| "ගිගිර" බේරං එන්න |
| |
 |
|
|
(ඉකුත් සතිවල රාවයේ පළ වූ වන්නියේ මිතුරන් සහ රත්න ශ්‍රී ගේ කවි ගනුදෙනුව කියවීමෙන් පසු ලියන ලද්දකි.)*
තරුණ මා අත වූ
ගිගිරකි ඔබේ කවි මතකය
ඒ ගිගිර සැලෙන හඬ
අස අසා ආවෙමු ය
සොය සොයා වින්ඳෙමු ය
කියවමින් හැඬුවෙමු ය
පණ ගසා නැගුණෙමු ය
තව තවත් පැසුණෙමු ය!
එද
ඔබ එක් වනම නැවතී
ගිගිර ගොළු කළෙහි ය!
"ව්‍යාධියෙන් පිරුණු කල මුළු නුවර
ව්‍යාධියට ගොදුරු නොවනු ද කෙලෙස"
අසන්නෙය බිඳුණු ස්වරයෙන්
මගේ කවි සඳ උදය
ඔව්! ඇත්ත ඔව්! ඇත්ත
හේබා ගිය ඉඩමේ - රත් හඳුන් ගස මුල
මල් රේණු යට - සර්ප බිත්තර!
එද මගේ කවි විරුව,
නොදිටි ද සර්ප කලලය
කිමද දුන්නේ නියත විවරණ?
දැන දන විඳින දුක්
ලෙහි ඇණුනු උලක් ඇතියෙන
වැගිරුණු ලෙයින් නිපැයූ
කෝ කොහෙද කවි ඔසුව?
දන මොළ සුප් දියරයෙන
බල කුසගින්න නිවනා
ජඩයන්නෙ කෑම රුචියට
වැය විණි ද ඒ ඔසුව?
කිවිඳුනි, සමා අවසර
කිවයුතුය රොස් නමුත් මෙබස
"ව්‍යාධියෙන් නුවර පිරවූ
ව්‍යාධිකාරක සුනඛයන් සමග
ලැග ලැග එකට එක සයනයේ
බලු මැක්කන්ය ඔය ලියන නව කවි!"
හලා බලු මැක්කන්
හෙළා දැක ඔබ පෙළන බල්ලන්
ගිගිර බේරං එන්න ආයෙත්
ආදරෙයි අපි ඔබට!
දොරටුව තවම විවර ය
"ලෙඩ නොවුණු" කඳවුරෙහි
උකුස්සෝ මියයත්
රාජාලියෝ මරා දැමෙත්
පැණිකුරුල්ලෝ නොමැරෙත්!
(තද කළු අකුරින් ඇති කවි පේළි රත්න ශ්‍රී ගේ කවි වලින්.) 
|
|
|
|
* වන්නියේ සිට රත්න ශ්‍රීට| නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් |
|
* වන්නියේ මිතුරන්ටයි| රත්න ශ්‍රී විජේසිංහ |
Madan Lal Amarawickrama | මදන් ලාල් අමරවික්‍රම |
|
Updated on : 2010-08-16 04:34:41 | [Tags] To Rathna Sri Wijesinghe |
|
|
|
|
| කෝ ඒ සමනලුන්? |
| |
 |
|
|
පැරණි ''හිරු'' පුවත් පතේ කවි පිටු කිහිපයක් (නිම්තෙර) මෑතක දී යලි කියවීමි.
නිම් තෙරකි....
සොඳුරු මිනිසුන් ඇවිද ගිය
පිය සටහන් නොමැකුන
නැගුණ අවි සදිසි තරුණන්
විරහ කඳුළින් තැවෙන මිතුරන්
නීල ගගනත සරන විහඟුන්
සම බිමට පෙම් බඳින සොයුරන්
කොහිද නුඹලා
නොයෙන්නෙද ආයෙමත්....
පණ ගැහෙන කවි කළල
හොවා පපු තුර...
මහ මගෙක
ඝන'ඳුරු රැයෙක
නිවී සැනසුනිද ...?
ගොම රිටි වලින් තරු අඹන
වසල සිටු පරපුරට දී නිල් අහස
ලොව සෝබරම කවිය වී
අවන් හලක - මදු විතක දියවී ද...?
හදවත් මිදෙන - දුර සීත රටක
පවුමෙන් පවුම එක්කොට
කිසිදා නිම නොවන
ප්‍රති කවිය පබඳී ද...?
දැවුන කවි අලු මතින් නැඟී
ෆීනික්ස් කුරුල්ලෙකු බදුව
හාල් තුන පහ එල්ලගෙන
නිනව් නැතුව පියඹා ද ...?
තුන් බිය රැඟන
මේ විශාලාවේ
සදාතන දළඹුවෝ වෙමු ද අපි...?
එන්න මිතුරනේ යළිත්
අපට සමනල තටුවක් අරන්....
-2008 දෙසැම්බර්.
[අහස හැඩි වී ඇත - 2009] 
|
|
|
Rohana Pothuliyadda | රෝහණ පොතුලියැද්ද |
|
Updated on : 2010-08-15 23:07:19 | [Tags] Ahasa Hadi Wi Atha - 2009 |
|
|
|
|
| වන්නියේ මිතුරන්ටයි |
| |
 |
|
|
[නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ වන්නියේ සිට රත්න ශ්‍රීට ය. කවියට පිළිතුරකි.]
හී තුඩක් සේ පැමිණ
ඔබේ පෑන
දැදුරු කළ මුත් මසිත
ආදරය මිසක ඔබ පිළිබඳව
නොවේ අහිතක් තුන්හිතක
මේ අවුල් හූ වටෙහි දෙකෙළවර
එක් බඳුය පිය මිතුර
'හුයෙහි සීනැ'යි කොණක් ගත් නමුදු
බලු වසුරු පිඬෙක කෙළවර පමණ
එකුන් පණසකි වසර ගෙවී තිබුණේ යන්තමට
කෙළ ගසා දැහැටි දඬු ඉවත ලන විට මුවින
යළිත් ඕනෑවිය ඉඳහිට දිනක
ගිලීමලේ උන්ට
මැදගන්ට - සුදු පිරියම් කරන්නට
ඒ කදිම දැහැටි දඬුවය තවම
තුවාලව ඇතත් කුරුල්ලාගේ හදවත
තවම කවියක් තිබේ එහි ඉතිරිව
ව්‍යාධියෙන් පිරුණු කල මුළු නුවර
ව්‍යාධියට ගොදුරු නොවනුද කෙලෙස
ඇසේ නම් ඔබේ කටහඬ මෙලෙස මිතු මතුද
නික්ම යන්නට පෙර
අත වනන්නම් සෙමෙන් ඈත සිට 
|
|
|
|
(රාවය 18 පිටුවෙන්- 2010.08.15) |
|
|
Rathna Sri Wijesinghe | රත්න ශ්‍රී විජේසිංහ |
|
Updated on : 2010-08-15 21:56:36 |
|
|
|
|
| දියවැඩියාව පෙරි පෙරි ඔහු තේ බීය!! |
| |
 |
|
|
අනේ මිහිඳා ය ඇන ඇන වනසාය
යටින් කරුඳාය කප කප වලදාය
දකුණේ සජිඳාය බැණ බැණ ඌ කාය
දියවැඩියාව පෙරි පෙරි ඔහු තේ බීය
අරලිය ගහේ සෙල්ලම් ඔන්චිල්ලාව
අරලිය සුවඳ විඳ විඳ පැදලා ආව
අරලිය ගහ යටට නිතරම ගිය ආව
මැරුණත් සැපයි අම්මප මේ ගහ ගාව 
|
|
|
|
(කාටූනය- 2010.08.11 ලංකාදීපයෙන් උපුටා ගත්තකි. දාස හපුවලානගේ.) |
|
|
KiriMama | කිරිමාමා |
|
Updated on : 2010-08-11 00:14:15 |
|
|
|
|
| පිරිත් එෆ්.එම් |
| |
 |
|
|
අරුත් පිරුණු කවි බස නම් මට අරහං
අරුත් පිරුණු නෙක පොත් වල පිටු අරහං
සිතන්නට බල කෙරෙන සටහන් මට අරහං
චාලකද පියල් නුඹ දැන් මට අරහං
අලුයමින් නැගෙන දිවයුරු මට අරහං
පුංචි පිණි බිංදු නෙක සිසිලස අරහං
කුරවි කෙවිලියන්ගේ ගී මට අරහං
සිතට දැනෙන මල් සුවඳත් මට අරහං
පිරිත් හඬින් මගෙ දෙසවන් පිරේවා
ස්තෝත්‍ර දෙව් යාදිනි ඇසේවා
එෆ්.එම් කුරවි පෙම් රස බස් ඇසේවා
ශ්‍රී නමින්ම කාඩ් බෝඩ් දිසේවා
කබිර් මුණිද චේ ෆිඩෙල්ව මැකේවා
ඕෂෝ බ්‍රහ්ම සොං සිතිවිලි මැකේවා
සිත හඬවන පිටපත් ගිණි වැකේවා
අළුයම ශ්‍රී නමට මුණි ගුණ ගැයේවා
දිසේ දිසේ මේ දෙස බොදු කොඩි දිළිසේ
ඇසේ ඇසේ පිරිත් දම් දෙසුම් සිතුසේ
පිසේ පිසේ දොර දොර මසවුළු සතොසේ
වෙසේ වෙසේ මෙහි සිරි ධන සිතුමිණ සේ
(ශ්‍රී එෆ්.එම් අළුයම 3.30 සිට 6.00 වැඩසටහන අවම Ratings හේතු කොට ගෙන අවලංගු කෙරිණ. ශ්‍රාවකයා බුද්ධිමය ඥාණනය කිරිමට ගත් උත්සාහයක් නිරර්ථක විය.) 
|
|
|
Upul Senadheerige | උපුල් සේනාධීරිගේ |
|
Updated on : 2010-08-09 22:36:46 |
|
|
|
|
| ගිනි කඳු වී ඇස් අරින්න.....! |
| |
 |
|
|
දුප්පතුන් වඳ කෙරෙති
කොන්ක්‍රීට් සැත්කමින්
කලු... රියක... ලා... උහු
ස්වර්ගයට...!
ඒක පුද්ගල සන්තුෂ්ඨිය......!!!
කොළඹදී දෙමළ ජනයා
නැවත
ලියාපදිංචි කරති
යුදෙව්වනි......!
පැළඳගනිව්
කොන් පහේ තරුවක්
හිට්ලර් ඇවිල්ලා
ලංකප්පූරැවේ......!
සරසවි සිසුනි
පදම් කර
ලෙලි තලන පොලු වලින්
මස්තිෂ්ක ඇද එලියට
උපාධිය ලබා දෙති
ආණ්ඩුව
පරලොවට වුව යා හැකි......!
නීතියේ පිහිට ඉල්ලා
එන කතුනි
පැමිණිල්ල ලියන්නට පෙර
දරුපල ලබා දෙති
පෝලිමේ
පොලීසිය......!
නැති බැරි කමට
උසාවියට භාරදෙති
අම්මලා
තම දූ පුතුන්
නඩුකාර භාන්දුරුවෝ
උන් බලා ගති යසට
උන්නාන්සේ
ලීගුවෙනුත් යුක්තිය පසිඳිති......!
සතර පේරුවේ
ලේ කඳුළු දහඩිය
දන්බත් කර බුදින
ගතින්නාන්සේලා
ජයපිරිත
ජපකරති
පල් හොරුන්ටම......!
සිව්සැට කලා කරුවෝ
ඝණීභූතව ඇත......!
උගත් වියත් සවිමත් බුද්ධිමත් හු
දිව පෙනෙන්නට
මුව විවර නොකරති......!
තැලී.... පෙලී.... පෑගී.... පොඩිවී....
කුඩාවන
ගල්ල වැලි කැටල අලුදුහුවිලි
වලටම වෙයි
සත්තකින්ම
ගිනිකඳු වී
ඇස් අරින්න......! 
|
|
|
Daya Neththasinghe | දයා නෙත්තසිංහ |
|
Updated on : 2010-08-09 04:19:28 |
|
|
|
|
| වන්නියේ සිට "රත්න ශ්‍රී"ට |
| |
 |
|
|
අවැසිමය පිළිතුරක් මට කිවියර
ගඳ ගහන වැඩිම කියවන පත්තට අතර නොව
සදාකාලික රැඩිකල්ව ඇස ගැසෙන
ඔබව හඳුනන දුප්පත්ම විකල්පිත පිටු අතර
නිවා දැම්මාද කාව්‍ය සඳ මඬල
ඉරිතැලුණු ප්‍රකම්පිත හද අහස
නොවී නම් ලබාගෙනවත් ද
ආණ්ඩුවෙ තනතුරක් නිකමට
දෙකට නොනැමුණු කශේරුව
සිහිනයෙන්වත් නැමුණාද
තුන් බියෙන් වෙළුම් කන
විශාලා මහනුවර යකුන් ලඟ
රාමුව ඔවුන්ගේ වීමට හැකිය
වීදුරුව අනුන්ගේ වුව නිබඳ
කණ්ණාඩි කුට්ටමෙන් ලොව බලන
විසල් වූ ප්‍රඥාවේ දෙනෙත නම් ඔබගේය
නොලියා ඉන්න තරමට
අපව දැන් අපුලද
මැතිවරණ දැන්වීම පිටුවකට
අත්සන යොදා තිබුණාම
හිතාගන්නට බැරි වුණා මට
ඔබ ඉන්නෙ කොතැනකද යන වග
ඇදුරිඳුට මගේ ගරුතර
විෂ පෙව්වේ කවුරුන්ද හලාහල 
|
|
|
[කවිය සහ කාටූනය 2010.08.08 රාවය 18 පිටුවෙන්.]
කාටූනය- ජනරංජනගෙන් |
|
|
Nagollagoda Dharmasiri Benedict | නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් |
|
Updated on : 2010-08-05 21:35:27 | [Tags] Rathna Sri Wijesinghe, Cartoon by Janaranjana |
|
|
|
|
| ප්‍රගීත් |
| |
 |
|
|
කඳුළු බිඳුවක නොරැඳී
කොතැන ඉන්නෙද සැඟවී
හැංගි මුත්තම ඉවර කළ මැන
දින දෙසීයම දිනෙකී
අයනු ආයනු බැරිවී
සිටියෙ නම් සැනසුමෙකී
සෙනෙවිවරුනට කවි ලියන විට
මගේ හිත නම් සැළුනී
වදන් දහනක තනිවී
පුතුන් දෙතොලත ගොළුවී
තාත්තේ යැයි කියා ගන්නට
වරක් හිනැහෙනු මැනවී
හදේ ගින්දර ඇවිලී
ඇඳේ ඉන්නෙමි ඇලවී
එහෙත් නින්දට මඟ කියන්නට
ඔබේ සුසුමන් නොමැතී
ඔබේ ඇස් යට ගුලිවී
සිහිනයක් මම දකිමී
මගේ සිහිනෙට වෙඩි තියන්නට
කාටවත් නම් නොහැකී 
|
|
|
Manjula Wediwardena | මංජුල වෙඩිවර්ධන |
|
Updated on : 2010-08-05 03:06:42 | [Tags] Prageeth Ekneligoda |
|
|
|
|
| ලාබෙට තිබේ මෙහි ඇවිලෙන්න ඉන්ධන! |
| |
 |
|
|
කිලිනොච්චි කැබිනට් රැස්වීමේ දී උතුරට තිළිණයක් ලෙස ඉන්ධන මිල අඩු කරයි.
-පුවතක්
දු පුතුන් සිය ගණන්
මව්පියන් එනතුරා
මව්පියන් සිය ගණන්
දු පුතුන් එන තුරා
සුරලොවින් හෝ බැස
කඳවුරු තුළම
ගාල් වී සිටිති
ලාබෙට තිබේ මෙහි
ඇවිලෙන්න
ඉන්ධන....
මකරාගේ කටින් මිදී
තව්තිසාවට ආවෙමු
කඳවුරේ (ගවහලේ) හිඳ
හිනෙන් දකිමු කල්ප වෘක්ෂය
ප්‍රශ්න කිරීමට රැගෙන ගිය වුන්
ස්වර්ගයට ගියාදෝ වේලාසනින්
තවත් ලාබෙට
ඉන්ධන මොටද...?
නිවුණු රණ බිමසෙබල මුළු ඇත
නරුම ප්‍රජාතන්ත්‍ර වාදයේ
අඳුරු නීතිය රකින
ඇමතිවරු සැපත්වී
දැකබලායති
හීලෑ කළ සතුන් යැයි
සිතාගනු යහපති
බඩ දරු අම්මලාද
කිරි උරන පැටවුන්ද
බඩ සායින් පෙලෙති
ඉන්ධන තිබේ මෙහි
ලාබෙට
ඇවිලෙන්න
ප්‍රත්‍යන්ත ජනපදවල
වෙසෙන ජනයින්ද
සිතනවා ඇත
අහා...!
උතුරට වසන්තය ඇවිත්
සියල්ල නිවැරදිව ඉටුවෙතැයි
එසේ වී නැත
සහෝදරවරුනි,
ස්පාටකස් මෙන්
ඇවිලෙන්න වෙයි අපට
අපි පෙළන
අත්තිවාරම සොයා ගෙන
ගැඹුරට 
|
|
|
Daya Neththasinghe | දයා නෙත්තසිංහ |
|
Updated on : 2010-07-28 00:41:40 |
|
|
|
|
| මකුළු දැල එලා ඇති විට |
| |
 |
|
|
නිමිත්ත: මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට එදිරිව බලමුළු ගන්වා තිබූ අවි ආයුධ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක බලකායේ දැහැන්ගත ඡායාරූපයක් දැකීමෙන්.
වේල දෙවේල ලෙව කන
ඇල් වතුරින් කුස පුරවන
කැන්ටිම් පෝලිම්වල කටු කන
බඩපොතු ඇටකටුවලට සින්න වුන
මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය
ඇස් පොට්ටවන තුරු ලයිට් කණු යට
රැය කරමින පොත පත කියවන
ගෙදරින් ලද කාසියක රහ බලන
මිතුදම් රැහැණින් බැඳී ජීවය පුරන
මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය
මකුළු දැල එලා ඇති විට
නොම හසර දැන ඉගිල පැටලුන අයට
දී දළ විෂ පහර හිස මැදට
ගොදුරු රුහිරෙන්
මත් මද නුහුසනට මිස
මේ සරසවි දරු
දුබල සිරුරු විනිවිදිනට
ඔය අවි බර වැඩිය 
|
|
|
E A Dawson Preethi | ඊ ඒ ඩෝසන් ප්‍රීති |
|
Updated on : 2010-07-23 04:27:53 |
|
|
|
|
| උමතු සිරකරුවාගේ සිහිනමය පලා යාම |
| |
 |
|
|
රාත්‍රී පෙරෙට්ටුව නිමා විය
අගෝස්තු සඳ
මුර අටල්ල මත නතර වෙයි
කටුකම්බි අතරින්
අළු පැහැති සළබයෙකු පලා යයි
දකුණු මුහුදේ රළ බිඳිණ.
වෙරළ වෙත මළකඳන් පාව එයි.
හුදෙකළා කැසුබුවෙකු
මලානික සඳ එළිය තුළ
මිනීවලවල් කණියි.
මීදුම තවත් දැඩි වෙයි.
ගලහ හන්දියේ ලේ කැටි ගැසෙයි.
කූඩැල්ලන්ද පලා යයි.
කිසිවෙකුත් නැත.
මහවත්ත කඳු බිම නිසලය.
පැල්පතක් දැවී යයි.
කිසිවෙකුත් නැත.
නිදිකුම්බා මලක්
එළිපත්ත මත නැගී
ගෙතුළ විපරම් කරයි.
බොහෝ දුර සිට පාව ආ සිහිනයක්
බිඳිති වී විසිරෙයි.
බාළොලිය පඳුරු මත
කටුකම්බි රෝලක් දිරා යයි.
බිඳී ගිය කළයක්
වළං මැස්ස ළඟ
මුව අයා බලා හිඳී.
තාත්තාගේ බූරු ඇඳ
වේ පසින් වැසී යයි.
සමන් පිච්ච පඳුර මත
දිරා යන ගවුම් පොඩියකි.
අරංගල්ල පල්ලමෙන්
පහළටම පෙරළී ආ
බෝනිකි හිස
සිය ශේෂ වූ ඇසින්
තාමත් මග බලා හිඳී.
පිච්ච මල් සුවඳ පැතිරෙයි.
සඳ එළිය තුළ දුරින්
ගඟ දිය රැළි අතරින් මතුව
අම්මාත් නංගීත් අයියාත්
අත වනයි.
මහවැළි ගං ඉවුර නිහඬය.
විලාපයකින් සසළ වේ.
ඉවුරු සෙවනැළි අතර
සැඟව හුන් මළවුන්
ගංදියට පැන අතුරුදන් වෙයි.
ඉනික්බිති
සිනහ හඬ පමණි.
කිසිවක් සිදුව නැත.
කොළුවෙකු එළිපත්ත මත
වාඩි වී සිටියි.
අම්මා බත් පිඟානක් රැගෙන විත්
උරිස මත අත තබයි.
කිසිවක් සිදුව නැත.
නිරීක්ෂක විදුලි එළි වැදී
රැය පුරා සළබ තටු දැවී
සුළඟේ විසිර යයි.
උදෑසන සයිරන් නලා හඬ
ලේ ගලන සිහිනයක් කුදළගෙන
යළිත් කඳවුර වෙත ඇදෙයි. 
|
|
|
[1989දී රජයේ හමුදා සිදු කළ මහවත්ත සමූළඝාතනයේදී සිය පවුලේ සියළු සාමාජිකයන් මරණයට පත් වීම හේතුවෙන් සිර කඳවුර තුළදී උමතු බවට පත් සොයුරෙකු පිළිබඳ මතකය වෙනුවෙනි.]
1996 අගෝස්තු
-හිරු-නිම්තෙර- |
|
|
Ajith C Herath | අජිත් සී හේරත් |
|
Updated on : 2010-07-19 03:04:42 | [Tags] Hiru, Nimthera |
|
|
|
|
| තිඹිරි යළි වැඩ...! |
| |
 |
|
|
දැදුරු ඔය දෑල බඳු නිසල
අඳුරු ඔදවත් ගස...
චණ්ඩ සුළඟට පවා නොසල
එද... සියුම් ලපළු පත් හඬවනා
නව කවක හැඩ රැගෙන
මේන්... යළි ඔහු වැඩ 
|
|
|
Upul Senadheerige | උපුල් සේනාධීරිගේ |
|
Updated on : 2010-07-15 23:25:46 |
|
|
|
|
| කේන්තියට කියන විරිදු |
| |
 |
|
|
බුදුන් දහම් සඟ තෙරුවණ
වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ
රටක ගැයෙන විරිදු සුරල්
..කේන්තියට කියන විරිදු
මේ අනාථ රට ඉස්සර
සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා
උතුම් හිතින් දෙතුන් විටක්
..බුදුන් උන්නෙ එහා රටේ
රට රටවල මහ ඇත්තන්
පතල මහා කරුණාවට
ඇවිත් එරට කළ කොඩිවින
කපන්න බැහැ මේ කපේට
..කාගෙත් ඇස් යොමු වුනු රට
ගෙරි හංකඩ එලා ගන්න
කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන
උගේ රටට අරන් ගියා
..කොයි පරයත් එහෙම තමයි
ඉඟුරු දීලා මිරිස් ගත්ත
මෝඩ අපේ රජ දරුවෝ
ලන්දේසින් ඉංග්රීසින්
කැන්දාගෙන වින කොටුවෝ
..ඒක සැබැයි සැබැයි සැබැයි
බේරගන්ට පුළුවන් නම්
රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන්
පරයි එක්ක නිදි වදින්න
..රජ පුටුවේ මළත් සැපයි
එදත් අදත් හෙටත් මිතුරු
වෙස් අරගෙන පරයි එනවා
දළදා මාළිගෙත් අරන්
උන් දවසක යන්න යවා
..හෙටත් වෙන්න ඉඩ තියෙනවා
කා ගන්නා අතර එකම
රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනවා තළු මරනවා
අල්ලපු රටවල හොටබරි
..උකස් කරල රන් දූපත
පරෙයියන්ගෙ වෙස් ගත්තත්
පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක්
උන් ඒවිද පිහිට වෙන්ට
..පෙරුම් පුරන බෝසත්වරු
පෘතුගීසි ලන්දේසී
ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත්
මොකටද ලක් මෑණි මගේ
..ඒ පව අප පිට වැටේවි
රට වටකර වැට බඳින්ට
කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට
මන්න පහර දෙන්ට වෙනව
..සාධාරණ පහරදීම
සිහළු අපේ දෙමළු අපේ
මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ
පරයන්ගේ බොටුව කැපේ
..අනාථ රට සනාථ වෙයි 
|
|
|
|
(ගීයකි. නන්දා මාලිනි විසින් ගයන ලදී.) |
|
|
Prof. Sunil Ariyarathna | සුනිල් ආරියරත්න |
|
Updated on : 2010-07-13 21:46:18 | [Tags] Nanda Malini, Pawana |
|
|
|
|
| කුණුහරුප පත්තරයක කතු වැකිය |
| |
 |
|
|
මේ ආදම් ගේ උයන නොවේ
ආදම්ලාගෙත්
ඒවලාගේත්
දෙගොල්ලන්ගේම
භද්‍ර යව්වනයේ නඳුන් උයනයි
මෙ ආදම් ගේ ඉල ඇටයෙන් මැවූ
ඒවා නොවේ
මහ පොළෝ මාතාවගේ
ඉල ඇටයෙන්
හිරු දෙවිදුන් මැවූ
ආදම්ලා සහ ඒවලායි
ඔවුහු එකම මාංශය වන බව සැබවි
එහෙත්
එකම මාංශය විය හැක්කේ
එක් ඒවා කෙනෙකුට
එක් ආදම් කෙනෙකුට ම පමණක් ද?
එකම මාංශය මෙන් ම
ආත්මය ද වන යම් මොහොතක
ඔවුනට
නැවත වෙන් වෙන් මාංශයන් ලෙස
වෙන් වෙන් ආත්මයන් ලෙස
ඉන්නට නොදී
ඔවුන් කුරුසියෙහි ඇණ ගැසූයේ කවුරුන් ද
ඒවා එන්න කන්නි හැව සිඳ දා !
ආදම් එන්න කුමරහුය කඩා ගෙන !
එන්න අපි පිරික්සමු
වික්ටෝරියානු රැජිනියගේ
කන්‍යාභාවය!
රෙදි නැන්දේ එන්න
චාලිද්දරය ගිණි තබන්න!
සාතන් එන්න අපි යමු
ටජ්මහල ද
කජුරාහෝ වද
වැඳ පුදන්න!
සංසර්ගයට මිල නියම කළ
ඇදුම්වලට ද
එ බැවින්ම නිරුවතට ද
මිල නියම කළ
මේ ශිෂ්ටත්වය නම් වු වෙළද පොළ පසු කොට
අපි යමු ඒ පරාදීසයට!
රැවටීම ද
බලහත්කාරය ද
මිල නියම කෙරුමක් ද නැති
පාරාදීසයට
බහ තෝරන කිරි කැටි බිළිඳියන්
මසට විකුණමින්
පෙම් උයන්වලට කෑ මොර දෙන
කහ රෙදි පෙර වූවන් එහි නැත
ආදරයට සංසර්ගයට
වයස් සීමා නියම කළ
ශරීරය පාලනය කරන
බන්ධනාගාර නිලධාරීන්
ලෝගුධාරී පූජකයන් එහි නැත
එහෙත් ඒ
පාරාදීසයට යන මග
වැටී ඇත්තේ
මේ වෙළද පොළ මැදිනුයි
වෙළද පොලක් වුණාම ඉතිං
මස් කඩයකුත් තියෙනවාම නොවැ
මස් කටු බල්ලෝ අදිනවාම තමයි
මස් කඩ තහනම් කරන්න යැයි කියමින්
සෝයා මීට් වළදන
මහත්වරුනි
මස් කුණු වුණාම ගඳ තමයි
නාහෙ මිරිකාන හෝ යා යුතුය
ඒත් ආත්මය කුණු වූ විට
මිරිකන්නට යමක් නැත !
ඒවා මෙන්න
මෙතුවක් ආදම් උඹෙ සිරුර
රූ ගත කළ කැමරාව
උඹට ඕනැ ඔනෑ විදිහට
ගණින් ආදම් ගේ පිංතූර
ඒ ආදම්ගේ කැමරාවෙන් ම
කැමරාව ආදම්ගේ බව සැබැයි
ඒත් ඒවා ඇස නුඹෙයි
[නගා මැරූ අල - 2000] 
|
|
|
K K Saman Kumara | කේ කේ සමන් කුමාර [සර්පයා] |
|
Updated on : 2010-07-13 21:25:15 | [Tags] [Naga Maru Ala- 2000] |
|
|
|
|
තුම්මුල්ලට පායන හඳ ලස්සනයිද කියන්න
[වීරවංශ බිරිඳ කී කව]
|
| |
 |
|
|
වැලේ අතට මැසි බැන්දොත් රජ යෝගේ
පිලේ පැදුර අරගෙන යමු හොර රහසේ
රජුත් එක්ක බුදියන්නට සහවාසේ
කරමු කරමු මාරාන්තික උපවාසේ
ඔබේ පිනෙන් මව නිවනට ඇන්නාවේ
ප්ලෑන් කරල ආ ගමනකි සංසාරේ
මැදමුලනෙන් හිමි වෙයි කුරහන් සේලේ
වංශෙ කබල් ගාමුකො දිය වන්නාවේ
බෑන් කීන් සීන් එකෙන් හලන දිනේ
වෑන් එකක් අරගෙන සුදු යමුද වටේ
දෝස්මුරේ දැම්මත් පිටරටින් බොලේ
මූන් කොහොම පායන්නද අහස අපේ
තුම්මුල්ලේ අව් රශ්මිය අඩු වේවා
කපුටන් හට මළ බද්ධය ඇතිවේවා
මටත් වඩා රටට සෙනේ වැඩි වේවා
මගෙ හිමි සඳු ට විළිලැජ්ජා නැති වේවා
වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
වසුරු ගොඩට නිළමැසි වාසනාවන්
මගෙ රන්කඳ ඔබ මට වාසනාවන්
[බූරුවන්ගේ දේශයේ සිට....] 
|
|
|
Booruwa | බූරුවා |
|
Updated on : 2010-07-11 23:37:03 |
|
|
|
|
| මූං චූං කොමිසං අකුලපං |
| |
 |
|
|
යූ එන් එකේ ඉන්න
කොල්ලනි දැනගන්න
කන්න නැති විය ඔන්න
නොකී බස කියවන්න
බඩු මිළ අහස ඉහළට
අය වැය සහන නැතිවිට
දුක්බර දැනෙන විට
කියමි දුක මූන්ට
කෙලින් උඩ පැන්නොත්
උන්හිටි තැන්ද නැතිවෙත්
වෙස්මූණකින් ආවෙම්
බඩගින්නේ ම ඉන්නෙම්
බඩගිනි ආමාස
කහ පෑ පිත්තාස
ආම්ලික පාටට
ලිව්වා පෝස්ටර
අටානූවක් රෝග බෝවිය
ගිරහ අපලෙද ඇතිවිය
ගෙදරින්ද විසිවිය
තොවිල් නැටුමට
මෙහි එන්න විය
මම මැරෙනකං
බලා ඉන්නා උං
ලිස්ට් එකේ ඇතියෙං
චූං කොමිසම අකුළං
බඩුමිළ අඩුකරන
කොමිසමක් දාපං
මූං
09.07.2010 
|
|
|
KiriMama | කිරිමාමා |
|
Updated on : 2010-07-08 23:05:17 | [Tags] Wimal Weerawansa, Hunger Strike infront of UN office Sri Lanka, 2010 July |
|
|
|
|
| දහම් සොඬ වූ- (එදා) සුරා සොඬ මිතුරාට |
| |
 |
|
|
රතු ලේ සමග කිරිබත අනා කන
එකොන්ට ගල් ගසා පබා රජ ගෙට යවන
මධ්‍යම පන්තියෙ මධ්‍යම ප්‍රතිපදා මැද
පුදුමයි උඹත් ඉඳගෙන අරුමැසි අසපුවක
ළා රන් පාට අමා දිය
බිඳ බිඳ ගලන විට නහර
සිඳ බිඳ මේ සසර දුක
ලද නිවන තියේවිද ඔතැන
තණ්හාව හැරපියා, පසුම්බිය පතුල සූරා
තවත් බෝතලයක් දන් දුන් අයුරු මතකද
හිතේ අඳුරු අහුමුළු වල ලැග්ග
පාප සිතුවිලි අපි වැමෑරුවෙ නැද්ද?
යමක් පිළිගන්න පෙර නුවණින් විමසන්න
එහෙම කිව්වෙත් භගවත් ගෞතමයන් නොවෙද
පවුල පන්සල පාසල රාජ්‍යය
නැණ සැතින් විමසුවෙමු අපි එකල
මමය මගේය යන මෝහාන්ධකාරය
බොඳව දියව ගිය නිරාමිස ඇසිල්ලක
සිඳි සිඳී යන විට පිරී ගිය මධු බඳුන
පසක් කලා නේද සියලු දේ අනියත වග
සිදුහත් වුනත් ගියා ගොඩක් ගුරුවරු ලඟට
අහිතක් නෑ මිතුර ඔබත් තව දුර යන්න
නහුතයක් උතුරු සළු යට කුණු වූ හදවත් දැන ඇඳින
එන්න ආ පිට අපි ඉන්නවා නේරංජනාවෙන් මෙපිට 
|
|
|
Rohana Pothuliyadda | රෝහණ පොතුලියැද්ද |
|
Updated on : 2010-07-04 23:24:55 |
|
|
|
|
| යාපනේ යමු මරුටියේ....! |
| |
 |
|
|
දියවැඩියාව අඩු කරන්නලු පාන්, සීනි මිල වැඩි කලේ!
-(ඇමතිවරයෙක් කියයි)
සිරෝසිස් ගැන
හිතලා වෙන්නැති
'මතේ' ගානත් වැඩි කලේ....
මන්දපෝෂණේ
අඩු වෙලා ඇති
කිරි පැකට් එක
වැඩි කලේ....
බඩේ ගෑස් ටික
අඩු වෙලා ඇති
ගෑස් ටැංකිය
වැඩි කලේ....
තරබාරුකම
අඩු කරන්නද
සහල්,එලවළු වැඩි කලේ....
හිතේ ඇති ලෙඩ
සුව කරන්නද
යකඩ ගොඩවල් අඩු කලේ....
හැම ලෙඩම දැන්
සුව නිසා අපි
යාපනේ යමු මරුටියේ.... 
|
|
|
Viraj Liyanarachchi | විරාජ් ලියනාරච්චි |
|
Updated on : 2010-06-30 21:27:39 |
|
|
|
|
| "බජට්ටෙක" |
| |
 |
|
|
බජට්ටෙක බොරුවේ
ආණ්ඩුව බොරුවේ
විපස්සය බොරුවේ
ජනතාව බොරුවේ
ගව'නර මහ බලැති
හේසාරවය කරතී
සියයට ගණන් හදතී
සංවර්දනය මවතී
පිළිවෙත කෙළවුනා
ලියැවිලි මැලවුනා
අන්දර පැළවුනා
අමු (උ)ණු ගොලු උනා
ආරස්සකේ වැඩිවිය
වෙන ඒවාට මදිවිය
ලෝ බැංකුවට ණය විය
ප්ලග් එක හොඳට හිර විය
පිස්කල් ප්‍රතිපත්ති
කුස්සියේ තැනුනී
මූල්‍ය ප්‍රතිපත්ති
කක්කුස්සියේ මැවුනී
බදු පෙර අයවුනී
වැටුප් වැඩි නොවුනී
උකස් කර බිත්තී
කුඩු කෑව විත්තී
ඉලක්කං සොත්තී
අපිටම උරුම වෙච්චී
2010-06 
|
|
|
KiriMama | කිරිමාමා |
|
Updated on : 2010-06-30 03:46:11 |
|
|
|
|
| මහතෙක් සිටී හොඳින් |
| |
 |
|
|
කඳුකර කඳුළු
නොගිල්වා සාර තේ පඳුරු යට
කෝල් මුරයෙන් පණ ගසා පේ කර
ප්ලැට් කෙරුවෙ
ඒ දෙවොල් බෙර හඬ
මහතෙකුව හොඳින් ඉන්නද?
තාරකා නිදිකිරා වැටෙන රෑ
විසුනු කර මොනර නිල් කවි ආර
අකීකරු පුත්‍රයා නුඹ එ සඳ
චණ්ඩි කම් කළ
තැලෙන පෑගෙන උංගෙ පඩි ගෙන
රටේ කවියා නේද උඹ
හරියයිද
මහතෙකුව සොඳින් හිඳ?
රශ්මි විහිදන කවි රැස
මවා ගොස්
මහ දවල් මහ මග
මහතෙකුව හොඳින්
හිටියැකිද පියෙකුට
ඒ කවි පුතුන් නැළවෙද්දි
පැළලි කවියන්ගෙ
උකුළත
මුල අනුමුල කැන මැන
හඳුනන
පොඩි මල්ලිලාගේ ද හද මැන
පුරුද්දාපන්
පරණ ගමනෙම දිගුව
මහතෙකුව හොඳින් හිඳ කුමට
කවි දුන්න පොළොවට
ආගන්තුක ව 
|
|
|
D M Timran Kirthi | ඩී. එම්. ටීම්රාන් කීර්ති |
|
Updated on : 2010-06-28 21:15:34 |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |