| වළ කපාගෙන ජීවත්වීම |
| |
 |
  |
සියලූ සත්වයන්ට පොදු දෙයක් තිබේ. ඒ මරණයට ඇති බියයි. එහෙම වුණත් සිය දිවි නසා ගන්නා අය ද සිටිති. ඉස්සර දිවි නසා ගැනීමට භාවිත කළේ කදුරු ඇට කෑමයි. දැන් එය සයනයිඩ් දක්වා වැඩි දියුණු වී ඇත.
මා කොළඹ සිටි කාලයේ දී මගේ මිතුරෙකු වූ සිරාගේ තාත්තා මියගිය පුවත ඔහුගේ නිවසේ සිට මට දක්වන විට සිරා සිටියේ මා සමඟයි. ජනක රණතුංග, සමන් සේනාධීර, දිලිත් ජයවීර ආදී මිතුරන්ට හොරා මං සිරා කැඳවාගෙන කොළඹින් රාත්‍රී හතට පිටත් වී තවලන්තැන්නට ගොස් එතැන් සිට හැදුනුවැවට පයින් ගොස් නිවසට ළඟාවන විට උදේ වී තිබුණි. ගෙදර ළඟ සුදු කොඩිය දකින තුරු ඔහු මේ ගමනේ තේරුම දැන සිටියේ නැත. පැන් වැඩීමට පීරිසි කෝප්පද, මතක වස්ත්‍රද ගෙන ගොස් තැබූ පියා මිනිය වළට බෑම සඳහා අවශ්‍ය ලණුද එක්තැන් කොට තිබිණි. රැවුල කපා සුදු හැඳ දෑත් එක්කොට මිනිය තබන ලෙසින් සකස් වී මිය ගොස් සිටියේ ය. |
|
|
|
|
මරණයට පෙර ඔහු කවියක් ලියා තිබිණි. ''නැත කිසි දොසක් කළ කම් මිස අනුන්ගෙනි.'' යන අවසන් පදය පමණක් මගේ මතකයේ තිබේ. ඔහු මරණයට බිය වූයේ නැත. මරණයට සූදානමින් සිටියේ ය.
අපේ ගමේ මා කුඩා කාලයේ සිට දකින සොහොන් දෙකක් ගලක් මත ඉදිකොට තිබේ. මගෙ පියා කුඩා කාලයේ ද මේ සොහොන් දෙක එහි තිබූ බව මා සමඟ පවසා ඇත. ස්වාමිපුරුෂයකු සහ බිරිඳක මෙහි සැතපෙති. ස්වාමියා මිය යාමට පෙර මේ සොහොන් ඉදිකොට තැබූ පුවතක් මා අසා ඇත.
බිබිල - අම්පාර මාර්ගයේ රත්මල්ගහඇල්ල නම් ප්‍රදේශයක් තිබේ. තවමත් මේ ප්‍රදේශය කැලෑබදය. නිල්ගල, රතුගල, දානිගල ආදී ආදිවාසී ගම්මාන මේ ප්‍රදේශය අවට පිහිටා තිබේ. වැද්දන්ගේ පුරාණ ලෙන් සහිත දානිගලට යාමේ දොළ මට තවමත් ඉටු කර ගන්නට ලැබුණේ නැත.
 |
|
|
|
(ලංකා) |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 02:19:32 | [Tags] Sunaparanthaya, Lanka Irida Sangrahaya |
|
|
|
|
| කුණුවෙලා මැරෙනවද? |
| |
 |
|
|
මරණය කියන්නේ මේ ලෝකයෙ කොයි කාටත් බිය උපදවන දෙයක්. කවුරුත් කැමැති වෙන්නෙ දුක් කරදර නැතුව ජීවත්වෙන්නටයි. දවසක් මං අම්පාරෙ නගරයෙ තැනක යාළුවෙකු ආ නිසා නවතින්ට ගියා. හෝටලයේ නාන තටාකයේ විනෝද වෙමින් සිටි තරුණයෙකු දිහාට මගේ හිතගියා. මේ තරුණයා ඇතුළු පිරිස තරමක් සෝමපානය කරලයි හිටියේ. මගෙ හිතගිය තරුණ හාදයා නීතිඥයකු බව කතාවෙන් තහවුරු වුණා. තමන්ගේ සේවාව ගැන කියූ ඔහු කී කතාවක් මගේ සිතගත්තා.
''මැරිලා කුණුවෙන එක වෙනම දෙයක්. නමුත් කුණුවෙලා මැරෙන්ට එපා.'' ඔහු යාළුවන්ට දුන් උපදෙස මාත් හිතට ගත්තා. සමහර අය ජීවත් වූ ක්‍රමවේදය නිසා මැරිලත් ශාප විඟනවා. උදේ රෑ බණ කියන, බණ අහන රටේ සිද්ධ වෙන දේවල් අරුමයි.
යුද සමයේ සුනාපරන්තය හරි නපුරු පළාතක්. ඒ කාලෙ අපේ පඩියට 'මර බිය දීමනාව' (Risck Allowance) කියලා එකක් එක්කාසු කරලා තිබ්බා. මේගැන කතාකරන්ට රැස්වීමක් දැම්මා. රැස්වීම අහවර වෙලා තවත් කියන්ට යමක් තිබේදැයි උපකුලපතිතුමා විමසුවා. මං අත ඉස්සුවා.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:19:32 |
|
|
|
|
| දසක හතරක මිනිසෙක් |
| |
 |
|
|
නැවතත් දුර්දශාවක් එළඹ තිබේ. නපුරු කලට සතහට පැමිණෙන දුක, කළකම් පල දෙවා මිස නිමා නොවේ. සෙනසුරාණෝ විෂ්ණු දෙවියන්ට බට කොළ කැවූහ. මට නම් තණ කොළවත් නැත. 'වල් කොළ අතුට නිදා බෝඩිං යානේ' කියලා කපුගේ ගැයූ ජීවිතය විඳිමි. සුනාපරන්තයට යන්නට නොහැකිය. අගනුවර නිදිවර්ජිතව, නිරාහාරව සිර බත් කමි. මේ තීරුවට මෙහි දී නිමිත්තක් හමුවිය.
දන් දෙන්නට වස්තුව තිබිය යුතුම නැත. හිත ඇත්නම් පත කුඩා ද කියා ගමේ කියමනක් ඇත. සමාජය හදන්නට පෙරළි කොට දැන් හුදකලාවී තනි තනිව පරෝපකාරයේ යෙදෙන මිනිසුන් මට හමුවී තිබේ. මහින්ද සර්ධාසේන, සිසිර කොඩිකාර එබඳු මිනිසුන් දෙදෙනෙකි. මා කියන්නට යන්නේ ඒ දෙදෙනා ගැන නම් නොවේ.
ඔහු අලුයමින් අවදි වූවේය. තම බිරිඳ තවමත් නිදිය. හෙමින් නිවසේ කාමරයකට ඇතුළු වූ ඔහු තමා ඉතාලියෙන් ගෙනා සුව පහසු හාන්සිපුටුව එළියට ගත්තේය. ''මේක නිකං තියෙනවා. තේරුමක් නෑ. කාට හරි ප්‍රයෝජනයක් තියෙන්නට ඕනෑ'' ඔහු තමාටම කියා ගත්තේය. තම මෝටර් සයිකලයේ එය බැඳ නිවැසියන් අවදිවන්නට පෙර ගෙන ගොස් වකුගඩුවක් ඉවත් කළ මිතුරාගේ බිරිඳට පරිත්‍යාග කළේ ය. ඇය එහි සුව පහසුව සිටිනු බලා ඔහු සතුටට පත්වූවේය.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:16:31 |
|
|
|
|
| බ්‍රිස්ටල් පෙරහර යන මඟ! |
| |
 |
|
|
''යානෙ වරුම් පින්නෛ. මනි ඕසේ වරුම් මුන්නෛ.''
දෙමළ භාෂාවේ මේ ප්‍රකට කියමන මතක් වෙන හැමවිටම මට මහනුවර ඇසළ පෙරහර මතක් වෙයි. 'මිණි ගෙජ්ජි සද්දෙ පළමුව ඇසෙන අතර, ඊට පසුපසින් අලියා එන' බව මේ කියමනේ අරුතයි. මහනුවර අවට උපන් අපේ ළමා, තරුණ කාලයේ අසිරිමත් වකවානුව ඇසළ සැණකෙළිය සමග උදාවෙයි. දළදා පෙරහරට වඩා අපට වැදගත් වන්නේ බෝගම්බර පිට්ටනියේ පවත්වන ඇසළ මේලාව. අඩි අසූවක් උස කුලුනකට නැග ශරීරයට ගිනිතබාගෙන කුලුන පාමුල වතුර ළිඳට පනින දර්ශනය අපට පුදුමයකි. ශරීරයේ ගින්න නිවාගෙන ඇය ළිං පඩියට ගොඩවී ප්‍රේක්ෂකයන්ට ආචාර කරන විට අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු. එදා අපට සෙංකඩගල ප්‍රකටව පෙනුණේ දළදා මාළිගාව නිසා මෙන්ම රේඩියෝ සිලෝන් එක නිසාය. හන්තානේ පිහිටුවා තිබුණු විකාශන මධ්‍යස්ථානය මේ නමින් හැදින්වුණා.
කඳු මුදුනේ රේඩියෝ සිලෝන් එක දක්වා මාර්ගයේ රාත්‍රියට විදුලි බුබුළු දල්වා තිබුණි. අද හැම කන්දකම විදුලි ආලෝකය තිබේ. ගස්වලටත් වඩා විවිධ කණු හා කුලුනුය. පෙරහර කාලෙට වෙනම බස් සේවාවක් යෙදවේ. එකල තිබුණේ ලංගම බස් පමණකි. උණ ගස්වලින් දිගු පෝලිම් බඳිනු ලැබේ. කෑම බීම රැගෙන වෙලාසනින් ගොස් ඉඩක් අල්ලාගෙන පෙරහර එනතුරු එතැන වාඩි වී සිටිමු. පෙරහර ආරම්භවන වෙඩිල්ල ඇසුණු පසුව ඉවසිල්ලක් නැත.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:15:00 |
|
|
|
|
| 'අලජ්ජි බලි යාගය' |
| |
 |
|
|
බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාතනයෙන් පසුව භික්ෂු විරොධී කතා තැන් තැන්වල පළ විය. එදා චීවරය දඩමීමා කරගෙන ඇතැම්හු තම සිතැගි ඉටු කර ගත්තේ ය. අදත් එබඳු දේ ඕනෑ තරම් සිදු වේ.
අපේ හාමුදුරුවන්ගේ නම ගෝවල විමලධම්ම ය. උන්වහන්සේ ගම්පොළ රතනාසරහි වාසය කරති. පෞද්ගලික ව්‍යාපෘති සඳහා චීවරය ගන්නවාට විරුද්ධව ක්‍රියා කිරීමට උන්වහන්සේ මැලි නොවෙති. මහ රෑ ගම්පොළ බස් නැවතුම්පොළේ, ගාමිණී අයියගෙ කඩේ (ශ්‍රියානි හෝටලය) ළඟ හාමුදුරු නමක් ඩාන්ස් කරන ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. එතැනට ගිය අපේ හාමුදුරුවෝ ඔහු පොලිසියට අල්ලා භාර දීමට ක්‍රියා කළහ. සිඟාකමින් පන්සල් ගාණේ යන භික්ෂුවක් දිනක් මා සිටිය දී පන්සලට වැඩියහ. වහා ම හුනස්නෙන් නැඟී සිටි අපේ හාමුදුරුවො ආගන්තුක හිමියන්ට තැලුහ. ගිහියෙක් වූ මටත් පෙර උන්වහන්සේ ආගන්තුකයා බීමත්ව සිටි බව තේරුම්ගත්හ. "හිඟා කාපන් ආගම, සිවුර ඒකට යොදා ගන්න එපා. අපේ දායකයන්ගේ ගෞරවය රකින්ට ඕනෑ" යැයි ආගන්තුකයාට අවවාද කරමින් උන්වහන්සේ පැවසූහ. බෝවල විමලධම්ම හාමුදුරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන ලියන්නට කොතෙකුත් දේ තිබේ. සියලූ චීවරධාරීහු භික්ෂූහු නොවෙති යන පාඩම මම දනිමි.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:10:39 |
|
|
|
|
| 'ඇන්ජිමා' |
| |
 |
|
|
කුඩා කාලයේ සිට පොත් කියවීමේ පුරුද්දක් ලැබුවෙමි. මට නින්ද යන මොහොතේත් යළි අවදිවන මොහොතේත් මගේ පියා ශබ්දනගා පොත් කියවනුත් සිටි අයුරු දැනුත් මට සිහි වේ. කුමන විභාගයකට පාඩම් කරන්නේදැයි මව නිතර චෝදනා කළ ආකාරයත් මට මතකය. පියා වැඩියෙන්ම කියවූයේ කවි හා පාලි, සංස්කෘත පොත්ය. මේ ඔස්සේ යමින් කියවීම මගේ පුරුද්දක් බවට පත්විය.
කුඩා කාලයේදීම කියවූ පොත් අතර බරීස් පලෙවොයිගේ "සැබෑ මිනිසකුගේ කතාව" මතකයේ අමරණීයව තිබේ. ඒ පොත මා ලබාගත්තේ කාගෙන්දැයි මට මතක නැත. වැඩිවියට පත්වූ පසුව ඒ පොත මගේ නෙත ගැටුණේද නැත. ඒ පොත මගේ දරුවන්ට කියවන්ට දෙන්ට ඇත්නම් හොඳ යයි මට සිතේ. දෙපා අහිමිවූ අයකු නැවතත් අහස්යාත්‍රා පැදවීමට මවන සිහිනයත් ඒ සිහිනය ඔහු සැබෑ කරගන්නා අපූරු කතාවත් මෙහි ඇතුළත්ය. එම කෘතිය කියවීමෙන් මම මහත් දිරියක් ලැබුවෙමි.
අද රටේ අතක පයක අමාරුවක් ඇතිවූ අය එය වෙළෙඳාමක් කරගන්නා අයුරු දක්නට ලැබේ. බස් ගාණේ හිඟාකන බොහෝ අය මෙබඳු ඇත්තෝ වෙති. අතක් නැත්නම් ඉතිරි අතින් යමක් කරන්නට පුරුදුවීමේ දිරියක් අපට නැත. සමෘද්ධියක් හෝ පිංපඩියක් ලබාගෙන ජීවිතය ඇදගෙන යාමට එබඳු අය හුරුවෙති.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:09:03 |
|
|
|
|
| 'කොල්ලො වරෙව් ගොංගහන්ට' |
| |
 |
|
|
හැත්තෑ හතට පස්සෙ ගම රට හොඳටම වෙනස් වුණා. නිදහසේ වෙනස් වෙන්නට ඉඩ නොදී රටට සුනාමියක් වගේ වෙනසක් ගෙනැත් අතෑරියේ ඡේ.ආර්.. පුංචි සන්දියේ අපි කඩෙන් ගත්තෙ ලූණු, කරවල හා පරිප්පු වගේ දේවල් විතරයි. මිරිස් ගත්තෙම නෑ. කඩවල විකුණූ මිරිස්වලට කිව්වේ 'කඩේ මිරිස්' කියලා. සමහර අය රට මිරිස් කියලත් කිව්වා. ගමේ අල වර්ග එමටයි. දෙහි අල, තුම්මස් අල, කිරි අල, රටල, සෙවෙල් අල මේවා අතර ප්‍රසිද්ධයි. අර්තාපල් කඩෙන් ගන්න නිසා කිව්වෙ 'කඩේ අල' කියලා. අවුරුදු දවස්වලට තමයි ගෙවල්වලට කඩේ අල ගේන්නෙ. වගාවන් අතර ප්‍රධාන වුණේ කුඹුරු ගොවිතැන. ගමේ කොල්ලො කුරුට්ටෝ වඩාත් සතුටු වෙන්නෙ ගොයම් කපන කාලෙට. ඒ කාලෙට මීහරක් හරිම ඩිමාන්ඩ්. කල් වේලා ඇතුව පිංතුගෙන් නැත්නම් ජෝන්ගෙන් හරක් වෙන් කරගන්නවා. ගොයම් කැපිල්ල එකම මඟුලක්. ගොයම් කැපීම, උප්පිඩි එකතු කිරීම, කමතේ අළුවං වැඩීම, කොළ ඇදීම, කෙවිටි කැපීම, පැල් හැදීම මේ දාහක් වැඩ අතර ප්‍රධාන වෙනවා. කොළ පාගන්නෙ රෑට. පළවෙනියෙන් ඉවතදාන මැඩුවං (පිදුරු) වලින් අපි පැලක් හදලා වහගන්නවා. ගිනි මැලයක් පත්තු කර ගන්නවා. නැතුව ඉන්න බෑ සීතල.
කොළේට හරක් ඔට්ටු කරන්නෙ වැඩිහිටියෙක්. උකුණු දැත්ත බෙල්ල පිටු පසින් හරහට තියා ගන්නවා. දෑත අඹරවා උකුණු දැත්ත වටේ දමාගෙන හඬනගා තාලෙට ගායනා කරනවා. "කොල්ලො වරෙව් ගොංගහන්ට බත් දෙඤ්ඤං කන්ට......" කියලා. ගොංගහනවා කියන්නේ හරක් එළවනවට. ගොංගහන්ට අත්දැකීම් තියෙන්න ඕනෑ. මුළු ගොයම පුරාම හරක් දක්කන්ට ඕනෑ.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:06:06 |
|
|
|
|
| තොප්පිය යට ඔළුවක් තිබේ |
| |
 |
|
|
රජවරු තම දේශයේ වැසියන්ගේ සුවදුක් සොයා බැලීම පිණිස වෙස් වළාගෙන ගෙන් ගෙට ගියහ. වෙනත් පෞද්ගලික උවමනාවන් සඳහා ද ගියහ. මොරතොට හිමියන්ගේ සිල් බැලීම සඳහා ගොස් ගැහැනියක් ලෙස සැරසී කාමරයට අත දැමූ පුවතක්ද අප අසා ඇත. එසේම තිරුවා නම් පුද්ගලයා අඹගමුවට යවා රාත්‍රියේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට කතාකිරීමට ගිය රජතුමා අමාරුවේ වැටුණේ රජුගේ සට කපට බව දැන සිටි තිරුවා අඹගමු නොගොස් ගෙදර සිටීම නිසයි. ''තිරුවා අඹගමු ගියා වගේ'' යන කියමන ජනවහරට එක් වුණේ මින් පසුවයි.
රජ කාලේ ගමන් බිමන් යාම සඳහා රජතුමාට පෙජරෝ, මොන්ටෙරෝ රථ තිබුණේ නැත. ඔහු ගියේ දෝලාවෙනි. මහනුවර රජතුමාට අනියම් බිරිඳක් සිටි අතර ඈ වෙත රජු ගියේ දෝලාවෙනි. දෝලාව ගෙන යන සිව්දෙනා මේ රහස දැන සිටියහ. දැන් දේශපාලනය කරන ඇත්තන්ට මෙහෙම නිදහසේ යෑම් ඊම් කරන්නට පුළුවන් කමක් නැත. යුද්ධය ඉවර නිසා එහෙම යන්නට පුළුවන් විදියක් උදාවුවහොත් පෙර රජ දවසේ වගේ අපේ සැප දුක් බලන්නට ඒ පින්වත් ඇත්තෝ එන්නටද ඉඩ තිබේ.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 01:03:54 |
|
|
|
|
| උන්වහන්සේලා අපවත් කළහ |
| |
 |
|
|
දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය.
1932 ජනවාරි 08 වන දින උපන් වීරසේන කුමාරගේ පියා තෙලිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස්ය. ගාලූ දිස්ත්‍රික්කයේ වැල්බඩ පත්තුවේ බූස්ස ආසනයේ හෑගොඩ නම් ගමේදී උපන් කුමරුවා 1944.04.07 දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේදී හෑගොඩ ඉන්දසාර නමින් පැවිදි වූහ. 1953.06.10 දින මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදාව ලබා 1956 දී අම්පාරට වැඩියහ. උන්වහන්සේ මේ සුනාපරන්තයට වඩින විට ඕවාගිරිය, දීගවාපිය, උදයගිරිය වැනි රජමහ විහාර හැරුණු විට අනෙක් සිද්ධස්ථාන නටබුන්ව තිබුණි. එකල මෙහි වාසය කළේ භික්ෂුන් සිව් නමක් පමණි. අද සමනබැද්ද ධම්මරතන පිරිවෙන හෙවත් වනවාස විහාරය උන්වහන්සේ මුලින්ම වැඩ වාසය කළ ස්ථානයයි. එකල ගල්කෝරිය ලෙන ලෙස හැදින්වූ උහන පිහිටි මෙම විහාරය හැර අම්පාර රෝහල පාරේ ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන පිහිටා ඇති ස්ථානයක 1963 වසරේ වැඩම කළහ. එතැන 1966 දී විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කළහ. උන්වහන්සේ විසින් ආරම්භ කළ විහාර 40ක භික්ෂූන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පිරිවෙන විවෘත කරන ලදී. එසේම 300කට වැඩි පිරිසක් පැවිදි කිරීමට කටයුතු කළහ.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 00:55:23 |
|
|
|
|
| "උළු තියලා හදා මොටද අපෙ පොල් අතු ස්කෝලේ" |
| |
 |
|
|
මට මගේ ස්කෝලය ගැන යමක් ලියන්නට හිතෙනවා. මං මුලින්ම ගිය ස්කෝලේ නම රාජානන්ද කනිෂ්ඨ විද්‍යාලයට. ගම මැදට වෙන්නට මේ නිවහන පිහිටුවා තිබුණා. රාජපක්ෂ පවුලේ අය තමන්ගෙම ඉඩමක තමන්ගෙම වියදමෙන් මේ පාසල ඉදිකොට දුන් බව ගමේ කව්රුත් දන්න කතාවක්. අපේ ස්කෝලෙට හෙවිලි කරලා තිබුණෙ පොල් අතු. බිම ගොම පිරියම් කරලා තිබුණා. සති දෙකකට විතර සැරයක් ළමයි ගොම අරන් ගිහින් බිම ගානවා. එදාට ඉස්කෝලේ පන්ති පවත්වන්නේ නෑ. පන්ති තිබුණෙත් පහ ශ්‍රේණිය දක්වා පමණයි. මං ගිය කාලේ ලොකු මහත්තයා (මුල් ගුරුතුමා) හැටියට වැඩ කළේ ගුණපාල කියලා ගුරුවරයෙක්. අමරපාල මහත්තයයි, ගුණරත්න මහත්තයයි හැරුණු විට ඉංග්‍රීසි ගුරුතුමියක් හිටියත් ඇගේ නම දන්නේ නෑ. ඉංග්‍රීසි නම් මට අකුරක්වත් ඇහිඳ ගන්න බැරි වුණා. මට ඉංග්‍රීසියෙන් නම ලියන්නට කියලා දුන්නෙ මගේ නැන්දම්මගෙ පුතා. අපි එයාව අමතන්නෙ චූටි අයියා කියලා.
අවට පාසල් තියෙද්දී මං මේ පාසලට යැව්වෙ ඇයි කියල මං දන්නෙ නෑ. එහි මා සමග උගත් අයගෙන් උසස් පෙළ දක්වා ආවේ එක්කෙනයි. අනිත් හැමෝම ගමේම නතර වුණා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වෙලා මම ගියේ ගමේම මහ විද්‍යාලයට. උසස් පෙළ විද්‍යා විෂය ධාරාව නොතිබුණ නිසා නගරයට යන්න මට සිදු වුණා.
 |
|
|
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න |
|
Updated on : 2010-06-04 00:54:11 |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |