමක් වන නිසා ය. වඩාත් සුන්දර ලෝකයක් තනන්නට නම්, පළමුවෙන් මිනිසුන් සැදිය යුතු ය. වඩාත් සුන්දර මිනිසුන් තනන්නට නම්, වඩාත් සංවේදී විය යුතු ය. එසේ නම් වඩාත් සුන්දර වූ ලෝකයක් තනන්නට හැකි වන්නේ වඩාත් සංවේදී මිනිසුනට ය. එහෙත් එදා මෙදා තුර කාලය පුරාම, ලෝකය තනන්නේ ගොරහැඬි මිනිසුන් විසිනි. ඉදිරිය තව තවත් අඳුරු වනු මිසක, ආලෝකය දල්වන්නට හැකි වේ යැයි සිතීම පවා අසීරු මොහොතක් ගෙවී යමින් තිබෙයි. එහෙත්, ලෝකයට වඩාත් ලෙන්ගතු පුද්ගලයින් අත, අවසන් මොහොත දක්වා ම, තම සහෘදයා වෙනුවෙන් කළ යුතු යමක් වෙතැයි අපි සිතමු. ඒ, අනෙකාට මඟ පෙන්වන පහන් තාරකාව වීම ය. ඉදින්, ඒ පහන් තාරකාවක් විය හැක්කේ, කවියෙකු ට ම නොවේ ද? අනෙකා ගේ ඇසට හසු වූ කවීහු ද, අනෙකා ගේ ඇස නො ගැටී වහන් වී, මගෑරෙන කවීහු ද අප අතර වෙති. එවන් දුල් මිණි හාරා සොයා ගන්න ට අද පාඨකයා ට සිදුව ඇත.

අන්තර්ජාලයේ බලමහිමයෙන් අද අපට, අනෙකා හා ජීවිතය බෙදාහදා ගන්නට පහසු ය. නිර්මාන ද, අසුරු සැණෙන් බෙදා ගන්නට හැකි ය. එබැවින් එක නිමේෂයක දී ඔබ ට, ඔබ ගේ නිර්මාන ලොව පුරා ම බෙදාලිය හැකි ය. එසේ යන මෙම සයිබර් අවකාශගමනය අතරතුර දී ඔබ ට මඳක් නැවතී සිතන්න ට ද සිදු විය හැකි ය. ඒ, ඔබේ සිත සලිත කළ හැකි යමක් නෙතු ගැටෙන විට ය. කවියකු වන්නට පෙර ඔහු, කවි "රස විඳින්නෙකු" විය යුතු බව ඇත්ත ය. එවිට, අපට කවිය ද, කවියා ද මුණ ගැසෙයි.

සමිත බී. අටුවබැන්දෑල.... අටුවබැන්දෑල යනු දිවට නුහුරු නාමයකි. එහි උච්චාරණය, විටෙක අප අපහසුතාව ට ද පත් කරයි. එහෙත් එය, අප නෙතට හෝ සිතට හුරුපුරුදු බවක් ගෙන එයි. ඔහුගේ පන්හිඳගින් ගලා හැලෙන්නේ අතිශයින් සරල, ඔහු ගේ ම රටාවක ට තනාගත් කාව්‍ය ආරකි. ඒවායෙහි, අපට එදිනෙදා මුණ ගැසෙන ගැහැණුන් සහ මිනිසුන් වෙයි. ඔවුනගේ කප්පරක් දුක් ගැහැට, ජීවන අත්දැකීම්, තමන් ගේ පරිසරයෙන් ම සොයා ගන්නා සමිත, ඒවා අපූරු කාව්‍ය නිර්මාන බව ට පෙරළයි. උනුන් ගේ කඳුළ, සුසුම ඔහු තම හදවත මත්තේ පුපුරුවා හැර දමමින් සංතාපයන් අවුළයි.

විටෙක දී, ඔහු ගේ ආකෘතියෙහි ස්වභාවය එහා මෙහා ගොස් ඇති බවක් දිස් වුව ද, ඒවායෙහි හෘදයංගමභාවය රකින්නට ඔහු උත්සුක වෙයි. එමෙන් ම, එ සියලු තැන් හි, අප ට ඇසුරු කරන්නට ලැබෙනුයේ නිරන්තරයෙන් අප නෙත ගැටෙන, ජීවිතය ගැට ගසා ගන්නට අප‍්‍රමාණ දුක් විඳින දයාබරිත මිනිසුන් ය. සහෝදර සහෝදරියන් ය. මව්වරු සහ පියවරු ය. සමිත බණ්ඩාර අටුවබැන්දෑල අපට පුදන අපූර්වත්වය, ඇත්තේ එතැන ය. සංසාර මාවත කෘතියෙහි "පිදුම" සහ සමිත ගේ පෙරවදන ම, කවියේ පෙරනිමිති ගැන පූර්ව අදහසක් අපට කියයි.

දරුවකු ට පාසල් නිම්න භූමිය තරම් මතක අවුළුවාලන තවත් තෝතැන්නක් නැති ය. එය වඩ වඩාත් දැනෙන්නට ගන්නේ පාසල් කාලය අහවර වීමත් සමඟිනි. අගනුවර පාසල් පිළිබඳ කතාන්දරය ට වඩා, පසුකාලයේ දී රසබර වන, දැඩි කටුක අත්දැකීම් ගම්බද ළමුන් ට අත්විඳින්නට සිදුවීම අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

දහඩිය විලවුන්
තවරගෙන
දුහුවිලි කොකුම් උලා ගෙන
බොරළු පාර දිගේ
ඇවිද ගෙන ඇවිද ගෙන ඇවිද ගෙන ඇවිත්
මන්දපෝෂිත ඉස්කෝලෙට
ගොඩ වැදෙන්නී...

වද කොස් ගහ යට පංතියේ
මැලේරියා උණ හැදුණ අපට
හැන්දෙන් හැන්ද අකුරු පොවන්නී...

-පි.17


සමිත ගේ සංසාර මාවත ඇරඹෙන්නේ "දුෂ්කර සේවයට ආ අපේ අලුත් ගුරුතුමී ට" යනුවෙන් අලුත් ගුරුවරිය ගැන ලොවට පාන පහන් කන්දෙනි. එවැනි ගුරුවරු පුදන්නට කිසිවකු හෝ පසුබට වන්නේ නැත. ස්වේඡා ගුරු සේවය ස්ථාපිත කරගැනුම වෙනුවට, සැබෑවට ම දුෂ්කර පෙදෙස් සඳහා තම සේවය සැපයීම ම අරමුණු කරගන්නා නගරවාසී ගුරුවරු වෙති. සමාජය විසින් ඔවුන් සදා පුදනු ලබන්නේ ය.

ගුරුතුමී
ඔය අලුත් සාරි පොටේ සෙවණැල්ල
ඉස්කෝල වත්තෙ බිම පුරාම
හැමදාම එලී තියෙයි
ඔන්න කටුකම්බි මල් වැලෙත්
සතුටක් පිපී ගෙන එයි.

-පි.18


"රැකියා විරහිතයාගේ කවිය" තුළින්, පරපුරේ රැකියා අහේනියත්, ඊට වඩා ඉස්මතු කොට ගන්නේ, පවත්නා විෂය මූලික අධ්‍යාපන ක‍්‍රමය කෙතරම් දුරට ප‍්‍රායෝගික දැයි සිතන්නට කාරණා ය.

අම්මේ තාත්තේ
ධනුද්ධරය මං දඹදිවටම
දහසක් වැදි රජුන් පරදා
තක්සලාවේ සිට පැමිණුන
මේ අපේ පුංචි ගෙදර
අලුත්වැඩියා කරන
කිසිම සිල්පයක් නොදන්න

-පි.38


නූතනවාදී සංකල්ප පිළිබඳව අප‍්‍රමාණව කතා කෙරෙන යුගයක වුව ද, බොහෝ දෙනෙකු දෑවැද්ද, කුලය, ආගම වැනි දේ විවාහයක දී සළකා බලයි. අඟහිඟකමෙන් පිරුණු පවුලක තරුණියකට එවිට සිදු විය හැක්කේ මෙවන් දෙයක් නොවේ ද?

නැටි කැඩුණු බලාපොරොත්තු
ගුලි ගැහුණු බුලත් හෙප්පුව
සම්ප‍්‍රදායෙන් වහගෙන වඩාගන්නී
කුර ගගා නැකත ආ කලට එය
පුරුෂ ප‍්‍රාණයක් අතට දෙන්නී
සියවැනි වතාවටත් ඇය
එරබදු ගහේ
කෙළ කෝටියක් මල් ගනින්නී.

-පේ‍්‍රමවතී -පි.41


සමාජ විෂමතාව මත මෙවන් අකාරුණිකකම් වලට මුහුණ දෙන සොයුරියන් අපට නිතර හමු වෙයි. උරුමක්කාරයින් මුණ නොගැසී ම, ඔවුන්ගේ ජීවිතය තව තවත් අසරණ කර දමන්නට සමත් වෙයි. එවන් සොයුරියන් ගේ ඇල්මැරුණු ජීවිතය සමිත ගේ හද සසළ කරවන්නේ මහත් අනුකම්පාවකිනි.

බිම වැටී ළය පැළුණු හෙප්පුව
සාලයෙන් කුස්සියට
හිස මුදුනේ තබා ගෙන වඩම්මන්නී.

-පි. 42


රට තුළ මේ වන විට විශාල දියුණුවක් ඇතැයි මාධ්‍යය මඟින් තහවුරු කරන්නට කෙතරම් උත්සාහ දැරුව ද, අගනුවර සහ ඒ අවටින් පිට ගම්බිම් ඇතුළත කෙතරම් අඳුරක් පැතිර ඇද්දැයි දන්නේ ඒ හරහා යනවුන් ය. සමහර ප‍්‍රදේශ වල, පාසලට සැතපුම් කිහිපයක් දුර පයින් යා යුතු ය. ඇත්තේ විටෙක කුඩා මංමාවත් ය. වාහනයක් පැදවිය හැකි මාර්ගයක වුව ද, බසයක් ධාවනය වන්නේ නම් පැය කිහිපයක් බලා සිටිය යුතු ය. රෝහලක ට, වෙළඳපොලකට වුව ද එසේ ය. අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ලැබෙන්නේ ඡන්ද පොරොන්දු ලෙස පමණ ය. එහෙත් ඒවා ට බාලගිරි දෝෂ ය. කන්දකඩුව වැනි ප‍්‍රදේශ වල සහෝදර ජනතාව තාමත් අඩිපාර දිගේ සැතපුම් ගණනාවක් දුර ඇවිද ගොස් මහපාර අයිනට වී, පොළට යන්නට, කුඩා ලොරි බාගය එන තෙක් පැය ගණනාවක් බලා ඉන්නවා ඇත. රෝගියෙකු පුටුවක තබා, සැතපුම් ගණනක් දුර ඇති ඩිස්පැන්සරියකට, ගම්මුන් එකතුව ඔසවා ගෙන යනු ඇත. මේ සියලු කම්පිත මතක මතුව ආයේ, සමිත ගේ "දුෂ්කර පළාතේ අකීකරු සිසුවා" කියැවීමෙනි.

පාසල නිමා වී ගොසින
හේන මත උදැල්ලෙන්
මහා රචනාවක් ලියන්නා
වාර විභාගයට
පොත පුරා
කරගැටයක් සදිසි ලොකු බිංදුවක් ලබන්නා

බඩගින්නේ මියෑදුණු
වාර ගණන එකතු කොට
කොටුරූල් කොළයක සතපවා
මහා සූත‍්‍රයක් තනන්නා
විසඳනා ක‍්‍රමයක් නොදන්නා

-පි.45


සමිත මෙම අපූරු ගැටපද සොයාගන්නේ සැබෑ ජීවිතය හාරා අවුස්සාලමින් යැයි, ඒවායෙන් මැවෙන නොයෙක් රූප අපට කියා පාන්නේ ය.

"අම්මාගේ පපුව කැක්කුම
මනින්නට නොහැකි
මේ අඩිකෝදුව කුමකට දැයි
මහා හයියෙන්ම අසන්නා"

-පි.46


පාසල් දරුවකුගේ එදිනෙදා අත්දැකීම්, ගැඹුරු අරුතකට නංවා ඔහු, අපට, ඉන් දමා ගැසූ පසුත්, ඔබේ හිත රිදවූයේ නැතැයි දැන් ඔබට කිව හැකි ද?

ඔහු තව දුරටත් මෙසේ අසයි.

සියල්ල ම පසිඳ දැන ගත්
මගේ මුල් ගුරුතුමනි
ඉතිං
විද්‍යා පොතේ
සමබල ආහාර වේල
පිසෙන පිට
ඉරා කෑ හැකි ද
වන්නියේ මන්දපෝෂිත දරුවන්ට
අඩිරූල් අත්, පා වල ලේ පිරෙන්නට?


මේ සියලු දුක් ගැහැට අස්සෙන් දුව එන "පුංචි දුව" හිතට සිසිලසක් එක් කරයි. ඒ සමඟම "කොහු මෝලෙ සහෝදරීට ආධුනික කවියා ලියූ වචන" තුළින් අප සිහියට නැෙඟන්නේ ගුණදාස කපුගේ ශූරීන් ගැයූ "ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඬි ද දෝණී" නම් සමාජයක් ප‍්‍රශ්න කළ ගීතය යි.

සංසාර මාවත දිගේ කෙතරම් කටුඅකුළ් හමු වන්නේ දැයි ඔහු පෙන්වන්නේ සිත්තමක් අඳින්නා සේ ය. සමිතගේ කවිය තෝරා ගන්නට පහසු ය. එහි අපමණක් උපමා රූපක වෙයි. හුස්ම වැටෙන මිනිසුන්ගේ ඇටසැකිළි රූප ඒවායෙන් මතු වී එයි. සෙනෙහස, මනුස්සකම පොඟවා සමිත සැබෑ මිනිසාගේ සුසුම අප වෙත පා කරයි.

සුළි සුළං පිඹ
අවුළුවා දර ලිප
දර කෝටු අත් දෙකෙන්
සෙනෙහසේ බත පිසින්නී
පාසල් යන දරුවන්ට
කටින් කට ජීවිතය කවන්නී

-මගේ බිරිඳ -පි.58


කෙතරම් අඟහිඟකම් මැද වුව ද, සංසාර මාවතේ මිනිසුන්, ඔවුන ගේ මනුස්සකම, දයාව, ලෙන්ගතු භාවය බිඳ ගන්නේ නැත. ඔවුනගේ සිත් පුරා ආදරය වෑහේ. "මගේ බිරිඳ" ද එවැන්නිය කි.

ආසියාවේ
පරණ සිතියමක් සදිසි සරීරේ
හිඳුණු ගංගා
යකඩ කරාමෙන් එන සිසිලසින්
පුරව ගන්නී..

-පි. 58


"වීථියේ දරුවාගේ කව" ද අප‍්‍රමාණ මව් සෙනෙහසක් පුරවා ගත්තෙක්, සමිත අප ඉදිරියේ තබයි.

පියයුරු කපා දැමූ කල
විස්කෝතු කව කවා
මා රැක්ක අම්මා
නුඹය

පව් නොකළ වුන්
ගල් ගසන කල මට
ඉදිරියට පැන
ඇටකෝටු ළය පෑව අම්මා
නුඹය

-පි. 64


පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන්
ගඩොළු බිත්ති ආමාශය
කපරාරු කරගන්නී


"කිසාගෝතමී" කාව්‍යයේ මෙවැනි අපූරු උපමා රූපක තුළින් සමිතගේ නිර්මාන ප‍්‍රතිභාව විදහා දක්වයි.

පොල් ඉරටු සේ කෙට්ටු
ඇඟිලි තුඩුවලින් ඇය
සෙනෙහසේ කළාලය
ලෝකාවසානය තෙක් ම වියන්නීය
ගොම පොළොවේ
ගත එළාගන්නීය

-කිසාගෝතමී


සංසාර මාවතින් එහා ගිය සමිත ගේ නිර්මාණ බොහෝ විට අන්තර්ජාලය හරහා විඳින්නට ලැබෙයි. එමෙන්ම ඔහු, කවිය ඉක්මවා කෙටිකතාවෙහි ද නිරත වෙයි. ඔහු ගේ නවතම නිර්මාන අතරින් "මට මගේ දුව ඕනේ" නම් කෙටිකතාව පාඨකයාට වඩා සමීප වෙයි.

දෙදෙනෙකුගේ ආදර සම්බන්ධතාවක් විවාහයෙන් කෙළවර වී ගිය ද, ඒ අතර ට තෙවැන්නකු එකතු විය හැකි ය. විවාහයත් සමඟින් එකිනෙකා හඳුනා ගැනීමත්, සැබෑ චරිත ස්වභාවයන් මතු වීමෙන් ගැලපීම් සහ නො ගැලපීම් අතර ඝට්ටනයන්, තෙවැන්නකු ඒ අතරට එකතු වීමට මඟ සදයි. මේ ඉතා සාමාන්‍ය ස්වභාවයක් වුව ද, සමාජයීය සහ සංස්කෘතික හැදියාවන් පෙරටු කරගත්, ඉන් පවුල නමැති ප‍්‍රපංචය රාමුකර ගත් අප සමාජය තුළ, දැවි දැවී හිඳ, මහළු වී මිය යන්නට සිදු වී ඇති බැවින්, අප එකිනෙකා ආදරය සොයා යන්නේ අනෙකාට රහසිනි. එය වෙනම කතා කළ යුතු මාතෘකාවක් වුව ද, මේවායෙන් අසාධාරණය ට ලක් වන්නේ අහිංසක දරුවන් ය. සමිත මෙම කෙටිකතාවෙන් අරඹන්නේ එම සංවාදයයි. සමිතගේ කවිය මෙන්ම කෙටිකතාව තුළ ද, ඍජු දේශපාලනයක් හැඟවෙන්නේ නැත. ඔහුගේ නිර්මානයන් හි පදනම ලෙස මතු වන්නේ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික පසුබිම් ය. එහෙත් ඒවායෙන් ඔහු වක‍්‍රාකාරව උලුප්පා දක්වන්නේ ද දේශපාලනය ම නොවේද? සමිත ගේ, මෑත නිර්මානයක් වූ, "මීයා" ගේ කෙටිකතාව එය බිඳ දා යම් තරමක ඍජු දේශපාලනික පිවිසුමකට එළැඹිය ද, ඔහු එම නිර්මානය පාඨකයා බලාපොරොත්තු වන ඉසව් ඔස්සේ වැඩි දුරක් නො ගොස් නවතී.

".. එහෙත් එසැණ මොකක්දෝ සතුටක් ද මගේ හිත ඇතුළේ මීඅඩි තබමින් ඇවිදින්නට විය. ඒ, මගේ වාසනාවකට මගේ කාර්යාලයේ මගේ බොස් යනු, ඇමතිතුමා විසින් දේශපාලන සුදුසුකම මත පත්කරන ලද, පුංචි කොස් ඇට මීයෙක්වත් අල්ලා ගන්ට බැරි, මහළු බළලෙක් වීම නිසාය."

- මීයා-


අපි සැවොම සංසාර මාවතේ ඇවිද යමින් සිටින්නෙමු. තෙරක් නැති සසර මඟ දී, අප ට හමුවන්නෝ අපමණ ය. ඔවූහූ විවිධ හැඩැත්තෝ ය. අට ලෝ දහමින් කම්පා වන්නෝ වෙති. කාව්‍යය එවන් විටෙක දී, සිත සුවපත් කරයි.

දුෂ්කර සේවයට ආ අලුත් ගුරුතුමී, සේවය නිමා කොට, සංසාර මාවතින් අබිනික්මන් කර යන්නට සැරසෙන්නී, දරුවන් තුළ සෙනෙහස ද, නැණැස ද වැඩුවා ය. ඉදින්, ඇගේ දරුවෝ ඈ වෙනුවෙන් හඬා නො වැටේ යැයි, කවුරු නම් කියත් ද?

කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.

ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට

කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්

අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්

විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත‍්‍රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.

-දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට


Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා
[SEO Tags] Samitha B Atuwabendela, Sansara Mawatha , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.| Personal Quotes
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.