1 2 3 4 5

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
සමුගනිමු ගුල්සාරි
 
 
ගමනේ යෙදෙනා අතරේ තනබායිගේ සිතට තම අශ්වයා හා සබැඳි සියලු අතීත සිතිවිලි පිවිසෙන්නට පටන් ගති. ඉන් ඇවිස්සී ගිය මනසින් යුතු වූ ඔහු තමාගේ අතීත සැමරුම් සියල්ල පිළිබඳ මහත් ශෝකයෙන් කල්පනා කරන්නට විය, "අපි ඔක්කොම එක වල්ලෙ. ජීවිතේ අන්තිම කාලේ ලැබුනාම තමයි අපි එකිනෙකා ගැන හිතන්න ගන්නෙ. මාරාන්තික ලෙඩක් හැදුනම එහෙමත් නැතිනං මැරෙන්න ළං වුනාම. එතකොට තමයි අපිට තේරුම් යන්න පටන් ගන්නේ, අනේ අපිට නැති වුණේ මොන තරම් හොඳ කෙනෙක්ද, එයා කොච්චර ගුණ යහපත්ද, අනුන් වෙනුවෙන් මොනතරං දේවල් නං එයා කළාද, ඔය වගේ දේවල්. ඒත් ඉතිං ගොලු, තිරිසන් සතෙක් මතක් කරන්නවත් ඉන්නෙ කවුද? අපි නිකමට හිතමු ගුල්සාරිගේ පිටේ ගිය මිනිස්සු ගැන. ඒත් දැන් වයසට ගියාම හැම මිනිහෙක්ම වගේ ඌ ගැන අමතක කරලා. බලමු දැන් මූ දිහා. කකුලක් උස්ස ගන්නෙත් හරි අමාරුවෙන්, අනේ දෙයියනේ මූ මොන තරම් කදිම සතෙක් වෙලා උන්නද!"

යළිත් වරක් මතක විසින් ඔහුව අතීතය කරා ඇදගෙන යනු ලැබූ අතර තමා බොහෝ කාලයක් තිස්සේ අතීතය ගැන කල්පනා කර නැති බව දැනගැනීමෙන් ඔහු දැන් මහත් සේ පුදුමයට පත්වූයේය. සියළුම අතීත ස්මරණයන් යළි ඔහු ඉදිරියේ මැවුණු සැටියෙන් පෙනුණේ ඒ කිසිවක් සදහටම මතකයෙන් ගිලිහී ගොස් නැති බවයි. මෙතෙක් අතීතය ගැන අඩුවෙන් මෙනෙහි කලා හෝ නැතිනම් තමා වෙත පිවිසෙන්නට අතීතයට ඉඩ නොදුන්නාවූ ඔහු දැන්, සිය පුතු හා ලේලිය සමග වූ ඉරණම් සහගත බහින්බස් වීමෙන් අනතුරුව මිය යමින් හුන් අශ්වයෙකු සමගින් අඳුරු මාවත දිගේ අසීරුවෙන් ගමන් කරන්නේ, වේදනාවෙන්, කාන්සියෙන් ආතුරව, ගෙවී ගියා වූ කාලය වෙත ආපසු හැරී බලමින් උන්නේය.

එසේම ගෙවුණු කාලය පිළිබඳ වූ සියළුම මතකයන්ද ඔහු ඉදිරියේ පණ ලබන්නට පටන් ගෙන තිබුණි. මේ අයුරින් ගැඹුරු සිතිවිල්ලේ ගැලී ඔහු ගමන්කරද්දී රේන්ස් පටියෙන් බැඳි අශ්වයා වඩ වඩා අසීරුතාවෙන් යුතුව පැකිලෙමින් ඔහු පසු පසින් ඇදුනේය. රේන්ස් පටි අල්ලාගෙන සිටි අත හිරි වැටුණු විට මහල්ලා එහි කෙළවර උර මතින් අනිත් අතට මාරුකර දිගටම අශ්වයා විවේක ගැනීමට ඉඩ හැරියේය. ඉන් පසු ටික වේලාවක් කල්පනාකර බැලූ ඔහු අසුගේ කටකලියාව ගලවා දැමීය.

"ඔන්න උඹට පුළුවන් හැටියකට පලයං. මං පස්සෙන් එන්නං. දුක්වෙන්න එපා. මං ඇති උඹේ පස්සෙන්," ඔහු කීවේය. "ඔහෙ හිමීට පලයං කොල්ලො."

-සමුගනිමු ගුල්සාරි| විදර්ශන ප්‍රකාශනයකි.
 
Chingiz Aitmatov | චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - Chulananda Samaranayake | චූලානන්ද සමරනායක
Updated on : 2010-08-16 01:05:22 | [Tags] Farewell Gulsary by Chingiz Aitmatov, Sinhala Translation
(0)ප්‍රතිචාර|Comments
 
ටයිපීවරුන්ගේ සමාජ ජීවිතය| ම්ලේච්ඡයන් අතර සිවු මසක්
 
 
ටයිපී මිටියාවතෙහි සොරුන් නොවීය. තිත්ත කරුවල සහිත රාත්‍රීන් වලදී පවා කිසි දිනෙකත් දොරගුළු නොදමන ලද පැල්පත් තුළ ඔවුහු සුවසේ ආරක්ෂිතව සැතපුණහ. සොරකම් කිරීම, මිනී මැරීම පිළිබඳ බියෙන් හෝ සැකයෙන් ඔවුහු කිසි දිනෙක නොපෙළුණහ. හැම ගෝත්‍රිකයෙක්ම තම පැදුරෙහි හෝ තමන්ගේ දෙල් තුර මුල හෝ වැතිරගෙන සුවසේ නින්දට පිවිසියේ ඔහුට හානි කිරීමට කිසිවෙකු නොපැමිණෙන බවට වූ දැඩි විශ්වාසය මතය. ඉබි යතුරු හෝ ඒ කාර්යය සඳහා යොදා ගත හැකි වෙනත් විකල්පයක් හෝ මුළු මිටියාවත තුළම නොවීය. එයින් අදහස් වන්නේ සියළුම භාණ්ඩ වල සාමූහික අයිතියක් වූ බව නොවේ. මනාව කැටයම් කළ හා ඔප දැමූ හෙල්ලේ හිමිකරුවා වෝමූනෝ ය. එය මාර්හෙයෝ ගේ හෙල්ලට වඩා අගනේය. එපමණක් නොව වෝමූනෝ සතු අනර්ඝතම වස්තුව ද එයම පමණකි. එහෙත් එය තුරු වදුලේ පොල් ගසකට හේත්තු කර තිබෙන ආකාරය මම බොහෝ විට දැක ඇත්තෙමි. වෝමූනෝට අවශ්‍ය වූ විට රැගෙන යාම සඳහා එය කෙතෙක් දිනක් හෝ එතැනම තිබෙනු ඇත. උත්සව අවස්ථා වලදී කාර්ලුනා පැළඳ ගත් ආභරණය වූ කැටයම් කළ මන්දා තල්මස් දත ඇගේ අබරණ අතරින් වටිනාම එක විය. ගෝත්‍රික ඇස්තමේන්තුවට අනුව නම් එය විශාල බෙරලියන්තුවකට ද වඩා වටනේය. එසේ වුව ද මෙම ආභරණය වැල් පටකින් පැල්පතේ බිත්තියක එල්ලා තිබෙනු දැකගත හැකිවිය. පැල්පතේ දොර පුරාම ඇර දමා ඇත. නිවැසියෝ ඇළෙහි ස්නානය පිණිස ගොස්ය. එහෙත් තල්මස් දත කිසිවෙකු විසින් වත් සොරකම් නොකරනු ඇත.

ඉඩම් අයිතිය පිළිබඳව ද ටයිපී ගෝත්‍රිකයින්ගේ ආකල්පය බෙහෙවින් වෙනස් එකක් විය. ඉඩම් ඒ ප්‍රදේශයේ විසූවන්ගේ සාමූහික අයිතියට යටත් විය. එසේත් නැතහොත් ඒවා ධනවත් ගෝත්‍ර ප්‍රධානීන් කීප දෙනෙකුගේ දේපළ විය. එසේ වුවද කිසිවෙකුට ඉඩම් වල වැවෙන රුක් පල ආදිය පරිභෝජනය කිරීමට කිසිදු බාධාවක් තහංචියක් නොවූ බව දුටිමි.

ඊයේ කෙක්කක් රැගෙන දෙල් ගසක් මතට නැගුණු කෝරි කෝරි දෙල් කඩා බිම දමා පසුව පොල් අතු කූඩයක බහාගෙන ඒවා නිවසටම ගෙන ගියේය. අද උදේ වෙනත් ගෝත්‍රිකයෙක් පැමිණ ඒ දෙල් ගසටම නැග දෙල් ගෙඩි රැසක් රැගෙන යනු මම දුටිමි.ඇළ ඉවුරෙහි සරුවට වැඩී තිබූ කෙසෙල් පඳුරු වල හට ගත් කෙසෙල් කැන් ද මෙසේ ගොත්‍රිකයෝ හවුලේ භුක්ති වින්දාහ. මේ සියල්ලෙන් පෙනී ගියේ පෞද්ගලික දේපළ හා ඉඩම් හිමිකම අතර විශාල වෙනසක් වූ බවයි. මාර්හේයෝගේ පැල්පතේ මුදුන් කණුව ඔවුන්ගේ පොට්ටනිවල බරින් නැමී යන තරම්ය. මාර්හේයෝ සැතපුණේ පැදුරු හතක් එළා තනා ගත් සයනයක් මතය. ටිමෝර් ගේ දුමෙහි ද ඕනෑ තරම් ලබු කැට හා දැව බඳුන් පිරී තිබිණි. එහෙත් මාර්හේයෝ ගේ නිවසට මඳක් ඔබ්බෙන් වූ රුවාරුගාගේ නිවස දුගී පැල්පතක් විය. ඔහුගේ මුදුන් කණුවේ එල්ලී තිබුණේ කුඩා පොට්ටනියක් පමණි. ඔහු සැතපුණේ පැදුරු දෙකක් එලූ සයනය මතය. අවශ්‍ය වුවහොත් ඔහුට ද මාර්හේයෝ ගේ නිවසට ගොස් එහි නිදා ගත හැකිය.

[ම්ලේච්ඡයන් අතර සිවු මසක්]
'Typee' (1846) පොතෙහි පරිවර්තනයකි.
 
Herman Melville | හර්මන් මෙල්විල්
පරිවර්තනය - Dhanapala Gunasekara | ධනපාල ගුණසේකර
Updated on : 2010-08-03 01:23:59 | [Tags] Herman Melville, Typee- 1846
(0)ප්‍රතිචාර|Comments
 
පිච්ච මල
 
 
වයිමන් මහතාගේ මෝටර් රථය තවමත් පන්සල මිදුලේය. එය ඉවත්වන තෙක් පන්සලට යාමට රාහුල තෙරණුවන්ගේ කැමැත්තක් නැත. තමාට පක්ෂපාත වූවන් ඉත්තන් වශයෙන් ගෙන, සෙස්සවුන් සතුරන් වශයෙන් ගන්නා වයිමන් මහතාගේ අගතිගාමී දේශපාලනය රාහුල තෙරණුවන්ට පිළිකුලකි. ගම භේදවෙලා බොහෝ කල්. මේ අපරාධයට මුලිකයා මේ මනුස්සයා- ඇයි අපේ හාමුදුරුවො මේ මනුස්සයා අනුමත කරන්නේ? වෛරය ආවාස ගෙයි ලැගුම් ගත්තා ම කිරි වවුලො විහාර ගෙයි එල්ලෙනවා- මම පොඩි හාමුදුරු නමක්. ඇයි මට තේරෙන දේ මේ ලොකු ඇත්තන්ට නොතේරෙන්නේ? තමත් ගැන නොසොයා අනුන් ගැන සොයමින් තමන්ගේ සිත තමන් විසින්ම පාරා ගන්නේ යයි රාහුල තෙරණුවෝ දෙවනුව සිතුහ. නායක ස්ථවිර කෙලෙසුන් ප්‍රහීණ නොකල පුහුදුන් මනුෂ්‍යයෙකි. දේශපාලනඥයා ද එසේය. අනෙකුත් බොහෝ මනුෂ්‍යයන් ද එසේමය. සෙස්සවුන් ඉවසිම මහත්ම ගුණයකැයි රාහුල තෙරණුවෝ වෑයමින් සිතූහ.

අන්‍යාගමීක ශුද්ධස්ථාන, අන්‍යාගමික පුජකවරුන් දුටු පමණකින් මුල් කාලයේ තමන්ට පහළ වූ අරුචි හැඟීම්, පසුව ක්‍රමයෙන් ඈත් වූ සැටිත්, සියලු ආගම් දෙස උපෙක්ෂාවෙන් බලන්නට පසුව තමන් පුරුදු වූ සැටිත් උන්වහන්සේට සිහිපත් විය. අන්‍යන් නිසා තම සිත කිළිටි කර ගත යුතු නැත. අන්‍යන් නිසා නොසතුටට පත් තම සිත සන්සුන් කර ගැනිමේ උපායක් වශයෙන් බුද්ධ චරිතය මෙනෙහි කල තෙරණුවන්ට චන්ද-සූකර ගේ කතා ප්‍රවෘත්තිය සිහිපත් විය. ඌරන් මරා මස් විකිණිමෙන් ජිවත් වූ චන්ද-සුකර ගේ නිවෙස පිහිටා තිබුණේ බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් වැඩ වාසය කළ ජේතවනාරාමය අසලය. ඌරන් ගේ මරහඩ නිතිපතාම වාගේ ජේතවනාරාමයට ඇසිනි. එහෙත් මේනිසා බුදුරජානන් වහන්සේ සිත සසල කරගත්තේ නැත. ඔහු පාපයෙන් මුදා ගැනිමට සුදුසු අවස්ථාවක් නොලැබුනු නිසා උන්වහන්සේ චන්ද-සුකර හමුවන්නට කල්පනා නොකළ සේක. චන්ද-සුකර රෝගී ව ඔත්පල වන තෙක් දිගින් දිගටම සත්ව ඝාතනය කල අතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරමයේ වැඩ වාසය කරමින් සෙසු ලෝකයා දුකින් මුදා ගත්හ.

තමන් ප්‍රිය නොකරන දේශපාලනඥයා ආපසු ගොස් නොතිබුණත් රැ බෝ වු හෙයින් ආපසු යාම මැනවයි රාහුල තෙරණුවෝ කල්පනා කළහ. වලාකුළු රහිත අහස් තලයේ ලක්ෂ ගණන් තරු පායා තිබේ. ආලෝකය විහිදුවාගෙන ඉතා වේගයෙන් කෝණාකාරව අහස සිසාරා පැමිණි උල්කාපාතයක් සිහින් දුමක් දමමින් හිංගල දෙල් ගස දෙසට පහත් විය. චමත්කාරයත් අද්භුතයත් දනවන නිසල අහස් තලය දෙස බලා සිටිම සජීවී ලෝකය ගැන සිතීමට වඩා ප්‍රියජනක බව, රාහුල තෙරණුවන්ට හැඟුණි.

-පිච්ච මල නවකථාවෙන්
 
Jayasena Jayakody | ජයසේන ජයකොඩි
Updated on : 2010-07-26 01:01:41 | [Tags] Pichcha Mala, Sinhala Novel by Jayasena Jayakody
(0)ප්‍රතිචාර|Comments
 
සංස්කෘතික අර්බූදය ගැන- අතීතය සහ අනාගතය අතර
 
 
යහපත් සමාජය අප දන්නා පරිදි දහ අට වැනි සහ දහ නවවැනි සිය‍වස් තුළ යුරෝපීය පරමවාදී [absolutism] රාජ සභා ආශ්‍රයෙන් උත්පත්තිය ලබන්නට ඉඩ තිබූ බව අපට වැටහෙන්නේ, විශේෂයෙන්ම දාහතර වන ලුවී [Louis XIV] රජ දවස පැවති රාජ මන්ත්‍රණ සභාව සළකා බැලූ විට ඔහු ඉතා හොඳින් දැන සිටි දෙයක් නම් ප්‍රංශ ප්‍රභූත්වය සිය දේශපාලනික ක්ෂේත්‍රය තුළ බලපෑම ක්ෂුද්‍ර කර ගැනීමේ උපක්‍රමයක් ලෙස තම රජවාසල වෙත ඔවුන් කැඳවා රජ සභිකයන් බවට පත් කොට ඔවුනොවුන් අතර කුමණ්ත්‍රණ, ඉඟුරු කල්ලි සහ කෙළවරක් නැති ඕපදූප කතා කරන්නට, නිර්මාණය කරන්නට නිරන්තර සාදමය අවස්ථා පසුබිම් අවිකල්පනීය ලෙස සකස්කොට දීමෙනි.

එනිසා සැබෑ වශයෙන්ම සම්පූර්ණයෙන්ම නුතන කලා ආකෘතියක් වූ නවකතාවේ පෙරටුගාමීන් චෞරාඛ්‍යානයේ රොමැන්තිකවාදී ත්‍රාසයන් ලෙස නොව නයිට්වරුන්ගේ සහ ශාන්ත සිමොන් ගේ ප්‍රබන්ධාත්මක නිබන්ධයන් හරහා නවකතා විසින් සමාජ විද්‍යාවේ සහ මනෝ විද්‍යාවේ ප්‍රභවය ද සලකුණු කරන්නට පසුබිම් වීමෙන් මේ විෂයන් දෙකම තවමත් පුද්ගලත්වය සහ සමාජය අතර පවතින ගැටුමේ කේන්ද්‍රය තුළ පවතී. නියම පෙරටුගාමීත්වය නූතන බහුත්ව සමාජය තුළ පුද්ගලයා ලෙස දක්වන්නේ රොසියෝ [Rousseau] හෝ ජෝන් ස්ටුවර්ට් මිල් [John Stuart Mill] වැන්නන් දහ අටවැනි සියවසේ සහ දහ නවවැනි සියවසේ සොයාගත් හෝ අර්ථ දැක්වූ ස්වකීය සමාජයේ විවෘත කැරලිකාරිත්වය තුල වූ පුද්ගලයායි.

එතැන් සිට ‍සමාජයේ සහ පුද්ගලත්වයේ ගැටුමේ කතන්දරය නැවත නැවතත් කාලය තුළ ප්‍රතිනිර්මාණය වී ප්‍රබන්ධයකට වඩා යථාර්ථයකට මාරු වී ඇත්තේය. නූතනත්වය තව දුරටත් ඊට වඩා වූ නූතනත්වයක් නොවී පුද්ගලත්වය එහි ආංශිකත්වයකට ඌණනය වෙමින් සමාජයට එදිරිව යාමත්, පුද්ගලත්වය තම කොටස වඩාත් හොඳ කරගැනීමේ අරගලයට උර දී ඇත්තේය.

The Crisis in Culture [page199]
Between Past and Future කෘතියෙන්

 
Hannah Arendt | හැනා ආරන්ඩ්ට්
පරිවර්තනය - E A Dawson Preethi | ඊ ඒ ඩෝසන් ප්‍රීති
Updated on : 2010-07-20 22:34:48
(0)ප්‍රතිචාර|Comments
 
"රන්රෝස" | පවුස්තොව්ස්කි
 
 
"කාටද කියන්න පුළුවන් සුසී, කවුරු හරි හාදයෙක් ඇවිල්ල ඔයාටත් එහෙම රත්රන් රෝස මලක් දෙන්න හොඳටම ඉඩ තියෙනවා. අපේ භට කාණ්ඩෙ හිටියා හාදයෙක් මිනිහ ‍කළේ මොකද්ද දන්නව ද? යුද්ධ භූමියේ වැටිලා තිබුණු රත්තරන් දත් වහල්ලක් අහුලා ගත්තා. ඒ ප්‍රීතියට අපි ඔක්කෝට ම බොන්න අරන් දුන්නා. ඒක සිදු වුණේ ඇනෑම් රාජ්‍යයේ යුද්ධයේ දී.

වෙරි මරගාතේ හිටපු කාලතුවක්කු හමුදාවෙ හේවායෝ ඔහේ වෙඩි තියන්න පටන් ගත්තා. දිගට හරහට. කාලතුවක්කු උණ්ඩයක් ගිහින් වැටුණා ගිනි කන්දක් උඩට. හිටපු ගමන් ගිනි කන්ද පිපිරුණානේ. මට හරියට මතක නෑ. ගිනි කන්දෙ නම ක්‍රාකා -ටාකා ද මොකක් ද‍‍. පුදුම පිපිරිල්ලක් ඒක. රටේ මිනිස්සු හතළිහක් එතනම මැරුණා. නිකමට හිතලා බලන්න, අපරාදේ අහිංසක ජීවිත. මේ ඔක්කෝටම මුල අර රත්තරන් දත්. අන්තිමේ දී එළිවුණා අර බිම වැටිච්ච දත් වහල්ල අපේ කාණ්ඩෙ නායක කර්නල්ගෙ කියල. ඉතින් ඔක්කෝම සිද්ධි හාවක් හූවක් නැතිව වැහුවා.

මොනවා වුණත් අපේ කාණ්ඩෙ නම්බුව තියා ගන්න ඕනෑ නේද? ඒ කොයික වුණත් අපි පුදුම විදියට වෙරිවෙලා හිටියේ."

-රන්රෝස
 
Konstantin Paustovsky | කොන්ස්ටැන්ටයින් පවුස්තොව්ස්කි
පරිවර්තනය - Ariyawansha Ranaweera | ආරියවංශ රණවීර
Updated on : 2010-07-13 23:33:04 | [Tags] Golden Rose, Zolotaya rosa, Soviet writer Konstantin Paustovsky
(0)ප්‍රතිචාර|Comments
 
'නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං'
 
 
".... සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගල‍ය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම නිශ්චල ජලාශයක ගිල්වා දමයි."

"ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින සෑම පුද්ගලයෙකුම පැරණි විශ්වාසයන්ගේ සියලු ඇදහිලි විවේචනය කිරීම අත්‍යවශ්‍යය. කරුණෙන් කරුණ පැරණි විශ්වාසයන්ගේ ගුණය අභියෝගයට ලක් කල යුතුය. සියලු විස්තර විශ්ලේෂණය කර වටහා ගත යුතුය. දැඩි තර්කනයකින් පසුව පවා ඕනෑම දර්ශනයක න්‍යායක් විශ්වාස කිරීමට යොමු වෙයි නම් ඔහුගේ විශ්වාසය පිළිගැනීමට ලක් වේ. ඔහුගේ තර්ක ක්‍රමයේ අඩුපාඩු පැවතිය හැකිය. නැතහොත් සාවද්‍ය විය හැකිය. ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන මූලධර්මය තර්කය බැවින් නිවැරදි වීමට ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත් අන්ධ විශ්වාසය විනාශකාරීය. එය මිනිසා සිය අවබෝධයේ ශක්තියෙන් ගලවා ප්‍රතිගාමියෙකු බවට පත් කරයි."

"තමා යථාර්ථවාදියෙකු යයි හඳුන්වා ගන්නා ඕනෑම පුද්ගලයෙකු පැරණි විශ්වාසයන්හී සත්‍යයට අභියෝග කළ යුතුය. විශ්වාසයට තර්කයේ නිර්දය ප්‍රහාරයට ඔරොත්තු දිය නොහැකි නම් එය බිඳ වැටේ. ඉන් පසු ඔහු‍ගේ කාර්්‍යය විය යුත්තේ නව දර්ශනයක් සඳහා මූලික කටයුතු වල නියැලීමය. නිශේධනාත්මක පක්ෂය මෙයයි. ධනාත්මක කටයුතුවලට එළැඹෙනුයේ ඉන් අනතුරුවය. එහිදි පැරණි කාලයේ ඇතැම් ද්‍රවශ නව දර්ශනයේ කුළුණු ඉදිකිරීමට භාවිතා කළ හැකිය. මෙම කේෂ්ත්‍රයේ ප්‍රමාණවත් අධ්‍යයන සිදුකර නොමැති බව මම පිළිගනිමි. පෙරදිග දර්ශනය හැදෑරීමේ දැඩි අභිලාෂයක් මා තුළ තිබුණ ද මට ඒ සඳහා තිබුණේ සීමිත අවස්ථාවක් සහ කාලයකි.එහෙත් මා ඉපැරීණ විශ්වාස ප්‍රතික්ශේප කල පමණින් එය විශ්වාසයක් තවත් විශ්වාසයයකට එරෙහිව යෙදවීමක් නොවේ. ඊට වඩා ඉපැරණි විශ්වාසවල ගුණයට ප්‍රබල තර්ක මඟින් අභියෝග කිරීමට මට පුලුවන. මානව ප්‍රගමනය රඳා පවතින්නේ සොබා දහම පාලනය කිරීමට මිනිසා දක්වන සමත්කම මත බව අපි විශ්වාස කරමු. එය පසුපස සවිඥානික බලවේගයක් නොමැත. අපගේ දර්ශනය එයයි."
 
Bhagath Singh- On the path of liberation | නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං] කෘතියෙනි. (සමාජවාදී තරුණ සංගමයේ ප්‍රකාශනයක්)
 
Shiv Verma | ශිව් වර්මා
පරිවර්තනය - Uditha Alahakoon | උදිත අලහකෝන්
Updated on : 2010-07-05 04:29:16 | [Tags] Bhagat Singh,Indian freedom fighter, revolutionary
(2)ප්‍රතිචාර|Comments
 
To the Actor | නළුවා වෙතට
 
 
ද්‍රව්‍යවාදී සංකල්පවල බලපෑම හේතුකොට ගෙන තත්කාලීන නළුවා විසින් තම කලා ක්ෂේත්‍රයෙන් මානසික මූලිකාංග බැහැර කිරීමත් බාහිර අංගයන් හුවා දැක්වීමත් නිරතුරුව සිදු කෙරෙයි. මේ අයුරින් ඔහු තම රසහීන පරිසරයෙහි පත්ලටම ගිලී යද්දී, ඔහුගේ ශරීරය ක්‍රමයෙන් අජීවී ස්වරූපයක් ගනිමින් වඩාත් නිස්සාර රූකඩයක් බවට පත් වෙමින් එහි උච්ඡම අවස්ථාව ලෙස ඔහු ජීවත් වන යාන්ත්‍රික යුගයේ ස්වයංක්‍රීය උපකරණයක තත්ත්වයට පිරිහෙන්නට විය. නිර්මාණ කෞශල්‍යය ධන ලෝභයට යට වේ. නේකවිධ රංගන ප්‍රයෝග සහ විජ්ජාවන්ට ගොදුරුවන නළුවා අරුම පුදුම රංගන විලාශ සහ ශාරීරික පුරුදුවලටත් ඇබ්බැහි වේ. මේ සියල්ල ඔහුගේ සැබෑ කලාත්මක හැඟීම්වලට සහ වේදිකාවෙන් මවන්නා වූ නිර්මාණාත්මක ආවේශයන්ට හිලව්වක් මිස, ඉන් ජනිතවන සාර්ථකත්වය හෝ පරිහානිය සලකා සිදු කෙරෙන්නක් නොවේ.

එපමණක් නොව නූතන ද්‍රව්‍යවාදයෙහි මෝහනීය බලය යටතේ වේදිකා රංගනයත් දෛනික ජීවිතයත් අතර පවත්නා පරතරය පවා නොතකා හැරීමේ ප්‍රවණතාවක් නළුවා තුළ ජනිත වන්නේය. දෛනික ජීවිතය එලෙසින්ම වේදිකාව මත මවාපෑමේ උත්සාහයන් තුළින් ඔවුහු කලාකරුවන්ට වඩා වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ ගණයට ඇද වැටෙති. ඔවුන් විසින් නොසලකා හරිනු ලබන කරුණ වනුයේ නිර්මාණශීලී කලාකරුවාගේ සෑබෑ කාර්යභාරය වන්නේ ජීවිතයේ බාහිර ලක්ෂණ අනුකරණය කිරීම නොව, ජීවිතයේ ගැඹුර සහ සියළු පැතිකඩ විග්‍රහ කිරීමත් ජීවිත සංසිද්ධිය පසුබිමේ ඇති තතු විදහා පෑමත් සහ ප්‍රේක්ෂකයාගේ ජීවන දෘෂ්ටිය වඩාත් ගැඹුරු කිරීමත් වන බවය.
 
මයිකල් චෙකොව්ගේ To the Actor සිංහල පරිවර්තනය නළුවා වෙතට හෙවත් රංගනය තාක්ෂණයක් සේ කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය සරසවි ප්‍රකාශනයකි. (2008)
 
Michael Chekhov | මයිකල් චෙකොව්
පරිවර්තනය - Somapala Mallawarachchi | සෝමපාල මල්ලවආරච්චි
Updated on : 2010-06-21 02:08:44 | [Tags] "To the Actor" by To the Actor
(0)ප්‍රතිචාර|Comments
 
සොෆීගේ ලෝකය | උස් තොප්පිය
 
 
".....උස තොප්පියකින් සුදු හාවෙක් ඇදල ගන්නවා. එයා ඉතාමත් විශාල හාවෙක් නිසා, ඒ මැජික් සෙල්ලම කරන්න අවුරුදු දශලක්ෂ ගානක් යනවා. සියලුම ප්‍රාණීන් උපදින්නෙ හාවාගෙ ඉතාම සියුම් ලොම් කෙළවර. ඒ මැජික් සෙල්ලමේ අභව්‍ය බව ගැන පුදුමයට පත්වෙන්න පුලුවන් තැනකයි එයාලා ඉන්නෙ. ඒත් එයාලා වැඩෙනකොට එයාල හාවාගෙ ලොම් අස්සට අස්සට යන්න පටන්ගන්නව. අස්සටම ගිහින් නතර නෙව. එතන කොයි තරං සැප පහසුවට ඉන්නවද කිව්වොත්, කවදාවත් එයාල අර සියුමැලි ලොම් දිගේ උඩට ආපහු බඩගාගෙන ඒමේ අවදානම ගන්නෙ නෑ. මේ අනතුරුදායක චාරිකාවෙ යෙදිලා, භාෂාව සහ පැවැත්ම යන ඒවායේ කෙලවරටම යන්නේ දාර්ශනිකයො විතරයි. සමහරු ආපහු වැටෙනව. ඒත් අනික් අය අමාරුවෙන් එල්ලීගෙන ඉඳන්, පහල මුදු මොළොක් තැනක සුව පහසු ලෙස වැතිරගෙන, රස කෑම බීම ගනිමින් ඉන්න අයට කෑගා කියනවා,

"නෝනාවරුනි මහත්වරුනි, අපි අභ්‍යවකාශයෙ පාවෙනව ! "

ඒත් පහල ඉන්න කිසි කෙනෙක් ගණන් ගන්න නෑ."

"මහ වද කරච්චල් කා‍රයො කට්ටියක්!" එයාල කියනවා,

ඊළඟට ඔහේ කතා කරකර ඉන්නවා.

"කරුණාකරල ඔය බටර් එක මෙහාට දෙනවද?අද කොටක් වෙළඳපොළේ අපේ කොටස් කොච්චර නැගල තියෙනවද? තක්කාලි වල මිල කීයද? ඔයා දන්නවද අනේ ඩයනා කුමාරිට ආයෙ සැරයක් බබෙක් හම්බවෙන්න ඉන්නවලු...."
 
[සොෆීගේ ලෝකය - Sophie's World By Jostein Gaarder]
 
Jostein Gaarder | යුස්ටයින් ගෝඩර්
පරිවර්තනය - Rani Senarathna Rajapaksha | රාණි සේනාරත්න රාජපක්ෂ
Updated on : 2010-06-07 03:40:11 | [Tags] Sophie's World By Jostein Gaarder, Vidarshana Publishers
(2)ප්‍රතිචාර|Comments
 
එතකොට මෙත්තා?
 
 
ඉතිං මගේ වකුගඩුව

කවරදාවත් අර වගේ භූමිකම්පාවක් එන්න එපා. එයාටත් එහෙම ලෙඩක් දුකක් වෙන්න එපා. ඒත් සාෂාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී වකුගඩුවක් නං පරිත්‍යාග කරන්න මට පුළුවන්. අම්මයි අත්අම්මයි බයේ ඉන්නේ ඒකටයි. මට තාම වෙන කා ගැනවත් ආලවන්ත සිතක් පහළ වුනේ නෑ. එහෙම භූමිකම්පාවක් වගේ අත්දැකීමකට පස්සේ ජීවිතේ අනිත් පැත්ත හැරෙනවනවනේ. කණපිට හැරෙනවා කියන්න මං කැමති නෑ. මට දැනෙන්නේ හොඳ පිට හැරුණා කියලයි.

එතකොට මෙත්තා

අනේ එහෙම කෙළි පොඩිත්තක් මගේ ජීවිතේට එනවට නං කැමැත්තක් තිබුණා. සමහර විට ඒ හින්දම වෙන්න ඇති එහෙම චරිතයක් කථාවට එකතු වුනේ. මං හිතන්නේ ගෑණු හිතක සහජ මාතෘ භාවයක් තියෙනවා. ඒකයි මට සාෂාටත් දරුවෙකුට වගේ ආදරය කරන්න පුළුවන්කම ලැබෙන්න ඇත්තේ.

මට දැනෙන්නේ මේ හෘද කම්පාවෙන් පස්සේ මං ඉතාම කෙටි කාලයකින් මගේ අම්මාටයි ආත්තම්මාටයි වඩා වැඩි වයසක කෙනෙක් වුණා කියලයි. කවුරු හරි මගෙන් වයස ඇහුවොත් මං කියන්නේ අවුරුදු දෙසිය එක හමාරයි කියලයි. ඉතිං සියලු ස්ත්‍රී පුරුෂයො අම්මයි අත්අම්මයි පවා මගේ දරුවො වෙන්න එපැ යැ.

මගේ පපුව පිරෙනවා. මෛත්‍රිය උතුරනවා. හොඳ මිනිසුන්ට වගේම නරක මිනිස්සුන්ටත් ආදරෙන් පපුව ගැහෙනවා. පෙම්වතෙක් වෙනුවෙන් නෙවෙයි මේ නොදැමුණු සෙල්ලක්කාර දරුවො වෙනුවෙන්, මේ මිනීමරණ දරුවො වෙනුවෙන්, බැංකු බිඳිනවා වගේම හෘද වස්තු බිඳින දරුවො වෙනුවෙන් කඳුළු බේරෙනවා.

කුසයෙන් දරුවෙක් හෑල්ලු නොකළට මං අම්මෙක් වෙලා අහවරයි. මෙත්තා වගේ දැරියක් හදා ගත්තේ නැතුවට ප්‍රභාකරන් පවා මගේ දරුවෙක් වෙලා අහවරයි. ඒත් මෙහෙම ආදරයක් තේරුම් ගන්න දියවන්නාව අසබඩ ළමයින්ට නං කොහෙත්ම බෑ කියලා හිතන්න දුකයි. පේරාදෙනියෙ, කොළඹ, කැළණියෙ, ජයවර්ධනපුර, රජරට, සබරගමුවේ ළමයින්ට මෙහෙම ආදර කථා නුහුරුයි නුපුරුදුයි. ඒ හින්දා ඒ ළමයින්ටත් නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒත් මං උඹලා ඔක්කොටම ආදරෙයි. භූමි කම්පාවකින් පස්සේ මේ මාතෘ ප්‍රේමය ඕනෙම පිරිමියෙකුගෙ හිතක උනත් උපදින්න පුළුවනි. පොදු පුරුෂයො මව්වරු වෙන්න ගත්තොත් සුනාමි, භූමිකම්පා, ගංවතුර, කුණාටු වෙනුවට අපිට මල් වැහි වැටේවි.
 
[සුනේත්‍රා රාජකරුණානායකගේ ''පොදු පුරුෂයා'' සමාප්තියෙන්]
 
Sunethra Rajakarunanayaka | සුනේත්‍රා රාජකරුණානායක
Updated on : 2010-06-01 02:17:21 | [Tags] Podu Purushaya, Sinhala Fictions, Sri Lankan Novels
(5)ප්‍රතිචාර|Comments
 
"අපව සිපගන්න. නැතිනම් ගඟට දානවා!" | ජමිලා
 
 
.....කමතේ වැඩ කරමින් සිටි තරුණියන් හා ගැටවරයන් අල්ලා ගැනීම (ක්‍රීඩාව) ආරම්භ විය.
.....එහෙත් ඉතා පුදුමාකාර දෙය වූයේ, හැම තරුණයෙක් ම ජමිලා පමණක් දුටුවාක් මෙන් ඇය අල්ලා ගැනීමට ඉදිරිපත් වීම ය. හැම දෙනා ම ඇය අල්ලා ගෙන බදා වැළඳ ගැනීමට පරිශ්‍රම දැරූහ. තරුණයෝ තිදෙනෙක් ඉදිරියට පැන එකවර ජමිලා අල්ලා ගෙන ගං ඉවුරට ගෙන ගියහ.

''අපව සිපගන්න. නැතිනම් ගඟට දානවා!''
''ගඟේ දැමීමට සූදානම් වෙයව්!''

ජමිලා ඔවුන්ගෙන් ගැලවීමට ඒ මේ අත පනිමින් තම යෙහෙළියන් ගෙන් ආධාර ඉල්ලා කෑ ගසමින් හිස පිටුපසට හරවා ගෙන කොක්සන් දෙමින් සිනා සුනාය. එහෙත් ඔවුහු තම හිස බැඳි ලේන්සු අල්ලා ගනිමින් කඩි මුඩියේ නදී තීරය ඔස්සේ දිවැ ගියහ. තරුණයන් ගේ ප්‍රීතිදායක සිනා මධ්‍යයේ ජමිලා ගඟට වීසි කරන ලදී.

ඈ ගඟින් ගොඩ ආවේ තෙත බරි වුණු සහ අවුල් වුණු හිස කේ ඇතිව ය. එහෙත් පෙරට වඩා දැන් ඇගේ රූ සපුව සුන්දර විය. තෙතැති කපු ගවොම සිරුරට ඇලී තිබිණි. ඇගේ වටකුරු, ශක්තිමත් වටොර ද, යව්වන දෙතන ද යසට කැපී පෙනිණි. ඈ ඒ කිසිවක් නො දකිමින්, වැනෙමින් මහ හඬින් සිනා සුනා ය. ගිනි රත් වූ ඇගේ දෙකොපුල් ඔස්සේ තෙමුණු හිස කේ වලින් වෑස්සුණු දිය බින්දු ගලා ගියේ ය. ''අපව සිප ගනින්!'' යැයි කියමින් තරුණයෝ ඇය වෙත කඩා පැන්නා හ.

ජමිලා ඔවුන් හැම දෙනා ම සිප ගත්ත ද, ඇය යළි ගඟට වීසි කරන ලදී. ඈ නැවත තෙතැති හිස කේ හරි ගස්වා ගනිමින්, හිස් උඩට හරවා සිනා සෙන්නට වූවා ය.

තරුණයන් ගේ මේ සරදම නිසා කමතේ සිටි හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන් ගේ සතුටු කඳුළු පිස දැමූහ. ඔවුන් ගේ දුඹුරු පැහැති මුහුණේ රැළි වලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතු වී, ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය. ජමිලා තරුණයන් ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම මොහොතකට අමතක කරමින් මම ත් සිත පුරා සිනා සුනෙමි.

සිනහ නො වූ එක ම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි. නිහඬ වීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කැරැගෙන හුදකලාව සිටියේ ය. ඔහු වහා ම දිවැ ගොස් තරුණයන්ගේ ග්‍රහණයෙන් දැන්, දැන් ජමිලා මුදා ගනිතියි මට සිතිණි......

-ජමිලා

 
Chingiz Aitmatov | චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - Dedigama V. Rodrigo | දැදිගම වී. රුද්‍රිගු
Updated on : 2010-05-24 23:37:01 | [Tags] Jamilia, A Novel, by Russian writer Chingiz Aitmatov
(4)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • බා ජින්| "පවුල" [Family][1933] | බා ජින්
 • සමුගනිමු ගුල්සාරි | චිංගීස් අයිත්මාතව්
 • ටයිපීවරුන්ගේ සමාජ ජීවිතය| ම්ලේච්ඡයන් අතර සිවු මසක් | හර්මන් මෙල්විල්
 • පිච්ච මල | ජයසේන ජයකොඩි
 • සංස්කෘතික අර්බූදය ගැන- අතීතය සහ අනාගතය අතර | හැනා ආරන්ඩ්ට්
 • "රන්රෝස" | පවුස්තොව්ස්කි | කොන්ස්ටැන්ටයින් පවුස්තොව්ස්කි
 • 'නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං' | ශිව් වර්මා
 • To the Actor | නළුවා වෙතට | මයිකල් චෙකොව්
 • සොෆීගේ ලෝකය | උස් තොප්පිය | යුස්ටයින් ගෝඩර්
 • එතකොට මෙත්තා? | සුනේත්‍රා රාජකරුණානායක
 • "අපව සිපගන්න. නැතිනම් ගඟට දානවා!" | ජමිලා | චිංගීස් අයිත්මාතව්
 • මෑන් මෑන් සමග මිගුවල් වීදියේ දී | වී. ඇස්. නායිපෝල්
 • නගීබ් මහ්ෆූස්ගේ "හොරා සහ බල්ලෝ" | නගීබ් මහ්ෆූස්
 • මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා | None
 • දැන් බලපුවාම මුං ඔක්ක්කොම මෝඩ තකතීරුවෝ | එරික් ඉලයප්ආරච්චි
 • සමනල්ලූ සහ මැෂින් තුවක්කු | බර්ටි බී කුඩාහෙට්ටි
 • මහලු මළවුන් තරුණ මළවුන්ට ඉඩ දිය යුතුය. | මිලාන් කුන්දේරා
 • Thank you J.R. | None
 • පෙන්ග්වින් දිවයින | ඇනටෝල් ෆ්‍රාන්ස්
 • ප්‍රජාතන්ත්‍රවාදය! | දාරියෝ ෆෝ
 
 
  තවත් වියමන්