BOONDI.LK| වෙසෙස් බූන්දි| කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| තෙවන කොටස
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් වෙසෙස්
කවිය ගැන අදහසක්
|
සුනන්ද කරුණාරත්න
[2]
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක්
|
සුදර්ශන සමරවීර
[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන්
|
පබ්ලෝ නෙරූදා
[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්..
|
සුදර්ශන සමරවීර
[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
|
පාවුලෝ කොයියෝ
[0]
ත්‍යාගශීලි බව
|
මායා ඇන්ජලෝ
[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද?
|
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....!
|
සුරත්
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/43]
නිර්මාල්
මායා
ලක්ෂාන්
සුනන්ද
ජීන්
පාවුලෝ
රුවන්
කේ.කේ.
වීරයා
තුෂාරි
එරික්
මාලතී
ප්‍රියාන්
ඇල්ඛෙයා
සිරිලාල්
සමන්
ලියනගේ
චන්දන
දර්ශන
BOONDI • Sookiri • •
වෙසෙස් බූන්දි
කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| තෙවන කොටස
[0]
බූන්දි| | 17:00:45
මංජුල වෙඩිවර්ධන
ගේ නවතම කාව්‍ය සංග්‍රහය
"මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි"
එලිදැක්වීම නිමිත්තෙන් 2011 ජනවාරි 30 දින
බූන්දි වෙබ් අඩවියේ
ආරාධනයෙන් කොලඹ ජාතික පුස්තකාල සේවා මන්ඩලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලද දේශනයෙහි සම්පින්ඩිත පිටපත:
දෙවැනි කොටසට මෙතනින් යන්න
බර්ටි බී කුඩාහෙට්ටි තමන්ගෙ අලුත් කෘතිය
විදාරණය (2010)
එලි දැක්වුවෙ දිගු නිහැඬියාවකට පස්සෙ:
“හිස් ඔළු
කුවෙර මඬ මානෙල්
විල් නොලැග
සව් සුදු හස කවිය
කෙළිනු ය මසිත් පුල්
මානස විල්හි සොඳ”
සිය ‘ඇරයුම’ තුල බර්ටි පෙන්වන මේ අපූර්ව කවිත්වය ඔහුගෙ සෙසු නිර්මාන තුල විද්‍යමාන වෙනව ද කියන එක යි ප්‍රශ්නෙ. ජනතාවාදියෙකු නොවීමෙ හේතුවෙන්, ඉතා අගනා අනුභූතීන් ඔහු සතුව තිබෙනව:
‘විෂදුම හෝ විසඳුම’, ‘බේදය හා ඛේදය’, ‘යුද්ධයේ වැරැද්ද’, ‘ළමා සාදු හා ළමා සොල්දාදුවා’
ආදිය. සුලු-ධනේශ්වර දෘශ්ටිමය විලංගුවෙන් තොර වුනත් මේව ඇති තරම් කාව්‍යමය ලෙස ප්‍රකාශයට පත් වෙලා නෑ. ඇතැම් කවි හුදෙක් බද්ධ වෛරය පිටාර ගලන නිර්මාන:
“මේ රට නුඹටයි
නුඹේ නොදරුවන්ටයි
(උප මාතෘකාව)
‘ධනපති කොල්ලනේ
පලයව් අවලමේ
මේ රට පාලනේ
හැර තොපට අන් වැඩක් නැහැනේ’
රෝයලූත් උඹලට
සෙන් බ්‍රිජට් උඹලට
සෙන් තෝමසුත් උඹලට
රට පාසලුත් උඹලට
අද වගේ හෙට දවස උඹලට”
(
ද්වේශ සහගත කවිය
)
ධනපති ක්‍රමය සදාකාලික ය යන අසාර දර්ශනය මිසක් ධනේශ්වර අධ්‍යාපනය හෝ පාසල් පද්ධතිය හෝ පිලිබඳව කිසිදු නව ඥානයක් මේකෙන් සම්පාදනය වෙන්නෙ නෑ. අනෙක් අතට, ධනවාදය සමඟ අපට මොන ප්‍රශ්න තිබුනත් සමාජ ජීවිතයේ දි වේවා කලාව විශයෙහි වේවා මනෝබද්ධව ප්‍රතිචාර දැක්වීමෙන් පලක් තියෙනව ද? සමාජ අසමානතාව පිලිබඳ ඥානය ද්වේශයෙන් කිලිටි නොවී යුගය පිලිබඳ අවබෝධයෙන් ජ්වලිත විය යුතු යයි සෝවියට් කිවි ඇලෙක්සැන්ඩර් බ්ලේක් පැවසුවා. යුද්ධය හා සාමය නවකතාවෙ චරිතයක් උපමාවට ගනිමින් මේක වඩාත් හොඳින් පැහැදිලි කරනවා ප්ලෙහානොව්. මම ප්ලෙහානොව් මත වැඩිපුර යැපීම ගැන කෙනෙක් නොසතුටු වෙන්ට පුලුවන්. ඒත්, ඔහුගෙ රචනා තරම් මාක්ස්වාදී සංකල්ප මැනවින් පැහැදිලි කෙරෙන ලියවිලි ලොව අන් කොතැනකවත් නැතැයි ලෙනින් සඳහන් කෙරුවා. ඒ හින්දා, ප්ලෙහානොව්ට කොතෙක් සවන් දුන්නත් අවැඩක් වෙන එකක් නැහැ.
යුද්ධය හා සාමය
කතුවරයා ඇනා පැව්ලොව්නා ශියර නම් චරිතය පාඨකයාට හඳුන්වා දෙන්නෙ මෙහෙම: ”උද්‍යෝගිමත් තැනැත්තියක වීම ඇගේ සමාජ ජීවිකාව බවට පත්ව ඇත.” මේ වැකිය උපුටා දක්වමින් ප්ලෙහානොව් ලියනව:
”...ධනවාදයට වෛර කිරීම අපේ ආත්මීයවාදීන්ගේ සමාජ ජීවිකාව බවට පත්ව තිබේ. තලතුනා පරිවාර ස්ත්‍රියකගේ උද්‍යෝගයෙන් රුසියාවට කවර සෙතක් ද? කිසිත් නැත. ධනවාදය කෙරෙහි ආත්මීය වෛරයෙන් රුසියානු නිශ්පාදකයාට කවර සෙතක් ද? එයිනුදු කිසිත් නැත. ඇනා පැව්ලොව්නාගේ උද්‍යෝගය, යටත් පිරිසෙයින්, හානිකර නැත. ධනවාදයේ මනෝරාජික සතුරන් සැබවින් ම ඔප්පු කොට පෙන්වනුයේ තමන් ඉතා ම රලු, නිර්ලජ්ජිත හා හානිකර රූපාකාරයෙන් ධනවාදයට හවුල් වන බවකි යි කීම ලජ්ජාවට කරුනක් වුව ඒ බැව් සැඟවීම පාපයකි” (
The Development of Monist View of History
, 1895).
ප්ලෙහානොව් තවදුරටත් සඳහන් කරනවා, සියලූ බලලුන් අලු පැහැයෙන් දිස්වන ගනඳුරක් පතිත වෙන කොට මේ ආත්මීයවාදියො ප්‍රතිගාමී රාජාන්ඩුව වටා රැලි වීමට නොපැකිලෙන බව. පහුගිය කාලෙ ලංකාව ඇතුලෙ සිද්ධ වුනෙත් ඒක ම නෙවෙයි ද?
සහෝදරවරුනි, පියසීලි විජේගුනසිංහ නැවත කියවමු: “නිර්ධන පන්ති විප්ලවය සම්බන්ධයෙන් කිසියම් සටන් පාඨයක් නැතිනම් උද්ඝෝෂන පාඨයක් අර්ථවත් වනුයේ නිරවද්‍ය දේශපාලනික ප්‍රවනතාව නියෝජනය කරන්නේ නම් පමනි. ප්‍රවනතාත්මක නිර්මානයක්, කලාත්මක ශක්තියෙන් තොර වන්නේ නම් හෝ හීන වන්නේ නම් හෝ ප්‍රවනතාත්මක කලාකරුවාගේ අරමුන ම බිඳ වැටෙන්නේ ය. ප්‍රවනතාත්මක කලාකරුවාගේ අරමුන, දේශපාලනය, කලාවට ආවේනික ශක්තීන් උපයෝගී කරගෙන, දේශපාලන වේදිකාවෙන් ඉදිරිපත් කෙරෙනවාට වඩා ආකර්ෂනීයව සිත් කා වදින අයුරින් ඉදිරිපත් කිරීම වන හෙයිනි” (
නූතන සිංහල සාහිත්‍ය විචාරය: මාක්ස්වාදී අධ්‍යයනයක්, 1987
). මේ කාරනාව ඔප්පු කර පෙන්වන නිදසුනක් - ධනේශ්වර අධ්‍යාපනය ම වස්තු කර ගත් බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගෙ කවියක් සංසන්දනාත්මකව රස විඳිමු:
පාසල් සමය එලැඹෙන
හැම දුරුත්තක දි ම
ගැහැනුන් ඇවිත් නගරෙට
පොත්හල් පීරමින
මිල දී ගනිත් යමරෙට
පෙල පොත් - ඇබෑසි පොත්
තම දරුවනට.
වැය කරත්
අන්තිම සතයත්
කඩමාලූ අත්බෑග දිගහැර
මැසිවිලි නගත්
දැනුම බෝ මිලැ’යි
නොහැඟේ ද ඔවුනට
නිර්දේශිත පොතපත
අවැඩ දැයි කොතරම්
දූ පුතුනට?
(
හැම දුරුතු මහක දී
, මගේ පරිවර්තනය)
ප්‍රවනතාමය කලාවෙ නියැලෙන්ට සියලු සුදුසුකම් තිබුනු ලැමාර්ටින් ඔහු ම පමනක් දන්න හේතුවක් මත ඒ අඩවියට පය තැබුවෙ නැහැ. මිය යන තෙක් ම, ඔහු රොමැන්තික්වාදයෙ ඇලීගැලී හිටිය. ඒක ඔහුගෙ කැමැත්ත. ඒ වගෙ ම, අමතක කරන්ට එපා, ඔහු නිර්ධන පන්තියෙ හතුරෙක්; සමාජවාදයෙ හතුරෙක්. ප්‍රංශ විදේශ අමාත්‍ය ධුරය හොබවපු කාලෙ සංක්‍රමනික කම්කරුවන් රටින් පිටමං කරන්ට ඔහු නොගත් තැතක් නෑ. එහෙම වුනා වුනත්, ප්‍රවනතාමය කලාවෙ නාමයෙන් එලිදැකපු, දැනුත් එලි දකින පපඩම් ”රතු කවි” සියල්ල ලැමාර්ටින්ගෙ විප්‍රලම්භ ප්‍රේමය තේමා කර ගත් ශෝක කාව්‍යය
The Lake (නිසල විල)
සමඟ ඡන්දයකට ගියොත් මම ලැමාර්ටින්ට මගෙ දෑත ම ඔසොවනවා!
මංජුල වෙඩිවර්ධනගෙ මාතෘකාවක් නැති මාතෘභූමිය අප අතට පත් වෙන්නෙ මෙවන් පසුබිමක. ප්‍රතිභාපූර්න කවිත්වයක රුවගුන මේ කෘතිය තුල අපට හමුවෙනවා. මංජුල තමන්ගෙ පූර්ව කෘති තුලිනුත් අපූරු ප්‍රතිභාවක් පෙන්නුම් කෙරුවා:
ඇසල සඳ පිපුණේ
අධිකරණ කඳු මුදුනේ
ටෙක්නිකල් මංසල
අන්ධකාරෙනි පිරුණේ
විනයක් නොමැති වාහන
ඉඳ හිට යනෙන රෑ කල
බන්කර් සොහොනෙ තනි වුණ
රණවිරුවනේ පාළු ද?
නිවී සැනහෙන සිහිනෙක
වෙලී පවනේ පා වෙන
ලන්තෑරුමේ රාගය
පෙනේ ඈතින් ඈතට
හදවත තෙමී නැහැවෙන
සල්ලාල සීතම
නිලැඳුම් ඉරා දා ගෙන
අවදි කෙරුවෙ ද ආයුධ?
බංකර් සොහොන පා මුල
කළුගල් පවුරු යහනත
ගලන උණුහුම් ලේ මත
රැඳුණෙ ය සුනඛ කේසර
කිසිවෙක් නෑඳුනුව
හැඳුනුම්පතින වෑහුණ
කඳුළින් දෑත් සේදුව
රණවිරුවනේ ප්‍රීති ද?’
(
ටෙක්නිකල් මංසලේ මුරපොළේ දී ය, පිළිහුඩුවී,
2002)
වර්ගෝත්තමවාදයෙන් හා මිලිටරි බලයෙන් මෙහෙයවුනු ස්ත්‍රී දූශනය ගැන කියැවෙන මෙතරම් ප්‍රබල වෙනත් කවියක් මෙතෙක් මගෙ ඇහැ ගැටිල නෑ.
මාතෘකාවක් නැති මාතෘභූමියෙ වස්තු විශය ජාතික ප්‍රශ්නය යි. තනිකර ම මේ තේමාව පදනම් කර ගත් ප්‍රථම හා එක ම සිංහල කවි එකතුව, සමහරවිට මේ පොත වෙන්ට ඕන. මෙහි එන රචනා සියල්ල වෙන් වෙන් වසයෙන් සලකා බලන්ට කාලය මට ඉඩ දෙන්නෙ නෑ. ඒත්, එක් දෙයක් පැහැදිලිව කියන්ට පුලුවන්. යුද්ධයෙන් පරිපීඩිත ජනතාවගෙ සැබෑ හද ගැස්ම හඳුනා ගන්ට කවියා දරා ඇති වෑයම ප්‍රශංසනීය යි. ඉතා ම කර්කශ, වේදනාබර, අනුවේදනීය අත්දැකීම් කාව්‍යමය ලෙස ප්‍රතිනිර්මානය කරන්ට කවියා භාවිත කොට තිබෙන රූපක හා ධ්වනිතාර්ථවත් බස් වහර ඉහලින් කැපී පේනව:
‘ජීවිතය ඉල්ලන දෙනෙතකින්
ගිනිකූරු ඉල්ලන මිනිසෙක් ද මම?
මහ මිනිස් ගිනි මැලයකින්
සුරුට්ටු පත්තු කළ පරපුරක’
(දැන් ඉතින් අමාවක අවුරුද්ද)
‘උදෑසන සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතු ද?’
(
විසිරුණු කවියක එකමිතිය
)
‘මිතුරනි පැරණි’, ‘සපත්තුව’, ‘බයිසිකල් කතාවක්’, ‘සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා’, ‘සිවා’, ‘කනයා’
යනාදිය සිත් කා වදින නිර්මාන:
‘........
”බොන්න යං
කෙළොම්බු රෙස්ට් එකේ”
අඩ අඳුරු මුල්ලක
මූඩියක් කැරකෙයි
”තල්
අවංක අරක්කු”...
”ඒත් බං
මං ආස ගල්”...
”කොහෙද යන්නෙ?”
දඩාවතේ යන බල්ලෙක්
පෝක් අත ලෙවකයි...
”බීල ද?”
එවර බල්ලා
බර බූට් අඩි අතර
”මේ ඇයි ද?
බොන්න ඕනැත් අහල ද?”...
ඒ කොහොම වුණත් උඹ
පරිස්සම් වෙයන් බං සාමි...
සයිකලය වටේටම ආමි’
(
බයිසිකල් කතාවක්
)
දෙමල සිවිල් වැසියා මුහුන දීපු, දැනුත් මුහුන දෙන ගොරතර යථාර්ථය නෙවෙයි ද ඒ? ‘අවසාන කවිය’ වඩාත් පරිසමාප්ත බව යි මගේ වැටහීම:
එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට
මැදින් පුරහඳ මැදින්
සිහ ධජය ළෙල දෙයි
සඳින් වුව සැළෙන්නේ රැස් නොවේ කෙසරයි.
හදින් හද සෙත් පිරිත් නිනද වෙයි.
එන්න බෝඩර් පැනගෙන දකුණට
‘ඒ නයින්’ මග විවරයි.
මිනිස් පළිහෙන් මෑත් වුණු මිනිසුනි
දුටුවා ද මුලතිව් වනයෙන් එතෙර පෙන්වන
සඳ කෙසර එළියේ
සඳ වුවත් දෙපලූ කළ හැකි
සඳේ ළෙල දෙන අසිපත
වනය පීරා එන විට
අතේ පොඩි වෙන නියඟලා මල
අතින් පිසහැර ලන්න
පයේ හැපෙනා නියඟලා අල
අතින් අරගෙන එන්න...
බුදුන් මුව වූ දන්ත ධාතුව
ඔබට සරණයි
සඳේ ළෙල දෙන සිංහ දත් පෙළ
සිතට නිවනයි.
යුද්ධයෙන් විජයග්‍රහනය කරපු සිංහල-බෞද්ධ වර්ගවාදය චන්ද්‍ර මන්ඩලය පවා දිග්විජය කොට ඇති සෙයක් කවියාට හැඟෙනවා. අත් බෝම්බ හා බිම් බෝම්බ තුල සැඟවුනු මාරයා හඟවන ‘නියඟලා’ නමැති රූපකය සමස්ත කවියට ම අලෝකයක්. දලදා වැඳීම කෙසේ වෙතත් බෝඩර් පැනීම ලේසිපාසු වැඩක් නොවෙන බව යි ඉන් කියැවුනේ. යුද්ධයෙන් ජය ගත්තට පස්සෙ කොලඹ ආන්ඩුව දෙමල ජනවර්ගය මත සිය බලාත්කාරය පතුරුවාගෙන ඉන්න හැටි කවියා දකිනවා. ‘දැන් ඉතින් සිංහල-බෞද්ධ ආධිපත්‍යය පිලිගෙන ඊට අවනතව ජීවත් වනවා හැර නැත අන් සරනා!’ යන ආන්ඩුවේ වක්‍රාකාර තරවටුව උත්ප්‍රාසාත්මකව යොදා ගනිමින් ඔහු කවිය හමාර කරනවා.
එහෙම වුනත්, උතුරු-නැගෙනහිර ඩැහැගෙන එහි තමන්ගෙ ම ධනපති රාජ්‍යයක් අටවා ගැනීමේ අරමුනින් සටන් වැදුනු
දෙමල විමුක්ති කොටි සංවිධානයෙ (එල්.ටී.ටී.ඊ)
බංකොලොත් දෘශ්ටිවාදය ඇතැම් කවියකින් ප්‍රකට වන සෙයක් පෙනී යනව. මේක භයානක යි:
‘බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්
දස දහස් ගණනෙකි ය
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි ය’
(
මාතෘකාවක් නැති මාතෘ භූමිය
)
මේ කියන්නෙ
එල්.ටී.ටී.ඊ
සාමාජිකත්වය ගැන ද? කවියා තම පරිකල්පනරූප ඇති තරම් සංයුක්තව ඉදිරිපත් නොකිරීම නිස යි එම සැකය උපදින්නෙ. අනෙක් දෝශය තමයි, වර්ගය හා පන්තිය එකිනෙකින් වෙන් කර නොගැනීම. කොටි සංවිධානය නියෝජනය කෙරුවෙ දෙමල ජනතාවගෙ ඓතිහාසික අවශ්‍යතාව නෙවෙයි, දෙමල ධනේශ්වරයෙ වුවමනාව: අඩු තරමින්, දෙමල ශ්‍රමය සූරාකෑමේ අයිතියවත් තමන්ට හිමි වෙන්ට ඕන ය කියන පදනම උඩ. එසේ ම, කොලඹ ආන්ඩුව නියෝජනය කරන්නෙ සිංහල ධනේශ්වරයෙ වුවමනාව මිස සමස්ත සිංහලයන්ගෙ සිතුම්පැතුම් නෙවෙයි. මංජුල මුල් කාලෙ ලියූ කවි පදයක පවා මේ දෝශය හමුවෙනව:
‘මා ඉදිරියෙහි හිස් ම හිස් කඩදාසියකි
එ මත ලේ පැල්ලමකි
එය කවියකි
ඒත් එය දෙමළෙනි
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි’
(
මම ලිඟුමාල වෙමි, පිළිහුඩුවී, 2002
)
මේ පදය ලියැවී තියෙන්නෙ ඇරිස්ටෝටලියානු රූපික තර්කනයට අනුව. කවියා මෙහි දී, හුදෙක් සිංහලයෙකු වීම නිසා ම, තමා මත් වර්ගෝත්තමවාදියෙකුගෙ තැනට පිරිහෙලා ගන්නව: 'දෙමලාගේ තතු සිහලාට නොවැටහේ - වෙඩිවර්ධන සිහලෙකි - එහෙයින් ඔහුට ද දෙමලාගේ තතු නොවැටහේ!' ඇත්ත වසයෙන් ම, මෙය පන්තිය පිලිබඳ කාරනාවක් මිසක් වර්ගය පිලිබඳ කාරනාවක් නෙවෙයි. දෙමලුන්ගෙ දුක්ඛ දෝමනස්සය සිහලුන්ට නොතේරනව ම නෙවෙයි. පාලක සිංහල-බෞද්ධ ධනේශ්වරය එය ඔවුන්ට නොතේරෙන තැනට වැඩ සලස්වා තිබෙනවා. පාලකයො ජාතික සමගිය ගැන මතුපිටින් මොනව කිව්වත් ඒ අය ඇත්තට ම ඒකට බය යි. එම කඩතුරාව ඉවත් කිරීම හෙවත් ව්‍යාජ විඥානය දෙපලු කිරීමෙ අභියෝගය නූතන ප්‍රවනතාමය කවියා ඉදිරියෙ තියෙනවා.
‘නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම’
(මාතෘකාවක් නැති මාතෘ භූමිය)
යම් විදිහකින්, කවියාගෙ අවසාන පැතුම
එල්.ටී.ටී.ඊ
යෙ අවසන් ප්‍රාර්ථනාව සමඟ සමපාත වෙයි නම්, එවිට, එම ප්‍රතිගාමී දෘශ්ටිවාදය විසින් විප්ලවීය ප්‍රවනතාමය කලාවක් පිලිබඳ කවියාගෙ සුන්දර අපේක්ශා සුන් කරනු ලබනවා. සත්තකින් ම,
'මාතෘකාවක් නැති මාතෘභූමියෙ'
නියම මාතෘකාව බවට පත් විය යුත්තෙ - මම අදහස් කරන්නෙ පොතේ නම නෙවෙයි, රටේ නම - ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් හැටියට පිහිටුවනු ලැබෙන,
ශ්‍රී ලංකා - ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක්
යන්න යි. ජාතික ප්‍රශ්නයට හැබෑ විසඳුම ඒකයි.
මුහුදු යාත්‍රිකයා තමන්ගෙ දිශාව බලා ගන්ට මාලිමා යන්ත්‍රයක් භාවිත කරනවා. බැරි වෙලාවත් නැවියාගෙ මාලිමාවෙ දොසක් තිබුනොත් කටුව කැරකෙන්නෙ වැරදි දිශාවකට. ප්‍රවනතාමය කලාකරුවාට මඟ පෙන්වන මාලිමාව ඔහුගෙ දේශපාලන දෘශ්ටිය. එය දෝශ රහිතව තිබෙන තාක් ඔහුගෙ කලාව බැදිවල රිංගන්නෙ නෑ. තමන්ගෙ අනාගත නිර්මානවල දි මේ ගැන වෙසෙසා සැලකිලිමත් වෙන්නැයි මංජුල වෙඩිවර්ධනගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
ලෝක පරිමානව, ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින සංස්කෘතියක් සහිත සමාජයක යි අපට වාසය කරන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. ජරාජීර්න ධනේශ්වර පර්යායට කොයි ලෙසකින් වත් මානව ප්‍රගතිය සලසා දෙන්ට හැකියාවක් නැති බව සනාථ වෙලා තියෙනව. කොටින් කීවොත්, ස්තාලින්වාදී විකෘත කිරීම්වල හා පවාදීම්වල ප්‍රතිඵලයක් ලෙස, සමාජවාදී සංස්කෘතිය මත් පරිහානියට පත් වෙලා තියෙනව. එය පුනර්ජීවනය කිරීම කලාවට විතරක් කල හැකි කාරියක් නෙවෙයි. ඒ සඳහා නිවැරදි දේශපාලන වැඩපිලිවෙලක් උවමනා වෙනවා. කලාව සැලකුවොත්, ප්‍රවනතාමය කලාකරුවාට තවදුරටත් එබඳු වැඩපිලිවෙලක ආලෝකයෙන් තොරව තම නිර්මාන බිහි කරන්ට නොහැකි කාල පරිච්ඡේදයකට අප අවතීර්න වී සිටින බව යි මෙතෙක් ගෙනහැර පෑ නිදසුන්වලින් පෙනී යන්නෙ.
අපි ජීවත්වෙන්නෙ යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ යුගයක යයි ලෙනින් ගුනාංගීකරනය කෙරුව. පහුගිය සියවසේ ශ්‍රේශ්ඨ කලාකරුවන් දෙපලක් වූ දියේගො රිවේරා සහ ආන්ද්‍රෙ බ්‍රෙතොන් අවධාරනය කල විදිහට, අපේ යුගයෙ ප්‍රවනතාමය කලාකරුවාගෙ යුතුකම හා වගකීම තමයි විප්ලවය සූදානම් කරන්ට උර දීම. විශේශයෙන් ම, ටියුනිසියානු හා ඊජිප්තු විප්ලව ආස්වාදජනක ලෙස පිපිරී තිබෙන වකවානුවක මේ ප්‍රකාශයෙ අර්ථභාරය කෙනෙකුට මැනවින් වැටහෙනව ඇති. මේ මොහොත උදා වෙන තුරු නේද ප්‍රවනතාමය කලාකරුවා ඇඟිලි ගනිමින් උන්නෙ? මේ විප්ලව පිපිරෙන්නෙ ලෝක විප්ලවයෙ නව වටයක බීජාංකුර හැටියට. යම් විදිහකින්, කම්කරු පන්තිය 1918 ජර්මානු විප්ලවය, 1926 බ්‍රිතාන්‍ය විප්ලවය, 1927 චීන විප්ලවය සහ 1936 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ජය ගත්ත නම් තතු කොහොම විය හැකිව තිබුන ද? නමුත්, විප්ලවවාදී පක්ශය ගොඩනැගී නොතිබුනු තතු යටතෙ ජර්මානු විප්ලවය කෲර ලෙස මර්දනය කරනු ලැබුවා. ඊලඟට, ස්තාලින්වාදී පාවාදීම්වල ප්‍රතිඵලය ලෙස ඉතිහාසය හැරුනෙ වෙනත් අතකට. ලංකාව සැලකුවොත්, ස්තාලින්වාදය සමඟ සම්මුති ගැහුව පැබ්ලෝවාදී සමසමාජ පක්ශය 1953 හර්තාලය හුදු සංකේත වර්ජනයකට සීමා කෙරුව. මේ සියලු අරගල ජයග්‍රහනය කලා නම් අපි අද මෙතැන සාකච්ඡා කරන්නෙ මීට වඩා සුන්දර මාතෘකාවක් වෙන්න ඉඩ තිබුනා.
නව යුගයෙ නව ක්‍රියාමාර්ග සඳහා නව ඇඳුම් ආයිත්තම් අවශ්‍ය යයි හෙයින්රිච් හයිනෙ කවියා ප්‍රකාශ කෙරුවා. හයිනෙ ජීවත් වුනේ මාක්ස්වාදය එහෙමට විකෘත නොකෙරුන අවධියක. අපි ජීවත් වෙන්නෙ ඔහුගෙ යුගයට වඩා බෙහෙවින් සංකීර්න, ව්‍යාකූලතා බහුල අවධියක. අපේ යුගය කම්කරු පන්තියෙ නායකත්වය පිලිබඳ අර්බුදයකින් සංලක්ශිතව ඇතැ යි ට්‍රොට්ස්කි ප්‍රකාශ කෙරුවා. අද වෙන කොට එය ඉදිරි දර්ශන පිලිබඳ අර්බුදයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ හින්දා, අපේ යුගයෙ ප්‍රවනතාමය කලාකරුවන්ට නව වස්ත්‍රාභරන විතරක් නෙවෙයි නව ඉදිරි දර්ශනත් වුවමනා වෙනව. වාසනාවකට, බොල්ශෙවික්වාදයෙ එක ම සැබෑ උරුමක්කරු වන
විප්ලවවාදී ලෝක පක්ශය
හෙවත් ජාත්‍යන්තර කමිටුව මෙහෙයවන
හතර වන ජාත්‍යන්තරයෙන්
එම ඉදිරි දර්ශන සම්පාදනය කෙරෙනවා. එනිසා, දැන් කල යුතුව තිබෙන්නෙ ප්‍රවනතාමය කවීන් එම ඉදිරි දර්ශනවලින් සන්නද්ධව, වඩා සංයුක්තව, නිරාකූලව, සුවිශදව, සියල්ලට මත් වඩා සුන්දරතර ලෙස යථාර්ථ ඥානනයෙ නිරත වෙමින් උත්කෘශ්ට විප්ලවවාදී කලාවක් කරා පිය නැගීම යි.
මෙය කිසිසේත් අන කිරීමක් හෝ බල කිරීමක් නෙවෙයි, නූතන ප්‍රවනතාමය කවියාට තමන්ගෙ දිශානතිය සලකුනු කර ගන්ට සැපයෙන අත්වැලක් විතර යි.
ස්තුතියි!
-දර්ශන මේදිස්
(උපුටනයන්හි දී හැර, අක්ශර වින්‍යාසය දේශකයාගේ අභිමතය පරිදි බැව් සලකන්න.)
Darshana Medis | දර්ශන මේදිස්
[SEO Tags] Speech by Darshana Medis, Manjula Wediwardena, Demala Kavi, Mathrukawak Nethi Mathrubhoomiya- 2011 January
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
බර්ට්‍රන්ඩ් රසල් කියයි.|
Personal Quotes
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus